ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 06

ජිජැක් පිළිබද විවිධ මතවාද පැතිර යමින් ඇති නිමේෂයක සැබෑ ලෙසම ජිජැක් යනු කවුද සහ ඔහුගේ දර්ශනය කුමක්ද යන්න පිළිබද මහේෂ් හපුගොඩ සමග කළ සාකච්ඡාවේ හයවන කොටස අද අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

පක්ෂයක් තුළ විනයගත රාමුවක් නිර්මාණය කරන විට යම් යම් දෘෂ්ටිවාදී ගැටුම් මතු වෙනවා… ඇයි එහෙම වෙන්නෙ…?

ලිබරල් ධනවාදය ඇතුළෙ එහෙමත් නැත්නම් පශ්චාත් දෘෂ්ටිමය සමාජයක් ඇතුළෙ මේක ක්‍රියාත්මක වෙන්නෙ නිශ්චිත වශයෙන් ම පක්ෂයකට ආකෘතියක් නැතුව. මේ ක්‍රමය ඇතුළෙ කිසිම පක්ෂයකට ‘පක්ෂ ආකෘති’ ගොඩනගන්න දෙන්නෙ නැහැ. මෙය මොන විදියටද න්‍යාය ගතකරල තියෙන්න කියන කාරණය අපි පසුගිය ආඛ්‍යානවලදිත් සඳහන් කළා. නමුත් අපි එය තවදුරටත් ග්‍රහණය කරගත යුතුයි. සියලු පක්ෂ තුළින් සමස්තථාවාදය මතුවන බව අපි කළින් කතා කළා. මම දැන් අවධාරණය කරන්නෙ එහි අනෙක් පැත්ත. ලිබරල් ධනවාදී මොහොත විසින් දේශපාලන පක්ෂයක් සංවිධිතව ව්‍යුහගත කරන විට එහෙමත් නැත්නම් පක්ෂ ආකෘතියක් නිර්මාණය කිරීමට සූදානම් වන විට ම ලිබරල් ධනවාදය සැණෙකින් ඇඟිල්ල දිකු කරලා ‘මෙන්න ඒකාධිපතිත්වය මතුවෙනවෝ’ කියල චෝදනා කරනවා. මෙහි අන්තර්ගත දයලෙක්තිකය දැන් ඔබට වැටහෙනවා ඇතැයි මම විශ්වාස කරනවා. 

මම කලින් සඳහන් කළා ඕනැම පක්ෂයක් ඒකාධිකාරියක් දක්වා ගමන් කරවීම දක්වා පරිවර්තනය කිරීමට හැකි බව. නමුත් අනෙක් පාර්ශවය පිළිබඳ සලකා බැලුවොත් මේ මොහොතේ යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් කිසියම් වූ දේශපාලන පක්ෂයන් නිර්මාණය කරන්න සූදානම් වුණොත් හෝ පක්ෂයක් නිර්මාණය කළොත් එහි අන්තර්ගත යැයි පවසන ඒකාධිකාරී ලක්ෂණ ඉස්මත්තට ගෙනවිත් අදාළ පක්ෂය විනාශ කිරීමට ද මෙම කථිකාව ම උපයෝගී කරගන්නවා. මේකට හොඳම උදාහරණය දීප්තිගෙන්ම ගමු.

ඔහු තම දේශපාලන පක්ෂය තුළ විනයගත දේශපාලන රාමුවක් නිර්මාණය කරන්න උත්සාහ ගන්නා විට ම මොකද වුණේ? එහි ඇතැම් සාමාජික සාමාජිකාවො ම මොකද කිව්වෙ? ‘මෙන්න අපේ පක්ෂය ඇතුළෙ ඒකාධිපතියෙක් බිහිවෙන්න යනවා. දීප්ති පක්ෂය ඇතුළෙ ඒකාධිපතියෙක් වෙනවා’ කියල එළියට ප්‍රකාශ කළා. කිසියම් විනයගත රාමුවක් නිර්මාණය කරන විට ම හමුවන දෘෂ්ටිවාදි ගැටලුව කුමක්ද කියලා දැන් ඔබට වැටහෙනවා ඇති.  මොකක්ද ඒ දෘෂ්ටිවාදය?  සරලව ම කියනවා නම් මා තුළ තිබෙන නාසිස්මික දෘෂ්ටිවාදය සත්‍යය ලෙසම පක්ෂ ආකෘතිය තුළ ඉස්මතු නොවීමට වගබලා ගැනීම.

මේ මොහොතේ මහා අනෙකා රැඳි සිටින්නේ කොතනද යන ප්‍රශ්නය සමාජයේ කතිකාවට ලක් වෙනවා. ඔබ ඒ පිළිබඳ දක්වන අදහස…?

අපි තුළ පවත්නා අශ්ලීල අන්තර්ගතය ඔස්සේ මතු වී තිබෙන නාසිස්මික ආශාවල් මහපාරෙ පවා විදාරණය වෙනවා. මහ පාරෙ, ප්‍රසිද්ධියෙම පොලිසිය සමග පැටලෙන කාන්තාවකගෙ විඩියෝ පටයක් පසුගිය දවස්වල අන්තර්ජාලයේ සංසරණය වුණා මතකනෙ. ඊටත් පෙර වාරියපොළ නගරයෙදි තරුණියක් තරුණයකුට පහර දෙන වීඩියෝවක් ඔය විදියටම අන්තර්ජාලයේ සංසරණය වුණා. ඇත්තටම මේක ගැහැනු පිරිමි ප්‍රශ්නයක් ද? මේක ගැහැනු පිරිමි ප්‍රශ්නයක් විදියට තේරුම් ගන්නවට වඩා වෙනස් විදියකට තේරුම් ගන්නව කියන්නෙ ම එය ධනවාදයේ ම ප්‍රශ්නයක් විදියට අවධානය යොමු කළ යුතුයි කියන කාරණය ම යි. නමුත් මේ සියල්ල සමාජගත වෙන්නෙ හුදු පුද්ගල ප්‍රශ්න විදියට. සරලව ම ගත්තොත් ළමයෙක් ළිඳට වැටුණොත් ඒක ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙනවා. ගැහැනියක් පිරිමියකුගෙ කනට ගැහුවොත් ඒකත් ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙනවා.

අපි බලමු ඒ වීඩියෝව අන්තර්ජාලයට එකතු වෙන්නෙ කොහොම ද කියල. එය අන්තර්ජාලයට එකතුවෙන්නෙ ඒ ආසන්නයේම හිටපු පුද්ගලයෙක් ස්මාට් ජංගම දුරකතනයකින් අදාළ සිද්ධිය වීඩියෝ කරපු නිසා. ඒ විදියට වීඩියෝ කිරීම එක් ආකාරයක විපරීතයක්. ඇයි ඒක විපරීතයක් වෙන්නෙ? ඇත්තට ම මේ සිද්ධිය සමාන වෙන්නෙ යතුරු හිලෙන් බැලීම කියන සංකල්පයට.  සමස්ත සිද්ධිය ම යතුරු හිලෙන් නරඹලා එය අප වෙත රැගෙන එනවා; සමාජ ගතකරනවා. අපි ඒ කාන්තාව සහ සිද්ධිය දකින්නෙ යතුරුහිල් වීඩියෝව තුළින්. නමුත් එය සමාජ ක්‍රියාකාරිත්වයක් නොවෙයි. එය තනි පුද්ගලයකුගේ අභ්‍යන්තරයෙන් නැගී ආ විරෝධයක්. ධනවාදය ඇතුළෙ විශාල වටිනාකමක් දෙන්නෙ මෙබඳු සිද්ධිවලට පමණයි. මෙවැනි සිද්ධි දිනපතා ම මාධ්‍යය හරහා සමාජයට එනවා. ඒක පුද්ගලික මාධ්‍යය හරහා වෙන්න පුළුවන්, රාජ්‍යය මාධ්‍යය හරහා වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් අන්තර්ජාල සමාජ වෙබ් අඩවි හරහා වෙන්න පුළුවන්.  දෘෂ්ටිවාදය කියන්නෙ මෙය යි. තව තවත් පැහැදිලි කරනවා නම් මේ මොහොතේ මහා අනෙකා ඉන්නෙ යතුරු හිලේ. නමුත් මහා අනෙකා කියන්නෙ කුමක් ද? මහා අනෙකා විදියට අර්ථ දැක්වෙන්නේ: නීතිය, ව්‍යවස්ථාව, පරමාධිපත්‍යය යන මේවානෙ. නමුත් අද මහා අනෙකා විදියට ක්‍රියාත්මක වෙන්නෙ ස්මාර්ට් ජංගම දුරකතන සහ සී. සී. ටී. වී.  කැමරා.

මේ මොහොතේ පක්ෂ ව්‍යුහය සකස් විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ඔබේ අදහස…?

මගේ අදහස වෙන්නෙ පක්ෂ ව්‍යුහය අතිශයින් ම සබුද්ධිකව, දේශපාලනිකව සංවිධිතව මේ මොහොත වටහා ගත යුතුයි. ඊළඟට අදාළ පක්ෂ ව්‍යුහය තුළට පැමිණෙන පක්ෂ සාමාජිකයා ඇත්තට ම කරන්නෙ කැපවීමක් ද කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ අදාළ පුද්ගලයා සෑහෙන කාලයක් පක්ෂය සමග ගනුදෙනු කිරීමෙන් පමණයි. එය භෞතික භාවිතාවෙන් ම ඔප්පු කළ යුතුයි. එසේ නොමැතිව: ඔයාට කොපමණ මුදල් ප්‍රමාණයක් තිබෙනවද? මම ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙනවද? වගේ තත්වයකට පක්ෂයක් පත්වෙනවා නම් එය පක්ෂයක් වෙන්න විදියක් නෑ.  අද බොහෝ පක්ෂවලට සිද්ධ වෙලා තියෙන්නෙත් ඔය සිද්ධිය ම යි. පසුගිය මහ මැතිවරෙණයේ දී ජනතා විමුක්ති පෙරමුණ තුළත් මෙය දක්නට ලැබුණා. පක්ෂ විනාශ වෙන්න හේතුවත් ඔය ක්‍රියාදාමය ම යි. ජනතා විමුක්ති පෙරමුණට අත් වු ඉරණම දෙස බැලුවාම එය ඉතා හොඳින් ම පැහැදිලි වෙනවා. පක්ෂ නායකයන්ට අඬන්න සිද්ධ වෙලා තියෙන්නෙත් මේ නිසා ම යි. අපි දන්නවා එක් අවධියකදි විමල් වීරවංශ පක්ෂය අත්හැරල ගියාම ජවිපෙට ළතැවෙන්න සිද්ධ වුණානෙ. ඇයි එහෙම වෙන්නෙ? ආපසු හැරිලා පක්ෂයට පහර දෙන්නෙත් විමල් ම නිසා.

ඒ සඳහා බලපාන හේතු සාධක මොනවාද…?

ඒකට ප්‍රධාන ම සාධකය වෙන්නෙ තනි පුද්ගලයො ඉස්මතු වීම; නාසිස්මිකයො ඉස්මතු වීම; පුද්ගල චරිත ලක්ෂණ විදාරණය වීමට ඉඩ සැලසීම. මේ සාකච්ඡාව ආරම්භයෙදි ම ඔබ මගේ අනන්‍යතාව විමසද්දි තනි පුද්ගලයෙක් අවශ්‍යය නැති බව මම ඔබට ප්‍රකාශ කර සිටියේ මෙන්න මේ නිසයි. ඒ මොහොතේ සිට මෙතෙක් වෙලා අපි දෙනොම සාකච්ඡා කළෙත් යම් දේශපාලනික අවබෝධයක්  සහිතව යි. ඒ නිසා මම යළිත් අවධාරණය කරනවා තනි පුද්ගලයා අනවශ්‍ය බව. වැදගත් වෙන්නෙ අදාළ පුද්ගලයා පක්ෂය තුළට කොපමණ සංකේතීයව බද්ධ වෙනවද යන කාරණය යි. තව දුරටත් පැහැදිලි කරනවා නම් අපිට පක්ෂය සහ පක්ෂ සාමාජිකයා තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ පක්ෂය තුළ ඔහු/ඇය කෙතරම් භෞතික භාවිතාවකින් කටයුතු කරනවද යන කාරණා තුළින්.

මෙතනදි තවත් කාරණයක් පැහැදිලි කළ යුතු යි. පක්ෂ ආකෘතියක් නැහැ කියන දේ එහෙමත් නැත්නම් මේ ලිබරල් ධනවාදය ඇතුළෙ පක්ෂ ආකෘතියකට විදාරණය වෙන්න ඉඩ නොදෙනවා කියන කාරණය ඇතුළෙ තව දෙයක් පැහැදිලි වෙනවා.

ඒ කාරණය වඩා අර්ථවත් ලෙස පැහැදිලි කළොත්…?

ලිබරල් ධනවාදය අපිට දෙන පළමුවන අදහස වෙන්නෙ ‘එළියෙ සමාජ යථාර්ථයක් නැත’ කියන සංඥාව. මිනිස්සු තමන්ගෙ ලෝකවල තනිවෙලා ජංගම දුරකතන කනේ ගහගෙන එහෙ මෙහ දුවන්නෙ මෙන්න මේ කියන යථාර්ථයේ පිළිබිඹුවක් විදියට.  වඩාත් පැහැදිලි කරනව නම් එයින් හැඟවෙන්නෙ එළියෙ යථාර්ථයක් නැහැ කියන දේ නොවෙයි. ‘එළියෙ යථාර්ථය අක්‍රීය යි’ කියන කාරණය යි.  හැම දෙයක් ම අර්ථකථනය කළේ ආර්ථික සංඝටක මත  අපි දන්නවා. නමුත් ඒ අර්ථකථනය තුළ පිහිටන්න අද දවසේ බැරිවෙලා තියෙන්නෙ ඇයි? ලිබරල් ධනවාදය ඇතුළෙ ආර්ථිකය කියන්නෙ අක්‍රීය දෙයක් කියන සංකල්පය දෘෂ්ටිමය වශයෙන් අද අප වෙත රැගෙන එනවා. එක් අතකින් එහි සත්‍යයකුත් නැතුවා නොවෙයි. බලන්න අද ආර්ථිකය පිළිබඳ කවුරු හරි කතා කරනව ද? නැහැ. ආර්ථික සංඝටකය සහ ප්‍රාග්ධනය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන කාරණය කිසිවෙක් කතා නොකරන තත්ත්වයක් යටතේ සියලු දෙනා ම ජීවත් වෙන්නේ සංස්කෘතික තර්කයක් ඇතුළෙ. තව දුරටත් පැහැදිලි කරනවා නම් අද ඉදිරියට පැමිණ තිබෙන්නේ ආර්ථික සංඝටක පසෙකට වීසි කළ සංස්කෘතික විග්‍රහයක්. මා කලින් සඳහන් කළ ආකාරයේ විඩියෝ එතරම් ම ජනප්‍රිය වෙන්න හේතුව මෙන්න මෙය යි.

 

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත

සත්හඬ ලිපිය මෙතනින් බලන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 01 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 02  මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 03 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 04 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 05 මෙතනින් කියවන්න

 

 

ඔබේ අදහස කියන්න...