back to top
28 C
Colombo
Friday, November 20, 2026

පියාගේ නාමය සහතික කරන “ආයු“

0
439

චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ “ආයු“ (2020) චිත්‍රපටයේ කතාව සැකෙවින් පහත පරිදි ය. නිෂ්මි (සැන්ඩ්‍රා මැක්) වෛද්‍යවරියකි. ඇය රෝහලේ දී ආයු (කෙනාරා වීරතුංග) නමැති හුදෙකලා කුඩා දැරියකට ප්‍රතිකාර කරයි. ඇගේ සැමියා වන රවි (අෂාන් ඩයස්) විදේශ සංචාරකයින් සඳහා මග පෙන්වන්නෙකි. ඔහු නිවසින් බැහැරව වැඩි කාලයක් ගත කරන බැවින් නිෂ්මි තනිව නිවසේ කාලය ගත කරයි. සැමියාගේ අවිවේකී බව මත ඇය සාංකාමය තත්ත්වයකට පත් වේ. ඒ අතර නිෂ්මි ගැබ් ගනියි. එම පණිවිඩය සැමියාට ප්‍රකාශ කිරීම සඳහා ඇය ඇල්ල සංචාරක පුරවරය වෙත තනිව ගමන් කරයි. එම ගමන අතරතුර හදිසි අනතුරකට ලක් වන ඇය රෝහල් ගත කරයි. එහි දී ඇයට රුධිර පාරවිලයනය සිදු කිරීමේ දී ඒඩ්ස් රෝගයට සම්බන්ධ HIV වෛරසය ශරීර ගත වී ඇතැයි හෙළි වේ. ඇය තමන් වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කළ ඒඩ්ස් වාහකයා සොයා යයි. ඔහු විදේශිකයින් සඳහා වෙරළේ සේවා සපයන තරුණයෙකු වන සචින් (ජගත් මනුවර්ණ) බව ඇය හඳුනා ගනියි. ඔහු සමඟ කාලය ගත කරමින් සිටින අතර ඇය රෝහලේ දී ප්‍රතිකාර කළ ආයු නමැති දැරිය සොයා යයි. ඔවුන් ආයු කැටුව නගරයට පැමිණි පසු සචින් මිය යයි. සචින්ගේ මිය යාමෙන් පසු නිෂ්මි, ආයු සමග කුඩා ඔරුවක නැඟී ගමන් කරන අයුරු දකින්නට ලැබේ.

බොහෝ විට වර්තමාන යූටියුබ්කරුවන් ඇතුළු ධනාත්මක චින්තන දේශකයින් ප්‍රකාශ කරන්නේ ජීවිතයට අර්ථයක් තිබෙන බව ය. නමුත් අවධානයෙන් විමසා බලන විට පෙනී යන කරුණක් වන්නේ අපගේ ජීවිතයට ඔවුන් පෙන්වා දෙන අන්දමේ ධනාත්මක අර්ථයක් නො මැති බව ය. “ආයු“ චිත්‍රපටය නරඹා අවසන් වූ පසු අප අපගෙන් විමසා බැලිය යුතු වන්නේ සැනසීම හා දියුණුව හඹා ගිය නිශ්මිගේ ජීවිතයට අර්ථයක් පැවතියේ ද යන්න ය. ජීවිතයේ අර්ථය සොයා ගිය නිෂ්මි චිත්‍රපටය අවසානයේ මහා විනාශයකින් පසු ඔරුවක නැගී ගමන් කරන විට අවබෝධ කරගත්තේ ජීවිතයට තමන් ප්‍රාර්ථනා කළ ආකාරයේ අර්ථයක් නො මැති බව නො වේ ද? ජීවිතයේ අර්ථය තමන්ට අවිඥානක බව නො වේ ද? ඒ සඳහා ඇය ගෙවූයේ විශාල වන්දියකි. ඇය හදිසි අනතුරකට ලක් වී ඇගේ දරු ගැබ විනාශ වෙයි; HIV වෛරසය ශරීරගත වෙයි; සැමියා අහිමි වෙයි. ඒ අනුව ජීවිතයේ සැනසුම හා අර්ථය හඹා යන විට ශේෂ වන්නේ ප්‍රාර්ථනා කරන සැනසුම වෙනුවට විනාශයත් අර්ථය වෙනුවට නො අර්ථයත් ය. “ආයු“ චිත්‍රපටයේ නිෂ්මි ඇසුරෙන් අපට පෙන්වා දෙන තවත් පාඩමක් වන්නේ අප අපගේ ජීවිතය ගැන කිසිවක් නො දන්නා බව ය. ජීවිතය දැන ගැනීම යනු මුලාවක් හා එයට අර්ථයක් ලබාදීම නිරර්ථක බව ය. ජීවිතයට අර්ථයක් ලබා දීම යනු විවිධ දේශකයින්ට ධනෝත්පාදන මාර්ගයක් පමණක් බවට පත්වී ඇත. මේ සඳහා හොඳම උදාහරණය යූටියුබ්හි වසංගතයක් ලෙස දේශන පවත්වන වර්තමාන ටියුෂන්කරුවන් ය.

යම් විධිමත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් කිසිවිට අපට හසු නො වන්නේ යැයි සැලකූ යථෙහි යුගයට අප අවතීර්ණ වී ඇති බව “ආයු“ චිත්‍රපටය අපට පෙන්වා දෙයි. ඒ අනුව “ආයු“ චිත්‍රපටය නැරඹීමේ දී අප රස විඳින්නේ ජීවිතයේ සැනසුම හා අර්ථය සොයා ගිය මැදපාන්තික රූමත් වෛද්‍යවරියකගේ ජීවිතයේ ඛේදවාචකය යි. චිත්‍රපටය තුළ ඇගේ මැදපාන්තික ජීවිතය කරදර රැසක් බවටත්, HIV වෛරසය ශරීරගත වීමෙන් පසු ඇගේ ජීවිතය දිදුලන යථාර්ථයක් බවටත් පත් කර ඇත. සැපවත් ජීවිතයක් ගත කරන මැදපාන්තික වෛද්‍යවරියකට වඩා HIV වෛරසය ශරීර ගත වූ මැදපාන්තික වෛද්‍යවරියක් අපගේ ආශාව වඩවාලන්නේ ඇයි? චිත්‍රපටයේ අප ආකර්ෂණය වන නිලය ඇත්තේ එහි ය. ඇගේ ජීවිතය දිදුලන මැදපාන්තික ජීවිතයක් බවටත්, HIV වෛරසය ශරීරගත වීමෙන් පසු ඇගේ ජීවිතය දුක් කම්කටොළු රැසක් ලෙසත් පෙන්නුම් කළේ නම් ඒ තුළ චිත්‍රපට කතාවක් නො පවතියි. නිදසුනකට දකුණු කොරියානු “Parasite” (2009) චිත්‍රපටයේ කිම් පවුල සතුටින් ගත කළ බව පෙනෙන්නට තිබූ ජීවිතය අර්බුදයට යාම නැරඹීමෙන් අප විනෝද වෙයි. මේ තුළ අපට එක් ශ්‍රී ලාංකික යථාර්ථයක් ද අභිමුඛ වේ. මැදපාන්තිකයන් දුක් විඳින ආකාරය අප නැරඹීමට පෙළඹෙන්නේ ඇයි ද යන්නය. එහි දී අපට අපගේ ම ආශාව අභිමුඛ වේ. එ නම්, අපගේ ආශාව වන්නේ මැද පාන්තිකයන් ගත කරන සුවපහසු ජීවිතය නැරඹීම නො ව ඔවුන්ගේ විනෝදය තර්ජනයට හා පැහැර ගැනීමට ලක්වීම නැරඹීමයි. වර්තමාන සමාජීය කතිකාව ගොඩනැංවී ඇත්තේ ද මේ වටා ය. පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ක් හෝ වත්මන් පාර්ලිමේන්තුවේ අශෝක රන්වල මන්ත්‍රීවරයා අපට වඩා විනෝදය විඳින්නේ ය යන ප්‍රකාශ මගින් මිනිසුන් ලබන විපරීත විනෝදය හෙළිදරව් කර ගත හැක්කේ ඒ අනුව ය.

මෙම චිත්‍රපටය මනෝවිද්‍යාත්මක මහාකාව්‍යයක් තරමට ම ප්‍රේක්ෂිකාව මනෝවිද්‍යාව දෙසට කැඳවාගෙන යන චිත්‍රපටයකි. තමන්ට තමන් අහිමිවීම නමැති තේමාව ඒ තරමට ම ප්‍රබල ය. එනම්, චිත්‍රපටයේ විඳවන බාහිරත්වයක් නිරූපණය වුවත් මනෝවිශ්ලේෂණයට අනුව මෙම බාහිරත්වය යනු ඇගේ අභ්‍යන්තරයෙන් පිටතට ප්‍රක්ෂේපණය වූ බාහිරත්වයකි. සචින් මෙන් ම ආයු යනු ද එහි පිළිබිඹු ය. මේ සියලු දේ තුළ පවතින පොදු බව නම් තමන් නිවැරදි යැයි සිතමින් කරනු ලබන දේ හා කියනු ලබන ප්‍රකාශ තුළ නො දැනුවත්භාවයක් (ignorance) පැවතීම ය. ඒ ගැන කිසිවෙකු නො සිතයි. “ආයු“ මඟින් අපට පෙන්වා දෙන්නේ යථ ජයග්‍රහණය කරන්නේ අර්ථය පවතින තැන බව ය. එවිට යථ යනු අප සිතන ජීවිතයට එරෙහිව පවතින්නකි. පැවැත්ම යථක් වන විට ස්ථිරභාවය යන්න අදාළ වන්නේ පරිකල්පනයට ය. නමුත් මේ දෙකට ම අදාළ ක්‍රියාකාරී තර්කනය වන්නේ අඩුව යි. පැවැත්මේ දී මෙම අඩුව පිළිගැනීම සිදු විය යුතු අතර ස්ථිරභාවයේදී මෙම අඩුව වසා දමන්නට උත්සාහ කරයි. නමුත් මනෝවිශ්ලේෂණයට අනුව මෙම නෛසර්ගික අඩුව අපට මග හැරිය හැකි නො වේ. එබැවින් අඩුවක් නො මැති ජීවිතය සොයා යාමේ දී අනතුරක් හා වෛරසයක් අභිමුඛ වීම අහම්බයක් නො වේ. එනම්, අපගේ අඩුව අපට තහවුරු කරන යමක් සිදු වේ. මනෝවිශ්ලේෂණයට අනුව ලෝකය යනු කිසියම් වූ සංකල්පයක් මත පදනම් වූ ෆැන්ටසියකි. එවිට කථනය මගින් උත්පාද වූ යථාර්ථයක් එහි පවතියි. අප මීට පෙර ලිපිවලදී ද සඳහන් කර ඇති පරිදි ආත්මය කතා කරනවා නො ව ආත්මය විසින් කතිකාව කතා කෙරේ. අවිඥානක ආත්මය කතා නො කරන අතර එය කතා කෙරෙයි. කතා කෙරෙන ආත්මයේ පැවැත්මේ බේරිය නො හැකි මෙම අවුල වටා ගොඩනැඟෙන මෙම චිත්‍රපට ආඛ්‍යානය අපි විමසා බලමු.

“ආයු“ චිත්‍රපටය ආවේගකාරී හැසිරීම්, පවුලේ ගැටුම් සහිත වටපිටාවකින් යුක්ත වුව ද චිත්‍රපටය අවසන් වන්නේ සැනසිලිදායක පසුබිමක ය. එය නිෂ්මි චිත්‍රපටය ආරම්භයේ පැතූ සැනසිල්ල ද? නො එසේ නම් ඇයට අවිඥානකව තිබූ සැනසිල්ල ද? ඇය සෑම විට ම අපේක්ෂා කළේ සැනසිලිදායක පවුල් ජීවිතයකි. නමුත් ඇයට අභිමුඛ වූයේ හුදෙකලා ජීවිතයකි. එය එක්තරා ආකාරයකට සංකේතනයට මගහැරෙන නො අවබෝධයක් ලෙස සංකේතනය තුළ ම පැවැති දෙයකි. සචින් මගින් සිදුවූයේ ඇයට අවිඥානකව තිබූ ඇගේ ආශාව ඇයට අවබෝධ වීම ය. ඇයගේ හුදකලාභාවය පිළිබඳ අප කතා කරන්නේ නම් එය අදාළ වන්නේ මනෝවිද්‍යාවට ය. නමුත් මනෝවිශ්ලේෂණයට අනුව එය ඇගේ පැවැත්මේ පවතින අඩුවකි. ඇය සැමියාට ලබා දීමට උත්සාහ කරන ගැබ් ගැනීම නමැති පණිවිඩය අනෙකා අරමුණු කර ගත් ඇගේ ආශාව සැඟවුණු වුවමනාවකි (demand). ආශාව යනු තමන්ට අවශ්‍ය කුමක්දැයි ආත්මය නො දන්නා යමකි. එනම්, ආශාවේ දී ආත්මය තමන්ට තමන්ව ම දැකීමට නො හැකි ස්ථානයක් පවතියි. නමුත් ඉහත ආකාරයේ වුවමනාවක් පැවතිය ද අදාළ කිසිම වස්තුවක් මගින් අපගේ ආශාව තෘප්ත කළ නො හැක. හදිසි අනතුරේ තර්කනය බිහිවන්නේ ඒ අනුව ය. හදිසි අනතුර ඇගේ පරිකල්පන යථාර්ථය ඉරා දමන අතර වියනොහැකියාව (impossibility) අභිමුඛ කරවයි. එ මගින් ආශාව අතෘප්තිමත්ව තබයි. ඉරාන සිනමාවේ අනවරත ගමනක යෙදෙන කාරයක් නිරූපණය වන්නේ නම් ශ්‍රී ලංකේය සිනමාවේ එම කාරය හදිසි අනතුරකට ලක් වීම හෝ යන ගමන අඩාලවීම සිදු වේ.  උදා – “දොලාවක් අතර“ (1966), “පැරඩයිස්“ (2023). එසේ නම් ඉරාන සිනමාවේ අනතුරකට ලක් නො වී දීර්ඝ ගමනක් යෙදිය හැකි වුවත් එම ගමන අසාර්ථක කරවන, අඩාල කරවන යමක් ලාංකේය සිනමාවේ නිරූපණය වේ. රටින් රටට විනෝදය සංවිධානය වී ඇති ආකාරය නිරූපණය වීම ඉන් පිළිඹිඹු වේ. ඉරාන සිනමාව චක්‍රිය ආකෘතියක් ගන්නේ නම් එයට සාපේක්ෂව ලාංකේය සිනමාව එම චක්‍රීය බව බිඳවට්ටවා අප ආශාවේ කලාපයට ගෙන එයි. ඉරාන යථාර්ථය දිදුලන යථාර්ථයක් නො වේ. එය ඕලාරික යථාර්ථයකි.

අපගේ ඉරණම වෙනස් කිරීමේ සාධකය වන්නේ විනෝදය යි. එය අපට අයිති නැති ආකාරයට පෙනෙන අපට වේදනාව ලබා දෙන බිහිසුණු අනේකත්වයකි. චිත්‍රපටයේ නිෂ්මිගේ සාංකාව නිසා ඇය ආතති සහගත තත්ත්වයකට පත්වීම සිදු වේ. අපට සාංකාව ඇතිවූ විට සිදු වන්නේ විනෝදය මගින් අපව දැඩි ග්‍රහණයට නතු කොට ලුබ්ධිමය සංතෘප්තභාවයක් ඇති කිරීම යි. සාංකාමය තත්ත්වයක දී යමෙකුට එදිනෙදා කටයුතු පිළිබඳ පවතින ඇල්ම හීන වී යයි. එයට හේතුව ඔහු/ඇය විනෝදයට බැඳී සිටීම ය. නිෂ්මි පිරිමින් දෙදෙනකු අතර දෝලනය වන අතර‍ සැමියා සොයා ඇල්ල සංචාරක කලාපය වෙත තනිව වාහනයෙන් ගමන් කිරීම, නිතර මව සමග ඇතිවන ගැටුම්කාරී සංවාද හා රුධිර පරිත්‍යාගශීලියා හඳුනා ගැනීමට යාම ඇයගේ ආත්මීය ව්‍යුහය ප්‍රකාශමාන වන සිදුවීම් ය. එබැවින් සැමියා සහ තම මව සමඟ පවතින ආතතිමය සබඳතාවය මගින් පවුල් කේන්ද්‍රීය බව ප්‍රතික්ෂේප කිරීම, හදිසි අනතුරකින් පසු දරු ගැබ විනාශ වීම මගින් මාතෘත්වයෙන් ඉවත් වීම හා අවසානයේ පිරිමින් දෙදෙනා ම අත්හැරීම මගින් ඇගේ රැඩිකල් නිදහස ප්‍රකාශමානවීම ආදිය අප අන්තර්ගතමය වශයෙන් නො ව ව්‍යුහාත්මක ආකාරයක් ලෙස ගෙන විමසිය යුතුව ඇත. ස්ත්‍රී නිදහස මගින් ප්‍රකාශමාන වන අසම්පූර්ණ සමස්තයක් පිළිබඳ චිත්‍රපටයක් ලෙස ද මෙම චිත්‍රපටය නම් කළ හැකි ය.

ඇය HIV වෛරසය ශරීරගත වී ඇති බව දැන රුධිර පරිත්‍යාගශීලියා සොයා යන්නේ ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටවල මෙන් පළිගැනීමට නො වේ; විකල්ප ධාරාවේ චිත්‍රපටවල මෙන් ආදරය කිරීමට ද නො වේ. ඇය සොයා යන්නේ ආශාවේ වස්තුව ය. ඇයගේ ආශාවේ අඩුව වන්නේ මෙම වස්තුව ය. ඒ අනුව සචින් කුඩා වස්තුව (object a) ප්‍රතිමූර්ත කරයි. (නමුත් ඔහු සැබැවින් ම එම ආස්ථානය නියෝජනය කරන්නේ ද? එය ඉදරියේ දී සාකච්ඡා කෙරේ.) වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් ඇය සම්බන්ධ වන ක්ෂතිමය සිදුවීම් දාමයෙහි ඉතිරි වන ශේෂය වන්නේ ඔහු ය. ඇගේ ආත්මයේ දෙබෙදුම ($) සලකුණු කරන්නේ එමගිනි. ඇයට වෛරසය ශරීරගත වීම මගින් සචින් ඇයට සමීප වන අතර ම ඇය සමඟ දුරස්ථ බවක් ද පවත්වාගෙන යයි. සචින් ජීවත් වන කටුක ජීවන වටපිටාව තුළ ඇය ඉතා සැහැල්ලුවෙන් කාලය ගත කරන පසුබිම සැකසෙන්නේ ඒ අනුව ය. සචින්ගේ මියයාමත් සමග ඇය හුදෙකලාවීම ඇයගේ තෝරාගැනීමක් නො ව ඇගේ නව ආත්මීය ස්ථානය යි. ඇය ඇගේ ෆැන්ටසිය තරණය කර අනෙකාගේ අඩුවට අභිමුඛවීම මගින් එය සිදු වේ. තවත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් ඇයගේ පැවැත්මට අදාළ ඇයගේ සම්බන්ධය සලකුණු කිරීම මෙහි දී සිදු වේ. එම සලකුණු කිරීම හෙවත් ඇයගේ සැබෑ නිදහස මූර්තිමත් කරවන්නේ ආයු මගිනි. ඒ අනුව HIV වෛරසය මගින් ඇය රෝගී කළ ද ඇගේ ආත්මීය ව්‍යුහයට ස්ථාවරත්වයක් ලබා දෙයි.

චිත්‍රපටයේ ඇත්තේ නිශ්මිගේ කතාව ය. එසේ නම් චිත්‍රපටයේ නම “ආයු“ වූයේ ඇයි? අප මේ විසඳා ගනිමින් යන්නේ එම ගැටලුව යි. කාත් කවුරුත් නො මැති හුදෙකලා දැරියකගේ නම චිත්‍රපටයේ නාමය වීම ඉහත යෝජනා කළ පරිදි නිෂ්මිගේ ආත්මය නියෝජනය කිරීමක් විය නො හැකි ද? සචින් නැමැති වැල්ලේ සිටින තරුණයා ඇයගේ ෆැන්ටසිය තරණය කිරීමට ඉවහල් වුව ද ආයු නැමැති දරුවා යනු කවුද යන්නට වඩා කුමක් ද යනුවෙන් අප වර නගන්නේ නම් එම ගැටලුව අපට විසඳා ගත හැකි ය. අප දන්නා පරිදි ආත්මය යනු එක් හැඟවුම්කාරකයක් වෙනුවට වෙනත් හැඟවුම්කාරකයකින් නියෝජනය වන්නකි. නිශ්මි නමින් වෛද්‍යවරිය නියෝජනය වනු ඇතැයි සිතුව ද ඇය සැබැවින් ම නියෝජනය වන්නේ ආයු ලෙස ය. මනෝවිශ්ලේෂණයට අනුව මෙම චිත්‍රපටයේ පවතින්නේ මෝබියන් ආකෘතියකි. එ නම්, චිත්‍රපට කතාව එක ම තලයක ඉහළ හා පහළ අපව රැගෙන යයි. මෝබියන් තලයක බැලූ බැල්මට ඇතුළතක් හා පිටතක් පවතින බව පෙනුනත් එම තලය දිගේ ඔබ ඔබේ ඇඟිල්ල රැගෙන යන්නේ නම් ඔබට වැටහෙන්නේ එහි කොටස් දෙකක් නො පවතින බවත් පවතින්නේ එක පෘෂ්ඨයක්/තලයක් පමණක් බව ය. ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව සවිඥානය හා අවිඥානය අතර පවතින සම්බන්ධය ද එවැන්නකි. නිදසුනකට හුදෙකලා නිෂ්මිගේ (මතුපිට තලය) ද්විත්වය ලෙස හුදෙකලා ආයු (යටි තලය) අපට හමු වේ. සංචාරක මඟ පෙන්වන රවිගේ (මතුපිට තලය)  ද්විත්වය ලෙස සංචාරකයින් සමඟ වෙරළේ කටයුතු කරන සචින් (යටි තලය) අපට හමු වේ. එය සිදු වන යාන්ත්‍රණය අපි වටහා ගනිමු.

ජීවිතයේ සැනසුම සොයන වර්තමාන නිෂ්මිලාගේ ජීවිතය ඔවුන් සිතන ආකාරයට ම තමන්ට අවශ්‍ය පරිදි ගොඩ නගා ගන්නා ස්වාධීන ජීවිතයක් ද? ජීන් බොද්‍රිලාද් තමන් පිළිබඳව සඳහන් කරමින් පෙන්වා දුන්නේ ජීන් බොද්‍රිලාද් යනුවෙන් සැබෑ කෙනෙකු නො මැති බවත් තමා ද පිටපතක් බව යි. සැබෑව හා පිටපත අතර වෙනස මැකී ගොස් ඇත. එම අදහස් අනුව සංඥාව තවදුරටත් යථාර්ථය පිළිබිඹු නො කරන අතර යථාර්ථයට වඩා සැබෑ යමක් ප්‍රබන්ධ ගත කරයි. මෙය සමාජ මාධ්‍ය තුළ වඩාත් හොඳින් නිරූපණය වේ. තමන් වාර්තමානයේ මාධ්‍ය තුළ පළ වන ප්‍රවෘත්තියක් මෙන් සංස්කරණය කරන ලද පිටපතක් බවත් තමන් යනුවෙන් සැබෑ පුද්ගලයකු ඒ තුළ නො මැති බවත් සමාජ මාධ්‍යකරුවන්ගේ/පරිශිලකයන්ගේ නො දැනුම යි. කෙනෙකුට කලින් ම සෑදූ ෆැන්ටසිමය අච්චු සමාජ මාධ්‍ය මගින් පිරිනමයි. ඒ ඇසුරින් තමන් පිළිබඳ අනන්‍යතාවය හා සන්නාමකරණය වඩා ප්‍රචලිත වෙමින් පවතියි. නමුත් මෙහි පවතින සත්‍යය නම් මෙම අනන්‍යතා මිනිසා තුළ සවිකිරීම (install) කිරීම පමණක් සිදු වන බවත් සමාජ මාධ්‍ය තුළ පුද්ගල ගොඩනැංවීමක් (building) සිදු නො වන බවත් ය. තාක්ෂණ ධනවාදය, වේදිකා ධනවාදය මගින් පිරිනමන මෝහනීය ෆැන්ටසිය තුළ අප සක්‍රීය සහභාගිත්වයක් සිදු කරන අතර එමගින් අපෙන් බැහැරට ගිය අපේ ආත්මීය රහස නැවත අප වෙත ම ප්‍රතිඉදිරිපත් කරමින් අපට අප පිළිබඳ උණුසුම් හැඟීම් ලබා දෙයි. එබැවින් සමාජ මාධ්‍ය වේදිකා, සමපේක්ෂණ ධනවාදය හා ඇල්ගොරිදම නිසා අනන්‍යතාවය තවදුරටත් සංකේතීය මැදිහත්වීම මත නො ව මායාමය, මෝහනීය ගොඩ නැංවීමක් බවට පත් වෙයි. එය සමාජ බන්ධනයක් ගොඩනැගීමට තරම් ශක්තිමත් නො වන බැවින් නිශ්චිත අනන්‍යතාවයක් ලබා නො දෙයි. ඒ නිසා මේ මගින් අනන්‍යතා අර්බුදයක් හට ගනියි. වර්තමානයේ සැනසුම සොයා යන්නවුන්ගේ සත්‍යය මෙය නො වේ ද? ඔබ රැල්ලට දුවන්නේ ඔබේ ම බද්ධදෘෂ්ටියෙන් ලැජ්ජා සහගත ලෙස ඔබව නිරීක්ෂණය කරන බවක් හැඟී යාම නිසා මිස බාහිර පුද්ගලයින් නිසා නො වේ. නූතන මිනිසා වඩාත් කීකරු තමන්ව ලැජ්ජාවට පත් කරන වෙළඳපොළ බලවේග වෙතට සහ තමන් ම විශ්වාස කරන දේට ය. ඒ කෙසේ වෙතත් එම හඹායාම තුළ අපගේ පැවැත්මේ අඛණ්ඩතාව බිඳවැටෙන විට සාංකාව ඇති වීම වැලැක්විය නො හැක.

“ආයු“ චිත්‍රපටයේ නිෂ්මි අත්විඳින විනෝදය ඇය ද නො දැනුවත් ෆැලික විනෝදයට අතිරේක විනෝදයකි. අනෙකාගේ අඩුවට ඉලක්ක වන මෙම අතිරේක විනෝදය පූර්ණ වශයෙන් සංකේත පිළිවෙලට ඌනනය කළ හැක්කක් නො වේ. එය කිසිවිට දැන ගත හැකි හෝ පූර්ණ වශයෙන් ප්‍රකාශ කළ හැකි යමක් ද නො වේ. එබැවින් ඇගේ විනෝදය විසින් ම ඇය අපේක්ෂා කරන සැනසුම හෝ ඒකත්වය බිඳ දමයි. පිරිමියාගේ පැත්තෙන් බලන කළ මෙම ස්ත්‍රී විනෝදය ඔහුට ප්‍රහේලිකාවක් වන අතර ම ආකර්ෂණීය දෙයක් ද වන්නේ ය. මෙම තත්ත්වය පිරිමි බද්ධදෘෂ්ටියේ වස්තුවක් ලෙස පෙනී යා හැකි ය. නමුත් ස්ත්‍රීත්වය යනු පිරිමි බද්ධදෘෂ්ටියේ හා ආශාවේ වස්තුවක් වන්නා සේ ම සංකේත පිළිවෙළ පූර්ණ කිරීමේ පිරිමි උත්සාහය වලක්වන රැඩිකල් අනේකත්වයක් ද වේ. ප්‍රියලාල් සිරිසේනගේ “දෙයියන්ගේ ඇතා“ නවකථාවේ හරය ද එය යි. නියුරෝසික පිරිමියාට මෙම ස්ත්‍රියගේ අතිරේක විනෝදය හෙවත් රැඩිකල් අනේකත්වය අවබෝධ කර ගැනීමට නො හැකිවීම පිළිබඳ ප්‍රකාශනයක් ලෙස ද “ආයු“ චිත්‍රපටය නම් කළ හැකි වන අතර එය අවබෝධ කර ගැනීම සඳහා වන උත්සාහය මෙහි පවතින්නේ පරිකල්පන රෙජිස්ටරයේ ය. එහි දී පුරුෂයා තුළ පවතින ෆැලික ආශාවන් හා සාංකාවන් එම උත්සාහයට ආරෝපණය වේ. එ නම්, ස්ත්‍රී විනෝදයෙන් බාහිර පුරුෂ ආත්මීයත්වයක් ද එම උත්සාහය (මෙම චිත්‍රපටය) තුළ පවතියි. මෙය “The Island” පුවත්පතට “ආයු“ චිත්‍රපටය පිළිබඳ සුසිරිත් මෙන්ඩිස් සපයා තිබූ විචාරයෙන් කදිමට නිරූපණය වේ. ඔහු මෙසේ සඳහන් කරයි.

 

“I am left wondering whether she is unaware of her illness when she frolics with the beach boy and a growing warmth and intimacy develop between her and Sachin. Because we get to know that by this time, she is aware of her illness. The contrasting juxtaposition of her depression and her sense of joy in the presence of Sachin is not easy to unravel. I still can’t.”

– “Ayu” – A Review, The Island, 24/10/2025

 

එහි දළ සිංහල පරිවර්තනය පහත පරිදි ය.

 

“ඇය සහ සචින් අතර උණුසුම් සමීපතාවයක් ඇති වන විටත් ඇය වෙරළේ සිටින මෙම තරුණයා සමඟ කෙළිලොල්ව ගත කරන විටත් ඇය තමන්ගේ අසනීපය පිළිබඳව නො දැන සිටියාදැයි දෙගිඩියාවක් මා තුළ පවතියි. මන්ද යත්, ඒ වන විටත් ඇය තම අසනීපය පිළීබඳව දැනුවත්ව සිටි බව අපට පසුව දැනගන්නට ලැබෙන බැවිනි. ඇය තුළ පවතින විෂාදය සහ සචින් අසල දී ඇය ලබන ප්‍රීතිය අතර ඇති මෙම පරස්පර විරෝධී සංසන්දනය නිරවුල් කර ගැනීම පහසු නැත. මට තවමත් එය කළ නො හැක.“

කෙතරම් උත්සාහ කළත් ස්ත්‍රී විනෝදය යනු වටහා ගැනීමට අසීරු, පුරුෂයාගේ හිස භ්‍රමනය කරවන්නක් බව මනෝවිශ්ලේෂණය පෙන්වා දෙන්නේ එබැවිනි.

 

නිශ්මිගේ කතාව අපට කියවා ගත හැකි තවත් ආකාරයක් ද පවතියි. චිත්‍රපටයේ නිරූපණය වන ඇගේ තනිකම යනු ඇය පිළිබඳ නිරූපණයකට වඩා ඇය සහ සමීපතමයන් අතර සබඳතා පිළිබඳ නිරූපණයකි. නමුත් එහි දී ඇයට ලැබෙන පණිවිඩය නම් “ඔබ මුහුණ දෙන ප්‍රශ්න ඔබ ඇති කරගත් ඒවා නො වේ. ඒවා වෙනත් අය විසින් ඇති කළ ප්‍රශ්න වේ.“ යන්න ය. නමුත් ප්‍රශ්න නො මැති ජීවිතය සොයා යාමේ දී අභිමුඛ වන්නේ කිසිසේත් ම අපේක්ෂා නො කළ වෛරසයක් වැනි අනතුරක් වීම අහම්බයක් ද? අපට නො වැටහෙන්නේ නිෂ්මි අපේක්ෂා කරන මෙම පූර්ණ බව ගොඩනැගෙන්නේ ම ඇගේ සැමියාගේ අවිවේකය නිසා මිස සැබැවින් ම පූර්ණ බවක් පවතින නිසා නො වන බව ය. ඒ අනුව චිත්‍රපටයේ මෝබියන් ආකෘතිය අනුව අවසානයේ අපට මුණ ගැසෙන සචින් ගොඩනැගෙන්නේ රවි නිසා ය. සචින්ගේ කෙළිලොල් බව අප දකින්නේ අවිවේකී රවි නිසා ය. සචින් හිත හොඳ තරුණයෙකු බව පෙන්වීම මගින් ඔහුගේ රස්තියාදුකාර ජීවිතය ඉස්මතු වනු වෙනුවට ඔහු නිෂ්මිට සම්බන්ධ හැඟවුම්කාරකයක් බවට පත් වේ. ඔහුගේ රස්තියාදුකාර බව ඉස්මතු නො කර සඟවා ලන තිරය නම් නිෂ්මි ය. තමන් වෙන්වීමෙන් පසු නිෂ්මි අහම්බෙන් මුණගැසෙන විට රවිට පෙනෙන්නේ ඇය නො ගැලපෙන්නෙකු සමග සිටින ආකාරයට ය. ඔහු කම්පනයට පත් වුවත් චිත්‍රපටය නරඹන අප කම්පනයට පත් වන්නේ නැත.

“ආයු“ චිත්‍රපටයට අනුව ඒඞ්ස් රෝගය වැළඳුන වැල්ලේ තරුණයෙකු  එම රෝගය නො වැළඳුන මැදපාන්තික පිරිමියාට වඩා අපගේ ආශාවට ආමන්ත්‍රණය කරන්නේ ඇයි? මේ ආකාරයට ම ලාංකික ජහමනයා රනිල් වික්‍රමසිංහගේ සිට මැදපාන්තික පිරිමියාට දක්වන්නේ විකර්ශනයකි. ඒ වෙනුවට විනෝදය ලබා දෙන ගැමි පිරිමියෙක් අපේක්‍ෂා කරයි. එය මහින්ද රාජපක්ෂගේ සිට ලාංකේය දේශපාලනයට අදාළ ය. එක් අතකින් උත්කර්ෂය යනු ආකෘතියක් නො මැතිකමට ආකෘතියක් ලබාදීමකි. ලංකාවේ දේශපාලනයේ නිලය ඇත්තේ මෙතන නො වේ ද? එය පසුව සාකච්ඡා කෙරේ. මේ අර්ථයෙන් සලකන විට අප මෙම චිත්‍රපටය නැරඹීමේ දී සිදු කරන්නේ පාදඩකමට ඇළුම් කිරීම මර්දනය කර කොහේ හෝ ඇති හොඳක් එයට ආදේශ කිරීම ය. මේ ආකාරයට ම අප සිතන්නේ මෙරට විචාරකයින් පොත් කියවන බව ය; නව දැනුමෙන් සන්නද්ධ බව ය. එය අපගේ පැවැත්මේ ආස්ථානය වෙනුවෙන් අප ඔවුන්ට ආරෝපණය කරන දෙයක් මිස සැබැවින් ම ඔවුන් තුළ පවතින දෙයක් නො වේ. ඔවුන් ලියන කියන දේ දෙස බලන විට එය පෙනී යයි. එසේ නම් අපට මෙවැනි පිරිමින් අවශ්‍ය වන්නේ ඇයි? එය අප හොඳින් ම දන්නා ඒත් අප නො දන්නා සේ පවතින අපගේ නාසිසිමික පැවැත්ම තහවුරු කරන අපගේ ම නරුමවාදී ආස්ථානය යි.

“ආයු“ චිත්‍රපටයේ රවි හා නිෂ්මි අතර පවතින කිසිදා පිළියම් කළ නො හැකි වෙනස (irremediable division) ඔවුන් දෙදෙනා පිළි නො ගැනීම යනු අනෙකාගේ අඩුව අවබෝධ කර නො ගැනීමකි. මෙය පිළි නො ගැනීම යනු සංස්ථිතිය හෙවත් පරිකල්පනීය පරිපූර්ණ බවක් වෙත යොමු වීමකි. මෙම කිසිදා පිළියම් කළ නො හැකි වෙනස පිළි නො ගැනීම මගින් යථ අද්දරට අපව රැගෙන යයි. නිෂ්මි චිත්‍රපට කතාවේ පෙර බිමට එන්නේ මෙම කිසිදා පිළියම් කළ නො හැකි වෙනස හෙවත් ආතතිගත සබඳතාවය නිස යි. එ මගින්, නිෂ්මි යථ වෙත ප්‍රවේශ වීමේ මාර්ගය උදා කර ගනියි. සචින් ඇයට මුණ ගැසෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. එසේ නම් සචින් හා නිශ්මිගේ සම්බන්ධතාවය වටහා ගැනීමට අපට තවත් මානයක් පවතියි. ඒ අනුව HIV වෛරසයට ඇය අභිමුඛ වීම යනු යථ වෙත ප්‍රවේශ වීමයි. එහි දී ඇය යථමය කලාපයට අවතීර්ණ වීම සිදුවන්නේ නම් එහි (වැල්ලේ ජීවිතය) යම් දිදුලන බවක් පවතින්නේ ඇයි? අප යථ යනුවෙන් සඳහන් කරන්නේ සංකේතනයට ගත නො හැකි යමකි. නමුත් මෙම HIV වෛරසය නමැති යථ හරහා ඇය වියනොහැකියාව වෙත ගමන් කරයි. ලැකාන්, යථ හා වියනොහැකියාව (real and impossibility) අතර විරුද්ධතාවයක් පෙන්වා දෙයි. එහි දී වියනොහැකියාව (impossibility) යනු ලෝකය පවතින අයුරින් පිළිගැනීම යි. එය අර්ථ විරහිත පරිකල්පන ලෝකය යි (සචින් මුණ ගැසීමෙන් පසු ලෝකය). ලැකාන්ට අනුව යථ (real) යනු කෑදර මුහුදුලිහිණියෙකු හා සමාන ය. යථ බලපවත්වන්නේ අර්ථය පවතින නිසා ය. හොඳින් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන කරුණක් නම් නිෂ්මි හා සචින් වෙරළේ ගත කරන කාලය තුළ සිනමාත්මක දිදුලන බවක් පමණක් පවතින බව ය; ඔවුන් කරන කියන දේ තුළ අර්ථයක් නො පවතින බව ය. නිශ්මි සචින් ප්‍රශ්න කරමින් ඔහුව අර්ථයකට ගෙන ඒමට උත්සාහ කළ ද සචින් තමා ගැන හෙළි කිරීම මග හරියි. ඇය වෙරළේ ගත කරන මෙම කාලය අනවරත සැරසැරීමක් හා කාලය ගත කිරීමක් පමණි.

ඇයට යථ අභිමුඛ වන්නේ ජීවිතයට අර්ථයක්, අරමුණක් හා ඒකත්වයක් සෙවීමේදී ය. එ නම්, ඒ තුළ පවතින සතුට පිළිබඳ හා අපරිමිත බලාපොරොත්තුව යන විශ්වාසය නිසා ය. ඇය යථ සිට වියනොහැකියාව වෙත පිවිසෙන්නේ සචින් සමග තිරෝහරණය හොඳින් සිදු වන නිසා ය. මනෝවිශ්ලේෂණයේ දී විශ්ලේෂිතයාට (analysand) අනුව විශ්ලේෂකයා (analyst) යනු තමාගේ විඳවීම පිළිබඳ පූර්ව දැනුමක් ඇතැයි සිතන (Subject Supposed to Know) ස්ථානයේ සිටින්නෙකි. මෙහි දී නිශ්මි තමන්ගේ නිෂ්ඨාව පවතින්නේ සචින් සමග ඇසුර තුළ බව විශ්වාස කරයි. ඇය සචින් සමඟ තෑගි භාණ්ඩ අලෙවි සැලක සිටින විට අහම්බෙන් ඇගේ සැමියා වන රවි දකින නමුත් ඇය ඔහුට පිටුපා යමින් සචින් වෙතට හැරේ. ඇය මැදපාන්තික රවිට වඩා ලුම්පන් සචින් විශ්වාස කරයි. එම කාලය තුළ ඇය ඉතා සතුටින් හා සැහැල්ලුවෙන් කාලය ගත කරන බව අපට දිස් වේ. නමුත් මෙහි අපට මගහැරෙන යමක් පවතියි. එ නම්, මෙම ලූම්පන් තරුණයාගේ ජීවිතයේ පවතින කර්කශ බවයි. සචින්ගේ ජීවිතයට අර්ථයක් දුන් විට අපට තිරයේ දිස් වන්නේ HIV වෛරසය වැළඳුණු, ජීවත්වීම සඳහා තම ජීවිතය පවා පරදුවට තබා කටයුතු කරමින් විදේශිකයන් සතුටු කිරීමට කටයුතු කරන, වෙරළ අද්දර ලෑලි කාමරයක ජීවත් වන තරුණයකු ලෙස ය. අප එය අමතක කරන්නේ නිශ්මි ඔහුට අර්ථ ලබා දීමේ ක්‍රියාවෙන් ඉවත් වී ඔහු සමග සැහැල්ලුවෙන් කාලය ගත කරන නිසා ය. එය අර්ථ විරහිත පරිකල්පන ලෝකය හෙවත් වියනොහැකිභාවය යි.

මැදපාන්තික කාන්තාවක් වැල්ලේ තරුණයකු ආශ්‍රය කිරීම විගඩමක් නො වී වියනොහැකියාවක් වන්නේ කෙසේ ද? එම ආශ්‍රය තුළ ඇය ලෝකය දකින ආකාරය යනු වියනොහැකියාව වෙත ඇය ප්‍රවිෂ්ට වූ බවට වන සලකුණ යි. තිරෝහරණය හොඳින් සිදුවන බවට ඇගේ හැඟීම්, ඉරියව් හා කථනය තුළින් හෙළිවෙයි. විශ්ලේෂණය සිදුවීමට නම් තිරෝහරණය හොඳින් සිදු විය යුතු ය. එහි දී විශ්ලේෂකයා කුඩා වස්තුවක් (object a) ලෙස හඳුනාගන්නා අතර විශ්ලේෂණය අවසාන වන විට ඔහු වැඩකට නැති තත්ත්වයට, කුණු රොඩ්ඩක් (abject a) බවට පත් වේ. එ නම්, තවදුරටත් විශ්ලේෂිතයාට විශ්ලේෂකයා අවශ්‍ය නො වේ. සචින්ගේ වියෝවෙන් ඇය දුක් නො වේ. එ නම්, සචින් මිය යන අවස්ථාව වන විට ඇයට තවදුරටත් සචින් අවශ්‍ය නැත. එක්තරා ආකාරයකට එය ඇය විසින් ඇගේ අඩුව පිළිගැනීම පිළිඹිඹු කිරීමකි. එය සියලුම මානව සම්බන්ධතාවල පදනම වන ලිංගික සබඳතා නොමැති ය යන ආප්තය පිළිගැනීමකි.

සචින් මිය ගිය පසු ඇය කුඩා දැරිය වන ආයු සමග නිසල දිය මත ඔරුවක නැගී සැහැල්ලුවෙන් ගමන් කරන අයුරු අපට දකින්නට ලැබේ. එ නම්, ඇයගේ පැවති කලබලකාරී සාංකාසහගතභාවය හා හිස්ටෙරික රංගය තවදුරටත් අපට දකින්නට නො ලැබේ. ඇය අතිමූලික ෆැන්ටසිය තරණය කර ඇත. මෙහි දී මතුවන ගැටලුව නම් අප පෙර දී ද මතු කළ මැදපාන්තික කාන්තාවට විශ්ලේෂකයකු ලෙස මැද පාන්තික පිරිමියෙකු වෙනුවට ලුම්පන් පිරිමියකු මුණගැසෙන්නේ ඇයි ද යන්න ය. එසේත් නැත්නම් මැද පාන්තික කාන්තාවක් තමන්ගේ නිෂ්ඨාව ලෙස ලුම්පන් පිරිමියෙකු ෆැන්ටසිකරණය කරන්නේ ඇයි ද යන්න ය. විපරීත පිරිමියෙකු සිතන්නේ ගැහැණුන්ට සැප දෙන්නට දන්නේ තමන් බව ය. නමුත් මනෝවිශ්ලේෂණය පෙන්වා දෙන්නේ වෙනත් යමකි. මෙහි ප්‍රධාන කරුණක් නම් සචින්ගේ ආශාව අනෙක් අයගේ ආශාවට වඩා වෙනස්වීම ය. එ නම්, විශ්ලේෂකයාගේ ආශාව අප දන්නා ආශාවට වඩා වෙනස් ය. මෙහි සචින්ට නිෂ්මි වෙත කියන්නට කතාවක් නැත. නිෂ්මි ඔහු පිළිබඳ තොරතුරු විමසද්දී ඔහු එය මගහරියි. ඔහු නිශ්මි ආශ්‍රය කරන්නේ හිස් අතිනි. ඇය ඉදිරියේ ඔහු හිස් භාජනයක් පරිදි ය. එම හිස් භාජනය පිරවෙන්නේ නිශ්මිගේ මනසේ පවතින ගැටලුවලිනි. ඇගේ සැමියා වන රවි එවැන්නෙක් ද? රවි යනු අන් අය මත පරායත්ත, නිතර ගැටුමට යන පිරිමියෙකි. ඔහු හිස් භාජනයක් නො ව ඔහු පරිකල්පනීය ඒකත්වයක් සහිත නාසිස්මික, පිරුණු පිරිමියෙකි. එවැනි පසුබිමක් තුළ තිරෝහරණය සිදු නො වේ. වර්තමානයේ මැද පාන්තික පිරිමියා යනු වෙළඳපොළ දෘෂ්ටිවාදය මගින් මෙහෙයවෙන, සිය ආශාව මත පරායත්ත ආත්මරාගී පිරිමියෙකි. එවැනි පසුබිමක මැද පාන්තික කාන්තාවකට තම හිස්ටෙරික රංගනය ඉතා හොඳින් සිදු කිරීම හැර සිදු කරන්නට වෙනත් යමක් ඉතිරි වන්නේ නැත. නමුත් ලුම්පන් පිරිමියා නරුම ය. ඔහු මැද පාන්තික කාන්තාවට තමන් හිස් භාජනයක් බව හඟවයි. එය සියලු සැප දෙන පිරිමියා යන පුරුෂ ෆැන්ටසියේ කෙළවර නො ව විශ්ලේෂකයාගේ ආස්ථානය මවා පෙන්වීමකි. ඇයට අවශ්‍ය තම ආශාව ඔහු හරහා වටහා ගැනීමට මිස ඔහු සමග නිදා ගැනීමට නො වේ. මෙහි නිෂ්මි හා සචින් අතර ලිංගික සබඳතාවයක් ඇතිවීමට විශාල ඉඩක් ඇතත් එය සිදු නො වන්නේ මේ නිසා ය. නමුත් අපට මුණගැසෙන “දෙයියෝ සාක්කි“ පන්නයේ ලුම්පන් පිරිමියා මුලින් විශ්ලේෂණ ආස්ථානයක් රඟ දැක්වුව ද අවසානයේ දී ඔහුට වුවමනා වන්නේ තමන්ට අභිමුඛ වන කාන්තාව සමඟ ලිංගික සබඳතාවයක් පැවැත්වීමට ය. වර්තමානයේ මැදපාන්තික කාන්තාවට සිය ජීවිතයේ අවසන් භාගය මනෝවිද්‍යා සායනවලට හා පන්සල්වලට යාමට සිදුවන්නේ මෙම මැදපාන්තික පිරිමින්ගේ නාසිස්මිකභාවය හා ලුම්පන් පිරිමින්ගේ කපටිභාවය නිසා ය.

මෙය වර්තමාන ලාංකේය දේශපාලනයට ද අදාළ ය. නිදසුනකට මැදපාන්තික රනිල් වික්‍රමසිංහ සමඟ ලාංකේය ආත්මය තිරෝහරණයක් සිදු නො වන්නේ ඇයි? රනිල් වික්‍රමසිංහ තුළ පිළිබිඹු වන අනෙකාට ඇති පරායත්තභාවය හා නාසිස්මිකභාවය නිසා තිරෝහරණය සිදු නො වේ. එයට පටහැනිව මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලකයින් ඉහත කපටි රංගනයේ යෙදෙමින් තිරෝහරණය සිදු කරයි. කෙනෙකුට එය මනෝවිශ්ලේෂණ අර්ථයෙන් තිරෝහරණය ද කියා ප්‍රශ්න කළ හැකි ය. එය සායනික අර්ථයෙන් තිරෝහරණයක් නො වුව ද ලාංකේය ආත්මයේ ආශාවේ ගැටළුවට ආමන්ත්‍රණය කිරීමට සිදු කරන ප්‍රවේශයක් ලෙස නම් කළ හැකි ය. නමුත් මෙහි දී දේශපාලකයා ලාංකේය ආත්මයේ ආශාව නිරූපණය කරන්නා බවට පත් වෙයි. එම නිසා සිදු වන්නේ බලය ලැබීම සමඟ එය විපරීත රංගනයක් බවට පත්වීමයි. එනම්, දේශපාලකයා මැද පාන්තික ආශාවේ විනෝදයේ උපකරණය බවට පත්වීම යි. එය භයානක ක්‍රීඩාවකි. ලැකානියානු මනෝවිශ්ලේෂණයේ විශ්ලේෂී කතිකාවට (Analyst’s Discourse) අනුව විශ්ලේෂකයා, කුඩා වස්තුව (object a) බවට බැලූ බැල්මට පෙනී ගිය ද එය සමරූපයක් බව ඇලන් මිලර් ඇතුළු බොහෝ දෙනෙක් අමතක කරයි. විශ්ලේෂකයා තමන් කුඩා වස්තුවට ආදේශ වන විට තිරෝහරණය සිදු නො වන අතර එය විපරීත රංගයක් බවට පත් වේ. විපරීත රංගනය අතරතුර එක් අවස්ථාවක දී විපරීතයා අනෙකා බෙදුණු ආත්මයක් ලෙස චෝදනා කරමින් රංගනය නිමා කර දමා වෙනත් කෙනෙකු තම රංගය සඳහා සොයා ගනියි. තිරෝහරණය අසමත් වන විට සිදු විය හැකි තවත් දෙයක් නම් ප්‍රකාශනාත්මක (රඟදැක්වීමේ) ක්‍රියා (acting out) සිදු කිරීම ය. මෙම චිත්‍රපටයේ නිෂ්මි සිය සැමියා සහ මව සමඟ කටයුතු කරන ආකාරය මෙන් එය සිදු වන්නේ විශ්ලේෂිතයාගේ ක්‍රියාවක් ලෙස ය.

මෙම ක්‍රියාවලිය සඳහා ලැකාන් ඇසුරින් ද නිදසුන් ගොනු කළ හැකි ය. ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය පැවැති අවධියේ ලැකාන් එම ශිෂ්‍ය අරගලයට සහාය නො දෙමින් එය විවේචනය කරන විට ඇලන් මිලර් පෙන්වා දී ඇත්තේ ඔවුන් මාවෝවාදය හොඳින් හදාරා පවතින බලාධිකාරයට එරෙහිව අරගලයක යෙදෙන නිසා ඔවුන් විවේචනය කිරීමෙන් වැළකී ඔවුන්ට සහාය දිය යුතු බව ය. නමුත් ලැකාන් ස්වාමියකු සොයමින් සිටින අරගලකරුවන්ට නව ස්වාමියෙකු ලැබෙනු ඇති බව ප්‍රකාශ කරමින් ඇලන් මිලර්ට පෙන්වා දුන්නේ අරගලකාරීන් දැන් තම දේශනවලට සහභාගී වෙමින් තමා වටා එක්රොක් වන බව නො පෙනෙන්නේ ද යන්න ය. මෙය තිරෝහරණය නිසියාකාරයෙන් සිදුවීම නිසා සිදුවූවක් බව ඔහු පෙන්වා දුන්නේ ය. මේ හේතුව නිසා ලැකාන් යනු ශිෂ්‍ය අරගලය කඩාකප්පල් කළ අයෙක් ලෙසට එවක මාධ්‍ය වාර්තා පවා පළ වී තිබිණි. එබැවින් ලැකානියානු දේශපාලනයෙහි නියැ‍ලෙන විට විශ්ලේෂී කතිකාවට අනුකූල හිස් භාජනයක් (object a නො වී object a හි සමරූපයක්) බවට දේශපාලකයා පත් විය යුතු ය. රනිල් වික්‍රමසිංහ මෙන් නාසිස්මික අස්ථානයේ දී මෙය සිදු නො වේ. ඒ ආකාරයට කෙනෙක් සියල්ල දන්නේ ය යන ආස්ථානයේ සිටින බව තවත් අයෙක් ෆැන්ටසිකරණය කරන්නේ ද, නැතිනම් ඔහු සැබැවින් ම සියල්ල දන්නේ ද යන්න මනෝවිශ්ලේෂණයට අනුව එතරම් වැදගත් ගැටලුවක් නො වේ. එනම්, එම පුද්ගලයාගේ සැබෑ ආස්ථානය හා ඔහු පිළිබඳ ෆැන්ටසිකරණය කිරීම මනෝවිද්‍යාවට අදාළ වන්නක් මිස මනෝවිශ්ලේෂණයට අදාල කරුණක් නො වේ. මනෝවිශ්ලේෂණයට අනුව මෙහි දී වැදගත් වන්නේ ඔහු අනෙකා සමග සිදු කරන ගනුදෙනුව ය. තව ද තමාට අභිමුඛ වන අනෙකා බෙදුණු ආත්මයක් ලෙස මෙහි දී පිළිගැනීමක් සිදු විය යුතු ය. මෙහි පාඩම නම් ලාංකේය මැද පාන්තික දේශපාලනයේ පවතින ආත්මරාගීබව හා පිරුණුබව දේශපාලන තිරෝහරණය සිදු නො කරන බව ය.

නැවතත් අපි “ආයු“ චිත්‍රපටය වෙත පිවිසෙමු. හේතුවේ මිනිසාට උමතුව සමග සංවාද කළ හැක්කේ මනෝවිශ්ලේෂණය මගින් පමණි. ආත්මයට සත්‍යය අනාවරණය කර ගත හැක්කේ එවිට ය. මෙම චිත්‍රපටයේ සචින්ගේ භූමිකාව වටහා ගැනීමට අපට ඉහත අදහස පාදක කර ගත නො හැකි ද? නිෂ්මි සැමියාගෙන්, මවගෙන් හා සචින්ගෙන් නගන ප්‍රශ්නය නම් මම කවු ද යන්න ය. ඇගේ සැමියා හා මව එයට පිළිතුරු ගොනු කිරීමට උත්සාහ කරන විට ඇය ඉන් පළා යමින් ගැටුම් ඇති කර ගනියි. නමුත් සචින් ඇයගේ එම ප්‍රශ්නය මග හරියි. මෙහි දී පෙර ද සඳහන් කළ පරිදි සචින් කුඩා වස්තුව (object a) බවට පත්වන වගක් ඔහුගේ ක්‍රියාකාරීත්වයෙන් නො පෙන්වයි. ඔවුන් අතර ආදරයක් හෝ ලිංගික සබඳතාවයක් ඇති නො වේ. ඒ වෙනුවට ඇය ඔහු මගින් නිදහස්වීමක් නිරූපණය බවක් ඇයගේ හා ඔහුගේ ක්‍රියාකාරීත්වය පෙන්වයි. එ නම්, ඔහු object a වනවා නො ව එහි සමරූපී (semblance) ස්ථානයේ පිහිටයි. එමඟින් ඇය ඇගේ ආශාව වෙත කැඳවයි. ඔහු සිදු කරන කැප කිරීම අනෙකාගේ ආශාව වටහා දීමේ උත්සාහයකි. එය අනෙකාගේ ආශාව නො පැහැදිලි වුවත් අනෙකාගේ පිළිගැනීමක් බලාපොරොත්තු නො වන දෙයකි. මෙහි වැදගත් කරුණ ඔහු ස්වාමි ආස්ථානයේ හෝ මහා අනෙකා වැනි ආස්ථානයක සිට ඇයට උපදෙස් නො දීම යි. ඔහු ජීවිතය නිවැරදි කර ගන්නා ආකාරය කියා නො දෙයි. ඒ වෙනුවට ඇගේ කථනය තුළින් ම ඇය විමුක්තිය කරා ගෙන යයි. අනෙකා මගෙන් ඉල්ලා සිටින්නේ කුමක් ද යන්නට ලබා දෙන පිළිතුරු සහිත ෆැන්ටාස්මතික තිරය ඉවත් කිරීම මගින් ඇගේ සාංකාව ඉවත් වේ. එසේ නො වන්නේ නම් එම ඉල්ලීම ඉටුකිරීම ඇගේ වගකීමක් බවට පත් වේ. මෙම චිත්‍රපටයේ නිරූපණය වන ආයු යනු කාත් කවුරුත් නො මැති රැකවරණය අවම රෝගී දැරියකි. මෙය නිෂ්මිගේ ආත්මීය නියෝජනයක් බව අපි පෙර දී සාකච්ඡා කළෙමු.  නිෂ්මි යනු ද තමන්ට රැකවරණයක් නො මැති ආදරය නො ලබන නිතර සාංකාවට පත් වී සිටින ආතතිගත සබඳතා පවතින රෝගී කාන්තාවකි. නමුත් ඇයගේ සමාජ ජීවිතය තුළ ඇය පියකරු, උණුසුම් හදවතක් සහිත වෛද්‍යවරියකි. චිත්‍රපටයේ අවසානයේදී ඇය හුදෙකලා වන්නේ හා අනන්‍ය වන්නේ කිසිදු හව් හරණක් නො මැති ආයු සමග නොවේ ද?  ඒ නිෂ්මි ජීවිතයේ අර්ථය සොයා ගිය ද සචින් එවැන්නක් නො මැති බව ඇයට දැනෙන්නට ඉඩ හැරීම නිසා ය. ඒ අනුව ඔහු ඇයගේ ආශාව ඇයට අභිමුඛ වන්නට ඉඩ හරියි. චිත්‍රපටය අවසානයේ ඇය කුඩා ආයු මුණ ගැසී කැඳවා ගෙන එන්නේ එබැවිනි. ෆැන්ටසිය තරණය කිරීමෙන් පසු ඇගේ පැවැත්ම ගැටගසන නැංගුරම ලෙස ආයු නම් කළ හැක්කේ මේ නිසා ය. මෙහි දී ඇය පුද්ගලයෙකු, වෛද්‍යවරියක ලෙස නො ව කුඩා වස්තුවක් ලෙස ස්ථල විද්‍යාත්මක තලයේ (topological) කටයුතු කරයි. වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් එහි දී නිෂ්මි යනු පුද්ගලයකු නො ව ක්‍රියාවක් (function) බවට පත් වේ. ඇය “සිනහව අතරින්“ (2015) චිත්‍රපටයේ මෙන් පන්සල් විමුක්තියක් කරා ගෙන නො යාමට අධ්‍යක්ෂවරයා ප්‍රවේශ වීම ඔහුගේ රැඩිකල්බව පෙන්වීමකි.

එසේ නම් මෙවැනි ක්‍රියාවලියකට ඉඩ සකසන මනෝවිශ්ලේශකයෙකු යනු කවුද? මනෝවිශ්ලේශකයෙකු වීම යනු වඩා හොඳ දෙයක් කිරීමට ඉඩ ලබා ගැනීමට හෝ කෙනෙක්ව තේරුම් ගැනීම වැනි හේතු ඉක්මවා යයි. එවැනි කරුණු කෙනෙකුගේ ෆැන්ටසියට අදාළ පරිකල්පනීය බව සලකුණු කිරීමක් පමණි. ෆැන්ටසිය පරිකල්පනීය කලාපයට වැඩි බරක් තබන නිසා එය ආකර්ශනීය මනමෝහනිය බවක් ඇති කරයි. නමුත් එය කෙනෙකු සිරගත කරවන යමක් ලෙස ද නම් කළ හැකි ය. යහපත් පවුල, යහපත් අනාගතය වැනි දේ එවැනි ෆැන්ටසිවලට අදාළ රූප වේ. නමුත් එම රාමුවෙන් ඉවතට යාම අසාර්ථක බව පෙන්නුම් කිරීමක් ලෙස බොහෝ දෙනෙක් සලකයි. එවැන්නන් අසාර්ථක මිනිසුන් ලෙස සැලකේ. මේ නිසා මනෝවිශ්ලේෂණය තුළ අප සාමාන්‍යෙයන් ඉගෙන ගන්නා ෆැන්ටසිය මනෝවිශ්ලේෂණ සායනික ක්‍රියාවට අදාළ නො වේ. විශ්ලේෂකයෙකු එම ෆැන්ටසියට අනුව විශ්ලේෂණ ක්‍රියාව සිදු කරන්නේ නම් ඔහු මනෝවිශ්ලේෂණ ආචාර ධර්මවලින් බැහැර වේ.

විශ්ලේෂණ ක්‍රියාවට සහභාගි වීමට පෙරාතුව විශ්ලේෂිතයාට (analysand) විශ්ලේෂකයෙකුවීමේ ආශාවක් පැවතිය නො හැක. විශ්ලේෂකයෙකුවීමේ ආශාව කෙනෙකු තම විඳවීමට, කථනයට හා ශරීරයට වන සම්බන්ධතාවය වෙනස්වීම සමග සායනය තුළ දී මතු වන දෙයකි. ඒ අනුව කෙනෙකුට විශ්ලේෂකයකු වීමට අවශ්‍ය බව දැනගත හැකි වන්නේ විශ්ලේෂණය තුළ දී මිස විශ්ලේෂණයට පෙර දී නො වේ. එ නම්, එය සිදුවන්නේ විශ්ලේෂණය තුළ දී සිදුවන ආශාවේ පරිවර්තනය තුළ දී ය. එය විශ්ලේෂණීය ආශාව යනුවෙන් නම් කළ හැකි ය. එය දැනුම සඳහා වන ආශාවක් ද නො වන අතර අනිවාර්යයෙන් ම කෙනෙකු තමා තුළ නො දැන සිටි ගතියකි. මනෝවිශ්ලේෂණයට අනුව දැනුම කිසිවක් වෙනස් නො කරයි. අවබෝධ කර ගත් පමණින් රෝග ලක්ෂණ විසඳා ගත නො හැක. එයට හේතුව වන්නේ රෝග ලක්ෂණය අහමින් (ego) පිටත ශරීරය තුළ පිහිටීම යි. එබැවින් යමක් අවබෝධ කර ගැනීම යන්න සෑම විට ම සිතීමට එරෙහිව පිහිටයි. එ නම්, ඔබ යමක් හොඳින් අවබෝධ කරගෙන ඇති බව සලකුණු කරන්නේ නම් ඔබ තවදුරටත් සිතන්නේ නැත. මනෝවිශ්ලේෂකයෙකු වීමට නම් නො සිතීමට හා ආශාවේ අනිශ්චිත බවට විවෘත විය යුතු ය. වස්තුවක් නො මැතිව, අරමුණක් නො මැතිව ආශාව භ්‍රමණය වන විට පමණක් කෙනෙකුට විශ්ලේෂකයෙකු වීමේ ආශාව හට ගනියි. මනෝවිශ්ලේෂණ ආශාව යනු ආශාව එහි වස්තුවෙන් ඉවත් කිරීමකි. එය පහත පරිදි රූපිකව පෙන්විය හැක.

                           $ <> a à $ <> a↓à $ ßà <>

 

එයට පෙර විශ්ලේෂකයෙකු බිහිවීමේ අරමුණක් නො පවතියි. බොහෝ දෙනා තුළ විශ්ලේෂකයකු වීමේ ෆැන්ටසිය තිබෙන නමුත් ඔවුන්ට සායනය අවසානයේ දී විශ්ලේෂකයෙකු විය නො හැක්කේ මේ නිසා ය. ඒ අනුව සායනය ආරම්භයේ දී පවතින මනෝවිශ්ලේෂකයෙකු වීම පිළිබඳ ෆැන්ටසිය සායනය තුළ දී මතු වන විශ්ලේෂකයාගේ ආශාවට සම්බන්ධයක් නො පවතියි. තම රෝග ලක්ෂණයට වෙනස් සබඳතාවයක් සහිතව හා සදාචාරාත්මක නො වන, ඥාන විභාගයට අදාළ නො මැති නව ආකාරයට ගොඩ නැගුණ සායනික ආශාව ඇති විට පමණක් කෙනෙකුට විශ්ලේෂකයෙකු විය හැකි ය.

මෙම චිත්‍රපටය එක්තරා ආකාරයකට ලාංකේය සිනමාවේ අර්බුදය පිළිබිඹු කරන අතර ම එහි කලාත්මක ප්‍රවේශය වෙත ප්‍රතිඑළඹුමකි. ආර්ථික අර්බුදය නව කතන්දර ගොඩනඟනු වෙනුවට සෞන්දර්යාත්මක ආකෘතිය වෙනස් කර දක්වයි. මේ තත්ත්වය තුළ වර්තමාන ආඛ්‍යාන සරල ආකෘතියක් ගනියි. “ක්ලැරන්ස්“ (2025), “වාලම්පූරි“ (2025) හා “නෙළුම් කුළුණ“ (2023) මේ සඳහා උදාහරණ ය. නමුත් “ආයු“ චිත්‍රපට ආඛ්‍යානයේ එවැනි ලුහු බවක් නො මැත. එහි පවතින්නේ මෝබියන් ආකෘතියකි. මෙම ආකෘතිය ලාංකේය දිදුලන සිනමාවට ආගන්තුක ය. ඒවා බොහෝ විට රේඛීය ආඛ්‍යාන ශෛලියක පිහිටයි. වර්තමාන වෙළඳපළ යථාර්ථය මගින් අපට ඉදිරිපත් කරන සැහැල්ලු දිදුලන ජීවිතය, පහසුවෙන් ඉලක්ක හඹා යා හැකි බව මෙන් ම එක ඉලක්කයකට පසු තවත් ඉලක්කයක් සපුරා ගත හැකිය යන විශ්වාසය ලබා දෙන රේඛීය ආඛ්‍යාන ශෛලියක් ගනියි. ඒ ආකාරයට චිත්‍රපටයකින් ධනවාදී පරිභෝජන ජීවිතයේ මතුපිට දිදුලන බව නිරූපණය වන්නේ නම් ධනවාදී කතිකාවට අනුකූල ඉලක්ක ළඟා කර ගත හැකි ආඛ්‍යානයකට එය ගොනු වේ. අන්තර්ගතය එසේ වුවත් එම ඉලක්ක හඹායාමේ චක්‍රීය බව පවතින්නේ ආකෘතිය තුළ ය. එය හඳුනාගන්නා සිනමාකරුවා වෙළඳපළ විසින් පෙන්වා දෙන පහසු දිදුලන හා සැහැල්ලු ජීවිතය තුළ පවතින සාංකාව හා ආතතිය හඳුනාගෙන උඩුගම් බලා යන විවේචක අක්ෂයකට ඇතුල් වෙයි. වර්තමාන රේඛීය ආඛ්‍යාන ශෛලිය තුළ කතා රචකයා මෙන් ම සිනමාකරුවා ද ධනවාදයට කෙතරම් ආකර්ෂණය වී සිටින්නේ ද යන්න පෙන්නුම් කරයි. නමුත් මෙම ඉලක්ක හඹායෑමේ දී අප හෙම්බත් කරවන චක්‍රීය ආකෘතිය හඳුනාගන්නා සිනමාකරුවා දෘෂ්ටිවාදී විවේචකයකු බවට පත් වේ. වර්තමානයේ දේශපාලන සිනමාකරුවා වන්නේ එවැන්නෙකි.

මෑතක දී තිරගත වූ චිත්‍රපට අතරින් “ආයු“ හා “බහුචිතවාදියා“  (2018) නම් චිත්‍රපට අනෙක් චිත්‍රපට අතරින් වෙනස් වන්නේ මේ නිසා ය. ඒවා ධනවාදී ජීවිතය ස්වාභාවික නො කරන අතර එය ගොඩනැංවීමක්ය යන තර්කනය මතු කරයි. නමුත් “වාලම්පූරි“ හා “නෙළුම් කුළුණ“ වැනි චිත්‍රපටවලට ප්‍රේක්ෂිකාව හා විචාරකයා ආශක්ත වන්නේ ඒවායේ පවතින ගෝලීය වෙළඳපොළ ප්‍රවාහයට හසු වූ පරිභෝජනවාදී මතුපිට පැතලි සමාජ සබඳතා වලට ය. සංකීර්ණ මිනිස්භාවයට ඒ තුළ ඉඩ නො පවතියි. එම සංකීර්ණ මිනිස් සබඳතා නිරූපණය කළ හැක්කේ දෘෂ්ටිවාදී විවේචකයෙකුට පමණි. පියාගේ නාමය පිළි නො ගෙන හාස්‍යයට ලක් කිරීම නිසා සිදු වන සංකේතීය නො හැකියාව නිසා සමකාලීන චිත්‍රපට සමකාලීන ආත්මයේ යථමය කලාපය නිරූපණය කිරීමේ නො හැකියාවකින් පෙළෙයි. නමුත් චත්‍ර වීරමන් චිත්‍රපටය ආරම්භයේදී ම පිය සලකුණ සනිටුහන් කරයි. චිත්‍රපටය ආරම්භවද්දී තම පියා වන සමන් වීරමන්ට ඔහු කෘතගුණ දක්වන බව අපට තිරයේ දක්වයි. එබැවින් ඔහු කප්පාදුව සහතික කරයි. චිත්‍රපටයේ පවතින නියුරෝටික ආකෘතිය පිළිබඳ පුර්ව සළකුණ ද ඒ තුළ පවතියි.

රවි-නිශ්මි හා සචින්-නිශ්මි අතර ලිංගික සබඳතාවයක් සිදුවනු අපට දකින්නට නො ලැබීමට “ආයු“ චිත්‍රපටයේ පවතින එම නියුරෝටික ආකෘතිය ද හේතුවකි. නියුරෝසිකයන් ලිංගික සබඳතා ප්‍රබන්ධ ගත කරයි. එමගින් වෙරළේ තරුණයෙකු හා මැද පාන්තික කාන්තාවක් අතර ලිංගික සබඳතාවයෙන් අපව වළක්වයි. හිස්ටෙරිකයන් පාදඩයින්ගෙන් විමුක්තිය ලැබීමට උත්සාහ කිරීම බිඳ වැටෙන අයුරු අප ඩේවිඩ් ලින්ච්ගේ චිත්‍රපටවල දී  ද දැක ඇත්තෙමු. නමුත් සචින් විපරීතයින් මෙන් ඇය පාවිච්චි නො කර යි. ගම්පහ සිනමා ශාලාවලින් මෙම චිත්‍රපටය ඉක්මනින් ගැලවී ගියේ “ආයු“ චිත්‍රපටය අපව විපරීත කිරීම මඳ නිසා ද? නමුත් කඩවත සිනමා ශාලාවේ මෙම චිත්‍රපටය වැඩි කාලයක් තිර ගත විය. ගම්පහ හා කඩවත එකම දිස්ත්‍රික්කයේ ආසන්න නගර දෙකක් වුව ද මැදපාන්තික නියුරෝසිකභාවය ගම්පහෙන් ඈත් වෙමින් පවතින බව “නෙළුම් කුළුණ“, “වාලම්පූරි“ හා “ක්ලැරන්ස්“ නරඹන ප්‍රේක්ෂකයින් අපට ලබා දෙන පණිවිඩය ද? ඒ අනුව චත්‍ර වීරමන් වැනි සිනමාකරුවන්ට පවතින අභියෝගය නම් මෙරට සිනමාවට නව ප්‍රේක්ෂාගාරයක් නිර්මාණය කරන්නේ කෙසේ ද යන්න ය.

චත්‍රගේ සිනමාව එක්තරා අයුරකින් බැලූබැල්මට දෙමුහුම් සිනමාවක් ලෙස පෙනේ. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ හා ප්‍රසන්න විතානගේගේ සිනමාවට අදාළ ආත්මීය කලාපය මෙන් ම ලක්මාල් ධර්මරත්න, තිසර ඉඹුලාන සිනමා පන්නයේ දිදුලන කලාපයක් ද බැලූ බැල්මට එහි අන්තර්ගත ය. මෙම නො ගැළපෙන කලාප දෙකක මුහු වීම යනු වර්තමාන ධනවාදී ආත්මීය ස්වභාවය යි. නමුත් මෙම චිත්‍රපටයේ දිදුලන කලාපය අපව අනෙක් චිත්‍රපට මෙන් විපරීත මානයකට රැගෙන නො යන බව අපි ඉහතින් සාකච්ඡා කළෙමු. එබැවින් මෙම සිනමාව ප්‍රේක්ෂිකාවට යම් ආකර්ෂණයක් ඇති කරන අතර ම දුරස්ථ බවක් හා විකර්ශනීය බවක් ද ගෙන එයි. මීට පෙර දී ද සඳහන් කළ පරිදි තමන්ගේ අභ්‍යන්තරභාවය හා ඒ තුළින් ම ප්‍රක්ෂේපණය වූ පිටතක් (යථමය මානය) එහි අන්තර්ගත ය. එවිට යථ යනු වචන මගින් හා රූප මගින් මැහී ඇති ලෝකයට බැහැරින් ගැටීමකි. එ නම්, මෙහි පැවැත්ම ලෙස අප දකින්නේ ආත්මයේ බහිපැවැත්මේ (extimate) නිරූපණයකි. එ මගින් නිරූපණය වන්නේ තමන්ගේ අසහනකාරී අභ්‍යන්තරය සඟවා මුහුණුපොතේ බැලූ බැල්මට දිදුලන මතුපිටක් නඩත්තු කරන සමකාලීන ලාංකේය ආත්මය නො වේ ද?

 

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

ඔබේ අදහස කියන්න...