back to top
31.1 C
Colombo
Friday, November 20, 2026

මනෝවිශ්ලේෂණය හා බුදුදහම

0
4

පුෂ්පජිත් ජයසිංහ විසින් නිර්මාණය කළ මෙම ලේඛනය හරහා වසර 20 ක් පමණ කාලයක පැවැති විශ්වාසයක් විසංයෝජනය වෙයි. එනම්, ආශාව යනු මායාවකි යන බෞද්ධ ආප්තය සහ මනෝවිශ්ලේෂණයේ සඳහන් වන ‘ආශාව’ යනු ව්‍යුහයක් යන ආප්තය අදහස් දෙකක් බවත්, ඒවා එකිනෙකට පරස්පර බවත් ය. එපරිදිම, බෞද්ධ අර්චනයක් වන ආශාව නිහීන කිරීම විමුක්තියට මඟ පෙන්වයි යන අදහසත්, මනෝවිශ්ලේෂණයේ දුෂ්කර කියවීම්වලදී හමුවන ආශාව නිශේධනය කිරීමත් ආශාවක් යන අදහසත් එකිනෙකට පසමිතුරුය. අනෙක් අතට, බෞද්ධ අනාත්මවාදයත්, මනෝවිශ්ලේෂණයේ සංවාදයට ලක් වන අහමවාදයත් (Egoism) අතරත් වෙනසක් පවතින බවත් බුදු දහමේ සංවාද කරන ‘අහම’ නැතහොත් ‘පුද්ගල’ යන ප්‍රපංචය පසුආවර්තිත පාරභෞතිකයක් බව නූතන කියවීම් සහතික කරන බවත් ය. ඉහත අර්ථයෙන් නලීන් සුවාරිස් අපගේ සංවාදය මැදට පැන කරන ලද අහම නර්තනයේ දෝෂයන් පුෂ්පජිත්ගේ මෙම ලිපියෙන් නිරාවරණය වේ. අනෙක් අතට, බුදුදහම සේම මනෝවිශ්ලේෂණයත් පෙරදිග-අපරදිග භේදය ඉක්මවා ගොස් කරන චින්තන බලපෑම 21 වැනි සියවසේ දී තීරණාත්මක බව අපට භෞතිකය සහ යථාර්ථය ගැන බිහිවන නව සංවාද වලින් තහවුරු වෙයි. තමන්ට අවිඥාණයක් නැතැයි නැවත නැවත ඔප්පු කරන මිනිසුන්ට ආගම අදාළ නොවේ. තමන්ට අවිඥාණයක් ඇතැයි සිතන අයට පමණක් ‘නිදහස’ නම් ක්ෂේත්‍රයේ පවතින සත්‍ය හමුවේවි. තමන්ගේ ‘නිදහස’ අනෙකාගේ ක්ෂේත්‍රයට වැදී අනෙකාගේ සංවේදන කලාපයන් හිරි වට්ටන මිනිසුන් වනාහී රහසිගත ෆැසිස්ට්වාදින් ය.

පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි “අද ලොවට බුදුදහම – වර්තමානයට ආගමේ අදාළත්වයක් තිබේ ද?” නම් යූට්යුබ් වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරමින් සිටින වකවානුවක බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් ප්‍රේක්ෂාවක් ගොඩ නගමින් මාධ්‍ය තුළ පහසුවෙන් විකිණිය හැකි භාණ්ඩයක් නිෂ්පාදනය කරමින් සිටියහ. එක් පසෙකින් යම් හැදෑරීමක් හා ශික්ෂණයක් සහිතව බුදු දහම පිළිබඳ අදහස් පළ වන විට තවත් පසෙකින් ස්ලැවෝ ජිජැක් දකුණු කොරියානු චිත්‍රපටයක් වන  කිම් කී ඩුක්ගේ “Spring, Summer, Autumn, Winter… and Spring” (2003) චිත්‍රපටය ඇසුරින් පෙන්වා දුන් ප්‍රචණ්ඩකාරී හැසිරීමට හේතුව ආශාව අයහපතක් ලෙස දකින ආගමික බද්ධ දෘෂ්ටිය (Gaze) විය නො හැකි ද යන ගැටලුව සිහිපත් කරයි. මේ වන විට මතු වී ඇති බුදු දහම යනු කුමක් ද නම් ජනප්‍රිය සංවාදයට වඩා බුදු දහම අපගේ ජීවිතයට බලපාන්නේ කෙසේ ද නම් ගැටලුවට මනෝවිශ්ලේෂණාත්මක පිළිතුරක් ගොනු කිරීම මෙම ලිපියේ අරමුණ යි. 

බුදුදහම සහ මනෝවිශ්ලේෂණය අතර පවතින සම්බන්ධතාවය පෙරදිග ආගමික, දාර්ශනික චින්තනය සහ බටහිර සායනික හා න්‍යායාත්මක විෂය ක්ෂේත්‍රයට අදාළ මනස පිළිබඳ බුද්ධිමය හමුවීමක් ලෙස සලකන විට අපට ලැබෙන පිළිතුර කුමක් විය හැකි ද? මෙම සම්ප්‍රදායන් දෙක විවිධ ඓතිහාසික, සංස්කෘතික සහ බුද්ධිමය පසුබිම් තුළ බිහිවුවත් ඒවා මිනිසාගේ දුක (විඳවීම), ආශාව, අනන්‍යතාව සහ ආත්මයෙහි ස්වභාවය පිළිබඳ මූලික ප්‍රශ්න විමර්ශනය කරයි. මිනිසාට ස්ථාවර හා සංගත අනන්‍යතාවයක් පවතින්නේ ය යන උපකල්පනය ඉහත ධාරා දෙක මඟින් අභියෝගයට ලක් කරන අතර සාමාන්‍ය ආශාවන් තෘප්තිමත් කරගැනීමෙන් සදාකාලික සතුටක් හෝ පූර්ණත්වයක් ලබාගත හැකි ද යන්න ද ප්‍රශ්න කරයි.

බෞද්ධ දර්ශනයට අනුව දුක මූලික වශයෙන් තෘෂ්ණාව, උපාදානය සහ පැවැත්මේ අනිත්‍ය ස්වභාවය සමඟ සම්බන්ධ වේ. එ මෙන් ම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සහ ජැක් ලැකාන් හඳුන්වා දුන් මනෝවිශ්ලේෂණ න්‍යාය තුළ මිනිස් ආශාවට සම්බන්ධ අවිඥානය සහ එ මඟින් ඇතිවන මානසික ව්‍යාකූලතාවය විමර්ශනය කෙරේ. කෙසේ වෙතත් සමානකම් තිබුණ ද විමුක්තිය, ආශාව සහ පුද්ගල ආත්මීයත්වය (Subjectivity) පිළිබඳව මෙම සම්ප්‍රදායන් දෙක අතර මූලික වෙනස්කම් පවතියි.

ෆ්‍රොයිඩ්ගේ නිර්වාණ මූලධර්මය (Nirvana Principle) සහ ලැකාන්ගේ “Anxiety” නම් දසවන සම්මන්ත්‍රණය තුළ බුදුදහම පිළිබඳ අඩංගු කරුණු මෙම සම්බන්ධතාවය අධ්‍යයනය කිරීම සඳහා වැදගත් න්‍යායික පදනමක් සපයයි. ලැකාන් විශේෂයෙන් ම ආශාව පිළිබඳ බෞද්ධ අවබෝධය, ශූන්‍යතාව, අද්වෛතය (non-duality) සහ අහම (Ego) හි මායා ම ය ස්වභාවය පිළිබඳ  අදහස් දක්වා ඇත. තව ද ආශාව පිළිබඳ බෞද්ධ ප්‍රවේශය සහ මනෝවිශ්ලේෂණය එය පැහැදිලි කරන අවිඥානය, ලිංගිකත්වය සහ මරණාශය (death drive) වැනි කරුණු පිළිබඳ මූලික වෙනස්කම් ද ඔහු පැහැදිලි කර තිබිණ. එබැවින් මෙම ලිපිය තුළ නිර්වාණ මූලධර්මය සහ මරණාශය, ආශාව සහ මායාව, ශූන්‍යතාව සහ අඩුව, අහම පිළිබඳ මායා ම ය ස්වභාවය සහ ලැකානියානු න්‍යාය තුළ සෙන් බුදුදහමේ හා බෞද්ධ ප්‍රතිමා කලාවේ වැදගත්කම යන තේමා ඔස්සේ බුදුදහම අපගේ ජීවිතයට බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක අදහස් ඇසුරින් කරුණු ගොඩ නැගීමට අදහස් කෙරේ.

මනෝවිශ්ලේෂණය සහ බුදුදහම අතර සම්බන්ධතාවයේ මුල් අවස්ථාවක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්වා දුන් නිර්වාණ මූලධර්මය (Nirvana Principle) මඟින් හඳුනාගත හැකි ය. ෆ්‍රොයිඩ් විසින් හඳුන්වා දුන් නිර්වාණ මූලධර්මය මඟින් මනස තුළ ඇති උද්දීපනය අඩු කිරීම, එය අවම මට්ටමක පවත්වා ගැනීම හෝ හැකි තරම් ඉවත් කිරීම සඳහා පවතින ප්‍රවණතාව විස්තර කරයි. මෙම මූලධර්මයට අනුව මනස අභ්‍යන්තර ආතතිය සහ උද්දීපනය අවම වන තත්ත්වයක් වෙත ගමන් කිරීමට නැඹුරු වේ. ෆ්‍රොයිඩ් මෙම ප්‍රවණතාව අජීවී තත්ත්වයක් වෙත නැවත පැමිණීමේ ආශාව සමඟ ද සම්බන්ධ කළේ ය.  එ නම්, එය ආතතියෙන් තොර පරිපූර්ණබවකට සමාන කළේ ය.

මෙහි දී ‘නිර්වාණය’ යන සංකල්පය වැදගත් වන්නේ එය දුකෙන්, තෘෂ්ණාවෙන් සහ උපාදානයෙන් මිදීම පිළිබඳ බෞද්ධ අවබෝධය සිහිගන්වන බැවිනි. බැලූ බැල්මට ෆ්‍රොයිඩ්ගේ නිර්වාණ මූලධර්මය මඟින් බෞද්ධ විමුක්ති පරමාදර්ශය (නිවන බඳු) සහ මානසික ආතතිය අඩු කිරීමේ මනෝවිද්‍යාත්මක ප්‍රවණතාව අතර සම්බන්ධතාවයක් පෙනී යයි. නමුත් ෆ්‍රොයිඩ් වර්ෂ 1920 දී ප්‍රකාශයට පත් කළ “Beyond the Pleasure Principle” කෘතිය තුළ මරණාශය පිළිබඳ න්‍යාය වර්ධනය කිරීමත් සමඟ මෙම සම්බන්ධතාවය වඩාත් සංකීර්ණ වේ. මරණාශය යනු හුදෙක් මානසික සාමය හෝ සවිඥානක ස්වයං විනාශය සඳහා ඇති ආශාවක් නො වේ. එය සතුට සෙවීමෙන් පමණක් පැහැදිලි කළ නො හැකි ජීවිතය තුළ ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් ලෙස සරලව නම් කළ හැකි ය. මනෝවිශ්ලේෂණය පෙන්වා දෙන්නේ ආත්මය සඳහා සාමකාමී බෞද්ධ ශුන්‍යත්වයක් හෝ සම්පූර්ණ විවේකී තත්වයක් නො පවතින බව ය. මන්ද යත්, අප භාෂාවේ සහ ආශාවේ බලකිරීම්වලින් මිදිය නො හැකි කතා කරන සත්ත්වයින් වන බැවිනි. ඒ වෙනුවට අඛණ්ඩව නැවත පැමිණෙන අනවරත යමක් ලෙස මරණාශය සංකල්පය වර්ධනය කෙරිණ.

ලැකාන්ගේ අදහස් තුළ මෙම මානය වඩාත් වැදගත් වන්නේ විනෝදය (Jouissance) නම් සාධකය සම්බන්ධවීම නිසා ය. විනෝදය යනු සාමාන්‍ය ප්‍රහර්ෂ මූලධර්මය ඉක්මවා යන වේදනාව, පුනරාවර්තනය, අතිරික්තය සහ අභ්‍යන්තර පරස්පරතා සමඟ සම්බන්ධ විය හැකි යමක් බව අපි දැනටමත් දනිමු. එම විනෝදයේ ප්‍රාථමික පදනම ලෙස මරණාශය සැලකිය හැකි ය.

එමඟින් මනෝවිශ්ලේෂණය සහ බෞද්ධ විමුක්තිය පිළිබඳ අර්ථකථන අතර වැදගත් වෙනසක් මතු කරයි. බුදුදහම තෘෂ්ණාවෙන් සහ උපාදානයෙන් මිදීමේ හැකියාව විමර්ශනය කරන අතර මනෝවිශ්ලේෂණය මිනිසාට දුක/විඳවීම ඇති කරන ආශාව සහ විනෝදය අඛණ්ඩව පවත්වාගෙන යන අවිඥානය විමර්ශනය කරයි. ලැකානියානු දෘෂ්ටිකෝණයෙන් බලන විට පුද්ගලයෙකුට සවිඥානකව දුකෙන් අත් මිදීමට අවශ්‍ය විය හැකි නමුත් අවිඥානකව ඔහු හෝ ඇය එම දුක නිර්මාණය කරන ව්‍යුහයන් සමඟ ම බැඳී සිටිය හැකි ය. එබැවින් මනෝවිශ්ලේෂණය මිනිසාට සම්පූර්ණ මානසික නිශ්චලතාවයක් හෝ පරම සාමයක්, විමුක්තියක් අත්කර ගත හැකි යැයි උපකල්පනය නො කරයි.

ලැකාන් ඔහුගේ දසවන සම්මන්ත්‍රණයේ බුදුදහම පිළිබඳ සාකච්ඡා කරන්නේ “ආශාව මායාවකි” (Desire is illusion) යන ප්‍රකාශය ඔස්සේ ය. ආශාව මායාවක් යැයි පැවසීමෙන් අදහස් වන්නේ එයට කිසිදු ආධාරක පදනමක්, කිසිදු පිටවීමේ මාර්ගයක් හෝ කිසිදු නිශ්චිත ඉලක්කයක් කිසිවක් තුළ හෝ නො මැති බව යැයි ලැකාන් සඳහන් කරයි. මෙම අදහස ඔහුගේ අවධානයට ලක් වූයේ මිනිස් ආශාව යනු අවසානයේ සම්පූර්ණ තෘප්තියක් ලබාදිය හැකි වස්තුවක් වෙත යොමු වන දෙයක් ය යන සාමාන්‍ය උපකල්පනය එ මඟින් අභියෝගයට ලක් කරන බැවිනි. බෞද්ධ දර්ශනය තුළ තෘෂ්ණාව සහ උපාදානය දුකට මූලික හේතු ලෙස සැලකන බව ඉහතින් සඳහන් කළෙමු. ඒ අනුව මිනිසා වස්තු, සම්බන්ධතා, අත්දැකීම්, අනන්‍යතා සහ අපේක්ෂාවන් සමඟ බැඳී සිටිමින් ඒවා මඟින් සදාකාලික තෘප්තියක් ලබා ගත හැකි යැයි සිතයි. එහෙත් බුදු දහමට අනුව සියලු සංස්කාර ධර්ම අනිත්‍ය බැවින් එවැනි බැඳීම් අවසානයේ අතෘප්තිය සහ දුක ඇති කරයි.

ලැකාන් මෙහි වැදගත් න්‍යායික වෙනසක් හඳුනා ගනියි. මනෝවිශ්ලේෂණයට අනුව ආශාව යනු යම් වස්තුවක් ලබා ගැනීමෙන් අවසන් වන දෙයක් නො වේ. එය කිසිදා සම්පූර්ණයෙන් ඉවත් කළ නො හැකි මූලික අඩුවක් (lack) වටා ව්‍යුහගත වී පවතියි. නිදසුනක් ලෙස යම් පුද්ගලයෙකුගේ ආදරය ලබාගැනීමෙන් තම ජීවිතය සම්පූර්ණ වනු ඇතැයි කෙනෙකු සිතන්නට පුළුවන. එහෙත් එම ආදරය ලැබුණු පසුවත් යම් අතෘප්තිකාර හැඟීමක් ඉතිරි විය හැකි ය. ඉන් පසු ආශාව වෙනත් වස්තුවක් හෝ සම්බන්ධතාවයක් හෝ පරමාදර්ශයක් වෙත යොමු විය හැකි ය.

එබැවින්, ගැටලුව වන්නේ යම් විශේෂ වස්තුවක් ලබාගැනීමට නො හැකි වීම පමණක් නො වේ. ගැටලුව පවතින්නේ ආශාවේ ම ව්‍යුහය තුළ ය. මෙම ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමට ලැකාන්ගේ objet petit a සංකල්පය පාදක කර ගනිමු. Objet a යනු පුද්ගලයා සතු කරගැනීමට උත්සාහ කරන සාමාන්‍ය වස්තුවක් නො වේ. සාමාන්‍ය වස්තුවක් තුළ එය දැකිය හැකි නමුත් එය සැබැවින් ම ආශාවේ වස්තු හේතුව (Object cause of desire) යි. එ නම්, එය ආශාව අඛණ්ඩව පවත්වාගෙන යන නමුත් කිසිදා එහි අවසාන තෘප්තිය ලබා නො දෙන භාෂාව සහ සංකේතකරණය තුළ ශේෂ වන කොටසකි. ඉහත අදහස පහත පරිදි සරල කළ හැකි ය. මිනිසා තම මූලික අඩුව සම්පූර්ණ කළ හැකි යැයි පෙනෙන දෙයක් අඛණ්ඩව සොයයි. නමුත් කිසිදු සැබෑ වස්තුවකට එම කාර්යය සම්පූර්ණයෙන් ඉටු කළ නො හැකි ය.

“ආශාව මායාවකි” යන අදහස ලැකාන් අර්ථකථනය කරන්නේ මෙවැනි පසුබිමක ය. ආශාව මායාවක් වන්නේ මිනිස් අත්දැකීම් අසත්‍ය බැවින් හෝ සියල්ල අර්ථශූන්‍ය බැවින් නො වේ. එසේ වන්නේ, ආශාවට සම්පූර්ණ තෘප්තිය ලබාදිය හැකි අවසාන, ස්ථාවර සහ සාරවත් වස්තුවක් නො මැති බැවිනි. නමුත් මෙහි වැදගත් වෙනසක් සලකුණු කළ හැකි ය. බුදුදහම තෘෂ්ණාව නිරෝධ කිරීම පිළිබඳව අවධානය යොමු කරන අතර ලැකානියානු මනෝවිශ්ලේෂණය පුද්ගල ආත්මය ගොඩනැගීම තුළ ආශාව ඉටු කරන මූලික කාර්යභාරය විමර්ශනය කරයි. ලැකාන්ට අනුව ආශාව යනු මිනිසාට පහසුවෙන් අත්හැරිය හැකි වැරදි අවබෝධයක් නො වේ. එය භාෂාව සහ සංකේත පිළිවෙළ (Symbolic Order) තුළ මිනිස් ආත්මය ගොඩනැගීම සමඟ වෙන් කළ නො හැකි ලෙස සම්බන්ධ වී ඇත.

බුදුදහම සහ මනෝවිශ්ලේෂණය අතර සලකා බැලිය හැකි තවත් වැදගත් කරුණක් වන්නේ ශූන්‍යතාව සහ අඩුව යන සංකල්ප අතර පවතින  වෙනස යි. බෞද්ධ දර්ශනය තුළ ශූන්‍යතාව යනු සියලු ධර්මයන් තුළ නිත්‍ය වූ, සදාකාලික වූ ආත්මයක් හෝ ආත්මයට අයත් යමක් නො මැති බව ය. කිසිදු දෙයක් සම්පූර්ණයෙන් ම තමන් තුළින් ම ස්වාධීනව පවතින්නේ නැත. සියල්ල හේතු සහ ප්‍රත්‍යයන් මත රඳා පවතියි. මෙම අවබෝධය ස්ථාවර සහ ස්වාධීන ආත්මයක් පවතී ය යන අදහස අභියෝගයට ලක් කරයි. ලැකානියානු මනෝවිශ්ලේෂණය ද  ස්වයංපූර්ණ ආත්මයක් පවතී ය යන අදහස ප්‍රශ්න කරයි. එය අඩුව සමඟ සම්බන්ධ ය. මෙම ලැකානියානු ‘අඩුව‘ යන්නට විශේෂ මනෝවිශ්ලේෂණාත්මක අර්ථයක් ඇත.

ලැකාන්ට අනුව ආත්මය භාෂාව මඟින් ගොඩනැගේ. පුද්ගලයා සංකේත පිළිවෙළට ඇතුළත් වීමත් සමඟ ඔහුගේ අත්දැකීම සහ ඔහුගේ පැවැත්ම අතර මූලික බෙදීමක් ඇති වේ. එබැවින් පුද්ගලයාට තමන්ව සම්පූර්ණයෙන් ම හඳුනාගැනීමට හෝ තමන්ගේ පැවැත්ම සම්පූර්ණයෙන් ම ප්‍රකාශ කිරීමට නො හැකි ය. මේ අනුව පුද්ගල ආත්මය බෙදුණු ආත්මයක් (Divided Subject) බවට පත් වේ. ලැකාන් මෙම තත්ත්වය $ යන සංකේතයෙන් නිරූපණය කරයි. මෙම බෙදීම ආශාව සමඟ සමීපව සම්බන්ධ වේ. පුද්ගලයා භාෂාව තුළින් ගොඩනැගෙන බැවින් සංකේතකරණ ක්‍රියාවලිය තුළ යමක් අහිමි වේ. එසේ නැතහොත් යමක් ශේෂ වේ. මෙම අඩුව හැඟවීම සඳහා ද මෙයට පෙර සඳහන් කළ Objet a සංකල්පය ලැකාන්ගේ න්‍යාය තුළ වැදගත් ය. එබැවින් බෞද්ධ ශූන්‍යතාව සහ ලැකානියානු අඩුව පුද්ගලයාට ස්ථාවර, ස්වාධීන සහ සාරවත් ආත්මයක් පවතින බවට ඇති උපකල්පනය අභියෝගයට ලක් කරයි. බැලූ බැල්මට සමානකමක් පෙනුණ ද මෙම සංකල්ප දෙක එකිනෙකට සමාන යැයි සැලකිය නො හැකි ය. බෞද්ධ ශූන්‍යතාව සියලු ධර්මයන් තුළ නිත්‍ය වූ, සදාකාලික වූ ආත්මයක් හෝ ආත්මයට අයත් යමක් නො මැති බව පෙන්වා දෙන විට ලැකානියානු අඩුව භාෂාව, ආශාව සහ සංකේතාත්මක පිළිවෙළ මඟින් පුද්ගල ආත්මය තුළ ඇති කරන ව්‍යුහාත්මක බෙදීම පිළිබඳව අවධානය යොමු කරයි.

ආත්මයෙහි මායාමය ස්වභාවය පිළිබඳ බෞද්ධ අවබෝධය ද ලැකාන්ගේ අහම (ego) පිළිබඳ න්‍යාය සමඟ සමානතාවයක් පවතින බව බැලූ බැල්මට පෙනේ. බෞද්ධ දර්ශනයේ අනාත්ම සංකල්පය මඟින් මිනිස් අත්දැකීම්වලට යටින් පවතින ස්ථිර, ස්වාධීන ආත්මයක් ඇතැයි යන විශ්වාසය ප්‍රතික්ෂේප කරයි. සාමාන්‍යයෙන් මිනිසා තමන්ගේ ආත්මය ලෙස හඳුනාගන්නා දෙය වෙනස් වන කායික, මානසික සහ අත්දැකීම් ම ය ක්‍රියාවලීන්ගේ එකතුවකි.

ලැකාන්ගේ කැඩපත් අවධිය (Mirror Stage) පිළිබඳ න්‍යාය අහම ගොඩනැගෙන ආකාරය පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක පැහැදිලි කිරීමක් සපය යි. ලැකාන්ට අනුව අහම ගොඩ නැගෙන්නේ ශරීරයේ ඒකාබද්ධතාවයක් නිරූපණය කරන බාහිර රූපයක් සමඟ ඇතිවන හඳුනාගැනීමක් මඟිනි. ළදරුවා කැඩපත තුළ තමන්ගේ රූපය හඳුනාගෙන එම රූපය සමඟ අනන්‍යතාවයක් ගොඩනගා ගනියි. එහෙත් මෙම හඳුනාගැනීම තුළ මූලික වැරදි අවබෝධයක් (Misrecognition) පවතියි. එම ඒකාබද්ධ රූපය මඟින් පුද්ගලයාට තමා සතුව පවතිනවා යැයි පෙනෙන කායික සහ මානසික ඒකාබද්ධතාවයක් නිරූපණය වුවත් සැබෑ අත්දැකීම තුළ එවැනි සම්පූර්ණ ඒකාබද්ධතාවයක් නො පවති යි. එ බැවින් අහම යනු පුද්ගලයාගේ සැබෑ අභ්‍යන්තර ස්වභාවය නො ව මානසිකව ගොඩනැගුණු පරිකල්පිත නිර්මාණයකි. මෙම න්‍යාය සහ ස්ථිර ආත්මයක් පිළිබඳ බෞද්ධ විවේචනය අතර යම් සමානකමක් පවතින බවට අදහසක් ගොඩ නැගෙන්නේ මේ නිසා ය. මනෝවිශ්ලේෂණය සහ බුදු දහම යන ද්විත්වය ම සාමාන්‍ය සවිඥානකත්වය තුළ අත්විඳින අනන්‍යතාවය හා ස්වාධීන සහ නො වෙනස් වන යථාර්ථයක් බවට ඇති විශ්වාසය අභියෝගයට ලක් කරයි.

නමුත්, මෙම සම්ප්‍රදායන් දෙකේ අවසාන අරමුණු වෙනස් වේ. බෞද්ධ සම්ප්‍රදාය ආත්මය සමඟ ඇති බැඳීමේ ප්‍රතිවිපාක සහ එවැනි හඳුනාගැනීම්වලින් මිදීමේ හැකියාව විමර්ශනය කරයි. එයට පටහැනිව ලැකානියානු මනෝවිශ්ලේෂණය අහම පිළිබඳ මායා ම ය ඒකාබද්ධතාවය බිඳ වැටීමෙන් පසුව මතු වන බෙදුණු ආත්මය විමර්ශනය කරයි. මනෝවිශ්ලේෂණයේ අරමුණ සම්පූර්ණ හෝ සංගත ආත්මයක් නැවත ගොඩනැගීම නො වේ. එය එක්තරා ආකාරයකට අවිඥානක ආශාව, භාෂාව, අනන්‍යතාව සහ යථ සමඟ පුද්ගලයා ගොඩනැගෙන ආකාරය අවබෝධ කරගැනීමට ඉවහල් වේ.

බුදුදහම පිළිබඳ ලැකාන්ගේ උනන්දුව විශේෂයෙන් ම සෙන් බුදුදහම සමඟ සම්බන්ධ විය. සෙන් බුදුදහම තුළ බොහෝවිට පරස්පර විරෝධී ප්‍රකාශ, නිශ්ශබ්දතාව, අනපේක්ෂිත ප්‍රශ්න සහ කෝආන් (Koans) භාවිතා කරමින් සාමාන්‍ය චින්තන රටාවන් බිඳ දැමීමට උත්සාහ කරයි. කෝආන්හි අරමුණ ශිෂ්‍යයාට නිවැරදි පිළිතුරක් ඉගැන්වීම නො ව ඔහුගේ හෝ ඇයගේ පුරුදු සිතීමේ රටාව, තර්කන ක්‍රමය සහ යථාර්ථය පිළිබඳ පූර්ව නිගමන අභියෝගයට ලක් කිරීම යි. එබැවින් සෘජු බුද්ධිමය පැහැදිලි කිරීම් ලබාදීම වෙනුවට මෙම ඉගැන්වීම් ශිෂ්‍යයාගේ පවතින උපකල්පන සහ සංකල්පීය රාමු අභියෝගයට ලක් කරයි. මෙම ප්‍රවේශය සහ මනෝවිශ්ලේෂකයාගේ භූමිකාව අතර යම් සමානකමක් ලැකාන් හඳුනාගත්තේ ය. මනෝවිශ්ලේෂණය ද විශ්ලේෂිතයාගේ කථනය තුළ ඇති නො දැනුවත්කම, පරස්පරතා සහ සැඟවුණු අර්ථ මතු වීමට අවකාශය සලසයි. මනෝවිශ්ලේෂණයේ දී විශ්ලේෂකයා විසින් විශ්ලේෂිතයාට ඔහුගේ ගැටලු පිළිබඳව සූදානම් කළ පිළිතුරු ලබාදීම සිදු නො කරයි. ඒ වෙනුවට අවිඥානක ප්‍රකාශනවලට සවන්දීම, අර්ථකථනය කිරීම සහ එම පුද්ගලයාට තමන්ගේ ම ආශාව පිළිබඳ අනපේක්ෂිත අවබෝධයකට පැමිණීමට අවස්ථාව සලසා දීම සිදු කරයි. විශ්ලේෂකයාගේ මැදිහත්වීම් ප්‍රශ්න, අර්ථකථන හෝ නිශ්ශබ්දතාව යන ආකාර ගත හැකි ය. ඒ අනුව, සෙන් බුදුදහම මෙන් ම මනෝවිශ්ලේෂණය සම්ප්‍රේෂණය කිරීම අත්දැකීමෙන් ස්වාධීනව සිදු විය නො හැක. මනෝවිශ්ලේෂණය දැනුමකට ඌනනය කරන විට එහි න්‍යාය මඟ හැරෙන අතර එහි සම්ප්‍රේෂණ ක්‍රියාවලිය ද බිඳ වැටෙයි.

මේ අර්ථයෙන් ගත් විට, සෙන් ඉගැන්වීම සහ මනෝවිශ්ලේෂණය යන දෙක ම පුද්ගලයාගේ පවතින දැනුම සහ තමන් පිළිබඳ හුරුපුරුදු අවබෝධයන් සමඟ ඇති බැඳීම අභියෝගයට ලක් කරන බවක් දැකිය හැකි ය. නමුත් මෙම සමානකම මඟින් මෙම ක්‍රම දෙක එක ම දෙයක් බව අදහස් නො වේ. සෙන් ගුරුවරයා ක්‍රියා කරන්නේ අවබෝධය සහ විමුක්තිය අරමුණු කරගත් අධ්‍යාත්මික හා දාර්ශනික සම්ප්‍රදායක් තුළ ය. මනෝවිශ්ලේෂකයා ක්‍රියා කරන්නේ අවිඥානක ආශාව, රෝග ලක්ෂණ, ෆැන්ටසි සහ විනෝදය සමඟ පුද්ගලයා පවත්වන සම්බන්ධතාවය විමර්ශනය කරන සායනික ක්‍රමවේදයක් තුළ ය. එබැවින්, සෙන් බුදුදහම පිළිබඳ ලැකාන්ගේ උනන්දුව තුළ සම්ප්‍රදායන් දෙක අතර පවතින බුද්ධි ම ය සමීපතාවය මෙන් ම ඒවායේ මූලික වෙනස්කම් ද හෙළි කරයි.

ජපාන සංචාරයකින් පසුව ලැකාන් බෞද්ධ මූර්ති කලාව සහ බුද්ධ ප්‍රතිමා මෙන්ම බෝධිසත්ව ප්‍රතිමා ද පිළිබඳව සිය අවධානය යොමු කරයි. විශේෂයෙන්ම, එම ප්‍රතිමාවල පහළට නැමුණු හෝ අර්ධ වශයෙන් වසා ඇති ඇසිපිය ඔහුගේ අවධානයට ලක් විය. මෙම ප්‍රතිමා සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයා සමඟ සෘජු හා අන්‍යෝන්‍ය බැල්මක් පවත්වා නො ගනියි. ඒවායේ ඇස් ප්‍රේක්ෂකයා සමඟ ඇති සාමාන්‍ය දෘශ්‍ය සම්බන්ධතාවයෙන් ඉවත් වී ඇති බවක් පෙනේ. එනම්, සාම්ප්‍රදායික බෞද්ධ මූර්ති කලාවේ දී ඇසිපිය සම්පූර්ණයෙන් විවෘතව හෝ සම්පූර්ණයෙන් වසා තිබෙන ආකාරයට නිරූපණය නො වේ. ඒ වෙනුවට ඒවා අඩක් පියවූ ස්වරූපයකින් කැටයම් කර තිබේ. එ මඟින් ඇසේ සුදු පැහැති කොටස සහ කණීනිකාව ඉතා සිහින් තීරුවක් ලෙස පෙනෙයි. ලැකාන්ට අනුව මෙම දෘශ්‍ය සැකැස්මට වැදගත් මනෝවිශ්ලේෂණාත්මක අර්ථයක් ඇත. ලැකාන් සඳහන් කරන දෙය පහත පරිදි පෙළ ගැස්විය හැක.

“බුද්ධ රූපය අපව මෙම ශූන්‍ය ලක්ෂ්‍යය කරා ගෙන යන බව පෙනේ. එහි පහළට නැඹුරු වූ ඇසිපිය, බද්ධ දෘෂ්ටිය පිළිබඳ අපට සංඥා කරන  අතර ම බද්ධ දෘෂ්ටියේ  ආකර්ෂණයෙන් අපව ආරක්ෂා කරයි. දෘශ්‍යමානය තුළ සිටිමින් ම මෙම රූපය සම්පූර්ණයෙන් ම අදෘශ්‍යමානය දෙසට හැරී සිටිය ද එය අපව එම අදෘශ්‍යමානත්වයෙන් මුදවා ගනී (නැතහොත් එය අපට මඟ හරවා දෙයි). සරලව කියන්නේ නම්, මෙම ප්‍රතිමාව කාංසාවේ (anxiety) ලක්ෂ්‍යය සම්පූර්ණයෙන් ම තමන් වෙත භාරගෙන කප්පාදුව තාවකාලිකව අත්හිටුවන බවක් හෝ අහෝසි කරන බවක් පෙන්ව යි.”

මෙය අවබෝධ කරගැනීමට ඇස (Eye) සහ බද්ධ දෘෂ්ටිය (Gaze) අතර වෙනස හඳුනාගත යුතු ය. ඇස යනු, දැකීම සඳහා භාවිතා වන භෞතික ඉන්ද්‍රියය යි. නමුත්, ලැකානියානු න්‍යාය තුළ බද්ධ දෘෂ්ටිය (gaze) යනු යමක් දෙස බැලීමේ සරල ක්‍රියාවක් නො වේ. එය දෘශ්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන ආශාවේ වස්තුවකි. එමඟින්, පුද්ගලයා දැකීමේ ක්‍රියාවලියේ සම්පූර්ණ පාලකයා නොවන බව හෙළි කරයි. මෙම බද්ධ දෘෂ්ටිය (Gaze) සංකල්පය අනුව මිනිසා ලෝකය නිරීක්ෂණය කරන පුද්ගලයෙකු පමණක් නොව එම ලෝකය තුළ ම බැල්මට ලක්වන පුද්ගලයෙකු ද වේ. නිදසුනක් ලෙස පුද්ගලයෙකු පාරේ ගමන් කරන විට වෙනත් අයෙකු තමන් දෙස බලා සිටින බව දැනුණොත් ඔහු තම හැසිරීම, ඇඳුම් පැළඳුම් සහ බාහිර පෙනුම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට පෙළඹේ. මෙහි දී ඔහු ලෝකය නිරීක්ෂණය කරන පුද්ගලයෙකු පමණක් නො ව අන් අයගේ බැල්ම තුළින් තමන්ව ම දකින පුද්ගලයෙකු බවට ද පත් වේ. ඒ අනුව ලැකාන්ගේ බද්ධ දෘෂ්ටිය සංකල්පය යනු, එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු දෙස බැලීම පමණක් නොව පුද්ගලයා ලෝකය සමඟ පවත්වන සම්බන්ධතාව තුළ තමන් ද බැල්මට හසුවන වස්තුවක් බවට පත්වන ආකාරය පැහැදිලි කරන සංකල්පයකි. සරලව සඳහන් කරන්නේ නම්, මිනිසා ලෝකය දෙස බලන අතර ම එම ලෝකය තුළම තමා ද බැල්මට ලක්වන බව ලැකාන් පෙන්වා දෙයි. ලැකාන්ට අනුව අනෙකාගෙන් පැමිණෙන ආවරණය නො වූ මෙම සෘජු බද්ධ දෘෂ්ටිය ආත්මයේ සංජානනය තුළ අසාමාන්‍ය හා බියජනක (uncanny) කාංසාවක මූලාශ්‍රයක් ලෙස මතු වේ. එනම්, බද්ධ දෘෂ්ටිය මඟින් දෘශ්‍ය අත්දැකීම තුළ අසහනකාරී මානයක් හඳුන්වා දෙයි. පුද්ගලයා තමන් දකින දේ පාලනය කරන බව විශ්වාස කළත් බද්ධ දෘෂ්ටිය මඟින් ඔහු ද දෘශ්‍ය ක්ෂේත්‍රය තුළ නිරාවරණය වී සිටින බව හෙළි වේ.

මෙය, කාංසාව (Anxiety) සමඟ සම්බන්ධ වන්නේ කෙසේ ද? ලැකාන් බද්ධ දෘෂ්ටියේ කාංසාකාරී මානය පැහැදිලි කිරීම සඳහා යෝධ කුරුමිණි වන්දා සතෙක් (Praying Mantis) උදාහරණයක් ලෙස භාවිතා කරයි. මෙම උපකල්පිත අවස්ථාවේ දී පුද්ගලයා තමන්ට වඩා විශාල වන්දා සතෙකු ඉදිරියේ සිටින අතර එම සත්වයාගේ ආශාව තුළ තමන් නියෝජනය කරන්නේ කුමක් ද යන්න ඔහු නො දනියි. මෙහි දී කාංසාව ඇති වන්නේ, අනෙකාගේ ආශාව තුළ තමන්ගේ ස්ථානය කුමක් ද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවය නිසා ය.

ඊට පටහැනිව, බුදුන්ගේ පහළට නැමුණු ඇසිපිය පිළිබඳ ලැකාන්ගේ සාකච්ඡාව තුළ වෙනස් දෘශ්‍ය සැකැස්මක් ඉදිරිපත් වේ. එම ප්‍රතිමා ප්‍රේක්ෂකයාට සෘජු ඉල්ලීම් සහිත බැල්මක් ඉදිරිපත් නො කරයි. එහි අර්ධ වශයෙන් වසා ඇති හෝ මැකී ගිය ඇස් මඟින් සාමාන්‍ය අන්‍යෝන්‍ය බැලීමේ ක්‍රියාවලිය අත්හිටුවන දෘශ්‍ය අත්දැකීමක් නිර්මාණය කරයි. ලැකාන් යෝජනා කරන්නේ මෙ මඟින් බුද්ධ ප්‍රතිමාව කාංසාවේ කේන්ද්‍රය තමන් තුළට අවශෝෂණය කරගන්නා බවත් කප්පාදුව තාවකාලිකව අත්හිටුවන බවත් ය. මෙය, වර්තමානයේ බුදු දහම රැක ගැනීමට උත්සාහ කරන බව හඟවන පිරිසගේ චර්යාව අධ්‍යයනය කිරීමේ දී වැදගත් ය. ඔවුන් පොලිස් නිලධාරීන් විසින් උස්සාගෙන රැගෙන යන විටත් බුදු පිළිමය අත් නො හරින්නේ එය කප්පාදුව තාවකාලිකව අත් හිටුවන බව හඟවන නිසා විය නො හැකි ද?

මේ අනුව, බුද්ධ ප්‍රතිමාවේ වැදගත්කම පවතින්නේ බුදුන් සාමකාමී හෝ කරුණාවන්ත ලෙස පෙනීම නිසා පමණක් නො වේ. එහි නො වැටහෙන වැදගත්කම බද්ධ දෘෂ්ටියේ කාංසාකාරී මානය උදාසීන කරන හෝ අවශෝෂණය කරන ආකාරයෙන් දෘශ්‍ය ක්ෂේත්‍රය සංවිධානය කිරීම යි. එබැවින් මෙම බෞද්ධ ප්‍රතිමාව ආශාව, අඩුව, කාංසාව සහ දෘශ්‍ය නිරූපණය අතර සම්බන්ධතාවය අවබෝධ කරගැනීම සඳහා වැදගත් වේ. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් බෞද්ධ ප්‍රතිමාව මිනිසාගේ ආශාව සම්පූර්ණ කරන වස්තුවක් ඉදිරිපත් නො කරයි. ඒ වෙනුවට, අන්‍යෝන්‍ය බද්ධ දෘෂ්ටිය නො මැති වීම ම වැදගත් වන දෘශ්‍ය ස්වරූපයක් ඉදිරිපත් කරයි.

ඉහතින් සඳහන් කළ බෞද්ධ ප්‍රතිමා කලාව පිළිබඳ ලැකාන්ගේ විමර්ශනය ක්‍රිස්තියානි ආගම ඇතුළු වෙනත් ආගමික දෘශ්‍ය සම්ප්‍රදායන් සමඟ සංසන්දනය කිරීමට ද අවස්ථාව සලසයි. පහළට නැමුණු ඇසිපිය සහිත බෞද්ධ ප්‍රතිමාව තුළ බද්ධ දෘෂ්ටියේ කාංසාකාරී මානය තාවකාලිකව අත්හිටුවන දෘශ්‍ය ස්වරූපයක් දක්නට ලැබෙන බව සඳහන් කළෙමු. එයට පටහැනිව ක්‍රිස්තියානි ප්‍රතිමා කලාව තුළ දුක්විඳීම, පූජාව සහ ශරීරයේ අවදානම් සහගත ස්වභාවය බොහෝවිට ආගමික නිරූපණයේ කේන්ද්‍රස්ථානයට පැමිණේ. කුරුසියේ ඇණ ගසන ලද ක්‍රිස්තුස් වහන්සේ එයට වැදගත් උදාහරණයකි. තුවාල ලැබූ ශරීරය මඟින් දුක්විඳීම, පූජාව, මරණය, වරදකාරීත්වය සහ දිව්‍ය ම ය වුවමනාව අතර සම්බන්ධතාවය එම ආගමිකයින් ඉදිරියේ දෘශ්‍යමාන කරයි.

ලැකාන් ඒ ආකාරයට ශරීරයේ ඛණ්ඩනය සහ වෙන් කරන ලද ශරීර කොටස් නිරූපණය කරන ආගමික කලා කෘති ද විමර්ශනය කරයි. මෙම රූප වැදගත් වන්නේ ආශාව, කප්පාදුව සහ ශරීරය අතර සම්බන්ධතාවය දෘශ්‍ය ක්ෂේත්‍රය තුළට ගෙන එන බැවිනි. මෙම සංසන්දනය බුදුදහම සාමකාමී වන අතර ක්‍රිස්තියානි ආගම තර්ජනාත්මක වේ ය යන පොදු නිගමනයකට එළඹීමට භාවිතා කිරීම නො මඟ යන සුළු ය. ආගමික සම්ප්‍රදායන් දෙක තුළ ම විවිධ දෘශ්‍ය, අධ්‍යාත්මික සහ දාර්ශනික ප්‍රවේශ පවතියි. ඒ වෙනුවට, මෙම සංසන්දනයේ වැදගත්කම වන්නේ ආගමික රූප මඟින් ප්‍රේක්ෂකයාගේ කාංසාව, බද්ධ දෘෂ්ටිය සහ කප්පාදුව සමඟ ඇති සම්බන්ධතාවය විවිධ ආකාරයෙන් සංවිධානය කළ හැකි බව හඳුනාගැනීම ය. ඒ අනුව, බෞද්ධ ප්‍රතිමාව කාංසාවේ කේන්ද්‍රය අවශෝෂණය කරන හෝ අත්හිටුවන අතර ඇතැම් ක්‍රිස්තියානි ප්‍රතිමා දුක්විඳීම සහ ශරීරයේ අවදානම් සහගත බව සෘජුව ම දෘශ්‍යමාන කරයි.

ලැකාන් බුදුදහම සමඟ සම්බන්ධ කරන තවත් වැදගත් කරුණක් වන්නේ අද්වෛතය (Non-duality) පිළිබඳ සංකල්පය යි. බෞද්ධ දර්ශනය තුළ යමක් දකින පුද්ගලයා සහ ඔහු අත්විඳින වස්තූන් අතර පවතින වෙන්වීම ප්‍රශ්න කරනු ලැබේ. ආත්මය ලෝකයෙන් ස්වාධීනව පවතින දෙයක් යන උපකල්පනය එ මඟින් අභියෝගයට ලක් වේ. ලැකාන් මෙම ගැටලුව සාකච්ඡා කරන්නේ පුද්ගලයා සහ ඔහුගේ ආශාවේ වස්තුව අතර සම්බන්ධතාවය පිළිබඳ අදහස් මඟිනි. එ මෙන් ම ඔහු උපනිෂද් දර්ශනයේ “තත් ත්වම් අසි” (Tat tvam asi) යන ප්‍රකාශය, එ නම් “ඒ ඔබම ය” යන අදහස පිළිබඳව ද සඳහන් කරයි. නමුත්, Objet a යන සංකල්පය හඳුන්වාදීමත් සමඟ ලැකාන් ආත්මය සහ වස්තුව අතර පවතින සාම්ප්‍රදායික විරුද්ධතාවය වඩාත් සංකීර්ණ කරයි. සාමාන්‍ය අත්දැකීම තුළ මිනිසා තමන් ආශා කරන දෙය තමන්ගෙන් පිටත පවතින ස්වාධීන වස්තුවක් ලෙස සිතයි; එය අත්පත් කරගත හැකි යැයි විශ්වාස කරයි. එහෙත්, මනෝවිශ්ලේෂණය Objet a මඟින් පෙන්වා දෙන්නේ ආශාවේ වස්තුව පුද්ගලයා තුළ ව්‍යුහාත්මකව පවතින යම් අඩුවක් සමඟ සම්බන්ධ වී ඇති බව ය. පෙර ද සඳහන් කළ පරිදි එම අඩුව වස්තුවක් අත්පත් කරගැනීමෙන් පමණක් පුරවාගත නො හැකි ය. ඒ අනුව, මෙම අඩුව හඟවන Objet a යනු එකවරම සමීප සහ බාහිර දෙයක් වේ. එය පුද්ගලයාගේ ආශාව සමඟ ඉතා සමීපව සම්බන්ධ වුවත් පුද්ගලයාගේ අහම පිළිබඳ පරිකල්පනීය අනන්‍යතාවයට සම්පූර්ණයෙන් ම ඒකාබද්ධ කළ නො හැකි ය. එය ලැකාන් සම්බන්ධ කරන්නේ Objectivity (වාස්තවිකත්වය) සමඟ නොව Objectality සමඟ ය. සාම්ප්‍රදායික බෞද්ධ අද්වෛතය පිළිබඳ අවබෝධයෙන් ලැකානියානු මනෝවිශ්ලේෂණය වෙනස් වන වැදගත් ස්ථානය මෙය යි. ලැකාන් ආත්මය සහ වස්තුව අතර පවතින බෙදීම අවසාන ඒකාබද්ධතාවයක් තුළ විසඳීමට උත්සාහ නො කරයි. ඒ වෙනුවට ආශාව ක්‍රියාත්මක වන ආකාරය සහ ශේෂය විමර්ශනය කරයි.

බුදුදහමේ තෘෂ්ණාව සහ උපාදානය ඉක්මවා යාමේ අරමුණ සමඟ මනෝවිශ්ලේෂණය සම්බන්ධ කරන විට වැදගත් ප්‍රශ්නයක් මතු වේ. ආශාවෙන් අත්මිදීම ද එක්තරා ආකාරයක ආශාවක් විය නො හැකි ද යන ලැකාන් පෙන්වා දෙන අදහස ආශාව සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට දරන උත්සාහය තුළ පවතින පරස්පරතාවය හෙළි කරයි. පුද්ගලයෙක් සවිඥානකව සියලු සතුට අත්හැරීමට, පුද්ගලික ආශාවන් මර්දනය කිරීමට හෝ අධ්‍යාත්මික විමුක්තිය උදෙසා සියලු බැඳීම් අත්හැරීමට තීරණය කළ හැකි ය. නමුත්, එම අත්හැරීම ම අවිඥානක තෘප්තියක් ලබාදෙන මූලාශ්‍රයක් බවට පත්විය හැකි ද යන්න මනෝවිශ්ලේෂණය ප්‍රශ්න කරයි.

මෙම ගැටලුව ලැකාන්ගේ සුපිරි අහම (Superego) පිළිබඳ සංකල්පය මඟින් අවබෝධ කරගත හැකි ය. සුපිරි අහම යනු විනෝදය තහනම් කරන දෙයක් පමණක් නො වේ. එ මඟින් පුද්ගලයා විනෝද විය යුතු ආකාරය, කැපකිරීම් සිදු කළ යුතු ආකාරය සහ අත්හැරීම් සිදු කළ යුතු ආකාරය පිළිබඳ ඉල්ලීම් ද ඉදිරිපත් කළ හැකි ය. එබැවින් පුද්ගලයාට තමන්ගේ ම අහිමිවීම් සහ අහිමි කරගැනීම් මඟින් විශේෂ ආකාරයක විනෝදයක් ලබාගත හැකි ය. නිදසුනක් ලෙස, සියලු ආකාරයේ සතුට ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙකු තමන් සියලු සතුට ඉක්මවා ගිය අයෙකු බවට ඇති අනන්‍යතාවය සමඟ බැඳී සිටිය හැකි ය. එවිට අත්හැරීම ම තවත් ආකාරයක තෘප්තියක් බවට පත් වේ.

මෙයින් අදහස් වන්නේ, බෞද්ධ භාවනා ක්‍රම, සදාචාරාත්මක විනය හෝ අල්පේච්ඡතාව අනිවාර්යයෙන් ම විනෝදයේ සැඟවුණු ආකාරයන් බව නො වේ. ඒ වෙනුවට මනෝවිශ්ලේෂණය මතු කරන ප්‍රශ්නය වන්නේ පුද්ගලයාගේ ආශාව අත්හැරීමේ උත්සාහය තුළ ක්‍රියාත්මක වන අවිඥානක ආශාව සහ තෘප්තිය කුමක් ද යන්න ය. මෙම දෘෂ්ටිකෝණයෙන් බලන විට අත්හැරීම පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක අවධානය යොමු වන්නේ පුද්ගලයාගේ ආශාව අඩුවීම කෙරෙහි පමණක් නො ව අත්හැරීමේ ආශාව තුළ සැඟවී ඇති අවිඥානක කාර්යභාරය පිළිබඳව ය.

මේ දක්වා සාකච්ඡා කළ කරුණු සම්පිණ්ඩනය කරන විට බුදුදහම සහ මනෝවිශ්ලේෂණය අතර සමානකම් පවතින බව පෙනුණ ද ඒවායේ මූලික අරමුණු වෙනස් වේ. බෞද්ධ සම්ප්‍රදායන් විවිධ වුව ද බොහෝ සම්ප්‍රදායන් දුක අවබෝධ කරගැනීම, අවිද්‍යාව ජයගැනීම, තෘෂ්ණාව පරිවර්තනය කිරීම සහ විමුක්තිය සාක්ෂාත් කරගැනීම යන අරමුණු සමඟ සම්බන්ධ වේ. මනෝවිශ්ලේෂණය මෙම අරමුණ සමඟ අනිවාර්යයෙන් ම එකඟ නො වේ. ෆ්‍රොයිඩ්ට අනුව අවිඥානය තුළ පවතින ගැටුම් සවිඥානක තාර්කිකත්වය මඟින් සරලව ඉවත් කළ නො හැකි ය. ලැකාන්ට අනුව ආශාව පුද්ගල ආත්මීයත්වයේ මූලික අංගයකි. එයට හේතුව මුලින් සඳහන් කළ පරිදි පුද්ගලයා භාෂාව සහ අඩුව මඟින් ගොඩනැගෙන බැවිනි. එ බැවින් මනෝවිශ්ලේෂණය ආශාව සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම හෝ පරම මානසික සමගියක් අත්පත් කරගැනීම පොරොන්දු නො වේ. එහි අරමුණ වන්නේ පුද්ගලයාගේ ආශාව සහ විනෝදය පාලනය කරන අවිඥානක ව්‍යුහයන්ට මුහුණ දීමට සහ ඒවා අවබෝධ කරගැනීමට පුද්ගලයාට හැකියාව ලබාදීම ය. එසේ වුව ද බුදුදහම සහ මනෝවිශ්ලේෂණය එකිනෙකාට වැදගත් අවබෝධයන් ලබාදිය හැකි ය. බෞද්ධ චින්තනය මඟින් උපාදානය, අහම සමඟ ඇති අනන්‍යතාව සහ ස්ථාවරත්වය සෙවීම පිළිබඳ අදහස නැවත සලකා බැලීමට අවස්ථාව සලසයි. අනෙක් අතට අත්හැරීමේ අවිඥානක මානයන් සහ විනෝදය පිළිබඳ ගැටලු මනෝවිශ්ලේෂණය විසින් මතු කරනු ලබයි.

මරණාශය පිළිබඳ සංකල්පය සලකා බැලීමේ දී මෙම වෙනස වඩාත් වැදගත් වේ. මරණාශය සහ විනෝදය නමැති සංකල්ප මඟින් මිනිසා හුදෙක් සතුට, සාමය හෝ දුකෙන් මිදීම පමණක් සොයන ජීවියෙකු නො වන බව පෙන්වා දෙයි. මිනිසා වේදනාකාරී, පරස්පර විරෝධී හෝ විනාශකාරී අත්දැකීම් වෙත නැවත නැවතත් යොමු විය හැකි ය. ලැකානියානු දෘෂ්ටිකෝණයෙන් බලන විට මෙම මානය තෘෂ්ණාව හෝ අවිද්‍යාව ඉවත් කිරීමෙන් පමණක් පැහැදිලි කළ නො හැකි ය. එබැවින් මනෝවිශ්ලේෂණය යෝජනා කරන්නේ ආත්මය ආශාව අතුරුදහන් වන තෙක් බලා සිටීම නො ව පෙර ද සඳහන් කළ පරිදි තමන්ගේ ආශාව පවත්වාගෙන යන අවිඥානක ව්‍යුහයන් හඳුනා ගැනීම බව ය.

තව ද බුදුදහම පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක දෘෂ්ටිකෝණය මඟින් මිනිස් පැවැත්මේ මූලික කොන්දේසි පිළිබඳව උනන්දුවක් දක්වන සම්ප්‍රදායන් දෙකක් අතර පවතින ගැඹුරු බුද්ධි ම ය අවබෝධයක් ගවේෂණය කිරීමට හැකියාව ලැබේ. ෆ්‍රොයිඩ්ගේ මුල් කාලීන නිර්වාණ මූලධර්මය බෞද්ධ විමුක්තිය සහ මානසික ආතතිය අඩු කිරීමේ ප්‍රවණතාව අතර මුල් සම්බන්ධතාවයක් ගොඩනගයි. ලැකාන් සෙන් බුදුදහම, ආශාවේ මායාව, ශූන්‍යතාව, අද්වෛතය සහ බෞද්ධ ප්‍රතිමා කලාව පිළිබඳ සිය අවධානය යොමු කරමින් මෙම සම්බන්ධතාවය තවදුරටත් විශ්ලේෂණය කරයි. දස වන සම්මන්ත්‍රණයේ බුදුදහම පිළිබඳ ලැකාන්ගේ අදහස් මඟින් ආශාව පිළිබඳ බෞද්ධ අවබෝධය සහ බද්ධ දෘෂ්ටිය පිළිබඳ දෘශ්‍ය නිරූපණය කෙරෙහි ඔහු දැක්වූ උනන්දුව පැහැදිලි වේ. බුදුන්ගේ පහළට නැමුණු ඇසිපිය පිළිබඳ රූපය බද්ධ දෘෂ්ටිය, Objet a, අඩුව සහ කාංසාව අතර සම්බන්ධතාවය විමර්ශනය කිරීමට වැදගත් සංකේතයක් බවට පත් වේ.

මෙම සම්ප්‍රදායන් දෙක අතර ගැඹුරු ම සමානකම වන්නේ අහම ස්ථිර සහ ස්වයංපූර්ණ අනන්‍යතාවයක් නියෝජනය කරයි යන අදහස ප්‍රතික්ෂේප කිරීම ය. ඒවා ආත්මයේ පෙනෙන ඒකාබද්ධතාවය ප්‍රශ්න කරන අතර බාහිර වස්තූන් අත්පත් කරගැනීමෙන් සදාකාලික තෘප්තියක් ලබාගත හැකි බවට වන විශ්වාසය අභියෝගයට ලක් කරයි. නමුත්, ඒවායේ මූලික වෙනස පවතින්නේ මෙම අවබෝධයෙන් පසුව සිදුවිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ය. බුදුදහම උපාදානය පරිවර්තනය කිරීම සහ දුකෙන් මිදීමේ හැකියාව ගවේෂණය කරන අතර ලැකානියානු මනෝවිශ්ලේෂණය බෙදුණු ආත්මය සහ ආශාවේ ව්‍යුහාත්මක අඩුව පිළිබඳ අදහස ඉදිරිපත් කරයි. අවසානයේ දී බුදුදහම සහ මනෝවිශ්ලේෂණය අතර හමුවීම ගැඹුරු දාර්ශනික ප්‍රශ්නයක් මතු කරයි. එ නම්, මිනිසාගේ නිදහස සාක්ෂාත් වන්නේ ආශාව සම්පූර්ණයෙන් ම ඉක්මවා යාමෙන් ද නැතහොත් තම පැවැත්ම ගොඩනගන ආශාව සමඟ ඇති සම්බන්ධතාවය හඳුනාගෙන එය පරිවර්තනය කර ගැනීමෙන් ද? බුදුදහම පිළිබඳ ලැකාන්ගේ උනන්දුවෙහි සැබෑ වැදගත්කම පවතින්නේ, මෙම ප්‍රශ්නය විවෘතව තැබීම තුළ ය. බුදුදහම මනෝවිශ්ලේෂණයට සීමා කිරීමකින් හෝ මනෝවිශ්ලේෂණය තවත් එක් අධ්‍යාත්මික ක්‍රමවේදයක් බවට පත් කිරීමකින් තොරව එක් සම්ප්‍රදායකට අනෙක් සම්ප්‍රදායේ උපකල්පන සහ සීමාවන් හෙළිදරව් කළ හැකි බව මනෝවිශ්ලේෂණය පෙන්වා දෙයි.

                                                 – පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ – 

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here