විජේවීර වාදීන් යනු සැබෑ යථාර්ථය නොසලකමින් සමාජයේ පවතින ආතතිගත තත්වයෙන් මිදීමට එයට වගකිවයුතු බාහිර සතුරන් නිර්මාණය කරන්නන්ය.එමෙන්ම සමාජයේ ආතතිගත තත්ත්වයට තමන් කිසිසේත්ම වගකිවයුතු බව විශ්වාස නොකරයි.
අද පවතින සමාජ ආර්ථික අර්බුදයට ද විජේවීර වාදීන් ගේ කිසිදු වගකීමක් නැති අතර වගකිවයුත්තේ 74 වසරක් පුරා බලයේ සිටි දේශපාලන පක්ශ සහ එහි නායකයන් පමනක් බව ඔවුන්ගේ ගල් ගැසුනු අදහසයි.

*සමාජ සමස්තය පිලිබද අදහස.


ඔවුන් සමාජය කියවා ගන්නේ අනන්‍යතා චින්තනයට අනුවය, ඔවුන්ට අනුව ‘ගල් ගැසුනු බාහිර වාස්තවික අනන්‍යතාවයන් ඇති අතර මෙම අනන්‍යතා එකතු වීමෙන් සමස්ත සමාජය නිර්මාණය වේ. සමාජය සෑම විටම චලනය වන්නේ ප්‍රතිවිරෝධතා තුලින් ඇති වන ගැටුම තුලින්’ බවයි ඔවුන්ගේ පිලිගැනීම. හේගලියානු දර්ශනයේ පෙන්වාදෙන පසමිතුරුතා තුලින් මතුවන දයලෙක්තික සමාජ චලනය සහ සංවර්ධනය සිදුවනුයේ නිශේදනයේ නිශේදනය (Negation of negation ) යන්න මත බව ඔවුන්ට ආගන්තුකය.


මේ අනුව ඔවුන් මෙම අර්බුදය විග්‍රහ කරන්නේද ඉතා සරල මතිකවය. අර්බුදයක් ඇත, එයට වගකිවයුතු දේශපාලන අධිකාරයක්, ඔවුන්ට සම්බන්ද ගජ මිතුරු කල්ලියක් ලෙස බාහිර සතුරෙක් ඇත. මෙම සතුරා නිසා ‘මහජනයා’ නැමති පීඩිත මිතුරා අගතියට පත්ව ඇත. ඔවුන්ගේ දේශපාලන මැදිහත්වීම සියල්ලටම පදනම් කරගන්නේ මෙවැනි ප්‍රතිවිරෝධතා ( contradictions ) මත ගොඩනගන සතුරු-මිතුරු බයිනරි දේශපාලන ආකෘතියයි ( මෙය යල් පැන ගිය ෆැන්ටාස්මතික දේශපාලන ආකෘතියකි.) මෙහිදී විජේවීර වාදීන්ට සැබෑ සමාජ දේශපාලන යථාර්ථය (real) සෑම විටම මගහැරී යයි.

*කතිකාව සහ දේශපාලන ෆැන්ටසි-
විජේවීරවාදීන්ට ඉහත සදහන් කල දේශපාලන ආකෘතිය තුල ක්‍රියාත්මක වීම සදහා දේශපාලන ෆැන්ටසි සහ විවිධ කතිකා ගොඩ නැගිය යුතුය.

1. කතිකාව යනු කිසියම් ස්වාමි හැගවුම් කාරකයක් කේන්ද්‍ර කරගනිමින් යමක් සම්බන්ධයෙන් පරිකල්පනිය ආඛ්‍යානයක් ගොඩ නැගීමයි.
උදාහරණයක් ලෙස ලංකාවේ ජාතික වාදය (ජාතිවාදය) සම්බන්ධයෙන් කතිකාවක් තිබූ අතර මෙම කතිකාවේ කේන්ද්‍රය මුලින්ම නලින්ද සිල්වා විසින් ද,පසුව විමල් වීරවංශ ප්‍රමුක ජේවීපී විසින්ද, පසුව රාජපක්ෂලා විසින් ද මෙහෙයවන ලදි. කතිකාවේ කේන්ද්‍රය නිශ්චිත නොවන අතර සෑම විටම මෙම කේන්ද්‍රය ආපතිකව වෙනස් වීමට නියමිතය.
2. පොලිටිකල් ෆැන්ටසි යනු සමාජ සිද්ධීන් සම්බන්ධයෙන් අප තුල ඇතිවන අඩුව (Lack) සම්පූර්ණ කිරීමට අප විසින් ගොඩනගන ප්‍රබන්දමය ආඛ්‍යානයයි. මෙම ප්‍රබන්දය අදාල දේශපාලන පක්ශයේ හෝ පුද්ගලයාගේ අශාව (Desire ) මත ගොඩ නැගේ.
ලාංකීක සමාජ අර්බුදය නැමති යථාර්ථයට අදාලව ජෙවීපී ය විසින් දේශපාලන ෆැන්ටසි ගොඩනගන්නේ කෙසේද යන්න විමසා බලමු.
පවතින සමාජ ආර්ථික අර්බුදය නැමති කරුනුමය යථ පදනම්ව ගොඩ නගන පොලිටිකල් ෆැන්ටසිය වන්නේ මෙම අර්බුදය ඇති කර ඇත්තේ තමා ඇතුලත් නොවන, තමන් වග නොකියන, 74 වසරක බලයේ සිටි පාලකයන් නැමති බාහිර සතුරා බවයි. මේ මොහොතේ එම නිශ්චිත සතුරා යනු රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහය.
මෙම පොලිටිකල් ෆැන්ටසිය මත,ආර්ථික අර්බුදය විසදීම වෙනුවෙන් ජේවීපී යට ඇත්තේ ජාතිකත්වය මත පදනම් වූ ජාතික ආර්ථිකය නැමති ජනප්‍රියවාදි දේශපාලන කතිකාවක් පමණි.
මෙවැනි පොලිටිකල් ෆැන්ටසියක් මත ගොඩනගන දේශපාලන කතිකාවකට සමාජ ආකර්ශනයක් ලබාගත හැකි වුවත් අපගේ සැබෑ ගැටලුව වූ සමාජ ආර්ථික අර්බුදයට කිසිදු විසදුමක් ලැබෙන්නේ නැත.
එහෙත් අර්බුදයෙන් පලායාම තුලින් සහ සියලු දෙනාගේ වරද බාහිර සතුරෙකු මත පැටවීමෙන් සියලු දෙනාට විශාල අස්වැසිල්ලක් ලැබී වරදකාරීත්වයෙන් මිදීමට හැකිය. මෙය බල ව්‍යාපෘතියක් සදහා තාවකාලිකව යොදා ගැනීමටද හැකියාව ඇත. මේ මොහොතේ ඔවුන් කරමින් සිටින්නේ එයයි.

*ආර්ථික අර්බුදය සහ සයිකොටික දේශපාලනය .

සමාජ ජීවිතය කඩා වැටී ආර්ථිකය බංකොලොත් වීම යන්න කරුනුමය සත්‍යයකි. නමුත් මෙය විසදීම සම්බන්ධයෙන් විවිධ දේශපාලන කණ්ඩායම් සතුව පවතින්නේ යථාර්ථවාදී විසදුම් නොව පොලිටිකල් ෆැන්ටසි තුලින් ගොඩනගා ගත් පරිකල්පිත විවිධ ආඛ්‍යානයන් පමණක් බව අප කතා කලෙමු.
විජේවීර වාදීන් ඇතුලු බොහෝ දේශපාලන කණ්ඩායම් මෙය දකින්නේ සමාජයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නොකර අදාල අන්තර් ගතයන් වල සංයුතිය වෙනස් කිරීමෙන් මෙම අර්බුදයන් සමනය කල හැකි බවයි. තමන් බලයට පැමිනි පසු දූශන, හොරකම් නතර කර සුදුස්සන් සුදුසු තැන් වලට පත් කිරීමෙන් සමාජ ආර්ථික අර්බුදය විසදෙන බවය.
එහෙත් ලංකාවේ ඇති සැබෑ ආර්ථික අර්බුදය ඇතිවී ඇත්තේ අසංවිදිත, අවිධිමත් කුඩා ආර්ථික ආකෘතියක් පැවතීමයි. මෙම කුඩා ජාතික ආර්ථික ආකෘතිය තුල දූශන, වංචා වැලැක්වීම සහ කුසලතා ප්‍රමුකත්වය වැනි කාරනා වෙනස් කිරීමෙන් පමනක් අර්බුදයෙන් මිදිය නොහැකිය.
සමාජ ආර්ථික අර්බුදය තුල සැබෑ කරුනුමය සත්‍යයන් මග හැර ගොඩනගන ෆැන්ටාස්මතික අදහස් වලට සයිකොටික දේශපාලන කණ්ඩායම් සහ සයිකොටික පුදගලයන් ආශක්ත වේ.( psychotic යනු පවතින සංකේත යථාර්ථයන් පිලිනොගෙන පාරභෞතිකයන් විශ්වාස කරන මානසික ව්‍යුහයයි).
මේ වන විට විපක්ශ දේශපාලන කණ්ඩායම් සියල්ලම, ඊනියා වම්මුන් සහ බුද්දිමතුන් යැයි සිතා සිටිනා බොහෝ දෙනෙකුගේම මානසික ආස්ථානය සයිකොටික බව පෙනී යයි.


*අපි රනිල්ගේ ගෝලයන් යැයි කියන්නේ ඇයි?
ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අපගේ දේශපාලන මැදිහත් වීම යනු ෆැන්ටාස්මතික ව්‍යාජ විකල්ප යෝජනා කිරීම නොවේ. අප පෙනී සිටින්නේ ආර්ථික අර්බුදයට අදාලව සංකේත ලෝකය තුල පවත්නා සැබෑ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙනි.ඒ ආර්ථික නිදහස ලබා ගැනීම වෙනුවෙනි, ඊට අමතරව පුද්ගල ආත්මීය නිදහස සහිත සමාජ අවකාශයක් සාක්ශාත් කර ගැනීම අපගේ අනාගත සමාජ නිශ්ඨාවයි.
එබැවින් මෙම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිසංස්කරණ රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ සමග න්‍යායාත්මකව සමානය. රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ ක්‍රියාත්මක කරන්නේද අපගේ දේශපාලන – ආර්ථික ප්‍රතිසංස්කරණයන්ය. එබැවින් අප රනිල්ගේ ගෝලයන් වන්නේ නැත. සංකේතාත්මකව ගත් විට රනිල් ක්‍රියාත්මක කරන්නේ අපගේ ප්‍රතිසංස්කරණයන්ය. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් අපගේ ආර්ථික දැක්ම හා සමපාත වී ඇත. ”සම්බිමේ” අප දේශපාලන කුහකයන් නොවන බැවින් එය සලකන්නේ යහපත් තත්ත්වයක් ලෙසය.
රනිල් සහ අප ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ සංකේත ලෝකය තුල පවත්නා යථාර්ථවාදී ප්‍රතිසංස්කරණ ඇතුලත් විසදුම් බැවින් අපගේ විනෝදය ඒ හරහා ඔවුන්ට දැකිය නොහැකිය. එබැවින් සියලු සතුරන්ට වඩා භයානක සතුරා ලෙස සලකන්නේ රනිල් වික්‍රමසිංහ වන අතර අපව සලකන්නේ ඔහුගේ ගෝලයන් ලෙසය.

* සැබෑ දේශපාලන භූමිකාව යනු කුමක්ද?
පශ්චාත් ධනවාදී සමාජයක සෑම අනන්‍යතා ව්‍යාපාරයක්ම මෙම ක්‍රමයට අවශෝෂණය කරගන්නා බැවින් හුදු විකල්ප සහ විරෝධයන්ගෙන් කිසිදු සමාජ වෙනසක් කල නොහැකිය. එබැවින් අප ෆැන්ටාස්මතික විකල්ප යෝජනා ඉදිරිපත් නොකරන අතර සමාජ විකාශනය තුල සිදුකල හැකි දයලෙක්තික චලනයන් ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටිමු. (ප්‍රතිවිරෝධතා වෙනුවට පරස්පරතා)
මේ මොහොතේ අපගේ දේශපාලන ස්ථාවරය වන්නේ 60% වන පීඩිත කොටස් වෙනුවෙන් යම් ආර්ථික නිදහසක් ලබා ගත හැකිවන්නේත් මධ්‍යම පාන්තිකයන්ගේ පරිභෝජනවාදී ජීවන රටාව ආරක්ෂා කලහැකි වන්නේත් IMF සමග සම්බන්ධවී ආර්ථික ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමෙන් පමනක් බවයි. එබැවින් එම ක්‍රියාදාමය වෙනුවෙන් පෙනී සිටින සහ ඒ සදහා බලය ලැබී ඇති ඕනෑම කණ්ඩායමක් අප සලකන්නේ ප්‍රගතිශීලීන් හැටියටය. එම ආර්ථික මැදිහත් වීම සහ ප්‍රතිසංස්කරණ මේ මොහොතේ කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ බැවින් අප එය සලකන්නේ ජනතාවාදී එලඹුමක් ලෙසය. එහිදී අප පෙනී සිටින්නේ එම සංකේතීය වැඩ පිලිවෙල වෙනුවෙන් මිස අනෙකාගේ (පරිකල්පිත ජනතාවගේ ) විනෝදය රගදැක්වීම වෙනුවෙන් නොවේ.
අපට අනුව ජේවීපී නමින් පරමාදර්ශී අනන්‍යතාවයක් නැති අතර රනිල් නැමති ප්‍රතිගාමී සතුරු අනන්‍යතාවයක් ද නැත.

අප කටයුතු කරන්නේ පවත්නා සංකේත යථාර්ථයට (symbolic reality) අනුගත වෙමින් සහ සැබෑ යථාර්ථයේ (real-යථ) පවතින නිශේදනයද පිලිගනිමින් ය.

*චැප්ලින්ගේ City light තුලින් විජේවීර වාදය කියවමු.


ජේවීපීය සහ විජේවීර වාදය පිලිබද ඉහත ඉදිරිපත් කරන ලද න්‍යායික අදහස චාලි චැප්ලින් ගේ චිත්‍රපටයක් ආශ්‍රයෙන් සරලව වටහා ගැනීමට බලමු.

මෙම චිත්‍රපටයේ අන්ධ සුරූපී මල් විකුනන තරුනියක ගෙන් මල් ගැනීමට යන පාදඩයෙක් වූ චැප්ලින්ව සුරූපී තරුනිය හදුනාගන්නේ කෝටි පතියෙක් ලෙසය. මෙය ක්ෂනිකව (with Gaze point) වටහා ගන්නා චැප්ලින් සුරූපී තරුනිය ලබා ගැනීමේ අශාව නිසා (Desire ) එම බොරුව විවිද උපක්‍රමයන් යොදමින් නඩත්තු කරයි. එම සුරූපී තරුනිය ගේ ආශාව වනුයේද කෝටි පති තරුනයෙක් හා විවාහ වීමයි. එම සුරූපී තරුනියගේ දෑස් පෙනීම ලබා දීම වෙනුවෙන් ද චැප්ලින් කැපවේ. දෑස් පෙනීමෙන් පසු එම තරුනිය තමා කෝටි පතියෙක් නොව පාදඩයකු බව දැන ගන්නා බව දැන දැනත් පාදඩයා ලෙසම ඇය හමුවට යන්නේ ඔහු තුල ඇති ආචාරධාර්මිකත්වය නිසාය. අවසානයේ ඇය චැප්ලින්ව ඒ ආකාරයෙන්ම පිලිගන්නා බව චිත්‍රපටය අපට ඉගි කරයි.
විජේවීරවාදීන් ද මේ සමාජ ආර්ථික අර්බුදය විසදීමේ අව්‍යාජ අශාවක ජීවත් වනවා විය හැකිය. ඒ සදහා බලය ලබා ගත යුතුය. ඒ සදහා ඇති බාධා ජය ගැනීම පොදුවේ ඔවුන්ද මුහුණ දෙන අභියෝගයයි. එහිදී චැප්ලින් මෙන් විජේවීර වාදීන් ද කරන්නේ තමාගේ ආශාවට ලගා වීම වෙනුවෙන් එම ප්‍රෝඩාකාරී භූමිකාව දිගින් දිගටම නඩත්තු කිරීමයි. විජේවීර වාදීන්ගේ ක්‍රියාමාර්ග හරහා ඔවුන්ගේ නිරුවත සහ වංචනික බව ජනතාව හමුවේ වරින්වර හෙලි වුවද විජේවීර වාදීන් චැප්ලින් දෑස් පේනීමෙන් පසුවත් ස්ත්‍රිය අභිමුක වූවාක් මෙන් ආචාරධාර්මිකව ජනතාවට අභිමුක වන්නේ නැත. ජේවීපීය චිත්‍රපටයේ කෝටිපතියාගේ භූමිකාව වංචනිකව දිගින් දිගටම රගපාමින් සිටියි. එබැවින් ජනතාවට (චිත්‍රපටයේ සුරූපී තරුනිය ට මෙන්) විජේවීර වාදීන්ගේ සැබෑ අනන්‍යතාවය හදුනා ගැනීමට නොහැකි වී ඇත. එබැවින් වසර පනහක් ගතවුවද ජනතාවට විජේවීර වාදයේ නිරුවත හදුනා ගත නොහැකි වී ඇත. එබැවින් විවිධ වෙස් මාරුකර ගැනීම් කරමින් ජනතාව තවදුරටත් මුලා කිරීමට ඔවුන්ට හැකි වී ඇත . එහෙත් ඔවුන්ගේ හිස් බව සහ වංචනිකත්වය ජනතාවට අභිමුක වීම සදාකාලිකව නවතාලිය නොහැකිය. සත්‍ය වශයෙන්ම එය කාලය පිලිබද ගැටලුවක් පමනක් බව සහතිකය.
මෙවන් පසුබිමක විජේවීර වාදීන් බලය ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියා කරන ආකාරයත් පශ්චාත් නූතන සමාජයක විවිධ ආකෘතික ව්‍යුහයන් වල ගතිකත්වය සිදුවන්නේ කෙසේද යන්නත් න්‍යායිකව විමසා බලමු .

 

*පශ්චාත් නූතන සමාජයක බලය හැසිරෙන්නේ කෙසේද ?


මාක්ස් එංගල්ස් මෙන්ම ලෙනින් ද අධෝව්‍යුහය සහ උපරි ව්‍යුහය ඕනෑම සමාජ සැකැස්මක මූලික ව්‍යුහාත්මක අංග ලෙස හදුනා ගන්නා ලදි. සම්භාව්‍ය ධනවාදී සමාජයක මෙම ව්‍යුහයන් දෙක අතර නෛසර්ගික සබදතාවක් සෑම විටම පවතින බව ඉදිරිපත් කරන ලදි. ඒ අනුව සමාජ උපරි ව්‍යුහය තුල ක්‍රියාත්මක වන කලාව,සංස්කෘතිය, සියලු දෘෂ්ටිවාදයන් තීරනය වූයේ අදාල පංති ස්වාභාවය අනුවය. එබැවින් මාක්ස් සහ ලෙනින්ට අනුව සමාජ ගතිකයන් තුල අධෝව්‍යුහය සහ උපරි ව්‍යුහය එකිනෙක මත සෑම විටම පරායත්ත සම්බන්ධතාවක් පෙන් විය. සරලව පවසන්නේ නම් ධනපතියන්ට අදාල වෙනම චින්තනයක් සහ නිර්ධනීන්ට අදාල වෙනම චින්තනයක් පවතින අතර මෙම චින්තනයන් ඒ ඒ පන්තීන්ට නෛසර්ගිකය.
මෙම තත්ත්වයට විකල්ප අදහසක් ඉදිරිපත් කරන ලද්දේ මාක්ස්වාදී ගුරුකුලයේ දාර්ශනිකයෙක් ලෙස සැලකෙන ඉතාලි ජාතික අන්තෝනියෝ ග්‍රාම්ස්ච් විසිනි. ඔහු ප්‍රකාශ කරන ලද්දේ අධෝව්‍යුහයන් සහ උපරි ව්‍යුහයන් අතර පංති පදනම මත ඇතිවූ සහසම්බන්ධතාවයක් තිබුනද මෙම ව්‍යුහයන් අතර ස්වායත්ත තාවයක් පවතින බවයි.විශේෂයෙන්ම දේශපාලන බලය යන කාරනයේදී සමාජ උපරි ව්‍යුහයේ ස්වායත්ත තාවය අහෝසි වී ස්වාධීනව හැසිරෙන බවයි.
උදාහරණයක් ලෙස දෙමළා නැමති සතුරා පරාජය කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ නැමති මාස්ටර් හැගවුම් කාරකය වටා ජේවීපීයද, චම්පික රණවකද, හාමුදුරු වරුද, ධම්මික පෙරේරා ද, එකට එකතු වී කටයුතු කරයි. මෙම එකතු වීම සිදුවන්නේ උපරි ව්‍යුහයේ ඇති වන සමපාත වීම නිසා වන අතර අධෝව්‍යුහයෙන් ස්වායත්ත වේ. මෙම විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් වල ආකෘති සහ අන්තර්ගතයන් වෙනස් වුවද සම්බන්ධ වන සමස්ත අරමුණ සමග එම අකෘති සහ අන්තර්ගතයන් සමපාත වේ.
උදාහරණ ලෙස ජේවීපී සතු මාඞ් වාදී ලක්ශන, නලින්ද සිල්වා ගේ සිංහල ජාතික වාදය, ධම්මික පෙරේරා බලාපොරොත්තු වන ප්‍රාග්ධනයේ ව්‍යාප්තකරනය යන අන්තර් ගතයන්ට දෙමළා පරාජය කිරීම යන අරමුණු සමග සෘජු සම්බන්ධයක් පෙන්විය හැකිය.
මෙම ග්‍රම්ස්චි ඉදිරිපත් කල අධෝව්‍යුහය සහ උපරි ව්‍යුහයේ ස්වායත්ත සම්බන්ධයට වෙනස් අදහසක් ඉදිරිපත් කරන ලද්දේ අර්නස්ටෝ ලැක්ලෝ ය.
ඔහු ඉදිරිපත් කරන ලද්දේ නිශ්චිත මාස්ටර් හැගවුම් කාරකයක් වටා කිසියම් සමාජ ගතිකයක් ක්‍රියාත්මක වීමේදී මෙම අධෝව්‍යුහය සහ උපරි ව්‍යුහය සම්පූර්නයෙන්ම ස්වායත්ත වන අතර මෙම උපරි ව්‍යුහයේ අකෘතිය පමනක් අවශ්‍ය වන අතර එහි අන්තර් ගතය කිසිසේත්ම අදාල නොවන බවයි.
මෙම න්‍යායික අදහස ලංකාවේ පවතින දේශපාලනයට සම්බන්ධ උදාහරණයකින් තේරුම් ගැනීමට බලමු.
මේ මොහොතේ රාජ්‍ය බලය ලබා ගැනීම කියන කාරනය සම්බන්ධයෙන් ජේවීපී ය ක්‍රියා කරන්නේ මෙම අකෘතියට අනුවය. ඔවුන් ඒ වෙනුවෙන් සෑම කොටසක්ම එකතු කරගන්නා අතර එහිදී ඔවුන්ට වැදගත් වන්නේ අදාල ව්‍යුහය පමනක් වන අතර එහි අන්තර් ගතය කිසිසේත්ම වැදගත් නැත. මේ වන විට ඔවුන්ගේ වේදිකාවට ඕනෑම කෙනෙකුට නැගිය හැකිය. කලින් පොහොට්ටු වේ ප්‍රබල සාමාජිකයෙක්ව සිටි අයෙකුට වුවද කිසිදු වෙනස් වීමකින් තොරව එකතු විය හැකිය, සම ලිංගිකත්වය රෝගයක් ලෙස පිලිකෙව් කල ඉතිහාසයක් ජේවීපීය සතුව තිබුනද කිසිදු පාපොච්චාරණයකින් තොරව භූමි හරේන්ද්‍රන්ටත් ජේවීපී වේදිකාවේ ඉඩ විවරවේ. ධම්මික පෙරේරා ජේවීපී වේදිකාවට නැගීමට සූදානම් වේ නම් ඔහුටත් එම වේදිකාව විවෘතය. මෙහිදී තමන්ගේ බලය ලබා ගැනීමේ ආශාව වෙනුවෙන් ඕනෑම අකෘතියක කොටස් එකතු කරගන්නා අතර අදාල අකෘතියේ අන්තර් ගතය කිසිසේත්ම කාටවත් වැදගත් නොවේ.
මෙවැනි සුවිශේෂී සමාජ වටපිටාවක තීරනාත්මක බල ව්‍යපෘතියක යෙදී සිටන ජේවීපී ය දේශපාලන කණ්ඩායම් සහ පුද්ගලයන් වර්ගීකරණය කරන්නේ සතුරා සහ මිතුරා යන බයිනරිට අනුවය. එබැවින් ඔවුන්ගේ වේදිකාවට ගොඩ වන සියල්ලන් ප්‍රගතිශීලී මිතුරන් වන අතර අනෙකුන් ප්‍රතිගාමී සතුරන් වේ.
අර්නස්ටෝ ලැක්ලෝ විසින් ඉදිරිපත් කරන ලද මෙම සිද්ධාන්තයට අනුව බල ව්‍යාපෘතියක් වෙනුවෙන් ඕනෑම ආකෘතියක් කිසිදු අන්තර් ගතයක් නැතිව අන්තර් ගත කරගත හැකි බැවින් අනාගත බල කේන්ද්‍රයන් හෙජමොනිකව තීරනය වීමට නියමිතය.
අද දවසේ ලාංකාව තුල විජේවීර වාදී දේශපාලන කණ්ඩායම් තමන්ගේ බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආකාරය දෙස බැලීමෙන් මෙම දේශපාලන න්‍යායික අදහස ඉතා පහසුවෙන් හදුනාගත හැකි වනු ඇත.

Chandana Ranasinghe.

ඔබේ අදහස කියන්න...