1989 දී බර්ලින් තාප්පය බිදහෙලීම දක්වා දහ නම වන සියවස තුල ධනවාදය සහ සමාජවාදය පිළිබද පොදු මත දෙකක් පැවතින. එනම් සාමාන්‍ය සදාචාරාත්මක විනිශ්චයට අනුව සමාජවාදය හොද පරමාර්ශයක් සහ ධනවාදය නරක දෙයක් යනුවෙනි. නමුත් අවසානයේ ජයග්‍රහණය කලේ ධනවාදයයි. මෙය ලෙනින්ගේ සිට අල්තුසර් දක්වා වූ චින්තකයන් කිසිවෙකුටත් පැහැදිලි කල නොහැකි ප්‍රපංචයක් විය. දේශීයව ගත් විට 89 දී ජනතා විමුක්ති පෙරමුණ පරාජය වීමත් සමග ජාතිවාදය ජයග්‍රහණය කළේය. නමුත් දේවල් එසේ සිදුවුයේ ඇයිද ? යන්න මේ දක්වා  කිසිවෙකුත් පැහැදිලි කර නැත.  

මෙම තත්වය තේරුම් ගැනීමේ න්‍යායක් ගොඩනැගීම සදහා අප ලැකානියානු මනෝවිශ්ලේෂණය දෙස හැරෙමු. ලැකානියානු මනෝවිශ්ලේෂනයේ සාකච්ජා වන දේශපාලනිකව අපට වැදගත් සංකල්පය වන්නේ විනෝදයයි(Jouissance ). විනෝදය යනු දැනටමත් අප හොදින්ම දන්නා සංකල්පයකි. ඉන් අදහස් වන්නේ සතුට (pleasure), ප්‍රමෝදය (enjoyment), තෘප්තිය (satisfaction) ආදී වේ. නමුත් ලැකාන්  Jouissance යන වචනය භාවිතා කරන්නේත්, ඒ අනුව අප ‘විනෝදය’ යන වචනය හදුන්වා දෙනු ලබන්නේත්  ඉහත තේරුම් ගම්‍ය  කිරීමට නොවේ. ඉන් අදහස් වන්නේ ඉහත සියලු අර්ථ වල අතිරික්තයයි (Excess). සාමාන්‍ය ජීවිතයේදී අප සියලු දෙනා සතුට, ප්‍රමෝදය, තෘප්තිය මෙන්ම වේදනාවද අත්විදියි. නමුත් අප සතුට කිසියම් සීමාවකට එහා ගොස් අත්විදින විට (එනම් සතුටේ අතිරික්තයක් සොයා යන විට ) එයින් ඇතිවන්නේ වේදනාවකි. ලැකානියානු මනෝවිශ්ලේෂනයේ Jouissance යනු මේ අතිරික්ත සතුටයි නැතිනම් වේදනාවයි. සතුටේ ඇති වේදනාව (pleasure in pain) අත්විදීම සදහා  මිනිසා හබා යයි. අප සාමාන්‍ය පරිදි සිතන්නේ මිනිසා ජීවිතයේ සතුට සොයා යන බවයි. ඒ නිසා ජ. වී . පෙ ඇතුළු වමත් , සියලු දක්ෂිණාංශික පක්ෂත් ජනතාවට සතුටුදායක අනාගතයක් (සාමය, සතුට සෞභාග්‍ය පිරි සුබ අනාගතයක්) උදා කිරීමට උත්සහ කරයි. නමුත් පුද්ගලයා මුලධාර්මිකවම සොයන්නේ එවැනි සතුටක් නොව සතුටේ ඇති වේදනාත්මක අතිරික්තයයි. මිනිසුන් ලෙස අපගේ ස්වභාවය පුදුමාකාරය. අප පිටතට පෙන්වන්නේ වෙස්මුහුනකි. ඉන් ගම්‍ය කරවන්නේ අප දුක් විදින බවත් සතුට කරා රැගෙන යන ලෙසත්ය. නමුත් වෙස්මුහුන ඇතුලේ සිටින සැබෑ පුද්ගලයාට අවශ්‍ය සතුට නොව දුක් විදීමයි (suffer). එමෙන්ම  මෙම සත්‍ය  සගවාගැනීමටද පුද්ගලයාට අවශ්‍යය වේ (keep it as a secrete ).

දැන් ඔබට සමාජවාදය පරදා ධනවාදය ජයග්‍රහණය කරන්නේ ඇයිද යන්න පැහැදිලි කරගැනීමට මුලික අඩිතාලම හමුවේ. රෝහණ විජේවීර නම් ස්වාමි හැගවුම්කාරකය සමග ජනතා විමුක්ති පෙරමුණ පරාජය කරමින් මහින්ද රාජපක්ෂ නම් ස්වාමි හැගවුම්කාරකය ජාතිවාදයේ නියෝජිතයෙකු ලෙස මතුවන්නේ විනෝදය නම් දේශපාලනික සාධකය මුලික කර ගනිමිනි. සරළ උදාහරණයක් මගින් අප තවදුරටත් මෙම තර්කනය විදාරණය කර ගනිමු. අප බොහෝ දෙනා විනෝද වීමට මත්පැන් පානය කරයි. විවිධ සාද වලදී අප මත්පැන් පානය කර ඇත. නමුත් ඔබගේ මත්පැන් පානයේ අමතක නොවන දවස කුමක්ද යැයි කෙනෙකු ඇසුවහොත් අනිවාර්යෙන්ම ඔබ අනුස්මරණය කරන්නේ සිහි නැතිවන තුරු මත් පැන් බී වෙරි මතින් හතරගාතෙන් ගෙදර ආ දිනයයි. එසේත් නොමැති නම් මත්පැන් බී රිය පදවා පොලිසියට හසු වී උසාවියෙන් කෙලවර වූ දවසයි. පමණට මත්පැන් බීම සාමාන්‍ය සතුට නම් සිහිසුන් වන තුරු මත් පැන් බීම සතුටේ අතිරික්තය නොහොත් විනෝදයයි. ආත්මයක් ලෙස මා පවතින්නේ මේ විනෝදය ලබන තැනය. දුකක් වුවත් , පසුදින වරදකාරිත්වයක් ඇති වුවත් මත්පැනින් විනෝද වූ සාදය , එකතු වූ මිතුරන් අනෙක් සියලු දේට වඩා පුද්ගලයාට මතකය. දැන් අප මේ උදාහරණය දේශපාලනයට ආදේශ කරමු. ජ. වී . පෙ යනු මත්පැන් නැති සාදයක් වැනිය. මෙවැනි පක්ෂයක් යම් මට්ටමකට තාර්කික වුවද පුද්ගලයාට විනෝදය සපයන්නේ නැත(අනුර කුමාර ලංකාවේ මහජනයාට අනුව තාර්කිකත්වයේ පියාය. ඔහුගේ තර්ක කිරීම ඇසීමෙන් ජනතාව විනෝද වන නමුත් එම විනෝදයම විකට නළුවන් විසින්ද ජනතාවට ලබා දෙයි) . යු. එන්. පී. යනු මත්පැන් ඇති සාදයක් වේ. පුද්ගලයාට යු. එන්. පී. එක තුල ඇති තරම් මත්පැන් බීමට හැකිය. නමුත් ඔවුන් එළිපිටම සියලු දේ කරයි. මේ නිසා විනෝදය රහසිගතව  ලැබීමට පුද්ගලයාට නොහැකි වේ. එමෙන්ම ඔවුන් ජ. වී . පෙ මෙන් තාර්කික වීමටද උත්සහ කරයි. ස්ත්‍රීන් බියර් බොනවාට අප කැමතිය. නමුත් ඒක එළිපිට කියනවාට අප කැමති නැත. බාර් රාත්‍රිය  වන තුරු විවෘතව තැබිය යුතුය. ඉන් අපට තවත් හොදින් විනෝද විය හැක. නමුත් එලිපිටම ඒක කරන බව කියන එක  අපට දිරවන්නේ නැත. මේ සියලු දේ ‘මතට තිත’ වැනි ලේබලයක් සමග රහසිගතව කරන්නේ නම් මත්ලෝලීන්  සියලු දෙනා  යු. එන්. පී. ය  දිනවනු ඇත.

දැන් අප ජයග්‍රාහකයා වෙත යොමු වෙමු. ඔහු මේ සියලු බාධක ජය ගනිමින්, විනෝදය කළමනාකරණය කරගමිනින් ජයගන්නේ කෙසේද ?. මෙය පැහැදිලි කරගැනීම  සදහා නැවතත් මනෝවිශ්ලේෂණය වෙත හැරෙමු. විනෝදය (Jouissance ) කරා හබා යාමට ආත්මය පොලබවන්නේ ආශාව විසිනි. පුද්ගලයාගේ සෑම අශාවක්ම මනෝවිශ්ලේෂනයේ හදුන්වන ආශාව (Desire) නොවේ. මෙම ආශාව ගොඩනැගෙන්නේ මර්දනය මගිනි. එනම් මට නොතිබූ දෙයක් සංකේතීය පියා විසින් තහනම් කරයි. පුතේ අම්මා ඔයාගේ නෙවේ. මේ ඇද ඔයාගේ නෙවේ. ඔයා ඔයාගේ කාමරයට යන්න. ඔයා වෙනත් ගැහැණියෙක් සොයා ගන්න.මේ සංකේතීය  පියා විසින් සිදුකරන නිහඩ සන්නිවේදනයයි . මේ නිසා දරුවාට මව අහිමි වෙයි. ඇත්තටම මේ අහිමි වන්නේ දරුවාට හිමිව තිබු දෙයක් නොවේ. මේ නිසා මෙම අහිමි වීම අඩුව (lack) ලෙස හැදින්වේ. ඒ අනුව පුද්ගලයාගේ  ආශාව දිශානත වන්නේ  තමන්ට අහිමි වූ වස්තුව නැවත ලබා ගැනීමටය. නැතිනම් අඩුව සම්පුර්ණ කර ගැනීමටය.මෙය ජාතිවාදයට ද අදාලය. ජාතිවාදයේ දී සිංහලයා කියන්නේ තමන්ට හිමිව තිබු සතුටක් දෙමළා විසින් පැහැර ගෙන ඇති බවයි. ඒ අනුව සිංහලයාගේ  අඩුව සම්පුර්ණ කරගත නොහැකි බාධකය වන්නේ දෙමළාය. තම අඩුව සම්පුර්ණ කරගැනීමේ අශාවෙන් පෙලෙන සිංහල ආත්මයට දෙමළා නමැති බාධකය (තමන් විසින්ම ගොඩනැගු ) විනාශ කිරීමට අවශ්‍ය විය. 2005 දක්වා මෙම ආශාව ඉටුකර දීම සදහා කිසිදු දේශපාලඥයෙක් සම්පුර්ණ වශයෙන්ම  ඉදිරිපත් නොවින. නමුත් මෙම හිස්තැනට  ආදේශ වීමට මහින්ද රාජපක්ෂට හැකිවිය. ඒ අනුව සිංහලයා සහ මහින්ද රාජාපක්ෂ නම් රූපිකය අතර ආත්මීය බැදීම ගොඩනැගීම ආරම්භ විය.

මහින්ද රාජපක්ෂ නොදැනුවත්ව ඇතුළු වන්නේ අනුන්ගේ කතිකාවකටය.ඒ  ජ. වී.පෙ සාමාජිකයන්ව සිට ඉන් ඉවත් වූ  චම්පික සහ රතන හිමි විසින් ගොඩනැගු ජාතිකවාදී කතිකාවයි. මෙම ජාතිකවාදී කතිකාව හරහා චම්පිකට සහ රතන හිමිට බලය හිමි නොවන්නේත් මහින්ද රාජපක්ෂ ඉන් කරලියට පැමිණෙන්නේත් ඇයි? චම්පිකගේ ජාතිකවාදී කතිකාව හැගවුම්කරණය කල හැකි දෙයකි (Signifier එකකි ). එය තාර්කික මෙන්ම බුද්ධි ගෝචර කතිකාවකි. එමගින් ජාතිකවාදය පිළිබද සංකේතීය ප්‍රබන්ධයක් (Symbolic Fiction) ගොඩනැගීමට උත්සහ කරයි. මෙම කතිකාව මගින් ජනතාවට විනෝදය සපයන්නේ නැත. නමුත් මහින්ද රාජපක්ෂ යනු එහි අනෙක් පැත්තයි. එනම් ඔහු හිස් හැගවුම්කාරකයකි (Empty Signifier). චම්පික යනු ජාතිකවාදය නම් කතිකාවකින් පිරුන මල් පෝච්චියක් නම් මහින්ද රාජපක්ෂ යනු හිස් මල් පෝච්චියකි. මේ නිසා ඔහු සමග  ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැක. දිනේෂ් , වාසු , ධම්මික පෙරේරා, ඩිවූ ගුණසේකර, බැසිල් , නාමල්, විමල්, ඩලස්, කුමාර වෙල්ගම, නයනා කුමාරි, රත්තරං, නලින්ද සිල්වා, දයාන් ජයතිලක, ධම්ම, මර්වින්, ගෝටා ආදී ඔහු ලග සිටින අයගේ නම් ලැයිස්තුව දෙස කල්පනාවෙන් යුතුව බලන විට රාජපක්ෂ යනු ඕනෑම කෙනෙකුට ආදේශ විය හැකි හිස් හැගවුම්කාරකයක් බව මනාව පැහැදිලි වේ. රාජපක්ෂ යනු කිසිදු තනි  මතයක් දරන්නේ නැති පුද්ගලයෙකි. දහ දොළොස් දෙනෙකු කතා කරමින් සිටින කාමරයකට මහින්ද ඇතුළු වන විට ඔවුන් මහින්දගෙන් මෙසේ අසයි. ‘ආ මහින්ද මහත්තයා , කියන්න ඔයා කාගේ පැත්තේද?’ එවිට මහින්ද මෙසේ කියයි. ‘මල්ලි මෙතැන නැගලා යන්නේ කවුද මම ඒ පැත්තේ’. 

හිස් හැගවුම්කාරකය මගින් සැගවුන විනෝදයක් ලබා දෙයි. එය ආශාව කුළුගන්වන Object a බවට පත් වෙයි. දේශපාලන කතිකාව තුල මහින්ද යනු ජනතාවගේ Object a ය. මෙම උත්කර්ෂයට චම්පික හෝ වෙනත් කෙනෙකු ලක් වන්නේ නැත. ඊට මත්තෙන් ඔවුන්ගේ පුද්ගලික විනෝදයන් එලියට පැමිණේ. නමුත් මහින්ද යනු සරළ මිනිසෙකි. කන්නේ  මුකුණුවැන්න සමග  බත්ය. ඉතාම ආගමික අල්පේච්ජ ජීවිතයක් ගත කරයි. ධනවාදයට විරුද්ධව මතුවන ප්‍රධාන කතිකාවක් වන්නේද  අල්පේච්ජ බවයි.  එළියේ ඇති නීරස සමාජ යතාර්ථය වෙනුවට සුසංවාදී සමාජයක් ගොඩනැගීමට මහින්ද පොරොන්දු වෙයි. එමෙන්ම දෙමළා නැතිනම්  මෙම නීරස සමාජය වඩා යහපත් වන බව රහසිගතව සන්නිවේදනය කරයි. දෙමළා නැති සමාජය යනු අපගේ අශ්ශීල ෆැන්ටසියයි (Obscene Fantasy) . මුස්ලිම් එවුන් ළමයි වැඩිපුර හදනවා, ඩයස්පෝරාව රට බෙදනවා ආදී මේ සියලු අදහස් ආධාර කරන්නේ  අපගේ අශ්ශීල ෆැන්ටසියටයි. සිවිල් සමාජය මේ සියලු දේ එපා කියයි. නමුත් මහින්ද මේ සියලු දේට හා කියයි. සිවිල් සමාජයේ No නැතිනම් දෙමලු මැරීමේ  ආශාව බිහි නොවේ.  මහින්ද අපට දෙන නිහඩ පණිවුඩය මෙයයි. ‘මම දෙමලු මරන්නම්, ඔයාලා හොරෙන් ගානක් හොයා ගන්න’. හොරකම යනු අපගේ මර්දිත ආශාවයි. මහින්ද හොරෙක්, නරක පුද්ගලයෙක් බව ඔහුට කැමති සියලු දෙනා හොදින්ම දනී. නමුත් අනෙක් අතට මේ සියලු දෙනා ඔහුට වශී වන්නේත් මේ හේතුව නිසාය. සුළුවෙන් හෝ හොරකමක්, නරක වැඩක්, වංචාවක් කරගෙන ජීවත් වීම සියලු දෙනාගේ අවිඥානික ආශාවයි.

මනෝවිශ්ලේෂණය යනු පුරුෂ කේන්ද්‍රීය කතිකාවකි. ස්ත්‍රිය නොපවතින බව ලැකාන් කියයි. ශතවර්ෂ ගණනාවක් ෆ්‍රොයිඩ් සහ ලැකාන් ස්ත්‍රීවාදීන්ගේ විවේචනයට ලක් වුවද සත්‍ය වන්නේ එයයි. ස්ත්‍රිය යනු පුරුෂයා මෙන් දෙය මරා හැගවුම්කාරක ලෝකයට ඇතුළු වූ  කෙනෙකු නොවේ.  ඇය වඩා ලං වන්නේ යථ (Real)දෙසටය. එනම් ඍජු විනෝදය වෙතයි. ඇය දන්නේ විනෝද වීමට පමණි. මහින්ද රාජපක්ෂට වැඩිපුරම ආකර්ශය වන්නේ ස්ත්‍රීන්ය. මීට ප්‍රතිපක්ෂව රනිල් , අනුර කුමාර උදාසීන පියවරුන් වෙති. මහින්ද රාජපක්ෂ නම් ස්වාමි හැගවුම්කාරකයට කිසිදු අර්ථයක් නොපවතී. ඔහුගේ ඇති රැඩිකල් බව වන්නේ අර්ථයක් නොමැති වීමයි. වාසුදේව බැසිල් එක්ක එකට ඉන්නේ කොහොමදැයි වමේ කිසිවෙක් අහන්නේ නැත. ඒ ගැන සදාචාරාත්මක විනිශ්චයක් හෝ දෘෂ්ටිවාදයක් ගොඩනැගීම මිස න්‍යායාත්මක පැහැදිලි කිරීමක්  කරන්නේ නැත. මේ නිසා විනෝදය නම් පොදු සාධකය සියලු දෙනාට මගහැරී යයි. මෙතැන විනෝදය පවතින්නේ මහින්දගේ, වාසුගේ අභ්‍යන්තරයේ නොව එළියේ කතිකාව තුලයි. මේ නිසා සියලු දෙනාට  විනෝදය වටා එක් රොක් විය හැක. රාජපක්ෂගේ ලැයිස්තු පක්ෂයෙන්- List Party- ජයග්‍රහණය කර ඇත්තේ අවුරුදු 75 ආච්චිලා, නයි, වලසුන් ආදීන්ය. රාජපක්ෂට හොරා , ජාතිවාදියා කියමින් ඔහුව හබා යාමෙන් තවදුරත් ඵලක් නොවේ. මන්ද ඉන් ආත්මයක් විනෝද වන නිසාය. අප විවේචනය කල යුත්තේ මෙම ආත්මයයි. අනාගත දේශපාලනයකට මග විවර වන්නේ පුද්ගලයාගේ විනෝදය විවේචනය කර ඔහුව නව  සංකේත ලෝකයක්  වෙත රැගෙන යාම මගිනි.

Anushka Ariyarathna

 

 

 

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. “මහින්ද රාජපක්ෂ නොදැනුවත්ව ඇතුළු වන්නේ අනුන්ගේ කතිකාවකටය” මෙය ඉතා කදිම කොටසකි.
    in this sense mahinda rajapaksa is not a coherent racist as well as his main demonstrator of wimal weerawansa.

Comments are closed.