ගස් වැන් සාන්ට් [Gus Van Sant ]අධ්‍යක්ෂණය කළ “Elephant” (2003) චිත්‍රපටය පිළිබඳව අපි මීට පෙර ද විවිධ මානයෙන් සාකච්ඡා කර ඇත්තෙමු. මෙම චිත්‍රපටය පැරණි එක්ස් කණ්ඩායමේ සාමාජිකයින්ට නිර්දේශිත චිත්‍රපටයක් ලෙස ද නම් වී තිබිණි. “Elephant” චිත්‍රපටයේ නිරූපණය වනු ලබන්නේ උසස් විද්‍යාල ශිෂ්‍යයින් දෙදෙනෙකු විසින් සිදු කරනු ලබන අතාර්කික හිංසනයකි. එදිනෙදා ජීවිතය තුළ මෙන් ම දේශපාලනය තුළ ද හිංසනය නිතර අත් දකින්නට ලැබෙන වකවානුවක එම චිත්‍රපටය පිළිබඳ නැවත විග්‍රහයක යෙදෙන්නට අපි අදහස් කළෙමු. ඒ සඳහා “Elephant” චිත්‍රපටයේ කතා වස්තුව සැකෙවින් විමසා බලමු.

උසස් පාසල් ශිෂ්‍යයෝ දෙදෙනෙක් වන ඇලෙක්ස් (ඇලෙක්ස් ෆ්‍රොස්ට්) හා එරික් (එරික් ඩෙඋලන්) පාසලේ ඇතැම් ශිෂ්‍යයන් අතින් නිතර රැවටීමට ලක් වෙති. පසුව ඔවුන් දෙදෙනා පාසලේදී සමූහ ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කරති. ඔවුන් ආයුධ රැගෙන පාසලට පැමිණෙන අයුරු දකින ඔවුන්ගේ මිතු‍රෙකු වන ජෝන් (ජෝන් රොබින්සන්) ඒ පිළිබඳව ඔහුට හමු වන සියලු දෙනාට අනතුරු හඟවන නමුත් බහුතරයක් දෙනා ඔහුගේ හඬට ඇහුම් කන් නො දෙති. ආයුධ සන්නද්ධව පාසලට ඇතුළු වන ඇලෙක්ස් හා එරික් පාසලේ විදුහල්පතිවරයා (මැට් මැලෝයි) ඇතුළුව ඔවුන්ට මුණ ගැසෙන සියලු දෙනා වෙඩි තබා ඝාතනය කරති. චිත්‍රපටය අවසානයේ ඇලෙක්ස් එරික් ව ද ඝාතනය කරයි.

චිත්‍රපටය මඟින් මතු කරන ගැටලුව අපට මෙසේ ලිවිය හැකි ය. උසස් පාසැලක ශිෂ්‍යයින් පිළිබඳ කතාවක් එක් වරම ඛේදවාචකයක් බවට පත් වූයේ ඇයි? එය වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් බෙලහීන ශිෂ්‍යයන් දෙදෙනෙකු එක් වරම කෲර ඝාතකයින් දෙදෙනකු බවට පත් වූයේ කෙසේ ද? “Elephant” චිත්‍රපටයට අප බැඳෙන්නේ ආත්මීයව වුව ද චිත්‍රපටය මඟින් මතු කරන ඉහත ගැටලුව නිසා චිත්‍රපටයට සමාජීය මානයක් ඇති බව ද ප්‍රේක්ෂිකාව ට වටහා දෙයි. එමඟින් අද පවා අපට නිතර අසන්නට ලැබෙන ඇ‍මෙරිකානු තුවක්කු සංස්කෘතිය සම්බන්ධ අනපේක්ෂිත සිදුවීම් සඳහා ද පිළිතුරක් ගොනු කර ගත හැකි ය. ඇලෙක්ස් හා එරික් යනු භෞතික අඩුපාඩු සහිත ශිෂ්‍යයන් දෙදෙනෙකු නොවේ. ඔවුන්ගේ අඩුව පවතින්නේ අධ්‍යාත්මික තලයේ ය. නිදසුනකට තමාව කිසි විට කිසිවෙකු සිප ගෙන නොමැති බව එරික් ඇලෙක්ස්ට පවසන ආකාරය අපට දකින්නට ලැබේ. ඔවුන්ගේ ආත්මමූලිකත්වය බිහි වන්නේ එම අඩුව තුළ ය. එහෙත් සුඛපරමවාදය හඹා යන සමාජයක සිටින අපට මෙවැනි ආත්මමූලිකත්වයක් ආගන්තුක ලෙස හැඟෙන අතර ඒ පිළිබඳ අප හඳුනා ගන්නේ මෙවැනි ඛේදවාචකයකින් පසුව ය. “Elephant” චිත්‍රපටය අපට ප්‍රහේලිකාවක් ලෙස හැඟෙන්නේ ද එබැවිනි. චිත්‍රපටය නරඹන අපට “කුමක් ද මේ සිදු වූයේ“ කියා වික්ෂිප්තව බලා සිටින්නට පමණක් සිදු වේ. මෙහි කැමරාව බොහෝ විට වස්තුව ලුහුබැඳ යයි. එය ආසන්න වන්නේ වීඩියෝ ක්‍රීඩා ව්‍යුහයකට ය. සාමාන්‍ය චිත්‍රපට කැමරා භාවිතාවේ දී මෙන් ආත්මීය දෘෂ්ටිකෝණය හා වාස්තවික දෘෂ්ටිකෝණය අතර රූප සමෝධානය මෙහි දී සිදු නොවේ. ඒ වෙනුවට මෙහි දී සිදු වෙමින් පවතින්නේ කුමක් ද යන්න නිරූපණය වේ. එම යාන්ත්‍රණය නිසා ඝාතන රැසක් සිදු වූව ද ප්‍රේක්ෂිකාව තුළ වික්ෂිප්තභාවයක් මිස සන්ත්‍රාසයක් (Horror) ඇති නොවේ. එනම්, චිත්‍රපටයේ කැමරා භාවිතය මඟින්  එක් වරම අප චිත්‍රපටය ට සමීප කරවන අතරම අප ඉන් දුරස්ථ ද කරවයි.

චිත්‍රපට න්‍යායාචාර්ය නොයෙල් කැරොල් ට අනුව සන්ත්‍රාස චිත්‍රපටයක සිදු වන්නේ ප්‍රේක්ෂිකාවගේ භාවයන් පාත්‍ර වර්ගයාගේ භාවයන්ට සමාන්තරව ගමන් කිරීම ය. නමුත් “Elephant” චිත්‍රපටයේ එවැන්නක් සිදු නොවේ. ගස් වැන් සාන්ට් මේ සඳහා යොදා ගන්නා තාක්ෂණය වන්නේ චිත්‍රපටයේ සැබෑ කෲරබව නිර්මාණය කිරීම මඟින් ප්‍රේක්ෂක අපගේ පවතින බුද්ධිහීනභාවය (සමාජීය නොදැනුවත්භාවය) හෙළිදරව් කිරීම ය. අලියා (elephant) නමැති රූපකය මෙය ට අදාළ වන්නේ සමාජය නමැති ප්‍රපංචය පිළිබඳ අපගේ පවතින සද්භාවාත්මක අසම්පූර්ණතාවය නිසා ය. මන්ද යත් අන්ධයෙකු අලියෙක් විග්‍රහ කරන්නේ අලියා පිළිබඳ තමන්ට සංජානනය වන ප්‍රමාණය ට අනුව ය. එ පරිදිම අප සමාජය විග්‍රහ කරන්නේ අපට සමාජය පිළිබඳ හැඟෙන ප්‍රමාණය අනුව ය. එබැවින් මෙම චිත්‍රපටය මඟින් අප වටහා ගත යුත්තේ සමස්ත සමාජය නිර්මාණය වන්නේ සමාජය පිළිබඳ අපගේ සංජානනය මඟින් නොව අපගේ නො දැනුවත්භාවය මඟින් වන බව ය. එවිට අලියා නමැති රූපකයේ කෲරභාවය පවතින්නේ පරාරෝපණය හා ව්‍යාකූලතාවය මත ය.

නමුත් මෙම කෲරභාවය නමැති කාසියේ අනෙක් පැත්තේ පවතින්නේ ඇමෙරිකානු ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති පුද්ගල නිදහස ය. ඇ‍මෙරිකානු ව්‍යවස්ථාවේ දෙවන සංශෝධනයට අනුව පුද්ගලයාට ආයුධ දැරීමේ අයිතිය තහවුරු කර තිබේ. ඒ සඳහා මූලිකව බලපා ඇත්තේ 1689 දී ඉංග්‍රීසි නීතියට එක් වූ අයිතිවාසිකම් පිළිබඳ පනත (bill of rights) යි. එමෙන්ම අප අමතක නො කළ යුත්තේ ඇ‍මෙරිකානු ආර්ථිකය යනු මුල් පදිංචිකරුවන් පළවා හැර බැහැරින් පැමිණි පදිංචිකරුවන් විසින් ගොඩ නඟනු ලැබූ ආර්ථිකයක් බව ය. ඒ අනුව මුල් පදිංචිකරුවන්ගෙන් පැමිණිය හැකි තර්ජන හා සංවිධානාත්මක අපරාධ කල්ලි වලින් එල්ල වන තර්ජන ද මෙම ආයුධ දැරීමේ අයිතිය සඳහා පාදක වී ඇත. එහෙත් අද වන විට නීතිය ක්‍රියාත්මක වන පරිසරයක් තුළ ද මෙම තුවක්කු දැරීමේ අයිතිය නිසා ඇමෙරිකාව තුළ විශාල ගැටලු ගණනාවක් පැන නැඟී ඇත.

“Elephant” චිත්‍රපටයේ ඒ ආකාරයෙන් තුවක්කු භාවිතා කරමින් කෲරතර වන්නේ බෙලහීන ශිෂ්‍යයන් දෙදෙනෙකි. මෙහි දී බෙලහීන යන වචනය භාවිතා වන්නේ ලිංගික බෙලහීනතාවය නමැති අරුතින් නොව අඩු පෞරුෂ වර්ධනය හා සමාජීය බෙලහීනතාවය නමැති අරුතිනි. ඔවුන් සිතන්නේ ඔවුන් කැරැල්ලක් ආරම්භ කර ඇති බව ය. ඔවුන් පණ පොවන්නේ සමාජ ශෝධකයින්ගේ භූමිකාවට බව ය. එම අර්ථයෙන් මෙම චිත්‍රපටය නැරඹූ පැරණි එක්ස් කණ්ඩායමේ සාමාජිකයින් විසින් 2004 හා 2014 වසරවල දී ඇති කරනු ලැබූ කැරලි විමසන විට ද අද වන විට සනාථ වන්නේ ඔවුන්ට මෙම චිත්‍රපටය වැටහී නොමැති බව ය. මන්ද යත් එම කැරලි ද බෙලහීන ඇලෙක්ස්ගේ හා එරික්ගේ කැරැල්ල හා සමපාත වන හෙයිනි. ඔවුන්ගේ එම ක්‍රියා ජිජැකියානු ක්‍රියාවක් (Zizekian Act) ලෙස බොහෝ දෙනා වරදවා වටහා ගනියි.

“Better to do nothing than to engage in localized acts whose ultimate function is to make the system run more smoothly. The threat today is not passivity, but pseudo-activity, the urge to “be active”, to “participate”, to mask the Nothingness of what goes on. People intervene all the time, “doing something”; academics participate in meaningless “debates,” etc.; but the truly difficult thing is to step back, to withdraw from it all. Those in power often prefer even “critical” participation or a critical dialogue to silence, since to engage us in such a “dialogue” ensures that our ominous passivity is broken.”

නමුත් වර්ෂ 2018 සිට නැවත ඒ දෙස හැරී බලන විට පෙනී යන්නේ සිදු ව ඇත්තේ ජිජැකියානු ක්‍රියාවක් නොව ලෝකය පිළිබඳ තමන්ට ඇති අවබෝධය මඟින් ඊට මැදිහත්  වීමට හැකි අවකාශයක් තමන්ම නිර්මාණය කර ගැනීමක් බව ය. නමුත් ජිජැකියානු ක්‍රියාව යනු දී ඇති සංකේතීය විශ්වය තුළ විය නො හැකි ලෙස පෙනෙන නමුත් අවසානයේ එහිම තත්වයන් වෙනස් කර දමන්නකි. ඒ අනුව එය පසුආවර්තිතව එහිම වියහැකියාව පිළිබඳ තත්වයන් නිර්මාණය කරයි. මෙම ක්‍රියාව මඟින් පූර්ණ නිදහස, කොන්දේසි විරහිත අවශ්‍යතාවය සමඟ සමපාත වන මොහොතකට ඉඩ විවර කරන අතරම එය ආත්මය තම පැවැත්ම හා අර්ථය අතර අත්හිටුවීමක මොහොතකට ද විවර වෙයි. එබැවින් එම ක්‍රියාව යනු ප්‍රතිඵල පිළිබඳ උපායමාර්ගික ගණනය කිරීම් හා සිතා බැලීම් වලින් තොර එකකි. එය නීතියේ සීමාවන්ට ඔබ්බෙන් යාම සඳහා තමන් වඩාත් වටිනා ලෙස සලකන දේ කැප කිරීමක් වන නමුත් අනෙකාගේ පිළිගැනීම අපේක්ෂාවෙන් සිදු කරනු ලබන ක්‍රියාවක් නොවේ.

මෙම ජිජැකියානු ක්‍රියාව යනු සියලු සබුද්ධික මිනුම් දඞු මඟ හැර යන සබුද්ධික නො වන අභිනයක් ද නොවේ. එය විමසා බැලිය යුත්තේ  විශ්වීය සබුද්ධික මිනුම් දඞු මත ය. මන්ද යත් එය විනිශ්චය කරන මිනුම් දඞු එම ක්‍රියාව මඟින්ම වෙනස් වීමකට ලක් වේ. එය යථාර්ථයට මැදිහත් වීමකට වඩා යථාර්ථය ප්‍රතිඅර්ථ දක්වයි. ජිජැක්ට අනුව වර්තමාන දේශපාලන ක්‍රියාව විය යුත්තේ වෙනසක් පිළිබඳ යෝජනා කරන ධනාත්මක න්‍යාය පත්‍රයක් නොව පවතින සංකේතීය පිළිවෙළ නවතා දැමීමකි. ජිජැකියානු න්‍යාය හා “Elephant” චිත්‍රපටය මඟින් අප වටහා ගත යුත්තේ 2004 හා 2014 සංවිධානයේ සිදු වූ දෙදරීම් (ඔවුන්ට අනුව විප්ලවීය ක්‍රියා) සැබෑ ක්‍රියා නොව ඇලෙක්ස් හා එරික්ගේ ක්‍රියා මෙන් ඔවුන්ගේ රෝග ලක්ෂණ (symptom) හා සම්බන්ධ වූ ක්‍රියා බව ය. එනම්, එය තම රෝග ලක්ෂණ හා සුපිරි අහමේ මල පුඞුව තුළ සිර වීමකි. මන්ද යත් ඉහත කැරලි වලින් පසු අපට දකින්නට ලැබෙන්නේ මුහුණුපොතේ දේශපාලනය කරන්නන් හා බිරින්දන් ගේ විධාන මත මුනිවත රකින්නන් පිරිසක් වන බැවිනි.

හරිම අහිංසක මුහුණක්

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

ඔබේ අදහස කියන්න...