2010 සිට යුක්රේනයේ ජනාධිපතිව සිටි වික්ටර් යනුකෝවිච් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට මුහුණ දීමත් සමඟ 2014 පෙබරවාරි 23 වැනි ඉරිදා ක්‍රිමියාවට පළා යන ලදැයි වාර්තා වේ. ඔහු යාට් එකකින් නොහොත් පුද්ගලික විනෝදය සඳහා වූ නැවකින් රුසියාවට පැන යන්නට උත්සාහ කරන බවක් ද අහන්නට ලැබේ.

ඔහු හැර දමා ගිය, රටවැසියන්ගේ වෙහෙස මංකොල්ලයෙන් පරිභෝජනය කරන ලද අධි සුඛෝපභෝගී ජනාධිපති මන්දිරය දැන් දුප්පත් යුක්රේනයේ ජනතාව නරඹන්නට යන ස්ථානයක් බවට පත්වී ඇත.

පසුගිය සිකුරාදා වෙද්දීත් ඔහු බලයේ සිටියේය. විරුද්ධ පක්ෂය සමඟ උද්ඝෝෂණ නවත්තන්නට කතාබහ පැවැත්වූයේය. උද්ඝෝෂණකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොදා නොගැනීමට සහ ජනාධිපති බලතල සීමා කරන්නට පාර්ලිමේන්තුවේ චන්දයක් ප්‍රකාශ වෙද්දීත් ඔහු පළා ගියේ නැත. එහෙත් මැතිවරණය කළින් තැබීමට යනුකෝවිච් කැමැත්ත දැක්වූවත් පාර්ලිමේන්තුව කළේ ඔහුව නෙරපා හැර මැයි මාසයේ දී මැතිවරණය පවත්වන්නට කටයුතු සම්පාදනයයි.

යුක්රේනයේ උද්ඝෝෂණ එක පැත්තකින් රුසියාවට හේත්තු වෙන්න කැමති කණ්ඩායමකින් ද, තවත් පැත්තකින් යුරෝපීය යුනියනට එකතු වෙන්නට කැමති කණ්ඩායමකින් ද දෙපැත්තට බෙදී යන ලද නිසා හටගන්නා ලද්දකි. කිසිම පැත්තකට හේත්තු නොවී ස්වාධීන රටක් ලෙස කටයුතු කරන්නට අකමැත්තේ මන්දැයි සියළු යුක්රේන වැසියන් වෙතින් අහන්නට අයෙක් නැත. සමහර විට ලංකාවේ බහුතරය මෙන් කිසියම් පැත්තකට හේත්තු වුනේ නැත්නම් තමන්ගේ මල්ල පුරවාගන්නට හැකියාවක් නැතැයි කියා ඔවුන් ද මුලාවී සිටිනවා විය හැකියි.

යුක්රේන මහජනතාව අවධානය යොමු කළ යුත්තේ හිටපු ජනාධිපතිවරයා පළා යෑම ගැන නොවේ. ඔවුන් වැඩියෙන් සලකා බැලිය යුත්ත නම් ඉදිරි වසර දෙකක් තුල දී ගත් ණය ගෙවන්නට ඔවුනට ඩොලර් බිලියන 35 ක් අවශ්‍ය මන්දැයි කියාය.

යුක්රේනය විදියටම සෝවියට් රුසියාවෙන් 90 ගණන් වල දී ම කැඩී ගිය පෝලන්තය වර්තමානයේ දී වර්ධනය වෙන ආර්ථිකයක ගමන් කරයි. 2004 දී යුරෝපීය යුනියනයට හවුල්වෙන ඔවුන් අද ජර්මනිය හා ප්‍රධාන වශයෙන් වෙළඳ ගණුදෙනු පවත්වන්නට සමත්ව සිටියි. එහෙත් ඔවුන්ගේ ශක්තිමත් ආර්ථිකයට හේතුව යුරෝපීය යුනියනයට හවුල්වීම නොවේ. ඊට ප්‍රධාන හේතුව පෝලන්තය තුල දී නිදහස් ආර්ථික ප්‍රතිපත්ති වලට ඉඩක් ලැබීමයි.

යුරෝපීය යුනියනට හවුල් වීමෙන් ඒ වෙළඳ ගිවිසුම් තුලින් ලැබෙන ආර්ථික වාසි මෙන්ම ස්වාධීන ආණ්ඩුවකට යුරෝපීය යුනියන ආණ්ඩුවෙන් දමන නීති රීති රෙගුලාසි වලින් ඇති අනවශ්‍ය ආර්ථික බලපෑම් ද බොහොමයකි.

පුනනර්ජනනීය ඉන්ධන ප්‍රභව වලින් විදුලිබල අවශ්‍යතාවය සපුරාගැනීම පිණිස පැනවූ රෙගුලාසි නිසා සමහර යුරෝපීය රටවල් බංකොළොත් සැලසුම්හි නියැළීම එක නිදසුනකි. තවත් නිදසුනක් හැටියට ස්වාධීන රටකට දැඩි කරදර ගෙන දෙන්නේ යුරෝපීය යුනියනය අතර ‘නිදහස් ගමනාගමනය’ ආරක්ෂා කරන නීති වලිනි. ස්විට්ස්සර්ලන්තය යනු යුරෝපීය යුනියනය සමඟ ගිවිසුම් ගැසුව ද එහි සාමාජිකයෙක් නොවේ. ඉතින් ස්විට්ස්ර්ලන්තයේ වැසියන් පසුගිය දා චන්දයක් ප්‍රකාශ කර තම රටට සංක්‍රමණය සීමා කරන්නට එකඟ වූහ. යුරෝපීය යුනියනය ඊට උරණ වී ශිෂ්‍ය හුවමාරු ව්‍යාපෘති සහ විද්‍යාවට දෙන ශිෂ්‍යත්වයන් නවත්වන්නට උත්සාහයක් ගති.

සිංහලෙන් ලියන්නෙක් කියන්නේ මිනිස්කම හා සමාන වෙන්නේ සමාජවාදය කියායි. “සමාජවාදය සොයා යාම තමයි මිනිස්කම සොයායාම,” යැයි ඔහු ලියයි. “සමාජවාදය වෙනුවෙන් කරන අරගලය තමයි මිනිස්කම වෙනුවෙන් කරන අරගලය,” යැයි ඔහු ලියයි. “සමාජවාදය සකලවිධ ආධිපත්‍යවාදයන්ට විරුද්ධයි,” ලියද්දී පෝලන්තය ආක්‍රමණය කර සමාජවාදී ආණ්ඩු ක්‍රමයට එරෙහි වූවන් අමු අමුවේ ඝාතනයෙන් එරට අල්ලා ගත් සෝවියට් යුනියනය අධිරාජ්‍යවාදී යැයි නොකියයි. සමාජවාදී රටවල් වලින් පැන යද්දී වෙඩි තැබීම සිද්ධ වූයේ මන්දැයි නොකියයි.

එහෙත් සිංහලෙන් ලියන ලාංකිකයෙකුට කෙසේ දොස් කියන්න ද? සෝවියට් අධිරාජ්‍යවාදයට ලක්වූ පෝලන්ත වැසියන් බහුතරය ද තවමත් සමාජවාදීන් වෙද්දී.

වර්තමානයේ බොහෝ රටවල් සේ පෝලන්තය අද මිශ්‍ර ආර්ථිකයකින් යුතුයි. එහි ආණ්ඩුව ආර්ථිකය තුල දැඩි භූමිකාවක් රඟ දක්වයි. ඔවුන් තම කොමියුනිස්ට් අතීතයට අකමැති අයයි. එහෙත් බහුතර පෝලන්ත වැසියන් බලාපොරොත්තු වෙන්නේ නිදහස් සමාජයක් නොව ධනවාදී ආර්ථික ක්‍රමයකින් වූ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදයකි.

බංකොළොත් සමාජවාදයෙන් ගොඩ එන්නට එවැනි ක්‍රමයකින් හැකියාව ඇති නමුත් එය දීර්ඝ කාලීනව සාධනය කළ නොහැකි වූවක් බව පෝලන්තයේ අල්පයක් අවබෝධ කරගන්නට දැන් පටන් ගෙන සිටිති. විශ්ව විද්‍යාලයන් තුලින් සහ ව්‍යාපාරික ප්‍රජාව තුලින් තරුණ පිරිසක් නිදහස් සමාජයක් යනු කුමක්දැයි විමසීමට වැදගත්කමක් දෙන්න පටන් ගෙන ඇත. ඒ අදහස් සෙසු අය හා බෙදාගන්නට ඉදිරිපත් වී සිටිති.

කොමියුනිස්ට් පෝලන්තයේ අවසන් කාලය ජෝර්ජ් ඕර්වෙල් ලියන ලද 1984 නවකතාව වැනි යැයි පෝලන්තයේ මීසස් ආයතනයේ සභාපති කියයි. එවක දී වහල් ක්‍රමය යැයි ලේබලයක් අලවා තිබුනේ නිදහසටයි. නිදහස යැයි ලේබලයෙන් දැක්වුනේ වහල් ක්‍රමයටයි.

දැන්වීම් වලින් මිනිසුන් රවටා බඩු විකුණාගත හැකි යැයි ලේබලය හදා තිබෙන්නේ ද මේ සමාජවාදීන් විසිනි. වෙළඳපොලට අඩු ප්‍රමිතියේ බඩු විකුණා ව්‍යාපාරිකයා ලාබ සොයාගන්නේ යැයි ඔවුන් ජනතාව රවටති. එහෙත් පුරවැසියන්ගේ ජීවිත සමෘද්ධිමත් නොවෙනවා පමණක් නොව ඔවුන්ගේ ජීවිත අභාග්‍යයට ගෙන යන භාණ්ඩ හා සේවා බලහත්කාරයෙන් ඇඟේ ගහන්නට සමත් වී ඇත්තේ “සමාජවාදය යනු මිනිස්කම” යැයි කරන ව්‍යාජ දැන්වීමෙන් බව ඔවුන් වසන් කරති.

සමාජවාදය යනු ඔටුනු පැළඳි යුගයේ මෙන්ම ඉහළ සිට පහළට කෙරෙන විධානයේ පාලනයකි. එදා රදළයන් හා රජවරුන් වෙනුවට අද ඇමතිවරුන් සහ ජනාධිපතිවරයෙක් හැටියට ලේබල් වෙනස් වී තිබෙනවා පමණි.

පහළ සිට ඉහළට යන එකම ක්‍රමය යම් අයෙක් හැදූවක් නොවේ. එය මුදල් භාවිතය මෙන්ම ඕපපාතිකව ලොවට බිහිවූවකි. එය වෙළඳපොලයි. පාරිභෝගිකයා යනු සෑම සමාජයකම ගණුදෙනුවක නියැළෙන ඕනෑම පුද්ගලයෙකි. වෙළඳපොල යනු ඒ ඒ පුද්ගලයන් වෙතින් හැදෙන්නයි.

ඔබ සතු එකම බලය වෙනකෙකුට පවරද්දී ඔබ නිදහස් මිනිසෙකු වෙන්නේ නැත. ඔබ සතු තෝරා ගැනීමේ බලය වෙනකෙකුට පවරද්දී ඔබ වහලෙක්ම වෙයි.

ඔබ සතු වෙළඳපොල භාණ්ඩ හා සේවා තුලින් ඔබට කැමැත්තක් තෝරාගැනීමට හැකි බලය, 225 කට බාර දුන්නත්, එය 25 කට පැවරුවත්, හිට්ලර්, සදාම්, ගඩාෆි, හෝ ෆිදෙල් වැනි එක් අයෙකුට දුන්නත් නැත්නම් යුරෝපීය යුනියනයට දුන්නත් සිද්ධ වෙන්නේ ඔබ සතු බලය වෙන අයෙකුට පැවරීමකි.

වහලෙක් වෙනවා ද? නිදහස් වෙනවා ද?

අරුණි ශපීරෝ‍ වෙතින්

ඔබේ අදහස කියන්න...