මරිය සිලෝනිකා වස්තුව – පී. බී. ජයසේකර
මරියා සිලෝනිකා වස්තුව නව කතාවේ කේන්ද්‍රීය පුවත ක්ෂතිමය (traumatic) අවස්ථාවකි. මෙහි ප්‍රධාන චරිතය වූ කරුණාපාල වාම ක්‍රියාධරයෙකි. ඝාතන ප්‍රයත්නයකදී ඔහුගේ සටන් සගයා වෙඩි වැදී මිය යයි. වෙඩි වැදී මියෑදෙන මිතුරාගේ අවසන් ඉල්ලීම වූයේ තමා සමඟ පැවති පෙම් සබඳතාව නිසා ගැබ්ගෙන සිටින එක්තරා තරුණියක රැක බලා ගන්නා ලෙසය. බොලිවුඩ් සිනමා පටයක අනුවේදනීය අවස්ථාවක් සිහියට නංවන එම සිදුවීම එළිදරව් කෙරෙන්නේ කතාවේ අවසානයට වුවත් සමස්ථ කතාවම වියෙන්නේ ඒ වටාය.
ස්ලැවෝජ් ජිජැක්ට අනුව හිට්ලර් ගේ ජන ඝාතනය (Holocaust) නවකතාවට නැගීම දුෂ්කරය. මන්ද එම ඝාතන සිදුවීම ක්ෂතිමය අවස්ථාවක් වන බැවිනි. එලී වීෂල් (Elie Wiesel) පවා හිට්ලර්ගේ යුදෙව් ජන සංහාරය ගැන නවකතා ලිවිය නොහැකි බව අදහයි. ජිජැක් මෙහිදී යෝජනා කරන්නේ ක්ෂතිමය අත්දැකීමක් ලිවිය නොහැකි වුවත් නිරූපණය (represent) කළ හැකි බවය. මේ නිසා හිට්ලර්ගේ ඝාතන ගැන ලියැවී ඇති නවකතාවලට වඩා ඒවා ප්‍රස්තුත කර ගත් සිනමා පට හැම විටම සාර්ථක වී ඇත.
එහෙත් එබඳු නවකතාවක ආඛ්‍යානය (narration) නිරූපණ ශෛලියක් ගැනීමෙන් තත්ත්වය වෙනෙස් විය හැක. බර්නාඩ් ෂ්ලින්ක්ගේ (Bernard Schlink) The Reader නවකතාවට වඩා ඒ ඇසුරෙන් නිපැයූ සිනමා පටය සාර්ථක වන්නේ නිරූපණය (representation) හේතුවෙනි. පී. බී. ජයසේකර මරියා සිලෝනිකා ලියද්දී නවකතාව තුළට නිරූපණය කැඳවීමේ දී දක්වන ශිල්පීය සුවිශේෂ බව ප්‍රශස්තය. සිනේමතික සංවේදිතාව (Cinematic Sensibility) තීව්‍ර කිරීම සඳහා භාවිතා වන සමෝධානය (Montage), අතීතාවර්ජන (Hashbacks), අනාගතය පිළිබඳ පරිකල්පන (imaginary the future), දෘශ්‍ය මායාවන් (visual hallucinations) ආදී වූ උපායන් ඔහු තම නවකතාවේ ආඛ්‍යානය තුළට කැඳවයි. සැබවින් ම මරියා සිලෝනිකා අතිශය ජනප්‍රිය නවකතාවක් බවට පත්වන්නේ මක්නිසාද යන ප්‍රශ්නයට පිළිතුරක් එහි ඇත.
මරියා සිලෝනිකා ජනප්‍රිය නවකතාවක් වන්නේ ඒ නිසා පමණක් නොවේ. එයට වඩාත් හේතුවන්නේ එහි කතා ප්‍රවෘත්තිය (Plot), සහ චරිත අතර ඇති භාවාතිෂය වූ (අ) සම්බන්ධතාවයයි. (මෙහි ‘අ’ මම වරහන් තුළ ලා යොදන්නේ එය අසම්බන්ධ සම්බන්ධයක් වන බැවිනි.) මෙම නවකතාවේ කතා නායකයා වූ කරුණාපාල විප්ලවවාදී දේශපාලනයක නිරත වන්නෙකි. ඔහුගේ ඇදහිල්ල චේ ගුවේරාය. එහෙත් ඔහු වූ කලී තමාගේම ජීවිතයෙන් විගලිත (alienated) වූවෙකි.
විගලිත බව (alienation) යන මාක්ස්යානු සොයා ගැනීමකි. කම්කරුවා තම ශ්‍රමයෙන් විගලිත වීම එහි දේශපාලනික කියවීමය. එහෙත් විප්ලවීය දේශපාලනයක් කරන්නෙකු තමාගේ ජීවිතයෙන් විගලිත වීම අප තේරුම් කරන්නේ කෙසේ ද? ඔහු එවිට තමාට ජීවිතය සමග ඇති ආත්මීය සබඳතා ප්‍රතික්ෂේප කරයි. ජීවිතය යනු ඔහුට තමාගේ දේශපාලනය විසින් ශික්ෂණය කරනු ලබන පැවැත්මකි. කෙටියෙන් කිවහොත් පක්ෂය (දේශපාලනය) ඔහුට තම ආත්මීය පැවැත්මෙන් පරාරෝපණය වන ලෙස බලකරයි.
මරිය සිලෝනිකා හි සිදුවීම් පෙළ ගැසෙන්නේ පහත සඳහන් පරිදිය. තම සටන් සගයාගේ අවසන් ඉල්ලීමට අවනත වෙමින් ඔහු අතින් අනාථ වූ තරුණිය කරුණාපාල විවාහ කර ගනී. නිසැකව ම ඇය රූමතියකි. තම සටන් සගයාට දාව ඇයට උපදින විකෘති දැරිය ඔහු ආදරයෙන් රැක බලා ගනී. ඇය දැරිය පිළිකෙව් කරයි. ඇගේ අශ්ලීල ජීවිතය ඔහු ඉවසයි. කතාව අවසානයේ ඉඟිකරන පරිදි ඔහු අවුරුදු 15 ක් තිස්සේ ඇය සමඟ ලිංගික සබඳතාවක් පවත්වා නැත. ඝනුත් උපන්නේ ඔහුට දාව යයි විශ්වාස කරන්නේ නම් ඔහු තම බිරිය සමග ලිංගිකව එකතුවීම ඝනුත් පිළිසිඳ ගැනීමෙන් අවසන් විය යුතුය.
චරිත නිරූපණයේ දී ධ්‍රවී කරණය වන ආඛ්‍යානික ගොඩ නැඟීම අනුව ප්‍රකාශ වන එම ගැහැණියගේ ආන්තික ගති ස්වභාවයන් ඉදිරියෙන් කරුණාපාල නොසැලී සිටී. ඇය පිලිකා රෝගයකින් ඔත්පලව ඇට සැකිල්ලක් බවට පත්ව සිටියදී ඔහු ඇගේ මළ මුත්‍ර පවා පිළිකුල් නොකොට රැක බලා ගනී. මේ කවර නම් වූ සත්වයෙක් ද? ඔහු පෙරුම් පුරන බෝධි සත්වයෙකි. නවකතාකරුවාගේ මේ රූකඩ නිරූපණය දේශපාලනික අන්ධයින් ආලෝලනය කරයි.
විමුක්ති යනුවෙන් නම් තබා ඇති විකෘති දැරිය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සංකේතවත් කරන්නේ යයි කෙනෙකු කරන විග්‍රහය මගේ කන වැකී ඇත. එක් අතෙකින් එහි වරදක් නැත. ඔහුගේ දේශපාලනය ජේ.වී.පී. දේශපාලනය නම් කොතෙක් විකෘති ස්වභාවයෙන් දුබලව සිටියත් දැරිය ආදරයෙන් රැක බලා ගැනීම තුළ එබඳු දේශපාලනික කියවීමක් කරා එළඹීමට කෙනෙකුට පිළිවන. ඇගේ සමහර ශරීරාංගයක් කෙනෙකු තුළ රාගික හැඟීමක් ජනිත කරවන තරම් වන ලෙස වැඩී ඇත. අජිත් නමැති අප කතා නායකයාගේ ම මිතුරකු අතින් දැරිය අතවරයට ලක් වූ විට ඇය නිතර නගන ගුම් ගුම් නාදය නතර වේ. අප මිතුරා ගේ කියවීම අනුව අජිත් ගේ අතවරය ජේවීපී ය මර්දනය කළ අවස්ථාවක් ද? ඇගේ යම් ශරීරාංගයක වැඩීම ජේ.වී.පී. දේශපාලනය ඉතිහාසය තුළ කැපි පෙනුන අවස්ථාවන් ද?
එහෙත් එබඳු කියවීමකින් වුවත් නවකතාකරුවා ඔහුට තම චරිත ගොඩ නැගීෙම්දී පෙන්වන ආන්තික පක්ෂපාති බවින් නිදහස් විය නොහැක. ඇත්ත. විප්ලවකාරී දේශපාලනය කෙනෙකුට යම් සුවිශේෂ ශික්ෂණයක් සපයනවා විය හැක. ඔහු දේශපාලනය අත්හැර ජීවිතය ගොඩනගා ගැනීමට වෙහෙසවීමේදී පවා එම ශික්ෂණය ඔහුට උපකාරි වේ. අශෝක හඳගමගේ ඉනි අවන් සිනමා පටය තුළ නිරූපණය වූයේ එබඳු චරිතයකි.
එහෙත් මරියා සිලෝනිකා හි කරුණාපාල තුළින් බෝධි සත්ව ගුණ ඉස්මතු කර පෙන්වීම එබඳු ශික්ෂණයක් ප්‍රකාශනයකට වඩා ඕලාරික වූ එළඹීමකි. මෙම නවකතාවේ 51 පිටුවේ මෙසේ ලියැවේ.
“ඉක්බිතිව යළිත් තෙත් කර ගත් බැනියමින් ඔහු ඇගේ ගිනි පිට කරන ළැම තෙත් කරන්නට වූවේය. ඇගේ වයස යාම හා සිදුවන එකම ශරීර වෙනස ඇගේ ළැම උස්වීම පමණි. මෙය ඔහුට භීතිය ගෙන දෙන්නකි. කාම උමතුන් ට ඉඳුරන් උපකරණ පමණි.”
කරුණාපාල මේ විස්තර කරන්නේ විමුක්තිගේ වැඩෙන ළැම පිළිබඳවය. අජිත් නමැති ඔහුගේ මිතුරා හදිසියේ ඇගේ ළැම පෙදෙස දකී. පසු අවස්ථාවක ඔහු ඇයට අතවර කිරීම තුළ නවකතාකරුවා අපට කියන්නේ අජිත් කාම උමතුවෙන් පෙළෙන්නකු බවද? එම අවස්ථා නිරූපණය කරුණාපාල අන් අයගෙන් වෙන්කොට සාධු චරිතයක් බවට ඔසොවා තැබීමේ බොළඳ ප්‍රයත්නයක් ලෙස මම දකිමි. විප්ලවවාදීන් යනු කාමාශාව ප්‍රහීණ කළ ඊර්ෂ්‍යාව දුරින් දුරු කළ බෝසත්වරුන් යයි අදහන ලෙස නවකතාකරුවා අපට බල කරයි. එය වූ කලී නවකතාකරුවාගේ ආඛ්‍යානික ශිල්ප විලාසිතාවේ අගය හීන කරණ පැතලි චරිත නිරූපණයක් මිස අන් යමක් නොවන බව නොකියා නොහැක
සමන් වික්‍රමාරච්චි
Silumina