Antichrist ~Lars Von Trier

-වේදනාවෙන් සතුටුවීම.

 චලනය වන රූප පෙළක් ‘වචනයට’ පෙරළීම චිත්‍රපටයක් කියවීමේදී – flat reality- විශේෂ වේ. චිත්‍රපටයක් වචනයට නොහොත් සංකල්පයට පරිවර්තනයේදී මෙලෝ ඩ්‍රාමා (Melodrama) නම් ශානරය වැදගත් වේ. මෙම යුගයේදී චිත්‍රපට කලාව කියවීමේදී එය පවුලේ කතාවක් යන ආකෘතිය තුළින් එයට ප්‍රවේශ වීම ඉතා වැදගත් වේ. හේතුව වන්නේ එමගින් චිත්‍රපටය කියවීමට දාර්ශනික ප්‍රවේශයක් සැපයීම වේ. චිත්‍රපට වර්ගීකරණයේ දී අපට ඕනෑම චිත්‍රපටයක් (Melodrama) ”පවුලේ කතාවක්” යන ආකෘතියට පෙරළිය හැකිවේ. ධනවාදය වර්ධනයත් සමග තවදුරටත් චිත්‍රපටයක් රසවිදීම එනම් සෞන්දර්ය ජනනය වැදගත් කරුණක් නොවේ. එනම් තවදුරටත් ඉන්ද්‍රිය සංජානනයක් ලෙසට කලා කෘතියක් නරඹන්නාට සමීප වන්නේ නෑ. එවන් ඉන්ද්‍රිය ගෝචර කලාවක් තිබූ යුගය අද වනවිට අවසන් වී ඇත. මෙම යුගයේදී කිසියම් කලා කෘතියක් බුද්ධිමය ලෙසට වටහා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැත. මේ සදහා Von trier ගේ චිත්‍රපට නිර්මාණ කදිම නිදසුනක් වේ. ඔහුගේ චිත්‍රපට කිසිදු ලෙසකින් නරඹන්නාට ඉන්ද්‍රිය සංජානන ලෝකයකට ගෙන යන්නේ නැත.

ධනවාදය හේතුවෙන් සමාජ සබදතා දුර්වල වූ ලොවක අප වඩ වඩා පවුල් ජීවිතය සමෘද්ධිමත් කර ගැනීමට යොමුව තිබේ. පවුලක් ගොඩ නැගීම මුල් කරගත් විවාහ උත්සවය පවා නෑදෑ හිත මිතුරන් අතර හෝ සබදතා තහවුරු නොවන තත්වයට පත්ව තිබේ. විවාහ උත්සවයට සහභාගී වන සෑම මේසයකම සිටින පුද්ගලයන් තම තමාගේ smart phone හරහා වෙනත් ලෝකයක සිටින අතර ආහාර පාන ගැනීම, නර්තනය හා මනාල යුවලට මුදල් තිලිණ දීම ආදී ආකෘතියක් තුළට පිවිස එම අවස්ථාවේ කාලය ගෙවා දමයි. ඒ තුළ කිසිදු සමාජ සම්බන්ධතාවයක් ගොඩනැගීමකට ඉඩක් නොමැත. නෑ හිත මිතුරන් අතර සංවාදයක් නොමැත. බොහෝ නෑයන් විවාහ උත්සවයෙන් පසුව කිසිදු දිනක නැවත හමුවීමක් ද සිදු වන්නේ නැත. එම නිසා විවාහ උත්සවයක් පවා සමාජ සබදතා අත් හිටවූ ආකෘතියක් බව‍ට අද වන විට පත්ව තිබේ. ධනවාදය වර්ධනයත් සමග යුරෝපයේ පමණක් නොව ආසියාතික රටවල ද සමාජ සබදතා අර්බුදයට යාමේ පොදු රටාවක් දක්නට ඇත.

මෙය අද දවසේ දේශපාලනයට ද පොදු වූ තත්වයකි. මේ වන විට ජනප්‍රිය දේශපාලන පක්ෂ සමග එක්වන සෑම දෙනෙක්ම කිසියම් gap එකක් තබාගෙන ක්‍රියාකරන අතර රටට වඩා විනෝදය ප්‍රමුඛ වී තිබේ. 2019 දී තම පවුල වෙතට ගොස් වින්දනය උපරිම විදීමට සිතු සිංහල බෞද්ධයා 69 ලක්ෂයක ඡන්ද බලයත් සමගින් ජනපති කෙනෙකු පත් කරන ලදී. මීට පෙර තිබූ දේශපාලන අස්ථාවර බව හා බහුතර බලය නොමැති වීම නිසා උපරිම ඡන්ද ලබා දී ගෝටාභයට රට හැදීමට භාර දී සියළු දෙනා තම පවුල් වෙත ගොස් උපරිම ලෙස  විනෝද වෙන ලදී. බොහෝ පහල මධ්‍යම පාන්තිකයන් ගෝටාභයට ඡන්දය ලබා දුන්නේ ඔහු රට දියුණු කරන බවට විශ්වාසය ලබා දීමටත් වඩා තවත් කරදර නොකර තම තම පවුල් වලට උපරිම වින්දනය ලැබීමට අවකාශය සලසන බවට විශ්වාසයෙනි. නමුත් නොසිතු ලෙස කොවිඩ් වසංගතය පැමිණ එම සිහිනය බිද වැටී ජනයා එක් වී පාලකයා බලයෙන් නෙරපීය. එය රට වෙනුවෙන් නොව තම විනෝදය වෙනුවෙන් ගත් පියවරකි. එවන් දේශපාලන පක්ෂ සමග gap එකක් තබා සිටි ජනයා අද දවසේ NPPය සමග එකතු වී ධනවාදය මගින් පොරොන්දු වන උපරිම වින්දනය අනුර කුමාර හරහා අත් විදීමට සිහින දකිමින් සිටිති. Vontrierගේ චිත්‍රපට හරහා ජනයාගේ මෙම විනෝදය නවතම ආකෘතියකින් කියවා ගැනීමට අපට මග පෙන්වනු ලැබේ.

Vontrierගේ චිත්‍රපටවල වැඩි වැඩියෙන් විස්තර කරන්නේ (violennce) හිංසනයයි. ඔහු නිරුපණය කරන පවුල් ජීවිතයේ ගැහැණු පිරිමි සම්බන්ධතා තුළ ආදරය sadomasochism ලෙස පෙන්වනවා. එය මීට පෙර සිටි කලාකරුවන්ගේ නිර්මාණවලට වඩා සුවිශේෂී වන්නේ කෙලෙසක දැයි විමසා බලමු. බර්ටල් බ්‍රෙෂ්ටිගේ නිර්මාණ ගත්තොත් එම නිර්මාණවල චරිත තමන්ගේ භූමිකාවලට එනම් තම දුෂ්ටිවාදවලට අතිශය තදාත්මික බවත් නිරූපණය වනවා. මෙන්න මේ දුෂ්ටිවාදයන්ගෙන් ගලවාලිමට ගන්නා උත්සාහය තමයි බ්‍රෙෂ්ට්ගේ නිර්මාණ තුළ කැපී පෙනෙන්නේ.  ධර්මසේන පතිරාජගේ සොලදාදු උන්නැහේ ගත්තත් එහි ප්‍රධාන චරිතත් මේ ආකෘතියමයි නිරූපණය කරන්නේ. නමුත් Vontrierගේ නිර්මාණ මීට වඩා සුවිශේෂී වනවා. Vontrierගේ සන්දර්භය තුළින් පෙන්වන්නේ අප අද ජීවත් වන සමකාලීන ජීවිතයේදී මිනිස්සු තමන්ගේ දෘෂ්ටිවාද වලට නැතහොත් චරිත භූමිකාවලට බැදී සිටින්නේ අවංකවම බවයි.  මෙන්න මේ සත්‍ය ප්‍රේක්ෂක අපට සමීප කිරීමේදී Vontrier විසින් චිත්‍රපටවල අත්දැකීම කියන කොටස අතිශයින්ම real තැනකට ගෙන එනවා. යම් හිංසනකාරී බවක් තිරය වෙත ගෙන එමින් එය අතිශය කුරිරු තැනකට නොහොත් කෙළවරටම රැගෙන යනවා.

Vontrierගේ නිර්මාණ හරහා පවසන්නේ Denmark නම් රටේ සියළු සැප පහසුකම් ධනවාදය මගින් ලබා දුන්නද මිනිසෙකු වන්න නම් මිනීමරුවෙකු විය යුතු බවයි. නමුත් මූලික මිනිස් අවශ්‍යතාවන් සපුරා ගත නොහැකි ලංකාව වැනි රටක මිනිසෙකුට මෙය ප්‍රහේලිකාවක්. නමුත් අප ධනවාදය මගින් ලබා දෙන පොඩි නිදහස පවා උතුම් කොට සලකනවා. නමුත් දියුණු රටක ”මිනිසෙකු”- being a human – වීම යනු ඉතා අපහසු දෙයක්. අප රට වැනි ඌන සංවර්ධිත රටක පුද්ගලයෙකුට What is Human? යන ගැටලුව පැන නගින්නේ නෑ. මේ ඒකාකාරී ජිවන රටාව තුළ දුවනවා හැරෙන්නට හිතන්නටවත් අපට වෙලාවක් නැත. අප රටේ පුද්ගලයෙකුට ජීවිතය යනු එකම දේ කරමින් ජිවිත කාලයෙන් භාගයක්ම ගෙවා දැමීම වේ. සියළු කරදර බාධක වලින් මිදී බණ භාවනා කරමින් රැවටීම් වලට ලක් නොවී ඉතා සාර්ථක මිනිසෙකු වීමේ ප්‍රබන්ධයක සිහින දැකීම ලාංකිකයාගේ අරමුණ වේ.

නමුත් යුරෝපයේ දී මිනිසෙකු යනු  තම ආශාව හදුනා ගැනීමට උත්සහ දරන එහිදී ගැටුම්, කරදර හා අනතුරු වලට මුහුණ දෙන පුද්ගලයෙකු වේ. එම රටවල මිනිසුන්ගේ ආශාව යනු බලවත් කොටසක් වන අතර අපගේ එය දුර්වල කොටසකි. එම නිසා එම රටවල නිර්මාණ වලට බලවත් වස්තු විෂයක් ප්‍රමුඛ වී ඇත. නමුත් අපට බලවත් වස්තු විෂයක් නොමැති අතර නිර්මාණයන්හි    රගපෑමට නළු නිළියන් ද සොයා ගැනීම ඉතා අපහසු දෙයකි.

Lust.

Lars Von trierගේ ප්‍රධාන චිත්‍රපටයක් වන Antichrist චිත්‍රපටය ඉතා වැදගත් කලා කෘතියක්. එම කෘතියේ පූර්විකාව කොටසේ උද්වේගකර ලිංගික දර්ශනයක් තිරය මත දිග හැරෙන අතරේ එම යුවලගේ එකම සිගිති දරුවා අනතුරකට ලක් වී මිය යනවා. මෙන්න මේ පූර්විකාව (Prologue) මූලික කොටගෙන මෙම චිත්‍රපටය chapter හතරක් යොදාගෙන නරඹන්නා වෙත අමතනවා.

එම chapter හතර,

1. දුක (Grief)

2. වේදනාව (Pain)

3. බලාපොරොත්තු සුන් වීම (Despair)

4. යාචකයන් තිදෙනා (The three beggars)

ලෙස නම් කර තිබෙනවා.

මෙහි පූර්විකා දර්ශනයේදී මව හා පියා රමණයේදී  දරුවා අනතුර වෙත යන අයුරු ”නොදුටු” බව පෙන්වන නිසා දරුවා අනතුරට පත්වීමත් සමග පළමු පළමු chapter එකේ විස්තර වන දරුවාගේ දෙමාපියන්ගේ වේදනාව සමග නරඹන අපද අනන්‍ය වේ. අපව  ආත්මයක් ලෙසටත්, වස්තුවක් ලෙසටත් සිටිය හැකි බව පෙන්වා දෙන ලද්දේ ලැකාන් විසිනි. ඒ අයුරින් මෙහි පළමු දර්ශනයේදී අප චිත්‍රපටය ආත්මයක් ලෙස කියවන අතර දෙවන අවස්ථාවේදී නරඹන අපද material වී විනෝදයේ ඇලී සිටිනා බව පෙන්වනවා. එනම්, වස්තුවක් ලෙස චිත්‍රපට තිරය නරඹන මා දිහා බලන බව පසක් වනවා.

IT’S A SIN.

චිත්‍රපටයේ පළමු chapter එකේදී දරුවාගේ මව විසින් ස්වයං විභාගයක් මගින් තමාටම හිංසනය පමුණුවා ගන්නේ ඇයිද යන ගැටළුව ප්‍රේක්ෂක අපට ඇති වෙනවා. නමුත් අප ද ඇයගේ වේදනාව සමග අනන්‍ය වෙනවා. නමුත් පූර්විකාවෙන් ලබා නොදුන් දැනුමක් හතරවන chapter තුළින් නරඹන අප වෙත ලබා දෙනවා.

මුල් chapter තුනෙන්ම  අපව යම් බොරුවක ගිල්වා තැබුවත් හතරවන chapter එක මගින් ලබාදෙන දැනුම මගින් නරඹන අප වෙත ද (Guilty) වරදකාරී බවක් ලැබෙන්නේ, පූර්විකාවේ ලිංගික දර්ශනයෙන් අප ද විනෝදයක් ලැබූ බැවිනි.

මෙහි මව (Her) දරුවා අනතුරට පත් වන අයුරු දුටු බවත් තම විනෝදය වෙනුවෙන් එය නොදුටු සේ සිටි බවත් යන පාපොච්ඡාරණය එනම්,දැනුම හතරවන පරිච්ඡේදයෙන් ලැබුණු පසු මෙතෙක් ක්‍රියාත්මක හිංසනය ඇයගේ මරණයෙන් කෙළවරකට යාමට නරඹන අපද පොළඹවනවා.

නමුත් නරඹන අපට මුල් පරිච්ඡේද තුන මගින් ඇය තමාටම හිංසනය පමුණුවා ගන්නේ ඇයිද යන ගැටළුව සමග ඇලී සිටියා. එය අධ්‍යක්ෂක වරයා විසින් අපවද මෙම පාපයට සම්බන්ධ කිරීමට ගත් උත්සාහයක් වනවා. මෙන්න මේ කුඩා සිදුවීම තමයි විවාදයට ලක් වූ මෙම සාර්ථක නිර්මාණය පසුපස තිබෙන්නේ. විශාල සංකීර්ණ narrative එකක් නොවේ. එම නිසා මෙය ඉතාම හොද තිර පිටපතක් ලෙස ලෝක සිනමාවේදී සලකනු ලබනවා.

තම සතුට වෙනුවෙන් විනෝද වී අනතුරුව ඇති වූ වරදකාරී බවට විසදුම් සෙවීම මෙම චිත්‍රපටය තුළ material කර තිබෙන්නේ violence මගිනි. පළමු අවස්ථාවේදී නරඹන්නා මෙහි කාන්තා චරිතයත් සමග අනන්‍ය වී දරුවාගේ මරණය ගැන දුක්වන අතරේ හතරවන පරිච්ඡේදයේදී නරඹන්නාට විශාල පහරක් වදින්නේ මව දැන දැනම දරුවා අනතුරේ හෙළු බවත්, ඇයට ලිංගික විනෝදය දරුවාටත්  වඩා වැදගත් වූ බව පෙන්වීම තුළිනි. එවිට screen එක අප වෙතට කඩා පැන අපද  වරදකරුවෙකු බවට පත් කරන්නේ ඇයගේ වේදනාව සමග පළමුව අප ඇලී සිටි බැවිනි. මෙන්න මේ වරදකාරී බව අතිශය කුරිරු අන්දමින් material කිරීම අධ්‍යක්ෂකවරයා ඉතා සාර්ථකව කර තිබෙනවා.

ධනවාදය වර්ධනයත් සමග සමාජ සන්දර්භය තුළ දෙවියන් යනුවෙන්  කෙනෙක් නොමැත. එම නිසා අපි අද දවසේ  විශාල නිදහසක් බුක්ති විදිමින් සිටිමු. දෙවියන් නොමැති ලෝකයක ඔබ කැමති ඕනෑම දෙයක් සිදු කල හැකිය.

‘Anti Christ’ චිත්‍රපටයේ නූතන මධ්‍යම පාන්තික පවුලක සැමියා හා බිරිද නිරූපණය වේ. එම පවුල පාලනය වන්නේ වෙළදපොල තර්කනය මගින් පමණි. එම නිසා  ඔබව පාලනයට කෙනෙක් නොමැති වීම අතර  ඔබට කැමති අයුරින්, කැමති තරමින්   විනෝද විය හැකි බවත් system එක ඔබට පවසනවා. නමුත් ඔබ කැමති විදිහට රස විදින ජිවිතයට යම් ව්‍යවසනයක් නිසා පවුල් අර්බුදයක් පැමිණිය හොත් එයට විසදුම් සෙවිය යුත්තේ ද දෙවියන් වෙත යාමෙන් නොව ඔබම විසින්ම බව චිත්‍රපටය අපට පවසන සත්‍ය වේ. ගැටළුව බාහිරට ප්‍රක්ෂේපණය කළ නොහැකි බවත් ඇති වූ අර්බුදයට වගකිව යුතු ඔබගේ  වගවීම  හිංසාකාරී ලෙස material කිරීම මේ චිත්‍රපටයේ ආකෘතිය වී තිබේ. යථ (real) නොහොත් තිත්ත රසය නරඹන්නාට සමීප කරදීම  තමයි Von trier විසින් සිදු කරනු ලබන්නේ. අප මේ ගත කරන යුගයේ පවතින ”නොනිදහස නිදහසක්” ලෙස දැනෙන්නේ නම් ඇතිවන්නේ මෙවන් තත්වයක් බව Von trier විසින් අපට පසක් කර දෙයි. එහිදී මේ කාලයේ ඇතිවන සමීප සමාජ සම්බන්ධතා යනු සුසංවාදී නොවන ඉතා හිංසාකාරී කොටසක් අප වෙත  සමීප වීමක් වේ. එය සුසංවාදී ගමනක් නොවේ. සුසංවාදී සමාජ සම්බන්ධතා යනු මේ යුගයේ ධනවාදය මගින්ම ඇති කරන ප්‍රබන්ධයක් ම- fiction- පමණි. උදාහරණයක් ලෙස ලංකාවේ මෑත කාලීනව ජනප්‍රිය වූ ”Forget me not” නම් පොතේ කතා ගත හැකිය. මෙහි මිතුරු සබදතා යනු සුසංවාදී මිහිර පිරි ඉතිරී යන්නක් ලෙස දැක්වේ. එය Facebook මිතුදමකි. අතීතයේදී මළ ගෙවල් වල ඇඩීමට  ගැහැනුන් කුලියට ගත්තා නම්, පසු නූතන මේ යුගයේදී තමන් වෙනුවෙන් සමාජ සබදතා සදහා පෙනී සිටින්නේ  Facebook මගිනි. මොකද මේ යුගයේ සැබෑ සමාජ සබදතා යනු අතිශය කරදරකාරී තත්වයක් හේතුවෙනි. එය නිතරම ගැටුම් ජනනය වන්නකි. නමුත් Facebook  වැනි virtual space එකක ගැටුම ජනනය නොවන කෘතීම සංහිදියාවක් පවත්වා ගත හැකිය. එයට හේතුව වන්නේ කිසියම් මුලින් හදන ලද ආකෘතියක්- FORM- තුළ පමණක් එය සංවිධානය ගත වීම තුළ වේ.

උදාහරණයක් ලෙස එහි like දැමිය හැකිය. birthday wishes එම දිනයටම අපට මතක් කර දෙයි. එයට අවශ්‍ය සුබ පැතුම facebook සමාගමෙන් අපට සාදා දෙයි. අපිට ඉතිරිව ඇත්තේ ඒ ආකෘතිය පුරවීම පමණි. එහි සමාජ සම්බන්ධතා ගොඩනැංවීම හෝ communication නොමැත. එම සමාගම යනු market logic  එකකි.

නමුත් මෙයින් මිදී අපි සැබෑ සමාජ සම්බන්ධතාවකට ගියහොත් අත්වන ඉරණම Von trier විසින් හිංසනය material කර Screen එකට ගෙන තිබේ. සැබැවින්ම මේ යුගයේ සැබෑ ආදරය යනු මහා ආතතියකි. එම නිසා අපි හැමෝටම අවශ්‍ය වී ඇත්තේ ”Facebook – ආදරයක්” පමණි. Von trier ගේ චිත්‍රපටය තුළ පෙනී සිටින්නේ Her and He යන චරිත දෙක පමණි. මෙහි ඔහු හා ඇය පාරාදිසියෙන් නෙරපූ ආදම් හා ඊවා අයුරින් කැලය බලා යන්නේ නරඹන අපවද මෙහි කොටසක් කර ගනිමිනි. Von trier ගේ සිනමාවේ බොහෝ අවස්ථාවල දක්නට ලැබෙන ප්‍රධාන භුමිකාවට  දායක වන  ගැහැණු චරිත ප්‍රබල අයුරින් තිරයට ගෙන තිබේ. ඔහුගේ කෘතිවල බොහෝ ගැහැණු චරිත යනු  ප්‍රබල නිරූපණයකි. මෙම චිත්‍රපටය දෙවියන්ට සම්බන්ධ theology පැත්තට ද ගෙනයාමක් දක්නට ලැබේ. නමුත් නරඹන අපිට ඇතිවන ගැටලුව නම් මෙහි ස්ත්‍රිය  මෙතරම් ethical act එකකට නරඹන අපවද රැගෙන යන්නේ කුමන හේතුවක් නිසාද යන්න වේ.

nATURE.

ඇය ඇයගේ ක්‍රියාවට මෙතරම් වගකීම තුළ symbolic ස්ත්‍රීවාදය නොවන සැබෑ ස්ත්‍රීවාදයක් හට ගනී. Symbolic ස්ත්‍රීවාදය යනු පිරිමි සිගරැට් බොනවා නම් අපිත් බොනවා. පිරිමි කලිසම් අදිනවා නම් අපිත් අදිනවා වැනි සරල අනුකාරකවාදී ස්ත්‍රීවාදයකි. නමුත් මෙහි Her පෙන්වන ස්ත්‍රීවාදී ප්‍රවේශය වන්නේ තමා ක්‍රියා කල දේ වෙනුවෙන් තමා අතින් සිදු වූ වරද වෙනුවෙන් නොබියව පෙනී සිටීමක් වේ. එය යථ – තිත්ත රසය – කරා ගමන් කිරීමකි.

විශේෂත්වය වන්නේ මෙහි සැමියා හා බිරිද gap එකක් තබා නොගෙනම සැබෑවටම ප්‍රේම කිරීම වේ. එවන් ප්‍රේමනීය බවක් කෙතරම් හිංසනයකින් කෙළවර විය හැකිද යන ගැටලුව Von trier අපගෙන් විමසනවා. බටහිර රටක විවාහය යනු අනෙකාගේ අඩුව හා වේදනාවන් කොන්දේසි විරහිතව පිළිගැනීම වේ.නමුත් අප රටේ දී  විවාහය සදහා ගැලපීම් විමසයි. අදහස් ආශාවන් ,කෑම බීම ආදිය පවා ගලපා ගැනීමට වෙහෙසෙයි.ඇය දොඩම් කෑමට කැමති නම් ඔහුද එයට කැමති විය යුතුය.නමුත් බටහිර විවාහය යනු දෙදෙනාගේ මානසික ලෝකය හුවමාරු කරගනිමින් ම දෙදෙනා සතු වෙනස පිළිගනිමින් එයට ගරු කිරීම වේ.

මෙහි ගැහැණියකගේ ශරීරය පිළිබද තියුණු කියවීමකට අපව රැගෙන යනවා. ඇයගේ ශරීරය අනුව ජීව විද්‍යාත්මක කොටසක් පවතිනවා. ඒ වගේම හැසිරීම, ඇදුම් පැළදුම්, කතා විලාසය ආදී සංකේතාත්මක කොටසකුත් පවතිනවා. නමුත් අවසානයේ ගැහැනියක් ගැහැනියක් බවට පත් වන්නේ fantasy- feminity as a  story – මගින් බව චිත්‍රපටය අපට පෙන්වනවා. නමුත් පිරිමියා නිතරම උත්සාහ ගන්නේ පවත්නා සමාජය ප්‍රතිනිර්මාණය කිරීමට වේ. උදාහරණයක් ලෙස මෙහි සැමියා හා බිරිද අතර ලිංගික සබදතාවයේදී දරුවා වැටෙන්නට යන බව ඔහු දකින්නේ නැත. නමුත් බිරිද එය හොදින් දකියි.ඒ හේතුවෙන් දරුවාගේ අනතුරෙන් ඇති වූ ගැටලුව සමනයට ඔහු මනෝචිකිත්සකයෙකු වී ක්‍රියා කරනු ලැබේ. නමුත් ඇය තුළ ඇති වන්නේ ”මම” මේ ක්‍රියාවට සහමුලින්ම වගකිව යුතුයි යන අදහසයි. එහිදී ඇය තම ශරීරයට විශාල හානියක් උරුම කර ගන්නවා. මෙහිදී පිරිමියෙකුට වඩා ගැහැණියෙකු වෙනස් වන්නේ පිරිමියා පවතින ලෝකය ප්‍රතිනිර්මාණයට වෙහෙසෙන අතරේ ගැහැණිය පවතින ලෝකය සම්පුර්ණයෙන්ම වෙනස් කිරීමට වෙහෙසන නිසාවෙනි. අන්න ඒ තැනේදී ඇයගේ ස්ත්‍රීවාදී බව ඉස්මතු වේ. නමුත් මෙය ලංකාවට අදාල නොවන්නේ ලංකාවේ ගැහැනුන් යනු පවතින ක්‍රමයටම අනුගත පිරිමින්ගේ රූකඩ බැවිනි. 

 මෙහිදී මෙම දරුවා අහිමි වීමේ වේදනාවෙන් මිදීමට යා යුතු තැන තීරණය කිරීමට බිරිදට අවස්ථාව ලබා දෙනවා. එහිදී සැමියා පවසන The apartment‚ the street, The park ආදී තැන් මගහැර ඇය කැලය (woods) තෝරා  ගන්නවා. මේ සමකාලීන යුගයේ දී බොහෝ කාන්තාවන් සුරතල් සතුන් ඇසුරට යමින්, සොබාදහම ඡායාරූප ගත කරමින්, භාවනා අසපු කරා යන්නේ ද සමකාලීන පුරුද්ද සිහිපත් කරමිනි. – Back to Nature – එය ධනවාදය මගින් ඇති කරන නූතන ඇබ්බැහියකි. මෙහිදී පර්යේෂණයක නිරත වෙමින් ඇය බිය වන්නේ කුමකටදැයි සොයන සැමියාට විටෙක සොබාදහම පිළිතුරක් වන අතර තවත් විටෙක ඇය සොබාදහම යනු සාතන්ගේ පල්ලිය බව පවසයි. එවිට ඔහු සොබාදහම ඉවත් කර  පිරමීඩයක් ඇද එය තුළට සාතන් ඇතුල් කර ගනියි. දෙවියන් නොමැති ලෝකයක එම තැනට  ආදේශ වන්නේ සොබාදහම හා ස්ත්‍රිය වේ. මෙහිදී සොබාදහම යනු ඉතා කුරිරු ප්‍රපංචයක් බව සතුන්ගේ සංකේත ස්වරූපයෙන් නරඹන අපට සමීප වේ. උදාහරණයක් ලෙස යාචකයන් තිදෙනෙකු ස්වරූපයෙන් පැමිණෙන සත්ව රූපයක් ද තම පැටවා මරා කන පක්ෂියාගෙන් ද සොබාදහම සංකේතවත් වේ.

Terror

මෙම චිත්‍රපටයේ ආගමික ප්‍රවේශය සුවිශේෂ වේ. එය අපගේ සංස්කෘතියට  බෞද්ධ ආගමිකයෙකුට සමීප නොවන ප්‍රවේශයකි. බුදුන් වහන්සේ ගතහොත් බෞද්ධයන් සලකන්නේ සියල්ල දත් ආත්මයක් ලෙසටය. බුදුන්ට ඉහලින් කිසිවක් නොපවතින බවයි. නමුත් ක්‍රිස්තියානි ආගමේ සුවිශේශීත්වය වන්නේ දෙවියන් තුළ ද කිසියම් අඩුවක් පවතින බව පිළිගැනීම වේ.  දෙවියන් ද නොදන්නා දේ පවතින බව පිළිගැනීම වේ. එම නිසා දරුවා සම්බන්ධ ව්‍යසනයේදී දෙවියන්ට ද විසදුමක් නොමැත. දෙවියන් ද මිනිසාට සමානයෙකු ලෙස හැගීමක් මේ තුළින් ජනිත වේ. ජේසු තුමා පවා මරණය වෙත ගෙන යද්දී දෙවියනි  ඔබ කොහිදැයි ප්‍රශ්න කර තිබේ. එම නිසා දෙවියන් අහිමි ලොවක වෙසෙන මිනිසා තම ක්‍රියාවන් විනිශ්චයට තම අවිඥානික උසාවිය තෝරා ගනු ලැබේ. මේ යුගයේ මිනිසුන්ට විනිශ්චයට ඉතිරිව ඇත්තේ  මෙම අවිඥානය තුලින් ප්‍රශ්න කිරීම පමණක් වේ. හේතුව වන්නේ දෙවියන් නොමැති  ලෝකයක තම අවිඥානය තුළ දෙවියන්ගේ ආකෘතිය පැවතීම වේ. මෙම චිත්‍රපටයේ ඇය විසින් විමසන පැනය වන්නේ තම වටිනා එකම දරුවා අනතුරේ හෙළා තම ලිංගික ප්‍රීතියම ප්‍රමුඛ කරගත් තමා තුළ සිටිනා හදුනා ගත නොහැකි සත්වයා කවුරුන්ද යන්න වේ. මා තුළ සිටින මට ද තේරුම් ගත නොහැකි සත්වයා කවුරුන්ද? එනම් මගේ අවිඥානික ආත්මය කෙබදුද? (unconscious subject) ඇය විමසන්නේ සවිඥානික තමා දරුවාට ගොඩාක් කැමති බවය. එසේ නම් මා තුළ සිටින දරුවා විනාශ වුවත් මම විනෝද විය යුතුයි යන්න මාව පොළඹවාලන මටම ආගන්තුක මාතුළ වූ සත්වයා කවුරුන් ද? යන්න වේ.

මෙන්න මේ හදුනා ගැනීම සදහා ඇයට දෙවියන් අවශ්‍ය වෙනවා. නමුත් අප රටේ නම් දෙවියන් අවශ්‍ය වන්නේ මෙම rational subject කාරණා වලට නොවේ. මෙරටේ අපට සැමවිටම දෙවියන් හෝ ආගමික නායකයින් අවශ්‍ය වන්නේ සැප සම්පත් ලබා ගැනීමට වේ. උදාහරණයක් ලෙස කතරගම දෙවියන්ගෙන් ගෙයක් සාදා ගැනීමට උදව් ඉල්ලයි. විභාග පාස් කර දෙන්න ඉල්ලයි, රැකියාවක් ලබා දෙන ලෙස ඉල්ලීම් කරනු ලැබේ. නමුත් බටහිර මිනිසා දෙවියන්ගෙන් ඉල්ලන්නේ මා තුළ ඇති මටම හදුනා ගැනීමට බැරි වූ ජීවියාව හදුනා ගැනීමට දෙවියනි ඔබ මට පිහිටවන්න කියා ය. මෙන්න මේ symbolism එක ආත්මීය ලෙසින් මේ චිත්‍රපටය තුළ පෙන්වා තිබේ. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක සැමවිටම බිය වන්නේ තමාට තමා මුණගැසීමේ ක්ෂිතිජමය අත්දැකීමට ය. මේ යුගයේ තමාට තමා සම්මුඛ වීම යනු රැඩිකල් විමුක්තිය කරා අප රැගෙන යාමකි. නමුත් මෙහිදී විශාල විද වීමක් ජිවිතයට අවශ්‍ය වේ. එය සරල සුසංවාදී ගමනක් නොවේ. වේදනාත්මක තිත්ත රසයක් වේ. එම නිසා මේ යුගයේ සැබෑ සමාජ සබදතා යනු භයානක තත්වයක් අපට ලබා දෙන්නක් වේ. එයට සදාචාර විනිශ්චයක් නොමැති වේ. von trier ගේ චිත්‍රපටවල සංස්කෘතික බාධක බිද වැටී තිබේ. ඔහුගේ චිත්‍රපට යනු ප්‍රති- සංස්කෘතික මානයකි. ඒ තුළ moral ගැටළු නොමැති අතර පවතින්නේ ආත්මීය ethical ගැටළු වේ.  

මෙම චිත්‍රපටයේ කාන්තාවද පවුල් ආකෘතිය තුළ තම භූමිකාව ගෙන යන පුද්ගලයෙකි. නමුත් ඇය ethical බැවින් සමාජ සම්මතයන් අභිබවා තම විනෝදය වෙත අවතිර්ණයේදී හදිසි අනතුරකින් තම එකම දරුවා මිය යයි. එම තමා විදි විනෝදය වෙනුවෙන් තම වගවීම හිංසනයන් මගින් නිරූපණය වේ. නමුත් මෙහි පවුල නම් සමාජ සම්මතය නොමැති නම් freedom කියා යමක් කාන්තාවට සමීප නොවේ. සමාජ සම්මතය මගින් ගෙන එන සිමාව අභිබවා විනෝදය කරා යාමට පොළඹවන්නේ ද සීමාවක් තිබීම හේතුවෙනි. එනම් ලිංගික තෘප්තිය දරුවාට වඩා ප්‍රමුඛ බව ඇයට එන්නේ freedom එකක් ලෙසටය. නමුත් අප තේරුම් ගත යුත්තේ සමාජ සම්මතයන් හෝ සිමාවන් නොවී නම් ඇයගේ රැඩිකල් බවට කිසිදු අර්ථයක් ජනනය නොවන බවය. මෙම චිත්‍රපටය තුළ සොබාදහම ද වැඩි වශයෙන් නිරුපණය කර තිබේ. එය ආදම් ගේ උයන වේ. මිනිසා සොබාදහමෙන් ඛණ්ඩනය වීම සංස්කෘතිය වේ. මෙම සංස්කෘතික ලෝකය හේගල් හදුන්වන්නේ second nature එක කියා. එය මිනිස් නිර්මිතයක් වේ. එය සොබාදහමේ මූලධර්ම අත් හිටවා මිනිසා විසින් මිනිසා උදෙසාම තනා ගන්නා ලෝකයක් වේ. සැබෑ ලෙසටම එය මානසික ලෝකයක් ලෙස ගත හැකියි. මෙන්න මේ මානසික ලෝකය මිනිසාට පොදු දෙයකි. සොබාදහම යක්ෂයා නොහොත් සාතන්ගේ නිවහන වේ. මෙම යුවල යන්නේ ආදම්ගේ උයනේ නිවසට ය. මීට කලින් මෙහි (Her) ඇය හා දරුවා මෙහි පැමිණ කාලය ගත කර තිබී ඇති බව චිත්‍රපටය කියා සිටී. මෙහිදී අතීතය තුළ කාන්තාවට දඩුවම් දීමට ලක් කළ අයුරු ඇය විසින් අධ්‍යනය කර ලේඛන ලියා තිබේ. ඇය බලාපොරොත්තු වන්නේ තමා කළ වරදට එවැනිම   අතීතයෙන් ගෙන එන දඩුවමක් තමා වෙත ලබා ගැනීමටය. මෙම රැඩිකල් තීරණය තමාගේ ක්‍රියාවට වගකීමක් ලබා දීමකි. එම දඩුවම ඉල්ලා සිටින්නේ තම උගත් බුද්ධිමත් සැමියා මගිනි. මෙහි ගැහැනියගේ විනෝදය ආකෘතිගත වන අයුරු පෙනේ. මෙම චිත්‍රපටය තුළ ද සොබාදහම හා සංස්කෘතිය අතර ගැටුම නිරූපණය වෙනවා. මේ ගැටුමේදී පිරිමියා (He) අවසානයේදී තීන්දුව ලබා දෙනවා. ඇය (she) සොබාදහම ලෙස. එසේනම් අතීතයේදී මෙවන් අවස්ථාවලදී පිරිමියා දඩුවම් ලබා දී තිබෙන්නේ ගිනි තබලා. එලෙසම ඔහුත් තීරණය කර තිබෙනවා අතීතයේ දඩුවම් ආකෘතියම තම බිරිදට ලබා දෙන්න. මෙම දඩුවම් ක්‍රමය පිරිමියාට ලැබෙන්නේ පිරිමි ලෝකය තුළින් ම වේ. අතීතයේ මෙවන් අවස්ථා වලදී පිරිමියෙකුගේ ක්‍රියා කලාපය කෙසේද? පිළිතුර ලෙස ලැබෙන්නේ ගිනි තැබීම වේ. ඒ අනුව බිරිද මරා දමා ගිනි තබා ක්‍රියා කරන්නේ ඒ අනුව වේ. මේ චිත්‍රපටය අවසානයේ හදුනා නොගත් යක්ෂ රූප ලෙස පැමිණෙන්නේ සාමූහික ශුද්ධ ආත්මයන් වේ. (holy spirit) එනම් අතීතයේදී සාමූහික ප්‍රජාවක් පාලනය කල දෘෂ්ටිවාදයන් ය.මෙහි හදුනාගත නොහැකි ගැහැණු ඒකරාශී වීම යනු comminity යක් වේ. එනම් එය collective consciousness  එකකි. අතීතයේදී මිනිසා වෙත තීන්දු තීරණ ලබා දුන්නේ මෙමගින් වේ. අව්ව, වැස්ස ආදී සොබාදහම අනුව වැඩ කරන අතීත යුගයක දී සියළු සමාජ ක්‍රියා සිදු වූයේ සාමූහික කණ්ඩායම් ලෙසය. සාමූහික ජන විඥානයක් ලෙසටය.

සැබවින්ම von trier ගේ චිත්‍රපට යනු cultural නිරූපණයක් නොවේ. ඕනෑම සමාජයක් අප වෙත පවසන්නේ ළමයෙකු හදා ගැනීම අප සතු යුතුකම බවයි. ලංකාවේ නම් කිසියම් පවුලකට අර්ථයක් ගෙන එන්නේ දරුවෙකු බිහිවීම තුළිනි. නමුත් මෙම චිත්‍රපටය අපට පවසන්නේ කුමක් ද? පවුලේ එකම දරුවා මරා හෝ එම මැරුන සිද්ධියෙන් පවා විනෝද වන ලෙසය. එනම් මෙම පද්ධතිය අනුව ජිවත් වන කෙනෙකු නොවේ. සැබවින්ම මිනිස් ආත්මය යනු ක්‍රමයට විරුද්ධ වන තර්ජනයට ලක් කරන පුද්ගලයා වේ. (INHuman) නමුත් ලංකාවේ නම් චිත්‍රපට බිහි වන්නේ අපේ සංස්කෘතිය හිස මුදුනේ තබාගෙනම වේ. අප මේ ගත කරන මොහොතේ අධිපති දෘෂ්ටිවාදයක් මුල් කරගෙන චිත්‍රපට බිහිවීමක්ය  ලංකාවේ තිබෙන්නේ. එම නිසා සුවිශේෂී නිර්මාණ අපට අහිමි වී තිබේ. සංස්කෘතියට අභියෝග කරමින් තමා ද එහි ඵලයක් ලෙස සිටීමයි von trier සිදු කරන්නේ. ඔහු සංස්කෘතික ගුරුත්වාකර්ෂණයෙන් මිදී නිර්මාණකරණයේ නියැලී ඇත. උදාහරණයක් ලෙසට ක්‍රිස්තු උත්පත්තියේ දී ආශීර්වාද ලබා දෙන රජ තුන් කට්ටුවක් පැමිණිය ද මෙහිදී පැමිණෙන්නේ සතුන්ගේ වේශයක් යදින්නන් (beggers) පමණි. ඔවුන් කිසිවක් ලබා දෙන්නන් නොව ලබා ගන්නන් වේ.Von trier ගේ සංකේත රූප රාශියක් මෙම චිත්‍රපටය තුළ ගොඩනගන්නේ පරස්පර විරොධී අයුරිනි. අප සැම විටම සිතන්නේ යථාර්ථයේ කිසියම් සාරයක් පවතින්නේ අහසේ බවයි. නමුත් von trier පවසන්නේ යථාර්තය පවතින්නේ පොළොවේ ඇති කුණු ගොඩේ බවය. එය තර්කොස්කිගේ සිනමාවේද දක්නට ලැබෙන ලක්ෂණයකි. සංස්කෘතියට ප්‍රතිවිරුද්ධ වීම හේතුවෙන් මෙම නිර්මාණයට Anti-Christ යන නාමය හොදින් ගැලපේ. චිත්‍රපටය අපව අමතන්නේ ආශීර්වාදයන් සදහා අහස දෙස බැලීම නොව යථාර්ථය දැකීමට නම් හැනිබල්ස්ලා  හා පොළොව දෙස බලන ලෙසය. එය vontrier ට ආවේණික නිර්මාණශීලීත්වයකි. ඔහු පෙන්වන සංකේතීය විරූපී චරිත සංස්කෘතික නිරූපණයක් නොවේ.

නමුත් von trier ගේ චිත්‍රපටවල පවතින්නේ formal logic එකකි. එහි අන්තර්ගතයන් කියවීමට යාම ඵල රහිත දෙයකි. සැබැවින්ම von trier අභියෝග කරන්නේ ද කලාකෘතිය තුළ ඇති මෙම අන්තර්ගතයන්ටම වේ. එම නිසා ඔහු ගොඩ නගන්නේ නව චිත්‍රපට ආකෘතියකි. පැවති ආකෘතිය දෙදරා ගොස් නව ආකෘතියක් පිහිටු වීමකි. මෙවැනි චිත්‍රපට කියවීමේදී එහි කුඩා කුඩා සිද්ධීන් වල අන්තර්ගතයන් පසු පස්සේ යාම චිත්‍රපටය කියවීමට බාධාවක් ය.

අප රටේ බොහෝ චිත්‍රපට නිර්මාණ යනු සංහිදියාවෙන් පිරි සරල වින්දනීය කෘති වේ. එය අගති වලින් ගැලවී රුවන්වැලි සෑය වැදීමට යාමකි. නමුත් බටහිර චිත්‍රපට කලාව යනු නරඹන අප තුළද ස්ත්‍රී දූෂකයෙකු, සොරෙකු හෝ අපරාධකරුවෙකු සිටින බව යන අමිහිරි සත්‍ය අප වෙත පසක් කර දෙන්නකි. එය අගතීන්ගෙන් ගැලවී ප්‍රඥාව ලබා ගැනීම නොවේ. ආනන්දයෙන්  ප්‍රඥාව හිමි කර දෙන්නක් නොවේ. පොලොව මත අප තුළ ඇති ගද වහනය වන කුණු ගොඩේ සත්‍යය පවතින බව පෙන්වන රැඩිකල් ශානරයකි. අප පාරාදීසිය වෙත රැගෙන යන්නේ ශුද්ධ වූ අපාය තුළින් මය.එම වේදනාව අප මුදල්, කාලය වැය කර ලබා ගන්නේ මත් පැන් මිලදී ගෙන පානය කරන අයුරිනි. මත්පැන් පානයෙන් ජිවිතයට කිසිදු තේරුමක් නැත. නමුත් එය අප අතහරින්නේ ද නැත. ජීවිතය යනු කිසිදු තේරුමක් නොමැති (meaningless of everything) යමක් von trier අප වෙත කියා සිටියි. අවසන් වශයෙන් කිව යුත්තේ අපගේ ජීවිතයේ පවතින අර්ථ විරහිත හඹා යාම පැය 2ක් වැනි කෙටිකාලයකට ලඝු කරමින් පෙන්වාදීමේ විප්ලවීය ආකෘතිය Von trier විසින් නැවුම් අයුරින් තිරය මත ගොඩ නගා ඇති අයුරුය.

TI.

සමබිම පක්ෂය.

ඔබේ අදහස කියන්න...