ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, October 17, 2017
You are here: Home » News » ආරෝග්‍යශාලා බිත්ති ඇතුළත නිශ්ශබ්දතාවය

ආරෝග්‍යශාලා බිත්ති ඇතුළත නිශ්ශබ්දතාවය 

 

වෙළෙඳපොළ සහ ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය ‘නිෂ්පාදනය’ කරන සමාජ සම්බන්ධතා සහමුලින් වෙනස්ය. මේ සඳහා අපි සංයුක්ත උදාහරණයක් කරා යොමු වෙමු.

ඬේවිඞ් පීරිස් සමාගම යනු ත්‍රිරෝද රථ ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කර ලාභයක් තබා ගෙන විකුණන සමාගමකි. මේ වන විට ඔවුන් ත්‍රිරෝද රථ මිලියන ගණනක් ආනයනය කර විකුණා ලාභයක් එකතු කරන්න සමාගමකි. ත්‍රිරෝද රථයක් යනු වාහනයක් ලෙස ගත් විට අර්ධ වාහනයකි. එහි ගමන් කිරීම අනාරක්ෂිතය. නමුත් ලංකාවේ ‘මෝටර් රථ’ පිළිබඳ ආකල්පයක් නැති නිසා ත්‍රිරෝද රථ අනාරක්ෂිත බව තාර්කිකව පහළ මැද පන්තිය නොදනියි. ඬේවිඞ් පීරිස් සමාගම වෙළෙන්දෙක් මිස භාණ්ඩ නිෂ්පාදකයකු නොවේ. ඔවුන්ට ලාභය එකතු වන්නේ භාණ්ඩ විකිණීමෙන් මිස භාණ්ඩ නිෂ්පාදනයෙන් නොවේ. යම්කිසි භාණ්ඩයක ‘මිල’ නිෂ්පාදකයකු තීන්දු කරන ආකාරයත් වෙළෙන්දකු නිෂ්පාදනය කරන ආකාරයත් සපුරා වෙනස්ය.  ලංකාවට අධික ලෙස ත්‍රිරෝද රථ ආනයනය වීම නිසා බිහි වී ඇත්තේ විධිමත් ආර්ථිකයක්  නොව අවිධිමත් ආර්ථිකයකි. මෙම අවිධිමත් ආර්ථිකය නිසා සමාජයේ විශාල සමාජ තීරයක් රැකියා නොමැතිකමට විකල්පයක් ලෙස ත්‍රිරෝද රථ එළිවීමට ඇබ්බැහි වෙති. තවත් සමාහරුන්ට තම ස්ථිර රැකියාවට අමතරව එය විකල්ප රැකියාවකි. ත්‍රිරෝද රථ සංඛ්‍යාව අධික වීම නිසා එය මාර්ග තදබලයට සේම සමාජ අසහනයක් ද ජනිත කර ඇත. ජාතිකවාදය, පාරිභෝගිකවාදය, අසභ්‍ය ලිංගිකකරණය වැනි දෘෂ්ටිවාදයන් පැතිරෙන්නේ ද ත්‍රිරෝද රථ හරහාය. ආණ්ඩුව විසින්  ඬේවිඞ් පීරිස් සමාගම පාලනය කරන්නේ බදු ගැසීම හරහාය. එනිසා එය දිරි ගැන්වීමක් නොව අවශ්‍ය මොහොතක අතපෙවීමක් පමණි.

වෙළෙඳපොළක් නිපදවන සමාජ සබඳතා සහ නිෂ්පාදකයකු ශ්‍රමිකයකු පාදක කොටගෙන නිපදවන සමාජ සබඳතා අතර ඇති ප්‍රබල වෙනස ඉහත ත්‍රීරෝද රථ වෙළෙඳපොළ හරහා ඔප්පු කළ හැකිය. එක පැත්තකින් ත්‍රීරෝද රථ හරහා මෝටර් රථය පිළිබඳ ආකල්පය ඌණ සංවර්ධනය වන අතර අනෙක් පැත්තෙන් එම ඌණ සංවර්ධනය රැකියා වෙළෙඳපොළක් ද ජනනය කරයි. මේ හේතුව නිසා ත්‍රිරෝද රථ ආශ්‍රිතව බිහි වී ඇති යැපුම් ආර්ථිකය මිලියන දෙකකට පමණ පුළුල් වී ඇත. පහළ මට්ටමේ සමාජ ස්ථරයක ආදායම අනවශ්‍ය ලෙස වෙමඟින් ඉහළ දමා ඇති අතර එමඟින් දෛනික මිල දර්ශකය කෘතිමව ඉහළට යොමු වෙයි. අතුරු ඵලයක් ලෙස කායික ශ්‍රමයට යොමු වන ජනගහණය ඉන් විතැන් වන අතර එමඟින් යම්කිසි ජනගහණ ස්ථරයක් දෛනිකව පාදඩකරණය වෙයි. ඔවුන්ගේ අවිදිමත් ‘ආර්ථික ක්‍රමය’ ධනේශ්වර එකක් නොවන නිසාම එමඟින් ඇති කරන අතිරික්ත පීඩනය සාර්ව – ආර්ථිකයේ වර්ධනයට අහිතකරය. ත්‍රිරෝද රථ ධාවකයන් සහ ඔවුන්ගේ ඍජු යැපෙන්නන් ඡන්දදායකයන් නිසා ඔවුන්ගේ ආකල්ප ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ සදාචාර මිණුම් බවට පත් වෙයි. මේ සියල්ලේ මුල හට ගත්තේ වෙළෙන්දකු විසින් බිහි කළ සරල ගනුදෙනුවක් නිසාය.

වෙළෙඳපොළක් නිපදවන දෙය සහ නිෂ්පාදකයකු නිපදවන ලද දෙය අතර ප්‍රබල සමාජ – ආර්ථික වෙනසක් ඇත. රටක ආර්ථික සංවර්ධනය වූ කලී, ජනතාවගේ ද්‍රව්‍යමය අභිලාෂයනුත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත් කර ගැනීමක් පිළිබඳ විෂයයකි. නිදහස් වෙළෙඳපොළ අපට පුරුදු කර ඇත්තේ භාණ්ඩ සැපයීම සමාජයේ ප්‍රමුඛතාවය බවයි. 70 – 77 සමඟි පෙරමුණ ආණ්ඩුව නිෂ්පාදන ආර්ථිකයක් බිහි කර රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට යොමු වීම නිසා රටේ භාණ්ඩ නිඟයක් බිහි විය. සාමාන්‍ය මිනිසාටත් ජේ.ආර්ටත් මෙම තත්ත්වය වැටහුනේ ආර්ථිකයේ ගැටලුවක් ලෙසින්ය. රටේ භාණ්ඩ හිඟයට පිළියමක් ලෙස රටේ ආර්ථිකය විවෘත කළ අතර රටේ ආර්ථිකය අතුරුදන් වී එය භාණ්ඩ ආනයනය දක්වා ඌනනය විය. මෙඟින් රටේ කිසිදු ආර්ථික ප්‍රශ්නයක් විසඳෙන්නේ නැත. නමුත් සමහරුන්ට එය විජ්ජාවක් විය. මේ විජ්ජාව අද සමහරුන්ට අනුව සමාජ පෙරළියකි. වෙළෙඳාමෙන් ඊළඟට සංවර්ධනය විය  යුත්තේ ධනේශ්වර ආර්ථික මාදිළියට මිස නැවත ලෝක වෙළෙඳපොළට අතාර්තිකව සම්බන්ධ වීම නොවේ. අධ්‍යාපනයේ සිට විවාහය දක්වා සියලු සංස්කෘතිකයන් ලංකාවේ අතාර්තික වී ඇත්තේ ‘ආර්ථික දියුනුව’ භාණ්ඩ හුවමාරුව දක්වා පසුබැසීම නිසාය. අධෝ ව්‍යුහයේ මර උඟුල් උපරි – ව්‍යුහය තුළ ප්‍රකාශ වන්නේ විසඳුම් ලෙසය. විරැකියාවට හොඳ උත්තරයක් වන්නේ ත්‍රිරෝද රථ රියදුරකු වීමය. එසේ වීම නිසා මේ පුද්ගලයාට ජීවිත කාලයක අවිනිශ්චිතතාවයකට මුහුණ දීමට සිදු වෙයි. මෙවැනි  පුද්ගලයන් වසර 5කට සැරයක් ආණ්ඩු මාරු කරන්නට (තර්කයකි තොරව) උත්සාහ කරන්නේ මේ නිසාය.  මෙය  ලංකාවේ විෂම චක්‍රයයි.

audi-A7

එනිසා ‘සමාජයක්’ උසස්ම ප්‍රමුඛතාවය දිය යුත්තේ මේ භාණ්ඩ සැපයීම සඳහා නොවෙයි. එය හුදු දෘෂ්ටිවාදයක් පමණි. ලංකාවේ නම් එය හුදු යූඑන්පී දෘෂ්ටිවාදය පමණි. වඩා හොඳ මෝටර් රථය (Audi බෙන්ස් BMW)  තිබේ නම් හොඳය.  නමුත් මගීන්ට වඩා වැඩි පහසුකම් සපයන, වායු දූෂණ අඩු කරන හොඳ බස් රථ පොදු ප්‍රවාහණයට එකතු වන්නේ නම් එය යහපත්ය. තමන් යන යන තැන රැගෙන යා හැකි ජංගම දුරකතන තිබේ නම් එය වඩා ප්‍රයෝජනවත්ය. වඩා හොඳ සිසිල් බීම තිබේ නම් හොඳය. නමුත් වියළි කලාපයේ ගොවි බිම්වලට වාරි ජලය සැපයීම සඳහා හොඳ වතුර පොම්ප තිබේ නම් වඩාත් හොඳය. තර්කය බෙහෙවින් සරලය. ශ්‍රී ලංකාවේ පොදු ජනයාගේ පොදු අභිලාෂයන්ගෙන් ඉවතට නොයෑම සඳහා අප කළ යුතු දෙය සරලය.

නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයකට යොමු වූ පසු රටක පොදු අභිලාෂයන්ට ඇමතීම දුර්වල වෙයි. ඒ මන්ද යත් වෙළෙඳපොළවල් මඟින් නිපදවනු ලබන්නේ, සෑහෙන පමණ මිල දී ගැනීමේ ශක්තියක් තිබෙන අය ඉල්ලන (එනිසා හොඳ ඉල්ලුමක් තිබෙන) භාණ්ඩ වර්ගය. ධනවතුන්ට විශාල මිල දී ගැනීමේ ශදක්තියක් තිබෙන නිසා වෙළෙඳපොළ ක්‍රියා කරන්නේ වඩා හොඳ ස්වයංක්‍රීය TATA බස් නිපදවීමට නොව  BMW නිපදන්නටය. එය වඩා හොඳ වතුර පොම්ප, උදැල්ල නිපදවනවාට වඩා උනන්දු වන්නේ රොලැක්ස් ඔරලෝසු හෝ I Phone නිපදවීමටය. විදේශ ආයෝජන පවා යොමු වන්නේ ධනවතුන් ඉල්ලන දේවල් යොමු වන ක්ෂේත්‍රයටය. Mass සමාගම උත්සාහ කරන්නේ හොඳ පොහොර වෙනුවට හොඳ යට ඇඳුම් නිපදවන්නටය.

Africa

ලංකාවේ ‘වෛද්‍ය ශ්‍රමය’ ධනේශ්වර නොමැති නිසා එය දොස්තර වෙළෙන්දුන්ගේ  වෛද්‍ය වෙළෙඳාමට ඌනනය වී ඇත. එනිසා දුප්පත් මිනිසුන් රජයේ රෝහල්වල OPDකොරිඩෝවල පැය ගණන් අතාර්කිකව, අමානුෂිකව රස්තියානු වෙයි. තමන්ට ඇති රෝගය පිළිබඳ කිසිදු විවරනයක් රෝගියාට නොකිරීමට ලංකාවේ වෛද්‍යවරු පරිස්සම් වෙති. කොටින්ම දොස්තරලා දුප්ත් පීඩිත රෝගියා ඉදිරිපිට දී නිශ්ශබ්දය. මුදල් හදල් ඇති ධනපතියා ඉදිරිපිට දොස්තර වැඩිපුර කතා කරන්නට ගනියි. ඉහළ තත්ත්වයේ ‍ෙඖෂධ නිර්දේශ කරයි. ලහිරු හෝ රයන් ලිප්ටන් වට රවුමේ උද්ඝෝෂණය කළ යුතුමය. නමුත් නිවාඩු පාඩු මොහොතක කොළඹ මහරෝහලේ OPDඑකටත් (විශේෂයෙන් අක්ෂි සායනය) ගොඩ විය යුතුය. එවිට ඔවුන්ට වෙළෙඳපොළ විසින් වෛද්‍යවරයාව නිශ්ශබ්ද කර ඇති ආකාරය දැක බලා ගත හැකිය. ලංකාවට ත්‍රීරෝද ගෙන්වන්නේ කවුද යැයි දැන ගැනීමට අපට අවශ්‍ය නැති තරමට වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නේ කවුද යන්න ද නොවැදගත්ය. එය ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්නයක් වී ඇත්තේ (මධ්‍යම පන්තියේ ප්‍රශ්නයක්) මන්දැයි මම සිතමි.