පශ්චාත්-නුතන තත්වය තුල වැඩ වර්ජනය කරන පුද්ගල කණ්ඩායම් වන්නේ මාසික වැටුප් ලබන්නන්ය. තවදුරටත් කම්කරු පංතිය වැඩවර්ජනය කරන්නේ නැත. ලංකාවේ සැබෑ කම්කරු පංතිය විගාමිකය. ලෝක ශ්‍රම විභාජනයට අනුව මාර්ක්ස්මය අර්ථයකින් කම්කරුවන් සිටින්නේ චීන නිෂ්පාදන මාදිලිය තුලය. චීන ප්‍රාග්ධනයේ පාලකයා චීන කොමියුනිස්ට් පක්ෂය නිසා ”කොමියුනිස්ට්” යන වචනය අලුතින් නිර්වචනය කිරීමට සිදුවී ඇත.

ලංකාවේ කම්කරුවන් දැන් සිටින්නේ සේවා ආර්ථිකය තුලය. (Food city , Keels , Pizza Hut , Mac Donald’s, KFC ) මේ අයව සංවිධානය කිරීමට තවම වාමාංශික පක්ෂයක් සුදානම් නැත. දැනට ලංකාවේ සිටින මාසික වැටුප් ලාභී වැඩ වර්ජකයන් වනාහී ලංකාවේ සමාගම් සහ ගෘහ සේවිකා ප්‍රාග්ධනය සුරාකන්නන්ය. සරළව කිවහොත් ජවිපෙ සහ එම තාලයේ සංවිධාන සංවිධානය කරන්නේ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ගුරුවරුන් සහ එහි සේවකයන් , ජල සම්පාදන මණ්ඩලය , විදුලි බළ මණ්ඩලය, Telecom යන ආයතනවල සේවය කරන්නන්ය.
( මෙයට දේශීය ආදායම් බදු නිළධාරීන් දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුලත් කලයුතුය )

මේ අය සුරාකන්නේ ලංකාවේ ධනපති සමාගම් විසින් රාජ්‍යයට ගෙවන බදු මුදල්ය. මිලියන 6ක් පමණ රාජ්‍ය නොවන ශ්‍රමිකයන්ගේ ආදායමෙන් කොටසක්ද සුරාකන්නේ මේ අයය. මන්ද රාජ්‍යය ආදායම සපයන්නේ මේ අය නිසාය.( ත්‍රී රෝද රථ වලට ගෙවන බදු මුදල්ද මෙයට ඇතුලත්ය )

මේ හේතුව නිසා පශ්චාත්-නුතන ලාංකීය සමාජීය සුරාකෑමේ ව්‍යුහය රූපාන්තරණය වී ඇත. පොහොට්ටුව නැමති දේශපාලන සාධකය අමතන්නේ මෙම නව නිර්ධන පන්තියටය. මොවුන් වනාහී මාසික වැටුප් ලබන්නන් නොවේ. අනුන්ගේ DATA වලින් ජාති වාදයට කඹුරන තක්කඩින් වනාහි සුරාකන්නන්ම පමණි. ඊට අමතරව පවතින තත්වය සමග ව්‍යාජ අාතතිගත සම්භන්ධයක් පෙන්වන ප්‍රධාන සමාජ ක්‍රියාකාරීන් වන්නේ පහල මැද පාන්තික වාමාන්ශිකයන්ය. තමන්ගේ නඩත්තු මුදල ග්‍රාමීය විජේවීරවාදයේ ගුප්තකම නමැති අයිස් වතුරේ ගිල්වා දමා මොවුන් කදිම සුරාකෑමේ සූත්‍රයක් සොයාගෙන ඇත.

බාහිරින් පෙනෙන මුස්පේන්තු සහ අළු පැහැති අඳුරැ අවකාශ සහ ගාලුපාරේ දුවන ටොයෝටා hybrid මෝටර්රථ අතර දිදුළන පරතරය තවම කිසිදු මාක්ස්වාදියකු සොයාගෙන නැත.

ධනවාදය තුල මේ අපුරු වාමාංශිකයන් ප්‍රාග්ධනයේ අලුත් අත්තිවාරමක් සොයාගෙන ඇත. මාක්ස් සොයාගත්තේ මිනිස් ශ්‍රමයම එහි සමාජ මර්ධන ව්‍යුහය ගොඩනගන ආකෘතියයි.

මොවුන් සොයාගෙන ඇත්තේ ”මාක්ස් ගේ නම”-Name of the Marx- මගින්ම ගොඩනැගිය හැකි ප්‍රාග්ධන ප්‍රමාණය කොතරම්ද යන්නය .

ඔබේ අදහස කියන්න...