හිතවත් ජයසිරි, මහේෂ්
 
ඉතා වැදගත් ලිපිපෙලක් සාර්ථකව අවසන් කීරීම ගැන මාගේ සිතුතිය පළමුව ඔබ දෙදෙනවෙත පිරිනමමි. මේ ලිපිය ලිවීමට හේතුව ඔබගේ ලිපි කිහිපයක ම එකඟ නොවන එකඟ වන දේ පිළිබඳව සාකච්චා කිරීමය.
 
මේ සඳහා පළමුව මා  තෝරාගත්තේ ජනවාරි 1 වනදා ලිපියයි.
 
මෙම ලිපියෙහි ඔබ පළමුව කියන “බටහිර පිස්සුකෙලිනවිට ඔවුන්ට එය හොඳය…” යන ප්‍රකාශයට මම සම්පුර්ණයෙන්ම එකඟ වෙමි. සිංහල බෞද්ධයාත් එවනිමය. අනිත් සාම වෙලාවකදීම ‘සුද්දාගේ’ ක්‍රිස්තියානිය, විද්‍යාව සහ දියුනුව හෙළාදකින ඔවුන් භාවනාව උත්කර්ෂයට නංවන පරීක්ෂණයක් හෝ බුදුදහම උත්කර්ෂයට නංවන ලිපියක් සුද්දෙකු (හෝ සුද්දියකු) ලිව්වොත් එය මහා ඉහලින් පිලිගන්නවා  පමණක් නොව එය බුදු දහමට ලැබුණු මහා අනර්ග සහතිකයක් ලෙස සලකති, ඒ ගැන දොරමඩලාව වැනි වැඩසටහන්වලදී පුරසාරම් දොඩති
 
කෙසේ නමුත් මෙහිදී ඔබ බටහිර “පිස්සු කෙලීම” හැටියට දකින නවතම උදාහරණය ට්‍රම්ප් ලෙස ගෙන එයට විරුද්ධව ‘අරගල’ කරන වීරයන් ලෙස සෑන්ඩර්ස්  සහ මෙර්කෙල් හැඳින්වීම තරමක් ගැටළු සහගතය. ඔබේම දෙස 25 වනදා ලිපියෙහි  සෑන්ඩර්ස් ඔබ හදුන්වන්නේ “ඇමෙරිකාවේ ජාතිකවාදය සඟවන්නට උරදුන්” කෙනෙක් හැටියටය. ඔබගේ ‘අභ්‍යන්තර සාකච්චාවකදී’ පවා සෑන්ඩර්ස් ගේ භූමිකාව නිවැරදිව අර්ථකථනය කරන මහේෂ් මෙතැනදී කියන කතාව පරස්පර විරෝධි නේද?
 
ඊළඟ ජෙදයේදී ඔබ කරන ප්‍රකාශය මා මේ ලිපි පෙලේ දුටු දුර්වලම ජෙදය ලෙස හඳුන්වමි, විශේෂයෙන් අවසන් කොටස එනම්: 
 
“…අපේ වටේ මුස්ලිම් දෙමල මිනිසුන් හිටියට…උන්ට බලය ලැබුනට අපි බයත් නැහැ…” මෙහිදී දෙමල මිනිසුන් කෙසේ වෙතත් මුස්ලිම් මිනිසුන් ගැන දෙවරක් සිතිය යුතු කාලය පැමිණ ඇති බව ඔබට නොවැටහීම කණගාටුවට මෙන්ම පුදුමයට කාරණයකි. මන්ද ජිජැක් පවා ඉතා මෑතකදී කරනලද සම්මුඛ සාකච්චවකිදී මොවුන්ගැන සක පහල කර ඇති නිසාය. ජිජැක් එහිදී කියන්නේ මේ සරණාගත ආගමනය පසුපස “ආගමික සහ දේශපාලනික ව්‍යාපෘතියක්” තිබිය හැකි බවය.
 
අද ජිවත්වන මුස්ලිම් ජාතිකයා “සියවස් ගණනක් අපිත් එක්ක හිටපු” මුස්ලිම් ජාතිකයා නොවනබව අකමැත්තෙන් හෝ අපට පිළිගැනීමට සිදුවී ඇති බව ඔබට නොතේරීම පුදුමයකි. අනිත් අතට සියවස් ගණනක් නොව මාගේ ජීවිතයේදී 70-90 දශක දෙක තුල මගෙත් ඒක හැදුනු වැඩුණු සහ මාගේ දෙමාපියන්ගේ මිතුරන් වූ මුස්ලිම් ජාතිකයින්ට වඩා අද ඔවුන් වෙනස්ය, ඒ මුස්ලිම් ජාතිකයින් පවා අදවනවිට හදුනාගැනීමට අපහසු පරිදි ‘රූපාන්තරණය’ වී ඇත. 
 
තත්වය මෙසේ තිබියෙදී ඔබ ඉහත චේදයේ කරන ප්‍රකාශය හරියට අර ඉංග්‍රීසි කියමනේ පරිදි “නුවණැතියන් පයගැසිමට බය තැන මෝඩයින් පිනුම්ගසති” වැනි දෙයක් බව ඉතා කණගාටුවෙන් නමුත් කිව යුතුය.
මෙය නිසැක වශයෙන්ම රැඩිකල් නිර්භීත කමක් නොව බොළඳ චන්ඩි කමකි.
පශ්චාත් නුතනවාදී මුසල්මානුවා කව්ද යන්න දීප්ති තනි වාක්‍යකින් ඉතා මැනවින් නිර්වවචනය කර තිබුනා මතකයි. එනම්: “මුසල්මානුවා  යනු මේ යුගයේ ඉතා කාර්යක්‍ෂම නරුමවාදියායි”
 
ඒ නිසා එවැනි උන්ට බලය ලැබුනා කියලා අපට වෙන මගුලකුත් නැති බව ඔබ දැනගත යුතුය. 
 
ඊළඟ ජේද දෙක එනම්:
 
1. අවම වශයෙන් මතුපිට තලයේ සංකේතිය පිළිවෙල…නැවත සිතිය යුතු නොවේද? සහ
 
2.”රාජපක්ෂ සමයේ…නමැති ප්‍රශ්නයට වහ වහා පිළිතුරු සෙවීමට අප පෙලගැසියයුතු  නොවේද?” 
 
ඇත්තෙන්ම මේ ප්‍රශ්න දෙක පෙළගැහිලා උත්තර හොයන්න ඕන ප්‍රශ්න දෙකක් ද? 
 
ප්‍රශ්න දෙකටම උත්තරය: වරද පවතින්නේ වර්තමාන පාලකයන් අතය, එනම් මහින්ද ප්‍රතිපක්ෂයේ නපුන්සකභාවය නිසාය. 
 
තවදුරටත් එය සිංහලයාගේ ජන්මගතිය නිසාද විය හැකිය.
 
මොකද්ද මේ සිංහලයාගේ ජන්මගතිය:
 
ඔවුන් කිසිදාක ඔවුන්ගේ සම්ප්‍රදායික සිතුම් පැතුම්, සංස්කෘතිය ප්‍රශ්න කිරීමට බියවෙති, කව්රුන් හෝ එය ප්‍රශ්න කරනවාට ඔවුන් දිවි පරදුවට තබා විරුද්ධ වන්නේ එසේ ප්‍රශ්නකිරිම පය ඔවුන්ට දරාගත නොහැකි ආතතියක් ජනනය කරන බැවිනි. ඔවුන්ට අවශ්‍යවන්නේ මේ සම්ප්‍රදාය, සංස්කෘතිය වඩා ස්ථිර කරන ‘නායකයෙකි’. මීහරක්  රැලක් තමන්ට ඕනෑම තැනකට දක්කාගෙන යන පරිදි දක්කාගෙන යන ගවපල්ලෙකි. ඔවුන්ට කලට වෙලාවට කෑම බිම ලැබේනම් ඔවුන්ට අවශ්‍ය එපමණය. එම ගවපල්ලා බඩ මහත ඔවුන්ට ඇසෙන ගොරෝසු හඬකින් කතාකලහැකි අයෙක් නම් ඔහු ඔවුනට පෙනෙන පරිදි හිසමත දළදා කරඬුවත්, දකුණු අතිහි බෞද්ධ කොඩියත් වම් අතෙහි සිංහ කොඩියත් ඇත්නම් ඔවුන්ට වෙන කිසිදෙයක් අවශ්‍ය නැත. ඔවුන්ට ඔවුන් ඉතා සුරක්ෂිත බවක් දැනේ. ඔවුන් සිතීමට මහන්සි විය යුතු නැත දුටුගැමුණු රජතුමා යලි පහල වී ඇත. සපුමල් කුමරා (ඉදිරි කාලයකදී නාමල් හෝ යෝෂිත) එනතුරුත් ඔවුන් බලා සිටිනු ඇත. 
 
දැන් මෙය පෙළගැසී උත්තර සෙවීමට අවශ්‍ය “ඉජිප්තුවාසින්ගේ රහස” තරම් ‘ගුප්ත’ ප්‍රෙහෙලිකාවක් නොවේ.
 
ඔබ කියන ‘හඬ’ ට අවනත වීමේ රෝගලක්ෂණය මෙයයි: 
 
මේ මීහරක් රැලේ පැවැත්ම අවිනිශ්චිත වන්නට වන්නට ඔවුන් මේ ගවපල්ලගේ හඬ සොයති. ,  ‘යහපාලන ආණ්ඩුව’ යටතේ සිදුවෙමින් පවතින්නේ මේ අවිනිශ්චිත බව දිනෙන් දින වැඩිවීමයි. ඔවුනට තනිවම සිතන්නට බැරිය. ඔවුන් වෙනුවෙන් සිතන කෙනෙක් ඔවුනට අත්යවශ්‍යය. 
 
ඔබ ඉතා නිවැරදිව impotency නමින් හඳුන්වන මේ නොහැකියාව ඔබ ඉතා නිවැරදිව කියන පරිදිම ‘මහින්ද’ නම් ෆැන්ටාස්මතික හඬ ත්‍රිර්වව ඇසෙන රික්තකයක් නිපදවා ඇත. 
 
නැවතත් ඔබ නිවැරදිව කියන පරිදි මේ හඬ පරස්පරතා මැසියහැකි මැස්මකි. එය එසේ වන්නේ කිසිම පරස්පරතාවයකින් තොරව (උගත්,වාමාංශික, ඇකඩමික් [බටහිර PhD සහිත], හෝ බටහිර ජිවත්වන සිංහල බෞද්ධයින් පවා) බහුතරයක් ලාංකිකයන් ඔබ කියන ‘ගල්ලෙනට’ මහත් nostalgiaවෙන් ඇලුම්කරන, මීහරක් වීම නිසාමය. 
 
උදාහරණයක් වශයෙන් ඔස්ට්‍රලියාවේ ජිවත්වන සිංහල බෞද්ධ බිරින්දෑවරු තමන්ගේ ස්වාමිපුරුෂයාගේ උස්සස්විම හරියන්න කියලා මෙහෙ සිටින දෙමව්පියන්ට බෝධිපුජා තියන්න කියතී. ඔවුන් මහත් උජාරුවෙන් සිංහල අවුරුද්ද එහෙ සමරති (මෙහෙ ඉන්නකොට සිංහල අවුරුද්ද ඔවුන් ගතකරන්නේ තරු පහේ beach hotel එකක වන නමුත්). ඔවුන්  ඔස්ට්‍රේලියාවේදී සෑම  පෝයටම සිල් ගනිති. ඔස්ට්‍රේලියාවේදී  දැනෙන විගලිත භාවයෙන් මිදීමට පන්සල්, ආරාම සොයා දසත ඇවිදිති. ඒවායේ වෙසෙන සංඝයා වහන්සේලාට ඉමහත් භක්ති ආදරයෙන් සලකති. වෙනදා ශ්‍රීලංකාවේ මගුල්ගේවල්වලට ටයි කෝට් දාගෙන ගිය මහත්තරු දැන් ලංකාවට ඇවිත් මගුල් ගෙදරක යන්නේ අරිය සිංහල ඇඳුමෙනි. ඔවුන් මෙයින් කරන්නේ  “බලන්න අපි මෙච්ච්චර කාලයක් ඕස්ට්‍රේලියාවේ හිටියට අපේ සිංහල කම අම්තක වෙලා නැහැ” කියන පණිවිඩය මහා අනෙකාට දීමය. 
 
 
මොවුන් මෙසේ වුයේ මහාචාර්ය නලින්ගේ ‘මගේ ලෝකය’ කියවා නොවේ. ‘මගේ ලෝකය’ කෘතිය මෙම සිංහල-බෞද්ධ අවිඥ්නානය පිලිබිබු කරන කැඩපතක් පමණි.  
ඔබ මෙම ලිපියෙහි දෙවනුව ඉදිරිපත් කරන සම්පුර්ණයෙන්ම වැරදි ප්‍රකාශය වන්නේ “මේ වනවිට ඉතිහාසයේ හඬට විරුද්ධව රනිල් මෛත්‍රී එකට වාඩිවී සිටිති” යන්නය. සමරහවිට ඔබ දන්නේ නැතුව ඇති මෛත්රීත් දැන් “අපේ හාන්දුරුවනේ” කියන්න පටන් ගෙන ඇති බව. ඔබ ඇහැව්වනම් ජනාධිපති තුමාගේ කථා උදාහරණ වශයෙන්මෑතකදී අර “අසාදුලේඛනගත ජාතික වීරයින් නැවත නම්කිරීමේ” (මේකත් ගල්ලෙනේ ව්‍යාපෘතියක් නොවේද?) උත්සවයේදී සහ අනෙකුත් උත්සව වලදී ජනාධිපති තුමන් කෙතරම් ඉතිහාසයට ආවඩනවාද කියා ඔබට දැකගත හැකි වනු ඇත. ඇත්තෙන්ම ඒ අතින් මෛත්‍රී මහින්දට දෙවැනි නැත. 
 
 
මේ ඉතා මෑතකදී (වෙන කොහේදිවත් නෙවේ අභයාරාමයේ – ඔව් ජනාධිපති කමෙන් ඉවත්කරනලද මහින්ද රජතුමාට පිළිසරණක් වූ අභයාරාමයේ ) මෛත්‍රීපාල ජනාධිපති තුමන් බොහොම ආඩම්බරයෙන් මහා සංඝයා වහන්සේලට කිව්වේ “සමලිංගික සම්බන්දතා සහ ගණිකා වුර්තිය නීතිගත කීරීම විසිකරේ ඔහු බවයි. 
 
මෛත්‍රීපාල ජනාධිපති තුමාගේ ‘ඇදවැටීම’ සිදුවන ස්ථානය ඔහු ශ්‍රීලනිපයේ නායකත්වය [හිස්මුදුනින්] භාරගැනීම බව ඔබම ඉතා නිවැරදිව මේ ලිපි පෙලෙන්  එකකදී (දිනය මතක නැත)පෙන්වාදී තිබුණු බව මතකයි. ඒ ඇදවැටීමෙන් පසු ඉතිහාසයට සහ ‘ගල්ලෙනට’ පහන් පත්තුකිරීම එතුමා කලයුතුවම ඇති බව ඔබට වැටහිය යුතුය.
 
ඔබ මෙතැනදී කරන ප්‍රකාශය අර කලින් ඔබ මේ ලිපියේ සෑන්ඩර්ස් ගැන කියා තිබු කතාවට සමානය. එනම් ඔබ මේ පුද්ගලයන් දෙදෙනා මෙතැනදී ඔබේ පහසුව තකා “තලගොයි මස් ” බවට පත් කර ඇත. එක තැනකදී යම් අර්ථකතනයක් දෙන දෙයක් තවත් තැනකදී වෙනස් අර්ථකතනයක් දී ඉදිරිපත් කීරීම එතරම් හොඳ දෙයක් නොවේ. විශේෂයෙන්ම එම අර්ථකථන දෙක පරස්පර වීම හේතුවෙන් ඔබ කරන ප්‍රකාශ දෙකම නිශේදවී යන නිසාය. 
 
මේ ලිපි පෙලේ වෙනත් ලිපියක (ජන 15 )කියන පරිදි රනිල් අගමැති තුමා “මම සියබලා ගෙනාවේ නැද්ද?” කියලා අහන්නේ නැත එහෙත් ඔහු එසේ නොඅසන එකේ කිසිම වැදගත් කමක් නැත්තේ ඔහු ඔහුගේ පන්තියේ ඔහුගේ සමීපතමයන් (inner circle) කිහිපදෙනෙකු හැරුනුකොට වෙන කිසිම කෙනෙකු තුට්ටුවකට මායිම් කරන කෙනෙකු නොවන විපරිතයෙකු නිසාය. ඔහුට අනුව ඔබ අප සියලු දෙනා ඔහුගේ “වත්තේ වැඩකරන එවුන්ය.” මංගල සමරවීර ඇමති තුමා ඒ අතින් “ඉතිහාසයේ හඬට විරුද්ධව හිටගෙන ඉන්න” අයෙකුට  රනිල්ට වඩා හොඳ උදාහරණයක් යයි සිතමි.
 
ඔබ [ජනවාරි 01] ලිපියේ අසන පරිදි  “ගල් ලෙන තුල සිට පැනනැගෙන මේ හඬට කළ හැකි වන්නේ කුමක්ද?” සහ එහිදී ඔබම දෙන පිළිතුර වන්නේ “…පරස්පරතා එකට තබා මසන මැස්මක් ලෙසයි.
 
මේ හඬට මේ පරස්පරතා එකට තබා මැස්මට හැකිවන්නේ හඬහි ගුප්ත භාවයක් නිසා යයි ඔබ කියන නමුත් මට එයට එකඟවීමට නොහැක. මේ හඬේ ගුප්තභාවයක් නැත. මහින්දගේ ගුප්ත භාවයක් නැත. ගුප්තභාවය ඇත්තේ සිංහල-බෞද්ධ ආත්මයෙම පමණි.
 
මෙයට හේතුව වන්නේ ඔබ ඔබගේම දේශනයකදී ඉතා නිවැරදිව පෙන්වාදෙන පරිදි යටත් විජිත ස්වාමියා අපිව ඔවුන්ගේ ලෝකයට සම්පුර්ණව විසිකලේ නැති නිසාය. ඔවුන් අපව ගල්ලෙනෙහිම තබාගෙන ගල්ලෙන තවතවත් උත්කර්ෂයට නැංවිය. 
 
ඔබ අප අම්තක කරන තවත් කරුණක් ඇත. මේ අතීත-අභිමානවත් සංස්කෘතියක නොස්ටල්ජියාවෙන් පෙලෙන සිංහල-බෞද්ධ ආත්මය අවුරුදු තිහක් ගතකල දෛනික මරණබයින් මුදවාගත්තේ රනිල්, මෛත්‍රී හෝ චන්ද්‍රිකා නොවේ. මහින්ද සහ ගොටාභය රාජපක්ෂ සහෝදරවරුන්ය. උදේ සිට රෑ නින්දට යනතුරු “ජීවිතං  අනියතං ” කියන සිංහල බුද්ධාය මරණයට මර බයය!! මෙයද සිංහල-බෞද්ධ ආත්මයේ ගුප්තබවකි. 
 
මහින්දට මේ සියලු පරස්පරතාවයන් එකටතබා මහන්න පුළුවන් වූ මැස්ම ප්‍රභාකරන් සිංහල-බෞද්ධ අවිඥානයේ ඇතිකළ මේ මරභය නොවීද?
 
ඉතින් දැන් තමන්ගේ පැවැත්ම අවිනිශ්චිත වන සෑම නිමේෂයකදීම ඔවුන්ට [ඉතිපිසෝ ගතාව මෙන්]”මහින්ද” නාමය සිහිවීම අරුමයක්ද?
අනිත් අතට මහින්ද සහ පිරිස රට කන හොරු නඩයක් යයි කියමින් ඔවුන් පලවා  හැරීමෙන් බලය අත් කරගත්තේ තවත් ඊට නොදෙවැනි වූ හොරු නඩයක් නම්? ඔවුන් මහින්ද නැවත ඉල්ලීමේ වරද කුමක්ද?
 
ගුප්ත බව ඇත්තේ “මහින්ද” කියන හඬේ නම් ලංකාවේ සිංහල-බෞද්ද චන්ද දායකයන්ගෙන් වැඩිපිරිසක් 2015 ජනවාරි 8 වනදා  ඒ හඬට සවන්දුන්නේ නැත. ඒ කියන්නේ ඔවුන්ට ඒ හඬේ ඔබකියන ‘අවනත වීමේ’ ගුප්තබවක් නැත. ඒ කියන්නේ ඔවුන් ගල්ලෙනෙන් පිටත ලෝකය ගවේෂණය කරන්නට සුදානම් පිරිසක් බවද? 
 
 
ලංකාවේ දේශපාලන නායකයින්ගෙන් හඬක් නොතිබුනේ ඩඩ්ලි සේනානායකට පමණක් බව මාගේ වැටහීමයි. එසේනම් මේ අනෙකුත් හඬවල් සමගත් මේ ගුප්ත සිංහල-බෞද්ධ ආත්මය ඒ ඒ කාල වකවානු වලදී අනන්‍ය විය. 
එසේ නමුත් ‘සිංහල පච්ච්චය කොටාගැනීමට’  තරම් ඔවුන් පෙලඹවූ එකම සාධකය ඔවුන්වෙත ප්‍රභාකරන්ගේ හඬ ගෙනා මේ දෛනික මර බයයි. 
1983 මේ රටේ දමිලයින්ට දමිළ පච්චය කොටා ගැනීමට පෙළඹවිය.
2001 සැප්තැම්බර් 11 අමෙරිකානුවන්ට අමරිකන්  පච්චය කොටාගැනීමට පෙලඹවූ අතර 
අමෙරිකානු සහ යුරෝපිය 911 ප්‍රතිචාරය සකල ලෝකවාසී මුස්ලිම් ජාතිකයන්ට ඉස්ලාම්/මුස්ලිම් පච්චය කොටාගැනීමට පෙළඹවිය.
සිංහල ජාතියේ භයානක සතුරා ප්‍රභාකරන් පරාජය කළ මහින්ද ‘රජතුමා’ කිව්වේ මොකක්ද. “ඔබ සියලුදෙනාගේ ආදරණිය තාත්තා මමයි” මෙම ප්‍රකාශයේ දෙවන නොකියවුණු එහෙත් සැඟවුණු ප්‍රකාශය වන්නේ ඔබ කියලා තිබෙන “ඔබලා මොන වරද කලත් ඔබලා මගේ දරුවන්ව ඉන්න තාක්කල් මගෙන් සමාව ලැබෙනවා”.
 
මේ ප්‍රකාශයෙන් සිංහල-බෞධ්ද්ධ පච්චය කොටාගත් සියලු දෙනා සහ අනෙකුත් අය සියලු පරස්පරතා මකා ඒකරාශී කරන ලදී.
නමුත්මේ ප්‍රකාශයේ ඔබ කියන පරිදි “බරපතල ලෙස පහැදිලි කරගතයුතු” කිසිම ‘ගුප්ත’ බවක් නැත. මෙය ඉතා සරලව දීප්ති පහැදිලි කර දී ඇත එනම් “මේ කාලයේ මිනිසුන් සංවිධානය වන්නේ අර්ථ වටා නොව විනෝදයන් වටාය”.  
මහින්ද’ යන හඬ නැවත මේ මිනිසුන් වෙත ගෙනෙන්නේ “මම ඔබ, ඔබේ සිංහල-බෞද්ධකම,  සුරක්ෂිතව රැක බලා ගනිමි, ඔබ විනෝදවන්න” යන පණිවිඩයයි. ඔබම කියන පරිදි එය හුදෙක් ආත්මමුලික හඬකි”. 
ජනවාරි 08 ලිපිය:
ඔබ මේ ලිපිය පටන්ගන්නේ “ජවිපෙ, තිස්ස,ඩිව්, වාසුදේව පමුඛ වාමාන්ශිකයේ අනන්‍යතා අහෝසි වුයේ කෙසේද? යන ප්‍රශ්නයෙනි.
 
ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ [විශේෂයෙන්] තිස්ස,ඩිව්, වාසුදේව වැනි අය වමාන්ශිකයන්ද? නැතහොත් ව්‍යාජ  වමාන්ශිකයන්ද? (pseudo-leftists) යන ප්‍රශ්නය නොවේද? ඇත්තෙන්ම ඉහත සඳහන් කරන ලද අය වමා න්ශිකයන් වුයේ නියම මාක්ස්වාදී අරගලයක් කිරීමටද නැතහොත් එය ඔවුන්ගේ සින්තෝමය වූ නිසාද?
 
මේ ලිපිය මට වැදගත් වනුයේ එහිදී ඔබ ඉතාමත් අපුඋරුවට පසුධනවාදී/නව ලිබරල් වාදී පසුබිමක මිනිසාගේ ආත්මීය විකාශය සිදුවන අයුරු (A) සහ එයට  සුධනවාදී/නව ලිබරල් වාදී පසුබිමින් කෙරෙන තල්ලුව (B)ඉතා මැනවින් පෙන්වාදෙනු ලබන නිසාය. 
 
එනම්:
A1. කෙළවරක් නොමැති පාරිභෝගික අවකාශයේ ගිලි සිටින…
A2. ඔවුන් එකතු කරන්නාවූ සාමුහික යමක්…
A3. කුමන වරදක් ඔවුන් අතින් සිදුවුනත්  “feel alright”
A4. සත්‍ය පරස්පරතා මකාදමා  කෙටි සහනයක්..
 
 
B1. ධනවාදී ආර්ථික අර්බුධයේ සත්‍ය ගැටළු වෙනුවට…
B2.ඒ සඳහා ව්‍යාජ විසඳුම්…
B3. එම කෙටි පරිපථය ජාතිවාදයයි…
 
දැන් A1-A4 දක්වා විකාශය වූ ආත්මයට B1-B3 ඇතිකරන බලපෑම (influence) මගින් ලබාදෙන ආත්මීය සහනය වන්නේ 
 
AB1. ‘ජාතිය’ නම් හැඟවුම ඔහු පාරිභෝගිකයෙකුට වඩා වැඩි යමක් බවට පත් කරයි
AB2. එම [හුදෙක් අකර්මන්‍ය (passive), නිර්ණාමික පාරිභෝගිකයකු පමණක් වීමේ] විශාදියෙන් ගලවාගනු පිණිස ඉතිහාසය, මුස්ලිම්කම,දෙමළකම,…පෙරට එයි.
 
මෙතැනදී ඔබ පෙන්වාදෙන වැදගත් කරුණක් වන්නේ මෙහිදී  සිංහල කම පමණක් නොව දෙමළකම, මුස්ලිම්කමද පෙරට එන්නේ මේ නිසා බවයි. එමනිසා
 
AB3. ‘අපේකම’ (සිංහලයාට පමණක් නොව, දෙමලාට සහ මුසල්මානුවටත්) සින්තොමයක් බවට පත්වේ 
 
දැන් අප ඔබගේ දෙසැම්බර් 25 ලිපියට යොමු වුවහොත්:
 
ඔබ එහිදී කියන්නේ මෙවැනි දෙයකි: “ලෝකය පුරා මේ වනවිට හමුවන්නේ ධනවාදයට අනන්‍ය වූ මිනිසුන්ය, නමුත් ලාංකීය තත්වය මිට වඩා බිය ජනකය, එනම් අපට ලාංකීය භූමියේදී හමුවන්නේ ඉතිහාසයට 100% අනන්‍ය වූ මිනිසුන්ය…” 
 
නමුත් මෙය ඉහත (ජන 08) ලිපියේ ඉතා පැහැදිලව දැක්වූ (ඉහත A1-A4,  B1-B3) ක්‍රියාවලියට (process) අනුව වැරදිය
 
එනම් එයට අනුව ලංකාවේ මෙන්ම ලෝකයපුරාද සිටින්නේ ඉතිහාසයට සහ ධනවාදයට එකවර අනන්‍ය වියහැකි මිනිසුන් විය යුතුය (people who can simultaneously identify themselves with both Capitalism and History).   
 
Brexit, Donald Trump, Le Pen එය එසේ වනබවට කදිම නිදසුන් නොවේද? 
 
ඔබ කියන පරිදි “ධනවාදය ඉතිහාසයේ පියා ප්‍රතික්ෂේප නොකරයි” නමුත් මට වැටහෙන පරිදි එය සිදුවන්නේ (නැවතත්, ඔබම පෙන්වාදෙන ඉහතදී මා දැක්වූ  A1-A4, B1-B3,  AB1, AB2 අනුව), වෙනස් ආකාරයකටය.
 
එනම්: ධනවාදයේ අතුරුපලයක් (side-effect)ලෙස ඉහිහාසයේ පියා නැවත උපදී. 
 
මට වැටහෙන පරිදි එය සිදුවන්නේ මෙලෙසටය: ධනවාදය තුල දෙපයින් නැගීසිටීමට නම් මිනිසා(හෝ ගැහැණිය) කොන්දේසියක්ත ලෙස තම ආත්මය පාවා දිය යුතුමය. මෙමෙ පාවාදීම නිසා ඇතිවන “වරදකාරී හැඟීම” ඔහු ධනවාදී පරිසර රාමුව තුලවිගලිතයෙකු බවට පත්කරයි. මෙය ස්කිසොෆෙර්නියා (schizophrenia)තත්වයකට සමානය. මෙම විගලිත භාවයෙන් මිදීමට ඔහුට ඉවහල් වන එකම ක්ශෙමභූමිය ඉතිහාසයයි. එහිදී ඔහුට  ඔහුගේ පාවාදුන් ආත්මගරුත්වය නැවත ප්‍රදානය කරනු (ලංකාවෙදිනම් දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු වැනි ‘උත්තමයින්’ විසින්) කරනු ලබයි.
මට වැටහෙන පරිදි ධනවාදය ඉදිරියට යන්නට යන්නට එහි ගමන්කරන මිනිසුන් ඉතිහාසයත් එක්ක ගැටගහෙන්නේ මේ නිසාය. 
 
මෙම කාරණයේදී පාලකයන් නුතනවාදී ද  නැද්ද යන්න අදාළ නොවේ (not applicable), භෞතික තලයකදී ඔවුන් ඉතා නුතනවාදී වන නමුත් ආත්මීය තලයකදී ඔවුන් ඉතිහාසය සමග බද්ද විය යුතුය. 
 
මේ අනුව මට මෙයඔබ කියන පරිදි  “ගැටළු සහගත තත්වයක්” හෝ “විහිළුසහගත තත්වයක්” නොවේ. 
 
මෙම [දෙසැ  25] ලිපියේ තව තැනක ඔබ කියන්නේ Trump ‘ඉවත්කරගත’ නොහැකි වුයේ “බුර්ෂුවා  ධනේශ්වර පාලකයන්ගේ නපුන්සක භාවය” නිසාවෙන් බවය. මට හිතෙන පරිදි බුර්ෂුවා  ධනේශ්වර පාලකයන්ගේ මේ යුගයේ අවශ්‍යතාවය වන්නේ Trump බවයි.
මේ අනුව බලනකල ඔබගේ ලිපි පෙළ කියවීමේදී මට වැටහෙන්නේ ඒවා ඩෙරීඩාගේ කියමනක් මැනවින් සනාථකරන බවයි. එනම් “ඔබ ඕනෑම ලියවිල්ලක් පරෙස්සමින් කියවුවහොත් ඔබට එය එයවිසින්ම විසන්යෝජාය කරන බව වැටහෙනු ඇත (If you read any text carefully, you will realise that it deconstructs itself).
 
අවසාන වශයෙන් ඔබ ඉදිරිපත් කළ ඇති සමහරක් රුපසටහන් ගැනද යමක් කිවයුතුය. මේ අතුරෙන්  ඉතා වැදගත් රුපසටහනක්  වන ජන 08 වනදා ලිපියේ රූපසටහන එලෙස කිසිම පහැදිලි කිරීමක් නොකර පළකිරීමෙන් කිසිවෙකුට පලක් වුවාද යන්න මට ප්‍රශ්නයකි. සමහරවිට සත්හඬ අනෙකුත් පාඨකයින් මට වඩා බුද්ධිමත් අය වියහැක. බැරිවෙලාවත්එසේ නොවන්නේ නම් ඔබේ එම රූපසටහන පළකිරීමෙන් ඔබගේ දැනුමේ තරම මිස ඔබගේ දැනුම අපට සම්ප්‍රේෂණය නොවන බව කණගාටුවෙන් වුවත් කිව යුතුය.  
 
ඔබ මේ ලිපි පෙලේදී ඔබ කරන අතිශය වැදගත් ප්‍රකාශය වන්නේ මෙම ජනවාරි 01 ලිපියේදි ඔබ කරන පහත සදහන් ප්‍රකාශයයි, එනම්:
 
“මේ ආකාරයට මේ ‘හඬ’ වෙත අවනත වීමේ රෝග ලක්ෂණයක් ලෙස මෙම සමාජයේ පවතිනවානම්, අපගේ දේශපාලන ව්ව්‍යපෘතිය සකස්විය යුත්තේ කුමන ආකාරයකින්ද යන්න අප නැවතත් සිතාබැලිය යුතුය”.
ඔව්. ඔබලා වහ වහා කලයුතුවන්නේ මේ සිංහල-බෞද්ධ ගුප්ත ආත්මයට වැටහෙන පරිදි ඔබලාගේ දේශපාලන දර්ශනය ඉදිරිපත් කරන්නේ කෙලෙසද යන්න සොයා බැලීමය. 
මට වැටහෙන පරිදි කලයුතු මුලික දේවල් කිහිපයක් ඇත. එනම්:
1. පළමුව දීප්ති සහ ඔබ සියලු දෙනා ‘2004 බිඳවැටීම’ යන ‘ගල්ලෙනෙන්’ එලියට ආ යුතුය. දීප්ති ඇතුළු ඔබ මා කිසිවෙකු අමරණිය නොවේ. මරණය හෙට අපගෙන් කෙනෙකු ගොදුරු කරගත හැක. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ඉදිරියට යාම මිස, අරු මෙහෙම කළා, මු මෙහෙමකළා , ඌට දෙන්නම් අපිත් වගේ කථා කියමින් ඉදීම කාටවත් වැඩක් නැත. 
ලෙනින් විප්ලවය කරනකොට ඔහුගේ වයස 47 පමණය, මාඕ වයස 41 දී විප්ලවීය ‘Long March’ ඒක දියත් කළේය, ෆිදෙල් වයස 33 දී කියුබන් විප්ලවය කළේය, චේ වයස් 39 වනවිට අමරණිය නමක් ඉතිරි කර අපගෙන් සමුගත්තේය. එපමණක් නොව ස්ටීව් ජොබ්ස් වයස 21 දී  සහ බිල් ගේට්ස් වයස 30 දී  පරිගණක විප්ලවය සිදුකළේය.
කාලයට අපගේගේ පසුතැවීම්, පාවාදීම්, බිඳවැටීම් වලින් වැඩක් නැත.     
 
 
 
2. ඔබලාගේ දර්ශනය ඉදිරිපත් කරන විට සමහර අවස්ථාවලදී භාවිතා කරන “චන්ඩි භාශාව” වහාම අයින් කළ යුතුය. ඒ භාෂාව න්‍යායක් මත පදනම් වූ දේශපාලන දර්ශනයක් ඇති දේශපාලන ව්‍යාපාරයකට කොහෙත්ම ගැලපෙන්නේ නැත
අපට තව දුරටත් එක එක්කෙනාගේ චන්ඩිකම් වලින් පලක් ඇත්තෙම නැත. ඉදිරියේදී වන විප්ලව සියල්ලම බුද්ධිමය විප්ලව පමණක්ම වේ. ආයුධ සන්නද්ද විප්ලව පමණක් නොව  අවින්සාවාදී “People’s Power” විප්ලව වලදී පවා ඇතිවන ව්‍යකුලත්වයන් ප්‍රයෝජනයට ගෙන එම විප්ලව විකුර්ති කර, අකර්මන්‍ය කර, විනාශකර දැමීමේ උපායමාර්ග සියල්ලක්ම ධනවාදය විසින් න්‍යාය ගතකර හමාර වන නිසාය. ඒ නිසා “අපට ඕනෙනම් ආයුධ සන්නද්ධ අරගලයකට වුනත් අපි ලෑස්තියි” කියන ඒක නිකක්ම්ම පුස් පුරාජේරුවක් පමණි”.
කාගේවත් පුරාජෙරුවලිනුත් අපට පලක් ඇත්තෙම නැත. 
  
3. සකල ශ්‍රී ලාංකික ජනතාව ගල්ලෙනෙන් එලියට ගැනීමේ උත්සාහය නවතා 2015 ජන 08 දින තරමක් දුරට හෝ ගල්ලෙනෙන් එලියට පැමිණි ජනතාව කෙරෙහි අවධානය යොමු කීරීම සහ මොවුන් ගොදුරුබවට පත්ව ඇති, ඔබ ඉතා නිවැරදිව පෙන්වාදෙන, “පාරිභෝගික මෙලන්කොලියාවෙන්” මුදවාගැනීමට බෞද්ධ කම, සිංහල කම, අපේකම, මුස්ලිම්කම, දෙමළකම වෙනුවට ඔබ යෝජනා කරන්නේ කුමක්ද යන්න පැහැදිලිව ඉදිරිපත් කීරීම
4. සිංහල ජාතිවාදය මෙන්ම, දමිළ ජාතිවාදය, සහ ඒ දෙකටම එහා ගිය මුස්ලිම් අන්තවාදය නිවැරදිව විශ්ලේෂණය කර වටහා ගැනීම. විශේෂයෙන්ම ඔබලා “අපිට සිංහලයත් එකයි,දෙමලත් එකයි මුස්ලිම් එවුනුත් එකයි කියා කිව්වට” ඔවුන්ගෙන් බොහොමයකට එය එසේ නොවන බැවිනි. මුස්ලිම් අන්තවාදය ගැන මම ඉහත සඳහන් කළ ජි ජැක් ගේ ප්‍රකාශය ඔබට නැවත මතක් කර දෙන්නට කැමතියි.
5. ඔබලාගේ ව්‍යාපාරය “විප්ලවය” වශයෙන් හඳුන්වන්නේ කුමක්දැයි නිවැරදිව අර්ථදැක්වීම සහ ජිජැක් කියන පරිදි එම විප්ලවය සිදු කිරීමෙන් පසුදා (“the day after the event”)ඔබලා කුමක් කරන්නේදැයි ඉතා පැහැදිලිව manifesto එකක් වශයෙන් ප්‍රකාශයට පත් කීරීම. 
දැනට මෙතනින් නවතිමි. මේ ලිපියේ විවේචනාත්මක ස්වරුපයක් ඇති නමුත් එයින් මම ඔබගේ ලිපි පෙලෙන් ලබාගත් දැනුම පිළිබඳව සහ මෙම ලිපි පෙළ ඉදිරිපත්මා කිරීමට ඔබ දෙදෙනා කළ පරිශ්‍රමයට මා ගේ කෘතන්ඥතාවය ඉන් බිඳකින් හෝ අඩු නොවන බව අවධාරණය කරමි.
සුභපැතුම් සමගින්
වසන්ත

ඔබේ අදහස කියන්න...