‘අසමබිමෙන් සමබිමට’ කොළඹ දිස්ත‍්‍රික් පාඨක හමුවේදී දීප්ති දැක්වු අදහස් වලින් තෝරාගත් කොටස් කිහිපයක් සමබිම පාඨක ඔබ වෙත ගෙන ඒමට අපි අදහස් කළෙමු.

  • දෙමළ ජනතාවට බලය විමධ්‍යග කිරීම කියන අදහසට ඒ කාලයේ යම් කිසි පිළිගැනීමක් තිබුණා වුණත් අද වන විට ඒ ඔක්කොම ඉවරයි. ලංකාව සම්පූර්ණයෙන්ම ජාතිවාදයට යටවුණු අවාසනාවන්ත තත්වයක් තමයි අද තියෙන්නේ.

  • ‘රාවය’ සහ ‘යුක්තිය’ පත්තර එක කාලෙක ලංකාවට ලොකුවට බල පෑවා. ඒවගේ තිබ්බ අඩුපාඩු, වැරදුණ තැන් ‘සමබිම’ නිවැරදි කරගෙන තියෙනවා.

  • හේතුඵල සම්බන්ධතා පෙන්වීමෙන් මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. මුදල් අමාත්‍යංශයේ ප‍්‍රතිපත්ති වෙනස් කරන්න, ලංකාවට බස් කොච්චර ඕනද වගේ ප‍්‍රශ්නවලට විෂය මූලික කරුණු ඕන ඒත් මිනිස්සුන්ගේ දේශපාලන වෙනස්කම් කරනවා නම් මේ කාලේ විවේචනය කරන්න ඕනි කවුරු හරි දරණ ස්ථාවර අදහස් නෙවෙයි එයා විනෝද වන විදියයි.

  • ගොඩක් අයට තාම තේරෙන්නේ නැහැ මොකක්ද වුණේ කියලා.

  • ඉස්සරහදි අපට පුළුවන් සමබිම පාඨිකාවන් පාඨකයින් එක්ක එකතුවෙලා යම් කිසි සංවාදයක් කරන්න. හැබැයි මේක ගොඩාක් ජනප‍්‍රිය කරවන්න අවශ්‍ය නැහැ. මොකද මේ සාකච්ඡාවට මම එනව කියලා පත්තරේ දැම්ම නම් වෙන්නේ මරාගෙන මැරෙන තරුණ පරම්පරාවේ අය මෙතනට එන එකයි. ඒ අයට තියෙන්නේ ආදරය කරන්නේ කොහොමද..? එයා මට කැමති වුණාට එයා මට වද දෙනවා. ඇයි ඒ වගේ ප‍්‍රශ්න.

මම ලියන ලිපිවල න්‍යායික පසුබිම මොකක්ද කියන ප‍්‍රශ්නයට පිළිතුරක් දෙන්න මම උත්සාහ කරන්නම්. මේ කාලේ ඊනියා වාමාංශිකයෝ සුදර්ශනට එන්.ජී. ඕ. කාරයෙක් කියනව වගේ මට කියන්නේ යූඑන්පී කාරයෙක් කියලයි. සාමාන්‍යයෙන් මෙහෙම කිව්වම ඉස්සරනම් බය වෙලා උත්තර දීගන්නත් බැරි වෙනවා. හැබැයි අපිට පුළුවන් ඉස්සරහදී මේක ගැන හොද සංවාදයක් පටන් ගන්න.

ලංකාවේ වාමාංශික ව්‍යාපාරය උත්සාහ කළේ කරුණු කියලා මිනිස්සු අවදි කරන්න. ඇමෙරිකානු ප‍්‍රසිද්ධ දාර්ශනිකයෙක් වන නෝම් චොම්ස්කි කිව්වෙත් අපි පුළුවන් තරම් මිනිස්සුන්ට කරුණු කියන්න ඕන එතකොට මිනිස්සු යථාර්ථය තේරුම් අරන් තීරණයක් ගනියි කියන එක. චොම්ස්කිගේ ෆොටෝ එකක් ගත්තත් හරියට අර ලංකාවේ නීතිඥයන්ගේ ෆොටෝ වගේ ෆයිල් කවර සහ ලොකු පොත් ගොඩක් මැද තමයි ඉන්නේ. අපේ රටේ මිනිස්සුන්ට කරුණු කියනවා කියනවා හැබැයි බල්ලෙක්වත් වෙනස් වුණේ නැහැ. මෑත කාලෙදි නොර්ම් චොම්ස්කි කියපු තව දෙයක් තමයි තියරි වැඩක් නැහැ කියන එක. මම දැන් කරන්න උත්සාහ කරන්නේ තියරි නැති වුණාම අපේ ජීවිතේ ඉවරයි කියන එක පෙන්වන්න. මම විතරද දන්නේ නැහැ ලංකාවේ මේක අවධාරණය කරන්නේ. මම මේ කියන්නේ ලයිෆ් එකට තියරි ඕන කියලා. අද ඒකට හොද දවසක් මොකද බටහිර යුරෝපයේ ඉරිදා කියන්නේ පිලොසොෆි දවස. ඉතිරි දවස් හයේ වැඩ කරල ඉරිදා තමයි ඒක සමපේක්ෂණය කරන්න පුළුවන් දවස.

දහනව වන සියවසේදී කාල් මාක්ස් කියපු ‘දෘෂ්ටිවාදයෙන් එහෙමත් නැත්නම් අදහස්වලින් තමයි මිනිස්සු පාලනය වෙන්නේ’ කියන එක අද විසිවන සියවසේ අග වන විට අභියෝගයට ලක්වෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට තව දුරටත් කරුණු කිව්වට වැඩක් නැහැ. මෙතනට මට කලින් කතා කරපු හැම කතාවකම පදනම විදිහට තියෙන ලක්ෂණයක් තමයි හොද නරක කියල දෙයක් තියෙනවා, මේ දෙක අතරෙන් නරකෙන් අයින් වෙන්න ඕන කියන එක. නමුත් මම දන්න එකක් තමයි මනෝ විශ්ලේෂණයට අනුව මිනිස්සුන්ගේ තියෙන්නේ නරක වෙතට ආකර්ෂණයක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ මිනිස්සු හදන්නේ නරකෙන් අයින් වෙන්න කියලනේ. නමුත් මනෝ විශ්ලේෂණය පැත්තෙන් බැලූවම මිනිස්සු නරකට ආකර්ෂණය වෙනවා. ඇයි ඒ? එහෙමත් නැත්නම් ඇයි සමාජයකට හිංසනය අවශ්‍ය වන්නේ? අපි හැම වෙලාවෙම නෙගටිව් පැත්තෙන්නේ බලන්නේ හිංසනය නරකයි කියලා. නමුත් අපි අහන්න ඕනි ප‍්‍රශ්නය තමයි ඇයි අපිට හිංසනය අවශ්‍ය වෙන්නේ කියන එක.

මම මුලින් කියපු කරුණුවලින් මිනිස්සු වෙනස් කරන්න බැහැ කියන එකත් එක්ක මේක සම්බන්ධයි. මේ මොහොත බැලූවත් ලංකාවේ පොදු වාම අරගලය තියෙන්නේ මිනිස්සුන්ට කරුණු කියන එක මත. ළගකදීත් මම දැක්කා බාහු සහෝදරය එක්දාස් දාහතර වන වතාවට විතර අනුන්ව රවට්ටලා තමන්ගේ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා අත්හදා බලනවා. එයා බලන්නේ අදහස්වලින් රවට්ටන්නේ කොහොමද කියලා. අතන ඉන්න උදුල් පේ‍්‍රමරත්න වගේ අයත් දන්නවා මෙයා ඇවිල්ලා ඉන්නේ අපිව රවට්ටන්න කියන එක. ඒ නිසා ඒ ගොල්ලො ජීවිතේට රැවටෙන්නේ නැහැ. ඕකට අපි කියනවා මම දන්නවා හැබැයි දන්නවා වුණත් ඒකම කරනවා කියලා. ඕක තමයි මේ වෙලාවේ විසදන්න තියෙන ප‍්‍රශ්නේ.

අපි හැමෝම දන්නව මේ රටේ පාලකයෝ, ඡන්දෙ ඉල්ලන අය නරකයි කියලා. හැබැයි අපි තොත්ත බබාලද? අපේ ඡන්ද බලෙන් අරන් ගිහින් ගහලා නෑනේ. අපි දන්නේ නැති අයටද මේ ඡන්දෙ දීලා තියෙන්නේ. සමහරු ටීවී එකෙන් ඡන්ද ප‍්‍රතිඵල බලද්දි පුදුම වෙනවා මේ යක්කු ආයෙත් සැරයක් දිනලනේ කියලා. හැබැයි මිනිහා ඡන්දේ දාල තියෙන්නේත් ඒකටම තමයි. ඔය නිසා තමයි අපි කාල් මාක්ස්ට වඩා වෙනස්ව නරුමවාදය එහෙමත් නැත්නම් Cynicism කියන එක ඉදිරිපත් කළේ. අද ඉන්න මිනිස්සු මෝඩ මිනිස්සු නෙවෙයි. මෙතන ඉන්න හැමෝම තමන්ගේ වැඩවලදී හරියටම හේතුව පාවිච්චි කරනව, හැබැයි අනාගන්නේ සමාජ වැඩවලදී. මිනිස්සු මේ වගේ නරුමවාදී තැනක ඉන්න කොට දේශපාලනය කරන්න හරි අමාරුයි.

අපි දැන් ජීවත්වෙන්නේ ලිබරල් සමාජයක. මේ සමාජයේ ප‍්‍රධාන අදහස තමයි විනීතව ජීවත්වෙන්න කියන එක. අපි කොහේහරි හෝටලයකට උදේට කන්න ගියා කියලා හිතන්න. එතකොට ඒකේ ඉන්න වේටර් මහත්මයා අපිට ”සුබ උදෑසනක් කොහොමද අද?” කියලා අහනවා . එහෙම අහන්නේ නිකං . එකකොට අපි ඒ ප‍්‍රශ්නෙට සීරියස් උත්තර දුන්නොත් අරය පුදුම වෙලා අපි දිහා බලාගෙන ඉදියි. ඕකෙන් අද අප ජීවත්වන පශ්චාත් නූතන සමාජයේ ජනමාධ්‍ය විසින් සමාජයට මොකක්ද කරන්නේ කියන එකට මට එන්න පුළුවන්.

ඕනම ජන සමාජයක යථාර්ථය කියන්නේ යම් ආකාරයක ප‍්‍රබන්ධයක්. ඒ ප‍්‍රබන්ධය මැද හිස්තැනක් තියෙනවා. වෙන විදිහටකට කිව්වොත් අපි ජීවත් වන සමාජයේ කොහේ හරි අඩුවක් තියෙනවා. ජනමාධ්‍ය විසින් කරන්නේ සමාජය සංවිධානය වන මේ හිස්තැන සම්පූර්ණ කරන්න හදන එක. මාධ්‍ය විසින් අපේ ආශාවේ අඩුවක් ඇති නොවන ආකාරයට පුරවනවා. එහෙම තෘප්තිමත් වුණ ගමන් නැවත ආශාව හදාගන්න සිද්ධ වෙනවා. එතකොට වටේ ඉන්න කාටහරි කරදර කරන්න සිද්ධ වෙනවා. මෙතැනින් පස්සේ තමයි මේ කාලයේ වේගයෙන් වැඩිවන හිංසාව කියන එක පටන් ගන්නේ. අපි කියන ‘විනෝදය’ කියන එක එන්නේ මෙතනින්. සමහර අය හිතනවා මේ ‘විනෝදය’ කියන්නේ ජොලිය කියලා. මේක මොන ජොලියක්ද? මම විදින්නැති දෙයක් අනෙක් අය විදිනවා. ඉතිං මම ඒක පැහැර ගන්නවා. ඒක මොන ජොලියක්ද?

මාධ්‍ය කියන එක ඕනවට වඩා ජන ජීවිතයට මැදිහත් වුණාට පස්සේ රියැලිටි (යථාර්ථය) කියන එකයි, රියැලිටි කියන්නේ ප‍්‍රබන්ධයක් කියන එකයි අතර පරතරය නැති වෙලා යනවා. මේක තව උදාහරණයකින් පැහැදිලි කළොත් කවුරුහරි පුද්ගලයෙක් කියනවා මම අලියෙක් වගේ ශක්තිමත් කියලා. හැබැයි අපි දන්නවා එයා ඇත්තටම අලියෙක් වගේ ශක්තිමත් කියන එක නෙවෙයි ඒකෙන් කියන්නේ කියලා. ඒක ප‍්‍රබන්ධයක්. හැබැයි ඇත්තටම ඒ මනුෂ්‍යයා අලියෙක් වගේ ශක්තිමත් වෙන්න එක්සයිස් කරලා පිටි වර්ග බීලා අපිට ගහන්න ගත්තොත් ඒ ප‍්‍රබන්ධය ඉවරයි. ඊට පස්සේ රියල් එක. එතකොට අපි ඒ මිනිහා දැක්කම දුවනවා. දැන් එහෙම දෙයක් වෙලා නැත්ද? සාමාන්‍යයෙන් අපිට ජීවත් වෙන්න ඕන සංකේත ප‍්‍රබන්ධයක් එළියේ තියෙනවා. දැන් ඒ සංකේත ප‍්‍රබන්ධය ඇත්තම එකක් වෙලා අපේ ඇගට කඩාගෙන එනවා.

 ඉස්සර මේ ප‍්‍රබන්ධය අපිට ආමන්ත‍්‍රණය කළා පන්සල භික්ෂුව ආදී වශයෙන් නමුත් දැන් ඒක තියෙන්නේ කැමරාවේ. කොළඹ හැමතැනම කැමරා හයි කරල තියෙන්නේ ඒකයි. මම දිහා සදාතනිකව බලා ඉන්න ඇස් දෙකක් තියෙනවා. දැන් කියන්නේ ඔය කැමරා අපේ ආරක්ෂාවට තියෙන්නේ කියලා. නැහැ, අපේ පුද්ගලිකත්වය ඉවරයි. ක‍්‍රමානුකූලව අපේ සාරය උරාගන්නවා. එතකොට අපේ සාරය නැති වෙලා ගියාහම අපිට එනව ලොකු විශාදයක්. පුද්ගලිකත්වය නැති වුණාම අපි කවුද වගේ ප‍්‍රශ්න එන්න ගන්නවා. දැන් බලන්න ඕන කෙනෙකුට කොළඹට ඇතුළු වුණාම මේ පාරේ යනවාද, මෙහෙන් ගියොත් වරදියිද, මෙහෙන් ගියොත් අල්ල ගනීවිද කොහෙන්ද අපි යන්නේ කියලා වරදකාරී හැගීමක් එන්නේ නැත්ද? ඉස්සර එහෙම නැහැ. එහෙන් යනවා මෙහෙන් යනවා වැරදුණොත් ආයෙත් යනවා. දැන් මේ පාරවල් ෆ‍්‍රාන්ස් කෆ්කාගේ නවකතාවක් වගෙයි. ඒ නව කතාවල චරිතවල ලක්ෂණයක් තමයි ඒ චරිතේ දන්නෙත් නැහැ මොනව කරනවාද කියලා. එයාට එකපාරටම ලියුමක් එනවා හෙට උසාවියට එන්න කියලා. ගියාම උසාවියෙන් අහනවා ඇයි ආවේ කියලා. ලංකාව ඒ වගේ නෙවෙයිද? රජයේ ආයතනයකින් ටිකක් ලොකු වැඩක් කරගන්න යන්න. ගිහින් කොළ පුරවන්න. නිලධාරියා අහනවා ඔයා කවුද කියලා. ඔයා නම කියනවා. නිලධාරියා ආයෙත් අහනවා අහවල් කෙනාගේ අහවල් කෙනාද කියලා. එහෙම ඔයාව අදුර ගන්න උත්සාහ කරනවා. නිලධාරියාට අදාළ නැහැනේ වැඬේ කරගන්න එන කෙනාව පුද්ගලිකව අදුර ගන්න එක. හැබැයි එයා අදුර ගන්න උත්සාහ කරනවා. ඇයි ඒ? මේක අයියලා මල්ලිලාගේ ආණ්ඩුවක් නේ.

මම කිව්වා තවදුරටත් මිනිස්සුන්ට තොරතුරු කරුණු කියලා වැඩක් නැහැ කියලා. සමබිම පත්තරේ ලිපිවල අන්තර්ගතය වෙනස් වෙන්න එක හේතුවක් ඒක. මීට කලින් රාජ්‍ය නොවන සංවිධානවලින් බොහෝ දුරට කරපු දෙයක් තමයි තොරතුරු දුන්න එක. ඒ කියන්නේ මෙතන 10 ක් මැරිලා, මෙතන 5 කට කැපුම් තුවාල 8 යි ආදි ලෙස. මේ වගේ කරුණු දීමෙන් කාටවත් මොකුත් වුණේ නැහැ. මට මතකයි තිලක් ජයරත්න මහත්තයා අර බිදුණ වැව සිදුවීම ගැන හරියටම කරුණු සහිතව වාර්තාවක් කළා. ඒත් මොකක්ද ඒකෙන් වුණේ..?

දැන් ඉන්න නරුමවාදියා ඉස්සර කාල්මාක්ස්ගේ කාලයේ හිටපු අය වගේ කරුණු අහගෙන ඉදලා තමන්ගේ හරි වැරද්ද වෙනස් කරගන්න කෙනෙක් නෙවෙයි. ඇයි ඒ? අද වගේ කාලෙක මිනිස්සු පවතින සමාජය ගැන කරුණු විශ්වාස නොකරන්නේ පවතින සමාජය වෙස් මුහුණක් නම් එම වෙස් මුහුණයි තමනුයි අතර පරතරයක් තියාගෙන ඉන්න නිසා. ඒ නිසා ඒ ගොල්ලන්ට හොදට ඉන්න පුළුවන්. ආදරය වගේ ඉතා පුද්ගලික දෙයකටත් මිනිස්සු පරතරයක් තියාගෙනයි මේ කාලේ ජීවත් වෙන්නේ. ‘වැක්ලාව් හවෙල්’ සමාජවාදය පැවැතුණ රටවල් ගැන කියපු අදහසක් මම කියන්නම්. ග්‍රොසරියක් කරන පුද්ගලයෙක් හැමදාම පක්ෂයේ සංවත්සරය දවසේ පක්ෂයට ජයවේවා කියල තමන්ගේ කඬේ ඉස්සරහ බැනර් එකක් දානව. පස්සේ කවුරුහරි ගිහිල්ල ඇහුවම ඇයි එහෙම දැම්මේ කියලා මිනිහා කියනවා ‘පිස්සුද ඕයි? කවුද ඕව ගණන් ගන්නේ. ඕක දැම්මම පක්ෂෙ උන් හිතනවා මම පක්ෂෙ එකෙක් කියලා. ඒක නිසා මට කරදරයක් නැතිව මගේ වැඬේ කරගෙන ඉන්න පුළුවන් කියලා. මේක තමයි පරතරයක් තියනවා කියන්නේ. මේ වෙලාවේ හැමෝම මහින්ද චින්තනවාදියෝ වෙලානේ. ඒ එහෙම ඉන්නේ බොරුවට. ඒ ගොල්ලන්ගෙ ගැප් එකක් තියෙනවා. දැන් ආණ්ඩුව පෙරළුණා කියලා හිතන්නකෝ. මේ අය කියන්න ගන්නවා ‘පිස්සුද ඕයි? ඒ වෙලාවේ වාසියක් ආවා, ඒ නිසා එහෙම හිටියා. ඒ වෙලාවේ මහින්ද චින්තනවාදියෙක් නෙවෙයි කිව්ව නම් අපිට කන්න වෙනවා.’ මේ ගැප් එක තියාගෙන ඉන්න එකෙන් මිනිස්සු විනෝද වෙන්නේ ඒ මමම නෙවෙයිනේ කියලා හිතලයි. අර ග්‍රොසරියේ අයිතිකාරය හිතනවා මම මේ සමාජවාදයක් විශ්වාස කරන්නේ නැහැ, ඒත් කවුරුහරි විශ්වාස කරනවා ඇති. මම කරන්නේ ඒ විශ්වාසයට අදාළ බොරු වෙස් මුහුණ ඉදිරියෙන් තියාගෙන ඉන්න එක. එහෙම තමයි ඔය යූඑන්පී/ශ‍්‍රී ලංකාකාරයෝ ඉන්නේ. මෛත‍්‍රීපාල සිරිසේන කතාකරන කොට එයා දන්නවා මේ බොරුවක් කියන්නේ කියලා අහගෙන ඉන්න අයත් ඒක දන්නවා ඊට පස්සේ මොකක් හරි නැගල යන එකක් ආපුහම අත්පුඩි ගහනවා. මේක ස්ටාලින්ගේ කාලෙත් වුණා. ස්ටාලින් දන්න මගුලක් නැහැ කියවගෙන කියවගෙන යනවා. ඊට පස්සේ මිනිස්සු අත්පුඩි ගහනවා. එතකොට ස්ටාලිනුත් අත්පුඩි ගහනවා. ඊට පස්සේ ස්ටාලින් අත්පුඩි ගහන නිසා මිනිස්සු නවත්තන්නේ නැහැ. මිනිස්සු ගහන නිසා ස්ටාලින් නවත්තන්නෙත් නැහැ. දැන් ලංකාවේ වැඩ යන්නේ එහෙම නෙවෙයිද ?

ළගදි ‘දොළහක්’ කියලා නාට්‍යයක් තිබුණා ඒ නාට්‍යයෙන් අපට ගන්න පණිවිඩයක් තියෙනවා. ඒකේ තියෙන්නේ ජූරි සභාවක සාමාජිකයෝ දොළහක් ඉන්නවා. එකොළොස් දෙනෙක් එක මතයක ඉන්නවා. එක්කෙනෙක් විරුද්ධ මතයක ඉන්නවා. සාකච්ඡා කරගෙන කරගෙන යද්දි අර එකොළහ වෙන වෙන මතවලට එන්න ගන්නවා. අර තනි මතයේ හිටපු පුද්ගලයා විකාර වෙනවා. මේකෙන් කියන්න හදන්නේ අපි ජීවත් වන සමාජයේ යථාර්ථය කියලා එකක් නැහැ. තියෙන්නේ එක එක්කෙනාගේ මත ගොඩක් විතරයි කියලා.

හැබැයි දොළහක් නාට්‍යය ගැන මගේ ප‍්‍රශ්නය ඒක නෙවෙයි මේ නාට්‍යයේ ගැහැනියෙක් නැති එකයි. මම අහන්නේ ඇයි මේ නාට්‍යයේ ගැහැනු නැත්තේ කියලා. දැන් හිතන්න මම වගේ කෙනෙක් ඔය නාට්‍යයට චාන්දනී සෙනෙවිරත්න වගේ නිළියක් බලෙන් දානවා. ඊට පස්සේ වෙන්නේ ජයසිරි අප්සෙට් වෙලා රිහසල්වලදීම නාට්‍ය කඩා වැටෙනවා.

මොකක්ද මේ වෙලා තියෙන්නේ? සමාජයේ සැබෑව තමයි ගැහැනිය. මෙන්න මෙයාව අයින් කරාම, ඒ කියන්නේ අපේ රියැලිටි එකෙන් අපේ රියල් එක අයින් කළාම අපිට අපේ වැඩ හරියට කරගෙන යන්න පුළුවන්. මේක තමයි ඇත්ත. නමුත් ගෑනුන්ගේ නෙවෙයි ප‍්‍රශ්නේ තියෙන්නේ පිරිමින්ගේ. අපේ යථාර්ථයෙන් අපි එහි නියම සැබෑව අයින් කරලයි තියෙන්නේ. එතකොට ඕන කෙනෙකුට හරි සුව පහසු විදිහට වැඩ කරන්න පුළුවන්. මම මෙතනදි කිව්වේ ගැහැනු ගැන විතරයි. හැබැයි මට හිතෙන්නේ ඔය ජේ.වි.පි. අය, යාපනයේ මරාගෙන මැරෙන්න යන අය, රැස්වීම් සංවිධානය කරන අය, සියලූදෙනා සමාජයේ නියම සාරය අයින් කරලා තමයි ඔය දේශපාලනය කරන්න යන්නේ. මම කියන්නේ ඒවා අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා සහ නීරස වෙනවා කියලයි.

දීප්ති කුමාර ගුණරත්න

jul 17th, 2012 |

ඔබේ අදහස කියන්න...