න්‍යායික සහ ප්‍රායෝගික දේශපාලන සබඳකම් වලදී දැන් රජය පිළිබඳ ප්‍රශ්නය විශේෂ වැදගත්කමක් දරන්නේය. නූතන ගෝලීයකරණය විසින් ඇති කරන ආතතිය තුළ ඒකාධිකාරී ධනවාදය, රාජ්‍ය-ඒකාධිකාරී ධනවාදය දක්වා පරිවර්තනය කිරීමේ ක්‍රියාමාර්ගය උත්සන්න වී ඇත.

21 වැනි සියවස ආරම්භයේ දී ලතින් ඇමරිකානු රටවල සිදු වූ ජනප්‍රියවාදී රැල්ල අර්නෙස්ටෝ ලැක්ලෝ සහ ශන්තාල් මුෆ් වැනි නිර්මාණශීලී මාක්ස්වාදීන් සිතූ පරිදි භ්‍රමණය නොවී (ඉතිහාසයේ ප්‍රගතිශීලී කර්තවය ඉෂ්ට නොකර) ආපස්සට කරකැවෙන්නට පටන් ගෙන ඇත. මෙම ජනප්‍රිය රැල්ල විසින් වෙනිසියුලාවේ සුවිශේෂවත්, ලතින් ඇමෙරිකාව තුළ සාධාරණ ලෙසත් සමාජ සබඳතා වෙනස් කර ඇත. නමුත් මෙම රැල්ලට ලතින් ඇමෙරිකානු මහද්වීපය තුළ ප්‍රගතියට මඟ පෙන්වන සමාජ සංස්ථාපිතයන් නිර්මාණය කිරීමට නොහැකි විය. බොලිවියාවේ පසුගිය දිනක වූ හමුදා කුමන්ත්‍රණය මීට සාක්ෂියකි. ජනප්‍රිය රැල්ලට එරෙහිව මෙම සමාජයන් තුළ බිහිවී ඇත්තේ තවත් වාමාංශයක් නොව අන්ත දකුණකි. 

             මහාචාර්ය ජයදේව උයන්ගොඩ දේශපාලන විද්‍යාව අරභයා නුතනවාදී ගැටලුවක් වර නඟා ඇත. ගැටලුව මෙසේය. 

        ‘නූතන ධනවාදය පෙරලා දමන සමාජ ඒජන්තයා කවුද?’

මේ සඳහා පිළිතුරක් සම්භාව්‍ය මාක්ස්වාදයේ සිට නූතන බටහිර මාක්ස්වාදයටවත් නැත. ට්‍රොට්ස්කිවාදීන්ට අනුව එම ඒජන්තයා නිර්ධන පංතිය වන ‘කම්කරු පන්තියයි’. ඔවුන්ට අනුව එම පන්තිය සමාජ යථාර්ථය තුළ සොයාගත යුතුය. නැතිනම් ඒ අය එනතුරු මඟ බලා සිටිය යුතුය. ලෙනින්වාදය මෙම නිර්ධනයා එනතුරු මඟ බලා නොසිට රුසියන් ‘ගැමියාව’ සංවිධානය කළේය. දැන් ලංකාවේ මෙම ගැමියාව සංවිධානය කරන්නේ රාජපක්ෂවාදීන්ය.

               අපි මේ ගත කරන වර්තමානයේ පෙළපත් විද්‍යාව කුමක්ද? 2009 වර්ෂයේ අගදී දෙමළ ජාතික විමුක්ති අරගලය සහමුලින්ම අධිරාජ්‍යවාදයේ ඒජන්තයන් (ඇමරිකාව,චීනය, ඉන්දියාව) පරාජය කරන ලදී. වෝල්ටර් බෙන්ජමින් කියා සිටියේ ‘සෑම වර්ගවාදයක්ම පරාජිත සමාජ විප්ලවයක නටබුන් අතරින් මතුවේ යන්නයි’.  2009 වනතුරු අප සිතා සිටියේ LTTE ගරිල්ලන් රටේ අනාගත යුතෝපියාව බවයි. නමුත් ඒ වෙනුවට ප්‍රතිපක්ෂය වූ යුද හමුදාව අපට යුතෝපියාවක් ලෙස සම්මුඛ විය. ගෝඨාභය රාජපක්ෂ යනු එහි අවසන් අන්තය යි.

           සාර්ථකත්වයේ තර්කනය යට පසුගිය සියවස ගතවූයේ යථාර්ථය උඩු යටිකුරු වීමෙනි. බොල්ශෙවික් විප්ලවය නිර්මාණය කළේ පරපීඩක ස්ටැලින්වාදය යි. චීන සංස්කෘතික විප්ලවය හරහා අවසන් වශයෙන් බිහිවූයේ ගැටුම් විරහිත ධනවාදයකි . X කණ්ඩායම හරහා අවසන් වශයෙන් බිහිවූයේ මානසික ව්‍යාකූලතා සහිත ප්‍රතිගාමීන් (අතීත වාම වන්දනාවාදීන්) පිරිසකි. ජවිපෙන් බිඳුණු පෙරටුගාමීන් මන්දගාමීන් බවට පත් විය.

        ගැටලුව අප සිතනවාට වඩා සංකීර්ණය. සමාජ විප්ලවය ඉතිහාසයේ නියාමයන්ට අනුව ඉදිරියට ගමන් කරන්නේ නැත. ඉතිහාසය යනු විවෘත ක්‍රියාවලියකි. LTTE කාසියේ අනිත් පැත්ත වූයේ රාජපක්ෂ පවුලයි. මෙවැන්නක් 90 දශකය තුළ ශිවරාම් වැන්නෙකුට සිහිනෙන්වත් සිතිය නොහැකි තත්වයකි. X කණ්ඩායමේ සාමාජිකයන් ජවිපෙට සම්බන්ධ බහුජන සංවිධානයක ප්‍රකාශකයන් වේ යැයි 90 දශකය තුළ කිසිදු X න්‍යායචාර්යවරයකුට සිතිය නොහැකි විය. 

සාර්ථකත්වයේ තර්කනයට අන්තිමට අසාර්ථකත්වයේ දෛවය පිළිගැනීමට සිදු විය.

               යථාර්ථය එහි නිශ්චිත ප්‍රමිතිය වූ සංකල්පීයත්වය කරා ළඟා වත්ම බොහෝ උත්තර ‘ප්‍රශ්න’ දක්වා ලඝු විය. මාක්ස්ගේ උත්තර වැරදී ගොස් ඔහු වර නඟන ලද ප්‍රශ්න විසඳිය නොහැකි ප්‍රහේලිකා ලෙස ශේෂ විය. එබැවින් නූතන කොමියුනිස්ට්වාදය යනු උත්තර සැපයීම නොව නිවැරදිව ප්‍රශ්න ගොඩනඟන විධික්‍රමයකි. ‘මාක්ස්’යනු මාක්ස්වාදියෙක් නොවන පරිදි නූතන ශ්‍රී ලාංකික අර්ථයකින් අපි වාමාංශිකයන් නොවෙමු. මන්ද වාමාංශිකයන් වීමෙන් ඇසිය යුතු නිවැරදි ප්‍රශ්න ඇසිය නොහැකි බැවිනි. මෙය මනෝ විශ්ලේෂණයට ද අදාළය.

             අප මේ ජීවත්වන යුගයේ විප්ලවවාදියා යනු ඉතිහාසයේ හෝ සමාජ යථාර්ථයේ අවශ්‍යතාවයක් නොව ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන මහා මුහුදක නෞකාවක් නිවැරදි පැත්තට දිශානත කරන නාවිකයෙකි. අප මනෝවිශ්ලේෂණය පටන් ගත්තේ බහුතර ස්ත්‍රිය මානසික රෝගී තත්ත්වයක පසු වේ යැයි යන අඩමානය සහිතවය. දැන් එය අප ”පියාගේ මදකම” ලෙසින් හඳුනාගෙන ඇත. මෙම සත්‍යසම්මුඛභූතිය නිසා ස්ත්‍රීන්ව වැරදියට හඳුනා නොගැනීමට හැකි වූ අතර ලිංගික වෙනසේ පසමිතුරුභාවය නිවැරදිව හඳුනා ගැනීමට ද හැකි විය.

                දැන් අපට නැවතත් උයන්ගොඩගේ ගැටළුවට ප්‍රවේශ වීමට හැකිය. ගෝලීය ධනවාදය සැබෑ ලෙසින් වෙනසකට භාජනය කළ හැක්කේ කුමන ඒජන්තයාටද?  අපි මෙම ගැටළුවට හේගලියානු හැරවුමක් යෝජනා කරමු. ඒජන්තයා පිළිබඳ ගැටලූව මතුවන්නේ ම ධනවාදයට එරෙහි අරගලයේ දී අපට බාහිරින් හමුවන බාධා නිසාය. ධනවාදය පූර්ණ ලෙස විකසිත තත්ත්වයක් තුළ එය පවත්වාගෙන යාමට මෙහෙයුම්කරුවන් අවශ්‍ය නැත. අද සියලු දෙනාම ව්‍යාපාරිකයන්ය. ඒ නිසා ධනවාදය නිසා අර්බුදයට යන්නේ අපගේ අභ්‍යන්තර ලෝකයයි. ලෝකය තුළ විපරිතයන්, මත්ද්‍රව්‍ය ඇබ්බැහියන්, විගාමික ශ්‍රමිකයන්, රැකියා විරහිතයන්, සංක්‍රාන්ති ලිංගිකයන්, මතිභ්‍රමවාදීන්, ජාතිවාදීන්, ආගම්වාදීන්, අතෘප්තිමත් ශිෂ්‍යයන් , පුරුෂ හිස්ටෙරිකයන්, ස්ත්‍රී සයිකෝසිකයන් වැනි ආත්ම මූලිකයන් බිහි වී ඇත්තේ ධනවාදයට එරෙහි අරගලය අභ්‍යන්තරයට කඩා වැදී ඇති තත්ත්වයක් තුළ ය. අනාගත කොමියුනිස්ට්වාදය යනු ඉහත සියලු දෙනාගේ ගැටලු හඳුනා ගැනීමයි. පැරණි ධනවාදය සමඟම බාහිර ඒජන්තයන්ද මියගොස් ඇත්තේ මේ නිසාය.

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ගෝඨාභය දක්ෂිණාංශික රැල්ලේ ජයග්‍රහණය හා අනාගත වම හෝ නොවම පිලිබඳ දීප්ති සහෝදරයාගේ අදහස්මොනවාද ? පෙරටුගාමී පක්ෂය දැන් ඉන්න තත්වයෙන් පක්ෂයක් ලෙස ඉදිරියට යා හැකිද?

  2. “2009 වනතුරු අප සිතා සිටියේ LTTE ගරිල්ලන් රටේ අනාගත යුතෝපියාව බවයි.”
    මා දන්නා තරමින් “යුතෝපියාව” යනු යුක්තිගරුකත්වයෙන්, සමාජ සාධාරණත්වයෙන්, සමානාත්මතාවයෙන් පිරිපුන් දේශයක් යන්නයි. මෙය පළමුවෙන් භාවිතයට ආවේ සර් තෝමස් මෝර් ගේ “Utopia” (1516 හිදී පලකෙරුනු) පොතත් සමගය.
    මේ අර්ථයෙන් ගත්කල LTTE ‘ගරිල්ලන්’ (පැහැදිලි ලෙසම අමානුෂික ත්‍රස්ත කණ්ඩායමකට ‘ගරිල්ලන්’ කීමම මේ ලිපිය ලියන අයගේ මානසිකත්වයේ යම් ගැටලුකාරී බවක් පෙන්වයි) “යුතොපියාවක්” වන බව සිතාසිටියා යැයි කියන මෙහිදී “අප” වශයෙන් හඳුන්වන මුග්දයන් පිරිස කවුද?

    යුතොපියාවේ දෙවැනි අර්ථය එනම් “කොහෙවත් නැති මනංකල්පිත දේශය” වශයෙන් ගත්කල නම් ඉහත “අප” වශයෙන් ගහදුන්වගනු අයගේ ‘අපේක්ෂාව’ තරමක් දුරට වත් සාධාරණයි සිතිය හැකි නමුත් LTTE ය ‘ගරිල්ලන්’ වශයෙන් හැඳින්වීමෙන් පෙනෙන්නේ ලිපිය ලියා ඇති අයගේ ලිබරල් මුග්දත්වයයි.

    ලංකාවේ සාමාන්‍යයෙන් LTTEය ගැන කතාකරනවිට ගරිල්ලන් /ත්‍රස්තවාදීන් අතර බෙදුම් ඉර නොපෙනියන්නේ ජෙහාන් පෙරේරා, නිර්මාල් දේවසිරි, වියන්ගොඩ, තේනුවර පන්නයේ NGO තක්කඩින්ට පමණි.

Comments are closed.