ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 04

ජිජැක් පිළිබද විවිධ මතවාද පැතිර යමින් ඇති නිමේෂයක සැබෑ ලෙසම ජිජැක් යනු කවුද සහ ඔහුගේ දර්ශනය කුමක්ද යන්න පිළිබද මහේෂ් හපුගොඩ සමග කළ සාකච්ඡාවේ සිව්වැනි කොටස අද අපි ඉදිරිපත් කරන්නෙමු.

ස්ටාලින් වාදය යනුවෙන් ජිජැක් සාකච්ඡා කරන්නෙ කුමක් ද කියලා ටිකක් පැහැදිලි කරගනිමු ද?
ඔව්… අපි හැමෝ ම අපි ස්ටාලින්වාදය කතාකරන්න බයයි. නමුත් ජිජැක් ස්ටාලින් පිළිබඳ යම් ආකාරයකට ධනාත්මකව කතා කරනවා. ඔහු ඒ සම්බන්ධයෙන් කතා කරද්දි මිනිස්සු තිගැස්සීමට ලක් වුණා. මොකද අපි හැමෝ ම හිතන්නෙ ස්ටාලින් වාදය භයානකයි, ට්‍රොට්ස්කි වාදය හරි අහිංසකයි වගේනෙ. නමුත් ඒක එහෙම නෙවෙයි. ඒ ඓතිහාසික අවස්ථාවෙදි ට්‍රොට්ස්කිට කරන්න සිද්ධ වුණ දේ ජිජැක් පැහැදිලිව ම කතා කරනවා.

අපි නිතරම අපේ පුද්ගලික සාරය ගැන හිතනවා. මේ පුද්ගලික සාරය කොටස්වලට කඩාගෙන කඩාගෙන ගියාම අවසානයේ අප තුළ අශ්ලීල දෙයක් ඉතිරි වෙනවා. අපි මොනතරම් ශිෂ්ට විදියට හිටියත් මේ සන්දර්භය කඩාගෙන ඇතුළට යන්න යන්න හමුවෙන්නෙ මොකක්ද? අපි තුළ ඉන්න ස්ත්‍රී දුෂකයා, අපි තුළ ඉන්න මිනීමරුවා, අපි තුළ ඉන්න කුහකයා යනාදී මේ සියලු දෙනා ම හමු වෙනවා. ඇත්තට ම අපි වැඩියෙන් ම කැමති මිනී මරන්න. මෙන්න මේ සත්වයා (Animalist) අපිට හමුවෙන්නෙ මේ විදියට කඩාගෙන කඩාගෙන ඇතුළට ගියාට පස්සෙ. අවසානයේ ආත්මීය සාරය කියල ඉතිරි වෙන්නෙ නාසීස්මික ලක්ෂණ. මේ ලක්ෂණ මතුවෙන්නෙ තමන් තමන්ට ම කරන අශ්ලීල ආදරය තුළින්. මේක වැදගත් වෙන්නෙ සහ වටහා ගැනීම වඩාත් පහසු වෙන්නෙ කොහොමද? අපි හොඳට ම දන්නවා ස්ටාලින් වාදය තුළ එක එක්කෙනාට එක එක ආතල් තිබුණෙ නැහැ. ජිජැක් ඒක පැහැදිලි කරල දෙන විදියක් තිබෙනවා.

කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත්, ඒ කියන්නෙ ස්ටාලින් තමන්ට නිදහස දෙන්නෙ නැ, ඔබ ඒකාධිකාරියි කියල ඒ මොහොතෙ එතන ඉන්න තව කෙනෙක් කියනවා ‘නෑ… තමුසෙට පිස්සුද එහෙම දෙයක් නෑ.’ කියලා. ජිජැක් කියන්නෙ මේ පළමු පුද්ගලයාට කලින් දෙවන පුද්ගලයා අතුරුදන් වෙන බවයි. ඇත්තට ම ස්ටාලින් වාදය තුළ තමාගේ ආශාවට ඉඩ දුන්නා. ඒක හරිම අශ්ලීල ඉඩක්. මේ විදියට ඉඩ දීමේ ලක්ෂණ හැම ඒකාධිකාරියකු තුළ ම තිබෙනවා. ‘ඔබට ඔබ කැමති දේ කළ හැකියි. නමුත් එය එළියේ ප්‍රකාශ නොකළ යුතුයි.’ මේකයි තියරිය. යම් විදියකින් ඒ නිදහස පිළිබඳ එළියෙ සාකච්ඡා වුණා නම් ඒ සාකච්ඡාවට සම්බන්ධ වූ අය අතුරුදන් වෙනවා. මේ කියන ආත්මීය විපරීත භාවය එබඳු දෙයක්.

හරියට පසුගිය වකවානුවේ අපේ රටේ සිදුවුණා වගේ ද?

ඔව්… මහින්දත් මේ වගේ ම තමයි. ඔහු තමන් තුළ තිබුණ අශ්ලීල ම දේ ගොඩනැගෙන්න ඉඩ දුන්නා. අන්න ඒ විදියට ඉඩ දීම තුළ ම තමයි එය පාලනය කළ නොහැකි දුරකට ගමන් කළේ. රත්තරන්ට තමන් කැමති විදියට හොරකම් කරන්න පුළුවන් වුණේ, සාරුවා සුනිල්ට කන්‍යාවො සීයක් දූෂණය කරල පාටියක් දාන්න පුළුවන් වුණේ, තවත් එකෙකුට විදේශීය පුද්ගලයෙක් මරල ඔහු ගේ පෙම්වතිය දූෂණය කරන්න පුළුවන් වුණේ මෙන්න මේ කියපු ‘ඉඩ’ ලබා දීපු නිසා. නමුත් මීට එරෙහිව කතා කරපු අයට මොකද වුණේ? අනිවාර්යයයෙන් ඒ පුද්ගලයා අතුරුදන් වෙනවා. එහෙම නැත්නම් අත පය කඩනවා. එහෙමත් නැත්නම් ප්‍රසිද්ධියේ මරා දමනවා. අපට මතකයිනෙ තංගල්ල පැත්තෙ එහෙම සිද්ධි කිහිපයක් වුණා. මෙන්න මෙතනදි තමයි ඔබ කියපු ආත්මීය මලපුඩුව අපිට සොයාගන්න පුළුවන් වෙන්නෙ. මේ ස්ටාලින්වාදි ලක්ෂණයට වඩා සමස්තථාවාදී ලක්ෂණය තුළ තිබෙන රෝගි ස්වභාවය. මෙතනදි වටහා ගත යුතු යථාර්ථය වෙන්නෙ විවේචනය කරන්න බැහැ කියන දේ නොවෙයි. ‘සත්‍යය ලෙස ම විවේචනය කරන්න බැහැ’ කියන කාරණය යි.

ජිජැක්ට අනුව ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රියාකාරිත්වය විග්‍රහ කරන්නේ කොහොමද?

දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිත්වය කුමක් ද කියන ප්‍රශ්නය…? ලංකාව වගේ රටවල්වල දේශපාලන පක්ෂවලට පුද්ගලයො ඇවිත් තමන්ට ප්‍රතිරුප හදාගෙන වෙනත් පක්ෂයකට යනවා. එහෙමත් නැත්නම් වෙනම පක්ෂයක් පිහිටුවාගෙන පවතින ආණ්ඩුව සමග එකතු වෙනවා. ඊට පස්සෙ පක්ෂ නායකයො ‘හනේ අපොයි’ කියනවා. තමන් මොකට ද පක්ෂයකට බැඳෙන්නෙ කියල පක්ෂයකට බැඳෙන පුද්ගලය දන්නෙ නැහැ. ඒ එක්ක ම ඔවුන් එන්නෙ මොනවට ද කියලා පක්ෂ නායකයො දන්නෙත් නැහැ. මෙන්න මේ හේතුව නිසා පක්ෂය සහ පක්ෂ නායකයා අතර වසඟකාරි සම්බන්ධයක් ගොඩනැගෙනවා. පුද්ගලයො පක්ෂයකට බැඳෙන්න විවිධ හේතු බලපානවා. මේක සංකේතීය බලපාන අවස්ථාව වගේ ම තමන්ගෙ පුද්ගලික අරමුණු ඉටුකරගන්න, පක්ෂය හරහා මුදල් කීයක් හරි සොයාගන්න ආදි කාරණා. අපි උදාහරණයක් විදියට එක්සත් ජාතික පක්ෂය ගත්තොත් එහි තිබෙන්නෙ වෙළෙඳ ගනුදෙනු පමණයි. මෙන්න මේ තත්ත්වය ඉක්මවා ගිහින් නව ලිබරල් වාදය ඇතුළෙ වඩාත් සවිස්තරව පවසනවා නම් ‘පශ්චාත් ධනේශ්වර මොහොත’ යනුවෙන් ජිජැක් හඳුන්වන පශ්චාත් දෘෂ්ටිමය මොහොතක දේශපාලන පක්ෂයක කාර්යභාරය කුමක් ද යන්න පළමුවෙන් වටහා ගනිමු.

නව ලිබරල් වාදය යටතේ පක්ෂය එහෙමත් නැත්නම් පක්ෂයක ව්‍යුහය ක්‍රම දෙකකට ක්‍රියාත්මක වෙනවා. පක්ෂය රට කළමනාකරණය කරන ශෛලිය එකක්. අනෙක් කාරණය වෙන්නෙ නායකත්ව ගති ලක්ෂණය. එක්සත් ජාතික පක්ෂය මූලිකත්වය සපයන්නෙ ආර්ථික කළමනාකාරිත්වයට. ඔවුන් මේ දක්වා ම ඉදිරියට රැගෙන ආවෙ ඒ සංකල්පය. ඒ නිසා තමයි රවි කරුණානායක, හර්ෂ ද සිල්වා ආදි අය ටයි කෝට් ඇඳගෙන ඇවිත් කියන්නෙ ‘අපිට පුළුවන් මහින්ද රාජපක්ෂට වඩා හොදට ආර්ථිකය කළමනාකරණය කරන්න’ කියල. නමුත් අපි මතක තබාගත යුතු දේ මොකක් ද? මේ දෙගොල්ලම ක්‍රියාත්මක කරන්නෙ ධනවාදය කියන කාරණය. ධනවාදය කියන්නෙ එහෙම කාටවත් වුවමනා විදියට කළමනාකරණය කරන්න පුළුවන් දෙයක් නොවයි. මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ එයට ම ආවේණික වුණු තර්කයක් තුළ. ඒ තර්කයට පරිබාහිරව ධනවාදය හසුරුවන්න කිසිවකුට බැහැ. ධනවාදය ක්‍රියාත්මක වෙන්නෙ ම මුල්‍ය ප්‍රාග්ධනය අශ්ලීල ආකාරයට ක්‍රියාත්මක වෙන ලාබ සමුච්ඡනය පමණක් ඉලක්ක කර ගත් ව්‍යුහයක් තුළ. මේ ක්‍රමය හැර ධනවාදය ක්‍රියාත්මක වෙන වෙනත් ක්‍රමයක් නැහැ.

මේ ගැන ජිජැක් නිවැරදිව සහ ඉතා පැහැදිලිව ම ප්‍රකාශ කරනවා. ඔහු පවසන්නෙ: ‘තුන්වන ලෝකය හෙවත් අපි ජිවත්වන, දියුණු වන ලෝකය තුළ ධනවාදය විදාරණය කර තිබෙන අසමානතාව අති දැවැන්ත යි. මේ අසමානතාව සදහා කිසිඳු විසදුමක් ධනවාදය තුළ නැත’ කියලා. ඒ නිසා මොකද වෙන්නෙ? අපි හැමෝම ප්‍රචණ්ඩත්වය හරහා ධනවාදයට ප්‍රතිචාර දක්වනවා. ජනතා විමුක්ති පෙරමුණ, එල්. ටී. ටී. ඊ. සංවිධානය පමණක් නොවෙයි ලතින් ඇමරිකානු රටවල්වල විප්ලවිය සංවිධාන ඒ හැරුනාම මුලධර්මවාදය, ඉස්ලාම් අන්තවාදය යනාදි මේ සියල්ල ම මේ සමස්තයේ කොටස්. ජිජැක් කියනවා ‘මූලධර්මවාදය කියන්නෙ නෂ්ටාවශේෂ වගේ දෙයක් නොවෙයි. දයලෙක්තිකව සලකා බැලුවා ම ඒ ධනවාදයට මුහුණ දෙන එක ක්‍රමයක්’ කියල. ලංකාවෙ එල්. ටී. ටී. ඊ. සංවිධානයට ඒ තරම් දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් දියත් කරන්න සිද්ධ වුනේ ඒ නිසා. මේ ගැන අනුර කුමාරල නිවැරැදි උත්තරයක් දුන්නෙ නැතුවුණාට ඔවුන්ටත් සිද්ධ වෙන්නෙ දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් එක්ක වැඩකරන්න. මොකද ධනවාදය ක්‍රියාත්මක වෙන්නෙ යහපත් ආකාරයෙන් නොවෙයි. ඒ නිසා යම් පක්ෂයක් ධනවාදයට ප්‍රතිචාර දක්වනවා නම් දක්වන්න වෙන්නෙ ඒ ආකාරයට ම පමණයි.

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත

සත්හඬ ලිපිය මෙතනින් බලන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 01 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 02  මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 03 මෙතනින් කියවන්න

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.