මම ටී එන් ඒ එකට විපක්ෂ නායක කම නොදිය යුත්තේ මන්ද කීමට හේතු කීපයක් ම ලිව්වෙමි. ඉන් එක හේතුවක් වූයේ 1977 න්  පසු සිදුවූ සිදුවීම් පෙළය. එම ලිපිය මෙතන තිබේ.  මේ ලිපියට අනතුරුව සම්බන්ධන් මහතාට විපක්ෂ නායක පදවිය ලැබීම සිදුවිය යුතු සාධාරණ දෙයක් හැටියට බොහෝ දෙන තර්ක කරන ලිපි පළවිනි. ඉන් සමහරක් සාධාරණ තර්ක  ඉදිරිපත් කර තිබේ.  අශාන් වීරසිංහ විකල්ප වෙබ් අඩවියේ ලියන ලද මේ ලිපිය එවැන්නකි.  එහි මෙසේ කියා තිබේ.
“”මේ පාර්ලිමේන්තුවේ දැනට තිබෙන බරපතලම හා ඉක්මන්ම විසඳුමක් අපේක්ෂා කරන අර්බුදය විපක්ෂ නායකයා පත් කිරීමයි.ඒ සඳහා විවිධ නම් යෝජනා වී ඇති නමුත් ඒ හැමෙකාම පාහේ දුෂ්ට මහින්ද රෙජීමය යටතේ හිතේ හැටියට හොරා කෑ, නැතහොත් කටවාචාලකමින් පාර්ලිමේන්තුවට සහ පොදුවේ දේශපාලනය නමැති භාරදූර කාර්යයට නිගා දුන්, හාල්පාරුවන්ය.”
එසේම  ඔහු මෙසේ අවධාරණය කරයි.

“එනම්, විපක්ෂ නායකකම සිංහලයා අතම රඳවා ගැනීමට ඇති දැඩි අවශ්‍යතාවයයි. මේ කාරණයම වඩා සුවිශේෂ කොට කියන්නේ නම්, විපක්ෂ නායකකම දෙමළෙකුට යාමට ඇති බියයි. ‘මහින්ද ජාතිවාදියෙක් දෙමළ මිනිස්සු පව්, අපෝ අපි නම් එහෙම නෑ’ කියන ඇතැම් පුරවැසියන්ගේ මානසික වපසරිය තුළ පවා මේ භීතිකාව පැතීරී නැතිද?”

මගේ බ්ලොග් අඩවියේ ඉහත ලිපියේ මා  පල කරන තර්කයට ඔහු ගේ ලිපියේ  පිළිතුරක්  නැත.  එනම් ජාතිවාදී වේවා හෝ නොවේවා ආණ්ඩුවට චන්දය දුන් පිරිස මෙන්ම තව ලක්ෂ 47 වෙනත් පක්ෂයකට හෝ පක්ෂ වලට චන්දය  දුන් බවත් දෙමළ  ජාතිය පමණක් නියෝජනය කරන ටී එන් ඒ එකට ලැබුනේ චන්ද පන් ලක්ෂයකට ආසන්න  සංඛ්‍යාවක්  පමණක් බවත්ය. ඔවුන්ට ආසන  16 ලැබීම චන්ද ක්‍රමයේ විකෘතියකි.

කරුණාකර මෙය වරදවා වටහා නොගන්න. දෙමළ  හෝ මුස්ලිම් ජාතිකයෙකු ලංකාවේ ජනාධිපති හෝ අගමැති වීම ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නැත. එසේම දෙමළ  ජාතිකයෙකු විපක්ෂ නායක වීම පිළිබඳවද කිසිම විරුද්ධත්වයක්  නැත.  නමුත් ටීඑන්ඒ නමැති දෙමළ  ජාතිය නියෝජනය කරන පක්ෂයෙන් හෝ සිහල උරුමය නමැති සිංහල ජාතිය නියෝජනය කරන පක්ෂයෙන් හෝ මුස්ලිම් කොංග්‍රසයෙන් කෙනෙකු විපක්ෂ නායක වන්නේ නම් ඔවුන් නියෝජනය කරන සුළුතරය විපක්ෂය වීම වැළැක්විය නොහැකිය.  සිංහල උරුමයේ මනමේන්ද්‍ර මහතා විපක්ෂ නායක වුවහොත් ඔහුට “අපි තමා  මේ රටේ විපක්ෂය. සිංහල ජාතිය මේ ආණ්ඩුවට සම්පූර්ණයෙන් විරුද්ධයි කියා කීමට හැකියාව තිබේ.”

මෙහිදී සිදුවූ සාධනීය කරුණු දෙකින් එකක් නම්  සම්බන්ධන් මහතා විපක්ෂ නායක පදවියට පත් වූ පසු තමන් සිංහල ජනතාවත් නියෝජනය කරන්නේ යයි කියා  ඒ මහතා  කල නිහතමානී ප්‍රකාශයි . එසේම ජවිපෙ  අනුර කුමාර මහතා ට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කම ලබා දීමද  සාධනීය දෙයකි.

අශාන්ගේ මුල් කියමනට නම්  පිළිතුරක් රජයෙන් ලැබී තිබේ. සම්බන්ධන් “තෝරාගෙන ” ප්‍රගතිශීලින් මුලා  කල රජය අර අශාන්  හාල්පාරුවන් යැයි  නම් කරන සමහරුන්  ඇමතිවරුන් ලෙස රජයට බඳවා ගෙන තිබේ.

මෙහිදී 2005 වසරේ අග භාගයේ සිදුවූ  කතා බහක් මගේ මතකයට නැගේ. මෙය බීබීසී සිංහල සේවයේ එවකට සිටි කලමනාකර මහතා සහ එම  සේවයේම රැකියාව කල ජන මාධ්‍යවේදී මිතුරකු සමග අපේ මිතුරෙකුගේ හෝටලයක පැවති  සාදයකදී ඇතිවූ සංවාදයකි. එම සංවාදයේදී ඔවුන් දෙදෙනාම වාද කලේ එල්ටීටීඊ සංවිධානය කොතරම් බල සම්පන්නද යන්නය. ඔවුන් රටෙන් තුනෙන් එකක් පාලනය කරන බවද තමන්ගේම හමුදාවක් ඇති බවද ඔවුන් පරාජය කිරීම කල නොහැකි බවද ඔවුහු කිහ. මෙයට එකඟ නොවුණු මා කිවේ එල්ටීටීඊ සංවිධානය තමන් ගැන අධිතක්සේරුවකින් සිටින බවත් ප්‍රමාණයෙන් විශාල ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වලට ඔවුන් අවශ්‍ය නම් පරාජය කල හැකි බවත්ය.

මෙහිදී ඔවුන් පැවසුවේ මා  ජාතිවාදී ස්ථාවරයක් ගන්නා  බවයි. මේ කතාව කියන්නේ ජාතිවාදීන් බවත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම  වලක්වන්නට කරන කතාවක්  බවත් ඔවුහු කීහ.
තවත් කීප දෙනෙකුද එකතුවුන මේ සංවාදයේදී ජවිපෙ අවසන් කැරැල්ලට සිදුවූ දේ මතක් කර දුන් මා  පැවසුයේ,  හමුදාවට අවස්ථාවක් දුනහොත් එවැනිම දරුණු ආකාරයකින් පවා මේ යුද්ධය  නිමවිය හැකි බැවින් එල්ටීටීඊ සංවිධානය අඩියක් පසු පසට රැගෙන අවම වශයෙන්   තමන් නියෝජනය කරන  මිනිසුන් ගැනවත් සිතා  සාකච්චා මේසයට පැමිණ වෙනම රටක් නොව ඊට වඩා  අඩු ස්ථාවරයකට  එළැඹීම වඩා  හොඳ බවයි. ඔවුහු අප සමග එකඟ නොවූ අතර අප ජවිපෙට සම්බන්ධ ජාතිවාදීන් බවට චෝදනා කළහ.

2009 යුද්ධය අවසන් වන අවස්ථාවේ මම ඉහත සිදුවීම එම මිතුරාට මතක් කර දුන් අතර සොල්හෙයිම්  බාලසිංහම් ට කියා බැණ වැදුනා යැයි  කී  කථාව  ඔහු පැවසුවේ එවිටය. (මගේ මුල් ලිප්යේ සඳහන් කල) .

දැන් යුධ අපරාධ ගැන මතක් කරන වේලේ  වෙනත් දමිල සගයෙකුගේ වෙබ් අඩවියක මා පැවසූ කරුණ වුයේ ප්‍රභාකරන් ගේ අධි තක්සේරුව විශ්වාස කරමින් ඔහු විවේචනය නොකර එල්ටීටීඊ සංවිධානයේ ස්ථාවරය ට  සහයෝගය දුන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු හා ද්‍රවිඩ සංසදයේ අයගේ දෑත් වලද මියගිය දෙමළ ජනතාවගේ ලේ තැවරී ඇති බවයි.  ඒ ඔවුන් අඩුමගනනේ කිලිනොච්චියන් පසුව වත් සමාදානයකට එළඹෙන්නට  ප්‍රභාකරන්ට බල නොකළ නිසාය.  කිලිනොච්චිය ඇද වැටීමට කලින් ඒ කුඩා නගරය සඳහා සටන ස්ටාලින්ග්‍රාඩ් නගරයේ වූවා වැනි සටන් වලට සමාන කරමින් ඔවුන් කියූ වගඩාඩම්බර කථා වලට සිනා සීමත් ශෝක වීමත් හැර වෙන යමක් අපට කළ  නොහැකි විය.
පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න මහතා මෙන්ම නව සම සමාජයේ ආචාර්ය වික්‍රමබාහු මහතා වැනි අයගේ ස්ථාවරය  එනම් එල්ටීටීඊ සංවිධානය විමුක්ති සංවිධානයක් ලෙස ගෙන සහය  දිය යුතුය යන්නට මට එකඟ වීමට නොහැක්කේ මේ නිසාය.  ඒ සිංහල රජය තරමට ම එල්ටීටීඊ සංවිධානයද නරුම වූ නිසාය. එංගලන්තයේ කප්පම් ගැනීමේ සිට, ක්‍රෙඩි කාර්ඩ් වංචා, මත  ද්‍රව්‍ය විකිණීම හා දෙමල නොවන තරුණියන් ගණිකා වෘත්තියේ යෙදවීමත් ඔවුහු අනුදත්හ. විප්ලවවාදී සංවිධාන  එවන් දේ වල යෙදෙන්නේ නැත.

මේ සිද්ධිය ගැන මගේ තවත් මිතුරකු පැවසුයේ මේ බ්‍රිතාන්‍ය හා කැනඩා මන්ත්‍රීවරු මෙන්ම ෆ්‍රැන්සිස් හැරිසන් ආදීනුත් එවැනි  ස්ථාවරයන්  ගත්තේ මුදල් හා චන්ද වලට  බවයි. එය ඔවුන් ගේ ජිවන මාර්ගයක් විය. අදටත් එය එසේමය.

විකල්ප සඟරාවේ පලවූ මේ ලිපියේ සිටම වාමාංශික යයි කියා ගන්නා මහත්වරු  තර්ක කරන්නේ සම්බන්ධන් ට විපක්ෂ නායක ධුරය දීම නිවැරදි බවයි. මෙහි ඇත්තේ සීනි  තැවරූ  කසාය  ගුලියක් බව ඔවුන් සඟවයි. එයට විරුද්ධව ලියන ඕනෑම කෙනෙක් ජාතිවාදී ගොන්නට හෝ “ජවිපෙ” නරුම ගොන්නට දැමීමට ඔවුහු මැලි නොවෙති.

විපක්ෂ නායකයා යනු ඊළඟ  ආණ්ඩුවේ නායකයාය.  ශ්‍රීලනිප ජාතිවාදී 47ට විකල්ප කණඩායමක්  ලෙස, විපක්ෂය ලෙස පිලි අරගෙන විපක්ෂ නායක පදවිය දුන්නා  නම් ඔවුන් ව සාකච්චාවට ගෙන නැවත නැවතත් පැරදවීමට හැකියාව තිබුණි.  ශ්‍රීලනිපය දෙකඩ වීමට ඉඩ හල යුතුව තිබුණි. ජනවාරි 8 මයිත්‍රී ට සහයෝගය දුන් ටීඑන්ඒ සම්බන්ධන් මෙතනට දැමූ  විට එය මග හැරී  යන අතර විපක්ෂ නායක ලෙස දෙමල ජනතාව වෙනුවෙන් පමණක් හෝ පෙනී සිටීමේ අවස්ථාව සම්බන්ධන් ගෙන් මග හැරී යයි.  එහෙමත් නැත්නම් විපක්ෂයේ සිට ඔහු දෙමල ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන යෝජනා වලට විරුද්ධ වීමටද රජයට අවකාශය සැලසේ.

කවුරුන් හෝ අර විරුද්ධ මන්ත්‍රීන් 47 දෙනාට විපක්ෂ නායක පදවිය දීම නුසුදුයි කියනවා නම් පසුගිය ආණ්ඩුවේ සිටි “හොරුන්ය ” යන සම්මාන නාමය ලබා ගත් උදවියට ඇමතිකම් දීමෙන් කර ඇත්තේ කුමක්ද  යන ප්‍රශ්නය මතු වේ.

කොටින්ම  මේ කර ඇත්තේ හොර වැඩකි. විපක්ෂයේ සහයෝගය ඇතුව ප්‍රශ්නය නැවතත් යටපත් කර දැමීමේ උත්සාහයකි. වම යයි කියා ගන්න අය  මේ උපක්‍රමයට මුලින්ම ගොදුරු වී ඇති අතර දෙමළ   සන්ධානය පසුව ගොදුරු වනු ඇත. දෙමල ප්‍රශ්නය විසඳුමක් නැතුව තවත් දිග් ගැස්සෙනු ඇති අතර වෙනත් තරුණ සංවිධානයක් එම හිඩැස පිරවීමට එනු ඇත .

ෆේස්බුක් යහළුවකු වන ආචාර්ය සුරේන් රාඝවන් මෙසේ ලියා  තිබේ:

//”දෙමලිච්චන්ගේ ලෝකය ( or the World of Sambandan and Seven Sisters)
දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නය කුමක්දැයි?
මහා අදුරු නලින් සිල්වා තැනූ  තර්කයඅද බහුතරයේ ජාතිකවාදීන්ට ව්‍යූහාත්මක බුද්ධිමය පදනමක් සපයා ඇත . මා විසින් වරින් වර අසා ඇතිත්, සම්බන්දන්ගේ පත්වීමට විරුද්ධ සමයේ යලිත් ගොඩ නැගු ප්‍රතිතාර්කික පැණය නම් :
සිංහලයාට සිංහල වීම නිසාම ඇති බිය කුමක්ද? යන්නයි.
මෙය හුදෙක් ව්‍යූහාත්මක දේශපානයට පමණක් නොව
සමස්ථ සිංහල සමාජ/දේශපාලන/සංකෘතික සවින්ඥානයටම කිඳා බැස ඇත්තේ  දෙමළා The Paradigmatic Ontological yet ( PostBuddhist) Subaltern other …… යන මනස තුලය.
(In critical theory and postcolonialism, subaltern refers to the populations that are socially, politically and geographically outside of the hegemonic power structure of the colony and of the colonial homeland. – wikipedia )
කදිම අත්දෙකීමක් විය :
මම දුර කතනයෙන් කොළොඹ මා අතිශියෙන් ආදරය කරනා
(ලිබෙරල්වාදී) මිතුරෙක් ඇමතුවෙමි. මහා කුරුළු නාදයක් පසුපසින් අසින මම ඒ හඬ නගන්නේ බට්ටිච්චන්ද මලිතන්දදැයි ඇසුවෙමි
එවිට ඔහු එකවරම ” අම්මේ අර කෑ ගහන්නේ දෙමලිට්ච්චෝ නේද යි විමසීය”
ජාතිකවාදය/ජාතිවාදය සොඳුරු මිනිසුන්  පවා අන්ධ කර ඇතිබව වැටහුනේ (මා පෙන්වා දුන්) පසු ඔහු එය ‘හිතා මතා’ නොකළ බව මට කී නිසාය. මම පිළිගනිමි. අපි හිතා මතා මහජාතිකයන් නොවෙමු.
ජාතිවාදය බොහෝ දුරට අවින්ඥානාක සවින්ඥනයයි.
අපි තවත් බොහෝ යන්නට ඇතිබව මට සිහින් රිදුමක් සමගින් මතක් විය.  “//

සිංහලයාට සිංහලයා  වීම බියක් සපයන්නේ මිලියන් අනූවක් දෙමල ජනතාව ජිවත් වන තමිල්නාඩුවක් ඇති නිසාත් එහි පාලකයන් චන්ද හා වෙනත් දේ බලාපොරොත්තුවෙන් ලංකාවේ දමිල ප්‍රශ්නය ඔද්දල් කරන නිසාත්ය.  ඉන්දියාවට ටිඑන් ඒ  නායකයන් දිවයාම පසුපසින් සිංහලයා ගේ බියද ඇදීයයි. රඝාවන්  මහතාට කියන්නට තිබෙන්නේ  ජාතිවාදී නොවන අප වැනි කොටස් සිටින  බවත් දෙමළ ජනතාව ගේ ප්‍රශ්නය විපක්ෂ නායක පදවියකින් නොවිසඳෙන බවත්ය. හේතුව මේ විපක්ෂ නායකයා ලංකාවේ ඊළඟ පාලකයා නොවන නිසාය. අනිත් රටවල නම් චන්දය දිනුව විපක්ෂ නායකයා ඊළඟ  අගමැතිය.  මේ වෙන්නේ රාඝවන් වැනි අයද නොදනුවත්වම එක්  වී සිටින තවත් රඟ පෑමකි.

ඉතිහාසය නැවත පුනරාවර්තනය වීමට නියමිතය.

Ajith Dharmakeerthi

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මම ඔබගේ අදහස් සමග එකගයි. දෙමළ ජනතාව වෙනුවෙන් විමුක්ති ව්‍යාපාරයක අවශ්‍යතාව මතුවී තිබුණේ එල්ටීටීඊය ශක්තිමත් ලෙස පැවතුණු යුගයේ පටන් ය. එහෙත් එ් සදහා එල්ටීටීයෙන් කිසිදු අනුකම්පාවක් නොවූ බව අපි ද දනිමු. දෙමළ ජනයා වෙනුවෙන් ගොඩනැගුණු අවසන් වාමවාදී ව්‍යාපාරය හෙවත් මාක්ස්වාදී දෙමළ විමුක්ති ජනතා සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරීන්ට 2001 දී කොටහේනේ දී වෙඩිතබා මරා දැමීමෙන් පසු නැවත දෙමළ ජනයා වෙනුවෙන් වාමවාදී ව්‍යාපාරයක් නිර්මාණය වූයේ නැත. නමුත් එල්ටීටීය වාමවාදී සංවිධානයක් බව ප්‍රචාරය කිරීම සදහා දෙමළ ජනතාව අතරත් සිංහල ජනතාව අතරත් මතවාද පැතිර වූ පිරිස් සි‍ටියහ. එහි දකුණේ ප්‍රකාශනය දේදුන්න වූ අතර එය ඊනියා සිංහල වාමවාදී දෙමළ හිතෛෂී රෝහිත භාෂණගේ සහ සුළු පිරිසකගේ වෑයමකි. අප හොදින්ම දන්නා පරිදි සිංහල වාමවාදය තුළ විජේවීර කළ කාර්යයට සමාන දෙයක් භාෂණලා දෙමළ ජනයා කෙරෙහි මිත්‍රශීලීබවක් දැක්වූ සිංහල ජනයා අතර සිදු කළේය. මීට තවත් උදාහරණයක් වන්නේ වික්‍රමබාහුගේ සහ දෙමළාගේ ප්‍රශ්නය මගින් ‘වර්ණවත් වන නිර්මාල් රංජිත් දේවසිරි වැනි අයගේ ඊනියා දෙමළ හිතෛෂීබවයි. (මේ අය දෙමළ වුණා නම් එල්ටීටීඊ එකට සෙට් වෙයිද?) ඇත්තටම නම් මේ අය කරන්නේ සිංහලයා සහ දෙමළා අතර ඇති ජාතිවාදය නඩත්තු කිරීමයි. භාෂණාලා ඇත්තටම සිදු කළේ ද අද පවා තිලක් කෝදාගොඩලා කරන්නේද මේ ප්‍රතිපාර්ශවික ක්‍රියාවලීන් සදහා එක් අන්තයක් නියෝජනය කිරීමයි. ඇත්තටම මේ දෙමළ සහ සිංහල ජාතිවාදය එකක් වන අතර වඩාත් ලාබදායී වන්නේ මහජාතිය ගැන කතා කිරීමට වඩා සුළු ජාතිය ගැන කතාකිරීමයි. (නිර්මාල්ල වගේ අය කරන්නෙ තමන් මහජාතියෙ බව දෙමළුන්ට කියා පෑම සහ සිංහලයන් අතරේ තමන්ගේ ඊනියා වාමාංශික බව තහවුරු කිරීමයි) කලාපීය දේශපාලනය තුළ ඉන්දියාවේ දේශපාලනය අස්ථාවර කිරීම සදහා සිදුකරන කුමන්ත්‍රණවලදී වැඩි වශයෙන් මිය යන්නේ දෙමළ ජනයා ම බව ඊනියා දෙමළ හිතවාදීන් වන භාෂණලා, නිර්මාල්ලා වැනි ඇගිලිවල කොන්ඩම් දමාගෙන සිටින නරුමයන් නොදන්නවා නොවේ. සම්බන්ධන්ලා නියෝජනය කරන්නේ දෙමළ ජනතාව නොව ධනවාදය බව පමණක් කෙටියෙන් පවසමි. කෙ‍සේ නමුත් කැනඩාවේ, ස්විස්ටර්ලන්තයේ හෝ නෙදර්ලන්තයේ ජීවත් වීමට අපට අවශ්‍ය නම්……..! දෙමළාගේ නිදහස හොද ආයෝජනයකි. සූරාලා බලන්න….!

Comments are closed.