ශිෂ්ටත්වයේ සිහිනය...|Friday, July 28, 2017
You are here: Home » News » ආසියාතික අත්තනෝමතික ෆැන්ටසිය

ආසියාතික අත්තනෝමතික ෆැන්ටසිය 

skypark Hotel-

 

ඩෙනිස් පෙරේරා නිෂ්පාදනය කළ ‘ගෝඨයිම්බර කෝලම’ ගැන මේ මොහොතේ දී අපට නිපදවිය හැක්කේ උපන්යාස (Hypothesis) කිහිපයක් පමණි. ගැටලුවක් සඳහා දෙන තාවකාලික විසඳුමක් උපන්යාසයක් ලෙස හැඳින්වේ. උපන්යාසය අවිනිශ්චිත පිළිතුරකි. පසුව කරන පරීක්ෂණවලට අනුව උපන්යාස සත්යය හෝ අසත්යය වීමට ඉඩ ඇත.

 
(A) අත්තනෝමතිකත්වයට (Despotism) ඇති සැබෑ මූලයන් කරා මෙම නාට්යය අපව රැගෙන යයි.
‘සිංහල ගැමි නාටකය’ නම් සරච්චන්ද්රගේ කෘතිය ගැන අවබෝධයක් ඇති කෙනකුට ‘ගෝඨයිම්බර කෝලම’ අලුත් ආකෘතියක් නොවේ. එහි අන්තර්ගතය සමකාලීනය. එබැවින් එහි අන්තර්ගතය ද අලුත් නැත. ආකෘතියත්, අන්තර්ගතයත් අලුත් නැති කෘතියක් විප්ලවවාදී මෙහෙවරක් ඉටු කරන්නේ කෙසේද? මෙම කෘතිය යම්කිසි න්යායක් ඔප්පු කරයි. එතැන දී මෙම කෘතිය තම අපූර්ව ලක්ෂණ ප්රකට කරයි. කෘතියේ න්යායට අනුව දේශපාලනය විනෝද සාධකයක් යන්න සාධනය කරයි. මෙය දේශපාලනය තුළ අප මෙතෙක් කල් උපන්යාසගත කළ අදහසකි.

 
(B) මෙම කෘතිය සත්යජිත් මාඉටිපේ වැනි නාගරික කලාකරුවන්ගේ මැද පාන්තික අශ්ලීල ෆැන්ටසිය විචාරය කරයි. සරච්චන්ද්ර තම නාඩගම් ආකෘතිය හරහා කොළඹ මැද පන්තියට ශීලාචාර ශෛලියෙන් ස්ත්රී ආශාවේ ගුප්ත බව ප්රදර්ශනය කළේය. නමුත් ‘ගෝඨයිම්බර කෝලම’ යනු ස්ත්රී ආශාවේ ප්රොබ්ලමැතිකයක් නිදර්ශනය කිරීමක් නොවේ. ඉන් ප්රකාශයට පත් වන්නේ ආසියාතිකයාගේ අත්නනෝමතික ෆැන්ටසියයි. මෙම ෆැන්ටසිය ප්රාදේශිකවාදී නැත. උදාහරණයක් ලෙස සත්යජිත්ගේ කෘතිය මඟින් උත්සාහ කරන්නේ නාගරික පුරුෂ ෆැන්ටසි තිරය මතට අහිංසක ග්රාමීය ස්ත්රී ලිංගික ශරීරය ප්රක්ෂේපණය කරන්නටය. මෙම සන්දර්භය තුළ ගැමි ස්ත්රිය යනු පුරුෂ අශ්ලීලත්වයට අනුව රඟන ප්රතිරූපයකි. එය නාගරික පිරිමියා[?] තම විනෝදය Karoke අවන්හලක දී සංවිධානය කර ගන්නා ආකෘතියකි. එඩ්වඩ් සයිද් විසින් 70 දශකය අග රචනා කළ ‘පෙරදිගවාදය’ නම් කෘතිය තුළ මෙම නාගරික ෆැන්ටසියේ මූලය යුරෝපීය අගතියක් ලෙස සලකා විචාරය කර ඇත. සයිද් ට අනුව ‘පෙරදිග’ යනු (විශේෂයෙන් අරාබිය) යුරෝපීය බුද්ධිමතුන්ගේ චින්තන අපගමනයකි; ව්යාජ ඉදිරිපත් කිරීමකි. කෙටියෙන් කිවහොත් ‘පෙරදිග’ යනු යුරෝපීය ප්රබන්ධයකි. (Fiction)

(C) ‘ගෝඨයිම්බර කෝලම’ මඟින් අවිඥානිකව ප්රතිඉදිරිපත් කරන්නේ ආසියාතික අත්තනෝමතික ෆැන්ටසියේ ඉතිහාස මූලයයි. එමඟින් අදහස් කරන්නේ කුමක්ද?
සියවස් 3ක පමණ කාලයක සිට මනුෂ්ය වර්ගයා ජීවත් වන්නේ සබුද්ධිකත්වය මත පදනම් වූ සමාජයකය. ඒ තුළ රාජ්යය පිළිබඳ නව අදහසක්, සිවිල් සමාජය, ප්රජාතන්ත්රවාදී නිදහස, පුරවැසි අයිතිවාසිකම්, බලය බෙදාගැනීම ආදී ශිෂ්ට සංකල්ප ඇත.
දැන් අත්තනෝමතික ෆැන්ටසිය සඳහා නිර්වචනයකට යමු.
අත්තනෝමතික ෆැන්ටසිය යනු ආසියාතික මිනිසා විනෝද වන ආකාරය ගැන යුරෝපීය මිනිසා සිතන විදිහයි. යුරෝපීය ප්රබුද්ධ මිනිසාට අනුව ආසියාතික මිනිසා පුරුදු වී සිටින්නේ තමා විනෝද වීමට නොවේ. ඔහු වෙනුවෙන් විනෝද වන්නේ වෙන කෙනෙකි; අනෙකෙකි; දූතයෙකි. මේ හේතුව නිසා ආසියාතික සමාජයේ බල කේන්ද්රයේ සිටින මිනිසාට අවශේෂ මිනිසුන් විනෝද වීම පවරයි. තමන්ගේ ශ්රමයේ අග්රඵලය (භාණ්ඩ) ආසියාතිකයා පවරන්නේ තම අනෙකාටය. එය කරන්නේ පාලකයා බලහත්කාරය පාවිච්චි කිරීම මඟින් හෝ දෘෂ්ටිවාදය මඟින් නොමඟ යැවීමෙන් නොවේ. එය කරන්නේ අනෙකාට ‘ආදරය’ කිරීම තුළය. මෙම හේතුව නිසා ආසියාව තුළ එක අතකින් ප්රජාතන්ත්රවාදී පාලනයක් දෘශ්යමානයේ ඇති අතර ආත්මීය තලයේ බල කේන්ද්රය තුළ ඇත්තේ අත්තනෝමතිකකරණයකි. මෙය නූතන දේශපාලන සමාජය තුළ බුර්ෂුවා පන්තිය තම අනෙකා හඳුනා ගන්නා ආකාරයකි. බලය හොබවන එක පක්ෂයක් තම අනෙකාව හඳුනා ගන්නේ රජ කෙනකු ලෙස වීම අහම්බයක් නොවේ.
(D) පෙරදිග අත්තනෝමතිකත්වය වේදිකාගත කරන්නේ මිනිස් ආත්මය බලයට (Power) ස්ව-කැමැත්තෙන් යටත් වන ප්රායෝගික සම්බන්ධයයි. එහි එක කොටසක් මඟින් ප්රකාශ වන්නේ අතාර්කික විශ්වාසයකි. එනම් මා වෙනුවෙන් අනුමාන කරන අනෙකෙකු විනෝද වනවා ඇත. මෙමඟින් බලය හොබවන ස්ථානය හිස් වෙයි. එම ස්ථානයට ආදේශ වන පුද්ගලයාට එවිට තම අධිෂ්ඨානය හැර අන් නීති සියල්ල අත්හිටුවිය හැකිය. එබැවින් අත්තනෝමතික ෆැන්ටසියට ඇත්තේ ශුද්ධ ආකෘතියකි. ආසියාතිකයන් දේශපාලනික ආත්මයන් වන්නේ මෙම විශ්වාසය මැදි කරගෙනය.

 

(E) එපරිදිම ආසියාවේ ජීවත් වන ඕනෑම සබුද්ධික මිනිසෙක් හොඳින් දන්නා පරිදි ඔහු ජීවත් වන්නේ සබුද්ධික පදනමක් මතය. එවැනි සමාජයක සෑම දෙනෙක්ම එක සමාන විය යුතු බවට හැඟීමක් ද ඔහුට ඇත. එසේ නමුත් අනෙක් පැත්තෙන් ඔහු විශ්වාස කරන්නේ බලය ඇත්තේ ඔතෑනි පුද්ගලයකු ළඟ බවය. මෙම ඔතෑනි, දුබල, දුප්පත් පුද්ගලයාට වඩ වඩා උදව් කිරීමෙන් ‘විනෝද වීම’, අනෙකාට කරන ආදරය ලෙස සබුද්ධික ආසියාතිකයා සලකයි. ප්රබල, දක්ෂ, හිතන, පතන, දාර්ශනික පුද්ගලයන්ට ආසියාවේ බල කේන්ද්රය වෙතට ආදේශ විය නොහැක්කේ මෙම ආත්මීය මූලය නිසාය. නාට්යයේ ප්රධාන තේමාව වන්නේ ද මෙයයි. මෙතරම් මෝඩ මිනිස්සු කොහොමද පාලකයො වෙන්නෙ?

ඕනෑම සබුද්ධික ශ්රී ලාංකිකයකුට අනුව අප ජීවත් විය යුත්තේ ප්රජාතන්ත්රවාදී සමාජයකය. නමුත් ඔවුන් සෑම දෙනාම විශ්වාස කරන්නේ ‘බලය’ යනු අත්තනෝමතික දෙයක් බවයි. තමන් හොඳින් දන්නා ‘දැනුම’ යමක් කරන විට විශ්වාස කරන්නේ නැත. ක්රියා කිරීමට අදාළ වන්නේ අවිද්යාවයි. අත්තනෝමතික ෆැන්ටසියේ විරුද්ධාභාසය මෙයයි. එක පැත්තකින් එම ෆැන්ටසිය අපට අර්ථකථනය කළ නොහැකි නිසා (ෆැන්ටසි යනු රෝග ලක්ෂණ මෙන් අර්ථකථනය කළ නොහැක්කකි) බලය සෑම විටම පවතින්නේ අත්තනෝමතිකවය. අනෙක් පැත්තෙන් අප විසින් මෙම ෆැන්ටසිය තරණය කළහොත් ඒ වහාම අපගේ විනෝද වීම (ලුබ්ධි ආර්ථිකය – මනස නම් තටාකය) අහෝසි වී යයි. දේශපාලනය කරන සියලු දෙනාට එක මොහොතකට පසු අවශ්ය වන්නේ අර්ථය නොව විනෝදයයි.

(F) අපගේ මෙතෙක් විග්රහයට පාත්ර වූ අත්තනෝමතික ෆැන්ටසියේ ඊළඟ ගුණය වන්නේ මෙම ෆැන්ටසිය සහ ආත්මය අතර පරතරයයි. (Gap) මෙම ෆැන්ටසිය තුළ සැබැවින්ම විනෝද වන්නේ ආත්මය (Subject) නොව කල්පිත අනෙකෙකි. (පාලකයා, ගුරුවරයා…) එබැවින් එම විනෝදය අහිමි වීම බලපාන්නේ තමාට නොව අනෙකාටය. අනෙක් අතට ආත්මය තම අනෙකා වෙනුවෙන් ශ්රමය වගුරා වැඩ කළත් එමඟින් විනෝද වන්නේ අනෙකෙකු නිසා එම ශ්රමයේ ඵලය යම් මොහොතක හෙළා දැකීම ද අපේක්ෂිතය. ආසියාතික අත්තනෝමතිකත්වයේ සුවිශේෂය වන්නේ ‘විනෝද’ වීම කරන්නේ තමා නොව අනෙකෙකු වීමය. මේ හේතුව නිසා පාලකයන් පැමිණීම සහ නික්ම යාම ගැන දේශපාලන අදහසක් ආසියාතික ආත්මයට නැත. මේ නාට්යයේ වැඩිම වෙලාවක් දුම් තිරයකින් රඟන නළුවන් වැසී පැවතීම අහම්බයක් නොවේ. ආත්මය සහ විනෝද වන අනෙකා අතර පරතරයක් පවතින නිසා තිරය වන්නේ දුමාරයකි. ආසියාතික ස්ත්රිය යනු ද ස්ත්රී ඇඳුම් ඇඳගත් පිරිමියෙක් වීම පුදුමයට කරුණක් නොවේ. ආසියාව තුළ ලිංග භේදයක් නැති අතර පවතින්නේ වෙස් මුහුණු භේදයකි. පිරිමි නළුවන් ස්ත්රී චරිත පුරුෂ චරිතවලට වඩා හොඳින් තදාත්මිකව ඉදිරිපත් කිරීම ආසියාවේ දී සුලබය.

 

(G) විනෝදය අන්තර්-ආත්ම මූලිකය. එබැවින් විනෝදයේ සෙලය සමාජීය එකකි. අත්තනෝමතික මාස්ටර්වරයා විනෝදය සම්බන්ධයෙන් සර්වබලධාරීය. ඔහුට විනෝද විය හැක්කේ එම විනෝදය අනෙක් අයට තහනම් කළ හැකි මට්ටමටය. එවිට වෙනත් අයට තහනම් කළ විනෝදය අත්තනෝමතික මාස්ටර්වරයාට සමාජ දේහය තුළ බෙදාහැරීම, නිෂ්පාදනය, හුවමාරුව සහ පරිභෝජනය තීරණය කළ හැකිය. නාට්යය තුළ මෙම අංශය මැනවින් විදාරණය වෙයි.

(H) අත්තනෝමතික ෆැන්ටසියේ සන්දර්භය තුළ සෑමදෙනාම කේන්ද්රයට තම විනෝදය විස්ථාපනය කරයි. දේශපාලන බලයේ ඉත්තකු වන ආත්මය අනෙකාගේ විනෝද වීම විශ්වාස කරනව. තමා ලබන පාර්ශ්වීය විනෝදය වෙනුවට කේන්ද්රයේ ඇති පරිසමාප්ත විනෝදයක් සමපේක්ෂණය කළ හැක්කේ ඉහත විශ්වාසය හරහාය. මෙය දැනුමට වඩා විශ්වාසය සතු අතිරේක වාසියකි. සෑම විටම මම සූදානමින් සිටින්නේ අනෙකා විඳින පරිසමාප්ත විනෝදයක් පිළිබඳව නිසා එවැන්නකට මට සෑම මොහොතකම සහභාගි වීමෙන් සතුටු විය හැකිය. මා විනෝද නොවී අනෙකා වෙනුවෙන් ඒ සඳහා කැප වීම යටත් වීමක් නොව ‘ආදරයකි’. මේ හේතුව නිසා ආත්මය මෙම විනෝදය හෙළා දකිනවා නොව; එයට සහයෝගය දෙනවාය. එබැවින් අනෙකා වෙනුවෙන් විනෝදය සැපයීමට දායක වන්නේ දෘෂ්ටිවාදයක් නොවේ. මේ සන්දර්භය නිසා ආසියාවේ දී ආර්ථිකය අසමත් වෙයි. ආර්ථිකය යනු ආසියාවේ දී කුටුම්බ සංරක්ෂණයක් නොව අනෙකාට විනෝදය සැපයීමකි. මෙම සැපයීම අනෙකා හෙළා දකින ප්රමාණයට ආසියාතිකයා යළි යළිත් ශ්රමය වගුරයි. දේශපාලන – ආර්ථිකය මර්දනයක් වීම වෙනුවට එය ආදරය වෙනුවෙන් කරන ශ්රම මෙහෙයුමක් බවට පත් වෙයි.

(I) මෙම සන්දර්භයට අනුව ආසියාතිකයාගේ ආත්මමූලිකත්වය ඍජු එකක් නොවේ. එය අනෙකා වෙතට පවරන ලද එකකි. එය යොමු කර ඇත්තේ දූතයකු වෙතටය. මෙම දූතයා නිසා ආසියාතික ආත්මයේ අවිඥානික විශ්වාසය ඔහුට එළිදරව් නොවෙයි. පහත රූපයෙන් සැකෙවින් දක්වා ඇත්තේ අත්තනෝමතිකත්වය පිහිටන ස්ථානයයි. එය පිහිටා ඇත්තේ දෘෂ්ටිවාදය සහ බලහත්කාරය ෙඡ්දනය වන අවකාශයේ ය. ආසියාවේ මිනිස්සු වර්ග දෙකක් ජීවත් වෙති. එක පිරිසක් යුරෝපීයයෝය. අනෙක් පිරිස යුරෝපීයයෝ විචාරය කරන අයයි.

Denis-

 

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...