කොහොමටත් මේ සතියට මා ලියන්නට සිතාගෙන සිටියේ නරුමවාදය (Cynicism) ගැන තමයි. සතිඅන්තයේ දී ‘ආලෝකෝ උදපාදි’ නැරඹීමෙන් වූයේ එහි කාලෝචිත බව මට තීව‍්‍ර දැනීමය. එම චිත‍්‍රපටය නැරඹීමට මා පෙලඹවූයේ ඒ ගැන ලියා තිබුණ විචාර කන්දරාවය. ආලෝකෝ උදපාදි ගැන ඒ තරම් විචාර ලියන්නට මේ විචාරකයන් තුළ පෙලඹවීමක් ඇති කළේ ඇයි? පුදුමය වන්නේ මා කියවූ විචාර වැඩි හරියක චිත‍්‍රපටයේ සාධනීය අගයක් අවධාරණය නොවීමය. 
සාමාන්‍යයෙන් යම් කලා කෘතියක් ගැන තමා වෙත  ඇත්තේ නිශේධනීය කියවීමක් නම් ඒ ගැන ලියන්නට යන්නේ ඇයි? එබඳු කලා කෘතියක් පිළිබඳ කළ හැකි හොඳම විචාරය නම් ඒ ගැන කිසිවක් නොලියා සිටීමය. සේන තෝරදෙණිය නමැත්තා නම් මුග්ධ ලෙස තමා අකැමැති දේ ගැන පුන පුනා ලිවීමෙන් ඊට ප‍්‍රචාරයක් නොමිලයේම සපයා දෙයි. ආලෝකෝ උදපාදි වැනි සිනමා පටයක් නිර්මාණය වීමත් ඒ ගැන විචාර ලිවීමෙන් නොනැවතී සම්මන්ත‍්‍රණ පවා පැවැත්වූයේත් කුමක් නිසාද යන ප‍්‍රශ්නයට මා සොයාගත් පිළිතුර නරුමවාදයයි. එබඳු විචාර අප නම් කළ යුත්තේ ‘බයිට් විචාර’ යනුවෙනි. සුරා පානය කරන විට කෑමට ගන්නා කටගැස්ම ගැන කරන විවේචන සහ මේ චිත‍්‍රපටය ගැන ලියවුණු විචාර අතර වෙනසක් නැත. මේ පිළිබඳ වැඩිදුර දැන ගැනීමට අවැසි අය බදාදාට දිනමිණේ කටගැස්ම ලියන රන්ජන් අමරරත්න මහතා හමුවන්න. මක්නිසාද යත් තමා ලියන්නේ බයිට් විචාර බව පිළිගැනීමට තරම් ඔහු අවංක බැවිනි. 
සාරාංශ කොට කිවහොත් ‘ආලෝකෝ උදපාදි’ ගැන ලියූ අය ලිව්වේ චිත‍්‍රපටය ගැන නොව තමන් ගැනය. (ලක්බිමේ තිස්ස පේ‍්‍රමසිරි මෙයට අඩංගු නැත. ඔහු සතිපතා ලියන්නේ චිත‍්‍රපටයක් ගැන විචාරයකි] ආලෝකෝ උදපාදි ගැන ලියූ අය කියන්නේ මෙවැන්නකි. ”මහත්වරුනි, මේ චිත‍්‍රපටය දෙස නොව ලියන මා දෙස බලන්න.” මේ කාලයේ නරුමවාදය කි‍්‍රයාත්මක වන්නේ එසේය. එය සිනා විය යුතු කරුණක් නොව ශෝචනීය තත්ත්වයකි. ඔවුන් එසේ කරන්නේ කිසිවකු අද විචාරකයන් දෙස නොබලන බැවිනි. ඔවුන්ට අවශ්‍ය තමන්ට පිළිගැනීමක් (Recognition) හදා ගැනීමය. ඔවුන් කිසිසේත් තමන් ලියන දේ සමඟ අනන්‍ය නැත. 
NARCISSIST 1
අප නැඟිය යුතු ප‍්‍රශ්නය නම් මේ චිත‍්‍රපටය නිර්මාණය කළ අය පවා ඉන් කියවෙන පණිවුඩය සමඟ අනන්‍යද යන්නය. එනම් ඔවුන් රටත් සම්බුද්ධ ශාසනයත් සුරැුකීම වෙනුවෙන් කැපවූවන් ද? නරුමවාදයේ ස්වභාවය නම් කිසිවකු තමා පෙනී සිටින චින්තනය සමඟ අනන්‍ය නොවන බවය. මහින්ද චින්තනය සමඟ ඒ වෙනුවෙන් බරපතළ ලෙස පෙනී සිටින්නන් ද අනන්‍ය නැත. හැම විටම ඔවුන් සිටින්නේ ඒ සමඟ දුරස්ථ බවක් නඩත්තු කරමිනි. මේ කාලයේ සාහිත්‍ය කලාව පිළිබඳව බරපතළ ලෙස කතා කරන්නවුන් පවා සෑම විටම සිටින්නේ තමා කතා කරන දේවල් සමඟ දුරස්ථ බවක් තබා ගනිමිනි. කලාව  පිළිබඳ ඉවර නොවන ලියවිලි ඔවුන්ට නිරන්තරව ලිවීමට හැකිව තිබෙන්නේ ද ඒ නිසාය. 
නරුමවාදය පිළිබඳ ලිවීමේ දී ජිජැක්ටත් ගුරු වූ පීටර් ස්ලෝටර්ජික් ඒ පිළිබඳ කරන පළමු නිර්වචනය වන්නේ එය ප‍්‍රබුද්ධ ව්‍යාජ සවිඥානිකත්වයක් (Enlightened False Consciousness) යන්නය. එනම් තමා දරා සිටින්නේ ව්‍යාජ සවිඥානයක් බව නරුමවාදියා දන්නා බවය. ස්ලෝටර්ජික් අදහන පරිදි ව්‍යාජ සවිඥානිකත්වය පිළිබඳ නිවැරැුදි එළඹුමක් පිණිස හතර වන මානයක් ද අවශ්‍යය. ඒ අනුව කාන්ට්ගේ The Critique of pure Reason පළ වී අවුරුදු 200කට පසු ලියවෙන The Critique of Cynical Reason හිලා පීටර් ස්ලෝටර්ජික් මෙසේ ලියයි. (මේ එහි දල පරිවර්තනයකි]
”මේ වන තෙක් ව්‍යාජ  සවිඥානකත්වය බිහි වුණ විධිමත් කි‍්‍රයා සන්තතිය (එනම් මුසා, වැරැුදීම් සහ දෘෂ්ටිවාදය*] අසම්පූර්ණය. තත්කාලීන මානසිකත්වය විසින් හතර වන ව්‍යුහයක් ද ඉල්ලා සිටිනු ලබයි. නරුමවාදය නම් වූ ප‍්‍රපංචය එයයි. නරුමවාදය ගැන කතා කරනවා යනු දෘෂ්ටිවාදී විවරණය (Ideolgy Critique) නම් වූ පැරැුණි ගොඩනැඟිල්ලට නව ප‍්‍රවේශයකින් ඇතුළු වීමය.”
-පීටර් ස්ලෝටර්ජික්-
නරුමවාදය පිළිබඳ ජාන ගවේෂණයේ දී අපට හමු වන පළමු වන නරුමවාදියා ග‍්‍රීසියේ විසූ ඩියෝජිනස්ය. ඔහු කි‍්‍රයා කළේ ද්වේශසහගත පුද්ගලවාදියකු ලෙසය. ඔහු හැසිරුණේ තමාට කිසිවකු අවැසි නැති අයුරිනි. තමාට කිසිවකු ආදරය නොකරන්නේ තමාගේ වෙස් මුහුණු ගලවන  බැල්මෙන් (Gaze)කිසිවකුට ගැලවිය නොහැකි බැවිනැයි ඩියෝජිනස් ඇදහුවේය. ඔහුගේ නරුමවාදය විරෝධාකල්පයකි. ඔහු  පීප්පයක් තුළ ජීවත් වෙමින් ප‍්‍රසිද්ධියේ මලපහ කරමින් ස්වයං මෛථුන්‍යයේ යෙදෙමින් අපේක්ෂා කළේ තමා වෙත අවධානය දිනා ගැනීමය. 
අද සිදු වී ඇත්තේ ඩියෝජිනස් ආපසු පැමිණීමය.(Return of Diogenes) සමකාලීන විපරිතයන් තමන් වෙත අනෙකාගේ අවධානය දිනා ගැනීම සඳහා හැසිරීම සමාන වන්නේ ආදිතම නරුමවාදියාගේ හැසිරීමටය. අද කාලයේ මෝටර් සයිකල්වල නැගී කොට කලිසම් ඇඳ පාරේ එහෙ මෙහෙ රවුම් ගසන තරුණයන්ගේ කකුල් දෙස බලන්න. ඔවුන්ගේ කලවේ පච්ච කොටා ඇත. මෙම පච්චය පෙන්වීම සඳහා කොට කලිසමක් සහ යතුරු පැදියක් යන දෙකම මිලදී ගැනීමට උන්ට සිදු වේ. පච්චය යනු අහිමි වූ පියා සැබෑවක් (Real) ලෙසින් පැමිණීමය. නරුමවාදය තේරුම් කිරීමේ දී අපට ස්ලෝටර්ජික් පවා ඉක්මවා යා හැකිය. එනම් ස්ලෝටර්ජික් පවා නොකියන දෙයක් (විචාරකයන් පිළිබඳව* හරහා නරුමවාදය තේරුම් කිරීමට අපට හැකි වී ඇත. 
දෘෂ්ටිවාදය ව්‍යාජ සවිඥානකත්වයක් ලෙස ගැනීමේ සම්භාව්‍ය සංකල්පය නැතහොත් සමාජ යථාර්ථය පිළිබඳ වරදවා ගැනීම වූ කලී යථාර්ථයේම කොටසකි. ප‍්‍රශ්නය නම් එය ඒ හැටියෙන්ම සමකාලීන සමාජයටත් අදාළද යන්නය. දෘෂ්ටිවාදයේ කි‍්‍රයාත්මක වීමේ අධිපති මොඩලය ලෙස ස්ලෝටර්ජික් ඉදිරිපත් කරන්නේ නරුමවාදයයි. අර සම්භාව්‍ය විචාරාත්මක දෘෂ්ටිවාදී ක‍්‍රමවේදය අදට නොගැළපෙයි. දෘෂ්ටිවාදී වෙස් මුහුණ සහ සමාජ යථාර්ථය අතර පවතින පරතරය පිළිබඳ මනා වැටහීමක් නරුමවාදියාට ඇත. එහෙත් ඔහු වෙස් මුහුණම ඉල්ලා සිටී. මේ නිසා ස්ලෝටර්ජික් යෝජනා කරන සූත‍්‍රය නම් ”තමන් කරමින් සිටින්නේ කුමක්දැයි ඔවුහු මැනවින් දනිති. එහෙත් ඔවුහු එයම කරති.” යන්නය. නරුම හේතුව (Cynical Reason) බොළඳ වූ දෙයක් නොවේ. ඒ වූ කලී ප‍්‍රබුද්ධ ව්‍යාජ සවිඥානකත්වයක විරුද්ධාභාසයයි (Adolescents) කෙනෙක් තමා කරන දෙයෙහි ව්‍යාජ බව හොඳින්ම දනී. යම් දෘෂ්ටිවාදී විශ්වීය බවක පිටුපස සැඟවුණ ඇත්ත හේතුව දනිතත් ඔහු එය නිශ්ප‍්‍රභ කරන්නේ නැත.
 
මහින්ද චින්තනය අදහන්නන් පවා එය සමඟ යම් දුරස්ථ බවක් නඩත්තු කරන බව අප කියන්නේ යට කී ජිජැකියානු – ස්ලෝටර්ජික් ප‍්‍රවාදය අනුවය. නරුමවාදය අවිඥානක වන බැවින් සමකාලීන සමාජයේ එකිනෙකාගේ ඇසුර දුරස්ථ සබඳතාවකි. එනම් කෙනෙකු තවත් කෙනෙකු ඇසුරු කරන්නේ දුරස්ථ බවක් තබාගෙන බවය. මේ දුරස්ථ බව  ඕනෑම ක්ෂේත‍්‍රයක දුට හැකි කිසිවකි. සර්පයාගේ ස්ත‍්‍රීවාදය වුව එසේමය. අසූව දශකයේ දී  ඔහු ස්ත‍්‍රීවාදියකු කරන්නේ ස්ත‍්‍රීවාදය සමඟ අනන්‍ය වීම නිසා නොවේ. ස්ත‍්‍රීවාදය සමඟ ඔහුට ඇත්තේ දුරස්ථ සබඳතාවකි. මීට දහහත් වසරකට පෙර ලියන ලද නේරංජනේ ඉස්නානේ නම් වූ කෘතිය තුළ පවා පිළිබිඹු වන්නේ එය යි. එම කෘතියේ නව මුද්‍රණය සඳහා [සර්පයාගේම ඉල්ලීම පිට] මේ දිනවල මම එම භාවිතා විමර්ශනය කරමින් සිටිමි. 
නරුමවාදය සමකාලීන සමාජය තුළ නඩත්තු කිරීම සඳහා විනෝද සාධකය ඉමහත් පිටු බලයක් සපයයි. කම්කරුවාගේ පන්ති විඥානය ධනේශ්වර අර්බුදය තුළ ඉබේම ගොඩනැෙඟන බවට මාක්සියානු පිළිගැනීම ලෙනින් වෙනස් කළේය. කළ යුත්තේ කුමක්ද? යන්න ලියමින් ලෙනින් යෝජනා කරන්නේ කම්කරුවාගේ  පන්ති විඥානය පිටතින් රැුගෙන ආ යුතු බවය. ඉන් අදහස් වන්නේ පක්ෂයේ කාර්යභාරය යි. එහෙත් මෙම බුද්ධිමය කි‍්‍රයාව ස්ලෝටර්ජික් අභියෝගයට ලක් කරයි. කෙනෙකු නැඟිය යුතු ප‍්‍රශ්නය නම් කෙනෙකුගේ කි‍්‍රයාව සහ සමාජ යථාර්ථය අතර පරතරයක් පවතී නම් පිටතින් විග‍්‍රහයක් ගෙන එන්නේ කෙසේද යන්නය. 
විපරිතකරණය සමකාලීන සමාජය තුළ ඔඩු දුවන්නේ නරුමවාදයෙන් අනුබලය ලබන විනෝද සාධකය නිසාය. මේ නිසා රටේ නව අදහස් මතු කරන්නේ තරුණ පිරිස යයි ඔවුහු අදහති. මේ නිසා ඇඳුමෙන් පැලඳුමෙන් සහ ශරීර ස්වභාවය වෙනස් කර ගැනීමෙන් තරුණ වීමට දඟලන අයගේ විපරිත හැසිරීම අපට වැටහේ. ජිජැක්ට අනුව මේ කාලයේ වැඩුණ පිරිමින් යනු ගැටවරයෝය. [adolescence ඔවුන් ගැටවරයෝ මෙන් පෙනී සිටීමට තමන්ගේ කොණ්ඩා රැුවුල් සකසා ගනිති. ඉතින් අද කාලයේ වැඩුන ස්ත‍්‍රීන් යයි කියන්නේ කාටද? ඔවුන් එක්තරා විදියකින් අපරිණත පරිණත(Immatured matured)  පිරිසකි. ඒ අතින්  ස්ත‍්‍රීහු මේ විපරිත සමාජ භාවිතාව තුළ පිරිමින් අබිබවා යති. 
මේවා පැහැදිලි කිරීමට දෘෂ්ටිවාදයේ සාම්ප‍්‍රදායික විවරණය අපොහොසත්ය. එසේ නම් අප සිටින්නේ පශ්චාත් දෘෂ්ටිවාදී යුගයකද? ඇඩෝනෝ පවා එබඳු ස්ථාවරයක සිටි බව ජිජැක් තේරුම් කරයි. The Sublime Object of Ideology)  එහෙත් එය ඇත්තක් සේ වෙස්වලා ගත් මුසාවකි. දෘෂ්ටිවාදයේ  ෆැන්ටසිය හරියටම ස්පර්ශ කළ හැක්කේ නරුමවාදය සමාජය තුළ දියත් වන සැටි හැදෑරීමෙනි. 

Saman Wicramarachchi

 

ඔබේ අදහස කියන්න...