දේශපාලනය කිරීම සදහා ඔබ විසින් අපව තෝරා ගනු ලබන්නේ ඇයි? පවතින සමාජ ක්‍රමය විසින් ස්වයංක්‍රීයව සියලු අවශ්‍යතාවයන් සහ ආශාවන් සාක්ෂාත් කරනු ලබයි. ඒ තුල ඔබට යම් අඩුපාඩුවන්, නොසලකාහැරීමක්, අපහසුතාවයක් හෝ අමානුශිකභාවයක් මුණ ගැසෙන්නේ නම්, එවැනි තත්වයක් ඉතා ඉක්මනින් නිවැරදි කිරීම සිදු කරනු ඇත්තේ අප වැනි දේශපාලන පක්ෂයක්ද නැතිනම් නොදන්නා හස්තයක් විසින් ඕපපාතිකවද යන්න නිශ්ශබ්දව කල්පනා කර බැලිය යුතුය. 

අප එක්සත්ව අරගල කලත් නොකලත් ක්‍රමය විසින් එහි අඩුපාඩු නිවැරදි කරනු ලබයි. අපගේ දේශපාලන ව්‍යාපාරයට හෝ වෙනත් වාමාංශික ව්‍යාපාරයකට අනන්‍ය වන කෙනෙකු ඊට හේතු ලෙස ධනවාදය පෙරලා දැමීම හෝ පවතින සමාජය වෙනස් කිරීම මතු කරන්නේ නම් එය තවදුරටත් පිළිගත හැකි සත්‍යක් නොවේ. විසිඑක් වන සියවසේ දෙවන දශකයේ අවසානය එක්තරා දේශපාලන ආස්ථානයක අවසානයද සනිටුවහන් කරයි. ජනාධිපතිවරණය අවසාන වීමෙන් පසු උදාවන නව අවකාශය තුල අප සහ ඔබ කල යුත්තේ කුමක්ද යන්න අර්ථකථනය කිරීම මේ මොහොතේ වැදගත් වේ. තව දුරටත් පැරණි න්‍යායන්, පැරණි අරමුණු, පැරණි අදහස් වලට දේශපාලනික  වලංගුභාවයක් පවතින සමාජයේ නොපවතී. පසුගිය දශක දෙක තුල ලංකාවේ රැඩිකල් දේශපාලනයේ දිශානතිය තීන්දු කරනු ලැබුවේ අප විසින් බව ප්‍රකාශ කිරීම අතිශෝක්තියක් නොවේ. කුඩා සංවිධානයක් වුවද  අපට ඇති දේශපාලන මතවාදය හැසිරවීමේ බලය අතිශයිම ප්‍රභලය. ඉදිරි දශකයේ දේශපාලනය සදහා අප නව දේශපාලන ඉදිරි දැක්මක් ගොඩනගන්නෙමු. මේ ඒ සදහා වන සාකච්ජාවේ මුල් කොටසයි.

අප හැරුණු කොට පශ්චාත් මාධ්‍ය විසින් දේශපාලන මතවාදය සංවිධානය කිරීමේදී විශාල බලපෑමක් සිදු කරයි. එහි මුලධාර්මික අරමුණ ලාභය වන අතර අපගේ අරමුණ කුමක්ද යන්න අපවත් දන්නේ නැත. නමුත් ඒ  ලාභය හෝ අනන්‍යතාවය ලබා ගැනීම සදහා නොවන බව අපට විශ්වාසය. චරිත හේරත්, නලින්ද සිල්වා වැනි පොහොට්ටු පක්ෂයේ ප්‍රකාශකයන්ට පැහැදිලිව සවන්දෙන විට අපට හැගී යන්නේ බලයට පත් වුවද ජාතිකත්වය මුලික කරගනිමින් හෝ ක්‍රියාවට නැංවීම සදහා කිසිදු වැඩපිළිවෙලක් ඔවුන්ට නොමැති බවයි.  වාමාංශික අන්තයට පැමිණි විට පෙ.ස.පෙ සමාජවාදී යුතෝපියාවට එළියේ සමාජයේ කිසිවෙකුත් සවන් නොදෙන බව ඔවුන්ගේ Facebook පිටුව විසින්ම සනාථ කර පෙන්වයි. මෙවැනි යුගයක සමාජවාදය වැනි ඉන්ද්‍රජාලික මාතෘකාවක් විකසිත වන්නේ Facebook වැනි තත්‍යසමාන අවකාශයක පමණි. Facebook  හි දේශපාලනය ලියන්නාගේම ප්‍රශ්නයක් මිස සැබෑ දේශපාලනයක් නොවේ. අනාගතයේ දවසක අපේ අද දවස ගැන මෙසේ ලියවෙනු ඇත. “ විසිඑක් වන සියසේ මුල් අවධියේ සියලු දේශපාලන ව්‍යාපාර, බුද්ධිමතුන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු සියලු දෙනා සැබෑ දේශපාලන අවකාශයෙන් ඉවත් කර තත්‍යසමාන අවකාශයේ සිරගත කිරීමට එකල පැවති Facebook වැනි සමාජ මාධ්‍යන්ට හැකි විය”. මෙවැනි තත්වයක් තුල  ඉතිහාසය වෙනස් කරන පක්ෂයක් ලෙස  අපගේ රැඩිකල් ආස්ථානය වන්නේ ඉදිරි දශකයේදී පුර්ණ ලෙස සමාජ මාධ්‍ය වලින් ඉවත් වීමයි.අප පක්ෂයේ ක්‍රියාකාරීව සිටින  සාමාජිකයන්ට වඩා පක්ෂය හැරගිය ගොස් ඇති අවතාර  සංඛ්‍යාව වැඩිය. එක් සජීවී සාමාජිකයෙකු වටා මෙවැනි අවතාර පහක්-දහයක් පමණ  සංඛ්‍යාවක් කැරකෙමින් සිටී. එවැනි අවතාරයක් විසින් තව තවත් පක්ෂ සාමාජිකයන් බිලි ගන්නවා දැකීමට බොහෝ දෙනා අශාවෙන් බලාගෙන සිටී. 

වර්තමාන ආර්ථිකය තුල මසකට ලක්ෂ දෙක-තුනක වැටුපක් ලබන විශ්වවිද්‍යාල ගුරුවරයෙකුට ඉතා හොද ජීවිතයක් ගත කල හැකිය. තමන්ගේ පර්යේෂණ කටයුතු සිදු කරගෙන  ඉතා හොද පවුල් ජීවිතයක් සමග  තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වටපිටාව ක්‍රමය විසින් ගොඩනගා තිබේ. එහෙත් මෙවැනි විශ්වවිද්‍යාල ගුරුවරු Facebook  වැනි සමාජ මාධ්‍ය වලට පැමිණ නොදන්නා අනෙකෙකුගෙන් බැනුම් අහගන්නේ  මන්ද? මේතැනදී අපට පුද්ගලයාගේ ආත්මීයත්වයේ ගැටලුව මතු කල හැක. විශ්වවිද්‍යාල ගුරුවරයාට කාගෙන් හෝ බැනුම් ඇසීම යනු සහනයකි. ඒ ඔහුට අවශ්‍ය වන දෙයයි. නිවෙස් වලට හොරෙන් එබෙන විපරීතයෙකු නිවැසියන් විසින් අල්ලා පහර දෙනු ලබන්නේ ඔහුට කරන දඩුවමක් ලෙසය. නමුත් මෙම දඩුවම යනු  විපරීතයා තමාගේ ක්‍රියාව මගින් බලාපොරොත්තු වන දෙයයි. දේශපාලනය යනු විපරීතයන්ට විනෝදය සපයන අවකාශයන් බවට පත් වීමෙන් ආරක්ෂා කල යුතුය. එය ඉදිරියේ අපට ඇති අභියෝග වලින් ප්‍රධාන එකකි.

බොහෝ දෙනා වාමාංශික දේශපාලනය  සමග සම්බන්ධ වන්නේ අතිශයිම බැරෑරුම්  ලෙස  දේශපාලනය   කරන පුද්ගලයන් ලෙසය. උදාහරණයකට විමල් වීරවංශ ජ.වි.පෙ වේදිකා වල කතා පවත්වන විට එම ව්‍යාපාරය වෙනුවෙන් පුර්ණ ලෙස අනන්‍ය වූ , කැප වූ බරපතල ලෙස සැලකිය යුතු පුද්ගලයෙකි. නමුත් විමල් බොළද පුද්ගලයෙකු බවට පරිවර්තනය වෙමින් ජ.වි. පෙ හැර යයි. මෙම තත්වයන් දෙක වාමාංශික පමණක් නොව දක්ෂිනාංශික දේශපාලනයටත් පොදු සවිඥානික පරිවර්තනයන් වේ. මෙහි ඇති වැදගත් කාරණාව වන්නේ බොළද පුද්ගලයා එතැනින් නොනැවතී ළදරුවෙකුගේ තත්වයට ඇද වැටෙන අවස්ථාව එලබීමයි. බැරෑරුම් ලෙස අපත් සමග දේශපාලනය කිරීමට පැමිණි බුද්ධිමතුන් විවිධ හේතු මත අපව හැර යයි. මෙසේ අපව හැර යන බුද්ධිමතා අවසානයේ අපට හමුවන්නේ Facebook  තුලය. ‘ඔයාගේ ලිවීම මරු  , ඔයාට ආදරෙයි’ වැනි කොමෙන්ට් වලට ‘ඒ ආදරයට ස්තුතියි!’ වැනි පිළිතුරු සපයන ළදරුවෙකු බවට මේ මහා බුද්ධිමතා පත් වෙයි.  පුද්ගලයාගේ මෙම පරිවර්තනය වටහා ගැනීමේ විද්‍යාවක් අපටත් හරි හැටි නැත. බොහෝ විට අප බලාපොරොත්තු වන්නේ ඉහත සදහන් මුල් පරිවර්තන දෙක පමණි. විමල් වීරවංශ ජ.වි.පෙන් වෙන් වී වෙනත් පක්ෂයක් ගොඩනගා ගැනීම ගැටළුවක් නොවේ. එහෙත් ඔහු මහින්ද රාජපක්ෂ සමග එකතු වී කල දේ කුමක්ද යන්න න්‍යායගත කිරීම අපහසුය. ඉදිර කාලවකවානුවේ මෙම වෙනස දේශපාලනිකව සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

ධනවාදය සමාජ ක්‍රමයක් ලෙස දිගටම පවත්වා ගන්නවාද නැතිනම් එය පෙරලාදමනවාද යන්න පැරණි  ගැටලුවකි. ධනවාදය සහ  ඊට විකල්ප ක්‍රමය යනුවෙන් ක්‍රම දෙකක් නොපවතී. වම සහ දකුණ යනුවෙන් වූ භේදයක් තවදුරත් දේශපාලනය තුල නැත. වාස්තවික කාරණා මුල් කර ගනිමින් දේශපාලනය කල යුගය අවසන් වී ඇත. පුද්ගලයා දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පෞද්ගලික ආත්මීය වුවමනාවකට මිස එය සමාජීය වුවමනාවක් නොවේ. අනෙකාට යහපතක් කිරීමට, හොද සමාජයක් ගොඩනැගීමට  දේශපාලනය කරනවා යනු දෘෂ්ටිවාදයකි. ඒ වෙනුවට තමන්ගේ ආත්මීය ගැටලුව කුමක්ද යන්න වටහා ගැනීමට දේශපාලනය හරහා අනාගතයේදී ඔබට හැකිවනු ඇත. ක්‍රමය පවත්වා ගත යුතුද නැද්ද යන්න තීරණය කල යුත්තේ ඔබ විසිනි. පුද්ගලයා ක්‍රමයට ආශා කරන්නේ, එය පවත්වා ගැනීමට ජීවය සපයන්නේ ක්‍රමයෙන් පෙරළා ලැබෙන කප්පම නිසාය. වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්  අපගේ දේශපාලනය හැදෑරීම සිදුකලද, අපගේ දේශපාලනයට සවිඥානිකව ආශා කලද ඔවුන්ගේ අවිඥානික පැතුම වන්නේ අපගේ විනාශයයි. පවතින ක්‍රමය විසින් ලබා දෙන වාහන බලපත්‍රය හෝ විශාල වැටුප ලබාගෙන තමන්ගේ සාමාන්‍ය ජීවිතය ගත කිරීම ඔවුන්ට අන් සියලු දෙයට වඩා වැදගත්ය. ඔවුන් දේශපාලනය ගැන සොයන්නේ එසේ ජීවත් වන විට ඇතිවන ආත්මීය, අධ්‍යාත්මික ගැටළු වලට සහනයක් ලබා ගැනීම සදහාය.

කෙසේවෙතත් මෙවැනි ආත්මීය ගැටළු ඇතිවන්නේ කප්පම වෙනුවෙන් ක්‍රමය පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙසය. දේශපාලනය ලෙස අප අවධානය යොමු කල යුත්තේ මෙම කප්පම් ගැනීමේ ක්‍රියාවලියෙන් පුද්ගලයා ඉවත් කිරීම වෙතය. එවිට පවතින සමාජ ක්‍රමය වෙනස් වීම ආරම්භ වනු ඇත. රොසෙල් ටයිල් නිෂ්පාදන සමාගම  විසින් එහි ඉහල කළමණාකරුවන්ට විවිධ කප්පම ලබා දෙමින් තම නිෂ්පාදන ඉතා අඩු මිලට නිෂ්පාදනය කර විකිණීම මගින් වැඩි ලාභයක් ලැබීමට උත්සහ කරයි. මෙම ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා කළමණාකරුවන්ට අමතරව තවත් බොහෝ දෙනෙකුට කප්පම් ලබා දෙයි. නමුත් පුද්ගලයා කප්පම් ලබා ගැනීම ප්‍රතික්ෂේප කල විට රොසෙල් සමාගමට තවදුරටත් මෙකී ක්‍රියාවලිය පවත්වාගත නොහැක. ඒ  වෙනුවට ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් ටයිල් නිෂ්පාදනය කරන සමාගමක් ලෙස පමණක් පැවතිය ඔවුන්ට පැවතිය හැක. පුද්ගලයා ක්‍රමයට සමබන්ධ වන්නේ කෙසේද? යන්න පිළිබද පුළුල් ලෙස සාකච්ජා කිරීම සහ එම දැනුම සමාජගත කිරීම ඉදිර දශකයේ අපගේ දේශපාලනයේ වැදගත් අංගයක් වනු ඇත.

සමාජයට දීප්ති සහෝදරයා සහ පක්ෂය පිළිබද ඇති විශ්වාසයත් භක්තියත් ආරක්ෂා කිරීමට අප සෑම මොහොතකම වගබලා ගන්නෙමු. අප පවතින ක්‍රමයේම ජීවත් වන සාමාන්‍ය මිනිසුන් මිස අසාමාන්‍ය පිරිසක් නොවෙමු. මේ නිසා ඕනෑම කෙනෙකුට සහෝදරත්වයේ දෑත් දිගු කිරීමට අප හැකිය. ඇතැමෙක් එය උණුසුම්ව පිළිගන්නා අතර ඇතැමෙකු එම දෑත් සපා කයි. පවතින සමාජ ක්‍රමයයේ ඉතා සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එය අතිශයිම නපුරු සමාජ ක්‍රමයක් වීම පමණක් නොව අතිශයිම දියුණු දැනුම , පොත පත ආදී සියලු දේ සදහාද ප්‍රවේශ වීමේ අවස්ථාව අපට උදාකර තිබීමයි. මේ නිසා සියලු වැරදි ස්වංක්‍රීය ක්‍රමය මත පැටවීමට හැකියාවක් අපට නැත. ස්වයංක්‍රීය ක්‍රමය තුල ධනපතියන්ගේ දේශපාලන ආර්ථිකයක් පවතින්නාක් මෙන්ම අපගේ ආධිපත්‍යද පවතී. ජනාධිපතිවරණයේ උණුසුමෙන් විනෝද වෙමින් සිටින අයට ඉන් ඉක්බිති කල යුත්තේ කුමදැයි යන්න පැහැදිලි අදහසක් නැත. නමුත් ජනාධිපතිවරණයෙන් පසුව එළබෙන කාලය යනු අපට ඉතා විශාල වැඩ කොටසක් කිරීමට ඇති යුගයකි.

Anushka Ariyarathna

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. කවුදෝ ඇනෝ කෙනෙක් මෙන්න මේ කොටස ඇවිත් මගේ බ්ලොගයේ දාල ගිහිල්ල.
    /මේතැනදී අපට පුද්ගලයාගේ ආත්මීයත්වයේ ගැටලුව මතු කල හැක. විශ්වවිද්‍යාල ගුරුවරයාට කාගෙන් හෝ බැනුම් ඇසීම යනු සහනයකි. ඒ ඔහුට අවශ්‍ය වන දෙයයි. නිවෙස් වලට හොරෙන් එබෙන විපරීතයෙකු නිවැසියන් විසින් අල්ලා පහර දෙනු ලබන්නේ ඔහුට කරන දඩුවමක් ලෙසය. නමුත් මෙම දඩුවම යනු විපරීතයා තමාගේ ක්‍රියාව මගින් බලාපොරොත්තු වන දෙයයි. දේශපාලනය යනු විපරීතයන්ට විනෝදය සපයන අවකාශයන් බවට පත් වීමෙන් ආරක්ෂා කල යුතුය.// ඒ කියන්නේ මේ පැත්තෙන් එන්න ඇත්තේ .
    මේ පරණ ත්‍රිමාණ ලිපියකට ලියපු එකක්.https://kolambagamaya.blogspot.com/2019/11/blog-post_13.html
    මෙන්න එයාගේ කොමෙන්ට් එක:
    /
    රති රමණය අවසාන වීමෙන් පසු උදාවන නව අවකාශය තුල අප සහ ඔබ කල යුත්තේ කුමක්ද යන්න අර්ථකථනය කිරීම මේ මොහොතේ වැදගත් වේ. එනමුත් අජිත් ධර්මාගේ ප්‍රකාශකයන් කියවන විට අපට හැගී යන්නේ ලෝකාස්වාදරතිය පිළිබද කිසිදු අදහසක් ඔහුට නොමැති බවයි.

    සෝවියට් සංගමයේ කාරුණික අනුග්‍රහය යටතේ මුලික උපාධිය ලැබූ අජිත් ධර්මා(දැන් අජිත් ධර්මාට සෝවියට් සංගමය නයාට අඳුකොළ මෙනි) පසුව ධනපති රටකට සංක්‍රමණයව සමාජ මාධ්‍ය වලට පැමිණ නොදන්නා අනෙකෙකුගෙන් බැනුම් අහගන්නේ මන්ද?

    මේතැනදී අපට ධර්මාගේ ආත්මීයත්වයේ ගැටලුව මතු කල හැක. ඔහුට කාගෙන් හෝ බැනුම් ඇසීම යනු සහනයකි. ඒ ඔහුට අවශ්‍ය වන දෙයයි. නිවෙස් වලට හොරෙන් එබෙන විපරීතයෙකු නිවැසියන් විසින් අල්ලා පහර දෙනු ලබන්නේ ඔහුට කරන දඩුවමක් ලෙසය. නමුත් මෙම දඩුවම යනු විපරීතයා තමාගේ ක්‍රියාව මගින් බලාපොරොත්තු වන දෙයයි. දේශපාලනය යනු විපරීතයන්ට විනෝදය සපයන අවකාශයන් බවට පත් වීමෙන් ආරක්ෂා කල යුතුය. එය ඉදිරියේ අපට ඇති අභියෝග වලින් ප්‍රධාන එකකි.//

  2. මෙන් එයාට මගේ පිලිථුඅ;
    //සෝවියට් සංගමයේ කාරුණික අනුග්‍රහය යටතේ මුලික උපාධිය ලැබූ අජිත් ධර්මා(දැන් අජිත් ධර්මාට සෝවියට් සංගමය නයාට අඳුකොළ මෙනි)// නිකන් එක ලිපියක් කියවල මේ වගේ මොට්ට ප්‍රතිචාර ලියන යට මම උත්තර ඇති තරම් දීල තියෙන නිසා වෙන මුකුත් ලියන්න වෙලාව නාස්ති කරන්නේ නැහැ. වජිර යාපා කියල කෙනකුත් ඒ දවස් වල මේ වගේම ගොන් කතාවක් කියාගෙන අපු නිසා. ඔයාල වගේ අය නිසාම තමා සෝවියට් සංගමයට කෙලවුනෙත්. බොහෝවිට ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉඳ ආපු අයත් මේ වගේ. ඇත්ත දැක්කේ නැහැ. ඇත්ත දුටුවා නම් බේරා ගන්න තිබ්බ උතුම් රටකට කෙළවුණේ ඔන්න ඔහෙලා වගේ අයගෙන්.
    මෙන්න මේ ලිපි හෙම කියවන්න පුලුවන්නම් .
    ඔයාල වගේ අයගැන ලිව්ව එකක්:
    සෝවියට් ඇනෝ ගේ සමාජවාදය
    සෝවියට් ජිවිතයෙන් බිඳක් 2
    සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම 4 – කොර්චාගින්, බ්‍රෙෂ්ට් හා සාක්කිය
    සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි – 1
    පුලුවන්නම් මගේ “ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ ” කියන පොත අරගෙන කියවන්න. ඊට පස්සේ ඇවිත් මේ ප්‍රතිචාරය ගැන නැවත හිතන්න.

  3. මමත් ෆේස්බුක් එකේ ඉන්නවා. මම හිතන්නේ සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන් අත හැර යනවට වඩා එයින් ප්‍රයෝජන ගැනීම හොඳ නැත්ද? ඒ කියන්නේ ඒ තුලින්ම එයට පහර දීම. සමාජ මාධ්‍ය තුල ලොකුම ප්‍රශ්නය මිනිස්සු කාල වෙලාව නාස්ති කරන එක. මම ෆේස්බුක් යන්නේ හුඟක් වෙලාවට වැසිකිලි යද්දී. නැත්නම් මොනවට හරි බලන් ඉන්න කොට GP සර්ජරියේදී වගේ. වෙනම වෙලාවක් යොදා ගන්නේ මගේ බ්ලොග් එක ප්‍රවර්ධනය් කරන්න. එතනින් හුඟක් අය බ්ලොග් එක කියවන්න එන නිසා. ඒ ඇරෙන්න ෆේස් බුක් එකේ වැඩක් තියෙනෙන් ඉතාම ළඟ යාළුවන්ට ගන්න ෆොටෝ පෙන්වන්න.
    අනිත් කරනේ තමයි පෙරටුගමින් හෝ පෙරටුගාමී සමාජවාදීන් ලෙස බුද්ධිමත් ටැග් එක ගහගෙන හිටියම සාමාන්‍ය මිනිස්සු කතා කරන්න එයිද? පණිවිඩය දෙන්න ඕනේ (ඕනෑම තමන්ගේ පණිවිඩයක්) හැමෝටම නෙමෙයිද?

Comments are closed.