වරායේ රස්සාව කරන ගමන් විනෝදයට ‘අව්‍යාජ ආහාරපාන’ විචාරය කිරීම බණ්ඩා නම් youtuber ගේ රාජකාරියයි. ඔහුගේ youtube තේමාව මෙසේ ය. “අද නම්  නැති වෙන්න කන්නයි යන්නෙ”. මෑත දිනකදී ආර්. ප්‍රේමදාස මහතා ජනතාවාදයේ කෙළවරට ගොස් මියගිය ආමර් වීදිය හන්දියට ආසන්න තැනක පිහිටි ‘The Biriyani’  නම් ඉන්දීය බිරියානි අවන්හලකට ගොඩ වන්නේ “හයිද්‍රාබාදි-ඩම්-කච්චි-චිකන් බුරියානි” එකක් අනුභව කිරීමට ය. 90 දශකයේ ‘අපි නොදන්න live’ සිහිකරමින් බණ්ඩා ආහාර පිසින තැනට ම ගමන් කරයි. අව්‍යාජ වීම යනු පාරදෘශ්‍යකරණය යි. ‘The Hilton’ හෝටලයේ ‘The Spoon’ නම් නිල් පැහැති අවන්හල තුළ ආහාර පිසීමේ පාරදෘශ්‍යකරණය නැරඹිය හැකි ය. පාරදෘශ්‍යකරණය මධ්‍යම පංතියේ විලාසිතාවකි. එහි නාභිය ස්ත්‍රී බුරිය යි.

 

             90 දශකයේ අග ‘TLC’  චැනලයේ ආහාර විචාර නොදැන  අනුකරණය කරන බණ්ඩා Authentic Biryani අනුභව කිරීමට අවශ්‍ය නම් ආමර් වීදිය හන්දියට යන්න යැයි අපට ආරාධනය කරයි. අව්‍යාජ බිරියානි, අව්‍යාජ කොත්තු, අව්‍යාජ අරක්කු, අව්‍යාජ බිත්තර රොටි, ගෝලීය උණුසුම නූතන ධනවාදය තුළ අපට අවශ්‍ය වන්නේ ඇයි ?  මෙම අව්‍යාජත්වය භුංජනය කිරීමට අවස්ථාව උදා වූ පිරිසට ඉන් පසු උදා වන්නේ කුමන තත්වයක්ද ? ලංකාවේ අතීත කලාකරුවන් අව්‍යාජ කලා නිර්මාණ ඉදිරිපත් කරන විට ඔවුන් සිට ගන්නේ වෙළඳ පොළට එරෙහිව ය. උදාහරණයක් ලෙස කපුගේ විසින් ගායනා කළ ගීත අව්‍යාජ වූයේ ඒවා ධනවාදී සංස්කෘතියට එරෙහි නිසා ය.

              ඉතිහාසයේ යම් මොහොතකට පසු කෙනෙකුට අව්‍යාජ වීමට අවශ්‍ය වූ විගස ඒ තැනැත්තා ප්‍රාග්ධනයේ තර්කනය විසින් අවශෝෂණය කරගනියි. දයලෙක්තිකය යනු  යමක හරය තුළ ම ඇති එහි පරස්පරය හඳුනා ගැනීමයි. දයලෙක්තික භෞතිකවාදය යනු මෙම න්‍යායික අදහස සංස්කෘතිය තුළ සංස්ලේෂණය කිරීමයි. මෙම සංස්ලේෂණය කරන විට එකිනෙකට පටහැනි සේ පෙනෙන දේවල් තුළ සාම්‍යය දෘශ්‍යමාන වෙයි.

 

 ජවිපෙ රැඩිකල් සංස්කෘතික පරිසරයේ පලතුරක් වූ විමල් කැටපේආරච්චි සහ ‘වස්ති’ Youtuber වූ අනුෂ්ක අතර කිසිදු සාම්‍යයක් යථාර්ථයේ දී අපට හමු නොවේ. නමුත් අපට යථාර්ථය මඟහැර ෆැන්ටසිය නම් කාල අවකාශයට ගමන් කරන ඔවුන් දෙදෙනා අතර සාම්‍යය වටහා ගැනීමට හැකි ය.  ෆැන්ටසිය ආඛ්‍යානගත කරන්නේ දෛනික සමාජ හෝ පවුල් ජීවිතයේ අතෘප්තිය යි. අප අවට පවතින යථාර්ථය අවුල්-වියවුල් කරන ‘සත්‍යය’ අපට යළි සම්මුඛ කරවන්නේ ෆැන්ටසියයි. පසුගිය දිනෙක පැවැති බේකරිය සංගීත ප්‍රසංගය අප කිහිප දෙනෙක් නරඹමින් සිටියදී එක්වරම එතැනට කඩා වැදුණු ප්‍රාසාංගික නර්තන ශිල්පිනියක් (සාමය යෝජනා කරන ?) එක්වරම තම ඇඳුම උස්සා තම අර්ධ නිරුවත් ශරීරය අපට ප්‍රදර්ශනය කළාය. ඇය අපගේ දෛනික සමාජ පුද්ගලික ජීවිතයේ නුරැස්නාව මොහොතකට විනාශ කළා ය. එය ඒ මොහොතේ අපට කොකේන් වලට වඩා කාර්යක්ශම එන්නතක් විය. මාධවගේ ‘ස්කිට්සෝ’ හීනමාන සංගීත ස්වරය කඩාබිඳ අප වෙතට අපගේම ආශාව ඇතුළු වූයේ ඇගේ නිරුවත හරහා ය. හදිසි නිරුවත වාණිජකරණයේ විකාර නිරුවතට වඩා දේශපාලනිකය. 2004 ව්‍යාජ Woodstock -Woodstock was a music festival held on a dairy farm in the Catskill Mountains, northwest of New York City, between August 15–18, 1969, which attracted an audience of more than 400,000- නර්තනයට වඩා මෙම නිරුවත හිපිකාරකය.

 පිරිමින්ට පරිපූර්ණ විනෝදය  මනෝභ්‍රාන්තිකය. එය ඔවුන් තුළ  ව්‍යූහගත වී ඇත්තේ සහ ඊට එරෙහිව පිරිමි අහම- Ego- සකස් වී ඇත්තේ ද අපූර්ව ආකාරයකට ය. පුරුෂ උභතෝකෝටිකය මෙසේ සූත්‍රගත කළ හැකි ය.” ආසයි නමුත් බයයි”. ඒ නිසා පුරුෂ ෆැන්ටසිය සැබෑ වීමට නොහැකි ය. අර ප්‍රාසාංගික නිළිය තම අර්ධ නිරුවත පෙන්වන තුරු පිරිමි අප සියලු දෙනා ෆැන්ටසිකරණය කරමින් සිටියේ භාවශෝධක රැඩිකල් සංගීතයක් නො වේ.අප බලාපොරොත්තුවෙන් සිටියේම ස්ත්‍රී නිරුවතකි. එය ඇස් ඉදිරිපිට සනාථ වූ වහාම අපට අප ගැනම ඇති වන්නේ පිළිකුලකි. අපගේ ආශාව අපටම සම්මුඛ වීම සිදුවිය නොහැක්කකි.(Impossible) .එබැවින් වරද පැටවීමට දැන් අනෙකෙක් සිටියි. ඒ නන්නාදුනන ඇයයි. ඇය හිස්ටරිකය. ඇය විපරිත නැත.  ඇය අපගේ ආශාව කුල්මත් කළා මිස එය තෘප්තිමත් කළේ නැත. ඇය අතෘප්තියේ දෙවඟනයි. ඒ නිසා ෆැන්ටසිය යථාර්තය තුළදී අවසන් මොහොතේදී විකර්ෂණය මුසු කරයි. ඩේවිඩ් ලින්ච්ගේ Fire walk with me (මා සමඟ ගමන් කරන ගින්දර) චිත්‍රපටය විසින් එහි කතා නායිකාව වන ලෝරා පාමර්ගේ ආශාව හඳුන්වාදෙන සූත්‍රය ඔබට මතකද? අප ඇයට මහත්සේ චිත්‍රපටය පුරාවටම ආශා කරයි. නමුත් ඇගේ මධ්‍යය තුළ ඇත්තේ හිස් බව මිස අන් යමක්ද ? එක් අන්තයක සිට ‍ප්‍රතිවිරුද්ධ අන්තයට ගමන් ඇරඹිය හැක්කේ මෙම ශුන්‍ය මධ්‍යය පසු කරමින් ය. එය චින්තනයේ රැඩිකල් දයලෙක්තිකය නොවේද ?

                කැටපේආරච්චි දේශපාලනයෙන් සමුගෙන අව්‍යාජ වීම සඳහා තෝරාගෙන ඇත්තේ සංස්කෘතිය නම් අඩවියයි. ජනප්‍රිය සංස්කෘති මධ්‍යය තුළ ඇත්තේ හිස් බවකි. කැටපේආරච්චි මධ්‍යම පන්තියේ සංස්කෘතික සාරධර්ම හරහා අව්‍යාජ වන විට ‘වස්ති’ youtuber වන අනුෂ්ක  Audi Q2 භෞතික වස්තුවක් හරහා අව්‍යාජ වෙයි.

                    අව්‍යාජකරණයේ ආකෘති දෙකක් හෝ යුග දෙකක් ලෙස වස්ති අනුෂ්ක සහ ජවිපෙ කැටපේආරච්චි සලකා බැලීමට හැකි ද ? තත්ත්වය සංකීර්ණය. කපුගේ යුගයේදී අව්‍යාජ කලා නිෂ්පාදන ක්‍රියාවලිය පිහිටියේ ප්‍රාග්ධනයට එරෙහිව ය. නමුත් ගෝලීයකරණයට එන විට අව්‍යාජ කලා නිෂ්පාදන යන සිද්ධාන්තය ඇත්තේ ප්‍රාග්ධනය පැත්තේය.  ෆැන්ටසිය ඇත්තේ යථාර්ථය පැත්තේ මිස මුලාව පැත්තේ නොවන පරිදි සමකාලීන යුගයේ අව්‍යාජත්වය සහ අව්‍යාජ කලා නිර්මාණ ඇත්තේ ද දේශපාලනය පැත්තේ නොව ප්‍රාග්ධනය පැත්තේය.

                        ‘වස්ති’ අනුෂ්ක තමන්ගේ විනෝදය වූ Audi මෝටර් රථය ලැජ්ජාවකින් තොරව ( කිසිදු අතීත කාමයකින් තොරව) අපට පෙන්වන්නේත් , කැටපේ අපට ඔහුගේ විනෝදය සගවන්නේත් මේ නිසාය. මේ නව තත්වාරෝපිතය තුළ බණ්ඩාගේ අව්‍යාජ බිරියානි සේම කැටපේගේ හෝ වෙන කාගේ හෝ අව්‍යාජත්වය යනු ද ධනවාදී ෆැන්ටසියකි.(Ideology). ධනවාදී සංස්කෘතියට එරෙහි වීම යනු අපගේ යුගයේ දී බොරුකාරයෙක් (Jocker – Dark knight පරිදි) වීම ය. එය රැඩිකල් පිපිරවීම කි. අව්‍යාජ වීම වෙනුවට වෙස් මුහුණක් රහිතව ජීවත් වීමට හැකි නම් එය දේශපාලනික ය. සුදර්ශන ගුණවර්ධනට එරෙහිව යමින් අපි උපනිෂදය මෙලෙසින්  උපුටා දක්වන්නෙමු.

            “ප්‍රබුද්ධයාට ස්වාත්මය හැර අන් සියල්ල හිස් ය. මෙන්න මේ අනේකත්වය දන්නා කෙනාට කුමන විඳවීමක් ද ? කුමන මනෝභ්‍රාන්තිකයක්ද?”

                      ඔබේ අඳුරට ඔබ බිය නොවන්න!  එම අඳුර සඳහා ස්ත්‍රීයකට හෝ වෙනත් අනෙකෙකුට ශාප නොකරන්න!  ඒ අඳුරේ අයිතිකාරයා ඔබ මිස අනෙකා නොවේ.

Sri Lanka Vanguard Party

ඔබේ අදහස කියන්න...