රටක දේශපාලනය මූලිකවම ආර්ථිකමය ප්‍රතිපත්ති සහ න්‍යායයන් මත පදනම් ව තීන්දු විය යුතු කාරනයක් වුවත් නිදහසෙන් පසු මේ දක්වා ලංකාව තුල සිදුවූ දේශපාලන වෙනස්වීම්, බල හුවමාරු වීම් සහ සමාජ වෙනස් කම් සියල්ල සිදුවූයේ සංස්කෘතිකමය කාරනා සහ එයටම ගැට ගැසුනු බාහිර සතුරා (මාගේ විනෝදය පැහැරගත් මා නොවිදින විනෝදයක් විදින්නා) පිළිබඳ කාරනා මූලික කර ගනිමින් ය. ඕනෑම රටක සමාජයක් සකස් කරගැනීමේදී ආර්ථික කාරනය අතිමූලික වුවත් ලංකාවේ දේශපාලනයේ නිරතව සිටින අති බහුතරයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ආර්ථිකය ද්වීතියික තැනකට යොමු කරයි. ඒ වෙනුවට උත්කර්ෂයට නංවන්නේ මනුෂ්‍ය විනෝදයට ( jouisance ) ගැටගැසුනු සංස්කෘතික කාරනා සමඟ දෘෂ්ටිවාදයන් ය. 1956දී එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක පැවති සමාජ ආර්ථික අර්බුදය කුමක්ද සහ එයට විසඳුම් ලබා දෙන්නේ කෙසේදැයි සබුද්ධිකව (සමාජ ආර්ථික විද්‍යා දෘෂ්ඨිකෝණයකින්) අධ්‍යනය නොකල අතර එය බලය ලබා ගැනීමේ අවස්තාවක් පමණක් කර ගත්තේය. එහිදී ඔහු නායකත්වය දුන් බලවේගය හරහා ජනගත කලේ අපගේ සමාජ- ආර්ථික අර්බුදය යනු විජාතික ධනපතියා නැමති සතුරා නිසා ඇතිවූ අර්බුදයක් ලෙසය. එම සතුරා පරාජය කිරීම සමාජයට විමුක්තිය උදාකර ගැනීමට ඇති එකම මග බව ඒත්තු ගන්වා ඒ වෙනුවෙන් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේග බලමුලු ගන්වා රාජ්‍ය බලය ලබා ගැනීමයි.(සමාජ අසංගත බාවය එනම් දුප්පත්කම, විරැකියාව, සූරාකෑම වැනි සමාජ අර්බුද ඇතිවන්නේ වැඩවසම් ලක්ෂණ සහිත නොදියුණු ධනවාදය නැමති පද්ධතියේ ගැටලුවක් ලෙස නොදැකීම). එහෙත් එම සතුරා පාරාජය කිරීමෙන් පැවති සමාජ ආර්ථික ගැටලු වලට විසදුම් ලැබුනේ නැත. වෙනදාටත් වඩා දුප්පත්කම, විරැකියාව, නිළදාරීවාදය, මන්දපෝෂණය සහ සමාජය එකතැන පල්වීම වැඩිවූවා මිස සමාජ ගැටලුවලට විසදුම් නොලැඹිණි.
1977 දී ජේ ආර් ජයවර්ධන විසින් අපගේ සමාජ ආර්ථික ගැටලුවලට වග කියන බාහිර සතුරෙක් නිර්මාණය කිරීමෙන් යම් මට්ටමකට වැලකී විකල්ප ආර්ථික වැඩපිලිවෙලක් ලෙස විවෘත ආර්ථිකය හදුන්වා දෙන ලදි. විවෘත ආර්ථිකය මගින් සමාජ -ආර්ථිකය දේහය තුළ විශාල වෙනස්කම් සිදුවූ නමුත් ඒ තුළින් ලබාගත හැකි ජයග්‍රහණ කරා සමාජය මෙහෙය වීමට තරම් හැකියාවන්, අධිෂ්ඨානය සහ දේශපාලන දැක්මක් සහිත දේශපාලන නායකත්වයක් නොවීය. එමෙන්ම එම ආර්ථික ව්‍යාපෘතිය ආරක්ශාකරමින් ඉද්රිරියට ගෙන යාමට සමත් මතවාදී කතිකාවක් ගොඩනැංවීමට තරම් පිරිසක් ද සිවිල් සමාජය තුළ මෙන්ම දේශපාලන ක්ශේස්ත්‍රය තුළද නොවීම එය අසාර්ථක වීමට හේතු විය.
( ජේ.ආර් ගෙනා ධර්මිෂ්ඨ සමාජය නැමති දෘෂ්ටිවාදයට ජාතික වාදීන් සහ වාමාංශික කොටස් උත්කර්ෂයට නංවමින් සිටි ධනේශ්වර විරෝධී, සදාචාරවාදී, සහ ජාතීවාදී දෘෂ්ඨිවාදයන් පරාජය කල නොහැකි විය. නොදියුණු ධනේශ්වර ආර්ථික ක්‍රමයක් ඉබි ගමනින් ක්‍රියාත්මක උවද දෘෂ්ටිවාදය සෑම විටම ක්‍රියාත්මක වූයේ ඊට එරෙහිවය.)
ඉන් පසුව 1994 න් පසු පාලන බලය හෙබවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ගෙන ආ ප්රජාතන්ත්රවාදය සහ දූශන විරෝධයත්, 2005 දී මහින්ද රාජපක්ශ ගෙනා සාම ගිවිසුම් විරෝධය හරහා දෙමළ සතුරාගෙන් රට බේරාගැනීමේ ව්‍යාපෘතියත් ( සිංහල සමාජයේ විනෝදය ප්‍රරභාකරන් නැමති සතුරා විසින් පැහැරගෙන ඇත. එම සතුරා විනාශ කල විට අපිට පරිපූර්ණ විනෝදය ලැබේ) , 2015 දී ඉදිරිපත් කල යහපාලනයත්,( යහපාලනය යට තිබී ඇත්තේ යථාර්ථවාදී වැඩපිලිවෙලක් හරහා ‘යහපාලනයක්’ ඇති කිරීම නොව රාජපක්ශ පවුල විදි විනෝදය පැහැර ගැනීම මිස අන් යමක් නොවන බව පැහැදිලි විය ).
2019 දී නැවතත් රාජපක්ෂලා කරලියට ගෙනා මුස්ලිම්, දමිළ විරෝධය සහ ජාතික ආරක්ෂාව නැමති දෘෂ්ටිවාදයත් ආදී ලෙස නිදහසෙන් පසු බලයට පැමිණි සියලු කොටස් තම බලය ලබා ගැනීම වෙනුවෙන් සංස්කෘතිය සහ බාහිර සතුරා නැමති දෘෂ්ටිවාදී යාන්ත්‍රනය යොදාගත් ආකාරය තේරුම් ගත හැකිය. ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ 1977 න් පසු අබ්බගාත ස්වරූපයෙන් හෝ ක්‍රියාත්මක වූයේ විවෘත ආර්ථිකයෙන් යුත් ධනවාදී දේශපාලන ආකෘතියයි. එහෙත් මේ වන විට විවෘත ආර්ථිකය ආරම්භ වී වසර පනහක් ගතවී තිබියදීත් අධිපති සමාජ මතවාදය ලෙස ක්‍රියාත්මක වන්නේ පවතින විවෘත ආර්ථික ක්‍රමයට එරෙහි මතවාදයක් වීම ඛේදවාචකයකි. ඒ වෙනුවෙන් නොබියව පෙනීසිටින දේශපාලකයන් හෝ සිවිල් බලවේග ඉතා දුලබය. එනිසා ධනේශ්වර ප්‍රතිසංස්කරණයන් සිදුවන්නේ ඉතා මන්දගාමීව හෝ හොර රහසේය. ආර්ථිකය සහ සමාජය එක තැන පල්වීමට මෙය ප්‍රධාන තේතුවක් බව පෙනේ. මීට අමතරව 80 දශකයේ ලෝකය තුළ ඇතිවූ නව සමාජ- ආර්ථික වෙනස් කම් විශේෂයෙන්ම ධනවාදය තුළ ඇති වූ විශාල වෙනස්කම් වල බලපෑමෙන් ලංකාවටද මිදෙන්නට නොහැකි විය. මේ වන විට ලෝකය තුළ ඇතිවූ පශ්චාත්-ධනවාදය හරහා ලංකාවේ ජන සමාජයද ව්‍යාකූල තත්වයකට පත් වීම වැලැක්විය නොහැකි විය.
මෙම නව ලෝක තත්වයන් තේරුම් ගතහැකි දේශපාලන කියවීමක් සහිත දේශපාලන නායකයන්, සිවිල් බුද්දිමතුන් හෝ ඇකඩමික බුද්දිමතුන් ලංකාවේ විරල වූයෙන් කල යුත්තේ කුමක්ද නොකල යුත්තේ කුමක්දැයි තේරුම් ගත නොහැකිවූ ජනතාවක් සහිත සමාජයක් බිහිවිය. මින් වඩාත්ම මුලාවට පත් වූයේ දේශපාලන කණ්ඩායම් වූ අතර එය වඩාත්ම පිලිඹිබු වූයේ වාමාංශික කණ්ඩායම් තුළින්ම ය.
- වාමාංශික කණ්ඩායම් වල අර්බුදය.
ලංකාවේ පැරණි වම මාක්ස්වාදය කියවා ගනු ලැබුවේ අධිරාජ්‍යවාදී විරෝධී අරගලයක්, වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස මිස ධනවාදය ගැඹුරින් කියවා ගැනීම හෝ සමාජය වෙනස් කිරීම වෙනුවෙන් යොදාගන්නා භාවිතාවක් (praxis) ලෙස නොවේ. එබැවින් මාක්ස්වාදය පිළිබඳ ලෙනින් ඇතුලු යුරෝපීයයන් මාක්ස්වාදය කියවාගත් ආකාරයේ කියවීමක් ලංකාවට කිසිසේත්ම නොලැඹිණි.
ජේ.වී.පී. ඇතුලු නව වමද මෙම උගුලේම හිරවූ අතර පැරණි වම පදනම් වූ අධිරාජ්‍යවාදී විරෝධය වෙනුවට ‘බාහිර සතුරා’ ආදේශ කර කරන ලදි. ගැමි පීඩිත කොටස් සහ තරුණ කොටස් මූලිකත්වය ගත් සුලු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරයක් හරහා බලය ලබා ගැනීම එහි ප්‍රධාන මූලෝපාය විය.
බලය ලබා ගැනිම සම්බන්ධයෙන් පැරණි වමේ මූලෝපාය වූයේ ධනේශ්වර ක්‍රමය අර්බුදයට ගොස් වැටෙන තුරු බලා සිටීමය, මෙයට වෙනස්ව ජේ.වී.පි.යට නායකත්වය දුන් විජේවීර සිටියේ ධනවාදය වැටෙන තුරු බලා නොසිට හැකි පලමු අවස්තාවේම ‘ගහලා’ ගැනීම වෙනුවෙනි. මෙය විජේවීර නායකත්වය දුන් ජේවීපිය තුළ තිබූ රැඩිකල් ආස්ථානයක් බව කිව යුතුයි ( රුසියාවේ ලෙනින් මෙන් ). කෙසේ වෙතත් සන්නද්ධ අරගල දෙකකින් පසු විජේවීරගේ මරණයත් සමගින් මෙම පැරණි ජේ.වී.පි.ය ද අවසන් විය.
ලංකාවේ මාක්ස්වාදී දේශපාලන පක්ෂ සමාජ දේශපාලන අර්බුද සහ විසදුම් සම්බන්ධයෙන් මැදිහත් වූ ආකාරය මෙන්ම කරන ලද දේශපාලන පුරෝකතනයන් ද දළ වශයෙන් 2000 වසර වනතෙක් එතරම් අභියෝගයකට ලක් නොවිනි. දේශපාලන පසුබැසීම් වලට, පරාජයන් වලට හේතුව වාස්තවික තත්වයන්ගේ අඩුව, තත්වයන් නොමේරී තිබීම වැනි අනුභූතික කාරනා සමාජ දේශපාලන අවකාශය තුළ අඩුතරමින් සෛද්ධාන්තිකව හෝ පිලිගන්නා තත්ත්වයක් පැවතිණි. එහෙත් පශ්චාත් නූතන සමාජය තුළ නව සමාජ ආර්ථික වෙනස්කම් සහ අර්බුද හමුවේ මාක්ස්වාදී දේශපාලනයේ පැවති යල් පැන ගිය ස්වාභාවයත්, නැවත නැවත අසාර්ථක වීමත්, සමාජ දේශපාලන දිශානතියන් පිළිබඳ කරනු ලැබූ කිසිදු පුරෝකතනයක් යතාර්ථවාදී නොවීමත් යනු බාහිර යථාර්ථයේ ගැටලුවක් නොව තම න්‍යායික චින්තනයේ ගැටලුවක් බව සගවා ගත නොහැකි වී ඇත. (පවතින සමාජ දේශපාලන යථාර්ථය කියවා ගැනීම සහ වෙනස් කිරිම සදහා එම දේශපාලන චින්තනය අසමත් ය.)
- ජනප්‍රිය වාමවාදය ජාතිවාදී ම්ලේච්චත්වය තුළ ගිලීයාම.
2005 පමණ වන විට ජේ.වී.පී.ය පැරණි දේශපාලන ආකෘතියෙන් සම්පූර්ණයෙන්ම කණ්ඩනයවී ජනප්‍රිය දේශපාලනයට ප්‍රවේශ වී සිටි අතර අලුත් දේශපාලන ගමනක් ආරම්භ කර තිබිණි. එවකට උතුරේ පැවති යුද්ධයත් දකුණේ සමාජ දේශපාලන තත්වය සහ අර්බුදයන් කියවාගත් ජේ.වී.පී.යේ දේශපාලන කියවීම වූයේ ලංකාවේ සමාජ ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමේ මූලිකම කාරනය ප්රභාකරන් නොහොත් දෙමළා නැති කිරීම විය යුතු බවය. ඒ වෙනුවෙන් ඕනෑම කණ්ඩායමක් සමඟ කටයුතු කර එම සතුරා පරාජය කිරීම ප්රගතිශීලී බවයි. ඒ වෙනුවෙන් මහින්ද සමඟ අත්වැල් බැදගෙන බර අවි යොදා දෙමළාට පහර දී සිංහල සමාජයේ අර්බුදයන්ට වගකියන්නේ යැයි සිතූ දෙමළා නැමති බාහිර සතුරා විනාශ කර දැමීමේ පාපකර්මයට දායක විය. එම බාහිර සතුරා විනාශ කර සෑහෙන කලක් ගත වුවද සිංහල ජාතියට කිසිදු පරිපූරණත්වයක් හෝ ආර්ථික ගැටලුවලට උත්තර නොලැඹිණි. ඉන් පසු ඔවුන්ගේ ප්‍රධානම සතුරා වූයේ ඔවුන්ම බලයට ගෙනා රාජපක්ෂ වරුන්මය. ලාංකීය ජාතියට පරිපූර්ණ වීමට නොහැකි වී ඇත්තේ වෙන දෙයක් නිසා නොව රාජපක්ෂලාගේ වංචා දූශන සහ පවුල් වාදය බවත් එය විනාශ කිරීමෙන් නැවතත් ජාතියට සෞභාග්‍යය උදා කර ගත හැකි යැයි විශ්වාස කරන ලදි. මෙහිදී රනිල් වික්‍රමසිංහ ඇතුලු බලවේග යහපාලනය නැමති දෘෂ්ටිවාදය ගෙනා අතර ජේ.වී.පී. ය ඒ වෙනුවෙන්ද පෙනී සිටියහ. එයින්ද තමන් බලාපොරොත්තු වූ සෞභාග්‍යය ලගා නොවූයේ යැයි පවසමින් එයට හේතුව මහ බැංකුව ඇතුලු දේපල කොල්ලකන රනිල් නැමති බාහිර සතුරා බැවින් එම සතුරාත්, තමන්ද කලින් පෙනීසිටි ජනප්‍රිය ජාතිකවාදය සහ ජාතිවාදය වැළදගත් සියලු සතුරන් පරාජය කිරීම වෙනුවෙන් ද ඡන්දයට ඉදිරිපත් වී පරාජය විය.
මේ ආකාරයට ලංකාවේ ජනප්‍රිය වාමාංශික බලවේග සමාජ දේශපාලන තත්වය කියවා ගත් ආකාරය සහ ඔවුන්ගේ දේශපාලන පුරෝකතනයන් සියල්ල කිසිදු න්‍යායික ගැඹුරක් නැති හුදු දෘෂ්ටිවාදාත්මක ප්‍රතිචාර දැක්වීම් පමනක් බව ඉතා පැහැදිලි ය. මෙම ප්‍රතිචාර දැක්වීම් කිසිවකින් වාමාංශික චින්තනට හෝ ලාංකීය දේශපාලනයට කිසිදු නව සංකල්පයක් හෝ නවමු අත්දැකීමක් ලබා දී නැත. මේ සියලු අසාර්ථක වීම් වලට හේතුව ලෙස ඔවුන් විශ්වාස කරන්නේ විෂය මූල සාධක නොහොත් අර්බුදය මෝරා නොමැති වීම බවයි. ඔවුන්ගේ (විශේෂයෙන් ජේ.වී.පී සහ පෙරටුගාමීන්) ගේ බලය ලබා ගැනීමේ දේශපාලන උපාය මාර්ගය වනුයේ අර්බුදය දැඩිව උත්සන්න වූ විට ඒ හරහා ඇති කරන දෘෂ්ටිවාදයන් තුළින් ජනතාව මෙහෙයවා බලය ලබා ගැනීමේ ක්රමෝපායයි. ඒ සදහා තව තවත් අර්බුදය උත්සන්න කල යුතුය. ආර්ථික අර්බුදය තව තවත් වැඩි විය යුතුය, විරැකියාව, කුසගින්න, විදුලි කප්පාදුව, ඉන්ධන පෝලිම් ආදී සියල්ල වැඩි විය යුතුය. එවිට ජනතාව මත ඇති වන පීඩාව නිසා තමන් වෙත රොද බැද ක්‍රම වෙනස සිදුවන බව ඔවුන්ගේ න්‍යායික තර්කනයයි.
- ආර්ථික අර්බුදය සහ ජනතා අරගලය.
පිළිගත් ජාතික, ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන් ගේ සහ ආයතන වල අදහස් සංක්ශිප්තව සැලකූවිට ලංකාව මුහුන දුන් ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතු වනුයේ 1. නිදහසින් පසු රට පාලනය කල සියලු පාලකයින් අඩු වැඩි වශයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට අඩු වටිනාකමක් දී සංස්කෘතික කාරනා ප්රමුඛත්වයෙහිලා සලකමින් මාරුවෙන් මාරුවට බලය ලබාගැනීමේ සූදුව නිසා නිර්මාණය වූ ඉතා කුඩා ආර්ථිකයක් පැවතීම යි. 2022 වන විටත් ලාංකාවේ සමස්ත ආර්ථිකය ඩොලර් බිලියන 80ක් පමණ වූ අතර බොහෝ අවුරුදු වල ප්‍රාථමික අයවැය පැවතියේ ඍන අගයකි. එවිට මෙම ඩොලර් හිගය පියවා ගැනීමට සිදුවූයේ නිරතුරුවම ණය ගැනීමෙනි.
2. සෑම රජයක්ම සැලසුමකින් තොරව ණය ලබා ගැනීමත් ඒවා තුළින් අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීමත් සංවර්ධන ව්‍යාපෘති තුළ විශාල වංචා දූශන සිදුවී ඇති බව.
- මෙවැනි තත්ත්වයක් තුළ අනපේක්ෂිතව පැමිණි කොවිඩ් අර්බුදය විසින් ලෝක ආර්ථිකයට සිදුවූ බලපෑමත් එමෙන්ම රට වැසීම නිසා ලංකාවේ සියලු ප්‍රධානම ආර්ථික මාර්ග වැසීයාම.
- රාජපක්ෂ පාලනයේ වැරදි ආර්ථික කලමනාකරනය සහ වැරදි උපාය මාර්ග අනුගමනය කිරීම හේතුවෙන් දේශීය ආදායම් මාර්ග වසා ගැනීම.
- ගෙවුම් ශේෂ අර්බුදය විසදාගැනීම වෙනුවෙන් IMF වැනි ආයතන වෙත නොගොස් චීනය පිළිබඳ වැඩි බලාපොරොත්තු තබාගෙන කටයුතු කිරීමේ උපාය මාර්ගය අසාර්ථකය වීම.
- රසායනික පොහොර තහනම් හරහා දේශීය කෘෂිකර්මය කඩා වැටීම වැනි මූලික කරුණු ආර්ථික විද්‍යාත්මකව පිළිගත් කාරනා වේ.
මෙම ආර්ථික අර්බුදය තුළ තවදුරටත් විදෙස් ණය වාරික ගෙවා ගැනීමේ හැකියාවක් නොවූ අතර ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් රාජ්‍යයක් බව තවදුරටත් වසන් කිරීමට නොහැකි විය. මෙය ආර්ථික අර්බුදයේ කූඨ ප්රාප්තියයි. මෙම තත්වය මත ඇතිවූ විදුලි කප්පාදුව, දිගු තෙල් පෝලිම්, ගෑස් හිගය, විරැකියාව සීග්‍ර වශයෙන් ඉහල යන ලදි. සමාජ ආර්ථික අර්බුදයේ සංකේත යථාර්ථය මෙය වුවත් අර්බුදයේ දෘෂ්ටිවාදය මෙහෙයවමින් සිටි ජේ.වී.පී යත් පෙරටුගාමීන් ඇතුලු සියලු දෙනා විසිනුත් මෙම අර්බුදයේ ප්‍රධාන සතුරෙක් නම් කලේය. එහි ප්‍රධානම සතුරා රාජපක්ෂලා බවට පත් කල අතර මේ දක්වා බලයේ සිටි සියලු දේශපාලකයන් එම සතුරාගේ කොටස් කරුවන් කරන ලද අතර අනිකුත් සියලු දෙනා ආර්ථික අර්බුදයේ කිසිවකට වග නොකියන අහිංසක වින්දිතයන් බවට භෞතීෂ්ම කරන ලදි. මෙම දෘෂ්ටිවාදය පෝශනය කිරීම හැර කිසිදු යථාර්ථවාදී නූතන සමාජ දේශපාලන වැඩපිලිවෙලක් සාකච්ඡාවට ගන්නා බවක් නොපෙනිණ. අරගලය නැමති සමාජ ක්‍රියාකාරීත්වය මෙවන් පසු බිමක කරලියට පැමිණි අතර විවිධ අරමුණ වලින් විවිද කොටස් සම්බන්ධය වී සිටි බව පැහැදිලි විය. මෙහි ප්‍රධාන බලවේග කිහිපයෙන් ප්‍රධාන බලවේගයක් වූ ජේ.වී.පී.ය (රාජ්‍යයට එරෙහිවීම නිසා අවස්ථා දෙකකදී රාජ්‍යයෙන් හොදට බැටකා සිටි) මුලින් විශ්වාස කලේ ජනතා බලවේග මෙහෙයවා බලහත්කාරයෙන් බලය ලබා ගැනීම නොව ජනතා බලකිරීම තුළින් මැතිවරණයක් ලබාගෙන බලය ලබා ගැනීමයි. එහෙත් අරගලයේ උරුම කරුවන් වූ පෙරටුගාමීන් ඇතුලු එහි අතකොලුවක් වූ ශිෂ්‍ය ව්‍යාපාරය ජනතා අරගලය තුළින් බලය ලබා ගැනීමේ ක්‍රමවේදය තුළ දැඩිව ගිලී සිටි බැවින් දේශපාලන සෞන්දර්ය වාදයක ගිලී සිටින ජ.වි.පෙ.ටද එම ආකර්ශනීය කෙටි මගෙන් මිදිය නොහැකි විය. එහි අවසාන ප්‍රතිපලය වූයේ ගෝඨාභය රාජපක්ෂ විසින් බලය රනිල් වික්‍රමසිංහ සමඟ හුවමාරු කරගැනීමයි.
ඒත් සමගම ගෝලීය දේශපාලනය තුළ අවසානයේ සිදුවූ සැගවුනු බල අරගලයෙන් චීනය පසුබැස ඉන්දු -ඇමෙරිකානු පිල ජය තහවුරු කරගත්තේය. එබැවින් මේ වන විට ලංකාවේ දේශපාලන ආර්ථිකය දිශානත වනු ඇත්තේ මෙම අන්තර් ජාතික බල කේන්ද්‍රය වටාය. මෙම සමාජ දේශපාලන අර්බුදය නිවැරැදි ව විග්රහ කරගනිමින් සිදුවිය හැකි අනාගත වෙනස් කම් පිළිබඳව පුරෝකතනය කලේ දීප්ති සහෝදරයා නායකත්වය දෙන සමබිම පක්ෂය පමණි.
පක්ෂයක් ලෙස අප සිටි දේශපාලන ස්ථාවරයන්.
1. ආර්ථික අර්බුදයත් සමග ඇතිවූ සමාජ ආතතිය
විවිධ දෘෂ්ටිවාදයන් සමඟ ගැට ගැසී සියලු විපක්ෂ කණ්ඩායම් එම දෘෂ්ටිවාදන් මගින් ගිල ගත්තද දීප්ති ඇතුලු සමබිම පක්ෂය එම දෘෂ්ටිවාදයන් තුළ සිර නොවිණ. ආර්ථික අර්බුදය මතුවන විටම පක්ෂයක් ලෙස අප අවධාරනය කරේ සමාජ අර්බුදය ඔස්සේ ගොඩ නැගුනු සියලු දෘෂ්ටිවාදයන් වල මූලය ආර්ථික අර්බුදය බවත් එයට ගැට ගැසුණු ඩොලර් අර්බුදය වහා විසඳාගත යුතු බවයි, එය චීනය හරහා හෝ IMF සංවිධානය හෝ ඕනෑම පාර්ශ්වයක් සමඟ සම්බන්ධවී ඉතා ඉක්මනින් විසඳාගැනීම මූලිකම දේශපාලන ආර්ථික කාරනය බවයි. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කර ගැනීමේ මූලික අවශ්‍යතාවයක් වූ එම ආර්ථික අභියෝගය බාරගන්නා සහ ඒ වෙනුවෙන් වගකීම ඇති ඕනෑම කණ්ඩායමකට සහයෝගය දීම ජනතාවාදී වන බවයි. අනෙකුත් සියලු විපක්ෂ බලවේග මෙම අර්බුදය තුළ බලය ලබා ගැනීම සම්බන්ධයෙන් පමණක් ක්‍රියා කිරීම දෘෂ්ටිවාදී වීමක් බව අපගේ කියවීම විය.
2. අර්බුදය සහ අරගලය කියවා ගැනීම.
අරගලය යනු සමාජ ආර්ථික අර්බුදය තුළ දෘෂ්ටිවාදී ප්‍රතිචාර දැක්වීමක් පමණක් බවත් එය මෙහෙයවනු ලැබුවේ දේශපාලනය සංස්කෘතික කරනය කරන ලද ළදරු මාක්ස්වාදී කණ්ඩායමක් වූ පෙරටුගාමීන් සහ ඔවුන්ගේ ශිෂ්‍ය ව්‍යාපාරයත්, විජේවීර වාදය කරගසා ගත් ජේ.වී.පී යත්, මෙම ධනවාදී පරිභෝජන රටාව තුළ හොදින්ම ගිලී සිට ආතල් කැඩුණු පහල මධ්‍යම පාන්තික තරුණ කොටසුත් ය. මීට අමතරව විවිධ අනන්‍යතා අර්බුදයන් තුළ ගිලුණු නලු නිලියන්, මාධ්‍යවේදීන්, සරසවි ඇදුරන්, සමාජ ක්‍රියාකාරීන් ද අරගලයේ මූලිකයන් විය.
එහෙත් අරගලය තුළ කිසිදු බරපතල දේශපාලන ආර්ථික කියවීමක් හෝ අර්බුදය විසඳීම මූලික කරගත් දේශපාලන වැඩ පිලිවෙලක් හෝ සැබෑ ක්‍රම වෙනසක් ඇති කිරීම වෙනුවෙන් කිසිදු යථාර්ථවාදී වැඩ පිලිවෙලක් නොවිය.
එහෙත් අප අත්දුටු බුද්ධිමය ඛේදවාචකය වූයේ සියලු දේශපාලන බුද්ධිමතුන්, උගතුන්, සරසවි මහ ඇදුරන් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු සමස්ත ඊනියා බුද්ධිමය ප්‍රජාවම කරන ලද්දේ මෙම අරගලය උත්කර්ෂයට නැංවීමත් ඒ හරහා ක්‍රම වෙනසක් අපේක්ෂා කිරීමත් ය. එහෙත් එවැනි ප්රචාරකවාදී, දේශපාලනය සංස්කෘතික කරනය කරන ලද මධ්‍යම පාන්තික අරගලයකට මේ පවත්නා පශ්චාත් නූතන ධනවාදය තුළ කිසිවක් වෙනස් කල නොහැකි බව න්‍යායාත්මකව පෙන්වා දුන් එකම කණ්ඩායම දීප්ති ඇතුලු සමබිම පක්ෂය පමණි.
3. අර්බුදය ඩොලර් අර්බුදයක් වීම.
බොහෝ ළදරු වාමාංශිකයන් අර්බුදය ක්රමයේ අර්බුදයක් බවත් අරගල ඇතුලු විරෝධයන් හරහා ප්‍රකාශ වන්නේ ක්‍රම විරෝධයක් බවටත් විග්රහ කර ගන්නා ලදි. මෙයට වෙනත් අතර මැදි විසදුම් නොමැති බවත් සමාජ විප්ලවයක් තුළින් ධනවාදය පෙරලා දැමිය හැකි බවත් පුරෝකතනය කරන ලදි. රටේ ප්‍රධානම රාජ්‍ය ආයතන අත්පත් කර ගැනීමත්, ජනාධිපති වරයා බලෙන් එලවා දැමීමට කටයුතු කිරීමත් ඉන් නොනැවතී පාර්ලිමේන්තුව වැටලීම සදහාත් ඔවුන් යොමුවන ලද්දේ මෙම උපාය මාර්ගයට අනුවය. එහෙත් මෙම සියල්ලම අසාර්ථක වූ අතර සිදුවූයේ එහි දයලෙක්තික විලෝමයයි. අපට අනුව පැවතියේ ක්‍රම විරෝධයක් නොව ආර්ථික අර්බුදයකි, විශේෂයෙන්ම ඩොලර් පිළිබඳ ගැටලුවකි. එම නිසා ඩොලර් බිලියන දහයකට අඩු ප්‍රමාණයකින් මූලික ආර්ථික අර්බුදය කළමනාකරණය කරගත හැකි බව අපගේ පුරෝකතනය විය. එමෙන්ම ගෑස් ප්රශ්නය, තෙල් පෝලිම්, සහ විදුලි අර්බුදය ඩොලර් අර්බුදය කළමනාකරණය කර ගැනීමෙන් විසඳාගත හැකි බවත් ඒ හරහා අරගලයට එකතු වූ මධ්‍යම පාන්තික කොටස් වල පරිභෝජනවාදයට එල්ලවූ තර්ජනය සමනය වන බවත් ඒ හරහා අරගලය අතාර්කික වන බවත් අපගේ පුරෝකතනය විය. එය මේ වනවිට අප හිතුවාටත් කලින් ඔප්පු වී ඇත.
4. රාජ්‍ය බලය අභියෝගයට ලක් කිරීම.
අර්බුදය හේතුවෙන් ඇතිවූ සමාජ ආතතියට ප්‍රතිචාර ලෙස අරගලය ඇතුලු විවිධ ආකාරයන්ගෙන් රාජ්‍යයට එරෙහිව විරෝධතා දිගින් දිගටම එල්ල වු අතර ඒවා නිදහසේ ප්‍රකාශ වන්නට ද ඉඩ ලබා දෙන ලදි. අරගලය සහ එහි නායකත්වය විශ්වාස කලේ ඒ හරහා රාජ්‍ය මර්ධන යාන්ත්‍රනය අක්‍රිය වී ඇති බවත් ඔවුන් රාජ්‍යයේ මර්ධන නියෝග තවදුරටත් ක්‍රියාත්මක නොකර අරගලය සමඟ අනන්‍යවී ඇති බවත් ය. නමුත් එම උපකල්පනයන් ඉතා ළදරු, මාක්ස් විරෝධී, සාහිත්‍යමය හිතලු බව අද වන විට ඉතා පැහැදිලි ය.
නමුත් දීප්ති ඇතුළු සමබිම පක්ශය ධනවාදී රාජ්‍ය යනු කුමක්ද සහ රාජ්‍ය මර්ධන යාන්ත්රනයේ ස්වභාවය කලින්ම ප්‍රකාශ කරන ලදි. මෙම අවුරුදු තුනකට අඩු කෙටි කාලයක් තුළ සිදුවූ විශාල සමාජ දේශපාලනික සහ ආර්ථික විපර්යාසය සැබෑ යථාර්ථවාදීව විග්රහ කරගත් කිසිදු විපක්ෂ දේශපාලන කණ්ඩායමක් හෝ විකල්ප දේශපාලන බුද්ධිමතෙකු අප දුටුවේ නැත. එයට හේතුව ලෙස අපි විශ්වාස කරන්නේ සාම්ප්‍රදායික විපක්ෂ කණ්ඩායම් මෙන්ම බුද්ධිමතුන් ද සමාජය විග්රහ කරගන්නා න්‍යායික සම්ප්‍රදායන් පශ්චාත් නූතන සමාජය තුළ සිදුවී ඇති වෙනස්කම් සහ අර්බුද තේරුම් ගැනීමට තවදුරටත් වලංගු නොවන බවයි. සාම්ප්‍රදායික රැඩිකල් වම යල් පැනගොස් ඇති බවත් විකල්ප නව වමක් අවශ්‍ය බව දැඩිව අවධාරණය කරන්නේ එබැවිනි.
- මේ වන විට ඉහත සාකච්ඡා කල දේශපාලන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්ව ඇත. එනම් මෙතෙක් බලය ලබා නොසිටි ජේ.වී.පි.ය ප්‍රමුක මාලිමාව රාජ්‍ය බලය ලබා ගැනීමෙන් පසු නිර්මාණය වූ නව සමාජ දේශපාලන යථාර්ථයයි. එය කියවා ගැනීමට බලමු.
විශේෂයෙන් ම ආර්ථික අර්බුදය කූඨප්රාප්තියට පැමිණි 2019 න් ඇරඹි ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය පිළිබඳ ඉහත සාකච්ඡා කරන ලදි.
එම ආර්ථික අර්බුදය යථාර්ථවාදී දෘෂ්ටිකෝණයකින් කියවා ගැනීමට අප සෑම විටම කටයුතු කල අතර ඒ පිළිබඳ අප විසින් විශ්වාස කරන ආර්ථික විසඳුම් සමඟ සමපාත වන විසඳුම් ඉදිරිපත් කල දේශපාලන කණ්ඩායම් සමග අප අනන්‍ය විය. අප කිසිසේත්ම අනන්‍ය නොවූ ඊනියා ජනතා අරගලය සිදුවූ පසුබිමක පවතින ව්‍යවස්ථානූකූල තත්වය තුළ රනිල් වික්‍රමසිංහ බලයට පත්විය. සමාජ ප්‍රශ්න සහ ආර්ථික අර්බුදය විසින් නිර්මාණය වී තිබුණු සමාජ අසංගතබාවය සමනය කිරීම සම්බන්ධයෙන් රනිල්ගේ දැක්ම සහ ආර්ථික වැඩපිලිවෙල වඩා යථාර්ථවාදී වූ බැවින් එම වැඩපිලිවෙල වෙනුවෙන් අප සෘජුව පෙනී සිටියහ. අපගේ දේශපාලන දැක්මේ නිවැරදි බව සනාථ කරමින් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ව්‍යාපෘතිය වසර එක හමාරක් පමණ කෙටි කාලයක් තුළ අපේක්ෂිත ඉලක්ක කරා යාමට හැකිවී ආර්ථික බංකොලොත් බවින් මිදීමට අවශ්‍ය මූලික ආර්ථික කරුණු සම්පූර්ණ කර ගන්නා ලදි. රනිල් ප්රමුඛ කඳවුර බිද වැටී තිබුණු මතවාදී සමාජ ආධිපත්‍යය තහවුරු කර ගැනීමට සමත් දෘෂ්ටිවාදයක් ගොඩනැගීමට තරම් ශක්තිමත් වැඩපිළිවෙළක් හෝ කණ්ඩායමක් ද නොමැති විය. එම කඳවුර ද රනිල් සහ සජිත් ලෙස නොපෑහිය හැකි ලෙස දෙකඩ වී පැවතින.
මෙවන් පසු බිමක ජනාධිපතිවරණය පැමිණි අතර ඒ වෙනුවෙන් ප්‍රධාන බල කදවුරු තුනක් ඇතිවිය. එනම් රනිල්ගේ කඳවුර, සජිත්ගේ කඳවුර සහ අනුර කුමාරගේ මාලිමාව නියෝජනය කල පිලයි.
යථාර්ථය තුළ විද්‍යාමාන වූ ආර්ථික අර්බුදයේ බරපතලකම හේතුවෙන් සමාජය දඩි ලෙස කම්පනය වී පැවතින. සාමාන්‍ය මිනිස් පැවැත්ම තුළ එවැනි ආතතියකින් තැතිගත් ජහමනයාගේ අභ්‍යන්තර පීඩාවට සහනය ලැබෙනුවේ සැබෑ ආර්ථික විසදුම් ලබාගන්නේ කෙලෙසද යන කර්කශ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුලත් පිළිතුරු වලින් නොව, මේ අර්බුදයට හේතුව 76 වසරක් තිස්සේ මේ රට පාලනය කල බලයේ සිටි පාලකයා නොහොත් බාහිර සතුරාය යන දෘෂ්ටිවාදයන් ය.
අපගේ සමාජ ආර්ථික අර්බුදයන්ට හේතුව ලෙස බාහිර සතුරන් පසු පස ලුහු බදින්නට ඇබ්බැහිවී සිටි ජහමන සමාජයකට ආර්ථික බංකොලොත් බාවය සහ අරගලය හරහා ගොඩ නංවන ලද බාහිර සතුරා පිළිබඳ දෘෂ්ටිවාදය ඉතා ආකර්ෂණීය විය.
යථාර්ථවාදී දේශපාලන වෙනුවට යුටෝපියානු සමාජ ආර්ථික වැඩපිලිවෙලක් සහිත සියල්ලට වග කියන බාහිර සතුරන් නිර්මාණය කරන ජේ.වී.පී දේශපාලනය මෙම පසුබිම තුළ අධිනිශ්චය වීම නතර කල නොහැකිය. එය හොදින් හදුනා ගත් ජේ.වී.පී ප්‍රමුක මාලිමාව සියලු වැරයොදා තමන්ගේ අන්තිම සටන සුළුතරයකින් ජයග්‍රහනය කරන ලදි.
ඔවුන්ට අනුව දැන් සමාජ ආර්ථික අර්බුදයට වග කිවයුතු බාහිර සතුරා පරාජය කිරීම වෙනුවෙන් පාලන බලය හිමිව ඇත. ඊට අමතරව මෙම සියලු දෘෂ්ටිවාදයන්ට ව්‍යතිරේකයක් ලෙස සැබෑ ආර්ථික අර්බුදයද කැකෑරෙමින් පවතියි. එය දෘෂ්ටිවාදයන් මහින් සමනය කල නොහැකි, රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුලත් වැඩපිලිවෙලක් තුළින් ජයග්‍රහණය කල යුත්තකි.
සමාජ ආර්ථික ගැටලුව විසඳීම වෙනුවෙන් තමන් ඉදිරිපත් කාල යුටෝපියානු විසඳුම් මාලිමාව සතුව තිබුනද ඒවා ක්‍රියාත්මක කරනවා වෙනුවට දැනටමත්(?) හකුලගෙන ඇති බවක් පෙනේ. එනම් ජනතාව ඉදිරියේ දිවුරමින් පොරොන්දු වූ IMF එකඟතා සමාලෝචනය කිරීම, බදු ඉවත් කිරීම, පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම නතර කිරීම ආදී සියලු දේ මේ වන විටත් ක්‍රියාත්මක නොවන බවක් පෙනේ. ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ විසින් IMF සමග ඇතිකරගත් ආර්ථික වැඩපිලිවෙල කිසිදු ව්‍යුහාත්මක වෙනසකින් තොරව ඉදිරියට ගමන් කරන බව පෙනේ. (අපට අනුව මෙය ඉතා හොද තත්වයකි).
අනුර කුමාර ප්රමුඛ මාලිමා ආණ්ඩුවට ඉටු කිරීමට සිදුවී ඇත්තේ තමන් ජනතාවට පොරොන්දු වූ ආර්ථික වැඩපිලිවෙල ක්‍රියාත්මක කරනවා වෙනුවට තමන් කිසිසේත්ම නොකරනවා යැයි ජනතාවට පොරොන්දු වූ ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ආර්ථික ජයග්‍රහණ ලබා ගැනීමට සිදුවීමයි. මාලිමාව හිරවී ඇති මෙම දේශපාලන උභතෝකෝටිකය ලිහා ගත යුත්තේ මාලිමාව විසින්මය. එය විසඳාගන්නා ආකාරය අනුව මාලිමාවේ දේශපාලන අනාගතයත් රටේ අනාගතයත් තීරණය වනු ඇත.
මාලිමාව පැත්තෙන් තවමත් එක් දේශපාලන වාසියක් ඉතිරි වී ඇත. එනම් මාලිමාව විසින් ගොඩ නංවන ලද සියල්ලට වග කියන දේශපාලන සතුරා පිළිබඳ දෘෂ්ටිවාදයයි. ජහමනයාට අනුව තවමත් එම දේශපාලන සතුරා පරාජයට පත්කර නැත, එය පරාජයට පත් කිරීම වෙනුවෙන් මාලිමාවට ලබාදී ඇති කාලය තව දිග බව පෙනේ. ජහමනයා විසින් ලබා දී ඇති මෙම කාලය අවසන් කරන මොහොත තීරණය කරනු ඇත්තේ මාලිමාව සමග ජනතාව ඇති කරගෙන තිබෙන අවිඥානික ගිවිසුම අනුවය. මෙම දෘෂ්ටිවාදය ශක්තිමත්ව පවත්වාගැනීමට මාලිමාව දක්වන දක්ෂතාවයි මත එම කාලය රඳා පවතිනු ඇත. මාලිමාවට මෙම බාහිර සතුරා පරාජය කිරීම කල නොහැකි බව හැගී යාමෙන් හෝ සතුරා පරාජය වී ඇති බව දැනුණු සැනින් ‘බාහිර සතුරා’ පිළිබඳ ෆැන්ටසිය විනාශ වී මාලිමාවේ දීප්තිය ක්ශනිකව බිදීයනු ඇත. ඉන් පසුව ජහමනයා සෘජුව අභිමුඛ වන්නේ ආර්ථික අර්බුදය නැමති යථමය (real) ගැටලුවටය.
එයට පෙර අති මූලික සමාජ ආතතිය රඳා පවතින ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය ඉලක්ක සපුරාගත නොහැකි වුවහොත් හෝ නැවතත් ආර්ථික අර්බුදයට වගකිව යුතු නව බාහිර සතුරෙක් පිළිබඳ දෘෂ්ටිවාදයක් ජනගත කල නොහැකි වන්නේ නම් මාලිමාවේ දේශපාලන ගමන අවසන් වීමට නියමිත ය.
කෙසේ නමුත් ව්යුහවාදීන් වන අප යථාර්ථය දෙස ව්‍යුක්තව බලන්නේ නැත. සමාජය යනු පද්ධතියකි. සියල්ල පවතින්නේ එකිනෙක සම්බන්ධවය. අර්ථය ගොඩනැගෙන්නේ සියලු කොටස් ප්‍රධාන පද්ධතියට සම්බන්ධවන ආකාරය සහ එහි දායකත්වය අනුවය.
සරලව කිව්වොත් ආණ්ඩුවේ මෙන්ම විපක්ශ බලවේග වල නායකත්වයේ ආත්ම මූලික කාරනා, ජනතාවගේ අවිඥානික ආශාවන් මෙන්ම, අන්තර් ජාතික බල දේශපාලනය උවමනාවන්ද ලංකාවේ අවසාන සමාජ දේශපාලන ඉරණම තීරණය කරනු ඇත. මෙම තත්වය තේරුම් ගනිමින් සැබෑ දේශපාලන අභිලාෂයන් ජහග්රහනය කිරීම සඳහා ආචාර ධාර්මිකව සහ රැඩිකල් ලෙස මැදිහත් වීම හැරෙන්නට වෙනත් කිසිදු විකල්ප දේශපාලනයක් රට ඉදිරියේ ඉතිරිව නැත.
පෙර ලිපිය සඳහා:-
–CHANDANA RANASINGHE.—









