60-70 දශකවල ලාංකේය ජනයාට රැඩිකල් අනාගත යුතෝපියා දෙකක් තිබුණේය. එක පිරිසකට අනාගත සිහිනයක් ලෙස ‘සමාජවාදය’ තිබුණේය. ඒ අය හැඳින්වූයේ වාමාංශිකයන් ලෙසය. අනෙක් පිරිසට අනාගත සිහිනයක් ලෙස ‘අමෙරිකානු සිහිනය’ (American Dream) තිබුණේය.
GSP+ සහනය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීම යනු ධීවරයන්ගේ සිට භාණ්ඩ අපනයනය කරන ව්‍යාපාරිකයන් දක්වා වූ විශාල පරාසයක ජනයාට ආර්ථික ප්රතිලාභ ලබා දීමකි. මහින්ද රාජපක්ෂ ඇතුළුව ඔහුගේ අනුගාමිකයන් උත්සාහ කරන්නේ මෙම ප්රතිලාභ මහජනයාට ලැබීම වළක්වා ආණ්ඩුව අර්බුදයට යැවීමටය. එහි දී ඔවුන් ලංකාවේ ආර්ථික අර්බුදය යන කාරණය ජාතිකවාදය සමඟ ගැට ගසයි. මෙම ගැටලුව විමල් වීරවංශ විසින් අපගේ සම්ප්රදාය (සංස්කෘතිය) සහ බටහිර අතර ගැටුමක් දක්වා තත්ත්වය සංකීර්ණ කරයි. නලින් ද සිල්වා GSP+ ලබා ගැනීම සිංහල/දෙමළ ගැටුම දක්වා දුරදිග රැගෙන යයි. ඇමැති මණ්ඩලය තුළ සමලිංගිකත්වයට අනුමැතිය දීමට විරුද්ධව දැඩි විරෝධයක් ඇති වූවා යැයි කියා ලංකාවේ වැඩියෙන් විකිණෙන ජනප්‍රිය පුවත්පතක සිරස්තලයක් ලෙස ද පළ විය. තම ආයතනයේ හිමිකරුවා ද සමකාමියෙක් බව එම පුවත්පත් කතුවරයා නොදන්නේද? නැති නම් දැන දැන මේ ගැන නොදන්නා සේ ඉන්නවාද? සමකාලීන නරුමවාදයේ දිග පළල මෙවැනි උදාහරණවලින් මැනවින් පැහැදිලි වේ.
ඒකාබද්ධ විපක්ෂය ඇතුළුව සිංහල ජාතිකවාදීන් විකල්පය ලෙස ‘අතීතය’ තෝරා ගනිද්දී ආණ්ඩුව පැත්තෙන් එයට විරුද්ධව නූතනත්වය වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි අදහස් මාලාවක් නැත. මෙමඟින් කියවෙන්නේ ආණ්ඩුවේ ප්රචාරක යන්ත්‍රයේ දුර්වලතාවයි. ආර්. ප්‍රේමදාස යුගයේ දී හැර ආණ්ඩුවකට විකල්ප ප්රචාරක උපක්‍රම තිබුණේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත් වූ සෑම අවස්ථාවකදීම ඊට අවශ්‍ය ප්රචාරක යන්ත්‍රය ලබා දුන්නේ වාමාංශික පක්ෂ ය. ටික කලක් චන්ද්‍රිකාටත්, 2005ට පසුව මහින්දටත් අවශ්‍ය මතවාදී යාන්ත්‍රණය ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණය. අනාගත ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ අදහසේ දී රුසියාව ගිය පාරේ නොව චීනය ගිය පාරේ යාමට ජනතා විමුක්ති පෙරමුණට තවම හිත හදා ගැනීමට නොහැකි වී ඇත. මේ හේතුව නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රචාරක ව්‍යාපෘතිය මතවාදයක් නැති මතවාදයක් බවට ඉබේම පරිවර්තනය වී තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැත්තෙන් ගත් විට ඔහුගේ ප්රචාරක යන්ත්‍රය සන්නද්ධ වී ඇත්තේ පෙරමුණු දෙකකිනි. ඉන් එකක් වන්නේ දකුණේ සිවිල් සමාජයයි. දෙවැන්න වන්නේ සුළු ජාතික බලවේගයයි. TNA සංවිධානය මෙහි ප්‍රකට මතවාදී උපකරණයයි. මේ සියලු දෙනා අවසාන වශයෙන් මතවාදීව දෙකට බෙදෙන්නේ ‘සම්ප්රදාය’ සහ ‘බටහිර’ (Tradition – West) වශයෙනි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කඳවුර අයත් වන්නේ ‘බටහිර’ පැත්තටය. ලංකාවේ ප්රජාතන්ත්රවාදය යනු බහුතරයේ කැමැත්තයි. එනිසාම ප්රජතන්ත්රවාදය මත යැපෙන දේශපාලකයකුට සිංහල ඡන්ද මත සාපේක්ෂව පදනම් වීමට සිදු වේ. මේ හේතුව නිසා රනිල් වික්‍රමසිංහ මහතාට සිංහල ඡන්ද ලබා ගැනීමේ දී (පාක්ෂිකයන්ගේ ඡන්දවලට අමතරව) ‘මතවාදය’ පාලනය කිරීමේ හැකියාවක් ද තිබිය යුතුය. ඒ සඳහා ඔහු තෝරාගෙන ඇත්තේ සිවිල් සමාජයයි. ගැටලුව වන්නේ ජාතිකවාදීන්ගේ මතය ඛණ්ඩනය කිරීමට තරම් ප්‍රබල චරිතයක් සිවිල් සමාජය තුළ සිටීද යන්නය. මෙම ගැටලුවේ තීව්‍රතාව අඩු කිරීමට රනිල් වික්‍රමසිංහ තෝරා ගෙන සිටින්නේ චම්පික රණවක බව සැබෑය. නමුත් මහින්දවාදියකු වන විමල් වීරවංශත්, ගෝඨාභය ව්‍යාපෘතියේ සිටින රතන හාමුදුරුවනුත් චම්පික ඉදිරියේ රඟපෑමට නියමිත භූමිකාව තවම අවිනිශ්චිතය.
අනෙක් අතට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඉතිරිව ඇත්තේ එකිනෙකට පරස්පර විකල්පයකි. විශාල අසල්වැසියකු වන ඉන්දියාව ළඟ තබාගෙන පූර්ණ ලෙස ඔහුට චීනය දෙසට හැරිය නොහැකිය. අනෙක් පැත්තෙන් ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් (අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස පිළිබඳ මූලික අයිතිය පිළිගැනීම) පිළිනොගෙන ආණ්ඩුවට ඇරඹුමට යුරෝපය තුළ සුජාත විය නොහැකිය. කෙටියෙන් කිවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්රජාතන්ත්රවාදය රහිත ධනවාදී ආණ්ඩුවක් (චීනය සහ මහින්ද මෙන්) පවත්වාගෙන යා නොහැකිය. මතවාදී තලයේ දී ඔහුට තම විරුද්ධවාදීන්ට ප්‍රතික්‍රියා තුනක් ආරෝපණය කළ හැකිය. ඔහුට මහින්දට විරුද්ධව ත්‍රස්තවාදය පාවිච්චි (මතවාදී අර්ථයෙන්) කළ හැකිය. පක්ෂය තුළ සිටින මහින්දවාදීන්ට Hit and Run යොදා ගත හැකියි. UNPයට විරුද්ධව පන්ති අරගලය ‘සාම්ප්‍රදායික යුද්ධය’ හරහා ඉදිරියට ගෙන යා හැකිය. ලෝක භූ දේශපාලනය වෙනස් වන තුරු LTTEය සිංහල දේශපාලනය සමඟ ගැටුනේ ඉහත උපක්‍රම තුන හරහාය. ඔවුන් පරාජය වූයේ මතවාදී තලයේ දයලෙක්තික ස්වභාවය කළමනාකරණය නොකළ නිසාය. LTTEයට මෙන්ම දැනට තිබෙන තත්ත්වය තුළ මෛත්‍රීපාල ජනාධිපතිවරයාටත් වෙන කරන්නට දෙයක් නැත. ඉතිරි කොටස දෛවයට භාර දිය හැකිය.