උමතුව සෑම විටම පිටමං කරන ලද ආකෘතියක් තුළ හමුවීම අපි වටහා ගන්නේ කෙසේද? හේතුවේ ආධිපත්‍යට යටත් සමාජයක් තුළ උමතුව අහේතුව ලෙස නම් කෙරේ. නමුත් සමස්තයක් සැලකූ විට අපි විසින් අතාර්කික යැයි පිටමං කරන ලද උමතු කතිකාව අපගේ තාර්කික භාවයේම අභ්‍යන්තරික කොටසකි. මේ නිසා තවදුරටත් උමතුව යනු බාහිරට ප‍්‍රක්ෂේපණය කළ හැකි ප‍්‍රපංචයක් නොවේ. ශිෂ්ට සම්පන්න සමාජයක උමතු වූවන් ලෙස සලකා  මානසික රෝහල්වල පුද්ගලයන් පිරිසක් කොටුකර  තැබීම කොතරම්දුරට නිවැරැුදිද? රෝහල්ගත වන සුළු පිරිසට වඩා නිදහසේ ජීවත් වන උමතු පුද්ගලයන් පිරුන සමාජයක ජීවත් වන අපට  උමතුභාවයේ ඓතිහාසික පසුබිම පිළිබඳ අධ්‍යයනය ඉතා වැදගත් වනු නොඅනුමානය. එක් තැනක විධිමත්ව සමාජ කතිකාව පෝෂණය වන විට තවත් තැනකින් මතුවන උමතු පුද්ගලයන්ගේ අතාර්කික ආකෘතියකින් එම කතිකාවේ හැඩය වෙනස් වෙයි. මානසික රෝහලේ ජීවත්වන රෝගීන් සමඟ අප සංවාද නොකළත් මෙවැනි  මානසික රෝගීන් සමඟ සංවාදයේ පැටලී බොහෝ දුර යන  විවිධාකාරයේ අය අපට නිතර මුණගැසේ. මේ නිසා උමතුව පිළිබඳ විධිමත් සාකච්ඡුාවක් දැන් අපට අවශ්‍ය වී ඇත. මිචෙල් ෆුකෝගේ උමතුව සහ ශිෂ්ටාචාරය (Madness and Civilization) කෘතිය ඇසුරෙන් අපි එය ආරම්භ කරමු.

මධ්‍යතන යුගය අවසන් වන විට ලාදුරු රෝගය ලෝකයෙන් තුරන් වී ගිය ද එය වටා වූ ව්‍යුහයන් ඉතිරි වී පැවතිණ. උමතු නැව යනු මේ ආකාරයට ලාදුරු රෝගීන් නැති වී යාමත් සමඟ බිහි වූ සාහිත්‍යමය සහ සත්‍යය ලෙසම පැවතුණ ව්‍යුහයකි. නිරුවතින් ඇවිදින අය ආදී විවිධාකාරයේ උමතු පුද්ගලයන් නැවක දමා ඔවුන්ගේම හේතුවේ ලෝකය සොයා යාමට සැලැස්වීම උමතු නැව මඟින් පෙන්නුම් කරයි. උමතු පුද්ගලයා යුරෝපීය සමාජයට තේරුම්ගත නොහැකි තර්ජනයක් සහිත පුද්ගලයෙකු විය. සාහිත්‍ය, මිථ්‍යා කතා, ප‍්‍රබන්ධ සහ ප‍්‍රහසනවල උමතු පුද්ගලයා පැවතීම තුළ බටහිර මිනිසාගේ පරිකල්පනය උමතුව විසින් ආක‍්‍රමණය කළේය. සාහිත්‍ය තුළ මරණය යනු ඉහළින්ම පැවති දෙයක් වූ අතර පසුව උමතුව ඒ වෙනුවට ආදේශ විය. සාහිත්‍යමය උමතු බවට අප ආකර්ෂණය වේ. මන්ද එය අපගේ ජීවිතයේ අඳුරු, දුෂ්ට දැනුමක් වන නිසාය. උමතු බව විසින් දරා සිටින මෙම දැනුම විසින් ලෝකයේ අවසානය පෙන්නුම් කරයි.

ගොතික් උප සංස්කෘතිය තුළ ඇති සමහර ආකෘති තේරුම්ගත හැක්කේ උමතුව සලකා බැලීමෙන්ය. රූපයේ එහිම වූ උමතුවට අප ආකර්ෂණය වේ. දේවල් ඒවා විසින්ම ගුණාංග, සංඥා, ව්‍යාංග බවට පත්වන අතර එමඟින් එහිම වූ ආකෘතිය වසා දැමේ. තේරුම තවදුරටත් ඍජුව හමු නොවේ. වස්තුව එය විසින්ම කතා කරන්නේ නැත. වස්තුවට පණ දෙන දැනුම සහ එය තැන් මාරු කරන ආකෘතිය අතර පරතරය තව තවත් වැඩි වේ. මේ නිසා එය සිහින දැකීමට නිදහස් වන අතර අතිරික්ත තේරුම්වලින් පිරී යයි. සිහින, උමතු බව, අසාධාරණ බව මෙම අතිරික්ත තේරුම්වලට අයත් වේ. උමතු මිනිසා තේරුමට වඩා රූපයට වඩාත් ළං වේ. මධ්‍යතන යුගයේ දී උමතු බවට එහි දුෂ්ට බව අනුව උස් පහත් බවක් ලැබිණ. විශ්වාසය සහ පිළිම වන්දනාව, බලාපොරොත්තුව සහ බලාපොරොත්තු රහිත බව, පරිත්‍යාගශීලීත්වය සහ තෘෂ්ණාව, ඉවසීම සහ කේන්ති යාම ආදිය සහිත  දහමකට අනුව උමතුව මිනිසා තුළ ඇති දුෂ්ට රෙජීමයකට වැටුණි.

වැරැුදි, පිළිවෙළක් නැති සහ තේරුම්ගත නොහැකි විද්‍යාවක් යනු උමතු බවේ දැනුමයි. උමතු බවේ පළමු ලක්ෂණය පෙන්නුම් කරන්නේ තමා විසින්ම එයට එකතු වීමෙනි. උමතු බව සත්‍යය ලෝකය සමඟ ගනුදෙනු නොකරන අතර මිනිසා ඔහු විසින්ම සත්‍ය ලෙස සංජානනය කරන දේවල් සමඟ බැඳී ඇත. ශේක්ස්පියර්ගේ නාට්‍ය තුළ උමතු බව මඟින් නිරූපණය වූයේ පුද්ගලයෙකුට ලැබෙන නරකම දඬුවමක් ලෙසය. මන්ද උමතු බව නිසා මනුෂ්‍යත්වය නැති වී යන නිසාය. නමුත් මෙමඟින් උමතු බවේ යථාර්ථය නිසි ලෙස පෙන්නුම් නොකරයි. අපට උමතු බව යන අදහස හමුවන්නේ ස්වභාවයෙන්ම අස්වාභාවික දෙයක් ලෙසය. අප සිතන්නේ අපට උමතු පුද්ගලයා පහසුවෙන්ම හඳුනාගත හැකි බවයි. නමුත් මෙම හඳුනා ගැනීමට දේශපාලනික, සංස්කෘතික, වෛද්‍ය විද්‍යාත්මක සහ දාර්ශනික පසුබිමක් ඇත. උමතු බව අපට දාර්ශනික සංවාද තලයට ගත හැකි වුවත් 17 වන සියවසේ සිට දර්ශනය ගොඩනැෙඟන්නේ උමතු බව පළවා හැරීම එක් කොන්දේසියක් කරගනිමිනි. මෙයට හේතුව සත්‍යයේ එක් කුඩා කොටසක්වත් උමතුව තුළින් සොයාගත නොහැකි වීමයි. මේ නිසා උමතු බව තර්ක බුද්ධියේ පාලනයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

ස්වභාවදහම සහ සිහිකල්පනාව අතර පවතින හිඩැස යනු උමතුවයි. සමාජය තුළ  සිදු වන විවිධ කැලඹීම්, හේතුවෙන් සිදුවන චලනය වීම් නිසා අපගේ සිහිකල්පනාවට නිතරම බාධා කිරීම් සිදුවේ. මේ නිසා අප සෑම දෙනාගේම හදවතේ උමතු බව ඇත. මෙම උමතු බව 17 වන සියවසේ දී අපට රෝහල්ගත කළ හැකි දෙයක් බවට පත්කළ හැකි විය. නමුත් නවීන උමතු බව යනු සිහිවිකල් බව ගන්නා ආකෘතියක් නොවේ. උමතු රෝහල තුළ කොටු කරන පිරිසට වඩා නිදහස් පුද්ගලයාගේ සාමාන්‍ය ජීවිතයේ සිදුවන විචලනය වීම තුළ ඔහු උමතුවට ආකර්ෂණය වන බව අප තේරුම්ගත යුතුය. මේ නිසා උමතු බව  තවදුරටත් සමාජයෙන් කොන්කර තැබීම මඟින් අපට අපගේම එක් ස්වභාවයක් මර්දනය කර සැඟවීමට සිදුවේ. 

 

 

 

ඔබේ අදහස කියන්න...