නූතනත්වයේ රූපකය තුළම විකසිත වූ විකල්පීය අවකාශයක් පිළිබඳ සිහිනය නැවත වරක් ලාංකික භූමිය තුළ අත්හදා බැලීම පිළිබඳ කාලය නැවතත් එළඹ ඇතැයි සිතමි. ජ.වි.පෙ. සමඟ කාලය ගත කළ බුද්ධිමත් තරුණ කොටස් මෙන්ම එයට විකල්පව මෑතදී දිගහැරුණු පෙරටුගාමී සමාජවාදී කොටස්ද තම රැඩිකල් මනෝරාජිකය (Utopia) සහ එම පක්ෂ දෙකේ දිගුකාලීන ව්‍යාපෘති දිගහැරෙන ආකාරය ගැන අපේක්ෂාභංග වෙමින් පවතී. ශේෂ වී ඇති පැරණි වමේ පක්ෂ එක්කෝ පොහොට්ටුව සමඟ සන්ධානගත වෙමින් ඇති අතර එසේත් නැත්නම් එ.ජා.ප. හෝ ශ‍්‍රී.ල.නි.ප. කොටස් සමඟ එක්රැස් වෙමින් තම පැවැත්ම සාධනය කර ගනිමින් සිටී. ද්‍රවිඩ ජනයා සඳහා ද අධිපති දෙමළ දේශපාලනය හැර රැඩිකල් බුද්ධිමය – අනාගතවාදී දේශපාලන අවකාශයක් නැත. නිර්මාණශීලී අවකාශයක් නැත. කුමන තත්ත්වයක් යටතේ වුවද ගොඩනගන ‘විකල්පීය අවකාශය’ ජාතිවාදී අනන්‍යතා දේශපාලනය වෙත ඇදවැටීමේ අනතුරින් (නැවත අධිපති) අප එය බේරාගත යුතුය.

නූතනත්වයේ ‘මනෝරාජිකය’ (Utopia) වෙනුවට ෆුකෝ යෝජනා කළ ‘විෂමස්ථානය’ (Heterotopia) පශ්චාත් නූතන අනන්‍යතා දේශපාලනයකින් අවසන් වීමට අපි ඉඩ තැබිය යුතු නැත. X කණ්ඩායම ගොඩනැගීමේදී මෙම අපගමනය පිළිබඳ සිතා සිටි දීප්ති සහෝදරයා එම සංවිධානය තුළට අනන්‍යතා දේශපාලන පොත්පත් හඳුන්වා දෙනවා වෙනුවට කළේ නූතනත්වය තුළම විශ්වීය අරගලයක රූපකය සහිත ජිජැක්ගේ පොත්පත් හඳුන්වා දීමය. ඔහු කළ වඩාත්ම නිර්මාණාත්මක කාර්යය වූවේ සංස්කෘතික අන්තර්ගතය රැඩිකල් ලෙස දේශපාලනිකකරණය කිරීමයි. ග‍්‍රාමීය පදනමක් සහිත තරුණ පිරිස් සංස්කෘතියට ආශක්ත වන විටම ඔවුන්ට ඒ සඳහා නූතන දේශපාලන දැනුමක් ද දීමට ඔහුට අවශ්‍ය විය. නව පරස්පරතා වටහා දීමට ඔහුට වුවමනා විය. ෆුකෝ කියවමින් සිටි ඔහුට පසක් වූවේ මෙම ‘අනේකත්වයේ අවකාශය’ (Other’s Space) අධිපති අවකාශයෙන් ඛණ්ඩනය වන අතරේම (සංඥා ඛණ්ඩනය) එය ජාතිකවාදයට නොවැටීමට වගබලා ගත යුතු වීමයි. අධිපති අවකාශයේ විපරිත බව (ලංකාදීප) මෙන්ම එයට විකල්ප අවකාශයන්හි ජාතිවාදී විපරිත බව (ෆුකෝගේ වචනය) අතරින් දීප්ති විසින් Id නිර්මාණය කිරීම මෙයට හොඳම මෑත උදාහරණයයි.

ලෙෆ්බව්ගේ (Henry Lefebvre) වචනය පාවිච්චි කරන්නේ නම් දාර්ශනිකයාගේ අවකාශය සහ සාමාන්‍ය පුද්ගල අවකාශය අතර න්‍යායික පාලම සකස් කිරීම දීප්ති විසින් මාතොට ලන්ඩන්, මතු නොව Id දක්වාම කරගෙන එමින් පවතී. ලංකාදීපයට හෝ දිවයිනට කළ නොහැකි වූ එම ප‍්‍රමුඛ කාර්යය ලාංකික අවකාශයක සිදු කළ පළමුවැන්නා දීප්තිය. ඔහු කළේ අධිපති අවකාශය වෙනුවට ‘විකල්ප විවෘත අවකාශයක්’ (එඞ්වඞ් සෝජාගේ වචනය) අධිපති භූමි සීමාවෙන් ඔබ්බෙහි නිර්මාණය කිරීමය. එම අවකාශය තව තවත් විවෘත විය යුතු අතර සංවාදයට භාජනය කළ යුතුය. එවිට ඉස්මතු වනු ඇත්තේ නව ප‍්‍රපංචයීය භූගෝලමිතියකි. නව සවිඥානික අවකාශයකි.

වැඩිදුර කියවන්න

(1) මිෂෙල් ෆුකෝගේ The Order of Things:  An Archaeology of the Human Sciences.

(2) හෙන්රි ලෙෆ්බව්ගේ The Production of Space.

(3) එඩ්වඩ් සෝජාගේ Thirdspace: Journeys to Los Angeles and Other real – and – imagined Places. 

ඔබේ අදහස කියන්න...