අතිරික්ත වටිනාකම හෙවත් අපි සුලභව හඳුන්වන ලාභය (Surplus Value ) ගැන මාක්ස් ලිව්වේ මෙහෙම දෙයක්. අපි පසුගිය ලිපියේ කතා කලේ භාණ්ඩ – මුදලට හා මුදල් නැවත භාණ්ඩ වීමේ ක්‍රියාවලිය. (C – M – C) commodity – money – commodity

(මෙය මෙහි පැහැදිලි කර ඇත. සංසරණ මාධ්‍යය – ප්‍රාග්ධනය)

දැන් අපි අරගමු මෙන්න මේ ක්‍රියාවලිය. මුදලින් භාණ්ඩයක් ගැනීම සහ එය නැවත විකිණීම (හෙවත් මුදලට හුවමාරු කිරීම ) – මුදල්-භාණ්ඩ – මුදල් හෙවත් M – C – M ක්‍රියාවලිය. මෙය බලු බැල්මට නැවත නැවතත් සිදුවන තේරුමක් වැඩිය නැති ක්‍රියාවලියක් වගේ. හුඟක් වෙලාවට මුදලේ ප්‍රමාණය වෙනස් වෙන්න හෝ භාවිතා කරන මුදලේ වර්ගය වෙනස් වෙන්න හෝ පුළුවන්. ඒ කියන්නේ පවුම් 10 කට අරගෙන එයම පවුම් විස්සකට හුවමාරු කිරීම (විකිණීම) නැත්නම් ඩොලර් 10 කට අරගෙන පවුම් 10කට දීම. මේ තේරුමක් නැති
M – C – M ක්‍රියාවලිය තේරුමක් එන්නේ එහෙනම් භාවිතා කරන ප්‍රමාණය මත. වැඩි ගණනකට හුවමාරු වෙනවා නම් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වෙනව. අපි හිතමු වටින සේද රෙද්දක් පවුම් 100 කට ගත්ත කියල. ඒක මම විකුනනවා 110 ට. 100 + 10; මේ ක්‍රියාවලිය අර සමිකරනයෙන්ම ලියුවොත් එන්නේ මෙහෙම මුදල්-භාණ්ඩ – මුදල්’ හෙවත් M – C – M’, මෙන්න මේ ලකුණ ‘ බලන්න. ඉන් අදහස් වන්නේ දෙවන මුදල පලවන මුදල් අගය හා සමාන නොවන බවයි. එනම් මුදල’ හෙවත් M’ = M + ΔM. මෙහිදී ΔM=පවුම් 10.
[ මේ ලකුණ Δ ග්‍රීක අකුරක් වන ඩෙල්ටා – මෙහි ගණිතමය අදහස වන්නේ වෙනස (difference) හෝ අගයේ (සංඛ්‍යාත්මකව ) වෙනස් වූ ප්‍රමාණය ] මෙන්න මේ වෙනස් වූ අගයේ ප්‍රමානාත්මික වටිනාකම වන ΔM (delta-M) අතිරික්ත වටිනාකම (surplus-value) යනුවෙන් හඳුන්වනවා. ඔබට පෙනෙනවා ඇති භාණ්ඩයේ මුල් වටිනාකම වෙනස් නොවී පවතින අතර එයට අතිරික්ත වටිනාකම එකතුවී එය තව දුරටත් ප්‍රසාරණය වී ඇති බව. (expands itself) මෙන්න මේ ක්‍රියාවලිය මුදල් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කරනු ලබනවා. (මෙසේ කියා ඇත්තේ මාක්ස් ගේ ප්‍රාග්ධනය මුල් කොටසේ පලවන වෙළුමේ , මතක තබා ගත යුතු දෙයක් වන්නේ මාක්ස් මෙය තව දුරටත් විකාශනය කරමින් ප්‍රග්ධනය ඇතිවන හැටි පෙන්වා දෙනවා ප්‍රාග්ධනය 2 වන වෙළුමේ ).

ඒ කියන්නේ මාක්ස් කියන විධිහට මේ අතිරික්ත වටිනාකම හෙවත් ලාභය ප්‍රග්ධනය හැටියට පරිවර්තනය වෙනව. (මෙහිදී සඳහන් කරන්න ඕනේ මෙයට පිළිතුරු ලෙස බොහෙම් බෝවෙර්ක් ලියු ලිපියෙන් පසු මාක්ස් මේ ගැන දෙවන වෙළුමේ දීර්ඝ පැහැදිලි කිරීමක් කල බව. ඒවාත් මෙතන සාකච්චා වෙන්නේ නැහැ. )

අනවරත (නොනවතින) ලෙස සිදුවන භාණ්ඩ – මුදල් – භාණ්ඩ C – M – C ක්‍රියාවලිය පාලනය කරන්නේ මුලිකවම පරිභෝජනය විසින්. එනම් මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. නමුත් මුදල්-භාණ්ඩ- මුදල් M – C – M, යන ක්‍රියාවලිය ගත්තොත් මුල හා අග ඇත්තේ මුදලයි. මෙය මෙම ක්‍රියාවලිය අනන්තය දක්වා දික් ගස්සනවා.
M + ΔM (delta-M) යන්න M මුල් මුදලින් වෙනස් වන මුත් එයත් කිසියම් මුදල් ප්‍රමාණයක් විතරයි (උදා. 110). හැබැයි අපි එය වියදම් කලොත් එය තව දුරටත් ප්‍රාග්ධනය බවට පරිවර්තනය නොවේ. එසේම අපි එය මේ ක්‍රියාවලියෙන් (මේ සන්සරණයෙන්) ඉවත් කලොත් එය නිධානයක් (එකතු කර ගත් තොගයක් හෝ සංචිතයක් – මාක්ස්ගේ වචනය hoards ) බවට පත් වේ. වටිනාකම ප්‍රසාරණය වීමේ උවමනාව හඳුනා ගත් පසු එය පසු මුදල’ (M’ ) හා මුල් මුදල (M ) යන දෙක අතරේම පවතින බව පෙනේවි. ඒ නිසා ප්‍රග්ධනයේ චලනය (ගමන) සිමා රහිත බවත් එහි අරමුණ මේ ක්‍රියාවලිය මුදුනේ හෝ අග හෝ සාක්ෂාත් කරගෙන නැති බවත් තේරුම් ගත යුතුවේ. (මාක්ස් මෙතන මේ කියන්නේ ලාභ ලබා ගැනීමේ කෙළවරක් නැති බවයි). මේ ක්‍රියාවලියේ ප්‍රධාන නියෝජිතයා වන මුදල් අයිතිකරුවා ධනපතියා (capitalist) බවට පත් වේ .
මෙතැනදී කල්පනා කරන්න මෙහෙම. ඇයි ධනපති හෝ දිළිඳු රටවල බැංකු වලින් පුංචි ව්‍යාපාර සඳහා නය ආධාර දෙන්නේ. ඔබ යම් මුදල් ප්‍රමාණයක අයිතිකරුවකු වෙන තුරු ඔබ ධනපතියකු වීම සඳහා අඩිතාලම වැටෙන්නේ නැති නිසා.

ඊළඟට හැමෝම ලොකුවට කතා කරන බිල් ගේට්ස් ගමු. ඔහු තමන් මුලින් බිස්නස් කල හොයා ගත මුදලින් සියැටල් කොම්පැනියකින් ඩොලර් 50000 ගෙවා ගත් කොම්පියුටර් මෙහෙයුම් පද්ධතිය මදක් වැඩි දියුණු කර IBM වලට විකිණුව. ඔහු ලාභය ගත්තේ එහි license හෙවත් බල පත්‍රය පාවිචි කරන ගානට විකිණීම හා එහි අයිතිය තමන් සතුව තබා ගැනීමෙන්. අනිත් අයට විකිණීමේදී එහි ලාභය හැම වෙලේම වැඩි කලා. එය අනවරත ක්‍රියාවලියක් නිසා ඔහුගේ ආදායමත් ඒ වගේම වැඩි වුන.

Ajith Dharmakeerthi.

ඔබේ අදහස කියන්න...