ෆ්‍රොයිඩ්යානු අර්ථයෙන් අවිඥානය යනු පුද්ගලයාගේ අභ්‍යන්තරයේ පවතින ප්‍රපංචයකි. ළමා වියේදී  නැතහොත් සංකේතීය ලෝකයට ඇතුළු වීමට ප්‍රථම මුහුණ දෙනු ලබන ක්ෂිතිමය අත්දැකීම් හේතුවෙන් පුද්ගල මනස තුල තැන්පත් වන සිතුවිලි නිසා අවිඥානය බිහිවන බව සම්ප්‍රදායික අදහස විය. නමුත් ලැකාන් ෆ්‍රොයිඩ්ගෙන් රැඩිකල් ලෙස වෙනස් වන්නේ එතෙක් අභ්‍යන්තරකරණය වී තිබු අවිඥානය බාහිරකරණය කරමින් මනෝවිශ්ලේෂණ න්‍යාය ගොඩනැගීම නිසාය.

කෙනෙකු තවමත් සම්ප්‍රදායික අර්ථයේ මුල්බැසගෙන සිටී නම් මේ කාල වකවානුව යනු එම සියුම් මෙන්ම වඩා සංකීර්ණ චින්තන විප්ලවය සිදුකර ගත යුතු කාලයයි. එය එසේ නොවන්නේ නම් “මනෝවිශ්ලේෂණය තව දුරටත් දේශපාලනිකව වැදගත් නොවේ” වැනි උදෘතයන් විශ්වාස කරන්නෙකු බවට ඔහු/ඇය නිරායාසයෙන්ම පත්වනු ඇත. මෙතරම් දුරක් න්‍යායික වංකගිරියක් තුලින් පැමිණ ඉන් පිට වීමට මොහොතකට පෙර නැවතත් මග වරද්දා ගෙන වංකගිරිය තුලටම යන අවසන් පිරිස බවට ඔවුන් පත්වනු ඇත. විශ්ලේෂකයෙකු මුලින්ම ඉගෙන ගන්නා දෙයක් වන්නේ විශ්ලේශිතයා ඕනෑම මොහොතක ප්‍රතිකාරය හැර යන බවයි. ඒ අතරින් සුවවීමට ඉතා ආසන්න මොහොතක සායනයෙන් පළායන විශ්ලේශිතයන් බහුතරයක් වෙති.

න්‍යායික වර්ධනයත් සමග අප ඉදිරියේ ප්‍රධාන අභියෝගයක් ඇත. වර්තමානයේ වාමාංශික දේශපාලනයට මිනිස්සු සම්බන්ධ නොවන්නේ ඇයි? යන ප්‍රශ්නය අප ඉදිරියේ ඇති එම අභියෝගයයි. ජ.වි.පෙ නම් කිසිදිනෙක මෙම ප්‍රශ්නය ප්‍රසිද්ධියේ සාකච්ජා කර නැත. කුමාර් මහත්තයාගේ පාර්ශවය තමන්ට ඉදිරියේදී මිනිස්සු එකතුවනු ඇති බවට වූ ෆැන්ටසියක එලබ සිටී.  ලංකාවේ ඇතැම් වාමාංශික පක්ෂ වලට වසර 50 සපිරෙන මොහොතක කිසිදු වමේ පක්ෂයක් මේ දක්වා මෙම ගැටලුව සාකච්ජා නොකිරීම වමේ එහිම වූ අභ්‍යන්තරික නොහැකියාවක් නොවන්නේද. මේ සදහා බාහිර බාධකයක් නම් කිරීම තව දුරටත් වලංගු නොවේ. ජනතාවට  පවතින ක්‍රමය පිළිබද දැනුම නොමැති නිසා ඔවුන් ඊට විරුද්ධව ඒකරාශී නොවන බව මේ සදහා වමට ඇති එකම පිළිතුරයි. මේ නිසා ගම් නියං ගම් වලට ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම මගින් ජනතාව  වමට එකතු කර ගැනීමට පසුගිය දශක කිහිපය පුරාම බොහෝ සංවිධාන උත්සහ කරන ලදී. නමුත් මේ සියලු උත්සාහයන් යනු දෘෂ්ටිවදයන්ය. ඔවුන් ජනතාව පෙළගැසීමට උත්සහ කරන ලද්දේ දෘෂ්ටිවාදී විරෝධතා සදහාය.  දෘෂ්ටිවාදී විචාරය පිළිබද  දැනුම බිදක් හෝ මෙම වාමාංශික ව්‍යාපාර වලට නොතිබිණ.

අප මතු කරන ගැටලුව සදහා ඇත්තේ ඉතා සරළ පිළිතුරකි. ‘ධනවාදයට හොදින්ම බැදී ඇති , ධනවාදය ස්වභාවික සහ අවසාන සමාජ ක්‍රමය බව විශ්වාස කරන මිනිසුන් කිසිදා වමට කැමති වන්නේ නැත.’ පිළිතුර ඉතා සරළ වුවද එය අවබෝධ කරගැනීම සරළ වන්නේ නැත. ධනවාදය අපට ඕනෑ දෙය කිරීමට හැකි සමාජ ක්‍රමයක් බව බොහෝ දෙනා සිතයි. අනෙකුත් වමේ ව්‍යාපාර කෙසේවෙතත් අප සංවිධානයේ  දේශපාලන මැදිහත් වීම ධනවාදය මත පරායත්ත වූ ආත්මය තුල පැල්මක් ඇති කරයි. අප කතා කරන දේවල් තවමත් බොහෝ දෙනෙකුට “X” ය. මේ නිසා වේගයෙන් පසුකර යන අතර අප දෙස මොහොතක් හෝ නැවතී බැලීමට ඕනෑම කෙනෙකු කැමතිය. ‘මේ මොකක්ද මේ?’ ‘මේ මොනවද කියන්නේ?’ ඔවුන් අසන ප්‍රශ්නයි. පශ්චාත් යටත් විජිත ජනයාට (කම්කරුවා, ගොවියාගේ සිට විශ්ව විද්‍යාල මහාචාර්යවරයා දක්වා ) දේශපාලනය යනු යුරෝපීය හාම්පුතාගෙන් රදළ පවුල් වෙත හුවමාරු වූ පාලන යාන්ත්‍රනයේ විකාශනය පිළිබද අත්දැකීම සහ ඒ අතර තුර සිදුවූ අසාර්ථක වාමාංශික අරගල කිහිපයක් පිළිබද ඉතිහාසය වේ. එකී  විකාශනය දිගටම සිදුවන අතරතුර දේශපාලනය තුල හේගල් සොෂියර් , ඩෙරීඩා , ෆුකෝ , ෆ්‍රොයිඩ් , ලැකාන්, ජිජැක් ආදී වූ චින්තකයන්ගේ නම් අසන්නට ලැබීමත් භාෂාව, අවිඥානය, ෆැන්ටසිය ,  දෘෂ්ටිවාදය ආදී සංකල්ප අසන්නට ලැබීමත් ජනතාව වික්ෂිප්ත කරවූ අත්දැකීමකි. මෙම ඛණ්ඩනය එක් අතකින් යුරෝපීය හාම්පුතාගේ කතිකාවෙන්  රදළයන්ගේ  අවවර්ධිත, පසුගාමී සහ  ස්වයං ආරක්ෂණවාදී ගතිලක්ෂනයන්ට  දේශපාලනය (වාමාංශයත් ඇතුළුව) පැවරීමෙන් පසු නැවත සමාජය තුල බිහිවන පෙරටුගාමී ඛණ්ඩනය බව තේරුම් ගැනීමට බොහෝ දෙනාට තවමත් නොහැකි වී තිබේ. නමුත් අප තුල “X” නමැති අමුතු දෙයක් ඇති බව කිසිවෙකුටත් නොරහසකි.

අද දවසේ අප පක්ෂයට සම්බන්ධ වීමට කැමති  බොහෝ දෙනා යනු ඉහත හදුන්වාදෙනු ලැබූ ධනවාදයට හොදින්ම සම්බන්ධ වූ පුද්ගලයන් වේ. ඔවුන් අප වෙත ආකර්ෂණය වීම සදහා බලපාන සුවිශේෂී හේතුව කුමක්ද? මීට දශකයකට ආසන්න කාලයක සිට  “X” නමැති හිස්තැන බොහෝ දෙනෙකු විසින් පුරවනු ලැබුවේ මනෝවිශ්ලේෂණය මගිනි. මේ නිසා ඔවුන් අප වෙත පැමිණෙන්නේ මනෝවිශ්ලේෂණය ඉගෙන ගැනීම සදහාය. මෙය මුලිකව දේශපාලනික ක්‍රියාවක් නොව තමා පිළිබද ස්වයං ගවේෂණයක් සදහා යොමු වීමකි. කලින් සදහන් කල ආත්මය තුල පැල්ම බිහි වන්නේ මෙකී හබායම් දෙක අතරය. නවක සාමාජිකයාගේ ආත්මය ඇත්තේ මෙම අන්ත දෙක අතර මැදය.සැබෑවටම අතරමැද ඇත්තේ දෙයක් නොව හිස්තැනකි. පක්ෂයක් ලෙස අප මෙම හිස්තැන ගැන ඉතා හොදින් අවධානයෙන් සිටිමු. අපගේ උත්සහය වන්නේ සාමාජිකයාට මෙම ආත්මය කුමදැයි කියවීමට පුහුණු කරවීමයි. එය ඔහු අපෙන් බලාපොරොත්තු වන දෙය නොවේ. බොහෝ දෙනා අපෙන් බලාපොරොත්තු වන දෙය හෝ ඔහු අප වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වන දෙය දේශපාලනය නොව “X” ය. එය එක්තරා විනෝදයක් විය හැක. පැරණි X සාමාජිකයන් අමුතු විනෝදයක් ලැබූ බව කෙනෙකු සිතයි. මේ නිසා පැරණි X සාමාජිකයන් ගුප්ත පිරිසකි. පැරණි X සාමාජිකයන්ට අනුව දීප්ති යනු තමාගේ විනෝදය පැහැරගෙන අමුතු විනෝදයක් විදි නායකයෙකි. විනෝදය පිළිබද කතා කරන විට අප ගමන් කරන්නේ අවිඥානය වෙතය. එනම් කලින් සදහන් කල හිස්තැන වෙතය. ආත්මය යනු මෙම  විනෝදයයි. අප සමග සම්බන්ධ වී සිටින සාමාජිකයකුට අවසානයේ හෙළිදරව් වන්නේ මෙම විනෝදය යනු කුමක්ද යන්නයි. නමුත් බොහෝ දෙනෙකු තමන්ගේ සත්‍ය එළියට පැමිණීම පිළිබද කැමැත්තක් දක්වන්නේ නැත. තමන් මේ ක්‍රමයට බැදී ඇති අකාරය හෙළිදරවු කරගැනීම වැනි සත්‍යක් දරා ගැනීමට කිසියම් සාමාජිකයෙකු සමත් වෙයිද ඔහුට අප සමග ඉදිරියට යා හැක.

අපගේ මුලික ගැටලුවේ තවත් එක් අතුරු ගැටළුවක් වන්නේ වර්තමානයේ ගැහැණු දේශපාලනයට කොහොමටත් නොපැමිනීමයි. ඊට හේතුව වන්නේ ගැහැණුන්ගේ සංකේත ලෝකය ගොඩනැගී ඇත්තේ ව්‍යතිරේඛ නැතැයි යන ස්ථාවරයක වීමයි. එනම් මීට වඩා වෙනස් ක්‍රමයක් නැහැ කියන ස්ථාවරයි. මේ නිසා මුළු සමාජයම ස්ත්‍රීකරණයට ලක්වීම අද අපට දැකගත හැක.පිරිමින් යනු සංකේතීයව  ගැහැනුන්ය. මෙවැනි ස්ත්‍රී ආත්මයන් සහිත පිරිමින්ගෙන් පිරුණු සමාජයක සැබෑ දේශපාලන අරගල බිහි නොවීම පුදුමයට කරුණක් නොවේ.පිරිමියා දේශපාලනයට ඇතුළු වනවා නම් එසේ පැමිණෙන්නේ තමාගේ විනෝදයේ අර්බුදයක් පවතින විට පමණි. නමුත් තමන්ගේ විනෝද අර්බුදය විසදුණු පසු ඔහු පක්ෂය හැර යයි. ඉන්පසු පෙරටත් වඩා හොදින් පවතින ක්‍රමයට අනන්‍ය වී ජීවත් වෙයි.

සොෂිර්ගෙන් පසු මිචෙල් ෆුකෝ ගේ සංකල්ප පිළිබද අප ඉතා විධිමත්ව ප්‍රසිද්ධියේ සාකච්ජා කළෙමු. රෝහල්, බන්ධනාගාර , මානසික රෝහල් ආදී ආයතන පිළිබද ෆුකෝ ඉදිරිපත් කරන අදහස් මත පදනම්ව එම ආයතන පවතිනවාට වඩා ඉතා විධිමත් ලෙස ගොඩනැගිය හැකි බව අපගේ සාකච්ජාවට සම්බන්ධ වූ සියලු දෙනාට ප්‍රත්‍යක්ෂ වූ බව අපට විශ්වාසය. නමුත් කිසිවෙක් එවැනි වෙනසක් බලාපොරොත්තු වන බවක් පෙනෙන්නට නැත. ලංකාවේ රෝහලකට යන කෙනෙකුට එතැනදී විදීමට සිදුවන  වේදනාව යනු ඔහුගේ/ ඇයගේ විනෝදයයි. කිසිවෙක් මේ වේදනාව/විනෝදය (Pleasure in pain) නැති කර ගැනීමට කැමති නැත. මේ හේතුවෙන් අප ෆුකෝ ගැන කියන දේ කවුරුත් ගනන් ගන්නේ නැත. ලංකාවේ ප්‍රවාහනය විධිමත්ව ප්‍රතිසංස්කරණය කරනවානම් ඊට මුලින්ම විරුද්ධ වන්නේ සාමාන්‍ය ජනතාවයි. ඔවුන්ට පැය ගණන් රස්තියාදු වෙමින් ගමන් යෑම කණගාටුවට කරුණක් නොව විනෝද සාධකයකි. බන්ධනාගාර ගත වූ කිසිදු දේශපාලඥයෙකු එළියට පැමිණීමෙන් පසු බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කල යුතු යැයි කියන්නේ නැත. ඒ වෙනුවට ඒ තුල ඇති අමානුෂික කටුක බව පිළිබද කතා කරමින් විනෝද වෙයි. ලංකාවේ ගැටලුව ඇත්තේ මේ පිම්ම පැන අලුත් තැනකට විතැන් වීමට ඇති නොහැකියාවයි. වාමාංශිකයන් ලෙස අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ මෙම ගැටළු ජය ගනිමින් අපගේ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්නයි.

Anushka Ariyarathne

ඔබේ අදහස කියන්න...