back to top
31.1 C
Colombo
Friday, November 20, 2026

මනෝවිශ්ලේෂණය හා දේශපාලනය

0
462

 

මෙය ජාක් ලැකාන්ගේ (Jacques Lacan) මනෝවිශ්ලේෂණ අදහස් සහ ඒ ඇසුරින් ව්‍යුත්පන්න දේශපාලන අදහස් පිළිබඳ විග්‍රහයකි. එ මෙන් ම ලැකාන් සම්බන්ධව ටොඩ් මැක්ගෝවන් රචනා කරන ලද නවතම ග්‍රන්ථයේ (The Cambridge Introduction to Jacques Lacan) විශ්ලේෂී කතිකාව තුළ ස්වාමි හැඟවුම්කාරකය පිළිබඳ ඌනිත කියවීමට දක්වන ප්‍රතිචාරයක් ද වේ. ඔහු සඳහන් කරන්නේ ලැකාන් කතිකා හතර මඟින් ස්වාමි හැඟවුම්කාරකය විමුක්තිදායක ප්‍රවේශයක සිට පවතින පද්ධතියටම අනුකූල කරවන ප්‍රවේශයකට යොමු කරන බව ය.

“මනෝවිශ්ලේෂණයේ ආචාරධර්ම” (The Ethics of Psychoanalysis) (1960) නම් වූ ඔහුගේ VII වන සම්මන්ත්‍රණයේ දී ජාක් ලැකාන් විසින් “වාමාංශික බුද්ධිමතුන්ව” මෝඩකමට (foolery) ද “දක්ෂිණාංශික බුද්ධිමතුන්ව” කපටිකමට හෝ තක්කඩිකමට (knavery) ද සම්බන්ධ කර දක්වයි. ඉන්පසුව පුද්ගලයා සහ සාමූහිකය අතර පවතින සබඳතාවය මඟින්, ඔවුන් දෙපාර්ශවයම එකිනෙකාට ප්‍රතිවිරුද්ධව ස්ථානගත කර (chiasmatic way) ඔහු තමාගෙන් ම මෙසේ විමසා සිටියි:

 

“දේශපාලනය කෙරෙහි උදාසීනත්වයක් ඇති කරන ආකාරයේ නොසැලකිලිමත් බවක් මා ප්‍රදර්ශනය කරන බවක් පෙනෙන්නට තිබේ…”

 

මෙම උදාසීනත්වය යනු කුමක් ද? සැබැවින්ම මනෝවිශ්ලේෂණය දේශපාලනය කෙරෙහි උදාසීනත්වයක් දක්වන්නේ ද? ටොඩ් මැක්ගෝවන්ගේ අදහසත් මෙය ම ද? ලැකාන්ට ඇති අභියෝගය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඉගැන්වීම්වල සැබෑ දේශපාලන ස්ථාවරය වටහා ගැනීම නම් ලැකාන්, ෆ්‍රොයිඩ්ගේ ස්ථාවරය හඳුන්වන්නේ “මානුෂවාදී” එහෙත් “ප්‍රගතිශීලී නො වන” (non-progressive) ස්ථාවරයක් ලෙස ය. ෆ්‍රොයිඩ්ගේ ස්ථාවරය මානුෂවාදී වන්නේ ඔහු මිනිසාගේ දුක් වේදනා තේරුම් ගත් නිසා ය. එය ප්‍රගතිශීලී නො වන්නේ (non-progressive) දේශපාලන ක්‍රමය වෙනස් කළ පමණින් මිනිසාගේ මූලික මානසික තත්ත්ව හා ගැටලු (ආශාව, මරණාශය/Death Drive) විසඳිය නො හැකි බව ඔහු විශ්වාස කළ නිසා ය. මෙය පොදු සමාජය තුළ මනෝවිශ්ලේෂකයාගේ නිවැරදි ස්ථානය කුමක්දැයි නිශ්චිතව හඳුනා ගැනීමට මඟ පෙන්වයි. ලැකාන් සඳහන් කරන “ෆ්‍රොයිඩ් වෙත යළි පැමිණිම” (Return to Freud) යන තේමාවේ එතරම් ප්‍රකට නො වූ එක් පැතිකඩක් වන්නේ මෙය ය; එ නම්, එය දේශපාලන අවබෝධය සමඟ බැඳී පවතියි. ලැකාන් පවසන්නේ ෆ්‍රොයිඩ් දේශපාලන විප්ලවවාදියෙකු නො වන බව ය. ෆ්‍රොයිඩ් විශ්වාස කළේ මිනිස් ශිෂ්ටාචාරය සැමවිටම යම් මට්ටමක අසහනයක් (malaise) මත පදනම් වන බව ය. එබැවින් මනෝවිශ්ලේෂකයා සමාජය තුළ සිටිය යුත්තේ පක්ෂග්‍රාහී දේශපාලකයෙකු ලෙස නො ව මෙම මානව ස්වභාවයේ සැබෑ තත්ත්වය පෙන්වා දෙන නිරීක්ෂකයෙකු ලෙස ය යන්න ලැකානියානු අදහස ය.

මනෝවිශ්ලේෂණය අපට උපකාරී වන්නේ අපගේ ජීවිතයේ නිවැරදිව සිදු නො වන දේ සමග කටයුතු කිරීමට ය. මනෝවිශ්ලේෂණයට අනුව දේශපාලනය යනු හුදෙක් ඡන්දය ප්‍රකාශ කිරීමක් නො ව අපගේ ම අවිඥානක නැඹුරුතාවයන් හඳුනා ගනිමින් සමාජයීය වෙනස්කම් තේරුම් ගැනීමේ ක්‍රියාවලියකි. ලැකාන් භාවිතා කරන මනෝවිශ්ලේෂණ ප්‍රවේශය අනුව ඔහු දේශපාලන දෘෂ්ටිවාද හුදු ප්‍රතිපත්ති ලෙස නො ව මිනිස් මනෝභාවයේ ලක්ෂණ ලෙස දකියි. ලැකාන් පෙන්වා දෙන්නේ මිනිසාගේ මූලික ගැටලුව ශ්‍රමය නො ව ආශාව (Desire) බව ය. ඔහුට අනුව අප කිසිදාක සම්පූර්ණයෙන් තෘප්තිමත් කළ නො හැකි ආශාවන් පසුපස හඹා යන අතර දේශපාලනය යනු එම නො සන්සිඳෙන ආශාවන් පාලනය කිරීමට සාදාගත් ව්‍යුහයකි.

 

ඉහතින් පෙන්වා දුන් පරිදි ලැකාන් දේශපාලන ස්ථාවර දෙකක මානසික ලක්ෂණ දෙකක් පහත පරිදි විග්‍රහ කරයි:

  1. වාමාංශිකයා සහ මෝඩකම (The Fool):ලැකාන්ට අනුව “මෝඩයා” යනු තමා අවංක යැයි සිතන, සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි විශ්වාස කරන පුද්ගලයා ය. ලැකානියානු අදහස් අනුව වාමාංශික බුද්ධිමත්තු බොහෝ විට පද්ධතියේ පවතින සීමාවන් නො දැන තමන් නිදහස් යැයි සිතන මුළාවක (delusion) සිටිති. ඔවුන්ගේ අහිංසක උත්සාහය ලැකාන් දකින්නේ හාස්‍යජනක මෝඩකමක් ලෙස ය. ලැකාන් වාමාංශිකයින් “මෝඩයන්” ලෙස හැඳින්වූයේ පද්ධතිය වෙනස් කළ පමණින් මිනිස් මනෝභාවයේ ඇති මූලික අසහනය (Lack) නැති කළ හැකි යැයි ඔවුන් විශ්වාස කරන බැවිනි. ඔහුට අනුව දේශපාලන විප්ලවයකට වඩා මනෝවිශ්ලේෂණ විප්ලවය (පුද්ගලයා තම ආශාවන්හි සැබෑ ස්වරූපය අවබෝධ කර ගැනීම) වඩා වැදගත් වේ. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් ලැකාන් Foolery යනුවෙන් අදහස් කරන්නේ වාමාංශිකයා තමා නිදහස් යැයි සිතන නමුත් ඇත්ත වශයෙන්ම ඔහු පද්ධතියේම කොටසක් බව වටහා නො ගැනීමේ මුළාව ය.
  1. දක්ෂිණාංශිකයා සහ කපටිකම (The Knave/Knavery):“කපටියා” යනු ලෝකය පවතින ආකාරය (දූෂණය, අසමානතාවය) හොඳින්ම දන්නා නමුත් එය වෙනස් කිරීමට උත්සාහ නො කර තමන්ගේ වාසිය සඳහා එය පවත්වාගෙන යන පුද්ගලයා ය. එය පහත පරිදි සරළව දැක්විය හැකි ය. “ඔහු දන්නවා පද්ධතිය බොරුවක් බව, නමුත් ඔහු එයින් උපරිම ඵල නෙළා ගනියි.” ලැකාන් මෙය තක්කඩිකමක් ලෙස හඳුන්වයි. එ නම්, දක්ෂිණාංශිකයා පෙන්වන්නේ පද්ධතියේ දූෂිත බව දැන දැනම තම වාසිය සඳහා එහි රැඳී සිටීමේ කපටිකම ය.

“Chiasm” යනු ග්‍රීක ‘X’ (Chi) අකුරේ හැඩය පිළිඹිබු කරන අදහසකි. සාහිත්‍යයේ හෝ දර්ශනවාදයේ මෙයින් අදහස් කරන්නේ ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් එකිනෙක ඡේදනය වෙමින් හුවමාරු වීම ය.

ලැකාන්ට අනුව:

  1. පුද්ගල මට්ටමින් (Individual):වාමාංශිකයා “මෝඩයෙකි” (තමාගේ අනන්‍යතාවය තුළ ඔහු අවංක නමුත් මුළා වූවෙකි).
  1. සාමූහික මට්ටමින් (Collective): දක්ෂිණාංශිකයා “කපටියෙකි” (සමාජ ක්‍රමය තුළ ඔහු තම වාසිය දකියි).

නමුත් “Chiasm” මඟින් ලැකාන්ගේ අදහස මාරු වේ. “මෝඩයා” (වාමාංශිකයා) සාමූහිකව කටයුතු කිරීමේ දී බොහෝ විට නො දැනුවත්වම පද්ධතියේම කොටසක් බවට පත් වේ. එ මෙන් ම “කපටියා” (දක්ෂිණාංශිකයා) තනි පුද්ගලයෙකු ලෙස ඉතා සාධාරණ ලෙස පෙනී සිටිය හැකි ය. මෙම ‘X’ හැඩැති හුවමාරුව තුළ අවසානයේ දී දෙපාර්ශවයම එකම කාසියක දෙපැත්තක් බවට පත්වන නිසා ලැකාන් එය දේශපාලන උදාසීනත්වයක් (indifferent) ලෙස දකියි. එබැවින් කිසිදු වෙනසක් සිදු නො වේ.

ලැකාන් වාමාංශික බුද්ධිමතුන්ට විවේචනය එල්ල කළේ ඔවුන් විමුක්තිය (liberation) ගැන කතා කළ ද ඇත්ත වශයෙන්ම ඔවුන් සිදු කරන්නේ නව ස්වාමියෙකු සෙවීම පමණක් බව පෙන්වා දෙමිනි. ලැකාන් සහ ෆ්‍රොයිඩ් දෙදෙනාම විශ්වාස කළේ මිනිසා තුළ පවතින මරණාශය (Death Drive) හෝ ආක්‍රමණශීලී බව කිසිදු දේශපාලන ක්‍රමයකින් මුළුමනින්ම තුරන් කළ නො හැකි බව ය. එබැවින් මනෝවිශ්ලේෂකයාගේ කාර්යය පද්ධතිය රකින්නෙකු (දක්ෂිණාංශිකයා මෙන්) හෝ පද්ධතිය වෙනස් කළ විට සියල්ල විසඳේ යැයි සිතන සිහින දකින්නෙකු (වාමාංශිකයා මෙන්) නො විය යුතු ය. ඒ වෙනුවට පුද්ගලයා තමාගේ ම ආශාව තුළ පවතින අභ්‍යන්තර ගැටුම හඳුනා ගැනීමට උත්සාහ කළ යුතු ය. එම වෙනස පහත වගුව මඟින් පෙන්වා දිය හැකි ය.

ලක්ෂණය

 

විශ්වාසය

 

සබඳතාවය

 

මෝඩයා (වම)

පද්ධතිය වෙනස් කළ හැකි ය.

සත්‍යය පවසනවා යැයි සිතන මුළාව.

 

කපටියා (දකුණ)

පද්ධතිය දූෂිත වුවත් මට වාසිදායක ය.

සත්‍යය දන්නා නමුත් එයින් වාසි ලබන තක්කඩිකම.

 

මනෝවිශ්ලේෂකයා

පද්ධතිය කුමක් වුවත් මිනිස් අතෘප්තිය පවතී.

සත්‍යය සහ ආශාව අතර ඇති ගැටුම නිරීක්ෂණය කිරීම.

 

ලැකානියානු දේශපාලන විග්‍රහය තුළ මරණාශය (Death Drive) යනු ඉතා තීරණාත්මක සංකල්පයකි. ෆ්‍රොයිඩ්ගෙන් උපුටා ගත් මෙම අදහස ලැකාන් දේශපාලන ක්‍රියාකාරීත්වය සමඟ සම්බන්ධ කරන ආකාරය විමසමු. මරණාශය යනු කුමක්ද? මරණාශය යනු හුදෙක් මිය යාමට ඇති ආශාව නො වේ. එය මිනිස් මනස තුළ පවතින පද්ධතියක් හෝ සමතුලිතතාවයක් බිඳ දැමීමට උත්සාහ කරන නො නවතින පුනරාවර්තී ශක්තියකි. අප කෙතරම් සතුටින් සිටීමට උත්සාහ කළත් අප විසින් ම අපව අසාර්ථක කරගන්නා හෝ වේදනාකාරී තත්ත්වයන් වෙත නැවත නැවතත් යොමු කරවන ස්වභාවය මෙයින් පැහැදිලි කෙරේ. මනෝවිශ්ලේෂණය පෙන්වා දෙන්නේ දේශපාලන ව්‍යාපාර බොහෝ විට අසාර්ථක වන්නේ මෙම මරණාශය නිසා බව ය. ඕනෑම පරමාදර්ශී දේශපාලන ක්‍රමයක් (උදාහරණයක් ලෙස පරිපූර්ණ සමූහාණ්ඩුවක්) ස්ථාපිත කළ ද මිනිසා තුළ පවතින මෙම සහජ කඩාකප්පල්කාරී ගතිය නිසා එම පද්ධතිය අභ්‍යන්තරයෙන් ම බිඳ වැටේ.

වාමාංශික බුද්ධිමතුන් ප්‍රගතිය (progress) ගැන විශ්වාස කළත් ලැකාන් පවසන්නේ මරණාශය නිසා මිනිසා සැමවිට ම තමාට අහිතකර දේට (උදා: ආධිපත්‍යයට, ප්‍රචණ්ඩත්වයට) ඇබ්බැහි වන නිසා ප්‍රගතිශීලීත්වයට එරෙහිවන බව ය. ඒ අතරම ලැකානියානු මනෝවිශ්ලේෂණය පෙන්වා දෙන්නේ මිනිසුන් දේශපාලන අරගලවල නිරත වන්නේ ජයග්‍රහණය කිරීමට පමණක් නො ව එම අරගලයේ පවතින වේදනාකාරී සතුට (Jouissance) අත්විඳීමට බව ය. ලැකාන් පවසන්නේ දේශපාලන ලෝකය ඉහත පරිදි “මෝඩයන්” සහ “කපටියන්” අතර දෝලනය වන බව ය. එ මෙන් ම, මනෝවිශ්ලේෂකයා මරණාශය ගැන දන්නා බැවින් දේශපාලනයෙන් සියලු ප්‍රශ්න විසඳිය හැකි ය යන මිථ්‍යාවට ඔහු හසු නො වන බව ය. මෙය දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමක් නො ව දේශපාලනයෙන් බලාපොරොත්තු විය හැකි සීමාවන් හඳුනා ගැනීමකි. ලැකාන්ට අනුව සැබෑ දේශපාලන වෙනසක් සිදුවිය හැක්කේ අප අපගේ ම අභ්‍යන්තර මරණාශය සහ ආශාවන් ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමෙන් පසුව පමණි.

ඉහත අදහස් සාරාංශ ගත කළ විට වාමාංශිකයා මරණාශය නො සලකා හරිමින් පද්ධතිය වෙනස් කිරීමෙන් මිනිසා යහපත් කළ හැකි යැයි සිතන “මෝඩයා” වේ. දක්ෂිණාංශිකයා මරණාශය තමාගේ වාසියට (බලය ලබා ගැනීමට) යොදා ගන්නා “කපටියා” වේ. ෆ්‍රොයිඩ් ඇසුරින් ලැකාන් පෙන්වා දුන් පරිදි මරණාශය යනු මිනිස් ස්වභාවයේ ම කොටසක් ය. එවිට මනෝවිශ්ලේෂකයා යනු එය කිසිදා සම්පූර්ණයෙන් පාලනය කළ නො හැකි බව පවසන මානුෂවාදී නිරීක්ෂකයා වේ.

ලැකාන් ඉදිරිපත් කළ ස්වාමියාගේ කතිකාව (Master’s Discourse) පිළිබඳ විග්‍රහය ඔහු 1968 ප්‍රංශ ශිෂ්‍ය අරගල සමයේ දී ඉදිරිපත් කළ එකකි. විප්ලවය සහ දේශපාලන වෙනස පිළිබඳ ඔහුගේ දැක්ම තේරුම් ගැනීමට මෙය අත්‍යවශ්‍ය වේ. ලැකාන් සමාජ සබඳතා සහ භාෂාව ක්‍රියා කරන ආකාරය පැහැදිලි කිරීමට කතිකා (Discourses) හතරක් හඳුන්වා දුන්නේ ය. ඒවා නම්,

  1. 1. ස්වාමියාගේ කතිකාව (The Master’s Discourse):මෙහි දී බලය සහ නියෝගය ප්‍රමුඛ වේ. ස්වාමියා පවසන දේ නීතිය වේ.
  2. 2. විශ්වවිද්‍යාල කතිකාව (The University Discourse):මෙහි දී බලය ක්‍රියාත්මක වන්නේ “දැනුම” මඟිනි. (උදා: විශේෂඥ උපදෙස්, විද්‍යාව).
  3. 3. හිස්ටරිකයාගේ කතිකාව (The Hysteric’s Discourse):මෙහි දී පුද්ගලයා පවතින බල ව්‍යුහය ප්‍රශ්න කරයි. “ඇයි මම මේ දේ කළ යුත්තේ?” වැනි ප්‍රශ්න නගමින් සැබෑ සත්‍යය සොයයි.

4 මනෝවිශ්ලේෂකයාගේ කතිකාව (The Analyst’s Discourse): මෙහි දී අවධානය යොමු වන්නේ පුද්ගලයාගේ ආශාව සහ අතෘප්තියේ මූලය වෙතට ය.

1968 ප්‍රංශයේ පැරිස් නුවර ඇති වූ ශිෂ්‍ය උද්ඝෝෂණ අතරතුර ලැකාන් ශිෂ්‍යයන්ට මෙසේ පැවසීය:

“විප්ලවවාදීන් ලෙස ඔබ සොයමින් සිටින්නේ නව ස්වාමියෙකි. ඔබට එය ලැබෙනු ඇත.” මෙහි දේශපාලන අර්ථය වන්නේ ඔබ පවතින ස්වාමියාට (රජයට හෝ පාලන තන්ත්‍රයට) එරෙහිව සටන් කළ ද ඔබ සිදු කරන්නේ එක් ස්වාමියෙකු ඉවත් කර තවත් ස්වාමියෙකු (සමහරවිට වඩාත් දැඩි පාලකයෙකු) එම ස්ථානයේ තැබීම පමණි. විප්ලවවාදියා බොහෝ විට ක්‍රියා කරන්නේ හිස්ටරිකයෙකු ලෙස ය—ඔහු පවතින ක්‍රමය ප්‍රශ්න කරන නමුත් ඔහුට තමාගේ ම ආශාව පිළිබඳ අවබෝධයක් නැත. අප මුලින් සාකච්ඡා කළ මෝඩයා (වම) සහ කපටියා (දකුණ) මෙහි දී ද හමු වේ. වාමාංශික විප්ලවවාදියා සිතන්නේ ඔහු නිදහස් වන බව ය (මෝඩකම). නමුත් ඔහු නො දැනුවත්වම තවත් බල ව්‍යුහයක් (නව ස්වාමියෙක්) ඉල්ලා සිටියි. දක්ෂිණාංශික පාලකයා දැනටමත් ස්වාමියාගේ ස්ථානයේ සිටින අතර මිනිසුන් පාලනය කිරීමට දැනුම සහ නීතිය යොදා ගනියි (කපටිකම). ලැකාන්ට අනුව මනෝවිශ්ලේෂකයා සිදු කරන්නේ මිනිසුන්ට එවැනි ආකාරයේ දේශපාලන මග පෙන්වීමක් ලබා දීම නො වේ. ඒ වෙනුවට ඕනෑම දේශපාලන ක්‍රමයක් තුළ මිනිසා වහලෙකු වීමට ඇති ඉඩකඩ පෙන්වා දීම ය. සැබෑ නිදහස ලැබෙන්නේ පිටත පවතින දේශපාලන ස්වාමියා වෙනස් කිරීමෙන් පමණක් නො ව ඔබේ මනස තුළ සිටින ස්වාමියා (The big Other) හඳුනාගෙන ඔබේ ආශාව (Desire) සහ විනෝදය (Jouissance) කළමනාකරණය කර ගැනීමට ඉගෙන ගැනීමෙනි.

ලැකාන්ගේ මෙම අදහස් වර්තමාන දේශපාලනය තේරුම් ගැනීමට ඉතාමත් වැදගත් වේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සහ ජනතාවාදී (populist) දේශපාලන රැලි තුළ ලැකාන් පෙන්වා දුන් ස්වාමියාගේ කතිකාව සහ “මෝඩයා/කපටියා” යන බෙදීම අපට පැහැදිලිව දැකගත හැකි ය.

 

  1. නූතන දේශපාලනය සහ නව ස්වාමියා (The Modern Master)

අද කාලයේ බොහෝ දේශපාලන ව්‍යාපාර බිහිවන්නේ පවතින දූෂිත පද්ධතියට එරෙහිව ය. නමුත් ලැකාන් පෙන්වා දුන් පරිදි බොහෝ විට සිදුවන්නේ මිනිසුන් එක් ස්වාමියෙකු ප්‍රතික්ෂේප කර තවත් ස්වාමියෙකු (බොහෝ විට වඩාත් දැඩි මතධාරී නායකයෙකු) වැළඳ ගැනීම ය. මිනිසුන් දේශපාලන නායකයන් පසුපස යන්නේ හුදෙක් ප්‍රතිපත්ති නිසා ම නො වේ. එම නායකයා විසින් ලබා දෙන “අපි සහ ඔවුන්” යන බෙදීම තුළින් ලබන යම් වේදනාත්මක සතුටක් (Jouissance) නිසා ය.

2.දේශපාලන “මෝඩකම” සහ “කපටිකම”

ආරම්භයේ දී ද පෙන්වා දුන් වර්තමාන දේශපාලන අවකාශය තුළ අපට මෙම චරිත දෙක පහත පරිදි දැකිය හැකි ය:

නූතන කපටියා (The Modern Knave): මොවුන් දේශපාලන ක්‍රමය අසාර්ථක බවත් මිනිසුන් මුළා කළ හැකි බවත් හොඳින්ම දන්නා දේශපාලන උපදේශකයන් සහ ඇතැම් නායකයන් ය. ඔවුන් සත්‍යය ගැන තැකීමක් නො කර බලය සඳහා ඕනෑම බොරුවක් (fake news) ප්‍රචාරය කරයි.

නූතන මෝඩයා (The Modern Fool): කිසිදු විවේචනාත්මක බුද්ධියකින් තොරව යම් දේශපාලන මතවාදයක් තමාගේ මුළු අනන්‍යතාවය බවට පත් කරගන්නා පිරිස ය. ඔවුන් තමන්ව නිදහස් මතධාරීන් ලෙස හඳුන්වා ගත්ත ද ඇත්ත වශයෙන්ම ඔවුන් සිදු කරන්නේ මතවාදී පද්ධතියකට (ideological system) වහල් වීම ය.

  1. කයැස්මැටික් (Chiasmatic) හුවමාරුව සහ ධ්‍රැවීකරණය

වර්තමාන දේශපාලනයේ පවතින දැඩි බෙදීම (polarization) ලැකාන්ගේ ඉහත පෙන්වා දුන් ‘X’ හැඩැති හුවමාරුවෙන් වෙනත් ආකාරයකට පැහැදිලි කළ හැකි ය. වාමාංශිකයා පරමාදර්ශී ලෝකයක් ගැන කතා කරමින් (මෝඩකම) ප්‍රායෝගිකව ක්‍රියා කිරීමේ දී දැඩි මර්දනකාරී ස්වරූපයක් ගනියි. දක්ෂිණාංශිකයා තමා යථාර්ථවාදියෙකු බව පවසමින් (කපටිකම) අවසානයේ දී පරණ සම්ප්‍රදායන් කෙරෙහි ඇති අන්ධ විශ්වාසයක් මත පදනම් වේ.

  1. මනෝවිශ්ලේෂණයේ මැදිහත්වීම: කැඩපත බිඳ දැමීම

ලැකාන්ට අනුව විසඳුම වන්නේ එක් පැත්තක් තෝරා ගැනීම නො ව මෙම මුළු ක්‍රියාවලියම දෙස අපක්ෂපාතීව බැලීම ය. දේශපාලන නායකයා යනු අපගේම අභ්‍යන්තර අඩුව (lack) පිරවීමට අප විසින්ම මවාගත් රූපයක් බව වටහා ගැනීම සැබෑ දේශපාලන විඥානය ය. ඒ අනුව දේශපාලනය තුළ “මෝඩයෙකු” හෝ “කපටියෙකු” නො වී සිටීමට නම් අප අපගේ ම ආශාවන් දේශපාලනඥයන්ට පාවා නො දිය යුතු ය.

ලැකාන්ගේ “Return to Freud” (ෆ්‍රොයිඩ් වෙත යළි පැමිණීම) යනු හුදෙක් පොත් කියවීමක් නො ව දේශපාලනය තුළ පවතින මෙම මානසික උගුල්වලින් නිදහස් වීමට කරන ආරාධනයක් ලෙස නම් කළ හැක්කේ එබැවිනි. ඔහු අපට පවසන්නේ: “කිසිදු දේශපාලන පද්ධතියකට ඔබව සම්පූර්ණයෙන් සතුටු කළ නො හැක; මන්ද මිනිසාගේ ස්වභාවය තුළම අතෘප්තිය (අසහනය) ගැබ්ව පවතින බැවිනි.” යනුවෙනි.

“ආගමික කරුණුවල දී දක්වන උදාසීනත්වය පිළිබඳ රචනයක්” නමැති ලැමනේගේ ලේඛනය පාදක කර ගනිමින් දේශපාලනය කෙරෙහි දක්වන උදාසීනත්වය පිළිබඳ රචනයක් (Essay on Indifference in Political Matters) ගැන සිතා බලන ලෙස ලැකාන් එක් දේශනයක දී පැමිණ සිටින අයට යෝජනා කරයි. බොහෝ විට අප දේශපාලන උදාසීනත්වය දකින්නේ පුද්ගලයන්ගේ උදාසීනත්වයක් හෝ අලසකමක් ලෙස ය. ඒ පිළිබඳ ලැකාන් යෝජනා කරන ආකාරයේ විශ්ලේෂණයක් සිදු කිරීමේ දී ලැකාන්ගේම ඉගැන්වීම් ඇසුරින් පෙන්වා දිය හැකි වන්නේ දේශපාලන කරුණුවල දී දක්වන උදාසීනත්වය යනු හුදෙක් (ඡන්දය ප්‍රකාශ කිරීමෙන් හෝ ක්‍රියාවෙන් – පෞද්ගලික ක්‍රියාවෙන්) වැළකී සිටීමක් පමණක් නො වන බව ය; ඒ වෙනුවට එය යම්කිසි කතිකාවක (discourse) ස්වභාවය සහ එ මඟින් ගොඩනැගෙන සමාජ සම්බන්ධතාවයේ (social link) පවතින ව්‍යුහාත්මක ලක්ෂණයක් බව දැකිය හැක. මෙහි දී යමෙකු දේශපාලනය ගැන උනන්දු නො වීම පුද්ගලික තේරීමකට වඩා ඔහු ජීවත් වන සමාජයේ පවතින භාෂාමය සහ දෘෂ්ටිවාදාත්මක ව්‍යුහයේ ප්‍රතිඵලයක් බව හඳුනා ගත හැකි ය. ලැකාන්ට අනුව සමාජය එකට බැඳ තබන්නේ යම් ආකාරයක පොදු විශ්වාසයක් හෝ කතිකාවක් මගිනි. ලැමනේගේ තර්කය දේශපාලනයට ආදේශ කිරීම මඟින් පෙන්වා දිය හැක්කේ සමාජයක් පවත්වා ගැනීමට නම් යම්කිසි පරම සත්‍යයක් හෝ පොදු විශ්වාසයක් අත්‍යවශ්‍ය බව ය. මෙම අදහස නූතන දේශපාලන ක්‍රමය සහ මහා අනෙකා (The big Other) අතර සබඳතාවය තේරුම් ගැනීමට ඉතා වැදගත් වේ. ලැමනේගේ කාලයේ ආගම කෙරෙහි තිබූ බැඳීම බිඳ වැටුණා සේ ම අද දින මිනිසා සහ දේශපාලන දෘෂ්ටිවාද අතර ඇති බැඳීම (social link) බිඳ වැටී ඇත. දේශපාලන කතා (speeches) දැන් මිනිසාගේ සැබෑ ආශාවන් ස්පර්ශ නො කරන හුදු ශබ්ද (lalangue) පමණක් බවට පත්ව තිබේ. ලැමනේ එදා ආගම ගැන පැවසූ දේ ලැකානියානු ඉගැන්වීම් ඇසුරින් අද දේශපාලනයට ආදේශ කළ විට පොදු සත්‍යයක් කෙරෙහි ඇති විශ්වාසය අතුරුදහන් වීම සමාජය විසිරී යාමට හේතු වන බව අවබෝධ කර ගත හැකි ය.

ලැමනේ තම රචනය තුළ තර්ක කරන්නේ ආගමික කරුණුවල දී දක්වන උදාසීනත්වය විසින් සත්‍යය විනාශ කරනු ලබන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සමාජයක මූලික පදනම ම බිඳ වැටෙන බවත් ය. ලැමනේ පෙන්වා දෙන්නේ ආගමික සත්‍යය යනු සමාජ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බව ය. ඔහු එම සත්‍යය ඉතා පැහැදිලි ස්වයං-ප්‍රත්‍යක්ෂ කරුණක් ලෙස තහවුරු කිරීමට උත්සාහ කරයි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා ලැමනේ නිශ්චිතභාවයේ නිර්ණායකයක් ලෙස “සාමාන්‍ය බුද්ධිය/අවබෝධය” (common sense) යොදා ගත්තේ ය. එ මඟින්, පුනරුද යුගයේ (enlightenment) චින්තකයන් විසින් ආගම විවේචනය කිරීම සඳහා ප්‍රචලිත කරන ලද එම සංකල්පයම ඔවුන්ට එරෙහිව යොදා ගැනීමට ඔහු කටයුතු කළේය. පුනරුද යුගයේ චින්තකයන් පැවසුවේ ආගම යනු “සාමාන්‍ය බුද්ධියට” පටහැනි දෙයක් බව ය. නමුත් ලැමනේ තර්ක කළේ සමාජයක් පවතින්නේ “පොදු එකඟතාවයක්” හෝ “සාමාන්‍ය බුද්ධියක්” මත නම් එම පොදු එකඟතාවයේ පදනම ආගමික සත්‍යය බව ය. ලැමනේ පෙන්වා දුන්නේ ආගමික සත්‍යය පිළිබඳ උදාසීනත්වය සමාජය විසිරී යාමට (disintegration) හේතු වන බව ය. මෙය දේශපාලන තලයට ගෙන ආ විට සමාජයක් යනු හුදෙක් මිනිසුන් පිරිසකගේ එකතුවක් පමණක් නො ව එය යම්කිසි සංකේතීය පද්ධතියක් (Symbolic Order) මත ගොඩනැඟුණු එකක් බව වටහා ගත හැකි ය. මිනිසුන් දේශපාලනිකව උදාසීන වන විට එම සමාජය එකට බැඳ තබා ගන්නා සත්‍යය හෝ පොදු අරමුණ අහිමි වී යයි. එවිට සමාජ සම්බන්ධතාවය (social link) බිඳ වැටේ. එය පවතින කතිකාවේ ම ඇති ව්‍යුහාත්මක ලක්ෂණයකි. මෙහි අදහස නම්, පවතින දේශපාලන ක්‍රමය විසින් ම මිනිසුන්ව උදාසීනත්වයට ඇද දමන බව ය. උදාහරණයක් ලෙස “කවුරු ආවත් වැඩක් නැහැ” යනුවෙන් යමෙකු පවසන විට එය ඔහුගේ පුද්ගලික මතයකට වඩා එම සමාජ දේශපාලන ක්‍රමය විසින්ම නිර්මාණය කර ඇති පරාජිත මානසිකත්වයකි. මෙය ලැකාන්ගේ විශ්වවිද්‍යාල කතිකාව (University Discourse) තුළ පෙන්වා දෙන පරිදි දැනුම මඟින් මිනිසුන්ව පාලනය කර උදාසීන කරන ආකාරයට සමාන ය. ලැමනේ ආගමික සත්‍යය පැහැදිලි යමක් ලෙස ස්ථාපිත කිරීමට උත්සාහ කළා සේ ම ඕනෑම දේශපාලන පද්ධතියක් තමාගේ දෘෂ්ටිවාදය සත්‍යය ලෙස පෙන්වීමට උත්සාහ කරයි. ලැකාන්ට අනුව මිනිසාට මහා අනෙකා (රජය, දෙවියන්, නීතිය) නම් සංකේතය කෙරෙහි විශ්වාසය තැබීමට අවශ්‍ය වේ. ලැමනේ පවසන පරිදි එම විශ්වාසය (ආගමික හෝ දේශපාලනික) බිඳ වැටුණු විට මිනිසා දැඩි අස්ථාවර භාවයකට සහ කාංසාවකට (Anxiety) පත් වේ.

ලැකානියානු ඉගැන්වීම් අනුව විමසා බලන විට නූතන ලිබරල්වාදය විසින් “සෑම පුද්ගලයෙකුටම තමන්ගේම සත්‍යයක් තිබිය හැකි ය” (බහුත්වවාදය) යන අදහස ප්‍රවර්ධනය කරන බව දැකිය හැක. එබැවින්, දේශපාලන උදාසීනත්වය යනු හුදෙක් සදාචාරාත්මක ඇල්මැරුණු ස්වභාවයක ප්‍රතිඵලයකට වඩා නූතන ලිබරල්වාදය (liberalism), බහුත්වවාදය (pluralism) සහ පුද්ගලවාදයේ (individualism) බලපෑමක් ලෙස දිස් වේ. මෙහි අනෙක් පැත්ත නම් කිසිදු පොදු සත්‍යයක් නො මැති ය යන්න ය. මිනිසුන් දේශපාලනිකව උදාසීන (indifferent) වන්නේ මෙම පොදු සත්‍යයක් නො මැති වීම නිසා ය. ඒ අනුව උදාසීනත්වය යනු පුද්ගලික කම්මැලිකමක් නො ව ලිබරල් සමාජ ව්‍යුහය විසින්ම නිර්මාණය කරන ලද ලක්ෂණයකි. දේශපාලන උදාසීනත්වය පිළිබඳව දක්වන මෙම විග්‍රහය මනෝවිශ්ලේෂණය සහ සමාජ ව්‍යුහය අතර ඇති සබඳතාවය මැනවින් පැහැදිලි කරයි. දේශපාලන උදාසීනත්වය සම්බන්ධයෙන් ලැමනේට ගැළපෙන මට්ටමේ රචනයක් අවශ්‍ය බව පවසමින් ලැකාන් හෙළි කරන්නේ නූතන මිනිසාට දේශපාලනය යනු ලැමනේ එදා ආගම සම්බන්ධයෙන් විස්තර කළ ආකාරයේම ව්‍යුහාත්මක උදාසීනත්වයක් (structural indifference) සහිත අවකාශයක් බවට පත්ව ඇති බව ය. ඔහු (ලැකාන්) ඉල්ලා සිටින්නේ මෙම උදාසීනත්වය මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් (අලසකම, උනන්දුවක් නැතිකම…) නො ව දේශපාලන කතිකාව (political discourse) සමඟ පවතින සබඳතාවයේ සිදු වූ වෙනසක සලකුණක් ලෙස සලකා මනෝවිශ්ලේෂණය ඇසුරින් විග්‍රහ කරන ලෙස ය.

මෙම සන්දර්භය තුළ මනෝවිශ්ලේෂකයා සිදු කරන්නේ ලැමනේ මෙන් ආගමික සත්‍යයක් දේශනා කිරීම නො වේ. මනෝවිශ්ලේෂකයා සිදු කරන්නේ මිනිසුන් දේශපාලනිකව හෝ ආගමිකව උදාසීන වන්නේ කුමන ව්‍යුහාත්මක බලපෑමක් නිසා ද යන්න පෙන්වා දීම ය. ඔහු පෙන්වා දෙන්නේ අප සත්‍යය ලෙස පිළිගන්නා දේ බොහෝ විට සමාජ ක්‍රමය විසින් අප මත පටවන ලද මනඃකල්පිතයන් (fantasies) බව ය. ඒ අනුව ලැකාන් ලැමනේගේ උදාහරණය යොදා ගැනීමට යෝජනා කරන්නේ දේශපාලන උදාසීනත්වය යනු හුදෙක් ක්‍රියාවෙන් බැහැර වීමක් නො ව එය සමාජයේ පවතින ගැඹුරු අර්බුදයක ලක්ෂණයක් බව පෙන්වීමට ය. මිනිසාට සමාජයක් ලෙස ජීවත් වීමට නම් යම් සත්‍යයක් අවශ්‍ය වන නමුත් මනෝවිශ්ලේෂණය අපට පෙන්වා දෙන්නේ එම සත්‍යය පිටතින් (නායකයෙකුගෙන් හෝ ආගමකින්) ලැබෙන තෙක් බලා නො සිට තමාගේම ආශාව තුළ සොයා ගත යුතු බව ය.

ලැකාන්වාදී ප්‍රවේශයකට අනුව ව්‍යුහාත්මක උදාසීනත්වය පවතින සමාජයක සැබෑ දේශපාලන වෙනසක් ඇති කිරීම යනු හුදෙක් පාලකයෙකු වෙනස් කිරීම හෝ නව ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දීම නො වේ. එය මිනිසා සහ ඔහු ජීවත් වන සංකේතීය පද්ධතිය (Symbolic Order) අතර පවතින සබඳතාවය මූලිකවම වෙනස් කිරීමකි. මෙම වෙනස ඇති කළ හැකි ආකාරය කරුණු කිහිපයකින් විග්‍රහ කළ හැකි ය. සැබෑ වෙනසක් ඇති වීමට නම් මුලින්ම සමාජය තුළ පවතින මනඃකල්පිතයන් බිඳ දැමිය යුතු ය. අප සැමවිටම සිතන්නේ අපව බේරා ගැනීමට ගැලවුම්කරුවෙකු හෝ අපගේ සියලු ප්‍රශ්න විසඳිය හැකි පරිපූර්ණ පද්ධතියක් (මහා අනෙකා) කොහේ හෝ පවතින බව ය. ලැකාන් පෙන්වා දෙන්නේ මෙම මනඃකල්පිතය (Fantasy) මඟින් පද්ධතිය අසම්පූර්ණ බවත් අපගේ ප්‍රශ්නවලට සූදානම් කළ පිළිතුරු පද්ධතිය සතුව නො මැති බවත් පිළිගැනීම වලක්වන බව ය; එය පිළිගැනීම සැබෑ දේශපාලන පරිවර්තනයක ආරම්භය බව ය. උදාසීනත්වය යනු මෙම පද්ධතියට පිටුපා සිටීමකි. ලැකාන්ට අනුව හිස්ටෙරිකයෙකු මෙන් පද්ධතියේ පවතින අඩුපාඩු සහ බොරුව නිරන්තරයෙන් ප්‍රශ්න කළ යුතු ය. හිස්ටෙරිකයා සැමවිටම ස්වාමියාගෙන් විමසන්නේ: “ඇයි ඔබ මට මේ දේ කරන්නේ?”, “ඔබ කියන සත්‍යය කුමක් ද?” වැනි ප්‍රශ්න ය. සමාජය උදාසීනත්වයෙන් මිදී පවතින බල ව්‍යුහයන්ගේ නිරුවත හෙවත් ඒවායේ පවතින හිස් බව පෙන්වා දෙන විට නව දේශපාලන අවකාශයක් නිර්මාණය වේ. නමුත් දේශපාලන උදාසීනත්වය මගින් පෙන්නුම් කරන්නේ සාම්ප්‍රදායිකව දේශපාලන ක්ෂේත්‍රය හැඩගැස් වූ ස්වාමි හැඟවුම්කාරක (master signifiers) තුළ ආත්මය තමන්ව තවදුරටත් හඳුනා නො ගන්නා බව ය.

 

දේශපාලන ක්ෂේත්‍රය බිඳ වැටෙන ආකාරය ලැකානියානු ඉගැන්වීම් මඟින් මාන තුනකින් පෙන්වා දිය හැකි ය.

1 ස්වාමි හැඟවුම්කාරක (Master Signifiers) අහිමි වීම: පෙර කලෙක මිනිසුන්ව දේශපාලනයට බැඳ තැබූ මාතෘභූමිය, ප්‍රජාතන්ත්‍රවාදය හෝ විප්ලවය වැනි වචන දැන් හිස් වචන බවට පත්ව ඇත. පුද්ගලයා තවදුරටත් එම වචන තුළ තම අනන්‍යතාවය සොයා ගන්නේ නැත.

2 නරුමවාදය (Cynicism): මෙය නූතන දේශපාලනයේ ප්‍රධාන ලක්ෂණයකි. මෙහි දී පුද්ගලයා පද්ධතිය බොරුවක් බව දැන දැනම වෙනත් විකල්පයක් නො මැති යැයි සිතා එම පද්ධතියටම අවනත වී සිටියි.

3 දෘෂ්ටිවාද විවේචනය (Criticism of Ideology): ලැකානියානු අර්ථයෙන් දෘෂ්ටිවාදය යනු හුදු වැරදි අදහස් සමුදායක් නො ව අපගේ විනෝදය (Jouissance) සංවිධානය කරන ආකාරය ය. එයට අනුව ස්වාමි හැඟවුම්කාරකය පිරිහීමට ලක් වූ විට මුළු සමාජ ව්‍යුහයම වෙනස් වේ.

ලැකාන්ගේ ඉගැන්වීම් තුළ පවතින සංකේතීය (Symbolic), පරිකල්පනය (Imaginary) සහ සැබෑව (Real) යන ත්‍රිත්වය ද දේශපාලන උදාසීනත්වය සහ ලැමනේගේ සත්‍යය පිළිබඳ තර්කය තේරුම් ගැනීමට උපකාරී වේ.

පරිකල්පනීය තලය (The Imaginary) – දේශපාලන ප්‍රතිරූප, දේශපාලනයේ දී ක්‍රියා කරන්නේ අප දේශපාලන නායකයන් හෝ දෘෂ්ටිවාදයන් දෙස බලන ආකාරය තුළ ය. අප දේශපාලනඥයෙකු තුළ අපගේම පරමාදර්ශී ස්වරූපය දැකීමට උත්සාහ කරමු (කැඩපත් අවධිය – Mirror Stage). ලැමනේ පවසන පැහැදිලි සත්‍යය බොහෝ විට මනඃකල්පිත මට්ටමේ පවතින පරමාදර්ශයකි. උදාසීනත්වය ඇති වන්නේ මෙම මනඃකල්පිත රූප බිඳ වැටුණු විට ය (උදා: “අප විශ්වාස කළ නායකයාත් අන් අය වගේම ය” යන හැඟීම).

සංකේතීය තලය (The Symbolic) – පෙර ද සඳහන් කළ පරිදි ලැකාන්ට අනුව උදාසීනත්වය යනු සමාජ සම්බන්ධයේ ලක්ෂණයකි. මෙහි දී දේශපාලනය යනු භාෂාව, නීතිය සහ සම්මුතීන් සමූහයකි. සමාජයක් පවත්වා ගැනීමට නම් සංකේතීය පියා (The Symbolic Father) හෝ නීතියේ බලය කෙරෙහි විශ්වාසයක් තිබිය යුතු ය. මෙම සංකේතීය පද්ධතිය කෙරෙහි විශ්වාසය ගිලිහී ගිය විට පුද්ගලයා සහ සමාජය අතර ඇති සබඳතාවය ලිහිල් වී උදාසීනත්වය මතු වේ.

සැබෑව (The Real) – දේශපාලනයේ පවතින විසඳිය නො හැකි ගැටලුව මෙය ය. ලැකාන්ට අනුව සැබෑව යනු භාෂාවෙන් විස්තර කළ නො හැකි පද්ධතියකට කොටු කළ නො හැකි යමකි. දේශපාලනයේ දී සැබෑව යනු කිසිදු රජයකට හෝ පද්ධතියකට සම්පූර්ණයෙන් විසඳිය නො හැකි මානව අතෘප්තිය, මරණාශය (Death Drive) සම්බන්ධ අරගලය ය. මිනිසුන් දේශපාලනිකව උදාසීන වීමට මෙම සැබෑව හමුවේ ඇති වන බිය හෝ අසරණභාවය ද හේතු විය හැකි ය. පද්ධතියට සැමවිටම යමක් මඟ හැරෙන බව (The lack in the Other) වටහා ගැනීම මෙහි දී තීරණාත්මක වේ.

ලැමනේ උත්සාහ කළේ ආගමික සත්‍යය මඟින් සංකේතීය (Symbolic), පරිකල්පනීය (Imaginary) සහ සැබෑ (Real) නමැති මෙම තල තුනම එකට ගැටගසා (Borromean knot) ස්ථාවර සමාජයක් බිහි කිරීමට ය. නමුත් ලැකාන් පෙන්වා දෙන්නේ නූතන දේශපාලනය තුළ මෙම “සත්‍යය” සැමවිටම අසම්පූර්ණ බව ය. ඒ අනුව දේශපාලන උදාසීනත්වය යනු හුදෙක් මිනිසුන්ගේ වරදක් නො ව සංකේතීය පද්ධතිය (Symbolic Order) බිඳ වැටීමේ ලක්ෂණයකි. ලැකාන්ගේ දේශපාලන ස්ථාවරය වන්නේ මෙම උදාසීනත්වය මඟින් පද්ධතියේ පවතින හිස්බව (void) හඳුනා ගැනීම මිස නැවතත් පැරණි ආකාරයේ ස්වාමියෙකු සෙවීම නො වන බව ය. ලැකාන් අපට පෙන්වා දෙන්නේ දේශපාලනය යනු අපව සම්පූර්ණ කරන දෙයක් නො ව අපගේ අභ්‍යන්තර අඩුව (lack) සමඟ මුහුණ දීමට සිදුවන අවකාශයක් බව ය. උදාසීනත්වය යනු එම සත්‍යයට මුහුණ දීමට ඇති බිය නිසා ඇතිවන ආරක්ෂක පියවරකි.

ලැකාන් පෙන්වා දෙන සංකේතීය හිස්බව (The lack in the Symbolic) යන සංකල්පය වර්තමාන දේශපාලන අර්බුද විග්‍රහ කිරීමට ද භාවිතා කළ හැකි ය. ලෝකය පුරාම විශේෂයෙන්ම බොහෝ රටවල පවතින දේශපාලන අස්ථාවරත්වය මෙයින් පැහැදිලි කරගත හැක.

 

  1. “සංකේතීය පියාගේ” බිඳ වැටීම

සංකේතීය තලය (The Symbolic Order) යනු සමාජය මෙහෙයවන නීති, සම්ප්‍රදායන් සහ ආයතනික ව්‍යුහය ය. මෙයට පෙර ද සඳහන් කළ පරිදි ලැකාන්ට අනුව සමාජයක් ස්ථාවරව පවතින්නේ මිනිසුන් මෙම පද්ධතිය කෙරෙහි විශ්වාසය තබන තාක් පමණි. දේශපාලන නායකයන්, අධිකරණය හෝ ආර්ථික පද්ධති කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටුණු විට ලැකාන් පවසන සංකේතීය හිස්බව මතු වේ. ඒ හේතුවෙන් මිනිසුන් “කවුරුත් අපිට ඇත්ත කියන්නේ නැහැ” හෝ “මේ පද්ධතියේ කිසිම හරයක් නැහැ” වැනි හැඟීමට පත් වේ. මෙය උදාසීනත්වයට (indifference) මඟ පාදන ප්‍රධාන සාධකයක් ද වේ.

  1. හිස්බව පිරවීමට දරන උත්සාහය සහ ජනතාවාදය (Populism)

පද්ධතියේ හිස්බවක් ඇති වූ විට මිනිස් මනස ස්වභාවිකවම උත්සාහ කරන්නේ එම හිස්බව පිරවීමට ය. වර්තමාන ලෝක දේශපාලනයේ ජනතාවාදී නායකයන් (populist leaders) මතුවන්නේ මෙතැන දී ය. නායකයෙකු පැමිණ “මම පමණයි, මේ හිස්බව පුරවන්න පුළුවන් එකම පුද්ගලයා” යැයි පවසන විට මිනිසුන් තම ෆැන්ටසි එම නායකයා මත ආරෝපණය කරයි. නමුත් ලැකාන් පෙන්වා දෙන්නේ මෙම හිස්බව කිසිදු නායකයෙකුට පිරවිය නො හැකි බව ය. මන්ද එය මිනිස් පැවැත්මේම කොටසක් වන බැවිනි. අතීතයේ දී අපට මඟ පෙන්වීමට දෙවියන්, රජු හෝ දෘෂ්ටිවාදයක් වැනි මහා අනෙකෙක් සිටින බව මිනිස්සු විශ්වාස කළහ. නමුත් නූතන ලෝකයේ මිනිසාට මෙම මහා අනෙකා පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බව මනෝවිශ්ලේෂණය පෙන්වා දෙයි. එවිට හිස් බව පිරවීමට යාමේ දී සිදු වන්නේ විගඩමක් බවට පත් වීමට ය.

දේශපාලන අර්බුදයක දී අපට හැඟෙන්නේ කිසිවෙකුත් පාලනය මෙහෙයවන්නේ නැති බව ය. මෙම හිස්බව හමුවේ මිනිසුන් දැඩි සාංකාවකට පත් වේ. සමහරු දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ඈත් වෙති (උදාසීනත්වය), තවත් සමහරු අන්තවාදී අදහස් වැළඳ ගනිති. ලැකාන්ට අනුව සැබෑ විමුක්තිය ලැබෙන්නේ ඒ කිසිවකින් නො ව පද්ධතියේ පවතින මෙම හිස්බව හෝ අසම්පූර්ණ බව පිළිගැනීමෙනි. ඔහුට අනුව අප ස්වාමියෙකු පසුපස යෑම නතර කළ යුතු ය. පද්ධතියේ පවතින අඩුව (lack) පිරවීමට වෙනත් අයෙකුට (නායකයෙකුට) හැකියාවක් නැති බව වටහා ගැනීම සැබෑ දේශපාලන අවබෝධය ය. අපට “මෝඩයන්” නො වී සිටීමට නම් පද්ධතියේ පරමාදර්ශී රූපවලට නො රැවටිය යුතු අතර “කපටියන්” නො වී සිටීමට නම් පවතින දූෂිත බව තම වාසියට නො ගත යුතු ය.

ලැකාන්ගේ අදහස්වලට අනුව ප්‍රජාතන්ත්‍රවාදය (Democracy) යනු හුදෙක් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියක් පමණක් නො ව එය අපගේ ආශාව (desire) සහ සංකේතීය පද්ධතිය (Symbolic Order) අතර පවතින ගැටුම ප්‍රකාශ වන අවකාශයකි. ක්ලෝඩ් ලෙෆෝර්ට් (Claude Lefort) වැනි ලැකාන්වාදී චින්තකයන් පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ලක්ෂණය වන්නේ බලය පවතින ස්ථානය හිස් (empty) වීම බව ය. රාජාණ්ඩුවක දී බලය රජුගේ ශරීරයට සම්බන්ධ ය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ දී බලය කිසිවෙකුට අයිති නැත. නමුත් ගැටලුව වන්නේ අප පත් කරන නායකයන් එම “හිස්බව” තමන්ගේ පෞද්ගලික ප්‍රතිරූපයෙන් පිරවීමට උත්සාහ කරනවා ද යන්න ය. ඔවුන් එසේ කරන විට ප්‍රජාතන්ත්‍රවාදය ස්වාමියාගේ කතිකාව (Master’s Discourse) දෙසට ගමන් කරයි. ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ විට පදනම් වන්නේ “ජනතාව” (The People) යන පොදු සංකල්පය මත ය. ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව “ජනතාව” යනු ස්ථාවර ඒකකයක් නො ව මනඃකල්පිත නිර්මාණයකි (imaginary construction). ප්‍රජාතන්ත්‍රවාදය තුළ අප නැවත ප්‍රශ්න කළ යුත්තේ “ජනමතය” ලෙස හඳුන්වන්නේ සැබෑ මහජන අවශ්‍යතාවය ද නැතිනම් මාධ්‍ය සහ දේශපාලන කපටියන් (knaves) විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිතයක් ද යන්න ය.

ප්‍රජාතන්ත්‍රවාදය සැමවිටම පොරොන්දු වන්නේ සමානත්වය සහ නිදහස ය. නමුත් ලැකාන් පෙන්වා දෙන්නේ සංකේතීය පද්ධතියට කිසිදාක මිනිසාගේ සැබෑ (The Real) අතෘප්තිය හෝ මරණාශය (Death Drive) මුළුමනින්ම පාලනය කළ නො හැකි බව ය. ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියක් තුළ පවා මිනිසුන් ප්‍රචණ්ඩත්වයට හෝ අන්තවාදයට යොමු වන්නේ ඇයි? ඒ පද්ධතියට ලබා දිය නො හැකි අධික තෘප්තියක් (Jouissance) මිනිසා සොයන බැවිනි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙම මානසික යථාර්ථය හඳුනා ගැනීමට අපොහොසත් වීම අප නැවත ප්‍රශ්න කළ යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ සමයක දී ලැකාන් පෙන්වා දුන් බෙදීම ඉතා පැහැදිලිව පෙනේ. දේශපාලකයා (කපටියා) පද්ධතියේ ඇති සිදුරු සහ  “ජනතාව” මුළා කළ හැකි ආකාරය දන්නා අතර ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නීති රීති තම බලය සඳහා දක්ෂ ලෙස හසුරුවයි. ඡන්දදායකයා (මෝඩයා) සිතන්නේ තම ඡන්දයෙන් පද්ධතිය සම්පූර්ණයෙන් වෙනස් වනු ඇති බව ය (මුළාව). ඔහු එහි දී නායකයා තුළින් ගැලවුම්කරුවෙකු දකියි.

මේ සඳහා ලැකාන්වාදී විසඳුම නම් විවේචනාත්මක පුරවැසියෙකු බිහි වීම ය. එ නම්, ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙස ක්‍රියාත්මක වීමට නම් පුරවැසියා මනෝවිශ්ලේෂකයෙකුගේ භූමිකාවට සමාන විය යුතු ය. මහා අනෙකා (The big Other) කෙරෙහි විශ්වාසයට පවතින සම්බන්ධය වෙනස් කිරීම හෙවත් රජය හෝ නීතිය අපගේ සියලු ප්‍රශ්න විසඳනු ඇතැයි යන බොළඳ විශ්වාසයෙන් අත් මිදීම, නායකයන් ඉදිරිපත් කරන ෆැන්ටසි විනිවිද දැකීමට පුරුදු වීම, ප්‍රජාතන්ත්‍රවාදය යනු පරිපූර්ණ පද්ධතියක් නො ව අසම්පූර්ණ මිනිසුන් පිරිසක් තම අභ්‍යන්තර ගැටුම් සාකච්ඡා මාර්ගයෙන් කළමනාකරණය කරගන්නා විවෘත හිස්බවක් බව පිළිගැනීම ඒ අතර වේ. ලැකානියානු දේශපාලන විග්‍රහය තුළින් පෙනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජයග්‍රහණයක් නො ව නිරන්තරයෙන් අවධියෙන් සිටිය යුතු සහ ප්‍රශ්න කළ යුතු ක්‍රියාවලියක් බව ය. එ මෙන් ම ලැකාන්ගේ අදහස්වලට අනුව අපගේ දේශපාලන තේරීම් බොහෝ විට පදනම් වන්නේ තර්කයට වඩා අපගේ ආශාව (Desire) සහ ෆැන්ටසි මත ය.

අපගේ දේශපාලන ආශාව කාගේ එකක් ද? ලැකාන්ගේ ප්‍රසිද්ධ කියමනක් වන්නේ “මිනිසාගේ ආශාව යනු අනෙකාගේ ආශාව ය” (Man’s desire is the desire of the Other) යන්න ය. දේශපාලනිකව මෙයින් අදහස් කරන්නේ ඔබ යම් පක්ෂයකට හෝ දෘෂ්ටිවාදයකට කැමති වන්නේ එය ඔබේම ස්වාධීන තේරීමක් නිසා නො ව ඔබේ පවුල, සමාජය හෝ ඔබ ගරු කරන මහා අනෙකා (The big Other) එම තේරීම බලාපොරොත්තු වන නිසා විය හැකි බව ය. ඔබ යම් දේශපාලන මතයක් දරන්නේ සැබෑ ප්‍රතිපත්ති නිසා ද නැතිනම් එම මතය දැරීමෙන් සමාජය තුළ ඔබට ලැබෙන පිළිගැනීම නිසා ද? අප දේශපාලන නායකයෙකු තෝරා ගැනීමේ දී බොහෝ විට සිදු කරන්නේ අප තුළ පවතින අඩුව (lack) පිරවිය හැකි පුද්ගලයෙකු ඔහු තුළින් දැකීමට උත්සාහ කිරීම ය. ලැකාන්ට අනුව නායකයා යනු අපව සම්පූර්ණ කරනු ඇතැයි අප විශ්වාස කරන කැඩපතකි. එසේ නම් ගැටලුව වන්නේ තම නායකයා තුළින් මිනිසුන් දකින්නේ සැබෑ මනුෂ්‍යයෙක් ද නැතිනම් තමා වීමට කැමති පරමාදර්ශී ප්‍රතිරූපයක් ද යන්න ය.

සමහර අවස්ථාවල දී අප දේශපාලන වාද විවාදවල පැටලෙන්නේ විසඳුමක් සෙවීමට නො ව එම වාදයෙන් ලබන යම් වේදනාකාරී තෘප්තියක් (Jouissance) සඳහා ය. විරුද්ධ මතධාරීන්ට අපහාස කිරීම හෝ ඔවුන් වැරදියි කියා ඔප්පු කිරීම තුළින් අපි අපගේම ආත්මය තහවුරු කරගැනීමට උත්සාහ කරමු. දේශපාලන අරගලය තුළ ඔබ සැබැවින්ම සොයන්නේ සමාජ වෙනසක් ද නැතිනම් “අපි හරි, ඔවුන් වැරදියි” යන බෙදීම තුළින් ලබන වේදනාත්මක තෘප්තිය ද? මනෝවිශ්ලේෂණය අවසානයේ විශ්ලේෂිතයා තේරුම් ගන්නේ තමාව සම්පූර්ණ කළ හැකි කිසිවෙකු ලොව නො මැති බව ය. දේශපාලනිකව ද මෙය එසේම ය. සැබෑ පරිවර්තනයක් සිදුවන්නේ කිසිදු දේශපාලන ක්‍රමයකට හෝ නායකයෙකුට ඔබව පූර්ණ තෘප්තියකට පත් කළ නො හැකි බව වටහා ගත් විට ය. එවිට ඔබ “මෝඩයෙකු” ලෙස පරමාදර්ශ පසුපස හඹා නො යන අතර “කපටියෙකු” ලෙස පද්ධතියෙන් පෞද්ගලික වාසි සොයන්නේ ද නැත.

පෙර ද සඳහන් කළ පරිදි ලැකාන් අපට යෝජනා කරන්නේ දේශපාලනය තුළ හිස්ටරිකයෙකු (Hysteric) වීමට ය. එ නම්, පවතින ස්වාමියාගෙන් හෝ පද්ධතියෙන් නිරන්තරයෙන් ප්‍රශ්න කරන්නෙකු වීමට ය. එසේ නම් ගැටලුව වන්නේ ඔබ ඔබේ දේශපාලන ආශාව පාවා නො දී පද්ධතියේ පවතින හිස්බව පිළිගැනීමට සූදානම් ද යන්න ය. ලැකාන්ගේ සුප්‍රසිද්ධ ආචාරධර්මය වන්නේ “තමාගේ ආශාව සම්බන්ධයෙන් සම්මුතියකට නො එන්න” යන්න ය. දේශපාලනිකව මෙයින් අදහස් කරන්නේ පවතින පද්ධතිය ලබා දෙන සීමිත තේරීම්වලට කොටු නො වී පද්ධතියට අනුව වියනොහැකි (impossible) යැයි පෙනෙන දේ වෙනුවෙන් පෙනී සිටීම ය. සැබෑ දේශපාලන ක්‍රියාවක් (an act) යනු පවතින නීති රීති අනුව ක්‍රියා කිරීම නො ව එම නීති රීතිවල පදනම ප්‍රශ්න කරමින් සිදු කරනු ලබන රැඩිකල් මැදිහත්වීමකි. උදාසීනත්වය පැවතීමට එක් හේතුවක් වන්නේ මිනිසුන් දේශපාලනයේ පවතින කටුක යථාර්ථයට හෝ සැබෑ ගැටලුවලට (The Real) මුහුණ දීමට බිය වන බැවිනි. සැබෑ වෙනසක් ඇති වන්නේ සමාජයක පවතින විසඳිය නො හැකි ගැටුම් (antagonisms) වසන් කරනු වෙනුවට ඒවා විවෘතව සාකච්ඡා කිරීමෙනි. සත්‍යය පැහැදිලි දෙයක් ලෙස ස්ථාපිත කිරීමට වඩා සත්‍යය යනු අප සැමවිටම සොයමින් සිටින කිසිදා සම්පූර්ණයෙන් හමු නො වන දෙයක් බව පිළිගැනීම වැදගත් ය. ඒ අනුව ලැකාන්වාදී දෘෂ්ටිකෝණයකින් සැබෑ දේශපාලන වෙනසක් ඇති කළ හැක්කේ අපව පාලනය කරන මනඃකල්පිතයන්ගෙන් නිදහස් වීමෙන් පාලකයන් ඉදිරිපත් කරන ස්වාමියාගේ කතිකාව ප්‍රතික්ෂේප කිරීමෙන් හා සමාජයේ පවතින හිස්බව සහ අසම්පූර්ණ බව පිළිගෙන එය නිර්මාණාත්මක දේශපාලන ක්‍රියාවක් බවට පත් කිරීමෙන් පමණි.

ලැකාන්ගේ ආත්මීය විතැන් වීම (Subjective Destitution) යන සංකල්පය දේශපාලනික වෙනසක් සඳහා යොදා ගැනීම යනු ඉතා රැඩිකල් ප්‍රවේශයකි. මනෝවිශ්ලේෂණ ප්‍රතිකාරයක අවසානයේ දී විශ්ලේෂිතයෙකු ලබන අත්දැකීම ලැකාන්, ආත්මීය විතැන් වීම (Subjective Destitution) ලෙස හඳුන්වයි. මෙය දේශපාලන සමාජයකට ආදේශ කළ විට සැබෑ වෙනසක් ඇති කළ හැකි ආකාරය මෙසේ විග්‍රහ කළ හැකි ය. සාමාන්‍යයෙන් අප දේශපාලනය තුළ ක්‍රියා කරන්නේ යම්කිසි අනන්‍යතාවයක් (identity) මත පදනම්ව ය. (උදා: “මම මේ පක්ෂයේ සාමාජිකයෙක්”, “මම මේ ආගමේ කෙනෙක්”). ලැකාන් පවසන පරිදි මෙම අනන්‍යතාවයන් අපට ලබා දෙන්නේ මහා අනෙකා (The big Other) විසිනි. ලැකානියානු ආත්මීය විතැන් වීම යනු ඔබ මෙතෙක් කල් ඔබ කවුදැයි කියා සිතා සිටි ඒ සියලු පරමාදර්ශී ප්‍රතිරූප සහ දේශපාලන අනන්‍යතාවයන් බිඳ වැටෙන මොහොත ය. මහා අනෙකා (රජය, පක්ෂය, නායකයා) සතුව අපගේ ප්‍රශ්නවලට පිළිතුරු නැති බවත් ඔහු ද අප මෙන් ම අසම්පූර්ණ බවත් අවබෝධ කර ගැනීම ය.

ව්‍යුහාත්මක උදාසීනත්වය පවතින විට මිනිසුන් සිදු කරන්නේ පද්ධතිය දෙස බලා “මේක කවදාවත් වෙනස් කරන්න බැහැ” කියා අත්හැර දැමීම ය. නමුත් ආත්මීය විතැන් වීම සිදු වූ පුද්ගලයා පද්ධතියේ පවතින හිස්බවට බිය නො වේ. ඔහු තවදුරටත් නායකයෙකුගේ අනුමැතිය හෝ මහා අනෙකාගේ සහතිකය බලාපොරොත්තු වන්නේ නැත. මෙවැනි පුද්ගලයන් සමූහයක් එකතු වූ විට ඔවුන්ට පවතින දේශපාලන ව්‍යුහය මුළුමනින්ම වෙනස් කළ හැකි සැබෑ ක්‍රියාවක් (a radical act) සිදු කළ හැකි ය. මන්ද ඔවුන්ට තවදුරටත් අහිමි වීමට කිසිදු මනඃකල්පිත අනන්‍යතාවයක් නො මැති බැවිනි. නායකයෙකු පැමිණ අපව ගලවා ගනු ඇතැයි යන දේශපාලන මනඃකල්පිතය (political fantasy) අත්හැරීම, සමාජ සබඳතාවය (social link) අලුතින් නිර්මාණය කිරීම හෙවත් පවතින දේශපාලන පක්ෂ හෝ ආයතන මඟින් නො ව පද්ධතියේ පවතින හිස්බව පිළිගන්නා මිනිසුන් අතර ගොඩනැගෙන නව අව්‍යාජ සබඳතා ඇති කර ගැනීම හා පවතින දේශපාලන වචන මාලාව (පොරොන්දු, සටන් පාඨ) වෙනුවට අපගේ සැබෑ අතෘප්තිය සහ ආශාව ප්‍රකාශ කරන නව භාෂාවක් ගොඩනැගීම ඉන් ප්‍රධාන ය. එවිට ලැකාන්වාදී ප්‍රවේශයකින් බලන විට සැබෑ දේශපාලන වෙනසක් යනු පද්ධතිය තුළ සිදු කරන අලුත්වැඩියාවක් නො වේ. එය පද්ධතියේ පවතින හිස්බව (the void) දෙස කෙළින්ම බැලීමට තරම් නිර්භීත වීමකි. ව්‍යුහාත්මක උදාසීනත්වයෙන් මිදිය හැක්කේ අප අපවම දේශපාලනිකව විතැන් කරගෙන ස්වාමියෙකු නො මැතිව අපගේ දේශපාලන වගකීම භාර ගැනීමට සූදානම් වූ විට පමණි.

ලැකාන්ගේ ආත්මීය විතැන් වීම (Subjective Destitution) සහ ස්වාමියෙකු නොමැති වීම යන සංකල්ප වර්තමාන ලෝකයේ නායකත්වයක් නො මැති මහජන අරගල (leaderless movements) තේරුම් ගැනීමට ද ඉතාමත් උචිත ය. මෙම ක්‍රියාවලිය සිදුවන ආකාරය පියවර කිහිපයකින් පැහැදිලි කළ හැකි ය. සාම්ප්‍රදායික දේශපාලන අරගලයක දී මිනිසුන් සිදු කරන්නේ එක් ස්වාමියෙකු ඉවත් කර තවත් ස්වාමියෙකු (නායකයෙකු) පත් කර ගැනීම ය. නමුත් වර්තමාන නායකත්වයක් නො මැති අරගලවල දී මිනිසුන් කිසිදු තනි පුද්ගලයෙකු පරමාදර්ශී කරගන්නා බවක් පෙනෙන්නට නැත. නමුත් පිළිතුරු ලබා දෙන නායකයෙකු අතහැර පද්ධතියේ පවතින හිස්බව ප්‍රශ්න කරන සාමූහික විඥානයක් එ මඟින් මතු නො වේ. පුද්ගල මට්ටමින් සිදුවන ආත්මීය විතැන් වීම සාමූහික මට්ටමින් සිදු වූ විට මිනිසුන් තවදුරටත් තමන්ගේ පටු අනන්‍යතාවලට (identity politics) කොටු වන්නේ නැත. ඔවුන් තමන්ව හඳුනා ගන්නේ “සිංහල”, “දෙමළ”, “වාමාංශික” හෝ “දක්ෂිණාංශික” ලෙස නො ව පද්ධතිය විසින් පීඩාවට පත් කරන ලද “අසම්පූර්ණ ආත්මයන්” ලෙස ය. මෙම තත්ත්වයට පත් වූ පසු ඔවුන් පද්ධතියට බිය නො වේ. මන්ද ඔවුන් සතු වූ මනඃකල්පිත ආරක්ෂාවන් ඔවුන් දැනටමත් අතහැර දමා ඇති බැවිනි.

එවැනි නායකත්වයක් නො මැති අරගලයක දී මහා අනෙකා හෙවත් සියල්ල මෙහෙයවන බලවේගයක් නො මැති බව මිනිසුන් ප්‍රායෝගිකව අත් දකිති. ලැකාන්ට අනුව පද්ධතිය පිටුපස කිසිවෙකුත් නැත (The big Other does not exist); එය හුදු යාන්ත්‍රණයක් පමණි යන සත්‍යය වටහා ගත් විට කිසිවෙකු තවදුරටත් රජයකින් හෝ ආයතනයකින් අවසර හෝ පිළිගැනීම බලාපොරොත්තු නො වේ. ඔවුන් තම ආශාව (Desire) සෘජුවම ක්‍රියාවට (act) නංවයි. එහි දී නායකයෙකු නො මැති වීම යනු අවුල් සහගත බවක් නො වේ. එය ලැකාන් පවසන සැබෑ ක්‍රියාව (the act) සඳහා ඇති අවස්ථාව ය. නායකයෙකු සිටින විට වගකීම ඇත්තේ ඔහුට ය. නමුත් නායකයෙකු නො මැති විට සෑම පුද්ගලයෙකුම තමාගේ ආශාව සහ ක්‍රියාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම භාරගත යුතු ය. මෙය ව්‍යුහාත්මක උදාසීනත්වයට දිය හැකි ප්‍රබලම පිළිතුර ය. මන්ද මෙහි දී පුද්ගලයා උදාසීන නිරීක්ෂකයෙකු නො ව පද්ධතියේ වෙනස තීරණය කරන තීරණාත්මක සාධකය බවට පත් වන බැවිනි.

ලැකාන් සඳහන් කරන ආකාරයට සැබෑ විමුක්තිය ලැබෙන්නේ ස්වාමියාගේ මරණය තුළින් නො ව අප තුළ සිටින වහලාගේ මරණය තුළිනි. ලැකාන්ට අනුව මිනිසා නිදහසට වඩා වහල්භාවයට ආශා කරයි. මන්ද යත් වහල්භාවය තුළ ස්වාමියා අපට ආරක්ෂාව සහ අනන්‍යතාවය ලබා දෙන බැවිනි. ලැකාන්වාදී දිශානතියක් සහිත ක්‍රියාවක දී මිනිසා තමා සතු එම ආරක්ෂිත වහල්භාවය අත්හැරීමට තරම් නිර්භීත විය යුතු ය. ආරක්ෂිත වහල්භාවය අත්හැරීම යනු ඉතා සාංකාමය ක්‍රියාවකි. මන්ද යත්, එවිට ඔබට මඟ පෙන්වීමට කිසිවෙකු නැත. වර්තමාන අරගලවල දී අප දකින්නේ මිනිසුන් ස්වාමියාට එරෙහිව කෑගසන අතරම නො දැනුවත්වම තවත් ස්වාමියෙකුගේ ආරක්ෂාව පතන ආකාරය ය. මිනිසා තමා සතු ආරක්ෂිත වහල්භාවය (protective servitude) අත්හැරීමට නම් සමාජයක් තුළ සිදුවිය යුතු මූලිකම මානසික බිඳවැටීම වන්නේ මහා අනෙකාගේ බංකොලොත්භාවය අත්විඳීම ය. අප වහල්භාවයට ඇලුම් කරන්නේ පද්ධතිය (පාලකයා, නීතිය, ආර්ථිකය) අපට වඩා යමක් දන්නා බවත් එය අපව ආරක්ෂා කරන බවත් විශ්වාස කරන බැවිනි. ලැකාන්ට අනුව පද්ධතිය සතුව කිසිදු සත්‍ය දැනුමක් නො මැති බවත් එය හුදෙක් හිස් වචන සහ රූප සමූහයක් බවත් ප්‍රත්‍යක්ෂ වීම හා ස්වාමියා යනු මෝඩයෙකි යන සත්‍යය මුළු සමාජයම එකවර වටහා ගන්නා මොහොතක් උදාවිය යුතු ය. වර්තමාන අරගලවල පවතින්නේ තවමත් පද්ධතියට අභියාචනා ඉදිරිපත් කිරීම ය. මිනිස්සු තවමත් ස්වාමියාගෙන් ඉල්ලීම් කරති. එවැනි ඉල්ලීම් කිරීම නතර කර පද්ධතියෙන් කිසිවක් බලාපොරොත්තු නො වන මට්ටමට පත් වීමක් ලැකාන් යෝජනා කරයි. නායකත්වයක් නො මැති මෙවැනි ක්‍රියා මගින් සිදු කරන්නේ අප තුළ තිබෙන ඒ වහල් මානසිකත්වය හෙවත් නායකයෙකු මත යැපීමේ අවශ්‍යතාවය බිඳ දැමීම ය.

වර්තමාන අරගල බොහෝ විට ලැකාන් පෙන්වා දුන් ආත්මීය විතැන් වීමක් දක්වා ගමන් නො කරන්නේ ඇයි ද යන්නට ප්‍රධාන හේතු කිහිපයක් තිබේ. ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව වර්තමාන බොහෝ අරගල හුදෙක් හිස්ටෙරික කතිකාවක් (Hysteric’s Discourse) තුළ ම සිර වී පවතියි. මිනිසුන් පවතින පාලකයාට බැණ වදින නමුත් සැබවින්ම ඔවුන් සිදු කරන්නේ වඩා යහපත් ස්වාමියෙකු ඉල්ලා සිටීම ය. අරගලකරු ස්වාමියාගෙන් මෙසේ අසයි. “ඇයි ඔබ මට මේ දේ කරන්නේ, මට සාධාරණයක් ඉටු කරන්න.” මෙහි දී සිදු වන්නේ පද්ධතියේ ව්‍යුහය වෙනස් වීම නො ව ස්වාමියාගේ ස්ථානයේ සිටින පුද්ගලයා පමණක් වෙනස් වීම ය. මෙය ලැකාන් පෙන්වා දෙන සැබෑ දේශපාලන දිශානතියක් නො වේ. මේ නිසා වර්තමාන අරගල බොහෝ විට සැබෑ ක්‍රියාවක් (act) වෙනුවට සංදර්ශන (spectacles) බවට පත් වේ. තව ද සමාජ මාධ්‍ය මගින් අරගලයේ යෙදීම නිසා මිනිසුන් යම් ආකාරයක විනෝදයක් (Jouissance) ද ලබයි. ලැකාන් පෙන්වා දෙන්නේ මෙම විනෝදය අරගලයේ අවසාන අරමුණ (වෙනස) වෙත යාමට බාධාවක් වන බව ය. මිනිසුන් අරගලයේ පවතින වේදනාවට ඇබ්බැහි වන අතර සැබෑ ලැකානියානු දේශපාලන ස්ථාවරයකට පැමිණීමට ඇති අවශ්‍යතාවය එමගින් යටපත් වේ. සැබෑ ලැකාන්වාදී දිශානතියක් සහිත වෙනසක් ඇති වීමට නම් සමාජය තමා මෙතෙක් විශ්වාස කළ පරමාදර්ශී රූප බිඳ දමා පද්ධතියේ පවතින හිස්බව සමඟ මුහුණට මුහුණ හමුවිය යුතු ය. වර්තමාන අරගලවල දී අප දකින්නේ මෙම හිස්බවට බිය වී නැවතත් පැරණි ව්‍යුහයන් වෙතම (හෝ නව ස්වාමියෙකු වෙත)  යොමු වන ආකාරය ය.

වර්තමාන අරගලකරුවන් බොහෝ විට සිතන්නේ පද්ධතිය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් හෝ සියල්ල මෙහෙයවන බලවේගයක් ඇති බව ය. ලැකාන් පවසන පරිදි සැබෑ විමුක්තිය ලැබෙන්නේ මහා අනෙකා නො පවතින බව (The big Other does not exist) වටහා ගැනීමෙනි. නමුත් වර්තමාන අරගලවල දී මිනිසුන් තවමත් ජාත්‍යන්තර ප්‍රජාව, මානව හිමිකම් සංවිධාන හෝ අනාගතයේ පැමිණෙන කිසියම් පරමාදර්ශී පාලකයෙකු කෙරෙහි විශ්වාසය තබයි. මෙය පවතින මනඃකල්පිත තුළම රැඳී සිටීමකි. අරගලයෙන් පසු නැවතත් උදාසීනත්වය මතු වීම ලැකාන්වාදී දිශානතියක් නො මැති වීමේ ලක්ෂණයකි. අරගලය මගින් පුද්ගලයාගේ ආශාව සහ පද්ධතිය අතර සබඳතාවය වෙනස් නො කරන්නේ නම් එම අරගලය අවසානයේ දී නැවතත් පරණ ව්‍යුහයටම අවශෝෂණය වේ. නමුත් ඉහතින් සාකච්ඡා කළ පරිදි සැබෑ ලැකාන්වාදී දිශානතියක් සහිත අරගලයක් යනු කිසිදු ස්වාමියෙකු මත යැපීම නතර කිරීම, පද්ධතියේ පවතින හිස්බව සහ අසම්පූර්ණ බව නිර්භීතව වැළඳ ගැනීම, අරගලය හුදෙක් උද්ඝෝෂණයක් නො ව තම ආත්මීය ව්‍යුහය වෙනස් කරන සැබෑ ක්‍රියාවක් ලෙස හඳුනා ගැනීම ය. වර්තමාන අරගලවල මෙම නැඹුරුව නො මැති අතර ඒවා තවමත් ස්වාමියා සමඟ පවතින ගනුදෙනුවක් මත පදනම් වන බව පෙනෙන්නට ඇත.

බොහෝ අරගල උපදින්නේ “පද්ධතිය කැඩී ඇත, එය අලුත්වැඩියා කළ යුතුය” යන පදනමිනි. නමුත් ලැකාන්වාදී අරගලයක් පදනම් වන්නේ පද්ධතිය යනු මුලාවකි යන අවබෝධය මත ය. මෙහි දී අරගලකරුවන් පද්ධතියෙන් සාධාරණය ඉල්ලන්නේ නැත. ඒ වෙනුවට පද්ධතියට පිරවිය නො හැකි එම හිස්බව (lack) දේශපාලන අවකාශය තුළ විවෘතව ප්‍රදර්ශනය කරයි. එය මහා අනෙකා සතු බලය හුදු මනඃකල්පිතයක් බව ලොවට හෙළි කරන ක්‍රියාවකි. නමුත් වර්තමාන අරගල බොහෝ විට පවසන්නේ “අපට මේ දේ ලබා දුන්නොත් අප සතුටු වනවා” කියා ය. මෙය ලැකාන්ට අනුව මුළාවකි. ලැකාන්වාදී දිශානතියක් සහිත අරගලයක් පවසන්නේ “මිනිසා සැමවිටම අතෘප්තිමත් ය, කිසිදු පාලකයෙකුට අපව සම්පූර්ණ කළ නො හැක.” යනුවෙනි. මෙම අතෘප්තිය දේශපාලන ක්‍රියාවේ පදනම කරගත් විට මිනිසුන් තවදුරටත් බොරු පොරොන්දුවලට නො රැවටෙන අතර ඔවුන් වඩාත් ස්වාධීන සහ විවේචනාත්මක පුරවැසියන් බවට පත් වේ. වර්තමාන අරගල බොහෝ විට “අපි” සහ “ඔවුන්” ලෙස බෙදී පවතියි. නමුත් මීට පෙර දී ද පෙන්වා දුන් පරිදි ලැකාන්වාදී අරගලයක දී සිදුවන්නේ ආත්මීය විතැන් වීමකි (Subjective Destitution). එහි දී අරගලකරුවා තමා සතු සියලු සමාජීය අනන්‍යතාවයන් (ජාතිය, ආගම, පන්තිය) අතහැර දමයි. “මම මධ්‍යම පාන්තිකයෙක්”, “මම මේ පක්ෂයේ සාමාජිකයෙක්” වැනි සංකේතීය අනන්‍යතාවන් (symbolic identities) මෙහි දී අහෝසි වේ. ඔහු අරගලයට එන්නේ “සිංහලයෙකු”, “ඇමෙරිකානුවෙකු” , හෝ “වාමාංශිකයෙකු” ලෙස නො ව පද්ධතියේ පවතින අසාධාරණය හමුවේ නිර්මාණය වූ අඩුවක් සහිත ආත්මයක් (lacking subject) ලෙස ය. මෙම තත්ත්වයට පත් වූ පුද්ගලයා පාලනය කිරීම ඉතා අපහසු ය. ලැකාන්ට අනුව ක්‍රියාවක් (act) යනු පවතින නීතිය තුළ සිදු කරන දෙයක් නො ව එම නීතියේ පදනමම වෙනස් කරන දෙයකි. වර්තමාන අරගල බොහෝ විට නීතියේ සීමාව ඇතුළත ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටියි. ලැකාන්වාදී ක්‍රියාවක් යනු පවතින පද්ධතියට අනුව වියනොහැකි (impossible) යැයි පෙනෙන දෙයක් සිදු කිරීම ය. එය පවතින සමාජ බන්ධනය මුළුමනින්ම බිඳ දමා අලුත් එකක් නිර්මාණය කිරීමට ගන්නා රැඩිකල් උත්සාහයකි.

ලැකාන් හඳුන්වන මෙම ආත්මීය විතැන් වීම තුළ තවදුරටත් මහා අනෙකා ඉදිරියේ යදින්නෙකු හෝ වහලෙකු නො සිටියි. එහි පවතින්නේ පද්ධතියට අදාළ නො වන නිදහස් ආත්මයකි. මිනිසුන් බොහෝ විට තම පීඩනය තුළින්ම යම් වේදනාත්මක තෘප්තියක් හෙවත් විනෝදයක් ලබයි. පාලකයාට බැණ වැදීමෙන් ලැබෙන මෙම වේදනාත්මක තෘප්තිය, සැබෑ වෙනසක් සඳහා අවශ්‍ය ශක්තිය වැය කර දමයි. පවතින පද්ධතිය තුළ ලබන එවැනි කුඩා වේදනාත්මක තෘප්තීන් අත්හැරීමට සිදු වේ. එහි තේරුම නම් පද්ධතිය ලබා දෙන ලාභදායී තෘප්තියට නො රැවටී සැබෑ ආත්මීය නිදහස වෙනුවෙන් පවතින වේදනාව දරා ගැනීමට සූදානම් වීම ය. සැබෑව යනු කිසිදු නීතියකට හෝ භාෂාවකට කොටු කළ නො හැකි අවුල් සහගත තත්ත්වයකි. සමාජය මෙම අවුල වැළඳ ගැනීමට සූදානම් විය යුතු ය. ලැකානියානු මනෝවිශ්ලේෂණය අනුව සැබෑ විප්ලවවාදියා යනු කිසිදු සහතිකයක් නො මැතිව ක්‍රියා කරන්නා ය. පද්ධතියෙන් කිසිදු සහතිකයක් නො මැතිව තම ආශාව වෙනුවෙන් පෙනී සිටීමට තරම් මානසික ශක්තියක් සමාජය තුළ ගොඩනැගිය යුතු ය.

ලැකාන්ට අනුව දේශපාලනය යනු සැමවිටම කතිකාව (Discourse) සහ විනෝදය (Jouissance) පිළිබඳ ගැටලුවක් මිස යහපත් චේතනා හෝ පරමාදර්ශ පිළිබඳ කරුණක් නො වේ. ලැකාන් පෙන්වා දෙන්නේ මිනිසුන් දේශපාලනයට සම්බන්ධ වන්නේ උතුම් අරමුණු නිසා නො ව එමගින් ලැබෙන යම් ආකාරයක විනෝදයක් හෝ කතිකාවක කොටස්කරුවෙකු වීමේ අවශ්‍යතාවය නිසා බව ය. වර්තමාන අරගල, ආත්මීය විතැන් වීමට වඩා ආත්මීය අතිරික්තයක් (subjective excess) පෙන්වයි. වර්තමාන අරගලවල දී මිනිසුන් සිදු කරන්නේ තම පැරණි අනන්‍යතාවය අතහැරීම නො ව එය තවදුරටත් තහවුරු කරමින් ඉල්ලීම් ඉදිරිපත් කිරීම ය (උදා: “අපට වෘත්තීය ගරුත්වය ලබා දෙන්න”, “අපට අනන්‍යතාවයක් ලබා දෙන්න”). මෙය ආත්මීය විතැන් වීමට ප්‍රතිවිරුද්ධ දිශාවකි. බොහෝ විරෝධතාකරුවන් තවමත් ක්‍රියා කරන්නේ මහා අනෙකා තමන් දෙස බලා සිටිනවා යන හැඟීමෙනි. ඔවුන්ගේ අරගලය ලෝක ප්‍රජාවට හෝ පාලකයාට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීම (spectacle) වැදගත් කොට සලකයි. නමුත් ආත්මීය විතැන් වීමට පත් වූවෙකුට එවැනි ප්‍රදර්ශනාත්මක අවශ්‍යතාවයක් නැත. ඔවුන් ක්‍රියා කරන්නේ පද්ධතියේ කිසිදු පිළිසරණක් නො මැති බව වටහා ගනිමිනි. නමුත් වර්තමාන විරෝධතාකරුවන් බොහෝ විට බිය වන්නේ පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටුණහොත් තමන්ට හිමි කුඩා වරප්‍රසාද හෝ ස්ථාවරත්වය හෝ අනන්‍යතාවය නැති වේ යැයි කියා ය. ආත්මීය විතැන් වීම දේශපාලනිකව අර්ථකථනය කිරීමේ දී මනෝවිශ්ලේෂකයා මැදිහත් වන්නේ විරෝධතාකරුවන් තමන්වම හඳුන්වා ගන්නා වීරයා, විපක්ෂය හෝ පීඩිතයා වැනි ලේබල්වලින් ඔවුන්ව මුදා ගැනීම සඳහා ය. මක්නිසාද යත් එම ලේබල් පවතින පද්ධතියේම කොටස් වන බැවිනි. ලැකානියානු අර්ථයෙන් ක්‍රියාව යනු කිසිදු සහතිකයකින් තොරව, මහා අනෙකාගේ උදව්වක් නො මැතිව ගන්නා තීරණයකි. මනෝවිශ්ලේෂකයා මිනිසුන්ව මෙහෙයවන්නේ එවැනි ස්වයං-වගකීම් සහගත තීරණයක් කරා මිස පවතින ව්‍යුහයෙන් යැපෙන ඉල්ලීම් කරා නො වේ. කෙටියෙන් කිවහොත් මනෝවිශ්ලේෂකයාගේ භූමිකාව වන්නේ අරගලය යනු ඉල්ලීමක් (Demand) නො ව එය ආත්මීයව තමන්වම වෙනස් කරගන්නා වෙනස් වීමක් (transformation) බව පෙන්වා දීම ය. ආත්මීය විතැන් වීම තුළ පුද්ගලයෙකුට අහිමි වීමට කිසිවක් නැත යන්න හුදු සටන් පාඨයක් නො ව එය ගැඹුරු දාර්ශනික යථාර්ථයකි. මෙවැනි තත්ත්වයක සිටින මිනිසුන් මෙහෙයවීමට කිසිදු ස්වාමියෙකුට නො හැක. ලැකාන්වාදී මනෝවිශ්ලේෂණ දිශානතියක් සහිත අරගලයක් යනු හුදෙක් වීදි බැස උද්ඝෝෂණය කිරීම හෝ රජයක් පෙරළා දැමීම නො ව ආත්මීය විප්ලවයක් (Subjective Revolution) මඟින් පද්ධතිය සමඟ පවතින සබඳතාවය මූලිකවම වෙනස් කිරීමකි.

එ මෙන්ම ලැකානියානු මනෝවිශ්ලේෂණය තුළ ඉදිරිපත් කරන ගණිතමය පද හා මැතීම (matheme) අප දන්නා ගණිතයට අදාළ නො වන අතර ඒවා රූපමය නිරූපන ද නො වේ. ඒවා සම්බන්ධ වන්නේ අවිඥානය ව්‍යුහාත්මකව හා අවකාශයීයව නිරූපණය කරන ස්ථලවිද්‍යාත්මක (topological) තලයට ය. ලැකානියානු ප්‍රධාන කතිකා හතර හා පැරා කතිකාවක් වන ධනවාදී කතිකාව තුළ දැක්වෙන්නේ අවිඥානක ව්‍යුහ පහකි. ඒවා රූපික ප්‍රකාශන ලෙස කියවීමේ දී හෝ සායනික මානය වෙනුවට දාර්ශනික මානයෙන් කියවීමේ දී ඌනිත කියවීමක්ට ලක් වේ. ටොඩ් මැක්ගෝවන්ගේ ගැටලුව පවතින්නේ ද ලැකානියානු කතිකා ඉහත ආකාරයේ කියවීමකට ලක් කරන නිසා විය හැකි ය. උදාහරණයක් ලෙස විශ්ලේෂී කතිකාවේ S1 යනු ස්වාමි හැඟවුම්කාරකයක් වන්නා සේම එය රෝග ලක්ෂණයට ද අදාළ වේ. එය විශ්ලේෂිතයාගේ (analysand) පරිකල්පන හඳුනා ගැනීම් (imaginary identifications) ඉවත් වූ පසු ඉතිරි වන ශේෂය ය. විශ්ලේෂී කතිකාවේ එය (S1) සහ S2 අතර පවතින්නේ අවහිරතාවයකි. එබැවින් ස්වාමි හැඟවුම්කාරකය පැරණි පද්ධතියට අනුකූළවීම අවහිර වී තිබේ. ඉහත විග්‍රහය මඟින් පෙන්වා දුන්නේ ද එම කරුණ ය. ඒ අනුව ටොඩ් මැක්ගෝවන් සඳහන් කරන ආකාරයට ලැකාන් කතිකා හතර මඟින් ස්වාමි හැඟවුම්කාරකය විමුක්තිදායක ප්‍රවේශයක සිට පවතින පද්ධතියටම අනුකූල කරවන ප්‍රවේශයකට යොමු කරන්නේ ය යන අදහස ඌනිත කියවීමකි.

 

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

ඔබේ අදහස කියන්න...