මනෝවිශ්ලේෂණය පිළිබඳ අධ්‍යයනයේ දී එය පිළිබඳ අපගේ විශ්වාසය කාලයකට පසු වියැකී යයි. ෆ්‍රොයිඞ්ගේ අපකීර්තිමත් යැයි සැලකෙන විද්‍යාත්මක සහ පෞද්ගලික ක්‍රියා කලාපය පිළිබඳ මතය, මනෝවිශ්ලේෂණ ප‍්‍රතිකාර සාර්ථක වීම පිළිබඳ ඇති සැකය (ජීව විද්‍යාව සහ ස්නායු විද්‍යාවේ දියුණුව මඟින් මානසික ආබාධ සඳහා සාර්ථක ප‍්‍රතිකාර ලබා දිය හැකි බවට වූ මතය) සහ මනෝවිශ්ලේෂණය විද්‍යාත්මක ක‍්‍රමවේදයක් නොවන බවට වූ මතය (එමඟින් අපගේ මනස ක්‍රියා කරන ආකාරය ආකර්ෂණීය ලෙස පැහැදිලි කළද ක‍්‍රමවත් බවක් දක්නට නොලැබීම) අපගේ විශ්වාසය වියැකී යාමට හේතු වෙයි. න්‍යායික තලයේ දී මෙම ප‍්‍රහාරයන් හේතුඵල සම්බන්ධය වටා දෝලනය වේ. කෙනෙකු මනෝවිශ්ලේෂණය මඟින් නිවැරදි හේතු දැක්වීමක් නොකරන බවට චෝදනා කරන අතර තවත් කෙනෙකු එමඟින් අන්තර් ආත්මීය සබඳතා හේතු දැක්වීම වෙත රැගෙන ඒම තුළින් පුද්ගලයා රූකඩයක් කරන බවට චෝදනා කරයි.

ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලයට අයත් සංශෝධනවාදීන් විසින් ෆ්‍රොයිඞ්ගේ මනස පිළිබඳ සංකල්පය සමාජ ඓතිහාසික සමස්තය සමඟ සම්බන්ධ කර හඳුනා ගැනීමට උත්සාහ කරයි. ඔවුන්ට අනුව මිනිසා තම සාංදෘෂ්ටික ව්‍යාපෘතියේ දී තමාටත් වඩා ඉහළට යන නිර්මාණශීලී අයෙකි. මිනිසාට ඇති වන ආත්මීය ප‍්‍රශ්න සඳහා ප‍්‍රභවය වන්නේ ආශාවන් මර්දනය කිරීම නොව ඔහුගේ නිර්මාණශීලී හැකියාවන්වලට විකසිත වීමට ඉඩ නොලැබීමයි. එසේම අවිඥානය යනු අශ්ලීල හඹා යාම්වල ගබඩාවක් නොවන අතර සදාචාරාත්මක ගැටුම් සහ නිර්මාණශිලී අවහිරතාවයන් ආත්මයට දරාගත නොහැකි වීමේ ප‍්‍රතිඵලයකි. ෆ්‍රොයිඞ් පුද්ගලයාගේ අධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳ පමණක් සලකන අතර එය නිෂ්පාදනය, ප‍්‍රතිනිෂ්පාදනය වැනි බාහිර කාරණා මත රඳා පවතින බව සංශෝධනවාදීන්ගේ මතයයි.

සංශෝධනවාදීන් විසින් ස්වභාවදහම (Nature) සංස්කෘතිය (Culture) මඟින් විස්ථාපනය කරයි. නමුත් සැබෑ ගැටලුව ඇත්තේ ස්වභාවදහම තුළය (Nature itself). පුද්ගලයා ජීවවිද්‍යාත්මක කුලකයකට අයත් බව සලකන නමුත් ඒ ශුද්ධ ස්වභාවදහම නොව දෙවැනි ස්වභාවදහමයි (second nature). එනම් අප ස්වභාවදහම ලෙස සලකනු ලබන දෙය යනු අප සංස්කෘතික වීමේදී අපගෙන්ම බාහිරට යන දෙයකි. එම ස්වභාවදහම සංස්කෘතියේම නිර්මාණයක් වන අතර සංස්කෘතියේ නෙයිසර්ගික කොටසක් වේ. ඒ අනුව ස්වභාවදහම (Nature) සහ සංස්කෘතිය (Culture) යනුවෙන් එකිනෙකින් ස්වායත්ත ප‍්‍රපංච දෙකක් පවතින බව සැලකීම තවදුරටත් නිවැරදි නොවේ.

ෆ්‍රොයිඩ් එක පැත්තකින් ශිෂ්ටාචාරය සංවිධානය වීමේ දී සිදුකරනු ලබන මර්දනය (repression) හෙළාදකී. තවත් පැත්තකින් සංස්කෘතිය සහ ඉහළ මිනිස් ක‍්‍රියාකාරකම් ඇති වීමට නම් හඹා යාම් (Drives) මර්දනය කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව පෙන්වා දෙයි. මෙය විරුද්ධාභසයකි (Paradox). මේ නිසා  හඹා යාම් (Drives)  මර්දනය කිරීම සහ උත්කර්ෂයට පත් වීම වෙන්කර හඳුනා ගැනීමට නොහැකි වේ. ඒ අනුව මනෝවිශ්ලේෂණ න්‍යාය සහ එහි භාවිතාව තුළ බෙදීමක් ඇති වේ. එමඟින් මර්දිත ලිබිඩෝව නිදහස් කිරීම සහ මර්දනය ශිෂ්ටාචාර ගත වීමේ දී අත්‍යවශ්‍ය බව යන විසංවාදය නිර්මාණය කරයි.

ෆ්‍රොයිඞ්ගේ මෙම න්‍යායික අඩුපාඩුව නිසා ඔහුගේ සොයාගැනීම සත්‍ය ස්පර්ශ කරන ස්ථානයක රඳවා තබයි. ෆ්‍රොයිඞ් දෘෂ්ටිවාදී චින්තකයෙකු නොවේ. ඔහු සමාජයේ ප‍්‍රතිවිරෝධය, පසමිතුරු ගුණාංගය  නොවිසඳා ඉතුරු කරයි. මාක්ස්වාදයෙන් පවා උත්සාහ කරන ලද්දේ නිර්ධන පන්තිය අවදි කිරීම හරහා සංගතික ලෝකයක් නිර්මාණය කිරීමටයි. ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණය සමකාලීන සමාජය තේරුම් කිරීමේ දී අනෙකුත් දෘෂ්ටිවාදී චින්තනයන්ට වඩා පෙරටුගාමී වන්නේ මේ නිසාය. උදාහරණයකට මනෝවිශ්ලේෂණය හරහා අපට නැවතත් මාක්ස්ව කියවිය හැක. එවිට නිෂ්පාදනය, ප‍්‍රතිනිෂ්පාදනය වැනි බාහිර කාරණා අවිඥානික පුද්ගල විනෝදය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය වී ඇති බව පසක් වේ.

අප හැර මනෝවිශ්ලේෂණය පිළිබඳ කතාකරන සහ අපගේ අදහස් අනුකරණය කරන කිසිවෙකුත්  මේ දක්වා එහි ඇති විරුද්ධාභාසය නොදැන සිටි බව අපට විශ්වාසය. මෙම විරුද්ධාභාසය එම සියලූ‍ දෙනාගේ අදහස් දෘෂ්ටිවාදී වන බව සනාථ කරයි. ලංකාවේ වාමාංශිකයන් බොහෝ දෙනෙකු මනෝවිශ්ලේෂණය මගහරින්නේ එමඟින් හෙළිකරන සත්‍යට මුහුණ දිය නොහැකි නිසාය. මිනිස් ඉතිහාසය මනෝවිශ්ලේෂණය හරහා සුවිශේෂී විතැන් වීමකට නුදුරු අනාගතයේ දී ලක්වනු ඇත. අනාගතයේ දී අපට හිමි වනු ඇත්තේ ප‍්‍රීතිය කරා දිශානත වන ජීවිතයක් නොවේ. සතුට සහ දුක අතර දෝලනය වෙමින් පුද්ගලික ජීවිතය අතෘප්තියෙන් සහ අසාර්ථකත්වයෙන් අවසන් වන බව අපගේ අවබෝධය වනු ඇත.

 

ඔබේ අදහස කියන්න...