ස්ත්‍රිය නම් වූ මායා හුය: Phantom Thread

‘ස්ත්‍රිය යනු කවුද’ යන ගැටලුව ගූගල් සෙක්ස් (google sex) මට්ටමට වැටි ඇතැයි වරෙක සිතේ. මේ ප්‍රශ්නය මා සිතන හැටියට දැන් දශක දෙකක් තිස්සේ අප නොනවත්වා කතා කරන එහෙත් අවසන් විනිශ්චයක් නැති පාර-භෞතික ගැටළුවකි. එවන් විසඳුමක් නැති ගැටළු තිබිය හැකිවා සේම එවන් ගැටළුවක් විසඳීමට උත්සාහ කිරීමද නරක දෙයක් නොවේ. නමුත් අප මේ ප්‍රශ්නය අසමින් සිටින්නේ නිශ්චිත එල්ලයක් නැතිව බව මාගේ වැටහීමයි. ටොඩ් මැගෝවන් ට අනුව පරිභෝජනය සහ තෘප්තිය පදනම් කරගත් වර්තමාන සමාජයේ රාමුව විසින් සමාජ ප්‍රගමණය වෙනුවෙන් තෘප්තිය කැපකර වැඩකිරීමේ සම්ප්‍රදාය (නුතන) පසුපසට ගොස් (තහනම යනු මෙම වැඩකිරීමේ ආකෘතියේ පදනමයි) පුළුවන් තරම් විනෝද වීමේ ආකෘතියක් වෙත අප පිය නගමින් සිටින බව (පසු නුතන) පෙන්වා දෙයි (කියවන්න ඔහුගේ The End of Dissatisfaction: Jacques Lacan and the Emerging Society of Enjoyment).  අද දවස වනවිට තම විනෝදය හෝ තෘප්තිය කැපකරමින් අපේ රට පිලිබදව කිසිදු දේශපාලඥයෙක් නොසිතන බව අපට විශ්වාස භංග නාටකය හරහා දැකගත හැකිවිය. මුදල්, ගැහැණු, තනතුරු, බලය යන සියල්ල ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ මෙම ආත්මමුලික විනෝදය (egoistic enjoyment) පිණිසය. එනම් සියල්ල දිශානත වී ඇත්තේ තෘප්තිය දෙසටය. තහනම වෙනුවට විනෝදය (උල්ලංඝනය) අද වනවිට සාහිත්‍ය කෘති තුලද උත්කෘෂ්ට කරමින් ඇති බව අපිට නිරීක්ෂණය කල හැකිය. එය බුදුන්, මාක්ස්, යේසුස්, ගාන්ධි (පුරුෂ) සංකේතනයන්  අභියෝගයට ලක්කිරීම මතු නොව ඒවාට හිමි සංකේත ප්‍රාග්ධනය ප්‍රශ්න කරමින්, හෑල්ලු කරමින් පවතී. මෙම විචාරක විචාරිකා වන්ගේ අරමුණ වන්නේ නුතන ආකෘතියේ බල රටාව (hierarchy), ඒවාට අයිති වෙනස (difference) නම් මුලධර්මය සහ සුවිශේෂ බව (distinction) වෙනුවට සමජාතීය බව (prototype) හදුනවා දී මෙම යුගයේ විනෝදය සමග ඒවා ගැටගැසීම වේ. ලිංගිකත්වය මෙතරම් උත්සන්න වෙමින් පවතින්නේ සමාජ ප්‍රගතිය වෙනුවෙන් නොව විනෝද සමාජය ස්ථිර කිරීම සඳහා බව මැගෝවන්ගේ මතයයි.  

වෙනත් උසස් සමාජ අරමුණු වෙනුවෙන් අරගල කල විමුක්තිවාදීන්ගේ ලිංගික කුහක කම මේ මොහොතේ ඉස්මතු වන්නේ අප අද ඉල්ලා සිටින විනෝදයට සමපාත වය. මා ලිංගික කුහක කම් වලට විරුද්ධ වුවත් උසස් අරමුණු වෙනුවෙන් ක්‍රියාකළ අයගේ ඓතිහාසික ස්ථානය එම ලිංගික ප්‍රශ්න වලට බාල්දු කරන්නේ නැත. ඇතැම් විට ඔවුන්ගේ දේශපාලන සමස්තය සකස් කරන ලද්දේම ඉහත ලිංගික කුහකකම් ඔස්සේ විය හැකිය. මා කියන්නේ එය නිවැරදි යන්න නොව ඒ මොහොතේ බලරටා සහ ආකෘතින් නිර්මාණය කර තිබෙන්නට ඇත්තේ වික්ටෝරියානු තහනම පදනම් කරගත් සමාජයක යන්නය. නමුත් ලොව වැදගත්ම දේශාටනයන්(voyages), ගවේෂණයන් (discoveries), සංක්‍රමණයන් (migration) සහ සොයාගැනීම් (findings) කරන ලද්දේ තහනම මුල් කරගත් එම යුගයේය. අද අපි කරන්නේ ඒවා ඉදිරියට ගෙනයාම පමණි. ලිංගික තහනමේ ශක්තිය ඔවුන් වෙනත් සාර්වත්‍රික කාර්යයන් සඳහා ආයෝජනය කර ඇත. ඉංග්‍රීසි අධිරාජ්‍යට පක්ෂ පුරුෂ කවියෙක් වුවද ටෙනිසන් වැනි අය කළේ එම කැපකිරීම වර්ණනා කිරීමයි. සමාජය වෙනුවෙන් කැපවීමේ සහ වැඩ කිරීමේ අභිලාෂයන් අද සාහිත්‍යයේ නැත (ගුරු ගීතය බඳු). මා මේ මෑතකදී සම්බන්ද වූ තෙදින බාහිර ප්‍රයාන කඳවුරක දී (Outward Bound Adventure Camp) එම ආයතනය හිමි පුද්ගලික ප්‍රයාන උපදේශක (adventure instructor) විසින් සිය වැඩ සටහන අවසන් කලේ නන්දා මාලනිය ගේ ‘අද පමණක් නොවේ අපට හෙටක් තිබෙනවා’ යන ගීතය ඔහු විසින් අපද සම්බන්ද කරගෙන ගායනා කිරීමෙනි. එතරම් මනෝ විශ්ලේෂණය හෝ දර්ශනය දැන නොසිටි ඔහු කිවේ අපේ ජාතිය වසර පනහක් එකතැන පල්වුවේ අභියෝග බාර ගැනීමට (risk taking) ශක්තියක් නොවූ නිසා බවය. ‘කළ නොහැක්ක’ (impossible) වෙත මිනිසා යොමු කිරීම ප්‍රයාන වැඩ සටහන් වල එක් පරමාර්ථයකි. 
  
ඉහත උපදේශක මහතා තවත් වැදගත් දෙයක් කිවේය. සිංගප්පුරුව තම දියුණු අවධිය වෙත ලඟා වීමට යන ගමනේදී මුලින්ම කලේ තම ජනතාවගේ ආකල්ප වෙනස් කිරීමයි. ඕනෙම අභියෝගයක් ජය ගැනීමට පෙළඹ වීමයි. සාමුහිකව අභියෝග ජය ගැනීමයි. කණ්ඩායම් හැඟීමයි. වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට යාමයි. ධෛර්යවන්ත භාවයයි. ඒ සඳහා ඔවුන්ට උපකාරී වුවේ නොවිධිමත් අධ්‍යාපනයේ අංගයක් ලෙස සැලකෙන බාහිර ක්‍රියාකාරකම්ය (බාහිර කේන්ද්‍රීය පුහුණුව- Outward Bound Training). ලොව හොදම බාහිර ක්‍රියා ආයතනය ඇත්තේද ඔවුන්ටය. Outward Bound යන නාවික නම මුල්ම එංගලන්ත පාසැල විසින් පාවිච්චි කරන ලද්දේ ටෙනිසන් ගේ ඉහත අභිලාශය සිහිපත් කරමිනි. විෂයේ මධ්‍යය පිහිටන්නේ විෂය තුළ නොව විෂයට පිටින්ය (ex-timacy) යන්න මෙහිදී නැවත සිහිපත් කළයුතුව ඇත. අපගේ ආශා වස්තුව අපෙන් බාහිර ලෝකය තුල සොයා ගත යුතුව ඇත. නිශ්ක්‍රියව උදාසීනව සිට එය කළ නොහැක. විරාගයේ අරවින්ද පන්නයේ ලංකිකයින් හට මෙවන් බාහිර ලෝකයට නැඹුරු වුන පුහුණු ඉතා වැදගත් විය හැක. බටහිර ආත්මය තම ආශාව බාහිරට කේන්ද්‍ර කරන්නේ, බාහිර ලෝකය ගවේෂණය කරන්නේ තම තුලම පැලපදියම් වී ඇති කිසිදා පිරවිය නොහැකි හිස්බව නිසාය.  නමුත් අප සිතන්නේ අප අභ්‍යන්තරයෙන් පිරි ඇත යනුවෙනි. නමුත් අපද හිස්ය.      

එක් අතකින් කේ. කේ. සමන් කුමාර සාහිත්‍යකරුවා සහ නදීකා බණ්ඩාර ඇතුළු පිරිසක් ස්ත්‍රිය යනු කවුරුන්ද, ඇයගේ ආශාව කුමක්ද, යන්න සහ පුරුෂ ලෝකයේ අවුල, වික්ටෝරියානු බලපෑම සහ එහි කුහකත්වය ගැන දිගින් දිගට කතා කරමින් ඇති අතර එයට සමගාමිව සතියකට එක බැගින් වන අනුපාතයට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ වෙබ් අඩවිය වන ත්‍රිමාණ හරහාද ස්ත්‍රිය කවුද යන ගැටළුව දැන් අවම වශයෙන් වසර දහයක් තිස්සේ අසමින් ඇත. ඇත්ත වශයෙන් ගතහොත් මෙම විසඳුමක් නැති ප්‍රශ්නය නීරසය. ඇත්තටම මේ වනවිට කාටවත් ස්ත්‍රියගේ ආශාව මේ යැයි හෝ ස්ත්‍රිය යනු කවුදැයි හෝ නිට්ටාවටම කිවහැකිදැයි මා නොදනිමි (මහින්ද රාජපක්ෂට දේශපාලනය කිරීමට මේ ප්‍රශ්න කිසිසේත් වැදගත් වන්නේ නැත. ඒ පාර-භෞතික ප්‍රශ්න නැති ඔහුට ගැහැණුන් ගොඩක් කැමතිය. ඔහු අප වගේ විචාර ලියන්නේද නැත. චිත්‍රපට බලන්නේද නැත. ඔහු කරන්නේ ඉතාම මතුපිටින් ස්ත්‍රිය සහ දරුවන්ට ආදරය පෙන්වීම පමණි. ගැඹුරට වඩා ඔහුට වැදගත් වන්නේ මතුපිටය නැත්නම් ව්‍යාප්තිය ය. ඒ ගැන ස්ත්‍රීවාදීන් සිතන්නේ කුමක් දැයි දැන ගැනීමටත් මම කැමතිය). කෙසේ වුවද ත්‍රිමාණ වෙබ් අවකාශයේ පළ වන ලිපිවල අන්තර්ගතය සහ මා විශ්වාස කරන පරමාදර්ශ අතර පරතරයක් පැහැදිලිව ඉස්මතු වෙමින් පවතී. සමාජ අසමානතාවය, ස්ත්‍රීත්වය සහ පුරුෂ ආශාව වැනි මානව සමාජයේ ඉස්මතුව ඇති බරපතල ගැටළු අරභයා අප යමක් කියන්නේ නම් කිව යුත්තේ ඇත්තටම අලුතෙන් යමක් අපට කීමට ඇත්නම් පමණි යන්න මගේ මතයයි. එසේ නොමැතිව බොහෝ දේවල් කීමට යාම තුළ අප ගොඩනගන මතවාදය කුමක්ද යන්න පිලිබදව කියවන්නා හෝ කියවන්නිය වෙත ගැටලුකාරී නොවනු ඇතිද?

එක් එක් සමාජවල ස්ත්‍රිය ක්‍රියාකරන්නේ එකිනෙකට වෙනස් අයුරිනි. ආසියානු ස්ත්‍රිය එක් ආකාරයකට පිරිමියාට සහ පිරිමි ලෝකයට ප්‍රතිචාර දක්වන විට යුරෝපිය ගැහැණිය තවත් අයුරකින් ප්‍රතිචාර දක්වයි. මැද පෙරදිග සහ ඉස්ලාමිය ගැහැණිය තවත් වෙනස්ය. ප්‍රථමික සමාජ තවත් වෙනස්ය. දුප්පත් ස්ත්‍රියගේ ප්‍රශ්නය මැද පාන්තික ස්ත්‍රියගේ ගැටලුවෙන් වෙනස්ය. එනම් තම ‘ආශාව’, අභිලාෂයන් සහ සන්ධර්භයන් එකිනෙකාගෙන් වෙනස් වන අතර ඒ වෙනස් කම් වලට සමපාතව ඔවුන්ගේ ප්‍රතිචාර සහ ආවේගයන් ද වෙනස්ය. ‘අපි අපේ කකුල් වලින් කවදාහරි නැගිටින්න ඕනි’ යැයි නදීකා කියන විට තවත් ගැහැණියක් පුරුෂ පරායත්ත තාවයට ආශා කරනු ඇත. නැත්නම් ස්ත්‍රියක් ලෙස පුරුෂයා මත යැපීම ඇගේ ගැඹුරුම ආශාව ද විය හැක. ආශාව අනෙකා මත පැවතීම ගැටළුවක් වන්නේ කෙසේද යන්න ක්‍රිස්තියානි අරුතෙන් මට නොවැටහේ. එනම් ආශාවේ මුලය ස්වාමි සේවක (වහල්) සම්භන්දය ලෙස යම් ගැහැණියක් හෝ පිරිමියෙක් තේරුම් ගන්නේ නම් එවිට නදීකා ගේ මොඩලය ගැටළු සහගත වනු ඇත. නමුත් නදීකාගේ මොඩලයට කැමති අය නැතුවාද නොවේ. එවිට ඇයගේ අරගලය පහසු වනු ඇත. ආශාව යනු ඉතාම පුද්ගලික දෙයක් (සාන්දෘෂ්ටික) වන අතර එය ඉස්මතු වන්නේ පුළුල් දේශපාලන පසුබිමක් පාදක කරගෙනය (මාක්ස්වාදය). මෙය පරස්පරතාවයකි. බටහිර ලෝකයේ මාක්ස්වාදය විකසිත නොවීමට හේතුවුවේ ද පුද්ගල කේන්ද්‍රීය බටහිර ආත්මයේ ගැඹුරු සාන්දෘෂ්ටික බව වෙත ලඟා වීමට සාමුහික බව කෙරේ දැඩි විශ්වාසය තැබූ මාක්ස්වාදයට නොහැකි වූ නිසාය. මා පහත සාකච්චා කිරීමට අදහස් කරන චිත්‍රපටය වුවද බටහිර ආත්මයේ හුදකලා ආත්ම මුලික සාන්දෘෂ්ටික බවට අගනා උදාහරණ යක් වේ. 
එක් විශ්වීය මොඩලයක් ස්ත්‍රියගේ නිදහස වෙනුවෙන් ගොඩ නැගිය නොහැක. ඇයගේ සමානතාවය පිළිබද තත්වය පවා එක් එක් සමාජයේ අවශ්‍යතාව මත වෙනස් විය හැකිය. උදාහරණ වශයෙන් නම් Phantom Thread (2017) චිත්‍රපටයේ ස්ත්‍රියට අවශ්‍ය වන්නේ තමා ආදරය කරන පිරිමියාට කරන සැලකීම ඔස්සේ තමාගේ ස්ථානය ඇයට සලකුණු කර ගැනීමට මිස වෙනම ස්ත්‍රී ලෝකයක් ගොඩ නැගීමට නොවේ. එය ඇගේ වරණයයි (choice). ඇය සතුටු වන්නේ එම වරණය ඔස්සේය. වෙනත් දෙයක් තෝරා ගැනීමට ඉඩ තිබියදී පවා ඇය තමා ආශා කරන පිරිමියා වෙනුවෙන් පොරොත්තු වෙමින් සිට ඔහු හැර නොයයි. ඇයගේ අඳුරු ආදරය තුළ ඇය කරන්නේ දක්ෂ විලාසිතා නිර්මාණකරුවෙක් වන රේමන්ඩ් වුඩ්කොක් (couture or haute couture or couturier) හට බිම්මල් විෂ සහිත තේ බීමට සැලැස්වීමයි. විෂ ඔස්සේ ඔහුගේ ශරීරය අකර්මන්‍ය වීම තුල බිඳවැටෙන ඔහුගේ පෞරුෂය සහ අහම (ego) නැවත සුවපත් කරනු පිණිස සහ ගොඩ නගනු පිණිස නැවත ඇය ඔහුට අවශ්‍ය වීමට සලස්වයි. එනම් ආදරය ඇය ගොඩ නගන්නේ මරණය කරා ඔහු ගෙන යාම ඔස්සේය. 
එම අසනීප වීම සහ මරණිය බව වෙත යන ඔහුගේ පැවැත්ම සහ ඔහුගේ පරායත්තතාවය (dependency) බටහිර වූ ඇයගේ ආදරයේ පදනම වේ. එය 2017 වසර දක්වාම සත්‍යයක් හෙයින් එම චිත්‍රපටයට අදටත් වටිනාකමක් ලැබේ. මෙතන ස්ත්‍රිය යනු පිරිමියා තමා මත පරායත්ත වනු දැකීම තම ආදරය කරගත් ස්ත්‍රියකි. ඇය බටහිරය. ඇය පල්ලියේ විවාහ වෙයි. ඇය රේමන්ඩ් තම ස්වාමියා ලෙස අනෙක් අය පිළිගන්නවාට කැමතිය. ඇය රැඩිකල් වන්නේ ඔහුට මරණය පෙන්වමින් ඔහුව තමා වෙත පරායත්ත කිරීම තුළ මිස රැඩිකල් නිදහසක් බලාපොරොත්තු වීම ඔස්සේ නොවේය. නමුත් එවන් නිදහසක් අයිති අයෙකුට එය නොලැබිය යුතු යැයි මින් අදහස් නොකෙරේ. අනෙක් අතට මෙය පුරුෂ කලා නිර්මාණයක් යැයි කීමටද ඉඩ ඇත. නමුත් ඇයට වෙනත් වරණයක් තිබියදී ඇය තෝරා ගන්නා ඔහුගේ මවගේ ආශා ව තම ශරීරය ඔස්සේ නියෝජනය කිරීම මෙතැනදී සුළුවෙන් සැලකිය නොහැක. ඔහු මේ ආත්මයේ මරා දමා ඔහුගේ මවගෙන් නිදහස් කර ඊළඟ භවයේ තමාගේ කර ගැනීම ඇයගේ ආශාවයි. ඇයගේ ප්‍රශ්නය බුදුවීම වැනි දෙයක් නොවේය. 
රේමන්ඩ් විසින් කරනු ලබන්නේ ස්ත්‍රිය ගේ බාහිර රූපය අලංකාර කිරීමය. ඇයගේ අඳුරු පැවැත්ම මකා දමා ඇයට පිරිමි ඇසට (male gaze) පෙනෙන පරිදි වේෂ නිරුපණය කිරීමය. ඒ සඳහා ඔහු තෝරා ගන්නේ ආපන ශාලාවකදී අහම්බෙන් ඇස ගැටුන යෞවනියක් වන ග්‍රාමීය පරිසරයක හැදී වැඩුන අල්මා ය. නමුත් එම ග්‍රාමීය ගැහැණියගේ පැවැත්මේ පතුලේ ගැඹුර ඔහුට කිසිසේත් ග්‍රහණය කරගත නොහැක. ඇය ඉල්ලා සිටින ඔහුගේ ආත්මයේ පංගුව ඔහුට දිය නොහැකි තත්වයකට ඔහු පත්වේ. නමුත් අරගලය තුල ඇය ඇයගේ කොටස අත්පත් කරගනී. ඒ සඳහා ඇය ඔහු මරණය ආසන්නයට ම ගෙනයයි. ඇයගේ ශක්තිය එයයි. චිත්‍රපටය අපගේ සන්දර්භයෙන් ගත්විට එහි ගැඹුරුම මානය කරා ලංවන්නේ ගමෙන් නිකම්ම නිකම් ස්ත්‍රියක් ලෙස අවුදින් නාගරික ඉහල පංතිය ගැවසෙන තැනක තම පැවැත්ම තහවුරු කර ගැනීම පිණිස කරන නපුර කරා එළඹෙන විටය. වෙනත් විදියකින් කිවහොත් නාගරිකයෙකුට ගේම් එක ගහන තැනදිය.  ඇය එතැනදී පිරිමියෙකුටත් වඩා පිරිමියෙකු ලෙස ‘නපුර’ (evil) කරා ප්‍රවිෂ්ඨ වේ. විෂ බිම්මල් නොව ඕනෙම දෙයක් සඳහා ඇය මානසිකව සුදානම්ය. කිසි චකිතයක් නැතිව එය ඇය පාපොච්චාරණය කරයි. රොහාන් පෙරේරාගේ ‘ආසියාතික ගැහැණිය බුදු කිරීමේ’ ව්‍යාපෘතියේ සිටින ලාංකික ස්ත්‍රීවාදීන් ගෙන් (පෙරදිග මතු නොව අපරදිග පවා තිබෙන) මේ අවස්ථාවාදී අශිෂ්ටත්වය (opportunistic and uncivilized) පිලිබදව ඔවුන්ගේ මතය දැනගැනීමට ද කැමැත්තෙමි. මේ අවස්ථාවාදී නිමේෂයේ ඇය ගැහැණියක් වන්නේ කෙසේද? නැත්නම් පිරිමි තම පැවැත්ම වෙනුවෙන් ඕනෙම කුපාඩි වැඩක් කරන බැවින් ස්ත්‍රිය එසේ කිරීම ගැටළුවක් නොවේද? මේ ප්‍රශ්න අසන්නේත් ඇය ස්ත්‍රියක් වීම නිසා යයි කියා ඇඟ බේරා ගනිමුද? නැත්නම් ගැහැණු පිරිමි භේදයක් නොමැතිව අප සැවොම ශිෂ්ට කිරීමේ ව්‍යාපෘතියක් (new civilizing movement) වෙත පියනැගුව යුතු නොවේද?
අල්මා විසින් රේමන්ඩ් සහ ඔහුගේ මව අතර තිබු මායාමය සම්භන්දය නම් හුය චේදනය කර ඇත. ඒ වෙනුවෙන් ඇයට ඔහුව මරණය මුවවිටට රැගෙන යාමට සිදුව ඇත. නාගරික විලාසිතා කරුවෙකුට නොතේරෙන ග්‍රාමීය ඇයගේ නපුර (ආශාව) කොතරම් අඳුරු ද, මරණියද, පැටලිලි සහගත ද, දේව විරෝධීද යන්න මෙම චිත්‍රපටය අප වෙත ගෙන එයි. නමුත් අප ආශා කරන්නේද ඇයගේ එම මරණිය බවට ම ය. ඇයගේ මායාව වෙත අපි පෙම් බඳිමු. රේමන්ඩ් මෙන්ම අප සියල්ලෝම ගැලවිය නොහැකි ලෙස ඇයගේ මායා මකුළු දැලේ පැටළෙමු. පැටලී මරණය කරා යමු. එම මරණයට අප ආදරය යැයි කියමු. Casino, Basic Instinct වැනි චිත්‍රපට වලින් අප දුටුවේද මෙයම ය. 
මහේෂ් හපුගොඩ
(Phantom Thread යන්න මායා හුය ලෙස පරිවර්තනය කර ඇත) 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. //වෙනත් උසස් සමාජ අරමුණු වෙනුවෙන් අරගල කල විමුක්තිවාදීන්ගේ ලිංගික කුහක කම මේ මොහොතේ ඉස්මතු වන්නේ අප අද ඉල්ලා සිටින විනෝදයට සමපාත වය. මා ලිංගික කුහක කම් වලට විරුද්ධ වුවත් උසස් අරමුණු වෙනුවෙන් ක්‍රියාකළ අයගේ ඓතිහාසික ස්ථානය එම ලිංගික ප්‍රශ්න වලට බාල්දු කරන්නේ නැත. ඇතැම් විට ඔවුන්ගේ දේශපාලන සමස්තය සකස් කරන ලද්දේම ඉහත ලිංගික කුහකකම් ඔස්සේ විය හැකිය. මා කියන්නේ එය නිවැරදි යන්න නොව ඒ මොහොතේ බලරටා සහ ආකෘතින් නිර්මාණය කර තිබෙන්නට ඇත්තේ වික්ටෝරියානු තහනම පදනම් කරගත් සමාජයක යන්නය. නමුත් ලොව වැදගත්ම දේශාටනයන්(voyages), ගවේෂණයන් (discoveries), සංක්‍රමණයන් (migration) සහ සොයාගැනීම් (findings) කරන ලද්දේ තහනම මුල් කරගත් එම යුගයේය. අද අපි කරන්නේ ඒවා ඉදිරියට ගෙනයාම පමණි. ලිංගික තහනමේ ශක්තිය ඔවුන් වෙනත් සාර්වත්‍රික කාර්යයන් සඳහා ආයෝජනය කර ඇත// මේ අදහස් එකිනෙකට ප්‍රතිවිරෝධී අදහස් කිහිපයක් තිබෙනවා

  2. පලමුවෙනි අදහස තමයි දැන් මම ලියපු සොවිට විවාහ ගැන ලිපි පෙලේ මුලික අදහස් – ලෙනින් ගේ කෘප්ස්කයා එකක් විවාහයට අමතරව ඉනේස්ස එක්ක සබඳකම , ට්‍රොස්කි ගේ සබඳකම් දිහා බලන්න. ඔවුන් ඔයපුහු විකාර වික්ටෝරියානු සංස්කෘතියකට ගියේ නැහැ. තිබ්බ යුරෝපියානු සංස්කෘතිය තුල හැසිරුණ ගමන් නිදහස අගය කලා . ඔවුන්ට විප්ලවයක් මෙහෙයවන්න පුළුවන් වුනේ මේ නිදහස් කාමී ගතිය නිසා. එතකොට ඊළඟට වුනු ඒවගේ විප්ලවයක් තමයි කියුබානු විප්ලවය . එතැනදී චේ වත් කස්ට්‍රොවත් ලිංගික කාරනා වලට අමුතු අවධානයක් දුන්නේ නැහැ. ඔවුන් තමයි ඒ පැත්තට යොදවන මානසික වෙහෙස .
    නමුත් ලංකාවේ හෝ කාම්බෝජයේ ඕක වුනේ අනිත්පැත්ත . විජේවීර හෝ ප්‍රභාකරන් හෙම ඒවාට අවධානය යොමු කල නිසා තමා තහනම් කලේ. එයින් අර විප්ලවීය නිදහසත් සීමා කලා . ඒකෙන් වුනේ වරදක්. නන්දන වීරරත්න තමන්ගේ දේශනයේදී කියන්නෙත් ඒකමයි

Comments are closed.