70 දශකය අග භාගයේ J.Rගේ දේශපාලනය තහවුරු වූ 80 දශකය මුල වන විට පොදුජන චින්තනය ඔරලෝසු බට්ටෙකු මෙන් එක් අන්තයක සිට අනෙක් අන්තයට පැද්දෙනු පෙනෙන්නට විය. 70 දශකය ආරම්භ වූයේ,  ආර්ථික සංවර්ධනයෙහි ලා රජයට හිමි කාර්යභාරය පිළිබඳ ඉතාම ස්ථීරසාර අදහස් වලිනි. නමුත් වසර දහයකට පසුව 80 දශකයේ මුල වන විට, කොළඹ යූනියන් පෙදෙසේ වෘත්තීය සමිති ව්‍යාපාරවලට සහ රජයේ ආයතනවල පැවති විශාල වාමාංශික වෘත්තීය සමිති වලට ද වැටහුනේ පොදුජන විඥාණය වෙනස් වී ඇති බවයි. ලංකාවේ වම යනු, කවදත් දේශපාලනයට හිමි ස්වායත්තතාවයට වශී වී සිටි පුද්ගල ගොනුවකි. නමුත් පොදුජන විඥාණය වාමාංශිකයන් හිතන තරම් සහසම්බන්ධතාවාදී නැත. ඔවුන් බොහෝවිට ‘සාරාත්මකයට’ පිටින් ඇති තවත් සාරාත්මකයන්ට ඇති විකල්ප මාර්ග ගවේෂණය කළෝ ය. පොදුජනයා බොහෝ විට පරිමිතභාවයෙන් ඔබ්බට සිතති.

                       80 දශකය මැද වන විට, කොළඹ කේන්ද්‍රීය පොදුජන චින්තනයට අනුව ආර්ථික සංවර්ධනය සඳහා ඇති කාර්යක්ෂම මාදිලිය වෙළෙඳපොළ බලවේගවලට යළි ඉඩ දීම බව තහවුරු විය. මෙවන් තත්වයන් මඟින් නිරූපණය වන්නේ, පොදුජන විඥාණයේ වැටහීම් අතිශයෝක්තියෙන් දැක්වීම විය හැකි ය. රජයේ කාර්යභාරය සම්බන්ධයෙන් වූ බලාපොරොත්තු පහ වීම ආර්ථික විද්‍යාඥයන්, දේශපාලකයන් සහ ජනමතය සකස් කරන්නන් යනාදීන් අතර එක සේ දක්නට ඇත. නමුත් යථාර්ථය අප සිතනවාට වඩා සංකීර්ණ ය. පොදුජන චින්තනයේ ඉහත ආකාරයේ පැල්මවල් බිහි වීමට එක පැත්තකින් විවිධ මතවාද උදව් වන සේම, අර්ධ වශයෙන් යථාර්ථය ද හේතු වේ යැයි කිව හැකි ය. ‘යථාර්ථයට’ ඇත්තේ එක පැත්තක් යැයි මතවාදීන් කරන වැරැද්ද ම ආර්ථික  විශේෂඥයින් ද සිදු කරයි. නමුත් මිනිසුන්ගේ ආර්ථික චින්තනය තුළ ෆැන්ටසි මානයක් ද ඇති බව ආර්ථික විද්‍යාඥයන් මඟ හරිති.

                       80 දශකය තුළ පොදුජන චින්තනය තුළ තහවුරු වූ ‘වෙළෙඳපොළ’ මඟින් සංවර්ධනය බිහි වේ යැයි යන මතවාදය උතුරේ යුද්ධය සහ චන්ද්‍රිකාගේ ලිබරල් කළමනාකරණය නිසා 21 වැනි සියවස වන විට බිඳ වැටිණි. ඵලදායිතාවයක් ආර්ථික වශයෙන් නැති හමුදා රැකියා ජාතික චින්තනය නිසා නැඟගෙන ආ නිසා නැවතත් ‘සංවර්ධන මාදිළිය’ සඳහා රාජ්‍ය යොදාගත යුතු බවට පොදුජන විඥාණය තුළ සටහන් විය. මේ තත්වය දශක දෙකක් තුළ ඔරලෝසු බට්ටා නැවත ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කිරීමකි. අනෙක් අතට, මතවාදී තලයේ ද ගෝලීය වශයෙන් විශාල ඛණ්ඩනයක් සිදු විය. 1989 ට පසුව සංකල්පයක් ලෙස කොමියුනිස්ට්වාදය බිඳ වැටීම නිසා සංවර්ධන මාදිළියක් ලෙස එය පිළිබඳව පොදුජන විඥාණයේ තහවුරුව පැවති අධිතක්සේරුව ද දිය වී ගියේ ය. දෘෂ්ටීන් දෙකක් අතර පැවති ද්විත්ව බලය තනි බලයක් ලෙස තහවුරු විය. මේ විපර්යාසය කෙතරම් දුරදිග ගියේ ද යත් එය සමහරුන් හඳුන්වන්නේ ‘ඉතිහාසයේ අවසානය’ වශයෙනි.

                          70 දශකයේ රාජ්‍ය ධනවාදය සමඟ තහවුරු වූ දෘෂ්ටිය වූයේ සමාජවාදය නම් 2005 වර්ෂයේ දී සුජාතභාවයට පත් රාජපක්ෂවාදය සතු දෘෂ්ටිය වූයේ, ජවිපෙන් බද්දට ගත් සිංහල ජාතිකවාදය යි. අන්ත දෙකකට පැද්දී ගිය සංවර්ධන මොඩලය එනම්, රජය සහ නිදහස් වෙළඳපොළ, දැන් අතරමැද තැනක නැවතී ඇත. සරලව කිවහොත්, ඔරලෝසු බට්ටා වයින් ඉවර වී හරි මැද නතර වී ඇත. සමකාලීන පොදු ජන විඥාණයට අනුව සංවර්ධන මාදිළිය වන්නේ, ගැටුම් විරහිත ජාතික ධනවාදය යි. නමුත් මේ පවතින්නේ, 70 දශකයේ ජාතික රාජ්‍යය නොවේ. ඔරලෝසු බට්ටා දෙපැත්තට වැනී අතරමැද නැවතී ඇති නිසා සමාජවාදීන් බහුතරය අනන්‍යතාවය නැතහොත් ජාතිකත්වය හා බැඳි විවිධ අනන්‍යතාවයන්ට ධ්‍රැවීයකරණය වී ඇත. නව තත්වය නිසා සමකාලීනත්වය යනු, පූර්ව-ඓතිහාසික යුගයකි. මළවුන් නැගිටින සහ දෙවියන් අප අතරට එන යුගයක් දැන් බිහි වී ඇත. පැලියෝ අනන්‍යතාවයන් එනම්, ස්ත්‍රී-පුරුෂ පසමිතුරුභාවයන්ට පූර්ව වූ බහු දිශානත විපරිතභාවයන් පිළිගත් අනන්‍යතාවයන් බවට තහවුරු වෙමින් යති. රෙද්ද අස්සෙන් කකුල ටිකක් පෙන්නා විමුක්ති ගී ගයන අවධියකට අප දැන් පැමිණ ඇත.

                          දශක 2.5 ක පමණ ගෙවී ගිය කාලයක් තුළ දී පොදුජන විඥාණයට ආර්ථිකය ගැන දෙවරක් වැරදී ගියේ, ලංකාවේ දේශපාලන චින්තනයේ දුගීභාවය නිසා ය. විමුක්තිකාමීන් යැයි තමන් විසින් තමන්වම හඳුන්වන පුද්ගලයන්ගෙන් අති බහුතරය බාහිරින් සමාජ පිළිගැනීමක් යදින හිඟන්නන් ය. ඒ අය පවතින-ක්‍රමයට එරෙහි වන්නන් නොව පවතින-ක්‍රමයට යටි හිතින් සමාව දෙන්නන් ය. දැන් අපට එන මුඛ්‍ය ගැටලුව වන්නේ, 20 A  සංශෝධනය මඟින් ජේ.ආර්ගේ ව්‍යවස්ථාවේ සංගත බව යළි ආරක්ෂා කරන්නේ මන්ද යන්න යි. රාජ්‍ය ධනවාදය මෙන්ම නිදහස් වෙළෙඳපොළ ගැන ද අත්දැකීම් දැන් පොදුජනයාට ඇත. ජාතිකවාදීන්ට අවශ්‍ය කරන්නේ, මේ අන්ත දෙකේ සංකල්පනයක් ය. එය තෙවැනි මාවතකි. ආර්ථික වශයෙන් ගත් කල, තුන්වැනි පාරවල් නැත. ඇත්තේ, එක්කෝ ධනවාදය යි. නැතහොත් ධනවාදය සමතික්‍රමණය කරන කොමියුනිස්ට්වාදය යි. උගුරට හොරා බෙහෙත් කන්නට නොහැකි ය. මේ මොහොත වන විට ලක්ෂ 12කට රැකියා නැත. කොවිඩ්වලට පෙර මෙම සංඛ්‍යාව ලක්ෂ 4 කි.

                         ලලිත් කොතලාවලගේ අතීත සිදුවීම නැවත නැගිටුවා සිටීමෙන් අපට ඇති ඵලය කුමක්ද? රාජපක්ෂලා බලයට එන විට එනම්, 2005 වර්ෂයේ දී ලලිත් කොතලාවල යනු, ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයන් 10 දෙනා අතර පස්වන ස්ථානයේ පමණ සිටියෙකි. විවිධ තලවල සමාගම් 350ක පමණ හිමිකරුවෙකි. ඔහු රනිල් බලයට එදා පැමිණියා නම් රටේ මුදල් ඇමති වීමේ අපේක්ෂාවෙන් සිටි පුද්ගලයෙකි. ‍ව්‍යාපාරිකයන් අතර පැරණි ප්‍රභූ පන්තියෙන් පැමිණි අවසාන පුද්ගලයා ද ඔහු ය.

                       ලලිත් කොතලාවලගේ ව්‍යාපාරය වූයේ, සෙලින්කෝ සමූහ ව්‍යාපාරය යි. ව්‍යාපාරයේ අධිපති ප්‍රාග්ධන ආකෘතිය වුයේ, මූල්‍ය ප්‍රාග්ධනය යි. (Finance Capital) වාණිජ ප්‍රාග්ධනය, කාර්මික ප්‍රාග්ධනය, ජාතික ප්‍රාග්ධනය යන ප්‍රාග්ධන ස්වරූපයන්ගෙන් වැඩිම ද්‍රවශීලතාවයක් ඇත්තේ, මූල්‍ය ප්‍රාග්ධනයට යි. 

                            ලංකාවේ ‘ඌණ සංවර්ධනය’ සහ ‘නිධන්ගත ආර්ථික අර්බුදය’-Chronic Economic Crisis – පිළිබඳව කරන ලද සියලුම ආර්ථික විශ්ලේෂණ පදනම් වී ඇත්තේ, ‘වාණිජ ප්‍රාග්ධනයේ’ ආධිපත්‍යට සාපේක්ෂව ය. (එස්. බී. ද සිල්වා සිට ජී. v. ඇස්. ද සිල්වා) නමුත් ලංකාවේ මූල්‍ය ප්‍රාග්ධනයේ දෘෂ්ටිකෝණයෙන් බලා දේශපාලන-ආර්ථික විශ්ලේෂණය කර ඇති වගක් (ආචාර්ය උපාධි මට්ටමට– ලංකාවේ විශ්ව-විද්‍යාල වලින් කරන ආචාර්ය උපාධි වලට ප්‍රමිතියක් නැති නිසා මා ඒ ගැන සලකා නොබලමි. මට මග හැරී ගිය අධ්‍යයනයක් වේ නම් ඒ පිළිබඳව comment අංශයට උත්තරයක් එවීමට හැකි ය.) මට නොපෙනේ.

                       ලලිත් කොතලාවලගේ ව්‍යාපාරික මොඩලයට අනුව මූල්‍ය ප්‍රාග්ධනය හරහා ලංකාවේ සියලු සමාජ පන්ති ආවරණය කර ඇත.

  1. ඉහළ මැද පන්තිය – F&G Property.

  2. මැද පන්තිය         – ගෝල්ඩන් කී සමාගම.

   3. පීඩිත පන්තිය      –  සෙලින්කෝ ග්‍රාමීන්.

 

                     කොතලාවලගේ ව්‍යාපාරික මොඩලය විසින් ඒ දක්වා හිඟයක්ව පැවති ‘ප්‍රාග්ධන වෙළදපොළ’ සෑම සමාජ ස්ථරයකට ම යා කළේ ය. ‘මූල්‍ය ප්‍රාග්ධනයේ’ සුවිශේෂී ගුණය වන්නේ, එමඟින් භෞතික නිෂ්පාදනයක් නොකර මුදල්වලින් මුදල් මැවීම යි. මේ හේතුව නිසා, මූල්‍ය ප්‍රාග්ධනය සැලකෙන්නේ ධනවාදයේ සීමාව ලෙස ය. බොහෝවිට ධනවාදී සමාජවල ව්‍යාපාර චක්‍ර අවසන් වන්නේ, මූල්‍ය ප්‍රාග්ධනයේ මැවීමේ බලය මඟින් නිපදවන අතිරික්තය නිසා ය. (ප්‍රාථමික සමුච්චනය ගැන වෙන තැනක සඳහන් වෙයි.) 

                          කොතලාවලගේ ව්‍යාපාරික මොඩලයට අංශ තුනක් පැවතියාක් මෙන්ම මතවාදී තලයේ දී ද ඔහුට සතුරන් වර්ග 3ක් සිටියේ ය.

1. ඉහළ පන්තිය සහ පල්ලිය- සාම්ප්‍රදායික පල්ලියට ඔහු හිසරදයක් වූ අතර ලංකාවේ ප්‍රභූ දේශපාලකයන්ව ඔහු ප්‍රසිද්ධියේ හාස්‍යයට ලක් කළේ ය. රනිල්ට ඔහු කීවේ, ‘පොන්ටියන් වටකරගත් අලසයා’ කියා ය.

2. මැද මට්ටමේ ව්‍යාපාරිකයන්ට සහ පුද්ගලයන්ට – චරිත රත්වත්තේට පවා ඔහු ඇමතුවේ, ‘අයිසේ’ කියා ය. රාජපක්ෂලා ඔහු සමඟ ප්‍රකෝප වීමට එක හේතුවක් වූයේ, මේ ‘අයිසේ’ කතාවයි. චිත්‍ර කලාව සහ උසස් සංස්කෘතියේ රසිකයෙකු වූ නිසා පහළ මැද පන්තියේ සාමාජිකයන්ට නින්දා කිරීම ඔහු පුරුද්දක් කර ගත්තේ ය. ගාමිණී සෙනරත් වැනි අය තරහ වූයේ ද, පළිගත්තේ ද, කබ්රාල් වැන්නන් කෝප වූයේ ද මේ සාධකය නිසා ය.

3. පීඩිත පන්තියට ක්ෂුද්‍ර ණය දීමේ ක්‍රමයක් විධිමත්ව රැගෙන ගියේ, සෙලින්කෝ ග්‍රාමීන් ව්‍යාපාරය යි. මේ හේතුව නිසා, හර්ෂ කුමාර නවරත්න, වින්ද්‍යා ආරියරත්න වැනි තෘණ මට්ටමේ නායකයින්ව අභියෝගයට ලක් විය. මහින්ද රාජපක්ෂට ඔහු ගැන කේලාම් කීවේ මේ ගැමි නායකත්වය යි.

ලිපියේ දුෂ්කරම කොටසට දැන්  අපි අවතීර්ණ වී ඇත්තෙමු. මන්දයත්, මූල්‍ය ප්‍රාග්ධනයේ සමාජ සබඳතා පැහැදිලි කිරීම ඉතා දුෂ්කර නිසා ය. එපමණක් නොව, ‘ධනවාදය’ නොනැසී පවතින්නේ ද මෙම මූල්‍ය ප්‍රාග්ධනය සතු ‘මළගිය ප්‍රාණී’ (Living Dead) ස්වභාවය නිසා ය. (සමකාලීන ලෝක තත්වය තුළ ලංකාවේ ‘නිෂ්පාදන ප්‍රාග්ධනය’ පිළිබඳ තිසීසය අප අතහැර දැමිය යුතුය- මෙහි හේතු පසුව පහදනු ලැබේ.)

                          මෙම මළගිය ප්‍රාණීන් යනු, අමරණීය මිනිසුන් ය. මූල්‍ය ප්‍රාග්ධනය විසින් සමාජ සබඳතා උත්පාද කරන විට මරණය යනු පරිමිත අදහසක් නොවේ. Facebook වැනි අවකාශ වලට නිරන්තරයෙන් ඇබ්බැහි වී ඇති මිනිසුන් යනු, අමරණීය සහ වෙනත් අතකින් තමන්ගේ දෛවයට විවෘත බවක් ලබා දුන් අය යි. නූතන ටෙලි කතාවල ප්‍රධාන චරිතයට සම්බන්ධ අවශේෂ චරිත ඒ ඒ කොටස් වලට අනුව විචල්‍ය වන පරිදි ම Facebook  මළගිය ප්‍රාණීන්ගේ මිත්‍රයන් යනු ද සන්දර්භය අනුව උපත ලබන සහ මියයන අයවලුන් ය. ඒ අර්ථයෙන්, මූල්‍ය ප්‍රාග්ධනය විසින් නූතන මිනිසාගේ ජීවිතයට මරණය වෙනුවට ඊට වඩා භයානක සහ ඇබ්බැහි වන නොමියන නැතහොත් අමරණීය බවක් ආරෝපණය කර ඇත. ජීවිතය එක විදිහකට ගත කිරීම අසාර්ථක නම් සියදිවි නසා ගැනීම වෙනුවට අපට ජීවිතය අලුත් විකල්ප විදිහකට යළි පටන් ගත හැකි ය. මේ අර්ථයෙන්, හෛඩගර්  විසින් ඉදිරිපත් කළ දාර්ශනික ගැටලුව මරණයෙන් ජීවිතයට අර්ථය පැමිණීම අහෝසි වී ඇත. ඒ වෙනුවට, දැන් ජීවිතයට අර්ථය එන්නේ නොමැරෙන සුළුභාවයකට – immortal ; living forever; never dying or decaying.- අප දැන් අවතීර්ණ වී ඇති නිසා ය. අපි මැරෙන බව හිතනවාට වඩා භයානක සහ අලුත් ගැටලු සමූහයක් නූතන ඩිජිටල් අවකාශය හරහා උත්පාද වී ඇති තථ්‍යසමාන අමරණීයත්වය හරහා අපට සම්මුඛ වී ඇත. මේ අර්ථයෙන්, මා කැමති වන්නේ මාව ‘ටොම් සහ ජෙරී’ ලෙනින්වාදියෙක් ලෙස සැලකීමට ය. මේ අමරණීයත්වය පිළිබඳව සාධකය සහ Freudගේ මරණ ආශය නිසා අලුත් දාර්ශනික ගැටලු වැලක් ‘මාක්ස්වාදයට’ හමු වී ඇත. මෙමඟින් බිහි වී ඇති ආත්මීයත්වය අපට යෝජනා කරන්නේ, නව-සද්භාවවේදයකි.[New Ontology]

                        ඉහත දාර්ශනික පසුබිම නොදන්නා සාම්ප්‍රදායික සහ නූතන ආර්ථික විද්‍යාඥයන්ගේ අර්ථකථනයන්ට අනුව සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ දුර්වල නිලය පැවතියේ, ගෝල්ඩන් කී සමාගම සහ සෙලාන් බැංකුව අතර ය. සාමාන්‍යයෙන්, මුල්‍ය වෙළදපොළේ ඒ මොහොතේ දී පැවති (2006-2008) පොලී අනුපාතිකය වූයේ, තැන්පතු සඳහා 4-8 දක්වා පරාසයක පොළියකි. එය ස්ථාවර තැන්පත් සම්බන්ධයෙන් 12-19.5 දක්වා පරාසයක පැවතිණි.

                        ‘කාවන් පෙරේරා’ යනු, ගෝල්ඩන් කී සමාගමේ ප්‍රධාන විධායකයා ය. ඔහු කළ රැඩිකල් වැඩය වූයේ, තම සමාගමේ තැන්පතුකරුවන්ට පොලිය 12-30 දක්වා පරාසයකට පුළුල් කිරීමයි. මෙය ‘යථාර්ථවාදී’ නොවන වැඩකි. ඒ මන්දයත්, යථාර්ථයට පිටතින් පවතින බාහිරත්වය (Grand Outside) අපට වටහා ගත නොහැකි නිසා ය. මන්දයත්, කාන්ට් නම් දාර්ශනිකයාට අනුව යම්කිසි සමාගමකට ඇත්තේ නිශ්චිත සහසම්බන්ධතා සමූහයක් නිසා ය. ඒ අර්ථයෙන්, ගෝල්ඩන් කී සමාගම පරිමිත සමාගමකි. බාහිරින් සිටින මහා බැංකුව සහ අනෙකුත් මූල්‍ය වෙළෙන්දන් කියන්නේ, දෙන්න බැරි ‘පොළියක්’ යෝජනා කරාම එම සමාගම කඩා වැටෙන බවයි. නමුත් වියදම් කිරීමට නොදන්නා මිනිසුන් නිසා පොලී අනුපාතිකය පහළ බසින බව කියන්නට කෙනෙක් නැත. නමුත් කොතලාවලගේ සෙලින්කෝ සමූහයේ මූල්‍ය අත්තිවාරම වන්නේ, පහළ පන්තියේ මිනිසුන්ගෙන් තැන්පතු සඳහා ගන්නා මුදල් ඉහළ පන්තිය සඳහා ආයෝජනය කිරීමයි. ‘වටිනාකම’ නිපදවන තැනින් නොවේ වටිනාකම තහවුරු කරගන්නේ. උදාහරණයක් ලෙස ගතහොත්, ඇපල් දුරකථනය හදන්නේ චීන කම්කරුවෙකු වුණාට එහි මිල තහවුරු වෙන්නේ කැලිෆෝනියාවේ දී එය මිලට ගන්නා මැද පන්තිකයෙකුගෙනි.

                         මූල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රසාරණය හෝ ස්වයංජනනය සඳහා සංස්කෘතියට සිදුවනවා එක මොහොතක දී උපරි-ව්‍යුහයේ ප්‍රපංචයක් වෙනුවට අධෝ-ව්‍යුහයේ දහන මූලධර්මයට ඇතුල් වෙන්න. උදාහරණයක් ලෙස, වැල්ලවායේ පුංචි කඩයක අයිතිකාරියක් මාසයකදී ඉතුරු කරන රුපියල් 10,000ක් ‘ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් පතක්’ හරහා එක වරක දී කොළඹ සිටින මැද පන්තියේ සාමාජිකයෙක් දඹුල්ලේ කණ්ඩලම හෝටලයේ සතිඅන්ත නිවාඩුවක් ගත කිරීමට අත්තිකාරම් හැටියට ගෙවනවා. ඔහු ඒ හෝටලයට යන්නේ තමන්ගේ විකල්ප පෙම්වතිය සමඟ තන්ත්‍රයාණය භාවිත කරමින් දීර්ඝ වේලාවක් රමණීයේ යෙදීමට යි. ‘මූල්‍ය ප්‍රාග්ධනය’ කියන ප්‍රාග්ධන මට්ටමේ දී ‘වටිනාකම’ ( Value Realization) තහවුරු කර ගැනීමට සංස්කෘතික ප්‍රාග්ධනයක් අවශ්‍ය ය. ඉන්ධන දහනය වෙන්නේ ගමන් යනකොට වගේ තමයි ‘මූල්‍ය සම්පත්’ දහනය වෙන්නේ සංස්කෘතිය පාදක වීමෙනි.

                         දැන් මෙතනින් එහාට යෑම ඉතා දුෂ්කරයි.

                   ධනවාදයට ව්‍යුහාත්මකව අල්පේච්ඡ මිනිසුන් සහ කාමසුකල්ලිකානු මිනිසුන් අවශ්‍යය. ඒ කියන්නේ, ඉතුරු කරන මිනිසුන් සහ වියදම් කරන මිනිසුන් ය. චීනයේ ව්‍යුහාත්මක ගැටලුව තමයි ජනගහනයක් ලෙස ඔවුන් වටිනාකම් ස්කන්ධයක් ලෙස නිෂ්පාදනය කරනවා. නමුත් පරිභෝජනය කරන්න පුළුවන් වෙන්නේ නැතහොත්, ණය ගන්න අය ඉන්නේ අඩුවෙනි. ඇමරිකාවේ තියෙන්නේ මෙහි කනපිට පැත්ත ය. නිෂ්පාදකයන් අඩුයි. පරිභෝජකයන් අධිකයි. චීනය විශාල ණයහිමියෙක් වෙලා ඇමෙරිකාව විශාල ණයගැතියෙක් වෙන්නේ ඒකයි. ඒ අනුව, ධනවාදී ආර්ථිකය තුළ ණය ගැනීම නරක දෙයක් නොවේ.

Deepthi kumara Gunarathne

මීළඟට ඊළඟ කොටස – 

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

                            

ඔබේ අදහස කියන්න...