ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, September 26, 2017
You are here: Home » News » ඉගිල්ලෙන මාලුවෝ චිත‍්‍රපටියේ තහනම අහෝසි කරනු

ඉගිල්ලෙන මාලුවෝ චිත‍්‍රපටියේ තහනම අහෝසි කරනු 

Kahlo-Stalin

ආනන්ද වක්කුඹුර විසිනි, 2013 දෙසැම්බර් 6

ඉගිල්ලෙන මාලුවෝ, චිත‍්‍රපටියට පනවා ඇති තහනම ද අධ්‍යක්ෂ සංජීව පුෂ්ප කුමාර, එහි නලු නිලියන් හා ශිල්පීන්ට එරෙහි රාජ්‍ය දඩයම ද පරාජය කිරීමට කම්කරු පන්තිය ඉදිරිපත් විය යුතු ය. ආධුනික අධ්‍යක්ෂවරයෙකු ගේ ප‍්‍රථම නිර්මානය වන මෙම චිත‍්‍රපටය, යුද්ධයේ සමාජ ව්‍යසනයට ගොදුරු වූ නැගෙනහිර පලාතේ ගමක් පසුබිම් කර ගත්තකි.

විදේශ හා පුද්ගලික ප‍්‍රදර්ශන සඳහා ආන්ඩුවේ අනුමැතිය ලබා තිබූ මෙම චිත‍්‍රපටිය පසු ගිය ජූලි මස ප‍්‍රන්ස තානාපති කාර්යාලය සංවිධානය කල චිත‍්‍රපටි උලෙලේ දී ආරාධිතයින් ඉදිරියේ පෙන් වීමෙන් පසු ව ආන්ඩුව එම චිත‍්‍රපටය මෙන් ම චිත‍්‍රපට උලෙල ද තහනම් කලේ ය. තහනමට හේතු වශයෙන් දක්වනු ලැබූයේ ශී‍්‍ර ලංකා හමුදාවන් අපකීර්තියට පත් කිරීම, චිත‍්‍රපටියේ නිශ්පාදනය සඳහා එල්ටීටීඊයෙන් මුදල් ලබා ගැනීම සහ අවසර නො ලබා ආන්ඩුවේ හමුදාවන් ගේ නිල ඇඳුම් පාවිච්චි කිරීම වැනි සාපරාධී ගනයට අයත් චෝදනා ය.

ආන්ඩුව තම දඩයම දියත් කලේ බොදුබල සේනා නමැති බෞද්ධ අන්තවාදී සංවිධානය වීදිවලට ගෙන එමින් ප‍්‍රන්ස තානාපති කාර්යාලය දක්වා පෙලපාලියක් සංවිධානය කරවමිනි.

ඒ සමග ම ආන්ඩුව තම ජන මාධ්‍ය යොදවා චිත‍්‍රපටියට එරෙහිව ප‍්‍රචාරක යුද්ධයක් උසිගැන්වී ය. ප‍්‍රධාන ශිල්පීන් රහස් පොලීසියට ගෙන්වා ප‍්‍රශ්න කිරීම ඇරැඹුනු අතර චිත‍්‍රපටියේ රඟපෑ කුඩා දරුවන් දෙදෙනෙකු ප‍්‍රශ්න කිරීම සඳහා පොලීසියට ගෙන ඒමට උත්සාහයක් ද දැරිනි.

ආන්ඩුව විදේශයට යවා තුබූ ඒවා ද ඇතුලුව චිත‍්‍රපටියේ මි.මී. 35 පිටපත් සියල්ලම අත්අඩංගුවට ගත්තේ ය. විදේශයෙහි තිබූ අවසාන පිටපත බලහත්කාරයෙන් අත්පත් කරගනු ලැබූයේ එය රක්ෂනය කිරීම සඳහා පැරීසියේ චිත‍්‍රපට කෞතුකාගාරයක තැන්පත් කිරීමට සූදානම් කර තිබිය දී ය.

පරීක්ෂනාවසානයේ දී නඩු පැවරීමට ඉඩ ඇතැ යි ප‍්‍රකාශ කෙරුනු නමුදු ආන්ඩුව තම චෝදනාවන්ගෙන් එකකුදු හෝ ඔප්පු කිරීමට කරුනු ඉදිරිපත් කර නැත.

මෙම චිත‍්‍රපට උලෙලේ ප‍්‍රදර්ශනය කෙරුනු සියලු චිත‍්‍රපට සඳහා අදාල බලධාරීන් ගේ අවසරය ලබා ගෙන තිබූ බැව් ප‍්‍රන්ස තානාපති කාර්යාලය ද චිත‍්‍රපටය විදේශවල ප‍්‍රදර්ශනය කිරීම සඳහා අවසරය ලබා ගත් බව එහි නිෂ්පාදක ඒසියා ඩිජිටල් සමාගම ද කල ප‍්‍රකාශවලට ආන්ඩුව මෙතෙක් අභියෝග කර නැත. චිත‍්‍රපටය තුල දී ශ‍්‍රී ලංකා හමුදාවේ නිල ඇඳුම් පාවිච්චි කර ඇත්තේ අවසර ලබා ගෙන බව ද නිෂ්පාදකවරු ප‍්‍රකාශ කර ඇත.

චිත‍්‍රපටිය නිපදවීමට එල්ටීටීඊය මුදල් යොදවා ඇතැයි යන චෝදනාවට පිලිතුරු දී ඇති පුෂ්ප කුමාර, නිෂ්පාදනය සඳහා ලාංකීක සමාගමක් වූ ඩිජිටල් ඒෂියා එන්ටර්ටේන්මන්ට්ස් සමාගම මුලින් මුදල් යෙද වූ බවත් පසුව යුරෝපයේ ප‍්‍රසිද්ධ චිත‍්‍රපට නිෂ්පාදන ආධාර අරමුදලක් වූ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර චිත‍්‍රපටි උලෙලේ හියුබර්ට් බාල්ස් අරමුදලින් මුදල් යෙද වුනු බවත් ප‍්‍රකාශ කර ඇත. යුරෝපයේ එල්ටීටීඊය ලවා මෙයට මුදල් යෙදවීමේ සම්බන්ධීකාරක කාර්යය කිරීම ගැන පරිවර්තකයෙකු හා ලේඛකයෙකු වූ ගාමිනී වියන්ගොඩට එල්ල කරන ලද චෝදනා මුලුමනින් ම පදනම් විරහිත බව වියන්ගොඩ සහ ඔහු වෙනුවෙන් උද්ඝෝෂනය කල කි‍්‍රයාකාරීන් කන්ඩායමක් ප‍්‍රකාශ කලහ.

ආන්ඩුව විසින් කල් තියා අනුමත නො කරන ලද චිත‍්‍රපට පිටපතක් චිත‍්‍රපටයට නැගීම වලක්වන්නා වූ නීති ඇතුලත් පනතක් ගෙන එන බව ආන්ඩුව මේ දඩයම මැද දී නිවේදනය කලේ ය. පනතට අනුව, චිත‍්‍රපට පිටපත් අනුමැතිය සඳහා විශේෂ නිලධාරියෙක් පත් කෙරෙන අතර ආන්ඩුවේ පිලිවෙත් සම්බන්ධයෙන් සීමිතව හෝ විවේචනශීලී වන නිර්මාන කපා දැමීම ඔහුගේ කාර්යය වනු ඇත. යුද්ධය ගැන විවේචනශීලී චිත‍්‍රපටවලට ඉඩ දිය නොහැකි බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කර ඇති ප‍්‍රකාශයෙන් මෙය වඩාත් පැහැදිලි වේ.

යුද්ධාවසානයෙන් පසු උතුරු නැගෙනහිර පලාත් දැවැන්ත මිලිටරි ග‍්‍රහනයකට යටත් කොට ඇති ආන්ඩුව එම සැලසුම්වලට එරෙහිව ජාතික ව හා ජාත්‍යන්තර ව වර්ධනය වන්නා වූ විරුද්ධත්වයකට මුහුන දෙයි.

එක්සත් ජාතීන් ගේ වාර්තාවලට අනුව යුද්ධයේ අවසාන මාස කිහිපය තුල දී අඩු වශයෙන් 40,000ක් පමන මරා දමනු ලැබ ඇත. සමස්ත යුද්ධය තුල ම මරනයට පත් වී ඇති සංඛ්‍යාව ලක්ෂයක් පමන වන අතර රාජපක්ෂ ආන්ඩුව යුද අපරාධ සහ මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවලට ලක් වී සිටියි.

ඉගිල්ලෙන මාලුවෝ, යුද්ධය තුල නැගෙනහිර පලාතේ මායිම් ගම්මානයක ඉපදී හැදුනු වැඩුනු තමා ගේ පරම්පරාවේ අත්දැකීම් මත ගොඩ නැගූ කෘතියක් බවත් මෙහි දී තම අරමුන වූයේ යුද්ධයේ යථාර්ථය ගැන කෙරෙන සාකච්ඡාවක් සමාජය තුල ඇති කිරීම බවත් අධ්‍යක්ෂ පුෂ්පකුමාර පවසා ඇත.

කථා කිහිපයක් අඩංගු වන චිත‍්‍රපටයක් (anthology film) ලෙස හඳුන්වා දී ඇති මෙම චිත‍්‍රපටය කථා තුනකින් සමන්විත ය. ධනේශ්වරය විසින් වපුරන යුද්ධයේ විමුක්තිකාමීත්වය පිලිබඳ මිථ්‍යාවේ ප‍්‍රතිවිරුද්ධය වන අපේක්ෂා භංගත්වය සහ සමාජ අවමංගතවීම තම නිර්මානය තුලින් ගෙන ඒමට පුෂ්පකුමාර උත්සාහ දරයි.

රාජපක්ෂ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව මත, දැවැන්ත මහජන සුබසාධන කප්පාදුවක ද ප‍්‍රජාතන්තී‍්‍රය හා සමාජ අයිතීන්ට එරෙහි රුදුරු ප‍්‍රහාරයක ද යෙදී සිටී. තම ප‍්‍රහාරයන්ට එරෙහිව වර්ධනය වන මහජන විරෝධය මෙවන් කලා කෘතීන් මගින් ප‍්‍රකාශයට පත් කෙරෙන අතරම එය දල්වා ප‍්‍රානවත් කරන බැවින් ආන්ඩුවට එවන් කෘතීන් ඉවසිය නොහැක.

වර්ගවාදී යුද්ධය දියත් කිරීමත් සමගම කලාවටත්, කලාකරුවන්ටත් එරෙහි ප‍්‍රහාර ඉතාමත් සාපරාධී මට්ටමට නැංගේ එබැවිනි. 1997 දී ප‍්‍රසන්න විතානගේ නිර්මානය කල පුරහඳ කළුවර චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම තහනම් කෙරුනි. 2000 වසරේ දී රාජ්‍ය හමුදා සහ මැරයින් යොදවා ප‍්‍රවීන කලාකරු ධර්මසිරි බන්ඩාරනායකගේ ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යයේ ශිල්පීන්ට ශාරීරික ප‍්‍රහාර එල්ල කර ඔවුන්ගේ ගෙවල් ගිනි තබන ලදී. 2005 දී අසෝක හඳගමගේ අක්ෂරය චිත‍්‍රපටිය තහනම් කර අපරාධ චෝදනා මත ඔහුට එරෙහිව නඩු පවරන ලදී. මීට අමතරව සිරගත කිරීම් හා යුද ප‍්‍රහාර තුලින් උතුරු නැගෙනහිර පලාත්වල කලාකරුවන් මැඩලා සංස්කෘතික ජීවිතය මිරිකා දමන ලදී.

පාලක පන්තිය තුල හෝ එහි සුලුධනේශ්වර සමාජ-දේශපාලන ඒජන්තයන් අතර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි යම් කොටසක් හෝ සිටියේ නම් අද එයද විනාශ වී ගොසිනි.

මෙම චිත‍්‍රපටයට එරෙහි රාජ්‍ය මර්දනයේ දී ව්‍යාජ වම්මුන් හා ව්‍යාජ රැඩිකලුන් ඉටු කල භූමිකාවෙන් එය මනාව විශද විය.

දඩයම දියත් වීමත් සමගම එහි ගොදුරක් වූ ගාමිනී වියන්ගොඩගේ සම චින්තකයන් වන රාවය ලේඛකයින්, දේශපාලන සහකරුවන් හා එන්ජී ඕ කි‍්‍රයාකාරීන් ඇතුලු කන්ඩායමක් උද්ඝෝෂනයක් ආරම්භ කලහ. ඔවුන් කලාකරුවන් හා බුද්ධිමතුන් ලවා විරෝධතා ලිපියක් අත්සන් කරවනු ලැබූ අතර පසු ගිය සැප්තැම්බර් 15 වැනි දා රැස්වීමක් ද පැවැත් වූහ. මෙම රැස්වීමට ආශීර්වාදයක් වශයෙන් එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය සහ තවත් මානව අයිතිවාසිකම් ක‍්‍රියාකාරීහු ගනනාවක් පැමින සිටියහ.

ලිපියෙන් විරෝධතාවය ප‍්‍රකාශ කර තිබුනේ වියන්ගොඩ දඩයම් කිරීම ගැන පමනකි. චිත‍්‍රපටියට සහ අධ්‍යක්ෂට එරෙහි ප‍්‍රහාරයට විරෝධය ප‍්‍රකාශ කිරීමක් හෝ එය නවත්වන ලෙස කෙරෙන ඉල්ලීමක් එහි තිබුනේ නැත. කථිකයන් කථා කලේ ද වියන්ගොඩට එරෙහි ප‍්‍රහාරය තනි කරුනක් ලෙස ගෙන චිත‍්‍රපටයට සහ අධ්‍යක්ෂට එරෙහි ප‍්‍රහාරය පසෙකට දමමිනි.

රැස්වීමේ මුලින් ම කථා කල විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි පැවසුවේ මෙවැනි මර්දන කි‍්‍රයා හෙලා නොදැකිය යුතු බවයි. මර්දනයට ගොදුරු වන ජනතාව ඊට වගකිව යුතු බවත් “ඒ ඒ ජනතාවන්ට ලැබෙන්නේ ඔවුන්ට උචිත පාලකයන්” බවත් ඔහු පැවසී ය.

පශ්චාත් නූතනවාදී එක්ස් කන්ඩායමේ හිටපු අනුනායකයා වූ රංජිත් දේවසිරි ගේ ප‍්‍රකාශය 18 වැනි සියවසේ දී ප‍්‍රන්ස විප්ලවයට විරුද්ධ වෙමින් ද ප‍්‍රන්ස රාජාන්ඩුව පුනරුත්ථාපනයට සහාය දෙමින් ද රුසියාවේ ආන්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරනවලට විරුද්ධ වෙමින් ද ජෝසප් ද මයිස්ත‍්‍ර නම් දර්ශනවාදියා කල සුප‍්‍රසිද්ධ ප‍්‍රතිගාමී ප‍්‍රකාශය නැවත පන ගැන්වීමකි. විසිවැනි සියවසේ දී ෆැසිස්ට්වාදයේ සහ මිලිටරිවාදයේ නැගීම නිසා ඇති වූ විනාශයන් පිලිබඳ වගකීම පක්ෂ සහ නායකත්වයන්ට නොව මහජනයාට පැටවීමේ අටියෙන් මෙම සංකල්පය ස්ටැලින්වාදී කඳවුර විසින් පන ගන්වන ලදී. සංස්කෘතික විනාශයකට සමාජය තල්ලු කිරීම සඳහා පශ්චාත් නූතනවාදීහු මෙම න්‍යාය අද යලි පනගන්වති.

රාවය කතෘ වික්ටර් අයිවන් පැවසූයේ සිදුවන්නේ කුමක්ද යන්න තමාට නො තේරෙන බවයි. මෙම ප‍්‍රකාශය වංචනික වූවකි. ධනවාදය මුලූමනින්ම පිලිගන්නා අයිවන් මුලින් යුද විරෝධියෙක් ලෙස පෙනී සිට යුද්ධයේ අවසාන අදියරේ දී ඊට පක්ෂපාතිත්වය ප‍්‍රකාශ කලේ ය. යුද්ධය මධ්‍යයේ ආන්ඩුව කල ජනඝාතන යුක්ති සහගත කිරීම සඳහා ඔහු දෙවැනි ලෝක යුද්ධයේ දී ඇමරිකන් ආන්ඩුව හිරෝෂිමා සහ නාගසාකි නගරවලට න්‍යෂ්ටික බෝම්බ දැමීම ද යුක්ති සහගත යැයි තර්ක කලේ ය. ඔහු ගේ පුවත්පත සහ ඔහු අයිති සමාජ ස්ථරය යුද්ධයට දුන් මෙම සහාය මගින් කලාකරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය දිරි ගැන්වින.

රැස්වීම මෙහෙය වන්නා බවට කුසල් පෙරේරා පත් වූයේ අහම්බෙන් නොවේ. 1980 ගනන්වල දී අවස්ථාවාදී වාම පක්ෂ සහ වෘත්තීය සමිති නායකත්වයන් ගෙන් ඉවතට වැටීමෙන් පසුව වාසිදායක අනන්‍යතා දේශපාලනයට ඇදී ගිය ඔහු යූඇන්පීය පෙරට දැමීම සඳහා න්‍යාය ගොඩනගන්නන් අතර ප‍්‍රමුඛයෙකි. යූඇන්පී විරෝධීන් ඔහු විසින් හඳුන්වන්නේ ‘වාම බුරන්නන්’ සහ ‘රත්තන් ගෙන් ඉතිරි වූ කැබලි’ ලෙස ය. මාක්ස්වාදය යල් පැන ඇතැයි ද ‘යූඇන්පී විරෝධය මලකඩ කෑ සටන් පාඨය’ ක් යැයි ද යූඇන්පීය ‘සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය’ ක් යැයි ද පවසන ඔහු කියා සිටින්නේ සිංගප්පූරු පොලිස් තන්ත‍්‍රය හා තායිලන්තය දකුනු කොරියාව වැනි දක්ෂිනාංශික තන්ත‍්‍රයන් උදාහරනයට ගනිමින් කාර්යක්ෂම ධනේශ්වර ආර්ථිකයක් ලංකාවේ ගොඩ නැගිය යුතු බව ය.

මෙම ව්‍යාජ වම්මුන් ගේ දේශපාලනය, කලාවේ නිදහස ඇතුලු මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකීමත් සමග කිසිම සම්බන්ධයක් නොමැත.

මෙම චිත‍්‍රපටිය සහ ශිල්පීන් ආරක්ෂා කිරීම සඳහා ධනේශ්වරයට ගැට ගැසුනු සියලු නායකත්වයන් ගෙන් වෙන් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ස්වාධීන මහජන ව්‍යාපාරයක් අවශ්‍ය ය.

එය යුද්ධයේත්, සමාජ අසමානතාවයේත් ඒකාධිපතිවාදය සඳහා ගමනේත් උල්පත වන ධනපති ක‍්‍රමයට එරෙහිව කම්කරු පන්තිය මෙහෙය වීමේ අරගලයක කොටසක් බවට පත් විය යුතු ය. මෙහි තීරනාත්මක දේශපාලන පියවර වන්නේ කම්කරු පන්තියට හැරී එය තුල ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි.
WSWS

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...