ජනප‍්‍රිය ලතින් ඇමෙරිකානු ගායකයකු වන එන්රික් ඉග්ලෙසියස් විසින් කොළඹ පවත්වන ලද ප‍්‍රසංගය අරබයා දෙසැම්බර් 27 වන දා අම්පාර නගරයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රකාශ කරන ලද අදහස් සමාජ ජාල සංස්කෘතිය තුළ දැඩි ලෙස විවේචනයට බඳුන්වී ඇත. සිරිසේන මහතාගේ අදහස මෙසේ සාරාංශ ගත කළ හැකිය.

‘‘මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධානය කරන අයට මඩුවලිගයෙන් තැළිය යුතුය.“

අප කලින්ද ප‍්‍රකාශ කළ පරිදි මෙවැනි ප‍්‍රසංගවල සිදුවීම් යනු කලින් පටිගත කළ ඒවාය. උදාහරණයක් ලෙස මෙවැනි ප‍්‍රසංග වලදී ශරීරයේ රහස් තැන් වසාදමන පාර්ශ්වීය යටඇඳුම් වේදිකාවට විසිකිරීම සංවිධානය කරන්නේ එම සංවිධාකයන්මය. ඒවා කිරීමට තෝරාගන්නා නළු නිළියන් යනු ප්‍රසංගයන්ට සහභාගී වන අහඹු පේ‍්‍රක්ෂකයන් නොවේ. ඔවුන්ව තෝරාගන්නේ සංවිධායකයන් විසින්ය. මෙයට අපට මෙසේ කිව හැකිය. සංවිධායකයන් පේ‍්‍රක්ෂකයන් කුල්මත් කිරීමට යථාර්ථය පවා වේෂනිරූපණය කරනවා. ඔබගේ හැඟීම්, ප‍්‍රතිචාර පවා ප‍්‍රසංග තුළට ඇතුළු කිරීමට සංවිධායකයන් උත්සාහ කරනවා. එබැවින් ඔබ දකින ප‍්‍රසංගය පැවැත්වෙන අතරතුර ඔබට සිදුවන්නේ අධික ලෙස නිශ්ක‍්‍රීය වීමටය. පැරණි ප‍්‍රසංග කලාව තුළ ඔබ අධික ලෙස කි‍්‍රයාකාරී විය යුතු නම් පශ්චාත් – නුතන ප‍්‍රසංග කලාව තුළ දී ඔබ නිශ්ක‍්‍රීය පුද්ගලයෙකි. රසවින්දනය පමණක් නොව ඔබ සංගීතයට දක්වන ප‍්‍රතිචාරද කලින්ම ටින්ගත කර ඇත. ගැටලූව වන්නේ නූතන ගෝලීය ධනවාදී පශ්චාත් – නූතන සංස්කෘතිය ගැන අවබෝධයක් ජනාධිපතිවරයාට නොමැතිවීම නොවේ.  ඔහු සැබැවින්ම පශ්චාත් – නූතන ජනාධිපතිවරයෙකි.

පශ්චාත් – නූතන යනු වචනාර්ථයෙන්ම නූතනත්වයට පසු යන අර්ථයයි. එහි සරළ අදහස වන්නේ සමාජය තුළ ඇතිවන විවිධ පසමිතුරුභාවයන්ට (පන්ති, ජාති, කුල, ප‍්‍රදේශ, ලිංගිකවෙනස්කම්) පිළිතුර ඇත්තේ අතීතයේ බවට වූ හැඟීමයි. අපට මේ ධනවාදී සමාජය තුළ ප‍්‍රශ්න මිස පිළිතුරු නැත්තේ අතීතයේ සෞභ්‍යාග්‍යමත්ව පැවති සමාජය මේ වනවිට එහි පරමාදර්ශ (Ideals) අතහැර දැමීම නිසාය. පෙරළා අප එම පරමාදර්ශ වැලදගත් විට මේ පවතින නිස්සාර ජීවිතය නිර්මල කරගත හැකිය. ජනාධිපතිතුමාගේ ප‍්‍රතිචාරය තුළ ද ගැබ්ව ඇත්තේ එම අදහසයි. එතැනදී සරදමකට මෙන් ඔහුට ද ප‍්‍රතිකි‍්‍රයා කිරීමට සිදුවී ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මෙනි. ඉදිරියට ඒමට නියමිත ඡන්දවලදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විකල්ප බලවේගයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් සිරිසේන මහතා බහුතරයක් සිංහල – බෞද්ධ ජනයාගේ ආකර්ෂණය දිනාගත යුතුය. එසේ කිරීමට තම උපදේශකයන් දෙන උපදේශය වන්නේ මෙවැනි ජනපි‍්‍රය වැඩකරන්න ! යන්නය. ජනාධිපතිවරයාගේ උපදේශකයන් අනුමාණ කරන්නේ මෙවැනි ජනප‍්‍රිය සිදුවීම් හරහා ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපය ඉහළ දැමිය හැකි බවයි. අතීතයට ඇති නව භක්තිය (පශ්චාත් – නූතනත්වය) පෙන්නුම් කිරීම මේ යුගයේ ජනප‍්‍රිය සංස්කෘතිය තුළ මුඛ්‍ය අංගයකි.

අප 90 දශකය මැදවන විට ඉතාම චූල මට්ටමින් කුඩා වාරික සඟරා,ලිපි – ලේඛන මඟින් ප‍්‍රකාශයට පත් කළේ එළඹෙන්නට නියමිත අලූත් ධනවාදීතත්ත්වය – එනම් පශ්චාත් – නූතනවාදය, ධනවාදයේ සමකාලීන සංස්කෘතික තර්කනය – පශ්චාත් – නූතනත්වය බවයි. එකල අපට බොහෝ වාමාංශිකයන් නින්ද්‍රා කරමින් ප‍්‍රකාශ කළේ‘ ඕවා ඔබලාගේ බටහිර ගැති න්‍යාය බවයි. නමුත් මේ වනවිට රටේ ජනාධිපතිවරයාටත්, සියලූම දේශපාලන පක්ෂවලටත්  (වම/ දකුණ භේදය නොතකා) පශ්චාත් – නූතන ආකාරයට කි‍්‍රයා කිරීමට බලකෙරී ඇත.

එන්රික් ඉග්ලෙසියස්ට ‘යථාර්ථය’ නම් වියමන ඔස්සේ කිසිදු අර්ථාන්විත සම්බන්ධයක් නැති කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ කි‍්‍රස්තුමය විටින් විට ප‍්‍රාදුර්භූත වීමේ මාධ්‍ය නිමේෂ අක‍්‍රමවත්ව අධ්‍යයනය කරමු. විවාදයකින් තොරව විටින් විට මාංචුලාගෙන කුමාර් සහෝදරයා උසාවියේ පෙනී සිටින ආකාරයේ විවිධ ඡායාරූප සමාජ ජාල තුළ, විවිධ වෙබ් අඩවි තුළ, විවිධ මාධ්‍ය තුළ සංසරණය වෙයි. අර්ථයකින් තොරව, මාධ්‍යයකින් තොරව සැරිසරණ මෙම ඡායාරූප ( විද්‍යුත් ඉලෙක්ට්‍රොනික ලෙස කිවහොත් Data Bite මඟින් විචලනය වන සමාජ සම්බන්ධය කුමක්ද ? එන්රික්ගේ ප‍්‍රසංග සඳහා විනෝද වන්න ! යන පසුධනවාදී තර්කය හරහා ඇතුළු වන සාමාන්‍ය පේ‍්‍රක්ෂකයා සැබැවින්ම සිටින්නේ නිශ්ක‍්‍රීයවය. එන්රික් කරන්නේ මේ උපාසක පේ‍්‍රක්ෂකයාගේ රහස් සැඟවුණු අශ්ලීල හැඟීම් වේදිකාව මත උද්දීපනය කිරීමයි. ස්ව – උල්ලංඝනය, එනම් කාටත් රහසින් තමන්ටම ආවේණික අව්‍යාජ ආකාරයකට විනෝද වීමට කවුද අකැමැති? එන්රික් කරන්නේ ඔබ දන්නා දෙයක්. (රහසින් අශ්ලීලව විනෝදවීම) සමාජය ඉදිරිපිට නොදන්නා දෙයක් බවට පරිවර්තනය කර ඉන් ඔබට විනෝද වීමට සැලැස්වීමයි.

පැරණි වාමාංශික පරමාදර්ශ මඟින් ප‍්‍රකට වූයේ කුමන විනෝදයක්ද? NM වාසු – බාහු, විජේවීර මාංචු දමාගෙන සිටින විට අප ඔවුන්ට අවිඥානකව ආශා කරන්නේ ඔවුන් ධනේශ්වර නීතිය උල්ලංඝනය කර අප නොලබන ධනවාදයට එපිටින් වූ විනෝදය සහතික කරන නිසාය. නමුත් සමකාලීන ධනවාදය තුළ දෛනික ජීවිතය පවා ස්වඋල්ලංඝණයක් වූ සමයක (අඳුරු අවන්හලක මධුවිතින් සප්පායම් වීම පවා මෙකල දේශපාලන සාධකයකි. එය අතීතයේ දී සුනිල් මාධව හරහා සත්‍යවාදී අත්දැකීමක් විය)
අප බොහෝ දෙනෙක් මාංචු දමාගත් කුමාර් සහෝදරයාට අවිඥානිකව බැඳෙන්නේ ඇයි? පරස්පරයකින් තොරව කෙනෙකුට කුමාර් සහෝදරයාගේ පෙනීසිටීම අතීත වාමාංශික විනෝදයට (ධනවාදය ඉක්මවූ විනෝදය = සමාජවාදය?) ගැටගැසිය හැකිය. නමුත් අපට වටහා ගැනීමට දුෂ්කර දෘෂ්‍යමානය කුමක්ද? කුමාර් මහත්තයාගේ මෙම පෙනීසිටීමේ පාරභෞතිකය මඟින් හඬනංවන සීනු නාදය සංකේතවත්කරන්නේ‘පැරණි වමේ වත්පිළිවෙත් මිස සමකාලීන ගෝලීය ධනවාදයේ සැබෑප‍්‍රතිවිරෝධයන් නොවේ.

වරක් අපගේ පක්ෂ පාසලේඅධ්‍යයන කටයුතු සඳහා පැමිණි ශිෂ්‍යයෙක් මගෙන් අපූර්ව ප‍්‍රශ්නයක්, සිය සටකපට විඥානය හරහා සරදම් ලෙස මෙසේ ඇසුවේය.
‘සහෝදරය මම දැක්ක අර සහෝදරියක් පක්ෂ උද්‍යානයේ සිටින ඉබ්බව නාවනවා. මේව බලන්න  ද සිද්ධවෙන්නෙ ? ’’

අලූත් දේවල් ගවේෂණය කිරීමට පැමිණෙන මුත් විතණ්ඩවාදී තම මනස හරහා පැරණි දෙයට ඇති අනුරාගය ඉහත උදාහරණයෙන් විද්‍යාමාන වෙයි. නාන්න යන මිනිසෙකුගෙන් ‘නාන්නද යන්නෙ?’ යනුවෙන් විනීත ප‍්‍රශ්න අහන සහ උත්තර ඇති සමාජයක අලූත් දේවල් ගැන සිතන්නේ කෙසේද?

ඉබ්බකු නෑවීම, නානා – කාමර සහ වැසිකිළි පිරිසිදු කිරීම, ඊළඟ වාරයේදී වැරදි අඩුවෙන් කරන්නේ කෙසේද යන සාකච්ඡා,  පරමාදර්ශී වාමාංශික යුවළක් පක්ෂයට පරමාදර්ශයක් සේ නිපදවන්නේ කෙසේද ආදීමෙකීනොකී – වත් – පිළිවෙත් යනු සමකාලීන යුගයේ ධනවාදයේ සැබෑ පසමිතුරුතා මඟහැරීමට යත්නදරනඕනෑම වාමාංශික සංවිධානයකට මුහුණදීමට සිදුවන ප‍්‍රදිපාගාරය. සරලව කිවහොත් වාමාංශික දෘෂ්ටිවාදයක් වැළඳගන්නා මිනිසෙක් ඒ සඳහා කැපවෙනවා යනු චාරිත‍්‍ර – වාරිත‍්‍ර, වත්පිළිවෙත්පෙළකට අවිඥානකවඇබ්බැහිවීමකි. ඉබ්බකු නෑවීම සේම ඒ ගැන ප‍්‍රශ්න කිරීමද අවිඥානික ඇබ්බැහියකි.

දේශපාලනයේ අලූත් ගැටලූවට අපට ප‍්‍රවිශ්ට වීමේ හැකියාව දැන් ඇත.

එ ක පැත්තකින් ලිබරල් ධනවාදයේ ස්ව – උල්ලංඝනය ඇත.  මහා අනෙකාට හොරෙන් ඔබට විනෝද වීමට ඕනෑ තරම් ඉඩ ප‍්‍රස්ථා ඇත. මෑතකදී විද්‍යුත් තැපෑල හරහා සංසරණය වන ලිපියක ඇති ඡායාරූපයක පාක්‍යසෝති – සරවනමුත්තු මහතා ස්ත‍්‍රියක සමඟ නර්තනයේ යෙදෙයි. ඔහුගේ විනෝදය පවා සමාජයේ විනෝද සංසරණ පද්ධතියට ඇතුළු වී ඇත. අනෙක් පසින් පශ්චාත් – නූතන වාමාංශික දේශපාලනය ස්වයං – තහනම යෝජනා කරමින් සිටියි. එන්රික් අපට විනෝදවන්න ! යනුවෙන් අණකරන විට කුමාර් මහත්තයා විනෝදවීම තහනම් කිරීමේ නියෝගය රැගෙන එයි. එය අලූත් විනෝදයකි. මෙම විනෝදයේ සුවිශේෂය වන්නේ ධනවාදයට එරෙහි විනෝදය පවා ධනවාදයේම නිෂ්පාදනයක් යන්නය. කුමාර් මහත්තයාගේ මාංචු දමාගත් ඡායාරූප ප‍්‍රාග්ධනයක් සේ මාධ්‍ය අවකාශවල අවසානයකින් තොරව සංසරණය වෙයි. එන්රික්ගේ විනෝදය සහ කුමාර් මහත්තයාගේ විනෝදය අතර පවතින සමානාත්මතාවය කුමක්ද? මෙම ප‍්‍රතිරූප දෙකම අපට යෝජනා කරන්නේ සංකල්පීය දෙයක්නොව ලූබ්ධිමය දෙයකි. එනම් ලිංගික රසයකි.

නූතන ගෝලීය ධනවාදී සමාජයේ අපට හමුවන සැබෑවෙන් – Real- එනම් විවිධ අවිනිශ්චිත භාවයන්, වාර්ගික සතුරාගේ වියරු සිනහව, මිලියන් ගණනකගේ ජීවිතය පරදුවට තබන ස්වාභාවික විපත්, ඇති – නැති පරතරය ප‍්‍රසාරණය වීම, අපරාධ, වාහන තදබදය, දිනෙන් දින වැඩිවන ජීවන වියදම, ගොවීන්ගේ ගැටලූව, වෘත්තීය සමිතිවල විවිධ ඉල්ලීම් – ගැලවීමට අපට විවිධාකාරයේ දෘෂ්ටිවාද [Ideologies] මානසිකව අවශ්‍යය. අප ජීවත් වන ධනවාදී කටුකත්වයෙන් ගැලවී පලායාමට මේ යුගයේ ඇති හොඳම සමාජ යථාර්ථයක් වන්නේ මත්පැන්, මත්ද්‍රව්‍ය, ලිංගිකත්වය ආශ‍්‍රිත සංගීතයයි. සංගීතය සමකාලීන යුගයේදී රසවින්දනයෙන් දෘෂ්ටිවාදයට පොළාපැන ඇත

.
එන්රික් බඳා වැලදගත් තරුණිය යනු මෙම දෘෂ්ටිවාදී නින්දෙන් අපව ඇහැරවන සුරදූතියකි. ඉබ්බා නාවන අප පක්ෂයේ සහෝදරියක්, ගුවන් හමුදාපතිවරයාගේ දුවක්, පිරිමි අපගේ උත්කර්ෂවත් ෆැන්ටසි වස්තූන් වන්නේ අහම්බයකින් නොවේ. ස්ත‍්‍රීන්ට පමණක් කළ හැකි මෙම සදාචාර කි‍්‍රයාව පිරිමින්ට කළ නොහැකිය. එසේ කරන්නට උත්සාහ දරන ඕනෑම පිරිමියකුට සම්මුඛ වන්නේ නින්දාවයි.
Facebook වැනි විනෝද උද්‍යාන තුළ දී ජනාධිපතිවරයා නින්දාවට පත්වීම මේ අනුව අහම්බයක් නොවේ.
අලූත් ප‍්‍රශ්නවලට පරණ පිළිතුරු නොගැලපෙන බවට හොඳ සාක්ෂියක් ලෙස එන්රික්ගේ ප‍්‍රසංගයට අදාළව ඇතිවූ සංස්කෘතික කාලගෝට්ටිය සැලකිය හැකිය. එපරිදිම බිඳ දැමූ ආධිපත්‍යයන් වෙනුවට නව ආධිපත්‍යයන් පැරණි පාරවල්වල ගමන් නොකොට බිහිකිරීම ද පහසු නැත. විටින් විට මහින්ද රාජපක්ෂ යථාර්ථයෙන් මතුවන්නේ ද අහම්බයකින් නොවේ. මහජන සම්බන්ධීකාරකයන් ප‍්‍රචාරක ලේකම්වරු බවට පත්වීම මේ යුගයේදී භයානකය.

 

ඔබේ අදහස කියන්න...