ලංකාවේ බුද්ධිමතුන් මෙන්ම ඊනියා වම්මුන්ද, නූතන මාක්ස්වාදීන් ලෙස පෙනී සිටින්නන්ද තවම ජීවත් වන්නේ කාටිසියානු යථාර්තයක් ඇතුලතය. ඉතා සැකෙවින් පවසතොත් ඩෙකාට්ස් පැවසුවේ යමක් හිතන තැනැත්තෙකු යනුවෙන් කෙනෙකුත්, ඔහුට පරිබාහිර (පිටත) වාස්තවික ලෝකයකුත්  පවතින බවය. මෙම වාස්තවික යථාර්ථය කාන්ට් සහ හේගල්ගේ චින්තනය වර්ධනයවීමත් සමග එවැනි බාහිර වාස්තවික ලෝකයක් නොපවතින බවත් පවතින්නේ සමස්ථයේ ඒකත්වයක් පමනක් බවත්, “සිතනා මම” (Thinking subject ) ඇත්තේද සමස්ත යතාර්තය තුලම බවත් පෙන්වා දෙන ලදි.

thinking.


අද පවත්නා දේශපාලන ආර්ථික යථාර්ථය සැබෑ අර්ථයෙන් කියවා ගැනීමට නොහැකි වී ඇත්තේ මෙම දාර්ශනික දැනුම නොමැතිවීම නිසාය. අප න්‍යායික දැනුමේ වැදගත්කම නැවත නැවතත් අවදාරණය කරනුයේ මෙම දැනුම නොමැතිව බොහෝ දෙනා කරනු ලබන දෘෂ්ටිවාදී පීලීපැනීම් නතර කල නොහැකි බැවිනි.


පවතින අරගලය තුල ඇති මෙම න්‍යායික වරද ඊනියා වම්මුන්ට (ජේවීපී,පෙරටු ගාමීන්) සහ නව මාක්ස්වාදීන්යැයි කියා ගන්නා පුද්ගලයන්ට නොතේරෙන්නේ මෙම න්‍යායික දිලිදුකම නිසාය. මේ නිසා අරගල කරුවන් සිතන්නේ අප ජීවත්වන දූශිත,දිළිදු, පීඩාකාරී සමාජය යන්න පවතින්නේ  තමන්ට සම්පූර්නයෙන්ම පිටතින් බවත් එම දුශ්‍ඨ සමාජයේ ගොඩනැගීමට තමන්ගේ කිසිදු දායකත්වයක් නැති බවත් තමන් යනු එම මඩ ගොහොරුවෙන් එලියේ ඇති නෙලුම් මලක් බවත්ය. 

නමුත් කාන්ට්ගේ චින්තනයට අනුව මේ ආකාරයට යථාර්ථය විග්‍රහ කරගැනීම ඥාණ විරෝධයකි. මේ කතා කරන මම සිටින්නේද මේ දූශිත සමාජය තුලමය. එහි මගේ දායකත්වයක් ද මගේ අඩංගුවක්ද ඇත. එසේ නොමැතිව මට පිටතින් පවතින දූශිත සමාජයක් යනුවෙන් දෙයක් නැත .
මොවුන් සිතන්නේ වාස්තවිකව  ගොඩනැගිය හැකි යහපත් පරමාදර්ශී සමාජයක් යනුවෙන් යමක් බාහිරින් පවතිනවා කියා සහ දැනට පවතින්නේ වෙන කවරෙකු හෝ (තමන්ගේ කිසිදු දායකත්වයක් නැතිව) ගොඩනගන ලද දුශ්‍ඨ සමාජයක් බවත්ය. මොවුන්ට නොතේරෙන්නේ සහ අමතක කරන්නේ ‘තමන් ‘යනු මේ පැවත්මවල් දෙකටම (ෆැන්ටාස්මතික පරමාදර්ශී සමාජය සහ දැනට පවතින දූශිත සමාජය ) අදාල නොවන වෙනම පවත්නා මෙයට වග නොකියන කෙනෙක් නොව මේ වාස්තවිකත්වයන් දෙකේම ගොඩනැගීමට දායක වන පවත්නා යථාර්ථයේම කොටසක් බවයි. ( මිනිසා බාහිර යමක් වටහා ගන්නේ හෝ දකින්නේ පිටත පවත්නා දෙය සම්පූර්නයෙන්ම  ඇතුලතට ගැනීමක් ලෙස නොව තමා තුල ඇති සංකල්පවලට පෙනෙන ආකාරයට පමනි. නයා බිත්තරයක් ගිලීම වැනි ක්‍රියාවකින් කිසිවෙකුටත් යතාර්තය දැකිය නොහැකිය. දෙයෙහි-thing එහිම වූ ස්වරූපයක් කිසිදා දැකිය නොහැකිය).

 
මේ නොදැනීම නිසා සමාජ අර්බුදයන්, ආතතියන් ඇති විට විවිධ දෘෂ්ටිවාදයන්ගේ ගොදුරක් වීම අනිවාර්යතාවයකි.


අරගලයේ සියල්ලන්ම system change එකක් ගැන කතා කරති. ඔවුන් හිතන්නේ මේ system එක අවුල්‍ කියාය. එම නිසා අලුතින් පසමිතුරුතා රහිත system එකක් එලියෙන් ගෙන ආ යුතු බවයි (යුටෝපියාව). එහෙත් එසේ ගෙන එන්නට එලියේ දෙයක් නැති බවත් එය අපිට පෙනෙන ෆැන්ටසියක් බවත් වැටහෙන්නේ නැත. මෙහි වැදගත් න්‍යායික කාරනය වන්නේ අප යමක් වටහා ගන්නේ අප තුල ගොඩනගාගත් ෆැන්ටසියක්, බාහිරත්වයක්  ලෙස හදුනා ගැනීමෙන් පමනයක් බවයි. අප තුල පවත්නා එම ෆැන්ටසිය තුල අප ඉදිරියේදි ගොඩනගන්නට යන විකල්ප සුසංවාදී සමාජය තුල ඇති නෛසර්ගික පසමිතුරුතා,ගැටුම්,ප්‍රතිවිරෝධතා අඩංගු නැත (යුටෝපියානු සමාජය ).
නමුත් එවැනි වාස්තවික යතාර්තයක් හෞතිකව  නොපවතී. අපිට ඉදිරියේදීත් ලැබීමට නියමිත වන්නේ ගැටුම්, ප්‍රතිවිරෝධතා, පසමිතුරුතා සහිත අසම්පූර්ණ සමාජයක්ම පමණි .
එම නිසා සැබෑ භෞතිකවාදින් නම් කල යුත්තේ යුටෝපියානු විකල්ප යෝජනා කිරීම නොව පවත්නා ආතතිගත සමාජය බිහිකිරීමට තමන්ද දායක වී ඇති බව තෙරුම් ගැනීමත්, තමන්ද එහි පිටස්තරයෙක් නොව එහිම අඩංගුවක් බව තේරුම් ගෙන එම පසමිතුරුතා සමනය කරගැනිමට ක්‍රියාකාරී ලෙස මැදිහත් වීමයි. සමාජ දේශපාලන අර්බුදය නැමති “යථ” මය කාරනාවන්ට විසදුම් පරිකල්පනිය තලයෙන් මිදී  සංකේත යතාර්තය තුල සමනය කර ගැනීමට කටයුතු කිරීමයි. මේ මොහොතේ සැබෑ විප්ලවීය ආස්ථානය එයයි.

*වත්මන් සමාජ – ආර්ථික අර්බුදය .  

බොහෝ අරගල කරුවන්ද ළදරු වාමාංශික කණ්ඩායම්ද සිතාගෙන සිටින්නේ මෙය ධනවාදයේ අර්බුදයක් කියාය. එහෙත් පැරනි අර්ථකථන න්‍යායන්ට අනුව හදුනා ගත් ධනවාදයක් (ප්‍රාග්ධනය , නිශ්පාදනය ,ලාභය මත පදනම් වූ ධනවාදය – classical capitalism ) ලෝකයේත් ලංකාවේත් වාස්තවිකව නැත. එවැනි බාහිරව නැති ධනවාදයක් පෙරලන්නේ හෝ වෙනස් කරන්නේ කෙසේද? නැති දෙයක් නැති කරන්නට නොහැකිය.නූතන ධනවාදයට ධනවාදය නැමති ආකෘතිය නැතහොත් රාමුව තවදුරටත් අවශ්‍ය නැත. මක්නිසාද යත් අද වන විට ධනවාදය අභ්‍යන්තර කරනය නැතහොත් ආත්මීය කරනය වී ඇති නිසාය. සෑම පුද්ගලයෙක්ම ක්‍රියාකරන්නේ සහ මෙහෙය වන්නේ අභ්‍යන්තරික ධනවාදී තර්කනයට අනුවය. එම නිසා ධනවාදය ක්‍රියාත්මක වීමට ධනවාදය නැමති ආකෘතියක් බාහිරින් තවදුරටත් අනවශ්‍යය. එම නිසා අරගල කරුවන් පිටතින් පවතින system එකක් (ධනවාදය ) වෙනස් කිරීමට අරගලය කිරීම නිරර්ථකය. සැබෑ අරගලය විය යුත්තේ අභ්‍යන්තරයෙන් ධනවාදය පෙරලීමට අරගල කිරීමය. බාහිර ආකෘතිකමය වශයෙන්ද,ආත්මීයවද පවතින  ඉතා ප්‍ර්‍රාථමික ලංකාවේ ධනවාදය පෙරලා දැමිය නොහැකිය.(පෙරලන්නට බාහිර වාස්තවික යමක් නොමැති නිසා ). ක්‍රමයේ අර්බුදයක් ලෙස වැරදියට වටහා ගත් ලංකාවේ ආර්ථික කඩාවැටීම මත පදනම් වූ සමාජ දේශපාලන ගැටලුවලට ඕනෑ තරම් විකල්ප ධනවාදය තුල පවතින නිසා ධනවාදය කිසි ලෙසකත් තර්ජනයට ලක්වන්නේ නැත. ලංකාවේ ඇතිවී ඇති ආර්ථික අර්බුදය ඩොලර් බිලියන දහයකට අඩුප්‍රමානයකින් යම් මට්ටමකට කළමණා කරනය කර ගත හැකිය. ඉන් මෙරට ආර්ථිකයට නොමැරී සිටීමට අවශ්‍ය තල්ලුව දිය හැකිය. ඒ සදහා ධනවාදී ලෝකයට ඕනෑ තරම් හැකියාව ඇත. අවශ්‍ය වන්නේ ලෝක බලවතුන්ට සම්බන්ධවී ආර්ථික ප්‍රතිසංස්කරණ කීපයක් ඇති කිරීම පමනි. කිසිදු වාමාංශික හෝ ප්‍රගතිශීලී කණ්ඩායමකට වෙනත් කිසිදු විකල්පයක් මේ මොහොතේ ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ මෙම දේශපාලන- ආර්ථික යථාර්ථය නිසාය. මේ මොහොතේ ප්‍රගතිශීලී සහ සැබෑ වාමාංශික දේශපාලන ආස්තානය විය යුත්තේ ආර්ථික අර්බුදයට අවශ්‍ය  යථාර්ථවාදී විසදුම් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සදහා මැදිහත් වීම මිස යුටෝපියානු විකල්ප ඉදිරිපත් කිරීම නොවේ.


– චන්දන රණසිංහ –


ඔබේ අදහස කියන්න...