ලංකාව කියන්නේ ටිකට් ගන්නේ නැතුව කොමඩි පෙන්නන රටක්. හැබැයි ඒ කොමඩි ෆ්‍රෙඞී සිල්වා ජාතියේ ඒවා නෙමේ. බන්දු සමරසිංහගේ ටෙනිසන් කුරේගේ ජාතියේ ඒවා. ටිකට් නැතුව නොමිලේ අලූ‍තින්ම පෙන්නුව කොමඩියේ නිළිය නදීකා බණ්ඩාර. ටෙලි නාට්‍ය ගොඩක එකම නිළියක් රඟපානකොට ඒ නිළිය ගැන ලියන්න වෙන අවස්ථා තියෙනවා. මේකත් එහෙම එකක්. නළුවා වංගීස සුමනසේකර. කාලෙකට කලින් වංගීසගෙන් නදීකාට සිද්ධ වුණ ශාරීරික හිරිහැරය හෙළා දකිමින් සෑහෙන්න පිරිසක් ඒ වටා එකතු වුණා. ඒ ගැන කතා කළා. පිටු ගණන් ලිව්වා. ගැහැනිය සාමාන්‍ය ලෙස දැකීමට පිරිමියා අසාමාන්‍ය විය යුතු නැත කියලා ටැග් ලයින් පවා මේ විරෝධය අගට එකතු වුණා. නදීකා ඒ ගැන මෙහෙම ලිව්වා.

”ගැහැනිය මනුෂ්‍ය පැවැත්මක්ය යන්න පිළිගැනීමට අප වැනි සංස්කෘතීන්ට තව කොපමණ කාලයක් ගත වෙනු ඇතිද?” ‍එහෙම අවසන් වුණ පුද්ගල ගනුදෙනු ආයෙමත් ඒ වගේම තැනකින් (බාර් එකකින්) අලුත් වෙන්නේ කොහොමද කියලා විවිධ පුද්ගලයන් විවිධ මාධ්‍ය හරහා ප‍්‍රශ්න කරලා තිබුණා. ඒක තමයි වර්තමාන සමාජ දේශපාලනය කියන්නේ. කම්මුල් රතු වෙන්න ගහලා අත පය කඩාගෙන අන්තිමට බියර් එකක් බෙදන් බොන එක. දේශපාලනය කියන්නේ එච්චරයි. ඊට වඩා එහායින් කිසිම දෙයක් නෑ.

 

මේ හැම දේම සිද්ධ වෙලා කාලයක් ගත වුණා. අපිට ආයෙමත් මේ පිරිස එකම වේදිකාවක් සහ එකම බාර් එකේ මේසයක් බෙදාගැනීමේ සුන්දර දර්ශනය දකින්න ලැබුණා. එකිනෙකට නොගැළපෙන හා එකිනෙකට විපරිත වූ අදහස් තියෙන වාමාංශිකයින්, හුදෙකලා විප්ලවවාදීන්, ශිෂ්‍යාවන්ව කාමරවලට අරන් යන කැම්පස් ආචාර්යවරුන්, ස්ත‍්‍රීවාදීන්, කුණාටුවලට අහම්බෙන් ගහන් ආව පුද්ගලයන් මෙහෙම සමූහයක් ලෙස එකට එකතු වීමේ සුන්දරත්වය පිටිපස්සේ තියෙන්නෙ මොකක් වෙන්න පුළුවන්ද? විශේෂයෙන්ම අතීතයේ පිරිසක් ඉදිරියේ තමන්ට ශාරීරික හිරිහැර කළ විපරිත පිරිමියෙකු සමඟ එකම වේදිකාවක් බෙදා ගැනීමෙන් නතර නොවී බාර් එකේ එකම මේසයක දෙපැත්තේ ඉඳගෙන චියර්ස් කියලා සීතල බියර් එකක් බෙදා ගැනීමට තරමටම ඔවුන්ව පොලඹවපු හේතුව.

ජීවිතය සදාතනික දුකක් වුණ එහෙමත් නැත්නම් තමන්ගේ ඇත්ත ජීවිතය හරි තමන්ව හරි දරාගන්න බැරි තරමට නීරස වුණාම මිනිස්සු පිටතින් හොයනවා ඒක මඟහැරගන්න දෙයක්. එහෙමත් නැත්නම් තමන්ගේ ඇත්ත වහගන්න වෙස්මූණක්. මේ නිසා මිනිස්සු පොත් ලියලා ලේඛකයන් වෙනවා. කවි ලියලා කවිකාරයෝ වෙනවා. උද්ඝෝෂණවල ගෑස් බෝම්බ කාලා වාමාංශිකයො වෙනවා. ජිජැක් ගැන කතා කරලා සමාජ විශ්ලේෂකයො වෙනවා. ගෑනුන්ගේ අත් බලලා අනාගතේ කියන අයත් මේකට අදාළයි. ඒක තමයි ඒ පුද්ගලයන්ගේ විනෝදය වෙන්නේ. විනෝදය කියන්නෙම වේදනාත්මක සත්‍යයක්. එතකොට මේ එකිනෙකට නොපෑහෙන පුද්ගල චරිත ඒ කියන්නේ එකිනෙකට වෙනස් ගේම් ගහන පුද්ගලයන් එකට එකතු වෙන්නේ පොදු සතුරෙකු පරාජය කරන්න. මේ අය දැඩිව විශ්වාස කරනවා මේ පොදු සතුරා මේ පුද්ගලයන්ගේ විනෝදය හොරකම් කරනවා එහෙමත් නැත්නම් ඔවුන්ගේ විනෝදය තර්ජනයට ලක් කරනවා කියලා. ඒ නිසා මේ පොදු සතුරා එහෙමත් නැත්නම් ෆැන්ටසි ආඛ්‍යානය නිසා ඔවුන් එකිනෙකා කෙරෙහි ඇති සියලූ මති මතාන්දර පසෙක දාල එකතු වෙනවා. ඒක සුන්දර හමුවක්. නදීකා සහ වංගීස ආයෙමත් බාර් එකක දී සව්දිය පිරීමේ සුභාරංචිය අපිට කියන්නේ ඒ පොදු සතුරා ගැන.

”දීප්ති අපේ විනෝදයට බාධා එල්ල කරනවා. අපේ ප‍්‍රමෝදය දීප්ති විසින් තර්ජනයට ලක් කරනවා. ඒ නිසා දීප්ති නමැති පොදු සතුරා ඉදිරියේ අප එකතු විය යුතුයි”‍

මේ වර්තමානයේ ඛාදනයට ලක් වී ඇති වාමාංශීක විප්ලවකරුවන් ඇතුළු තක්කඩි පිරිසගේ අවිඥානික හඬගෑමයි. අනෙක් පසෙන් ඔවුන්ගේ අවිඥානික උත්තේජනය වන්නේ ද දීප්තිමය. සිනමා විචාර, මනෝවිශ්ලේෂණික කතිකාවන්, පොත් කියවීම් මේ සියල්ලන් සඳහා ඔවුන්ව අවදි කර තබන්නේ දීප්තිගේ නමයි. මේ පොදු සතුරා නොමැති තැන ඔවුන්ගේ පැවැත්මද අවිනිශ්චිතය. එයින් අර්ථ ගැන්වෙන්නේ  ආශාව තෘප්තිමත් වුවහොත් ආශාව මිය යෑමයි. එනිසා ඔවුන්ට අවශ්‍ය වන්නේ ද ඔවුන්ගේ විනෝදය තර්ජනයට ලක් වීමකි. මෙය ඉතා පරිස්සමට අප වටහාගත යුතු ය.

කිසිවෙකුට පරම ප‍්‍රමෝදයක් විඳීමට නොහැක. ඒ ඔවුන් තුළම ප‍්‍රතිවිරෝධයක් ඇති බැවිනි. තමාගේ බාධාව තමාම ම යන සත්‍ය දරා ගැනීමට නොහැකි නිසා සිදු වන්නේ තමන්ගේ පරම ප‍්‍රමෝදයට ළඟා වීමේ බාධාව ලෙස අනෙකෙකු තෝරා ගැනීමයි. අප මෙය සංකේතීයව විග‍්‍රහ කළ විට අපට ලැබෙන්නේ මෙවැනි දෙයකි. එනම්

”දීප්ති නිසා තමයි මට හිමි වෙන්නෙ තිබූ යමක් අහිමි වෙලා තියෙන්නෙ. දීප්ති නැත්නම් මගේ ලෝකය කොයිතරම් නම් සුන්දර වෙන්න තිබුණාද? මගේ පරම විනෝදයට බාධා කරන්නේ දීප්ති මිසක වෙන කවුරුන්ද?”‍

මෙන්න මෙහෙම කියන විපරිතයින් ඊට පස්සෙ හොයන්න ගන්නවා දීප්තිගේ ප‍්‍රමෝදය ගැන.‍

”මට අහිමි වුණු යමක් දීප්ති විඳිමින් සිටිනවා. එය මා සොයාගත යුතුයි. ඊට පස්සේ මට පුළුවන් දීප්තිගේ ප‍්‍රමෝදය කෑලිවලට කුඩු කරන්න.”‍

එහෙම හිතපු සහෝදරවරු කළේ පක්ෂ කාර්යාලේ සවුන්ඞ් සෙටප් උස්සන් ගියපු එක. ජින් බෝද්‍රිලාද්ගේ පොත් යටි බඬේ හංඟන් ගිය එක. ඩී.වී.ඩී. හොරකන් කරපු එක.  සහෝදරවරු අනුන්ගේ ගෑනු උස්සන් පැනලා ගියා. සහෝදරියන් තමන්ගේ පැරණි පේ‍්‍රමවන්තයින් අත්හැරලා පක්ෂෙ ඇතුළෙ පිරිමින්ව කසාද බැඳලා අරන් ගිය එක. දීප්තිගේ ප‍්‍රමෝදය හොයන්න ගිහින් ඒ ප‍්‍රමෝදයෙන් කෑල්ලක් හරි කඩන් යන්න හදපු සහෝදරවරුන්ට අවසානේ එකම රෝගය වැලඳුණා. ඒ නින්දෙන් ගැස්සිලා දාඩිය දාගෙන ඇහැරෙන එක. එහෙම අයගෙන් සමහරක් මූද තරණය කරලා ලංකාවෙන් ඈතට ගියා. අනිත් අය ෆේස්බුක් ආවා. මෙන්න මේ වගේ පුද්ගල සම්බන්ධතා සහ ගනුදෙනු තිබෙන, ඒ වගේම විපරිත පුද්ගල මනෝභාවයන් සමඟ දේශපාලනික තලයක දී වැඩ කිරීමට පෙර පෙට්ටි කඩවල්වල කැෂියර් එක ළඟ ගහල තියනවා වගේ අපට සිද්ධ වෙනවා පක්ෂ කාර්යාල දොරේ ගහන්න ”සිගරැට් ඇත. ගින්දර නැත”‍ වගේ එකක්.

ප.ලි –   නදීකාගේ සහ වංගීසගේත්, වාමාංශික තක්කඩියන්ගේත් පසමිතුරු හමුවේ දී කේ. කේ. සමන් කුමාරට වෙන් කර තිබූ ආසනය හිස් වී තිබුණි. ආසියාතික පහළ මධ්‍යම පාන්තික ස්ත‍්‍රීන් බියර් බෝතලයක් තොළ ගෑමේ හා සිගරට්ටුවක් ඉරීමේ ආනන්දනීය දර්ශනය බලා සිටිමින් සහනයට පත් වන්නටම එදින එතැනට සැපැමිණි වාමාංශිකයන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මළ කෙලියයි.
    //මේ නිසා මිනිස්සු පොත් ලියලා ලේඛකයන් වෙනවා. කවි ලියලා කවිකාරයෝ වෙනවා. උද්ඝෝෂණවල ගෑස් බෝම්බ කාලා වාමාංශිකයො වෙනවා. ජිජැක් ගැන කතා කරලා සමාජ විශ්ලේෂකයො වෙනවා. // දැන් බලාගෙන ගියහම අපිත් මේ ගානට වැටෙනවනේ. ඉඳල හමාරයි. හි හි හෙටම යනවා දීප්ති හම්බ වෙලා මේක අහන්න

Comments are closed.