දේශපාලන අරගල පිළිබඳ  ඉතිහාසය ගැන යම් අවබෝධයක් සහිත පුද්ගලයන් දන්නා පරිදි 68 ප්‍රංශ ශිෂ්‍ය අරගලය යනු වාමාංශික ව්‍යාපාරයේ එක් මුඛ්‍ය මඟ සළකුණකි. ප්‍රංශ ශිෂ්‍ය අරගලය වාමාංශික අරගලයට අලුත් මානයක් එකතු කරන ලදී. එතෙක් සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදී අරගලය විසින් චිරාගතව පිළිගත් මහ සම්මතයන් 68 ශිෂ්‍ය අරගලය නිසා අර්බුදයට ගියේ ය. 68 ශිෂ්‍ය අරගලය දක්වා පිළිගත් සම්මතය වූයේ සමාජවාදී අරගලයට සැබෑ ලෙස උරදිය හැකි සබෑ ඒජන්තයා කම්කරු පන්තිය බවයි. වෙනත් කිසිම සමාජ ඒජන්තයෙකුට සමාජ විමුක්තිය ලබා දිය නොහැකි බවයි. මේ අදහස ඉතාම විදග්ධ ආකාරයකට ඉදිරිපත් කරන ලද්දේ කීර්ති බාලසූරිය සහෝදරයයා ය. ඔහු තම මතය ජවිපෙ ට එරෙහිව 1970 වසරේදී ඉදිරිපත් කරන ලදී. පහත ඵලවන්නේ එම අදහසේ කෙටි සාරාංශයකි. ඔහුට අනුව ජනතා විමුක්ති පෙරමුණ යනු, 

“ මන්ද පෝෂණයෙන් හා ජීවන බරින් පෙලෙන ලක් මවගේ දරුවන්, වියලි කලාපයේ ගොවියන්, උඩරට ගැමියන් හා රැකියා නැති තරුණයන් ආදී සිංහල සුළු දේපොළ හිමියන්ගේ දුක් වේදනා සත්තකින්ම ජනතා විමුක්ති පෙරමුණ තුළ වෙයි.

      මේ සංවිධානය සිංහල සුළු දේපොළ තට්ටුවේ  “විමුක්තිය” සඳහා සටන් කරන සංවිධානයක් පමණි. ඔවුන්ගේ ජනමාධ්‍යවල  “නිර්ධන පංතිය”  යනුවෙන් එක දිගටම හඳුන්වා ඇත්තේ ඉහත කී සමාජ තට්ටුව වන අතර එය මාක්ස්වාදීන් නිර්ධන පංතිය ලෙස හඳුන්වන්නේ නැත. නිර්ධන පංතිය යනු කම්කරු පන්තිය පමණි. අනෙක් කිසිම සමාජ කොටසක් නිර්ධන පංතිය නොවේ. ගොවියන්, රැකියා නැති තරුණයක් ආදීන් කෙතෙක් පීඩාවට ලක් ව සිටියත්,  මේ ආර්ථික පීඩනය විසින් ඔවුන්ව කම්කරු පන්තිය දෙසට තල්ලුකර දමා ඇතත්, ඔවුන් කම්කරු පංතිය නොවේ.”

            ලෝක මට්ටමින් ගත් කළ ප්‍රංශයේ ශිෂ්‍ය අරගලයත්, දේශීයව ගත් විට ජනතා විමුක්ති පෙරමුණේ ගම්බද පීඩිත ජනතාවත් අපට සමාජ විමුක්තියක් ලබා දුන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ධනවාදය වඩ වඩාත් පෝෂණය කළ අතර මාක්ස්වාදය දේශීයත්වයට හතුරු බලවේගයක් ලෙසින් නාමකරණය කරන ලද්දේය. 68 ශිෂ්‍ය අරගලය සමයේ ”පවුල, ෆැකටේරිය සහ පාසැල” නිශේධනය කොට ඊට විකල්ප සමාජ ආයතනයන් පිහිට විය යුතු යයි විරෝධාකල්පය බිහිකළ හිපි ව්‍යාපාරය 90 දශකය ඇතුළතින් නිර්මාණය කරන ලද්දේ වාණිජ වශයෙන් උසස් සන්නාහ නාමයන්ය. 60 දශකය තුළ විරෝධාකල්ප ගීත සාහිත්‍යක් නිර්මාණය කළ ජෝන් ලෙනන් අවසානයේ නතර වූයෙ ඉන්දියාවේ යෝගීවරුන් ආශ්‍රිත භාවනා ආශ්‍රම වල ය. හිපි ව්‍යාපාරයේ මූලික අංග ලක්ෂණ අවසන් වශයෙන් උකහා ගත්තේ Face book, Amazon, Microsoft වැනි අන්තර්ජාලය මත පදනම් වූ වාණිජ ව්‍යාපාරයන් ය.

            පැරිසියේ වීදි වල පෙළපාලි ගිය ශිෂ්‍යන්ගේ එක් සටන් පාඨයක් බොහෝ බුද්ධිමතුන්ගේ සිත පැහැර ගත්තේය. සටන් පාඨය මෙසේය. ව්‍යුහ පාරවල්වල ඇවිදින්නේ නැතමෙම සටන් පාඨය ශිෂ්‍යන් විසින් මහපාරට රැගෙන ආවේ ජාක් ලැකාන් නම් මනෝ විශ්ලේෂණ ඉගැන්වීම් වලට එරෙහිව ය. නමුත් ලැකාන්ගේ ඉගැන්වීම් වලට අනුව ව්‍යුහයන් (Structures)  මහ පාරේ ඇවිදින්නට පුළුවන. එහි සරල අදහස කුමක්ද?

            පවුල, ෆැක්ටේරිය සහ පාසල යනු ජාතික රාජ්‍යන් මත පදනම් වූ ධනවාදී ආර්ථිකයේ අත්තිවාරමයි. මෙම අත්තිවාරම රදා පවතින ලද්දේ පුරුෂයන් ඉහළ මුදුනේ සිටින ආධිපත්‍යයික සමාජයක් මතයි. උදාහරණ වශයෙන් පවුල තුළ සිටින ප්‍රධානියා පියා ය. පැසැල තුළ  සිටින ප්‍රධානියා විදුහල්පතිය. ෆැක්ටේරිය තුළ සිටින ප්‍රධානියා පිරිමි ධනපතියෙකි. නවසිය හැට ගණන් වන විට බටහිර යුරෝපයේ ධනවාදී ක්‍රමය තුළ අභාවයට පත් වන්නේ ඉහත භූමිකා තුන ය. මෙය සමාජ-ආර්ථික දෘෂ්ටිකෝණයෙන් කතා කරන විට අලුත් තත්වයක් බිහි වෙයි. එනම් පැරණි ව්‍යුහය බිඳ වැටීමයි. ඉහත ආයතන තුන තුළම සිටි පුරුෂ ආධිපත්‍ය බිද වැටෙන අතර, ඒ වෙනුවට නිලබල රටාවක් රහිත අරාජකවාදයක් යෝජනා වෙයි. මේ නව – අරාජකවාදය හුදු සංස්කෘතික අරාජකවාදයක් නොව සමාජ-ආර්ථික ව්‍යුහයෙන් අනුබල දෙන නව අරාජකවාදයකි. පිරිමියෙක් නැති පවුල්, ස්වයං පාලනයට ඉඩ දෙන වැඩ කරන ස්ථාන, සාර්වත්‍රික වටිනාකම් වෙනුවට රැකියා පුහුණු පාඨමාලා මඟින් අධ්‍යාපනය ආදේශවීම ආදිය නව අරාජකවාදී සමාජයේ මූලික ලක්ෂණයන් ය. මෙම නූතන ගෝලීය ධනවාදී සංස්කෘතික ලක්ෂණ ඉහත ඵෙතිහාසික විකාශයේ විපාකයන් ය.

             90 දශකයේදී සිනමා නිර්මාණකරුවෙක් ලෙස කළ එළි බසින විමුක්ති ජයසුන්දරගේ සිනමාව ඉහත අප කී ව්‍යුහයන් මහ පාරේ ගමන් කරන්නට පටන් ගත් ක්‍රියාවලියේ විපාකයන් ය. ධනවාදයට එතෙක් තුඩු දුන් මූලික ව්‍යුහයන් තුනේ (පවුල, පාසැල, ෆැක්ටේරිය/කාර්යාලය) අදෘශ්‍යමාන විපර්සයන් මැනවින් විද්‍යාමාන වීම ආරම්භ වූයේ අසෝක හඳගමගේ නිර්මාණ හරහා ය. විමුක්ති ජයසුන්දර විසින් එය තවදුරටත් විකාශය කරන ලදී. විමුක්ති ජයසුන්දරගේ “සුළඟ එනු පිණිස” (2009) වැනි චිත්‍රපටයකට පාදක වන්නේ  යුද්ධය නිසා අරාජක වූ මායිම් ගම්මානයක දුක්බර කතාවකි. 2004  වැනි ඈත යුගයකදී අප විමසන ලද්දේ විමුක්තිගේ චිත්‍රපටය තුළ පැවැති නව අරාජකත්වය (නවඅරාජක යනු, යුතෝපියාවකින් තොරව ජීවත් වන මිනිසාගේ අභ්‍යන්තර ජීවිතයයි.) සහ දෙමළ විමුක්තියේ යුතෝපියාව අතර පැවැති අසම්පාතයයි. නැතහොත් විසංවාදයයි.  (විදේශ අධාර නිසා)

            යථාර්ථයට පෙර පවතින පූර්ව -යථාර්ථය සහ පූර්ව-චරිත කැබලි විමුක්තිගේ එකළ නිර්මාණවල සංඝටක ය.  යථාර්ථයේ අභ්‍යන්තර තර්කය යනු ආශාව නම් විමුක්ති එකල  විමුක්ති මාර්ගයක් ලෙස ලිංගිකත්වය සහ ලිංගික සබඳතා දුටුවේ ය. ඔහුගේ චරිත වඩ වඩා විපරීත වෙමින් ලිංගික අපගමනයන් ගේ කෙළවරවල් කරා ගමන් කිරීම සුළභ දර්ශනයකි. කෙටියෙන් කිවහොත් ඔහුගේ එකල චිත්‍රපට යනු ව්‍යුහයන් පාරේ ගමන් කිරීමකි. චිත්‍රපටය වාරණයට ලක්වන්නේ ද ඒ නිසාය.

            නමුත් සමකාලීන විමුක්ති ජයසුන්දරගේ ජීවන දර්ශනය වන්නේ අපිස් ජීවිතය සහ භාවනාවයි. යුද්ධයේ ක්‍රෑරම සමය තුළ මනෝ විද්‍යාවකින් තොර මිනිසුන් විචාරයකින් තොරව රමණයේ යෙදෙනවා ඔහු අපට පෙන්වීය. යුද්ධයේ යථාර්ථය අන් අය  වෙනත් තැන් වල පෙන්වද්දී ඔහු එහි සාරය පෙන්වූයේ ලිංගික සබඳතා විශ්වයේ ය. ජෝන් ලෙනන් අවසානයේ විවාහ වූයේ ජපන් ජාතික ස්ත්‍රියක් සමඟය. බටහිර පිරිමියාගේ ස්ත්‍රී සාරය ඇති තැන ආසියාව බව අපට ජෝන් ලෙනන් පෙන්වීය. ඒ අතරම විමුක්ති ජයසුන්දර අපට පෙන්වා දෙන්නේ සීමා විරහිත ලිංගික තෘප්තිය නිසා අවසන් නොවන මිනිස් ආශාව ඊලඟට මර්ධනය කළ හැකි අඩවිය ආගමික දර්ශනය බවයි. මේ වනාහි 90 දශකයේ ව්‍යුහය වෙනස් වී ඇති බවට සාක්ෂියකි. කෙටියෙන් කිවහොත් ශිෂ්‍ය දේශපාලනයේ පදනම අහෝසි වී ඇත යන සංඥාවයි.

-දීප්ති කුමාර ගුණරත්න-

 

ඔබේ අදහස කියන්න...