දීප්ති යනු කවුද ? ඔහුට දර්ශනයක් තිබේ ද ? ඕපපාතිකව බටහිර දර්ශනය වහරන්නෙක් ද ? දීප්තිගේ අරගලය අසමත් ද ? යනුවෙන් විවිධ ස්වරූපයේ ප්‍රශ්න අසන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ ලේකම් දීප්ති කුමාර ගුණරත්න යනු කවුදැයි දන්නා එහෙත් විකාර සහගත දේවල් දොඩවන පිරිසට කෙරෙන මතක් කරදීමයි. විවිධ ප්‍රශ්න අසන ඔබ මොහොතකට හෝ කල්පනා කළාද දීප්ති නොමැති ලංකාව කෙබදු දැයි යන්න පිළිබදව.
පශ්චාත් ධනවාදී සමාජය තේරුම් ගැනීමට අවශ්‍ය දැනුම මෙරට තුළ නිශ්පාදනය කළේ දීප්ති බව ඔබට අමතකව ඇත. දේශපාලන ක්‍රියාදරයන් වෙත ඔහු විසින් උගන්වන ලද ව්‍යුහවාදය ( යුරෝපය ), පශ්චාත් ව්‍යුහවාදය ( ප්‍රංශය ), මනෝ විශ්ලේෂණය, පශ්චාත් මාක්ස්වාදය ඇතුලු කලාපයන් පිළිබදව ගොඩනැගුණු කතිකාවට ඔබ විවිධ ස්වරූප වලින් සම්මුඛ වන්නට ඇත. ධනවාදය තේරුම් කර දීම සදහා ඔහු උගන්වන ලද දැනුම අර්ධ වශයෙන් හෝ ඔබ කරා නොපැමිණියේ නම් තවමත් ඔබ ඉන්දියානුවකු, පකිස්ථානුවකු, නේපාලයකු, බංග්ලාදේශයකු, හෝ මාලදිවයින් කාරයකු පරිද්දෙන් සමාජය තුළ මේ සිදුවන්නේ කුමක්දැයි නොදැන උඩ බිම බලනු ඇත. දකුණු ආසියාව තුළ නොපැවති දැනුම ලංකාව තුළ කේන්ද්‍රගත කළ දීප්තිට අපවාදයන් රැසකට මුහුණ දීමට සිදුවිය. අප එයට පුදුම වන්නේ නැත. සමාජයට සිදුවන්නේ කුමක්දැයි නොතේරෙන කාල වල එය පැහැදිළි කළ හේගල්ගේ සිට මාක්ස් දක්වාත් ලෙනින්ගේ සිට ජිජැක් දක්වාත් වූ පිරිස් ද මෙසේ අපවාදයට ලක් වූ බව අතීතය දන්නා අපි දනිමු.
1995 දී ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි දීප්ති ගොඩනැගූ සංවිධාන ශක්තිය 2004 දී මුල් වරට විතැන් විය. දෙවැනි ඛණ්ඩනය සිදු වූයේ 2015 දී යැයි පැවසිය හැකිය. මෙම වසර 20 ක කාලය තුළ ඔහු නිරත වූ දේශපාලනයේ නශ්ටාවශේෂයන් වන්නේ අපවාදය පමණක් යැයි ඔබ සිතන්නේ නම් එතැනදී ඔබට අපෝහකවාදයේ භාවිතාව අමතක වී ඇත. අප ආරම්භ කරන්නේ ඔබ නතර කළ තැන සිටය. ඒ වසර 20 තුළ ලැබූ අත්දැකීම් වලින් උගත් පශ්චාත් ධනවාදයට මුහුණ දී එය වෙනස් කිරීමේ ශක්‍යතාවක් ඇති ශක්තිමත් පක්ෂ ව්‍යුහයක් ගොඩනැගිය හැකි දැනුමේ භාවිතාව ඇත්තේ දීප්තිට පමණි. ඔහුගේ උරුමය මේ යැයි පවසන බොහෝ දෙනා මේ වන තෙක් එම කවුළුවෙන් දීප්ති වෙත ඇතුළු වී නැත. පක්ෂ ක්‍රියාදරයාට මෙම තත්ත්වය අවබෝධ කරගැනීමට වසර 20 ක් ගත විණි. එම කාලය සරළ නැත. අප එය සුළු කොට තකන්නේ ද නැත. දීප්ති ගොඩනැගූ දැනුමේ භාවිතාව උරුමව ඇත්තේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයටයි. පෙරටුගාමී පක්ෂය හෝ දීප්තිව මගහැර දැනුමේ භාවිතාව උගත හැකි යැයි සිතා සමහර අය වටවන්දනාවේ යයි. දීප්තිගෙන් ඉගෙන ගත් අයගෙන් ඉගෙනගත් අයගෙන් ඉගෙනගත් අයගෙන් ව්‍යුහවාදය ඉගෙන ගැනීමට උත්සහ කරයි. නමුත් ඔවුන්ගේ සියළු හැදෑරීම් ටික කලකින් අසමත් වන්නේ අනුක්‍රමිකව මේ දැනුමේ භාවිතාව නිවැරදිව පෙළ ගැස්සවිය හැක්කේ දීප්ති ප්‍රමුඛ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට පමණක් වන නිසාය.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නව අධ්‍යාපන වැඩසටහන අපගේ පරම්පරාවට උරුම කිරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ වී තිබේ. මෙයින් බොහෝ සෙයින් කලබලයට පත් විජේවීරගේ දරුවන් පිරිසක් ලංකාවේ තැන් තැන් වල ගොස් අපගේ දේශපාලන පන්ති වල උගන්වන දේ යැයි කියා විවිධ විකාරසහගත දේවල් උගන්වමින් සිටියි. අපි ඔවුන්ට කියන්නේ ‘‘ඉගැන්නුවාට කම් නැත , නමුත් හරියට ඉගෙනගෙන උගන්වන ‘‘ ලෙසයි.
අනෙක් පැත්තෙන්, සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරයේ ප්‍රධානතම චරිතයක් වන ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා එම සාධාරණ සමාජයක් හැදීමට මුල් වූ පන්සල තුළ සිදු වූ අසාධාරණයන් ගැන කිසිවක් දන්නේ නැත. මේ වන විට එම පන්සල කේන්ද්‍රීයව සිදු වූ නොපනත් ක්‍රියා කරළියට පැමිණෙමින් තිබේ.
අවසාන වශයෙන් ඔබට අප දැනුම් දෙන්නේ අවධානයෙන් සිටින ලෙසයි. මුදල් ඉපයීමට අවශ්‍ය නම් ඔවුන් සමග එක්වන්න. දේශපාලනය කිරීමට අවශ්‍ය නම් අප සමග සම්බන්ධ වන්න. නුදුරේදීම අපගේ දැනුමේ භාවිතාව විදහා දක්වන කෘතියක් එළිදැක්වීමට නියමිත අතර එවිට ඔබට දවල්ට ද අහසේ තරු දකිනු හැකි වනු ඇත..

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. “නුදුරේදීම අපගේ දැනුමේ භාවිතාව විදහා දක්වන කෘතියක් එළිදැක්වීමට නියමිත අතර එවිට ඔබට දවල්ට ද අහසේ තරු දකිනු හැකි වනු ඇත”

    danatamath tharu penila..mokakda happochchiye me danume bavithava kiyanne ?

  2. ලංකාවට කාල් මාක්ස් හදුන්වා දුන්නේ කවුද ? චේ ගෙවාරා හදුන්වා දුන්නේ කවුද?කවුරුත් ඒ සඳහා පේටන්ට් ගන්නට උත්සාහ කර නැත්තේ ඇයි.දයලෙක්තිකය අදාල වන්නේ පිටස්තරන්ට පමනක්ද ඔබලාට එය අදාල නැත්ද

Comments are closed.