එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිළිබඳ ජනතා විශ්වාසය යනු ආර්ථික අදහසකි. එනම් අත-මිට සරු ආර්ථිකයකි. නමුත් 1977 දී මෙන් UNP යට මේ මොහොතේ රටේ ආර්ථිකය දියුණු කරනවාට වඩා වැඩිමනක් ලෙස දේශපාලන කාර්යයක් පැවරී ඇත. එම දේශපාලන කාර්යයන් දෙක මූලික වශයෙන් හඳුනාගත හැක.
(1)    ජාතික ගැටලූවට ස්ථිර විසදුමක් ලබාදීම.
අලූත් ව්‍යවස්ථාවක් යන්නෙහි යටිතල අදහස බලය විමධ්‍යගත කිරීමයි.
(2)    සමානාත්මතාව, සමාජ සාධාරණත්වය, පුද්ගලික සුභසිද්ධිය අභිබවා යන ජාතික සුභසිද්ධිය නම් සාරධර්මයන් ගරු කරන ශ‍්‍රී ලාංකිකයන් යනු මේ මොහොතේ පුද්ගලික නිදහස අගයන්නෝ නොවෙති.  විවෘත වී ඇති අනාගත මාවත වන්නේ පුද්ගලික නිදහසට සහ පුරවැසි ස්වාධිපත්‍යයට ‘සමාජීය සාරධර්ම’ වලට වඩා මුල්තැන දීම තුළය. මේ හේතුව මත ඉදිරි වසර තුන සඳහා UNPයට ඇත්තේ දේශපාලන වැඩසටහනක් මිස ආර්ථික සංවර්ධනය නොවේ.
 
රටේ මේ මොහොතේ ආර්ථික සංවර්ධනය ගැන විශාල කතා කියන්නන් යනු දෘෂ්ටිවාදීන්ය. ඔවුන්ට මේ මොහොතේ ලෝක ආර්ථිකය ගැන වැටහීමක් නැත. ශ‍්‍රමය සහ ප‍්‍රාග්ධනය අතර පවතින ඓතිහාසික අරගලයෙන් මේ මොහොතේදී නිදහස් වී ඇත්තේ ශ‍්‍රමයයි. සරණාගත ගැටලූව ලෙසින් ඉදිරිපත් වී ඇති දේශපාලන අර්බුදය තුළ ගම්‍යමාන වන්නේ ශ‍්‍රමයේ ජාතික සීමා මතභේදයට ලක් වීමයි. මේ මොහොතේදී අප කැමති වුවත් නැතත් ආර්ථික තීරණ ගැනීමේ වගකීමත්, නිදහසත්, ස්වාධිපත්‍යයත් ඇත්තේ රාජ්‍යයට නොව පවුලටය.
ලංකාවේ දළ වශයෙන් ත‍්‍රී රෝද රථ මිලියනයක් පමණ තිබේ. එය චන්ද්‍රිකා ආණ්ඩුවේ රැකියා උත්පාදනයට ලබා දුන් සාර්ව විසදුමකි. මේ හේතුව නිසා රටේ පුහුණු ශ‍්‍රමිකයන්ගේ සංඛ්‍යාව ඉතාම පහළ මට්ටමට වැටී ඇත. ගොඩනැගිලි සෑදීමේ සිට ගෘහ සේවා විශාල ගණනකට අදාලව ශ‍්‍රම හිගයක් ශ‍්‍රී ලංකාවේ ඇත. එබැවින් අප මේ මොහොතේ ත‍්‍රීරෝද රථවලට කරන්නේ කුමක්ද යන්න අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට වඩා වැදගත්ය. ඉන්දියානු ශ‍්‍රම අතිරික්තය අපේ ශ‍්‍රම හිගයට අදාළ වන්නේ මෙතනදීය. රාජ්‍ය මට්ටමින් ගත් විට අපට මුහුණ දීමට සිදුවන්නේ ආර්ථිකයෙන් විතැන් වූ දේශපාලන ප‍්‍රශ්නයකි.
ඊළගට රටේ කෘෂිකර්මය පිළිබඳ ප‍්‍රශ්නය සලකමු. මෙතැන ඇත්තේ කුලාකයන් ඇති කිරීම පිළිබඳ ගැටලූවක් නොවේ. ගැටලූව වන්නේ කෘෂිකර්මය කාර්මීකරණය කිරීම පිළිබඳ ගැටලූවකි. වස-විෂ යනු කෘෂිකර්ම කාර්මීකරණය නොවීමේ ගැටලූවකි. වස-විෂවලට එරෙහිවීම යනු ග‍්‍රාමීය ධනේශ්වරකරණයට එරෙහි දෘෂ්ටියකි. මෙමගින් උත්සාහ කරන්නේ ගම/නගරය අතර භේදය-දේශපාලන ගැටුම-මගහැර සංවර්ධනය කිරීමයි. මෙය කළ නොහැක්කකි. ගම්වල ‘කුලාකයන්’ බිහි නොකර එහි ඌණ සංවර්ධනය ජයගත නොහැක. ගොවිතැනට වස-විෂ එකතු වූයේ ධනවත් ගොවියන් ගම්වල නැති නිසාය. ලංකාවේ ගොවිතැන් කරන බහුතරයක් පිටුපස රජයේ සේවකයන් සිටිති. ඔවුන් වගා කරන්නේ කුමකටද? යන ප‍්‍රශ්නයට පිළිතුරක් සෙවීම වඩා වැදගත්ය. ඩඞ්ලි සිරිසේන කුලාකයෙකු නොවේ. ගම්වල ශ‍්‍රම අතිරික්තයට විසදුම වස-විෂ නැති කිරීම නොවේ. එය අලූත් කැරැල්ලකට අලූත් ආරම්භයක් වීම පමණි.
 දීප්ති කුමාර ගුණරත්න – Apr 25th, 2016

ඔබේ අදහස කියන්න...