back to top
31.1 C
Colombo
Friday, November 20, 2026

වර්තමානය නම් කුරුසිය මත පිපී ඇති රෝස කුසුම

0
436

මම ධනවාදය සම්බන්ධයෙන් ප්‍රවාද කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

මූලික අදහස- සමාජය සංවිධානය කිරීමේ ක්‍රමයක් ලෙස ධනවාදය අවසන් වී ඇත. එයට, වාර්ගික හෝ ජාතිකමය හෝ ශිෂ්ටාචාරමය ලෙස හෝ පවතින්නට හැකිය. නමුත්, ඉන් හැඟවෙන්නේ ධනවාදයේ න්‍යෂ්ටිය අවසන් බවයි. එසේ නම්, ගැටලුව (Problem) වන්නේ ඊළඟ සමාජ-ක්‍රමය කුමක්ද යන්න ය. එම නිසා, සමකාලීනව ශ්‍රී ලාංකික ජාතික රාජ්‍යය තුළ අප අත්විඳින්නේ පද්ධතියේ අර්බුදයක් මිස ජනතා විමුක්ති පෙරමුණේ අර්බුදයක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවට ආදේශ වීමට ආශා කරන අයගේ ඉරණම ජනතා විමුක්ති පෙරමුණේ අවසානයට වඩා වෙනස් නොවනු ඇත. එම නිසා, අපට ප්‍රතිසංස්කරණය පිළිතුරක් නොවේ. ලෝක මට්ටමේ සමාජ විප්ලවයකට අප භූමිය සකස් කළ යුතුය

 

ප්‍රථම ප්‍රවාදය

නික් බීම්ස්ගේ අදහස වන්නේ, අද අප අත්විඳින සමාජ ආර්ථික අර්බුදය යනු, ධනවාදයේ අවසාන ස්වරූපය වන ප්‍රාග්ධනය භූගෝලීයකරණය වීම අවසන් වීමයි. තවදුරටත් ප්‍රාග්ධනයට ලාභය සදහා ගෝලයේ යන්නට තැනක් නැත. එනම්, ධනවාදී නිෂ්පාදන විධිහ බිඳ වැටීමකි. එය, හුදු සමස්ත පද්ධතිය බිඳ වට්ටන සුළු වාණිජ හෝ ව්‍යාපාරික අර්බුදයක් නොවේ.

 

ජාතික රාජ්‍යය යනු, භූගෝල විද්‍යාත්මක සීමාවක් නොව දේශපාලන සැකැස්මකි. එනම්, ධනපතියන් සිය වුවමනාකම් සහ අයිතීන් සඳහා සටන් කිරීමට නිර්මාණය කරගත් දේශපාලන ව්‍යුහයකි. ශ්‍රමිකයන් නිශ්චිත ස්ථානයක ජීවත් වන බව සැබෑවකි. නමුත්, ඔවුන්ගේ අරගලයන් හී  පරාසය තීරණය කෙරෙන්නේ භූගෝල විද්‍යාවෙන් නොව සමාජ ප්‍රශ්නයන්ගෙනි. මෙම අර්ථයෙන්, ජාතික රාජ්‍යය ගැටලුවේ ආරම්භය මිස අවසානය නොවේ. නූතන ශ්‍රමිකයා සංක්‍රාන්තිකයෙකු වන්නේ, මේ සන්දර්භය ඇතුළත ය. හේගල්ට අනුව කියන්නේ නම්, ජාතික රාජ්‍යය දැන් නෂ්ට වී ඇත. ගැටලුව වන්නේ, ධනවාදය සමාජ සබඳතා විප්ලවීයකරණය කළා සේ ශ්‍රමිකයන්ගේ විඥාණය ද එසේ කළ හැකිද යන්නයි. එනම්, පක්ෂය පිළිබඳ ගැටලුවයි.

 

දෙවන ප්‍රවාදය

සමසමාජ පක්ෂයේ සිට ජනතා විමුක්ති පෙරමුණේ මාක්ස්වාදය දක්වා වූ ව්‍යාපාරයන් වල මුඛ්‍ය ගැටලුව වන්නේ, ඔවුන් ‘’ශ්‍රමය’’ අධිනිශ්චය කිරීමයි. ඔවුන්ගේ පරාජයන් මගින් මූර්තිමත් වන්නේ, ධර්මතාවයක් ලෙස ද ව්‍යාපාරයක් ලෙස ද සම්භාව්‍ය මාක්ස්වාදය පැටලී තිබෙන මූලික අකරතැබ්බය යි. එනම්, විප්ලවවාදී වර්ධනය පිළිබඳව මාක්ස්වාදී දෘෂ්ටිය ද පන්ති අරගලය සහ විප්ලවයේ සැබෑ මාවත ද අතර මෙතෙක් පැවැති බද්ධ වීම වෙන් වීමයි. නැතහොත්, අසංගත වීමයි. එම නිසා, භාෂා විශ්ලේෂණය මත පදනම් වන මාක්ස්වාදයක (Structural Marxism) අවශ්‍යතාවය ඇත. ධනවාදය , වෙළඳපොල සහ ප්‍රාග්ධනය අතර බිහි වෙමින් යන නව අසංගතභාවය නිසා ප්‍රාග්ධනය තත්‍යසමාන  -virtual – ඩිජිටල් අවකාශයකට යන අතර ලාභය වෙනුවට බදු කුලිය (Rent) ඉදිරියට පැමිණෙයි (Amazon, Google, Meta). එනම්, වැඩවසම් ස්වාමීවරු සහ වැඩවසම් ගොවියෝ. කලින් භූමියට බැඳී සිටියා නම් දැන් ඩිජිටල් අවකාශයට ගැට ගැසී සිටිති. එම නිසා, ‘ප්‍රාග්ධනය’ ධනවාදයට වඩා පැරණි තර්කයකට ආපසු ගමන් කරයි. එනම්, නැවත නව-වැඩවසම්වාදයකට ගමන් කරයි. ලංකාවේ නම්, මූල්‍ය ප්‍රාග්ධන හිමියන් වන ක්‍රිෂාන් බාලේන්ද්‍ර, ධම්මික පෙරේරා, ඉෂාර නානායක්කාර වැනි වැඩවසම් ස්වාමිවරුන්ට ශ්‍රමිකයා ගැට ගැසේ.

(උදා:- Uber සේවකයන්)

තෙවැනි ප්‍රවාදය

පශ්චාත්-නූතනවාදය පිළිබඳ තිසීසය සමකාලීන සන්දර්භය තුළ නැවත කියවීමක් කළහොත්, එහි අදහස මෙසේ වෙනස් කළ හැකි ය. තිසීසයක් ලෙස ගත් විට, ජේම්සන්ගේ මූලික අදහස වූයේ, ‘සංස්කෘතිය’ හුවමාරු වටිනාකම් ලෝකයට ඇතුල් වීම සහ ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයට වෙනස්ව එම නව තත්වය ප්‍රගතිශීලි දිශානතියක් ලෙස පිළිගැනීමයි. ඒ අනුව, 1996 වැනි කාලයක දී ඉංග්‍රීසි භාෂාවෙන් එම තිසීසය කියවිය හැකි අර්ජුන පරාක්‍රමට ජෙම්සන්ගේ අදහස පෙනී ගියේ අධිරාජ්‍යවාදයේ දිගුවක් ලෙසිනි. නැතහොත්, බටහිර සංස්කෘතික ආක්‍රමණයක් ලෙසිනි. නමුත්, ජෙම්සන් සංකල්පගත කළ තත්වය අද අපට යථාර්ථයක් වී ඇති අතර නිර්ප්‍රභූ යනු, සමාජ ප්‍රභේදයක් නොව ආර්ථික ප්‍රභේදයක් බව වැටහී ඇත.

 

ජෙම්සන්ගේ ප්‍රවාදයේ දෙවැනි කොටස එනම්, පශ්චාත්-නූතනවාදය තිසීසයේ අවසාන හරියේ දී විග්‍රහ වන්නේ, සංස්කෘතිය පිළිබඳව නොව අත්දැකීම -ප්‍රපංචය- පිළිබඳව ය. මේ කොටස 90 දශකයේ දී මට සංකල්පගත කර ගැනීමට නොහැකි විය. මට නොහැකි වූ දේ අන් අයට ද මඟහැරී යන ලදී. ජෙම්සන් අදහස් කරනු ලැබුවේ ලාභ  ශ්‍රමය සදහා ගෝලය වටා ප්‍රාග්ධනය බටහිර ලෝකයෙන් ඉවත් වීමත් සමඟ බටහිර ශ්‍රමිකයා ‘කම්කරුවෙක්’ ලෙස අත්විඳි අත්දැකීම අහෝසි වී ගිය බවයි. එම නිසා, ඉතිහාසයේ යම් මොහොතකට පසුව ‘අත්දැකීම’ මිලට ගැනීමට සිදු විය. නිර්ප්‍රභූ චින්තනය සහ නිර්ප්‍රභූ අධිනිශ්චය පැමිණෙන්නේ, එම සන්දර්භයට පසුව ය. කුමුදු කුසුම් කුමාර X දේශපාලනයට එරෙහි වන්නේ, මෙම නිර්ප්‍රභූ සංවේදීතාවයෙනි. නමුත්, සංස්කෘතිය විතරක් නොව අත්දැකීම ද විකිණිය හැකිය. අද බහුතරය විකුණන්නේ අත්දැකීමයි. මෙම අංශය හොඳින්ම විශ්ලේෂණය කරන ලද ඉතිහාසඥයා වන්නේ, මොයිෂ් පොස්ටෝන් ය. ඔහු මේ පිළිබඳව ලියා ඇති ‘History & Hopelessness’ ලිපියේ අත්දැකීම් විකිණීම පිළිබඳව සංයුක්තව ලියා ඇත.

 

 

සිව්වන ප්‍රවාදය

ඉතිහාසය අධ්‍යයනය කරන විට දී, මුළු මහත් 20 වැනි සියවසම ගෙවී ගියේ ප්‍රධාන පසමිතුරුභාවයක් මූලික කොටගෙන ය. එනම්, ධනවාදය සහ කොමියුනිස්ට්වාදය අතර ගැටුම (Dialectical Conflict between Capitalism & Communism) හරහා ය. 20 වැනි සියවස මාක්ස්වාදී නම්, 21 වැනි සියවස හේගලියානු යැයි  ඇමරිකන් දාර්ශනිකයෙකු වන රොබට් පිපින් සහ ස්ලෝවේනියානු දාර්ශනිකයෙකු වන ස්ලාවෝජ් ජිජැක් ප්‍රකාශ කරන්නේ මන්ද? හේගලියානු සියවසක් පෙනී යන්නේ කෙසේ ද? සිහියට කැඳවා ගන්නා බාහිර සාරය අතහැර තමන්ගේ සාරය යනු, තමන්ගේම ආත්මමූලිකත්වයේ රාමුගත කිරීමක් බව අවබෝධ කර ගැනීමයි. මෙම අර්ථයට අනුව, කොමියුනිස්ට්වාදය යහපත් නිසා එය අනාගතයේ දී අනිවාර්යයෙන් සාක්ෂාත් වන්නේ නැත. කොමියුනිස්ට්වාදය, දෙවියන් පිළිබඳව හෝ පියා පිළිබඳ සංවාදය, අප බාහිරින් ඇතැයි සිතන සොබාදහම පිළිබඳ සංවාදය යනා දී මෙම පිළිතුරු සංවාද සියල්ල තමන්ට බාහිරින් කරන සංවාදයක් නොව ඒවා තමන්ටම අභ්‍යන්තරික බව අවබෝධ කරගත් විට දී, එම තත්වය ‘ස්වයං අවබෝධය’ (Absolute) මිස පරාරෝපණය නොවේ. වෙනත් වචනවලින් කියනවානම්, ‘මම’ යන්නට ආගන්තුක දේ යනු මගේම නිෂ්පාදනයක් බව සම්මුඛ කර ගැනීම. මව (සත්තාව/ යථාර්ථය) සහ දරුවා (සිතීම/ අවබෝධය) අතර ගැටුම සමනය වීමට පියා සම්මුඛ විය යුතුය. මෙය, විද්‍යාවට හෝ තාක්ෂණයට කළ නොහැකි දෙයකි. එම නිසා, 20 වැනි සියවසේ ධනවාදය/ කොමියුනිස්ට්වාදය අතර පසමිතුරුභාවය අප ‘නිරපේක්ෂ ආත්මය’/ කොමියුනිස්ට්වාදය අතර පසමිතුරුභාවයට විස්ථාපනය කළ යුතු ය. දෘෂ්ටිවාදී විචාරය අවශ්‍ය වන්නේ, මෙම මංසන්ධියේදී ය.

පස්වන ප්‍රවාදය

ධනවාදයේ අවසානය සමඟ පීතෘ රූපකයට වූයේ කුමක්ද? ධනවාදය සිය නිෂ්පාදන අවධියෙන් කේන්ද්‍රීය ලෙස පරිභෝජනයට විතැන් වූවාට පසුව එය එහි අතිරික්තය එකතු කර ගන්නා මාදිළිය ද ‘අතිරික්ත-වටිනාකමෙන්’ ‘අතිරික්ත-විනෝදය’ ට මාරු කරන ලදී. එබැවින්, අද අප ජීවත් වන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අවිඥාණය ව්‍යුහගත කළ වික්ටෝරියානු තහංචි සමාජයේ නොව සියල්ලට ඉඩ දෙන, විනෝදයට සීමා පණ නොවන, 68 ප්‍රංශ ශිෂ්‍ය අරගලයට පසු බිහි වූ හිපි සමාජයක ය. ලංකාවේ අර්ථයෙන් කිවහොත්, බාහිර ආධිපත්‍යයට එරෙහිව සෑම අතකින්ම පහර එල්ල කළ 2022 මාර්තු අරගලයට පසු සමාජයක ය.

දැන් ලංකාවේ පවතින සමාජය චලනය වන්නේ, පීතෘ රූපකයෙන් නොවේ. ව්‍යාභිචාරයෙන් අපව ගලවන, මවගේ ශරීරයට ආශා කරන පිරිමි දරුවාට තහංචි දමන පීතෘ රූපකයක් සමාජයේ දැන් නැත. මෙය, කොකේන් නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ලද යුග වෙනසෙන් පැහැදිය හැකිය. 80 දශකයේ දී කොකේන් පාවිච්චි කරන ලද්දේ, යථාර්ථයේ පීඩාවෙන් හෝ එහි අධික සංගතභාවයෙන් ගැලවෙන්නට ය. 80 දශකයේ මගේ පරම්පරාව අරක්කු සහ කොකේන් භාවිතා කළේ, එම අර්ථයෙනි. නමුත්, දැන් සිටින Z පරම්පරාවේ අය කොකේන් භාවිතා කරන්නේ යථාර්ථය සමඟ යළි බද්ධ වීමට ය; ඇංකරයක් ගැසීමට ය; භූගත වීමට ය. මේ නිසා, මෙම දෙවන යුගය ඇබ්බැහියක් බවට පත් වෙයි. මෙම සන්දර්භය ඇතුළත සමකාලීන තරුණ පරම්පරාවට පීතෘ රූපකය දෘශ්‍ය වන්නේ, සොරකම, දූෂණය එකතැන පල් වීම ආදී වශයෙනි. එබැවින්, වර්තමානයේ දුර්වල වී ගිය සමාජ ආයතන තුළ ආශාව මිය යයි. පීතෘ රූපකය යනු, ආශාවට නීතිය හඳුන්වා දෙන්නා ය. ඔහු අපගේ සමාජයේ මිය ගොස් ඇත. එසේ නම්, මේ යුගයේ පිය උරුමය යනු කුමක්ද? ඊඩිපස් විසින් අපට හඳුන්වා දෙන්නේ, විනෝදයට එරෙහි වන පියෙක් මිස අන් කිසිවක් නොවේ. එම අර්ථයෙන්, පියාගේ කාර්යය විරුද්ධ වීමයි. දැන්, එවැනි අය නැත. එවැනි තත්වයක් තුළ දී, අපගේ ආශාවට නීති-කැඩීම හැර විනෝදය කරා යන මාර්ගයක් නැත. ත්‍රස්තවාදයේ සිට හෙරොයින් හරහා ආරාමගත භික්‍ෂූන් හමු වීම හැර වෙන විකල්පයක් නැත. මෙම නව සන්ධියට පසුව උරුමය, සම්ප්‍රදාය, අඛණ්ඩත්වය යෝජනා කරන ඒජන්තයෙකු නැත. ඒ අනුව, හෙරොයින් යනු අපට සමාජ අවකාශයේ නින්ද යන නිසා එම අවකාශයේ ප්‍රාසාංගික වීමට උදව් කරන සංඝටකයකි. සමාජයේ අප වෙනුවෙන් අධි ක්‍රියාකාරී වන පුද්ගලයන් වන කූඹියෝ ජෙහාන්, දේශපාලනයේ පුබුදු ජාගොඩ, මාධ්‍යවල චමුදිත වැනි අය හෙරොයින් සමරූපයන් ය. එම නිසා, එක පැත්තකින් ට්‍රම්ප් වැනි ස්වාධීකාරයන් අවශ්‍ය අතර අනෙක් පසින්, අනවරත විනෝදයට ගමන් කරන ඇන්ඩෲ ටේට්ලා වීරයන් වෙති.

එසේ නම්, Z පරම්පරාවට අදාළ පීතෘ රූපකය කුමක් ද? කොමැක් මැකාති නම් ඇමරිකානු නවකතාකරුවාගේ ‘The Road’ නම් නවකතාවේ පියා යනු සියලුම ආකාරයේ විනාශයන්ට සහ නින්දාවන්ට පසුව ශේෂ වූ පියා ය. එම නිසා, ඔහුගේ නම සවුත්තු වී ඇත. හරියට මගේ නම

වැනි ය. 2005 වසරේ සිට මමත් විවිධ සමාජ වැඩවලට ඇතුල් වී නින්දාවට පත් වී ඉතුරු විය. 2007 මව්බිම, 2007-2014 Rights Now සහ ගල්කිස්ස ප්‍රධාන කාර්යාලය, 2015- 2018 සත්හඬ සහ චතුරිකා සිරිසේන, 2018- 2022 ගෝඨාභය ජනපති, 2022- 24 රනිල් ජනපති. මේ සෑම ස්ථානයකදී ම මගේ නම සවුත්තු විය. එය, අන්තර්ගතයක් නැති ආකෘතියක් විය. මගේ දුවට ඉදිරියට ගෙන යන්නට එහි යමක් ඉතුරු වී නැත. නමුත්, එක දෙයක් ඉතුරු විය. ඒ, මෙම හැම විපතකින්ම, කුණාටුවකින්ම මා ගැලවී ඉතුරු වීමයි. මගේ නම හා අනුබද්ධ අර්ථයක් ජීවිතයට හෝ මරණයට නැත. හරි/ වැරැද්ද හෝ හොඳ/ නරක මගෙන් ඇසීමට කෙනෙක් නැත. යහපත/ අයහපත කුමක්ද කියා මම නොදනිමි. මම ආශ්‍රය කළ ස්ත්‍රීන්ට මා පිළිබඳව ඇත්තේ, බොහෝ විට අපුලකි. එසේ නම්, පියාගේ කාර්යය (Function) හැටියට මගේ ඉතුරු වී ඇත්තේ මගේ නම නොව ගැලවීම (Survival) යි. මෙම බේරීම තමයි මගේ පැවැත්මේ එකම සාක්ෂිය. මගේ දරුවාට මා නිසා හට ගන්නා ආශාව බිහි වන්නේ, මගේ නම – Name  – නිසා නොව විකාර සහගත සහ ඉන්ද්‍රජාලික ගැලවුම් තාක්ෂණ නිසා ය. ඒ අනුව, සමකාලීන Z පරම්පරාවේ අනාගතවාදීන්ට වැදගත් වන්නේ නින්දා කරන ලද සහ තවමත් අනවරතව නින්දා කරන මගේ නම- ‘දීප්ති’- නොව සෑම ව්‍යසනයකින්ම මේ දක්වා ගැලවුණු ටොම් සහ ජෙරී වර්ගයේ හාස්‍යජනක ඉතුරු වීමයි. නූතන යුගයේ දී ලැකාන් කී පරිදි, පියාගේ නම ඉතිරි වන්නේ නැත. ඉතිරි වන්නේ, නම විනාශ කර උත්පාද වූ ‘බේරීමේ තාක්ෂණය’ යි. මෙම බේරෙන විදිහට ආශා කරන්නන් ඉදිරියට බිහි වනු ඇත. කෝවිඩ් යුගයේ දී සහ අරගලය යුගයේ දී මා සහ සමන් වික්‍රමාරච්චි උත්සාහ කරන ලද්දේ, ධනවාදයට පසුව පියාගේ භූමිකාව ප්‍රතිසූත්‍රගත කරන්නේ කෙසේ ද යන්න ය. එහිදී, අප මාස්සීමෝ රිකල්කාතී නම් ඉතාලි මනෝවිශ්ලේෂකයා විසින් ලියන ලද ‘ටෙලිමාකස් සංකීර්ණය’ (The Telemachus Complex) පොත සිංහලට පරිවර්තනය කිරීමට කාලය දුන්නේය. එමගින්, අපි සමකාලීන පීතෘ භූමිකාවට නව අර්ථකථනයක් යෝජනා කරන්නෙමු. ටෙලිමාකස් යනු, ඊඩිපස් නොවේ. ඔහුට පිළිතුරක් නැත. ඔහු ධීවරයෙකි. ඔහුගේ කුඩා පවුල මුහුද අද්දරට ගොස් ක්ෂතිජය දිහා බලා සිටින්නේ, පියා රැගෙන එන කුටුම්බ රක්ෂණය යි. ඊඩිපස් අන්ධ වූවත්, ටෙලිමාකස් යනු ලෝක අවසානයට පසු ඈත බලා සිටින දෘෂ්ටිය (Gaze) යි. සම්ප්‍රදාය සහ නවෝත්පාදනය උගත හැක්කේ, එම අවදානම් සහගත සහ අන්ධකාරය කැටි වූ දෘෂ්ටියෙනි. සමහරවිට, මේ ක්ෂතිජය පසාරු කරගෙන පැමිණෙන්නේ පියා නොව තලපති විජේ වැනි මංකොල්ලකරුවෙකු වීමට ද හැකිය. එසේ බලා සිටි පුද්ගලයන් දෙදෙනෙක් ගැන මෙතැන සාක්ෂි ලෙස සඳහන් කරමි. රෝහිත භාෂණ එක්කෙනෙකි. අනෙකා, ඊරොස් නායක බාල කුමාර් ය. පියා වෙනුවට ආවේ මහින්ද රාජපක්ෂ ය. රිකල්කාතීගේ පොත ළඟදී සිංහලෙන් පළවනු ඇත. මාගේ කලාත්මක ගමන් සගයා වූ අශෝක හඳගම ද අනෝමා ජනාදරී විසින් ඔහුගේ නම කීතු කීතු කිරීමෙන් පසුව ශේෂයක් ලෙස ඉතුරු වී ඇත. ඔහුට ද නම අහිමි ය. ඇත්තේ ක්‍රියාකාරී වීම පමණි (Dialectic of recognition is no longer the Name, but the Act).

 

සයවන ප්‍රවාදය 

දැන් අප තීරණාත්මක තැනකට පැමිණ ඇත. සමාජ සමස්තය නිෂ්පාදනය කේන්ද්‍ර කරගත් ධනවාදය මියගොස් ඇත. ඒ වෙනුවට, ධනවාදයට පෙර යුගයේ තර්කනයක් ප්‍රාග්ධන හිමියන්ගේ සන්දර්භය තුළ ස්ථාපිත වෙමින් පවතී. සමහර චින්තකයන් මෙම නව-තත්වය නව වැඩවසම්වාදය ලෙස හඳුන්වයි. එවැනි තත්වයක් තුළ දී අහස්ගත ප්‍රාග්ධනයේ ප්‍රවේණි දාසයන් බවට ශ්‍රමිකයා පත් වී ඇත. තමන්ගේ යැපුම් දීමනාවට පමණක් ශ්‍රමිකයා ඌනනය වී ඇත. මෙම ශ්‍රමිකයාගේ ජීවන දර්ශනය අල්පේච්ඡත්වය යි. සංස්කෘතික මුහුණුවර වන්නේ, ආගමකින් තොරව ආධ්‍යාත්මිකත්වය යි.

අපගේ මේ දක්වා පැහැදිලි කිරීමට අනුව පැරණි සමාජය මියගොස් ඇත. ඒ වෙනුවට, අලුත් සමාජයක් හෝ එවැන්නක් සඳහා ප්‍රතිමානයන් -නව හර පද්ධතියක් සහ සම්මතයන්- තවම සකස් වී නැත.

ඉහත අදහස හේගල්ගේ ‘යුක්තියේ දර්ශනවාදය’ නැතහොත් ‘Elements of the philosophy of Right’ කෘතියේ පෙරවදන ඇසුරින් පහත පරිදි පැහැදිලි කළ හැකිය:

පැරණි ලෝකය මිය යමින් පවතී. අලුත් ලෝකයක් කරා මේ මිය යමින් සිටින ජීවිතය සමතික්‍රමණය කරන ක්‍රම දෙක කුමක් ද? (A) ප්‍රතිසංස්කරණය (B) විප්ලවය.

ලෝකය අනාගතයේ දී කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව වට්ටෝරුවක් පිළියෙළ කිරීමට දර්ශනයට නොහැකිය. යම්කිසි ඓතිහාසික මොහොතක දී, චින්තනයක් ලෙස දර්ශනය (Philosophy) මතු වන්නේ යථාර්ථය එහි නිර්මාණ ක්‍රියාවලිය සම්පූර්ණ කළාට පසුව ය. සංකල්පය පිළිබඳ ඉගැන්වීම මෙන්ම ඉතිහාසයේ නොවැළැක්විය හැකි පාඩම වන්නේ ද මෙය යි. යථාර්ථය පරිණත වූ විට දී පමණක් පරමාදර්ශය (Ideal) සැබෑ ලෝකයට එදිරිව පළමුවරට පෙනී සිටියි.

ජීවිතය සන්ධ්‍යාව වන විට දී අළු පැහැයක් ගන්නා අතර එහි අදහස වන්නේ, දර්ශනය ජීවිතය අවබෝධ කර ගන්නා විට දී ප්‍රමාද වී ඇති බවයි. එවිට, දර්ශනයට කළ හැකි වන්නේ ජීවිතය පුනර්ජීවනය කිරීම නොව එය තේරුම් ගැනීම පමණි. හේගල්ගේ අදහස මෙතනට එකතු කරන්නේ නම්, ‘දර්ශනය’ යනු, සිදුවීම් සිදුවීමට පෙර ඒවා මෙහෙයවන දෙයක් නොව, සිදුවීම් සිදු වී අවසන් වූ පසු ඒවායේ අර්ථය වටහා දෙන දෙයකි. බකමූණා රාත්‍රියේ දී පියඹා යනවා සේම, ප්‍රඥාව හෝ දර්ශනය උදා වන්නේ යම් යුගයක් අවසානයට ළඟා වූ පසුව බව මෙයින් සංකේතවත් වෙයි.

ඉහත තත්වයට පරස්පරව දේශපාලනය යනු, කිසිදු බාහිර සහතිකයක් නොමැතිව සදාචාරාත්මක තීරණ ගනු ලබන සහ සාකච්ඡා කරනු ලබන අවකාශය යි. එය, ආගාධමය ක්‍රියාව (Abyssal act) කි. පතුලක් නැති තීන්දුවකි.

පතුලක් නැති තීන්දුවක් ගැනීමේ දී පැරණි ලෝකය පිළිබඳව ප්‍රමාද වූ අවබෝධය තත්කාලීන නැත. හේගල්ගේ නිශේධනය සහ නිශේධනයේ නිශේධනය (Negation of Negation) අතර පෑස්සිය නොහැකි පරතරයක් (Gap) ඉතුරු වෙයි. උදාහරණයක් ලෙස, ලිබරල්-ධනවාදී සමාජය සහ කොමියුනිස්ට් සමාජය අතර දයලෙක්තික නිශේධනයේ දී, ගැටීමේ දී පැරණි සමාජයටත් පොදු අලුත් සමාජයටත් පොදු විනෝදයක් අර්ථයකින් තොරව සමතික්‍රමණය වෙයි. මෙම ‘විනෝද දැල්ල’ තමාව පැරණි සමාජයටත් අලුත් සමාජයටත් ගැට ගසන පොදු සාධකය ලෙස වටහා ගතහොත්, එය රෝස මලක් වෙයි.

 

යේසුස් වහන්සේ දුක් ප්‍රාප්තියට නැතහොත්, වේදනාවට පත් වූයේ කුරුසිය මත ය. කුරුසිය මගින් නියෝජනය වන්නේ, දුකට පත් වන මිනිසාගේ වේදනාව භුක්ති විඳින තැන හැටියට ය. කිතුනුවා දුක් වින්දේ කුරුසිය මත ය. එපරිදිම, ඊට විකල්පයක් කුරුසියෙන් පිටත නැති බව තර්කයෙන් වටහා ගත්තේ ද කුරුසිය මතම ය.

හේගල් විසින් කුරුසිය මත ජේසුගේ විඳවීම දයලෙක්තිකව විසඳන්නේ මෙලෙස ය. මිනිසා පීඩනයට පත්වනවා. සමාජයේ අසාධාරණකම් සිදු වනවා. ඉතිහාසය වේදනාවෙන් ගලා යනවා. මන්ද, මේ කුරුසිය ‘දුක් විඳීමේ තැන’ වන බැවිනි. මේ දුක් විඳින වර්තමානය ඇතුලේදීම තර්කානුකූලත්වය වැඩ කරයි. එවිට, තර්කය, විද්‍යාව යනු රෝස මලයි.

දර්ශනයේ වැඩේ ‘වර්තමානයට එරෙහිව උත්තම’ ලෝකයක් හදන එක නොවේ. වර්තමානය තුළම හේතුව (රෝස මල) හඳුනා ගැනීමයි. මෙය, සමාජ

ප්‍රතිසංස්කරණය යි. යුතෝපියාවට ඇතුළෙන් අනන්‍ය වන එකයි.

නමුත්, සමාජ විප්ලවය කියන්නේ කුරුසය -සංසාරය- බිඳලා අලුත් දෙයක් හදන එක නොවේ. වර්තමානය දුක් විඳින කුරුසයක් වගේ අපට දෘශ්‍ය වෙයි. නමුත්, ඒ කුරුසය මතම රෝස මල නැතහොත් තර්කය ද උපදියි. දර්ශනයේ කර්තවය රෝස මල හඳුනා ගැනීම මිස කුරුසිය ප්‍රතික්ෂේප කිරීම නොවේ. ඔබ වර්තමානයට වෛර කරනවා නම්, ඔබට ‘හේතුව’ පේන්නේ නැත. ඔබට හේතුව පේනවා නම්, වර්තමානයට වෛර කරන්නේ නැත.

 

නමුත්, න්‍යාය (Theory) යනු දර්ශනය නොවේ. එහි, නූතන අර්ථය මෙසේ ය: කිසියම් සිදුවීමක් හෝ ක්‍රියාවලියක් හෝ ප්‍රපංචයක් සිදු වන්නේ මන්දැයි යන්න තර්කානුකූලව පැහැදිලි කිරීමයි.

 

පැරණි සමාජයෙන් අපට ගැලවීමට අවශ්‍ය නම්, එහි අවසානය ස්වයං බාධාව වන්නේ, ඉන් ලැබූ වේදනාත්මක සතුටයි. එය, අපට අවිඥාණක ය. කළ යුත්තේ, මේ විනෝදය සපයන කුරුසිය ද දෘෂ්ටිවාදය ලෙස පෙන්වා එම විනෝදය මනෝවිශ්ලේෂණ න්‍යායෙන් විශ්ලේෂණය කිරීමයි. ඒ අනුව, රෝස මල රෝග ලක්ෂණයකි. මිනිසාගේ වේදනාව කුරුසිය මත දරා ගන්න හදපු ෆැන්ටසියකි. අන්න ඒ වැඩේ කිරීමට දර්ශනයෙන් තේරුම් අරගෙන න්‍යාය පැත්තට යන්න ඕනේ. එමගින්, අපට අලුත් ලෝකය දෙසට ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න කියා දෙයි.

 

  • දීප්ති කුමාර ගුණරත්න –

ඔබේ අදහස කියන්න...