අප ජීවත් වන්නේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක ය. වර්තමාන සුභසාධන රාජ්‍යය තුළ ස්ථානගත වී තිබෙන ‘සමාජ යුක්තිය’ සහ ‘සමාජ ආරක්ෂණය’ පිළිබඳ සංස්ථා තව අවුරුදු කිහිපයකින් විනාශ වී යා හැකිය.
– පියරේ බෝදියු –
විසිවන සියවස පුරා දයලෙක්තික ගැටුම හටගත්තේ, ධනවාදය සහ කොමියුනිස්ට්වාදය අතර ය. එය, මාක්සියානු සියවසකි. නමුත්, දැනට ආරම්භ වී දශක දෙකක් සිදුවීම් විශාල ගණනක් අප පසු කර ගිය 21 වැනි සියවස ”හේගලියානු” යැයි මහද්වීපික දාර්ශනිකයන් යම් ප්‍රමාණයක් පවසති. ඉන් අදහස් වන්නේ සාරයට එරෙහිව ආත්මය කැරළි ගසන සියවසක් හටගෙන ඇති බවයි. තවත් සරලව කිවහොත්, මම (I) නම් නිෂ්ප්රපංචයට එහි අනේකත්වය සෘජුව සම්මුඛ වී ඇත. තව තවත් සරලව කිවහොත්, ඔබගේ අවිඥාණක ක්‍රියාවන් විසින් ඔබගේ සබුද්ධික සිතීම පීළි පන්නවා ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ අතිජ්යෙෂ්ඨ කථිකාචාර්ය සමන් පුෂ්පකුමාර සිහිබුද්ධියෙන් ලියා ඇති ආචාර්ය උපාධි නිබන්ධනයේ ”අන්තර්ගතය”[content] හේගලියානු නිශේධනය යි. නමුත්, ඔහුගේ අවිඥාණික ක්‍රියාව [form] තුළින් අපට සම්මුඛ වන්නේ ලාල්කාන්ත සමඟ පත්‍රිකා දෙන සරලමතිකයකි. එය ඔහුට අනුව යුගයේ සමපේක්ෂණ ධනාත්මකය යි. ඔහුගේ ‘සැබෑව’ පිහිටන්නේ, නිබන්ධනය තුළවත් ලාල්කාන්ත තුළවත් නොව එම සංසිද්ධි දෙක අතරමැද ය. ඔහුගේ සත්‍යය ලාල්කාන්ත ය.
අප සමඟ දේශපාලනය කළ පැරණි සගයන්ට අනුව, අප ද සිටින්නේ විශ්වවිද්‍යාල කතිකාව නැතහොත් දැනුම [knowledge] තුළ ය. නමුත් වද දිදී අප අපගේ අනෙකාට කියන්නේ, අප ඉන්නේ අධිපති නොවන කතිකාවක් තුළ බවයි. එය වඩා කිට්ටු වන්නේ, හෛඩගර් පහදන හෙළිදරව් වන සත්‍යයකට [Aletheia] නොව අනෙකා වෙතට දිග හැරෙන සත්‍යය වෙතට බවයි.[metaphysics of presence] සරලව කිවහොත්, ඔවුන් කියන්නේ, අන්‍යයෙකුට යොමු වූ දැනුමක් ගැන ය. නැතහොත්, අන්‍යයා හරහා අනුමාන කරන දැනුමකි. නමුත් අප කියන්නේ, අන්‍යයා හරහා ‘අන්තර්ගතය’ හිස් වන, අපගේම ආත්ම මූලිකත්වය අහිමි කරන අනෙකා මගින් ඔප්පු වන සත්‍යයක් ගැනය. අපගේ යුගයේ දී, මාක්ස් විසින් ‘නව ලෝකය’ ගැන නිබන්ධනය කළ ෆෙයර්බාක් තිසීසය කණපිට ගැසිය යුතුය. අවශ්‍ය කාරණය වන්නේ, ලෝකය වෙනස් කිරීම නොව ලෝකය අර්ථකතනය කිරීමයි. මෙය, පියවරක් පසුපසට තැබීමකි.
අපට තුවාල විසින් ඇති කරන ලද කැළල මැකිය නොහැකි ය. අපට කළ හැකි එකම දෙය වන්නේ, තුවාලය සුවපත් කිරීම පමණි. මන්ද, දෘෂ්ටිවාදයන් විසින් ඉටු කරන්නේ තුවාල අතුරුදහන් කිරීම වන නිසාය. උදාහරණයක් ලෙස, බටහිර අධිරාජ්‍යය විසින් ලංකාවේ සමාජ-ආර්ථික දේහය තුළ ඇති කර ඇති තුවාලය මැකීමට ජාතිවාදී ප්‍රබන්ධ සෑහෙන්නේ නැත. මන්ද, ධනවාදය විවිධ අසමමිතිකතා, අතිරික්තයන්, අතිරේකයන් යෝජනා කරන නිසාය. එම නිසා, යටත්විජිත තුවාලය සනීප කිරීමේ දී අපට උදව් කරන්නේ ද යටත්විජිතවාදයම ය. අපට තුවාලය සනීප කරන්නට යෝජනා කරන ජාතිකවාදී විවිධ ප්‍රබන්ධ අන්තර්ගතයන් පවා අපට උරුම වන්නේ, බටහිර ඥාණ-විභාගයෙනි. එම නිසා, සිංහල-බෞද්ධ චින්තනයේ පාරිශුද්ධතම අන්තර්ගතය පවා බටහිර සංස්කෘතික ආකල්ප වලින් සහ ශිෂ්ටාචාර අගතීන්ගෙන් නිර්මිත වී ඇත. ඒ අරුතින්, ස්ත්‍රියගේ සාරය පිරිමි ෆැන්ටසියක් වන තරමට ජාතික චින්තනයේ සාරය ද බටහිර පිරිමි ෆැන්ටසියකි. නමුත්, එය පෙනී සිටින්නේ සාර්ථක දෘෂ්ටිවාදයක් ලෙසිනි.
මිනිසෙක් තමන්ගේ ජීවන ඉතිහාසය ලියද්දී තමන්ගේ ‘අනෙකාව’ ස්ථානගත කරන්නේ, බාහිරත්වය [outside] තුළ ය. නමුත්, මේ අනෙකා බාහිරත්වයක් නොවේ. අප අමතක කරන්නේ, මේ ‘බාහිර-අනෙකා’ යනු, අපගේ අභ්‍යන්තර යථාර්ථයේම පිපිරීමකින් පිටට ගිය බාහිර දිගුවක් බවයි. අපගේ ආත්මීයත්වයෙන් ශුද්ධ වූ බාහිර යථාර්ථයක් හෝ අනෙකෙක් නැත.[crack] ඒ අනුව, බාහිර අනෙකෙකු විමර්ශකයක් ලෙස ගැනීම මනෝ-ජීව විද්‍යාව හෝ මනෝ විද්‍යාවයි.[psychology] එය, මනෝවිශ්ලේෂණය නොවේ.
නමුත්, සමකාලීන දේශපාලන සංවාදවල දී යළි යළිත් මතු වී යට යන ප්රපංචයක් ඇත. විශේෂයෙන්, මෙම තත්ත්වය සමාජ පසමිතුරුභාවයන් [Antagonism] සංස්කෘතික වහන්තරා වලින් වැසීම තුළ විද්‍යාමාන වෙයි. පළමුවෙන්ම, අප ‘ඉතිහාසය’ (History) සහ ‘ඉතිහාස කතන්දර’ (Historic isms) අතර සංකල්පීය වෙනස න්‍යායිකව පහදා ගත යුතුය.
1. යම් කිසි වියමනක් හෝ දේශපාලන සංසිද්ධියක් (56 විපර්යාසය) හෝ න්‍යායක් ඒවා හට ගත් සමාජ-ඓතිහාසික සන්දර්භයන්ට යටත්ව වටහා ගැනීම සහ එම සංසිද්ධීන් හුදු සංස්කෘතියේ රෝග ලක්ෂණ බවට ඌනනය කිරීම ඉතිහාස කතන්දරයකි.
2. ඉතිහාසය යනු, ක්‍රම ක්‍රමයෙන් අනාගතයට දිගහැරෙන කතන්දර එකතුවක් ලෙස සැලකීම. උදාහරණයක් ලෙස, සිංහල ජාතිවාදීන්ගේ ඉතිහාස කතන්දරයට අනුව බටහිර ජාතීන් ලංකාවෙන් ගිය පසු උදා වී ඇත්තේ, රටේ දියුණුතම අවදිය යි. මෙහිදී, මූලික ගැටලුව වන්නේ, ඉතිහාසය සාර්ථක කතා ගොන්නක් ලෙස සැලකීමයි. නමුත්, ඉතිහාසයේ ගමන් මඟ වැටී ඇත්තේ, අසාර්ථකත්වයෙන්ගේ සමුච්ජනයක් ලෙසිනි. සැබවින්ම, ඉතිහාසය යනු, සාර්ථකභාවයට වඩා අසාර්ථකත්වයන්ගේ ඵලයකි. එසේ නම්, අපට ඉතිහාසය යනු, එය අසාර්ථක ස්ථානයක දී මතු වන සංස්කෘතික නිර්මිතයක් ලෙස සැලකිය නොහැකි ද? උදාහරණයක් ලෙස, 56 සිංහල සංස්කෘතික විපර්යාසය යනු, ගම-නගරය අතර සමාජ පසමිතුරුභාවය ‘සංස්කෘතිය’ මගින් වසා දැමීමට කරන ලද උත්සාහයකි. ‘සංස්කෘතිය’ යනු, විසඳිය නොහැකි පසමිතුරුභාවයට එරෙහිව ප්‍රබන්ධ කරන ආඛ්‍යානයකි. ඒ අනුව, සැබෑ ඓතිහාසික වෙනසක් සිදු වන විට සංස්කෘතියට සාර්ථක කතාවක් වීමට ඉඩක් නැත. මෙහි දේශපාලන සන්දර්භයට අනුව, දේශපාලන විමුක්තිය යනු, සංස්කෘතික නිදහස පිළිබඳ අසහනයකට නොවේ.
3. ඓතිහාසික වෙනසක් පිළිබඳ අප අවධාරණය කරන්නේ නම් එහි දී වෙනසට එරෙහි වන ක්ෂතිමය කේන්ද්‍රයක් හෝ සාරයක් (Traumatic Kernel) පිළිබඳ අදහස සංස්කරණය කළ යුතුය. එහිදී, අපගේ අවධානය යොමු වන සංසිද්ධිය [event] ඉතිහාසයෙන් වෙන් වීම පැහැදිලි වෙයි. උදාහරණයක් ලෙස 1978 වර්ෂයේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම යනු[economic re-stricture], ”සංස්කෘතික නිදහසක්” ප්‍රකාශයට පත් වීම නොවේ. එය, ඒතාක් ආර්ථික පීඩනයකට ලක් වූ ජනකායකගේ නිදහස ප්‍රකාශයට පත් වීමකි. එම නිසා, 1978 යනු, ඉතිහාසයේ ඛණ්ඩනයකි. මෙම ඛණ්ඩනය නිසා හටගත් ක්ෂතිමය පතුළක් නැති ළිඳ ලංකාවේ පහළ උගත් මැද පන්තිය සංස්කෘතික වහන්තරාවක් මගින් වසා දමන ලදී. එය, සුකිරි බටිල්ලන්ගේ සංස්කෘතිය හෝ ඩුබායි ගෑණුන්ගේ/ ගාමන්ට් ගෑණුන්ගේ වල් ජීවිතය ලෙසින් කලා කෘති හරහා ප්‍රකාශයට පත් විය. නමුත්, මේ සියලු දෙනාට අර්ථකතනය කරගත නොහැකි ශේෂය වන්නේ, 78 ට පෙර පැවති ආර්ථික-ව්‍යුහයට යළි ගමන් කිරීමට නොහැකි වීමයි.
1978 ඉතිහාසයේ ඛණ්ඩනයට පසුව ලංකාවේ දී ”X දේශපාලනය” විසින් හඳුන්වා දුන් ඛණ්ඩනයක් 90 දශකය මැද දී සිදු විය. එනම්, පුද්ගලයා හෝ මනෝ විද්‍යාව කේන්ද්‍ර කොටගත් සමාජ විද්‍යාව වෙනුවට ආත්මය සහ මනෝවිශ්ලේෂණය කේන්ද්‍ර කොටගත් දයලෙක්තික දර්ශනයක් හඳුන්වා දීමයි. මෙම න්‍යායික ඛණ්ඩනය ද බහුතර ලාංකීය බුද්ධිමතුන්ට දිරවාගත නොහැකි වූ ප්රපංචයකි. එම ඛණ්ඩනය සංස්කෘතික වහන්තරාවකින් වසා දමන්නට ඒ කාලයේම ප්රවණතා තුනක් බිහි විය. එකක්, ව්‍යුහවාදය සහ සිංහල-බෞද්ධකම ප්‍රවේශ කොටගත් නලීන් සුවාරිස්ගේ අර්චනකාමී බෞද්ධ ප්රපංචවේදය යි. අනෙක, එඩ්මන්ඩ් හුසර්ල්ගේ ප්රපංචවේදය සහ හාන්ස් ගදාමර්ගේ අර්ථකතනවේදය මත පදනම් වූ කුමුදු කුසුම් කුමාරගේ සංශයවාදී රෝග ලක්ෂණාත්මක ස්වසන්තානමාත්රවාදය යි. අවසන් ඉතිහාසවේදය වූයේ, ගෝලීය ප්රාග්ධනයේ වියරු චලනය නිසා සංස්කෘතිය පාරිභෝගිකකරණය වීම නම් නිමේෂය අර්ථකතනය කරන්නට ෆෙඩ්රික් ජෙම්සන් ගොඩනැගූ පශ්චාත්-නූතන ප්‍රවාද යුරෝ කේන්ද්‍රීය බව විස්තර කළ ආචාර්ය අර්ජුන පරාක්රමගේ භාෂාව පිළිබඳ අත්දැකීම්වාදය නැතහොත්, භාෂා ප්රපංචවාදය යි. මේ සියලු න්‍යායික ප්‍රතිචාරයක්ම X හී න්‍යායට දක්වන ලද සුවිශේෂී [particularities] ප්‍රතිචාර බවට ඌණනය වූ අතර X න්‍යායේ ක්ෂතිමය සිදුවීම වූ ලංකාවේ අවිඥාණකත්වය [universal]සොයා ගැනීමට එරෙහි විය. ඔවුන් සියලුදෙනා X වෙනුවෙන් ඉදිරිපත් කළ ”ප්‍රතිචාර ප්රවාදයන්” සියල්ල සංස්කෘතික අගතීන් බව හෙළිදරව් විය.
X හී න්‍යායික සාරසංග්‍රහය අතරින් එක්තරා ව්‍යුක්ත සංකල්පයක් පසුකාලීන න්‍යායික විචාර තුළ දී පොදු සම්මුතියක් බවට පත් විය. එනම්, දෘෂ්ටිවාදය යි. [ideology] දෘෂ්ටිවාදය පිළිබඳව අප හඳුන්වා දුන් අදහස අද සියලු දෙනාගේ පොදුභාවයේ [general theory] සංකේතයකි. ”ඉතිහාස කතාවලින්” වෙන් වී ඉතිහාසය යනු, පන්ති අරගල ඉතිහාසයක් ගැන න්‍යායික අදහසක් ය යන්න තහවුරු කර ගැනීමට අපට උදව් වූයේ, දාර්ශනික සංකල්පයක් ලෙස දෘෂ්ටිවාදය පිළිබඳ අදහස විග්රහ කිරීමෙනි. එමගින්, ‘පුද්ගලයා’ ආත්මයන් බවට පරිවර්තනය වීම විස්තර කරන ලදී. [ interpellation is the process by which we encounter a culture’s or ideology’s values and internalize them.eg- socialism] නමුත්, අල්තුෂර්ගේ දෘෂ්ටිවාදය පිළිබඳ සාර්ථක කතාව එනම්, සමාජ බලවේග විසින් පුද්ගලයාව එහි යටත් වැසියෙකු, සේවකයෙකු කරන ආකාරය අප විසින් 2002 වර්ෂයට පසුව ‘හිස්ටීරියාව’ කෘතිය මගින් විදාරණය [deconstruct] කරන ලදී. එදා[2004] , ‘හිස්ටීරියාව’ පොත හඳුන්වා දුන් සම්මන්ත්‍රණයේ දී, ප්‍රභා මනුරත්න ප්‍රථම වරට ‘මහා අනෙකා’ නැති බව ප්‍රකාශයට පත් කළාය.
4. අල්තූෂර්ගේ සිතීම තුළ එනම්, ‘ඉතිහාස කතා’ සහ සිතුවිල්ල [thought]අතර සබඳතාවය සලකා බලන ලද්දේ, සාර්ථක ආඛ්‍යානයක් ලෙසිනි. මෙම කතන්දරයට අනුව, දෘෂ්ටිවාදී පොළා පැනීම සාර්ථක එකකි. ජාතිවාදියෙකුගේ ලිපියක් කියවන්නෙකු සාර්ථක ලෙස ජාතිවාදියෙකු බවට පරිවර්තනය වෙයි. උදාහරණයක් ලෙස, ආචාර්ය නිව්ටන් ගුණසිංහ විසින් රචිත ‘56 යේ දේශපාලන පෙරළිය’ යන ලිපිය සලකමු. එය, අති බහුතරයක් දෙනා, දැනට මමත් ඇතුළත්ව මඩේ දමමින් යළි යළිත් සෝදන්නකි. එය පැහැදිලිව 56 වර්ෂයේ රටේ පැවති ”ගම-නගරය” අතර පසමිතුරුභාවයට එරෙහිව ගොඩනැගී ආ සංස්කෘතික ප්රතිචාරයකි. පන්ති විශ්ලේෂණයකට යමින් ගුණසිංහ මහතා විග්රහ කරන්නේ, බණ්ඩාරනායකව අප තේරුම් ගත යුත්තේ අනෙකාට එනම්, දෙමළ ජනයාට සාපේක්ෂව බවයි. ඔහු එතැන දී ඉතිහාස කතා ලියන (උමතුව, වෙදකම, හිරගෙවල්, ලිංගිකත්වය) මිචෙල් ෆූකෝව අහම්බයකින් මෙන් උපුටා දක්වයි.
නමුත් රචනාවේ අගට යන විටදී ඉතිහාසයේ ඛණ්ඩනයක් නොවූ තතු යටතේ දී නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර පරිදිම ගුණසිංහ චින්තකයා ද අපට ඉදිරිපත් කරන්නේ, සංස්කෘතික ප්රබන්ධයකි. එකම වෙනස වන්නේ, එය වාමාංශික සංස්කෘතික ප්‍රබන්ධයක් වීමයි. ඉතිහාසය විමුක්ති දර්ශනයක් ලෙස කියවීමේ දී, එය ”සංස්කෘතික නිදහසක්” [cultural freedom] ලෙසින් අධිනිශ්චය වීම 80 දශකයේ දී අහම්බයක් නොවේ. අප සියලු දෙනා 80 දශකයේ දී ඉතිහාස කතන්දරකරුවන් වූ බව ආපසු හැරී බලන විට දී විද්‍යාමාන වෙයි. සරලව කිවහොත්, 56 විපර්යාසය සාර්ථක කතාවක් ලෙස ගොතන ඕනෑම පුද්ගලයකු ගොඩනගන්නේ ඉතිහාස කතාවක් පමණි . ඒ සන්දර්භය තුළ ගුණසිංහ නම් සමාජ විද්‍යාඥයා ද 56 සාර්ථක ලෙස ගන්නා නිසාම ඔහු දෘෂ්ටිවාදීයෙ ක් බවට පොලා පනියි.
56 වටහා ගැනීමේදී අප කළ යුත්තේ, ගුණසිංහවාදය කණපිට හැරවීම යි. එනම්, 56 යනු, ”සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදයේ අසාර්ථකත්වයක්” ලෙසින් සලකා එය පරීක්ෂා කිරීමයි.









