මම ලියන ශෛලිය පිළිබඳව ඔබ දැඩි අවධානයක් යොමු කරන කියවන්නියක් නම්, ඔබ දැනටමත් දන්නා පරිදි මා අතින් එකම උදාහරණය යළි යළිත් විශ්ලේෂණය වෙයි. උදාහරණයක් වශයෙන්, ‘හංස විලක්’ චිත්‍රපටය ගැන මා කරන විශ්ලේෂණ වල දී ඔබට යළි යළිත් එය මුණ ගැසෙයි. නැතහොත් ‘2004’ අපගේ සංවිධානයේ ප්‍රථම බෙදුම්වාදී ලක්ෂය මගේ ලිවීම්වල දී යළි යළිත් ඔබට මුණ ගැසෙයි. මින් අදහස් වන්නේ, එක දෙයක් ගැන බොහෝ දෙයක් කියන්නට ඇති බව ද? සරලමතිකයන්ට අනුව, මෙම එකතැන පල්වීම කිසියම් ඇදහිල්ලකින් ගැලවීමකට බැරිකමකි. නරුමයන්ට අනුව මෙලෙස එකතැන පල් වන්නේ, ‘පැරණි දෙය’ සහ ‘පැරණි මිතුරන්’ අමතක කළ නොහැකි නිසා ය. සමහර විපරිතයන්ට අනුව මම ‘ප්‍රභා මනුරත්න’ ගැන නැවත නැවත ලියන්නේ ද ඇගේ හම සුදු නිසා සහ ඇය ගැන ෆැන්ටසිකරණය කිරීම නැවැත්වීමට මට නොහැකි නිසා ය. අනුර කුමාර දිසානායක හෝ කුමාර් මහත්තයා හෝ විමල් වීරවංශ මේ කපේ දි තමන් සමඟ සමීපව දේශපාලනය කළ ස්ත්‍රීන් ගැන මේ සංසාරයේ දී නොලියනු ඇත. එය ඔවුන්ට අකැපය. ස්ත්‍රීන් ගැන විශ්ලේෂණයක් නැති පිරිමින්ට සමකාලීන ස්ත්‍රිය රුචිය. සමහරවිට, ප්‍රභා ජවිපෙට කඩේ යන්නේ ඒ නිසා විය හැකි ය.

                     

‘එකම දෙය’ යළි යළිත් පුනරාවර්තනය – Repetition- වීම පෙරදිග මිනිසාට අපුලක් වීමට ඉඩක් නැත. ‘සංසාරය’ යන සංකල්පය මඟින් විග්‍රහ වන්නේ ද (ජාතක කතා ද ඇතුළත්ව) පුනරාවර්තනය ගැන ය. හේගල් සහ ජිජැක් ද බොහෝවිට එකම උදාහරණය යළි යළිත් විශ්ලේෂණය කරයි. අපගේ නිවසේ කැඩපතක් ඇත්නම්, අපි දෛනිකව එය ඉදිරියට ගොස් අපගේ මුහුණේ පරාවර්තනය යළි යළිත් කියවන්නෙමු. හේගල්ට අනුව, චින්තනය ද ආපසු හැරී තමන් දෙසම බලන මිනිස් ක්‍රියාවලියකි. එසේ කරන විට පමණක් අප කරන්නේ එකම දෙයක් බව අවබෝධ වෙයි.

                      ‘විඥාණවාදීන්’ බොහෝවිට විවිධ උදාහරණ පසුපස පන්නයි. එක උදාහරණයකින් පැහැදිය නොහැකි ඉතුරු වූ ශේෂය පැහැදිලි කිරීමට ඔවුහු අලුත් උදාහරණ පසුපස පන්නයි. නමුත් මූලික වශයෙන් ‘භෞතිකවාදියාගේ’ ප්‍රවේශය වෙනස් ය. ඇය සෑමවිටම යමක් විශ්ලේෂණය කරන විට, එකම උදාහරණයට යළි යළිත් අවතීර්ණ වෙයි. භෞතිකවාදියාට අනුව උදාහරණයක් තුළ අතිරික්තයක්- Excess- ඇත. භෞතිකවාදියෙකු එක උදාහරණයක් ගෙන එය යළි යළිත් විශ්ලේෂණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

                    ඔබ ‘පරමාණුකවාදය’ ගැන අසා ඇත්නම් ඉන් අදහස් කරන්නේ, ‘පරමාණුව’ යනු, පදාර්ථය බෙදාගෙන බෙදාගෙන ගිය විට හමුවන බෙදිය නොහැකි ‘ඉතුරු වන ශේෂයට යි’. Atom යනු, ග්‍රීක භාෂාවට අනුව බෙදිය නොහැකිව ඉතුරු වූ ‘ආකෘතිය’ (Form) යන අදහසයි. ‘පදාර්ථය – රහිත – ආකෘතිය’ යනු, භෞතිකවාදයේ පළමු පියවරයි.

                     දේශපාලන-ආර්ථික විද්‍යාව පිළිබඳ පුරෝගාමියෙකු වූ එස්. බී. ද සිල්වා පිළිබඳ මගේ විශ්ලේෂණය සහ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වන සමන් පුෂ්පකුමාර අතර වෙනස පරමාණුකවාදය පාදක කොටගෙන පැහැදිය හැකිය. සමන්ට අනුව , එස්. බී යනු මාස්ටර් හැඟවුම්කාරකයකි. එනම්, යම් අන්තර්ගතයක් සහිත පදාර්ථයකි. මගේ විශ්ලේෂණයට අනුව එස්. බී යනු, පදාර්ථයක් (අන්තර්ගතයක්) රහිත ආකෘතියකි. සමන්ට අනුව එස්. බී ලංකාව ‘හිස් බව’ කිය යි. මා කියන්නේ, මේ ‘හිස් බව’ නඩත්තු කරන විනෝදයක් ද එස්. බී. ට ගැට ගැසී ඇති බවයි. මගේ විශ්ලේෂණයට අනුව ‘මාස්ටර් හැඟවුම්කාරකයකට’ මිනිසෙකු යා වන්නේ, එමඟින් සපයන අර්ථය නිසා නොව එමඟින් සපයන වේදනාව නිසා ය යන සාධකය යි. 

                   එකම උදාහරණය යළි යළිත් බෙදීම මඟින් අපට තහවුරු වන්නේ, උදාහරණය සතුව පොහොසත් ‘අන්තර්ගතයක්’ තිබෙන බව නොව එහි තේරුමක් නැති ‘ආකෘතිය’ වෙන් කර ගැනීමයි. තේරුමක් නැති ආකෘතියක් යනු, දෘෂ්ටිවාදයේ රහස අනාවරණය වන තැනයි. ‘න්‍යාය’ මඟින් කරන කාර්යය වන්නේ, මේ හිස් ආකෘතිය පෙන්වා දීමයි.

                      80 දශකයේ මුල දී ‘හංස විලක්’ චිත්‍රපටය සිංහල සමාජ කතිකාවට අවතීර්ණ වන විට, එවකට පැවති ‘මහා අනෙකාට’ අනුව ‘අවිඥාණය’ ව්‍යුහගත වූයේ, විවාහයෙන් පිටත විකල්ප සම්බන්ධයක් හරහා වැඩි සතුටක් – more creative life-  ජනනය වන බවයි. විවාහ යනු, අඩු සතුටක් සහිත -less creative life – ව්‍යුහයකි.

                        ගුණසිරි සිල්වා නම් 80 දශකයේ ප්‍රකට වාමාංශික සිනමා විචාරකයාට අනුව ‘හංස විලක්’ යනු, හුදු ආකෘති හරඹයක් පමණි. ඔහුට අනුව ධනේශ්වර ආර්ථික ක්‍රමයේ පරාරෝපිත ආත්මයන් විපරිත ආශාවන් පසුපස හඹායාම නාස්තිකවාදී ය. ‘හංස විලක්’ යනු, එම නාස්තිකවාදය තහවුරු කිරීමට තනන ලද චිත්‍රපටයකි. ඒ අර්ථයෙන්, ‘අහස් ගව්වට’ වෙනස්ව ‘හංස විලක්’ පලායෑම්වාදයකි. නමුත් චිත්‍රපටයේ ආකෘතිය ගුණසිරි හිතන තරම් සරල නැත. විවාහයෙන් පිටත විකල්ප සම්බන්ධයක ඒ යුගයේ ම පැටලී සිටි ගුණසිරි සිල්වා ‘හංස විලක්’ තුළ අපුලක් දැකීම සිංහල වාමාංශයේ රහසිගත අශ්ලීළ විනෝදය යළි තහවුරු කිරීමකි.

                        ‘හංස විලක්’ චිත්‍රපටයේ ආකෘතිය පළමුවර කියවීමේ දී අපට වැටහෙන්නේ, එය විවාහයේ නිස්සාරත්වය ලෙසිනි. එය 80 දශකයේ ‘මහා අනෙකා’ සාදන ලද මහා ආඛ්‍යානයකි. මේ ආඛ්‍යානය ඒ කාලයේදී ම ”ෂන්තාල් මුෆ් සහ අර්නෙස්ටෝ ලැක්ලෝ” කියවූ දයාපාල තිරාණගමට පවා අදාළ ය. ඔහු පවා එකල ෆැන්ටසිකරණය කරන ලද්දේ, විවාහයට එපිටින් ඇති විකල්ප සම්බන්ධය මිහිරි හෝ ‘වඩා ජීවිතයක්’ (More life) උදා කරන බවයි. 1999 වසරේ දී නිර්මාල් රංජිත් දේවසිරි ද මා සමඟ එකඟ වෙමින් කීවේ, විවාහය – His Marriage – ඉතාම නිස්සාර තැනක් බවයි. එහි දී ඔහු විකල්ප සම්බන්ධයක් වෙනුවට මාව ද සම්බන්ධ කර ගනිමින් කීවේ, ‘දික්කසාදය’ විකල්පය බවයි. දික්කසාදයට පසුව Full Time Politics කළ හැකි බව එකල ඔහු ඇදහුවේ ය. දික්කසාදය සහිත ජීවිතය ඒ අනුව හිස් බවට මදක් පහළින් වූ ජීවිතයකි.[Less than Nothing]

Less than Nothing

                    නමුත් 21 වැනි සියවසේ දෙවන දශකයට එන විට, ‘හංස විලක්’ චිත්‍රපටයේ ආකෘතිය වෙනත් විදිහකට මට අවබෝධ විය. චිත්‍රපටයේ අවසානයේ ඉතා ව්‍යාකූල එකකි. කල්පනාවෙන් නරඹන විට එහි ‘ආකෘතිය’ අප හිතනවාට වඩා රැඩිකල් බව වැටහේ. ඊට අනුව, ප්‍රධාන චරිතය වූ නිශ්ශංක විකල්ප සම්බන්ධය නිසා හෙම්බත් වී යළි විවාහයට යොමු වන බවක් පෙන්වයි. මිරැන්ඩා ද මෙම අදහස අනුමත කරයි. ඒ අනුව, විවාහයෙන් ‘විකල්ප සම්බන්ධයට’ එන පරාරෝපිත මිනිසා යළිත් විකල්පයෙන් විවාහය වෙතට පන්නා දමයි. ඒ අනුව ‘විකල්පය’ යනු ද අන්තර්ගතයක් රහිත හුදු ආකෘතියකි. නමුත් මෙම ආකෘතිය ”විවාහයට අන්තර්ගතයක් ඇතැයි” සිතුවහොත් පමණක් විද්‍යාමාණ වන යථාර්ථයකි. දයාපාල සහ නිර්මාල් 21 වැනි සියවසේ දෙවැනි දශකයට එන විට, යහපත් ස්වාමිපුරුෂයන් බවට රූපාන්තරණය වෙයි. ඔවුහු පසු ආවර්තනයට යොමු වෙයි.

                   නමුත් පරමාණුකවාදී අදහසකින් ‘හංස විලක්’ නැරඹූ විට අපට පෙනෙන්නේ කුමක් ද? නැතහොත් ‘හංස විලක්’ නිර්මාණය කිසිවක් ඉතුරු නොවී හිස් බව දක්වාම බෙදුවහොත් එන අවබෝධය කුමක්ද? මෙම නව අවබෝධයට අනුව ‘හංස විලක්’ යනු, විවාහයටත්, විකල්ප සබඳතාවලටත් කිසිදු අර්ථවත් අන්තර්ගතයක් (අර්ථයක්) නැති බව පෙන්වා දෙන කලා කෘතියකි.[void] විවාහයත්, ඊට විකල්ප අනුරාගික විකල්ප සම්බන්ධයත් යන දෙකම ධනේශ්වර සමාජ-ආර්ථික කොන්දේසි නිසා හටගත් අනාරක්ෂිත වෙස්මුහුණු දෙකක් පමණි. ඒ වෙස්මුහුණු දෙකම යට ඇත්තේ, ‘හිස් බව’ පමණි. නමුත් පසුආවර්තිත තර්කනය අපට කියා දෙන්නේ, හිස් බව නසන පළමු හැඟවුම්කාරකය වූ ‘විවාහය’ [1] දෙවන හැඟවුම්කාරකය [2] විකල්ප සම්බන්ධයට වඩා අර්ථාන්විත හැඟවුමක් බවයි. නමුත් විවාහය සහ විකල්පය අතර ශුද්ධ වෙනස ”ආකෘතිය” පමණක් නිසා එකකට වඩා අනෙක උසස් බව සිතීම දෘෂ්ටියකි. සිතිය යුත්තේ, 1,2 කියා ලෙස නොව 1 සහ 1.1  කියා ය. [විකල්පය යනුද විවාහයේම පැල්මකි]

                   විවාහයෙන් විකල්පයට හෝ දික්කසාදයට ගිය දයාපාල සහ නිර්මාල් සමකාලීන ධනවාදී මහා අනෙකා තුළ ඉතාම යහපත්, කරුණාවන්ත, ගැටුම් සමනය කර ගන්නා ආකෘතියේ සැමියන් වී ඇත. ‘හංස විලක්’ ආකෘතිය අපට කියන්නේ, විකල්පය තුළ පමණක් නොව විවාහය තුළ ද ‘රැවටීම’ හැර නූතන ධනවාදය තුළ වෙනත් කිසිදු අන්තර්ගතයක් නැති බවයි. නිර්මාල්ගේ ‘පුරාවෘත්තය’ ඔන්චිල්ලාවේ අනෙක් අන්තයට ගොස් ඇත. ඔහුට අනුව විකල්පය තුළ අසාර වූ මේ බිමේ ”සාරයක්” කොතැනක හෝ සැඟව ඇත.

                    පරමාණුව කඩාගෙන කඩාගෙන ගිය විට අන්තිමට බෙදිය නොහැකි ‘යමක්’ ඉතුරු වෙයි. මේ ඉතුරු වූ ‘හිස් බව’ නම් දැනුමේ සිට බලන විට, විවාහය සේම විකල්පයත් මුලාවන් ය. නමුත් සමකාලීන ධනවාදය තුළ පුද්ගලයා නරුමවාදී ය. ශීලාචාර පවුලක් නඩත්තු කිරීමට අවශ්‍ය අශීලාචාර අතිරික්ත ධනයක් පවුල තුළට කාන්දු වන නිසා නිර්මාල්ගේ සහ දයාපාලගේ දරුවන් තම පියවරුන්ට ශාන්තුවරයන්ට සේ සලකන බව දෘෂ්‍යමාණ ය. නමුත් මේ අතිරික්තය නැති මැදපෙරදිග ගිය පියවරුන්ගේ ආත්ම ගෞරවය පවා මේ පවතින සමාජ-ආර්ථිකය නිසා අහිමි වී ඇත.

               දෘෂ්ටිවාදී විශ්ලේෂණයේ දී ‘අප ගැන අපට ඇති දැනුමක්’ (අවිඥාණය) නිෂේධනය කරනු පෙනේ. නැගෙනහිර ජැටිය ගැන කතා කරනවාට වඩා වරාය අධිකාරියේ ලක්ෂ ගණන් වැටුප් ගන්නා ශාන්කුවරයන් වූ පියවරුන්ගේ අවිඥාණය ගැන කතා කිරීම 21 වැනි සියවසේ දී ඉතාම අභියෝගකාරී ය. 

Deepthi

++++++++++++++++++++++++++++++++++++++++++++

Click below.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

========+++++++++++++++++++++++++++

X කණ්ඩායම නම් අගනාගරික ජනප්‍රිය දේශපාලන ව්‍යාපෘතියේ ඛණ්ඩනයෙන් පසු ජාතික වාම දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම වෙනුවෙන් අප පැමිණි ගමනේ ඉතා වැදගත් පියවරක් තැබීමට ආසන්න මොහොතකට අප ලගා වී ඇත. පසුගිය දශකය අග භාගයේ සිට ජාතික දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් සංවිධානය ගොඩ නැගීම සදහා දීප්ති සමග බොහෝ දෙනා ඇප කැප විය. ඒ අමාරු කාලයේ අපට තිබු එකම දෙය වුයේ පරාජයන්ගේ ඉතිහාසය සමග බැදුණු  අමිහිරි මතකයන් සහ එකී ඉතිහාසය අනුසාරයෙන් දීප්ති විසින් ගොඩ නගන ලද න්‍යායික දැනුම පමණි. මෙම ඉතිහාසය නැවත නැවතත් මතක් කිරීම ඇතැම් පුද්ගලයන්ට ගුජුප්සාජනක අත්දැකීමකි. කොතරම් අප්‍රසන්න කුණු ගොඩක් වුවද යලි යලිත් මෙකී ඉතිහාසයේ සිදුවීම් විස්තර කරමින් ඒවා න්‍යායාත්මකව වටහා ගන්නා අකාරය පිළිබදව දීප්ති සහෝදරයා විසින් අපව පුහුණු කළේය. අවසානයේ එය සමස්ත ලාංකීය සමාජය වටහා ගැනීමේ විද්‍යාව බව අපට පසක් විය. මෙම අධ්‍යනයේ ප්‍රධාන මුලධර්මයක් වන්නේ විනෝදය නම් සාධකයයි. සමකාලීනව වාමාංශික යැයි කියාගන්නා ලොකු ලොකු පොරවල් ලොකු ලොකු වැඩ කරන විට ඔවුන් අපව පැත්තකට කර දමන ලදී. මෙකී වාමාංශිකයන්ට අපි කීවේ ‘අනේ අපි ඔයාලගේ ගොඩට අයිති නැති බවයි’. එවිට ඔවුන් පෙරලා අපව  මධ්‍යමපාන්තිකයන්, විඥානවාදීන් ලෙස හංවඩු ගසන්නට විය.  එවිට අප සිදුකලේ  ඔවුන්ට  කැමති දෙයක් කියන්නට ඉඩ දීමයි.  පුද්ගලයා කරන ඕනෑම ක්‍රියාවක ඇති සවිඥානික අභිප්‍රායට වඩා අධිනිශ්චය වන්නේ විනෝදය නම් සාධකයයි. තමා ලබන විනෝදය ගැන තමාවත් නොදනී. විනෝදය ගැන පැහැදිලි කරන්නට පහසුය. නමුත් තමන්ගේ විනෝදය විචාරය කර ගැනීම , විනෝදයෙන් ඉවත් වීම නිවන් දකිනවාටත් වඩා අපහසුය. අප සංවිධානයේ වැඩි කාලයක් ගතකලේ මෙම සාධකය සමග ගණදෙනු කරන්නේ කෙසේද යන්න අධ්‍යනය කිරීමටයි. මේ දැනුම නිසා හෙට විප්ලවය කිරීමට පැමිණි අයට, මරාගෙන මැරෙන්න පැමිණි අයට ‘ඉතා ඉක්මනින් දන්වා එවන්නම්, පැමිණියාට බොහොම ස්තුතියි’ කියා තේ එකකින් ද සංග්‍රහ කර පළමු හමුවේන්ම වැඩේ අවසන් කිරීමට අපට හැකි විය. 

හොද හොද ගස් වලට කොට කොටා  කොට්ටෝරු වේශයෙන් පැමිණි බොහෝ දෙනෙක් අපගේ කෙසෙල් කදට කොටා අමාරුවේ වැටී ඇත.  පක්ෂ කාර්යාලයේ බිත්තියේ එල්ලා ඇති ලැකාන්ගේ ජායාරූපයේ ඇස් දෙකේ තියුණු බැල්මත් , අමුතු සිනහවත් අපට මෙසේ කියයි. ‘මොන විප්ලවද අයිසේ , මම උබලා  ගැන හොදට දන්නවා, උබලට ඕනේ ආතල් එකනේ’.

 

සලකුණක් ලෙස හෝ එවැනි ලැකානියානු  ජායාරුපයක් පක්ෂ කාර්යාලයේ නොතිබූ කලක බරපතල අත් වැරදීමක් කෙනෙකු අතින් සිදු විය. එය නම් එක්තරා ඊනියා ශිෂ්‍ය ව්‍යාපාරයක් විසින් නිෂ්පාදනය කරනු ලැබූ  බ්‍රොයිලර් වර්ගයේ විප්ලවවාදියෙකු සැබෑ විප්ලවාදියෙකු ලෙස හදුනා ගැනීමයි. මීට වසර 4 කට පමණ පෙර මෙම සිදුවීම වන විට අපට විනෝදය පිළිබද තියුණු අවබෝධයක් නොතිබිණ. මේ නිසා මෙම බ්‍රොයිලර් විප්ලවවාදියා  දීප්ති විදින විනෝදය කුමක්ද යන ප්‍රශ්නය තුල සිර විය.  ඊට හේතු වුයේ දීප්තිගේ මෝටර් රථයයි. සරත් ෆොන්සේකාගේ පර්ජෝ රථය මුනිස්සම් දහස් ගණනක් වැදී ප්‍රදර්ශන භාණ්ඩයක් වුවා සේම දීප්තිගේ පර්ජෝ රථය සංකේතීය මුනිස්සම් පහරවල් දහස් ගණනකට ලක් වී ඇත. ඒ නිසා ෆොන්සේකාගේ රථයට වඩා වැඩි වටිනාකමක් ඊට ඇත. එය වාමාංශික දේශපාලනයේ පරිහානිය සංකේතවත් කරයි. වාමාංශික දේශපාලනය අනන්‍යතා අර්බුධයෙන් පෙලෙන , දරිද්‍රතාවයෙන් පෙලෙන , විරැකියාවෙන් , කුල පීඩනයෙන් පෙලෙන පහළ පන්තිය වෙත කාන්දු කරන ලද්දේ විජේවීර සහෝදරයා විසිනි. එසේ නොවුනි නම් වම තවමත් යුරෝපයේ මෙන් බුද්ධිමතුන්ගේ දේශපාලන භාවිතාවයකි. ඔවුන් පර්ජෝ නොව හෙලිකොප්ටරයෙන් පැමිණියත් විසදීමට ඇත්තේ  සංකල්පීය ගැටළුවක් බව දනී. නමුත් අද වන විට බැසිල් රාජපක්ෂ ලගට යා යුතු බොහෝ දෙනෙක් වාමාංශික වී ඇත. සමස්තයක් ලෙස ලංකාවේ වාමාංශික යැයි කියා ගන්නා බොහෝ පුද්ගලයන් පොහොට්ටු කාරයන් විය යුතුය. ඔවුන්ව දකින විට යමක් අඩු වී ඇති බව පෙනේ. එය සංකල්පීය  ප්‍රශනයක් නොවේ.එමනිසා  ඔවුන්ට පිහිට විය හැක්කේ බැසිල් රාජපක්ෂටය.

දීප්ති සහෝදරයාගේ දර්ශනය තුල අප ග්‍රහණය කරගත යුත්තේ දැනුම නොව ”නොදැනුම” පිළිබද දැනුමයි.

දීප්ති මෙන් කතා කරන , ලියන අනුකාරකයන් බොහෝ දෙනෙක් සමාජය තුල සිටී. මේ සියලු දෙනාට ඇත්තේ දීප්තිගේ විනෝදය පිළිබද ප්‍රශ්නාර්ථයකි. එය දීප්ති කියන දෙයෙහි පරස්පරය වේ. මේ වංකගිරියේ පැටලුනු කිසිවෙකුටත් ගැලවීමක් නැත. දීප්ති හද දෙසට ඇගිල්ල දිගු කරන විට ඇගිල්ල දෙස බලන මෝඩයන් බොහෝ පිරිසක් පොරවල් වී ඇත. මේ පොරවල් පසු පස යන අනුගාමිකයන්ටද ගැලවීමක් නැත. අප කරමින් සිටින්නේ සංස්කෘතික දේශපාලනයක් නොවේ. අප අනෙක් අයගෙන් වෙන් වන අකාරය අධ්‍යනය කිරීම සහ අවබෝධ කර ගැනීම අපත් සමග වැඩ කිරීමේ ආරම්භක පියවරයි. ඒ වෙනස නොදන්නා තාක් අපත් සමග වැඩ කිරීමෙන් ඵලක් නැත.

මේ මොහොතේ අප සිටින සන්ධිස්ථානයට අනුව අප ඉදිරියේදී කල යුතු දේ තීරණය වේ. අපගේ ගමන සදහා කලින් සැලසුම් කල ක්‍රියාවලියක් නැත. ඇතැම් විට අප හෙට කරන්නට සිටින දේ නොව වෙනත් දෙයක් කිරීමට සිදුවන අවස්ථා බොහෝය. අපගේ ගමන සෑම විටම අවිනිශ්චිතය. නිශ්චිත එකම දෙය වන්නේ ඔබත් අපත් සමග ඇති බැදීම , ආදරය පමණි. ඔබ හෙට කල යුත්තේ මේ යැයි අපට කිව නොහැකි වුවත් වඩාත් නිර්මාණශීලීව යමක් කරන්නට අවශ්‍ය පසුබිම, දැනුම සහ තාක්ෂනය ඔබට අප විසින් ලබා දෙන්නෙමු. වැඩේ ඇත්තේ ඔබ අතේය. දීප්ති සහෝදරයා සමග අප සියලු දෙනා හෙට දිනයේ පා තබන්නේ අපේ වැඩේ කෙසේ හෝ ජයග්‍රහණය කරවන්නටය. ඒ අප සියලු දෙනාගේ අවසාන උත්සාහය වන්නේය. අප අසාර්ථක වුවහොත් තව දුරටත් ලංකාවක් නොපවතිනු ඇත. ඒ නිසා ලැකාන්ගේ මුහුණ සිහියේ තබාගෙන සහෝදරත්වයෙන් අරගලය වෙනුවෙන් එකතු වෙමු.

– Indika

ඔබේ අදහස කියන්න...