නුරාධ දිසානායක නම් Youtuber විසින් ආරම්භ කරන ලද ‘Liquids  show’ නම් වැඩසටහන් මාලාව විසින් 90 දශකය අග එක්තරා මතකයක් අලුත් කරවයි.  ‘බොනවා කියන’ ප්‍රශ්නය දෙස ඔහු දාර්ශනික බැල්මක් හෙළයි. අනුරාධගේ සටන් තේමාව 90 දශකය අග භාගයේ X කණ්ඩායමේ ඓන්ද්‍රීය සාමාජික සාමාජිකාවන්ට අමතක වීමට නො හැකිය. ගැටලුව  මෙසේ නැවත සූත්‍රගත කළ හැකිය. සංස්කෘතිකව බොන්න මිනිස්සුන්ව පුහුණු කළ හැකිද?

අනුරාධගේ තේමාවන් මෙසේය. ලංකාවේ තිබෙන හොඳම අරක්කු Brands මොනවාද? කටට ගන්න shot එක එකපාරට  ගිල දාන්නේ නැතිව කට තුළ ටිකක් රදවාගෙන එහි taste එක දිවට සහ තල්ලට දැනෙන්නට හැරිය විට ඔබ මත්පැන් පිලිබඳ විචාරකයෙක් බවට පත්වනු ඇත. ඊළඟට තමන් බොන්න යන මත්පැන් වීදුරුව බීමට පෙර නහයට ටිකක් සමීප කොට එහි සුවඳ  ආග්‍රහණය කිරීමෙන් ඔබගේ දෙවන සංඥා පද්ධතියේ ගඳ, සුවඳ දියුණු වනු ඇත. මින් අදහස් වන්නේ බීමේදී වෙරිය යනු රසය සහ සුවඳ  ඉදිරිපිට ද්විතීක අතුරු සාධකයක් බවයි. cocktail යනු සැර බීම වර්ගවල (අරක්කු සිට විස්කි දක්වා පවතින ධූරාවලිය) ධූරාවලිය සහ බල ව්‍යුහය කඩා බිඳ දැමිය හැකි  ආකෘතියකි. cocktail සැරබීම සතු හෙජමොනිය බිඳ දමයි. අනෙක් අතට cocktail හරහා සැරබීම ස්ත්‍රීකරණයක් කළ හැකිය. නමුත් සංස්කෘතිය හරහා සැරබීම ආශ්‍රිත පන්ති බල සබඳතා වෙනස් කළ හැකිද? ඉතාම ඉහළ මිල ගණන්වලට නිපදවන සැරබීම-single malt- යනු සමාගම් විසින් නොව පවුල් ව්‍යාපාර විසින් නිපදවන ඒවාය. මේ හේතුව නිසා ඉහළ ධනපතියන් පාවිච්චි කරන මත්පැන්වල සැර ගතිය සහ විෂ ගතිය හැකිතාක් අඩුකර ඇත. බීම වර්ගවලට හිමි වර්ණය  අනුව ( දිව,තල්ල,නාසය සහ ඇස ) ඒවා ඇස් ඇරගෙන පානය කළ හැකිය.

 අනුරාධගේ ගැටලුව X කණ්ඩායමේ දෘෂ්ටිකෝණයෙන් ගත් විට පැරණිය. X හි එක් මුඛ්‍ය දේශපාලන අරගලයක් වුයේ සංස්කෘතිය හරහා මිනිසුන් ශික්ෂණය කළ හැකිද යන්නය. අද දවසේ සමහර හිටපු X සාමාජික සාමාජිකාවන්ගේ ශරීර සහ පවුල් දෙස බැලූ විට අපට දෘශ්‍යමාන වන්නේ එය කෙතරම් මනෝරාජික ද යන්නය. කෙනකුගේ පන්තිය සංස්කෘතිය නම් එන්නත විදීමෙන් වෙනස් කළ නොහැකිය. ඒ අර්ථයෙන් අනුරාධගේ අධ්‍යාශය නිරර්ථකය. මිනිසුන් වෙනස් කළ හැක්කේ පන්ති අරගලය හරහා මිස සංස්කෘතිය හරහා නොවේ. උදාහරණයක් ලෙස මර්වින් සිල්වාව හෝ කල්යානන්ද පෙරේරාව සංස්කෘතික බිමකට පරිවර්තනය කළ නොහැකිය. එසේ වන්නේ මන්ද?

          පැරණි X කණ්ඩායමේ සංස්කෘතික දේශපාලකයන්ට  මෙන්ම නව පරපුරේ අනුරාධට ද නො වැටහෙන්නේ මිනිසුන්ට අවිඥානය කියා දෙයක් තිබෙන බව යි.

          ඉන්දික ගුණවර්ධන නම් මියගිය කවියා අධික ලෙස බීමතින් නිවසට යනවිට පාරේ ලැග සිටින දඩාවතේ යන බල්ලන්ව ද නිවසට රැගෙන යයි. ඉන්දික යනු සිහිය නැති වන තුරු බොන මිනිසෙකි. X කණ්ඩායමේ සිටි තවත් පැරණි භක්තිමත් වාමාංශිකයකු හොඳට බී ගෙදර යන විට තරුණ සගයෙක්වද නිවසට රැගෙන ගියේ නින්ද ගිය පසු තම බිරිඳගේ කකුල අතගාවන්නටය.ඔහු ප්‍රමෝදයට පත් වූයේ තම බිරිඳ වෙන කෙනෙකු හරහා ලිංගික සතුට ලබන විටදී ය.

Look Like a Flower.

             මිනිසුන් සිහිය නැතිවන තුරු බොන්නේ ඉන්පසු උදා වන වසන්තය නිසා ය. මේ වසන්තය යනු අවිඥාණයයි. කල්යානන්ද පෙරේරාගේ සිහිය අඩු වන විට ඔහුගේ හිස මතට  තමන් මත්පැන් පානය කළ වීදුරුව එයි.ඔහුගේ සමීප සගයන්ට අනුව ඒ ඔහුගේ අව්‍යාජත්වයයි. (Authenticity).

             සාහිත්‍ය විචාර, කාව්‍ය විචාර, නාට්‍ය විචාර, සිනමා විචාර මැදට දැන් youtuber ලා මත්පැන් විචාර, ආහාර විචාර, නවාතැන් විචාර ද රැගෙන විත් ඇත. නමුත් X  කණ්ඩායම නොදැන සිටි තත්ත්වයක් පෙරටුගාමී පක්ෂයට අවබෝධ වී ඇත. මේ අව්‍යාජත්වය සමග ධනවාදයට ඇති සම්බන්ධය කුමක්ද?

          අනුරාධ තම වැඩසටහන්වල දී  නිතර කියන, කියවෙන ප්‍රකාශයක් මෙසේ ය.

       “ලංකාවේ මිනිස්සු බොන්නේ සත්තු වගේ”

        අනුරාධගේ සංකල්පීය පිළිවෙලට අනුව මිනිසා තිරිසනා නම් තැනින් සංස්කෘතික මිනිසා නම් තැනට පොළා පැන ඇත. මේ තත්ත්වය X  කණ්ඩායමේ ඥාන විභාගය සම්බන්ධයෙන් ද මේ තරම්ම අදාළ ය. ශිෂ්ටාචාරය අප සිතන තරම් සරලමතික නැත. මිනිසා ‘තිරිසනා’ (Savage Pre-human) නම් තැනින් එක්වරම ‘ශීලාචාර’ (Civilized human)  තැනට පොළා පනින්නේ නැත. එනම් මිනිසා එකවර අඳුරෙන් එළියට එන්නේ නැත. ඒ සඳහා ඔහුට විකල්ප මාවතක් තිබේ. මෙම නව-මූලධර්මයට අනුව මිනිසා තිරිසනා නම් තැනින් ශීලාචාර නම් තැනට පනින විට අතරමැද පැසේජයක ගමන් කරයි. ඒ උමතුවයි.(Madness). යම් උමතුවකින් තොරව මිනිසාට තිරිසනා නම් තැනින් ශීලාචාර නම් තැනට සෘජුව ගමන් කිරීමට නොහැකිය. ඉන්දික ගුණවර්ධන තම නිවසට බල්ලන් රහිතව ගියහොත් ලිංගික සබඳතා හමු වෙයි. එවිට ඔහු බල්ලන් සහිතව යන අතර, එවිට ඔහුගේ බිරිඳ ඉන් ප්‍රකෝප වෙයි. එවිට ලිංගික සබඳතා යනුවෙන් දෙයක් නැත යන ප්‍රවාදය කවියාට අභිමුඛ වෙයි. කවියා නම් ශීලාචාර මිනිසා වීමට ඉන්දිකට බල්ලන් ගෙදර ගෙන යාම නම් ස්වයං බාධාව නැතහොත් උමතුව අවශ්‍ය ය. ඒ අනුව පිස්සුවෙන් මිනිසුන් බීම මත්පැන් නම් සාරයට (Substance) අදාල දෙයක් නොව ආත්මීය ගැටලුවකි. ”අනුරාධ කෙතරම්  ද්‍රව්‍යය (Matter- මද්‍යසාර) වෙනස් කරත්, ඔවුන් බොන්නේ කවියා මෙන්ම ලිංගික ගැටලුවක් නිසා මිස මත් වීමට නොවේ”.

අවුරැදු තෑගි 2

Sri Lanka Vanguard Party

ඔබේ අදහස කියන්න...