අපගේ විවේචක විෂය විසින් තේරුම් නොගන්නා පැහැදිලි කරුණක් නම් විප්ලවය සිදු කර දීම පිණිස ලෙනින් මළවුන් ගෙන් ඇහැරී නැවත අප කරා නොඑන බවත් එය සිදු කිරීමට සිදු වන්නේ අපට ම බවත් අපට අමතක වීමයි. ඒ සඳහා රැවුල වවා ගත් බෝල්ෂෙවික් වීරයෙක් බිහි නොවන අතර එය සිදු කිරීමට ඉතිහාසය විසින් පවරා ඇත්තේ මේ අප අතරම සිටින කෙනෙකුට ය.

අප විශ්‍වාස කලත් නොකලත් ඇතැම් විට එය සිදු කිරීමට ඉදිරියට එනු ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන වන් අයක් වීමට ද පුළුවන් බව අප අමතක නොකළ යුතුවේ. කවුරුන් හෝ එයට ශරීරය දිය යුතුව ඇත. නමුත් වැරදි ලෙස හෝ ඔහු යමක් කළ මොහොතේ ම ඉදිරියට පැමිණියේ ඉහත ‘විවේචක විෂය’ වේ (ප්‍රජාතන්ත්‍රවාදයේ ගැලවුම් කරුවන්, පාර්ලිමේන්තුවාදීන්, ජන මාධ්‍ය  වැනි අය). ඔවුන් කලේ තමනුත් නොදන්නා මොකක්දෝ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් දිගින් දිගට් කතා කිරීමය. එසේ අධිකරණය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණා යයි කියා සිදුවූ කෙමනක් ද නැත. තිබුණ අසාර්ථක අපිළිවෙල එසේම පවතී.  එක දශමයකින් රට ඉදිරියට යන්නේ ද නැත. පිම්මක් පනින්නේ ද නැත (Leap Forward). අධිකරණ තීන්දුවෙන් පසු තිබෙන්නේ තිබෙන්නේ හිස් විශ්වීය බවක් පමණි (empty universalism යන මෙම යෙදුම ජිජැක් ගේ ය). අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදීන් යැයි කියනු ලබන්නන් විසින් ජනාධිපතිවරයා ගේ පිලිපීන සංචාරය විවේචනය කරනු ලබයි. ඔවුන් ට වැදගත් වන්නේ කොතරම් හොඳින් රටේ නායකයා ඉංග්‍රීසි කතා කරනවාද යන්න ය. නමුත් ඔහුගේ එම සංචාරයේ අරමුණ වුවේ කුමක්ද යන්න කිසිවෙකු කතා නොකරයි. එක් අතකින් ඔහු මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා යක්ෂයා සමඟ හෝ ගිවිසුම් ගැසීමට සුදානම් වේ. අනික් එවුන් තම බුර්ෂුවා ප්‍රතිරූප රකිද්දී තමාගේ ප්‍රතිරූපය විනාශ කරගෙන හෝ ඔහු අරමුණක් වෙත යාමට සුදානම් ය (එසේ වුවද ඔවුන්ගේ ප්‍රතිරුප දෙස බලා සිටින යුරෝපීය අනෙකෙකු ද නැත). එය අවසාන විග්‍රහයෙදී රට පැත්තෙන් ධනාත්මක නොවේ ද? මා සිතන අයුරින් එම ‘විවේචක විෂය’ ආදරය කරනු ලබන්නේ තමාට පමණය (ස්වරූපරාගය). තමන්ගේ ම විවේචක අකුරු වලට එවැන්නෙක් ආදරය කරයි. නමුත් ඔවුන් රටට ආදරය කරන්නේ නැත. තමන් විනාශ වී හෝ රටට යමක් කිරීමට මේ මොහොතේ ඉදිරියට එන්නේ කවුද එවැන්නෙක් විවේචනය කර ඔහුව අතරමං කිරීම මෙම විවේචක විෂයේ අරමුණ වේ. මුහුණු පොත පුරා පවතින මෙම හිස් විශ්වීය බව සයිකෝටික තත්වයකි. ජිජැක් දක්වන ආකාරයට සෑම ‘වැරදි හැසිරීමක්’ විසින් ම නව හැඟවුමක් ඉල්ලා සිටි. උදාහරණ වශයෙන් ‘හිතුමතේ ජිවිතේ’ ගේ පතුලක් නොමැති වෛරයේ හැසිරීම විසින් ගෙන එන අර්ථය ඔස්සේ බුර්ෂුවා නීතියේ නව හැඟවුම් ජනිත කල යුතුය. සුවිශේෂ බවහි ඇති වෙනස් කම (අමුතු බව) විශ්වීය බව විසින් තේරුම් ගත යුතුය. මා හිතන අයුරින් බුර්ෂුවා නීතිය දන්නා සමන් වික්‍රමාරච්චි වැනි මහතුන් විසින් ගැඹුරින් අධ්‍යයනය කල යුතු සුවිශේෂ බවක් ‘හිතුමතේ ජිවිතේ’ ගේ සුවිශේෂී ෂෙලීනියානු පැවැත්ම තුල ඇත. එම ප්‍රත්‍යෙක පරීක්ෂණය තුල ඔහු අපෙන් ඉල්ලා සිටින්නේ අනන්‍යතාවයක් නොවේ. තමා පිළිගන්නා ලෙස නොවේ. ඔහු කරමින් ඇත්තේ ස්වයං නිශේදනයකි. තම නැගෙණිය වෙනුවෙන් පුර්ණ ස්වයං නිශේදනයකි. තමා  යමක් තුළ පුර්ණ වශයෙන් දියකර හැරී එවැන්නෙකුට හැර එවැනි නිර්භීත ක්‍රියාදාමයක නිරත විය නොහැක. සත්‍ය වශයෙන් හිතුමතේ ජිවිතේ යනු නො -පැවැත්මකි. අප සාමාන්‍යයෙන් දන්නා ෆ්‍රොයිඩියානු සුපිරි අහම විසින් ආත්මයේ තාර්කික හේතුව ඉල්ලා සිටියත් (පරිණත බව) ඔහුගේ තුවාල වූ අහම විසින් ඉල්ලා සිටින්නේ තේරුම් ගත නොහැකි අතිරික්තයකි (unrealizable surplus). හරියට ම එය හෝමයක් බඳුය (like a sacrifice). මෙය යටත් විජිත තුවාලයේ සිට ඕනෑම දෙයක් දක්වා භාවිතා කල හැක. තද හම් පටි, කස සහ දම්වැල් අර්චන ලෙස අතින් දරා ගත කළු ජාතික නිල් චිත්‍රපට නළුවන් ඉදිරියේ සිටින සුදු තරුණිය යනු අතීත වහල් භාවයේ වරදකාරිත්වය වෙනුවෙන් කරන පසු නූතන යාග හෝමයකි. තමාව තව තවත් වධ බන්ධනයට හසු කරන්න යන කෑ ගැසීම (give me more යන අතිරික්තය) යනු මේ හෝමයේ වාග්විද්‍යා සෙල්ලමක් පමණය (මන්ද වධකයා යනු මේ යුගයේ මහත් ම වහලාය).  

මීට අමතරව නව තාක්ෂණික මිනිසෙක් (පරම්පරාවක්) බිහිවෙමින් ද සිටින බව අප අමතක නොකළ යුතුය. ඩිජිටල් තිරයක් මත ට දෑස යොමා රබර් ඇබ දෙකක් කණේ ගසා ගෙන තමන්ගේ ම වූ යථාර්තයක් සමග තනියම කතා කරමින් එම යථාර්තය සමග අධි අනන්‍ය වෙමින් මහ පාරේ යන මේ ‘නව මිනිසා’ (ගැහැණිය) යනු අප මේ දක්වා දැක නොතිබූ මානව වර්ගයකි. තේ කම්කරු අරගලය මෙම නව මිනිස් ශිෂ්ටාචාරය  දකින්නේ මුහුණු පොතෙනි (මොවුන් ටී. වී. බලන්නේ නැත). කවුදෝ මිතුරෙක් ශෙයා කර තිබු එම පෝස්ට් එක දිහා මොහොතක් බලා ඒ සමග ම මුහුණු පොතේ පහලට ස්ක්‍රෝල් ඩවුන් කරන ඇය දකින්නේ ඇය විසින් මීට පෙර ලයික් එකක් දමා තිබුණු ඉන්ග්ලේසියස් ගේ අනුරාගික ගීතයකි. නැත්නම් අළුත් විළවුන් වර්ගයක දැන්වීමකි. ඇය එයට ලයික් එකක් දමයි (ඉන්පසුව ඇයට එම වෙළඳ දැන්වීම් සමාගමේ දැන්වීම් ඉබේම පොප් අප් වනු ඇත. ඒවා වහ වහා ඇය කරා එනු ඇත. ඇය මඟ හරින මැද පෙරදිග ස්ත්‍රීන් ගේ ගැටළු නැවත කිසිදා ශෙයා නොවනු ඇත. ඇයට අවශ්‍ය යථාර්තය ඇයටම ප්‍රති නිෂ්පාදනය කරගත හැක. ඉතින් ඇයගේ විප්ලවීය මිතුරන් හට තේ අරගලය ගැන ඇයගේ අවධානය දිනා ගත යුතු නම් එම පෝස්ටු ඇයගේ පිටුවට ටැග් කිරීමට සිදු වනු ඇත. නැත්නම් ඉන්බොක්ස් කිරීමට සිදුවනු ඇත. එයත් කරදරයක් නම් ඇය එම විප්ලව මිතුරා අන්ෆ්රෙන්ඩ් කරනු ඇත! ‘ඔබ ඔබේ ලොවේ.. මම මගේ ලොවේ..’ නම් දශක කිහිපයකට පෙර අප අසා තිබුණ එම ගීත ඛණ්ඩය නව අයුරකින් පශ්චාත් නූතන ලෙස ඉස්මත්තට පැමිණ ඇත. ඇතැම් විට මෙහිදී නලින් ද සිල්වා ගේ ‘මගේ ලෝකය’ නව වටයකින් නව ඥානණ සන්දර්භයක් තුළ නරුමවාදී ලෙස ප්‍රතිජීවනය වී ඇතැයි යනුවන් ද අයෙකුට තර්ක කල හැකිය). මෙම සමපේක්‍ෂණ යථාර්තයට සාපේක්ෂව (සමගාමී ලෙස) නව ඥාණන වේදයක් ද (new cognitivism) මේ වනවිට දියුණු වෙමින් ඇති අතර මිනිසාගේ අවධානය මේ වනවිට ඒ කරා ද යොමුවෙමින් ඇත. විශේෂයෙන් බටහිර සමාජ තුල මේ නව ඥාණන තත්වය ජනප්‍රිය වෙමින් පවතී. එහි ප්‍රකට ප්‍රචාරකයෙකු ලෙස සැලකිය හැකි යුවල් නෝවා හරාරි (Yuval Noah Harari) විසින් පෙන්වා දෙන්නේ අප මිනිස් පරිණාමයේ නව යුගයක් අබියස සිටින බවයි. මිට වසර හැත්තෑ දහසකට පමණ පෙර මිනිසා චිම්පන්සියා ගෙන් වෙනස් වුවේ යම් සේ ද අද වනවිට හෝමෝ සේපියන් මිනිසා නව ඥාණන තත්වයක් (cognitive condition) තුළ නව අමරණීය මිනිසෙක් බිහි කිරීමේ ව්‍යාපෘතියේ සාර්ථක පියවරක් ඉදිරියේ සිටිනා බව ඔහු සිය Sapiens: A Brief History of Humankind (2014) කෘතිය ඔස්සේ පෙන්වා දෙයි. නමුත් මෙම නව අමරණීය මිනිසා යනු අප මෙතෙක් දැන සිටි අනුභූතික මිනිසා ගෙන් වෙනස් කෙනෙක්ය.  චිම්පන්සියා හට ඇත්තේ අනුභූතික ව ග්‍රහණය කර ගත හැකි වාස්තවික යථාර්තයක් වුවද හෝමෝ සේපියන් මිනිසා යනු වාස්තවික දැනුම ඔබ්බවා ගිය පරිකල්පනයක් සහිත මිනිසෙකි. ඔහුට තම වාස්තවික පැවැත්මට අමතරව පරිකල්පනයේ සැරිසැරිය හැකිවාක් මෙන්ම වියුක්ත චින්තනයේ යෙදීමට ද හැකිය. මෙය චිම්පන්සියා ට කළ නොහැකි දෙයකි. උදාරණය වශයෙන් මුදල් යන පරිකල්පනීය සහ වියුක්ත හුවමාරු ඒකකය ගැන චිම්පන්සියෙක් දන්නේ නැත. නමුත් චිම්පන්සියෙක් කෙසෙල් නම් වාස්තවික යථාර්ථයේ අනුභව කල හැකි දෙය දනී. අප කෙසෙල් නම් දෙය මුදල් නම් වියුක්ත දෙය සමග හුවමාරු කරයි. චිම්පන්සියාට මේ අතරමැද ඇති වියුක්ත ප්‍රබන්ධය ගැන දැනුමක් නැත (අප චිම්පන්සියෙක් හට ඩොලර් නෝට්ටුවක් දී කෙසෙල් ඉල්ලුවොත් එය එම සත්වයා හට තේරුම් ගත නොහැක). ඉදින් යුවල් නෝවා හරාරි ට අනුව මිනිස් ඉතිහාසය සතුන්ගේ ඉතිහාසයෙන් වෙනස් වන්නේ මෙවන් ප්‍රබන්ධ හේතුවෙනි (සතුන්ට මෙවන් ප්‍රබන්ධයක් වටා එකතුවීමේ ඥානණ හැකියාවක් නැත – cognitive ability to corporate). එවන් ප්‍රබන්ධ වටා මිනිසුන් එකතුවිම හේතුවෙනි. ලිබරල් ධනවාදය මෙන්ම සමාජවාදය මතු නොව යුදෙව් විරෝධය පවා මිනිසා පොදුවේ බෙදා හදා ගන්නා දෙන ලද කාලය සහ අවකාශයට සාපේක්ෂ දෛනික ප්‍රබන්ධ වේ (daily fictions). මේ අනුව මිනිස් ඉතිහාසය යනු වාස්තවිකයන්ගේ (කෙසෙල් ගෙඩි) මෙන්ම ප්‍රබන්ධයන් ගේ ද (මුදල්) ඉතිහාසයක් වේ. හරාරි ට අනුව ඉතිහාසය තුල  බොහෝවිට වඩාත්ම ප්‍රභල වී ඇත්තේ ප්‍රබන්ධයන් ය (ජර්මන් ජාතිකවාදය බඳු). ඔහු සඳහන් කරන්නේ විසි වන සියවසේ දේශපාලන බලය ලබා ගැනීමට හැකිවුවේ වඩාත්ම හොඳින් තම ප්‍රබන්ධ ය (කතාව = story) ගෙතීමට හැකියාව තිබූ කෙනාටය යන්න ය. ඒ වගේම වඩාත්ම හොඳින් තම ප්‍රබන්ධ ය අනෙකාට ඒත්තු ගැන්විය හැකිවූ කෙනාටය (ශරීර ශක්තිය තිබූ කෙනා බලය ලබා ගත්තේ චිම්පන්සි යුගයේ ය. නැත්නම් මිනිස් ශිෂ්ටාචාරයේ ප්‍රාථමික යුග වලය). එකම ගැටළුව නම් විසි වන සියවසේ මහා ආඛ්‍යාන වලට මේ සියවස තුළ මිනිසුන් ඒත්තු ගැන්වීමට නොහැකි වීමය. (ලියොතා හෝ හබමාස් කියන අයුරින් ඒවාගේ නෛතික බව අහෝසි වී තිබීමයි). එසේ නම් අප සිටින්නේ නව ප්‍රබන්ධයක් අවශ්‍ය වී සිටින විසි එක් වන සියවසේ ‘මානව ශිෂ්ටාචාරයක්’ (සමහර විට නමක් නැති විය හැක) අබියසය.         

හරාරි විසින් ගෙනහැර දක්වන අනෙක් කරුණ වන්නේ මිනිසාගේ දේශපාලන කේවල් කිරීමේ ශක්තිය (political bargaining power) දිනෙන් දින හීන වෙමින් පවතී යන්නය. එම බලය ක්‍රමානුකුලව පරිගණකය සහ කෘතීම බුද්ධිය (artificial intelligence) විසින් පැහැර ගනිමින් සිටින බව ඔහු ඉතාම වැදගත් ලෙස නිරීක්ෂණය කරයි. දහ නම වන සියවසේ මිනිස් ඉතිහාසයේ ගාමක බලය වුවේ නාගරික කම්කරු පන්තිය බව නිරීක්ෂණය කරන හරාරි ක්‍රමානුකුලව එම පන්තියේ දේශපාලන ශක්තිය යන්ත්‍ර සුත්‍ර වල ආගමනයත් සමග වෙනස් වූ බව පවසයි. කෘෂි කර්මාන්තය තුළ සිදුවූ යාන්ත්‍රිකකරණය තුළින් අමෙරිකාවේ කෘෂි කම්කරුවන් සියයට හතළිහේ සිට සියයට දෙකක් දක්වා පහලට ගිය බව පෙන්වා දෙන ඔහු ඉතිහාසඥයෙක් ලෙස නිරීක්ෂණය කරන්නේ ඉහත බොහොමයක් ශ්‍රමිකයින් පෙරළා කාර්මික නිෂ්පාදනයෙන් සේවා ආර්ථිකය වෙතට විතැන් වූ බවයි. ඒ අනුව නාගරික කම්කරු සහ කෘෂි කම්කරු පංතිය නගරවල සේවා ආර්ථික ව්‍යුහයන් වෙතට පරිණාමය වීම සඳහා තමාව ම ප්‍රති නිපදවා ගැනීමට භාජනය විය  (reinvent themselves). බැංකු කරුවන්, මුල්‍ය උපදේශකයින්, රක්ෂණ නිලධාරීන්, සංචාරක මග පෙන්වන්නන්, රියදුරන් වැනි රැකියා සඳහා ඔවුන් නගර වෙත සංක්‍රමණය විය.

හරාරි පෙන්වා දෙන්නේ මේ යුගය වනවිට ඉහත සියලු රැකියා සඳහා තිබූ ඉඩකඩ මේ වනවිට පරිගණක සහ කෘතීම බුද්ධිය විසින් අත්පත් කර ගනිමින් ඇති බවයි (ලංකාවේ බස් කොන්දොස්තර වරුන් සිටියාට දියණු රටවල එසේ නැත). මෙහි ආසන්න උදාහරණය ලෙස ඔහු දක්වන්නේ රියදුරන් නොමැති රථ වාහන වල ආගමන යයි. නියමිත වමිතිකකරණය (bio-metrics) ඔස්සේ ගූගල් චන්ද්‍රිකා ආශ්‍රයෙන් ඉතාම නිවැරදිව මාර්ගයේ ගමන් කළ හැකි මෙම වාහන වලට මිනිස් දෝෂයන් විසින් සිදු කරන සියළු අනතුරු වලක්වා ගත හැකි බව පෙන්වා දෙයි (විනෝදය පාදක කරගත් පසු ගියදා හලාවත නයිනමඩමේ සිදුවූ අනතුර සිහිපත් කරන්න). ඒ අනුව මිලියන ගණනක ගේ රැකියා අහෝසි වීම තව දශක දෙකක කාලය පිළිබද ගැටළුවක් පමණක් බව ඔහු පෙන්වා දෙයි. අනතුරු නැත්නම් එවිට වාහන රක්ෂණ ක්ෂේත්‍රය ද අර්බුදයට යනු ඇත. මීළඟට ඔහු දකින අනතුර ඇත්තේ වෛද්‍ය වෘත්තීය ට ය. සාමාන්‍ය වෛද්‍යවරයෙකුට ලෝකයේ දිනපතා යාවක්කාලින වන වෛද්‍ය තොරතුරු ග්‍රහණය කර ගත නොහැක. බෙහෙත් ද්‍රව්‍ය ගැන තොරතුරැ ගැන දැන ගත නොහැක. නමුත් කෘතීම බුද්ධිය සහිත වෛද්‍යවරයෙක් ඔබගේ ස්මාර්ට් දුරකථනයේ බහා ගෙන ඔබ යන ඕනෑම තැනක රැගෙන යා හැකිය. එම සමාර්ට් වෛද්‍යවරයා ඔබ ගැන සියලු තොරතුරු සෑම මිනිත්තුවකම රැස්කරන අතර ඔබගේ සෑම ඉරියව්වක් ම නිතිපතා නිරීක්ෂණය කරයි. ඔබගේ රෝග ඉතිහාසය ගැන සාමාන්‍ය නොසැලකිලිමත් වෛද්‍යවරයකුට වඩා මතකයක් ඔබගේ ස්මාර්ට් වෙදැදුරා විසින් අත්පත් කරගනු ඇත. රෝග නිධානයන් ඔහු අන් කවරෙක්ටත් වඩා මතක තබා ගනු ඇත. කාලයත් සමඟ ම ඔහුගේ ගාස්තුව ද අඩුවනු ඇත. නූතනත්වය යනු තාර්කික බව නම් ඔබගේ ස්මාර්ට් වෛද්‍යවරයා ගේ සියයට සියයක් නිවැරදි රෝග විනිශ්චයට ඔබ සවන් නොදීම මේ යුගයේ මහත් ම මුග්ධ බව වනු ඇති බව හරාරි ගේ මතයයි. මේ අනුව ක්‍රමානුකුලව වෛද්‍ය වෘත්තීය ට ඇති කේවල් ශක්තිය මෙන්ම බස් රියදුරන් සතු කේවල් ශක්තියද තව දශක දෙකක් පමණ ඇතුලත වහාම හීන වනු ඇත. මන්ද ඔවුන් ගෙන් ආර්ථිකයට වන සේවය නිෂ්ප්‍රයෝජන වෙමින් යන බැවිණි. වෙනත් විදියකින් කිවහොත් දැවැන්ත බහු ජාතික සමාගමක් වන ගූගල් සමාගම සහ ටොයෝටා සමාගම එක්ව ගිවිසුම් ගතව රියදුරු රහිත කාර් නිපදවීම ඔස්සේ තව තවත් නිර්ධනයින් ලෙස කොන්ගත වීමට කුශලතා රහිත කම්කරුවන් (unskilled laborers) විශාල පිරිසක් මේ වන විටත් පොරොත්තුව ඇත යන්න මෙහි අරුතයි. හරාරි ට අනුව මෙම ශ්‍රමියකින් ගෙන් විශාල ප්‍රමාණයක් තව වසර විස්සක් වැනි කාලයකදී සම්පුර්ණයෙන් ම නව ලෝකයට නිෂ්ප්‍රයෝජන (completely unusable) ජන කොටසක් වනු ඇත. නූතනත්වය යනු කාර්යක්ෂම බව නම්, අනතුරු අවම කිරීම නම්, එවිට මිනිසුන් නැවත රියදුරන් ලෙස පත් කරන ලෙස කරන සමාජවාදී වෘත්තීය සමිති ඉල්ලීම සම්පුරන්යෙන් ම අතාර්කික වනු ඇත.  රැකියා අහිමි වීම නිසා අසරණ වන ඔවුන්ට කල යුත්තේ කුමක්ද යන්න ඊළඟට දේශපාලන අධිකාරිය විසින් විසඳා ගත යුතු තීරණාත්මක ප්‍රශ්නයක් වනු ඇත. අප සිතන හැටියට නම් ලංකාවේ කිසිම දක්ෂිණාංශික හෝ වාමාංශික පක්ෂයක් හෝ පුද්ගලයෙක් මේ ඉස්මතු වෙමින් පවතින ගෝලීය තාක්ෂණික ඉදිරි පිම්ම (technological leap forward) ගැන ප්‍රගතිශීලි අර්ථයෙන් දැනුවත් නැත. අද පරම්පරාව ‘අධ්‍යාපනය’ යනුවෙන් හදාරන දෙය තව දශකයකින් පමණ සිදුවන දැවැන්ත සමාජ විපර්යාසයන් සමග බද්ධ කල හැකිද යන්න අධ්‍යාපන ඇමතිවරයා සහ ඔහුගේ උපදේශකයින් ගැඹුරෙන් සොයා බැලිය යුතුය. අවම වශයෙන් චීනය සහ ඉන්දියාව මෙම නව සිලිකන් නිම්නයේ ශිෂ්ටාචාරයට තම තරුණ පරම්පරාව යම් පමණකින් හෝ හුරු කරමින් සිටී. අප තවම චිම්පන්සි යුගය පසු කරමින් සිටිමු. ඉදිරි දශක දෙක තුල සිදුවන ආර්ථික සහ සමාජීය විපර්යාසය තුල කිසිදු කේවල් කිරීමක් කිරීමට අපට නොහැකි වනු ඇත. 

හෛඩගර් විසින් අර්ථකතනය කල ‘දෙවියන් විසින් මෙළොවට විසිකළ මිනිසා’ පුර්ණ ලෙස කාබනික ලෝකය සමඟ අනන්‍ය වුවද කාබනික නොවන යමක් විසින් ඔහුව නැවත දෙවියන් වෙත ආත්මීය වශයෙන් නැඹුරු කර තිබුණි. නමුත් ජේසුන් ගේ කුරුසියේ වේදනාව ඔස්සේ මිනිසා අවබෝධ කර ගත්තේ තමා ගලවා ගැනීම පිණිස නැවත තම පියාණන් කිසි දිනක නොඑන බවයි. ඒ අවබෝධය වනාහි මිනිස් ශිෂ්ටාචාරය ලද ගැඹුරු ම අවබෝධයකි. ඉදින් මිනිසා සදහටම මැවුම්කාර සහ ගැලවුම්කාර පියෙක් ගෙන් නිදහස් විය. මේ මිනිස් ශිෂ්ටාචාරයේ වැදගත්ම සද්භාවී හැරවුමයි (ontological turn). මිනිසා විසින් මේ නිමේෂයෙන් පසු කාබනික නොවන පැවැත්මකින් නිදහස් විය. ගැලවීමට අන් මඟක් නොවන හෙයින් කාබනික ලෝකයේ තමා මෙන්ම විගලිත වූ තවත් මිනිසුන් සමඟ සමස්වර විය (harmony). කොමියුනිස්ට් අදහස වඩාත් අර්ථවත් විය. හෛඩගර් ගේ මෙම ‘විසන්ධි වීම නම් අදහස’ (out-of-joint situation) අද වනවිට නව ස්වරූපයක් ගනිමින් සිටින බව හරාරි ගේ මතයයි. එසේ වීමට හේතුව නම් කාබනික මිනිසා වෙනුවට නැවතත් අකාබනික මානව ශිෂ්ටාචාරයක් මේ වනවිට සිලිකන් නිම්නයෙන් ඉස්මතු වෙමින් පැවතීමයි. කෘතීම බුද්ධිය සහිත මේ නව මිනිසා යනු කාබනික ද්‍රව්‍යමය තත්වයන් ඉක්මවා ගිය යම් අමරණීයයත්වයක් අත්පත් කර ගනිමින් සිටින ජීවියෙක් බව හරාරි පවසයි. අපගේ කාබනික ශරීරය සෑම විටම මහළු වෙමින්, දිරාපත් වෙමින්, කුණු කෙළ හොටු පෙරමින්, ක්ෂය වෙමින්, අවසානයේ මරණය වැළඳ ගන්නා නමුත් (බුදුන් වහන්සේ ‘දුක’ යනුවෙන් පැවසු දෙය) මෙම අකාබනික මිනිසා තම ශරීර කොටස් නැවත නැවත යාවක්කාලීන කර ගනිමින් තම බුද්ධිය වේගයෙන් යාවක්කාලීන කර ගනිමින් තම පැවැත්ම අමරණීය කර ගනිමින් සිටියි. ඊටත් අමතරව තමා නිෂ්පාදනය කල මිනිසාටත් වඩා බුද්ධිමත් බවක්, තාර්කික බවක්, කාර්යක්ෂම බවක්, අත්පත් කර ගනිමින් මිනිසා ක්‍රමානුකූලව විතැන් කරමින් තම ආධිපත්‍ය පතුරවමින් සිටී යන්න හරාරි ගේ නිරීක්ෂණ යයි. මේ සඳහා ඉදිරිපත් ව සිටින්නේ ලෝකයේ ප්‍රභල ම බහු ජාතික සමාගම් කිහිපයකි. අප මිනිස් ඉතිහාසයේ චිම්පන්සින් ගෙන් විතැන් වී (ඔවුන් කූඩු වලට දමා) වියුක්ත චින්තනය පදනම් කර ගනිමින් අලුත් ලෝකයක් (නලින් ගේ ලෝකය නොව) නිර්මාණය කළේ කෙසේද එසේම මේ නව කෘතීම බුද්ධිය විසින් අපව චිම්පන්සින් මට්ටමට පත් කිරීමට ඇත්තේ තව දශක දෙකක පමණ කාලයක ප්‍රශ්නයක් පමණක් බව හරාරි පෙන්වා දෙයි. කෙසේ වුවද තම පැවැත්ම පිණිස මේ නිර්මාණශීලි කෘතීම බුද්ධිය අබියස මිනිසාට තමාව නැවත නිර්මාණය කර ගැනීමට සිදුවේ (ඩාවිනියානු අර්ථයෙන්). නැත්නම් වඳවී යෑමේ තර්ජනයට මුහුණ පෑමට සිදුවේ. එසේ ‘නැවත තමාව නිර්මාණය කර ගැනීම’ කිරීම වනාහී දියුණු ලෝකයේ දරුවන්ට පවා මේ වනවිට කළ නොහැකි දෙයකි. ඉදිරි දශක දෙක ඇතුලත කුමන රැකියාවක් වෙනුවෙන් තම දරුවන්ට ඉගැන්විය යුතුද යන්න අද දවසේ දියුණු ලෝකයේ දෙමව්පියන් ගේ ප්‍රධාන ගැටළුවකි. කුමක් ඉගැන්වුවද මේ කෘතීම බුද්ධිය විසින් ඒ සෑම දෙයක්ම තම මතකය තුලට යාවක්කාලින කර ගනී. ඉන්පසු ඔහු එය අපටත් වඩා හොඳින් කරයි. ඇතැම් විට එම දියුණු ජීවියා විසින් ම තමා කුමක් කළ යුතු ද නොකළ යුතු ද යන්න පවා විසඳා ගනු ඇත යන්න හරාරි ගේ මතයයි (ස්වඡන්දතාවය පිළිබද නූතන අදහස අහෝසි වීම). ‘අතෘප්තිය’ මිනිස් පරිණාමයේ මේ දක්වා වූ ගාමක බලය ලෙස හඳුනාගන්නා හරාරි මේ නව ‘මිනිසා’ (තවම වචනයක් නැත) විසින් ඇතැම් විට එම තත්වය ඉක්මවා යනු ඇති බවට මත පළ කරයි. එනම් ‘දුක’ (දුක්ඛ සත්‍යය) යන්න නොදන්නා ‘මිනිසෙක්’ (ජීවියෙක්) අපගේ ශිෂ්ටාචාරයට පසු ශිෂ්ටාචාරය විසින් නිපදවනු ඇත (මන්ද අප ජීවිත කාලය පුරා දුක දන්නා බැවින් සහ එය දිනපතා යථාර්තයේ අත්දකින බැවින් අප විසින් නිපදවන මෙම සුවිශේෂ නිර්මාණය වෙත අප අපේ දුක ප්‍රක්ෂේපනය නොකරන බැවින්). අතෘප්තිය වෙනුවට තෘප්තිය සොයා මේ දක්වා මිනිසුන් ජීවිත පරිත්‍යාගයෙන් කල අරගල වල ඉතිහාසය එසේනම් මේ නව යුගයේ අවසන් වනු ඇත. 

Mahesh Hapugoda

කියවීම්:

 

Harari, Y. N. (2014). Sapiens: A Brief History of Humankind. New York. Harper Collins.

Harari, Y. N. (2015). Why Humans Run the World?. TED You Tube Video. https://www.youtube.com/watch?

Zizek, S. (2017). Only a suffering God can save us. in Lacan.com.  http://www.lacan.com/zizmarqueemoon.html

ඔබේ අදහස කියන්න...