To Speculate — on “Freud”

උමාලි තිලකරත්න සහ සාරංග දිසාසේකර අතර විවාහය දික්කසාදයකින් කෙළවර වී අනතුරුව පසුගිය මාසයේ දී නැවත සාරංග ‘දිනක්ෂි ප්‍රියසාද්’ සමඟ චාම් විවාහයක් සිදු කර ගන්නා ලදි. සාරංග සහ උමාලි අතර විවාහය 90 දශකයේ දී ඇති වූ සනත් ජයසූරිය සහ සුමුදු අතර විවාහය මෙන්ම කෙටි විය. එකල, ඒ පිළිබඳව ‘මාතොට’ සඟරාවේ දීර්ඝ ලිපියක් ද පළ විය. 

                        අප පසුගිය ලිපියෙන් සාකච්ඡා කරන ලද්දේ, X කණ්ඩායමේ සාමාජිකයන් කිසිවෙකු ව්‍යුහවාදීන් නොවී ප්‍රපංචවේදීන් බවට පත් වූ බවයි. අපි මෙම තත්ත්වය දැන් ස්ත්‍රී-පුරුෂ සබඳතා වලට ආදේශ කරමු. 2004 වර්ෂයේ අග දී අපගේ සංවිධානයේ ප්‍රමුඛ පිරිමි සාමාජිකයන් දෙදෙනෙක් තනි ස්ත්‍රියක් වටා භ්‍රමණය විය. මේ ස්ත්‍රිය වනාහි Cutter කෙනෙකි. ඇය තමන්ගේ අත් දෙකම බ්ලේඩ්වලින් විටින් විට කපා ගන්නා තැනැත්තියකි. 2005 සිදුවීමට පසුව සංවිධානයේ ඉතිරි වූ පිරිසෙන් සැලකිය යුතු පිරිසක් මගෙන් මෙසේ විමසන ලදී. “ලංකාවේ සාමාන්‍ය ජහමනයෙක් නම් ස්ත්‍රියකගේ අත්වල කැපුම් පාරවල් ඇත්නම් ඒ ගැන කලබල වී විවාහයක් නොව ඉතා ඉක්මනින් එවැනි අයෙකු අත්හරීයි. නමුත් ඇයි මේ පිරිමි දෙන්නෙක් මේ අත්කැපුම් සහිත ස්ත්‍රියට පොරකන්නේ. ඇයි මින් එක පිරිමියෙක් මේ ස්ත්‍රියව තම ජීවන සහකාරිය කරගන්නේ?” 

                       විප්ලවවාදී දේශපාලන සංවිධානවල ඇතුළේ ඇති සුරංගනා කතා වලට අනුව හමුදාව මඟින් දූෂණය වූ සහෝදරියන්ව විප්ලවවාදීන් පසුව විවාහ කර ගනියි. LTTE සංවිධානයේ නියෝජ්‍ය නායකයෙක් වූ සහ එලිෆන්ට්පාස් කඳවුරට එල්ල කරන ලද ප්‍රහාරය මෙහෙය වූ සන්නද්ධ නායකයා වන බාල්රාජ් විවාහ වූයේ හිස්ටෙරික ස්ත්‍රියක් සමඟ ය. විවාහයෙන් පසුව සංවිධානයටත්, බාල්රාජ්ටත් ඇයව පාලනය කළ නොහැකි වූ අතර ඇය තමන්ට බාල්රාජ් පහර දෙනවා යැයි මුරගාමින් මුලතිව් වීදිවල සැරිසරන්නට විය. LTTE සංවිධානයට ‘හිස්ටීරියාව’ පිළිබඳ (අක්ෂි ශල්‍ය විද්‍යාව ගැන ඔවුන්ට හොඳ අවබෝධයක් විය.) ‍න්‍යායික අවබෝධයක් නොතිබූ නිසා බාල්රාජ්ගේ බිරිඳ නයි ප්‍රහාරයකින් කලකට පසු මිය ගියා ය.

                       දැන් අපි නැවතත් අපගේ සංවිධානයේ පිරිසක් මගෙන් ඇසූ ගැටලුවට මොහොතකට අවධානය යොමු කරමු. විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක් තුළ ඇතිවන සමාජ සබඳතා පන්ති කොක්ටේලයකි. ඉන් අදහස් වන්නේ, පහළ පංතිවල සාමාජිකයන්ට මැද පාන්තික සාමාජික සාමාජිකාවන් හමු වීමයි. සම්භාව්‍ය ආර්ථික විද්‍යා දෘෂ්ටිකෝණයකින් ගත් කළ, ලොව කොතැනත් පහළ සමාජ ස්තරයන් මැද පන්තියට සහ ඉහළ පන්තියට සාපේක්ෂව උන්නතිකාමී ය. ඊට අමතරව, ඔවුන් තම සමීප අනෙකාව සලකන්නේ ඉලක්කයට සාපේක්ෂව තරඟකරුවෙකු ලෙස මිස මනුෂ්‍ය ආත්මයක් ලෙසින් නොවේ. ජර්මන් විඥාණවාදී භාෂාවකින් කිවහොත්, ලංකාවේ පහළම පන්තියේ මිනිස්සු තමන්ට ඉහළින් සිටින පන්තියේ අයව දකින්නේ ‘වස්තු’ (Objects) හැටියට මිස ආත්ම හැටියට නොවේ.

                         ලංකාවේ බහුතර දෙනා සිතන්නේ, ඉහළ පන්තිවල මිනිසුන් පහළ පන්තිවල මිනිසුන් දෙස බලන්නේ ද වස්තු ලෙසින් මිස ආත්ම ලෙසින් නොවේ කියා ය. මේ බොහෝදෙනා මේ අදහස් පළ කරන්නේ තම අත්දැකීම් හරහා ය. නමුත් ව්‍යුහවාදයට අනුව තත්වය වෙනස් ය. ලැකාන් ලිංගික සබඳතා යනුවෙන් දෙයක් නැත යනුවෙන් අදහස් කරන ලද දෙය කුමක් ද?

                              උමාලි තිලකරත්න ධනවත් මැදපාන්තික කාන්තාවකි. සාරංග දිසාසේකර යනු, නන්නත්තාර වූ සහ අටවාගත් පහළ-මැදපාන්තික තරුණයෙකි; ජනප්‍රිය නළුවෙකි. කාන්දමකට ඇල්පෙනෙති ඇදී එන්නාක් මෙන් ඔහු කරා ස්ත්‍රීන් ඇදී එයි. ඒ ඇයි කියා ඔවුන් ද, ඔහු ද නොදනී. ජනප්‍රිය සංස්කෘතිය මිනිසුන්ව විචාරය නො කරන අතර අවස්ථිතිය එහි ප්‍රාථමික මූලධර්මය යි. ජනප්‍රිය සංස්කෘතියට අනුව ‘අප’ වෙනස් විය යුතු අතර ‘ඔවුන්’ වෙනස් නොවේ.

                            බිලී වයිල්ඩර්ගේ විකට තේමාවක් සහිත Some like it Hot (1959) නම් චිත්‍රපටයේ කතා තේමාව වෙතට මොහොතකට අපි දැන් හැරෙමු. මාඟියා කණ්ඩායමකින් ගැලවීම සඳහා සංගීතකාරයන් දෙදෙනෙකු, ස්ත්‍රීන් මෙන් වෙස් වලාගෙන ස්ත්‍රීන් පමණක් සෙල්ලම් කරන සංගීත කණ්ඩායමකට බැඳෙයි. ජෙරී නම් මින් එක් සංගීතකාරයෙක් ෆ්ලොරීඩා හී කෝටිපතියෙක් සමඟ සබදතාවයක් පටන් ගනියි. චිත්‍රපටය අවසන් වන්නේ, අධිවේග බෝට්ටුවකින් ස්ත්‍රියක් මෙන් වේශ නිරූපණය කරගත් ජෙරීට (ඩැග්නිට) කෝටිපතියාගෙන් විවාහයට ආසන්න තැනකට ආ පසු ඉන් ගැලවෙන්නට දරණ වෑයම් තුළිනි. ඇය මෙසේ කිය යි. ‘විවාහය අපේ සම්බන්ධයට හොඳ අවසානයක් නොවේ. මගේ කොණ්ඩය ස්වභාවික එකක් නොවේ. අපිට ළමයි හදන්න බැහැ.’ මේ සියලු බැරියාවන් සඳහා කෝටිපතියා පිළිතුරු දෙයි. ඇඳුමක් නැත්නම් අම්මගේ එක අදින්න පුළුවන්, ළමයි නැත්නම් ළමයි හදාගන්න ගමු ආදී වශයෙනි. මේ විකල්ප අසන ඩැග්නි ඔහුගේ අවසන් තුරුම්පුව අදියි. ඔහු තම බොරු කොණ්ඩය තම හිසින් ගලවා කෝටිපතියාට තමා ‘පිරිමියෙකු’ බව පෙන්වයි. චිත්‍රපටයේ මුඛ්‍ය සටන් පාඨය එන්නේ එතැනදී ය. කෝටිපතියා මෙසේ පවසයි. “Well, Nobody’s Perfect”. (කවුරුවත් සර්වසම්පූර්ණ නැහැ.)

  Reality Not Only As Substance, But Also As Subject

                        බිලී වයිල්ඩර් හරහා උමාලි තිලකරත්න වෙතට ගමන් කරන්නේ නම් ඇය ද කෝටිපතියා මෙන් මෙසේ සිතෙනු ඇත. “ඔව්, මට පේනවා සාරංග කියන්නේ අසම්පූර්ණ  පිරිමියෙක්. සමහරවිට, චපල වෙනවත් ඇති. සමහර තැන්වල දී එයා මට ගැළපෙන්නේ නැති බවත් මට පේනවා. ඒත්…….. කිසිම කෙනෙක් සර්වසම්පූර්ණ නැහැ”.

                         පුද්ගලයෙක් තමන්ගේ බාහිර සියලු වෙනස්කම් වලින් ඉවත් වී, නැතහොත් වෙනස්කම් සමතික්‍රමණය කළ පසු තමන්ට තමන්වම හමු වෙයි. මේ පරමය යි. (වස්තුව සහ ආත්මය ඒකාත්මික වීම.) දෘෂ්ටිවාදය (පුද්ගලයාව ආත්මයක් කරවන අදහස) අවසන් වන මොහොතේ දී මනෝවිශ්ලේශණ ආත්මය (ආත්මය විසින් පුද්ගලයෙකු මවයි) හට ගනියි. මනෝවිශ්ලේෂණය අපට උගන්වන්නේ, පුද්ගලයෙකු තමාගේ අර්ථය සංවිධානය කර ගන්නා ආකාරය නොව ‘විනෝදය’ සංවිධානය කර ගන්නා ආකාරය යි. රැඩිකල් කැපුම ඇත්තේ එතැනයි. 

                     පුද්ගලයෙක් පිරිමියෙක් ද යන්න තීරණය වීමේ දී ඒ සඳහා අදාළ වන ශ්‍රී ලාංකික නිර්ණායකය වන්නේ, පුරුෂ ලිංගය යි. නමුත් මනෝවිශ්ලේෂණ න්‍යායට අනුව කෙනෙක් ‘පිරිමියෙක්’ ද යන්න තීරණය වන්නේ භාෂාවෙනි. ඒ සන්දර්භය තුළ කෙනෙක් පිරිමියෙක් ද යන්න තීරණය වන්නේ, ඔහු සතු සමාජ සංකේත බලයෙන් මිස ස්වභාවික ලිංගික පිහිටීමකින් නොවේ. මනෝවිශ්ලේෂණයට අනුව කෙනෙක් පිරිමියෙක් වනවා ද නැද්ද යන්න තීරණය වන්නේ, කතිකාවෙන් හෝ ස්වභාවිකත්වයෙන් නොව තර්කයෙනි[Logic]. තවත් සරලව කිවහොත්, හැඟවුම්කාරකවල තර්කයෙනි. එනම්, සමපේක්ෂණයෙනි. නැතහොත්, අර්ථයට ඔට්ටු ඇල්ලීමෙනි. ස්ත්‍රියක් ‘පිරිමියෙක්’ පිළිබඳ අවසන් තීරණය ගන්නේ, ස්වභාවික මූලයක් කරා යාමෙන් නොව කතිකාව විශ්ලේෂණය කිරීමෙනි. උමාලි තිලකරත්න විසින් සාරංග දිසාසේකර පිළිබඳ සදාචාර තීරණයක් (ඔහු හොඳ ද/ නරකද) ගැනීමේදී අදාළ වන්නේ ද කතිකාව මිස අත්දැකීම නොවේ. නමුත් අප මෙහිදී සලකා බැලිය යුත්තේ, උමාලි විසින් ‘අත්දැකීමට’ මුල්තැන දී කතිකාවට ද්විතීක ස්ථානයක් ලබා දෙන්නේ මන්ද යන කාරණය යි.

                         කෙනෙක් දෘෂ්‍යමානය විශ්වාස කරන්නේ මන්ද? බාහිරින් බැලූ විට සාරංග දිසාසේකර යනු, සනත් ගුණතිලක වර්ගයේ පිරිමියෙකි. ඔවුන් අත පොවන්නේ හැඟවුම්කාරකවල තර්කනයට ය. මේ හේතුව නිසා ‘පිරිමියෙක්’ යනු, ‘ස්ත්‍රියක්-වැනි-පිරිමියෙක්’ යන ප්‍රවාදය සාරංග වැනි පිරිමින් සහතික කරයි. තත්ත්වය එබැවින්, වසඟකාරී ය . 

                        අපි දැන් සංවාදයේ තීරණාත්මක තැනකට පැමිණ ඇත.

                          ‘උමාලි තිලකරත්නට’ යම් නිශ්චිත දිනක දී සාරංග දිසාසේකර හමුවී ඇත. එම සිදුවීම (Event) අපට ආකාර දෙකකින් කියවීමට හැකි ය. පළමුවැන්න, අත්දැකීම් තලය යි. ඉන් අදහස් වන්නේ, පළමු හමුවීම අත්දැකීමක් (Experience) ලෙස ගැනීමයි. දෙවැන්න, අපට සංකේතීය කියවීමක් ලෙස ගත හැකි ය. සංකේතීය කියවීම යන්න සූත්‍රගත කිරීම දුෂ්කරය. ක්ෂතිමය අත්දැකීමක් (Trauma) යන්න ද දෙයාකාරයකට විග්‍රහ කළ හැකි ය. එකක්, ෆ්‍රොයිඩියානු ක්‍රමය යි. ඊට අනුව, යථාර්ථයේ සැබෑ සිදුවීමක් සිදුවන අතර ඉන් ක්ෂතිමය ආවේදනයක් ආත්මයට උත්පාද වෙයි. උදාහරණයක් ලෙස, ‘තුන්වැනි යාමය’ චිත්‍රපටයේ පර්සි නම් චරිතය අහම්බයකින් දෙමාපිය සම්භෝගය දකින අතර ඊට දඬුවමක් ලෙස ඔහුගේ පියා කම්මුල් පහරක් දෙයි.  ක්ෂතිමය සිදුවීමක් ලැකානියානු ආකාරයකට කියවීම පැහැදිලි ලෙසම විරුද්ධාභාසයකි. ලැකාන්ට අනුව ක්ෂතිය යනු, සංකේතීය ලෝකය තුළ පවතින මර උගුලකි. එය යම් හේතුවක් නිසා (පහරදීමක්) පහල වන්නක් නොවේ. ලැකාන්ට අනුව ක්ෂතිය යනු, පසුආවර්තිතව (Retroactively) පිහිටුවන්නකි. නැතහොත්, ඵලය විසින් හේතුව උත්පාද කිරීමකි. ඒ අනුව ලැකාන්ගේ විග්‍රහය ක්ෂතිය සම්බන්ධයෙන් ගොඩනඟන්නේ ෆැන්ටසි න්‍යායකි.

                              ලැකානියානු විග්‍රහයට අනුව ‘ක්ෂතිය’ යන සිදුවීම ‘සායනයේදී’ ඇත්තටම වූවක් ද නැතහොත් එවැනි සිදුවීමක් ෆැන්ටසියක් ද යන්න වැදගත් නැත. ඉන් අදහස් වන්නේ, උමාලිට සාරංග ඇත්තටම හමුවීමටත් කලින් හමුවී ඇති බවයි.                 

ලැකානියානු විග්‍රහයට අනුව ‘තුන්වෙනි යාමය’ චිත්‍රපටයයේ පර්සි පියාගෙන් පහර කෑමට ලක්වීම පර්සිගේ ම ෆැන්ටසියක් (අනෙකාගේ ප්‍රහේලිකාමය ආශාව වටහා ගැනීමට ආත්මය ලබා දෙන උත්තරය) විය හැකි ය. මේ අර්ථයෙන් ගත් විට, උමාලිට සාරංගව ප්‍රථම වරට හමුවීම (First Impression)  අහිංසක එකක් නොවේ. චිත්‍රපට ක්ෂේත්‍රයේ කතාබහට අනුව සනත් ගුණතිලක ස්ත්‍රීන් සම්බන්ධයෙන් අහිංසකයෙකු නොවේ. නමුත් ඔහුට රැවටෙන ස්ත්‍රීන්ගේ සනත් පිළිබඳ ‘ප්‍රථම මුද්‍රාව’ එම ස්ත්‍රීන්ගේ ම ෆැන්ටසියක් නම් තත්ත්වය විග්‍රහ කිරීමට ලිබරල්වාදය සෑහෙන්නේ නැත.                                       

අපට පළමුවෙන් හමුවන්නේ, අනෙකා පිළිබඳ ප්‍රථම මුද්‍රාව නොහොත් දෘෂ්‍යමානය යි. –appearance2 වරට සිදු වන්නේ, මෙම දෘෂ්‍යමානය මෝඩකමක්, රැවටීමක් ලෙස වටහාගෙන ඊට යටින් ඇති සැබෑ සාරය හෝ සත්‍යය හමු වීමයි. සනත් ගුණතිලකගේ දෘශ්‍යමානය අහිංසක පිරිමි පෙනුමකි. ස්ත්‍රියක් ආකර්ෂණය වන්නේ මෙම ප්‍රතිරූපයටයි. නමුත් දෙවැනි පියවරේ දී ඔහු චපල බව ස්ත්‍රියට වැටහෙයි. ඒ නිසා, තුන්වැනි පියවරේ දී සනත් ගුණතිලකගේ සැබෑ ප්‍රතිරූපය එනම්, ඇත්තටම ඔහු චපල බව ස්ත්‍රිය වටහා ගනියි. දැන් අපට විසඳිය යුතු විරුද්ධාභාසයක් ඇත.             

නමුත් අප ඉහත කතාවට දයලෙක්තික උඩු යටිකුරු කිරීමක් කරන්නේ නම් එය මෙසේ ය. ස්ත්‍රියක් මෙසේ සිතුවා යැයි නිගමනය කරමු. සැබෑ සනත් යනු, ස්ත්‍රීන් හෝ සමාජය ඉදිරිපිට දුර්වල පිරිමියෙකි. මේ හේතුව නිසා ම ඔහු ස්ත්‍රීන් ඉදිරිපිට තමන්ට ඇත්තටම නැති සුවිශේෂී පිරිමිකමක් විද්‍යාමාන කිරීමට උත්සාහ කරයි. ඔහුට කිට්ටු වන ස්ත්‍රීන් නොදැනුවත්ව උදව් කරන්නේ මේ වේශ නිරූපණයට ය.                                                               

සනත් ගුණතිලක සම්බන්ධයෙන් අප ඉහත දී කළ චින්තන පර්යේෂණයට අනුව සිනමා ක්ෂේත්‍රය තුළ සිටින සනත් යනු, තිරය මත පමණක් පිළිබිඹු වන ප්‍රතිරූපයකි. චිත්‍රපට නිළියන් තම තමන්ගේ ෆැන්ටසි ඔහුට ආදේශ කළ විට චපල පිරිමියෙක් ඔවුන්ට හමුවන අතර ඉන් ඔවුන් ලබන වේදනාත්මක සතුට ඔවුන්ගේ ආශාව පරයා අධිනිශ්චය වෙයි. යථාර්ථය පිළිබඳ අනුභූතික තලයේ සිදුවන විග්‍රහයකට අප හසු නොවන්නේ නම් සනත් සම්බන්ධ ස්ත්‍රීන්ගේ ‘වේදනාත්මක සතුට’ ඔවුන්ගේම ආයෝජනයකි. ඒ අර්ථයෙන්, දයලෙක්තිකය න්‍යායක් වන අතර එය දර්ශනයට අදාළ වන්නේ නැත. තුන්වැනි පියවරක දී අප වටහාගත යුත්තේ, සනත් ගුණතිලක යනු ඔහුගෙන් පහරකෑමට ලක් වූ ස්ත්‍රීන්ගේ ම ‘ආත්මමූලික-වාස්තවිකත්වයක්’ (ෆැන්ටසිය) බවයි.        

දැන් අපි උමාලිට එමු. සාරංග චපල ලෙස ඇයව අතහැර සක්කරවට්ටමක් සමඟ දීග ගියා යැයි සිංහල-බෞද්ධයන්ට තර්ක කිරීමට හැකි ය. නමුත් උමාලි දෘශ්‍යමානය තුළම සාරංගගේ චපල බව නොදැක්කා සේ සිටි බව ද (නරුමත්වය) තේරුම් ගත හැකිය. මේ සන්දර්භය තුළ සාරංග යනු, උමාලිගේ ම වාස්තවිකත්වයකි. ඇගේ ආශාව එහි නිෂ්ඨාව ලබා ගන්නා drive එක -නැතහොත් වේදනාව- යනු, බාහිර සිටින සාරංග නොව ඇගේම ෆැන්ටසියකි. යථාර්ථයේ දී කිසිවෙකු පරිපූර්ණ නැත යන ආප්තය සියල්ලන්ට ම අදාළ වන්නේ මේ නිසා ය. උමාලි තිලකරත්න ව්‍යුහවාදියෙක් නම් ඇයට තම අත්දැකීමෙන් දැන් පිටතට පැමිණීමට හැකි ය. එසේ විත් ඇයට මෙසේ පරිකල්පනය කළ හැකි ය. “සාරංගගෙන් වේදනා විඳීම ඔහුගේ ව්‍යාපෘතියක් හෝ කපටිකමක් නොව මාගේ ම ආත්මය මා උදෙසා නිර්මාණය කළ කපටි ප්‍රයෝගයකි”. මෙය ආත්මයේ කපටි රංගනයකි.

                                          සංකේත මඟින් පාලනය වන සමාජයක ජීවත්වන අපට අප විසින් අප වෙතට ම එවන පණිවිඩය වැටහෙන්නේ අන් අයෙකුගේ පණිවුඩයක් ලෙසිනි. උමාලි තිලකරත්නට අවසානයේ වැටහෙන්නේ, තමන්ව සාරංග රැවැට්ටූ වගයි. ඇය දැන් තීරණය කොට ඇත්තේ, ධීර කාන්තාවක් ලෙස ජීවත් වීමටයි. නමුත් රැඩිකල් වීමට ඇය තව පියවරක් තැබිය යුතුය. තමන්ට නොගැළපෙන පහළ පන්තික වංචනික පිරිමියෙකු ‘රෝමියෝ’ කෙනෙක්ව ලෙස විවාහය සඳහා තෝරා ගත්තේ උමාලිම ය. මෙය ඇයගේ අහමේ (Ego) කතන්දරය යි. නමුත් ඇය මුහුණ දීමට අකමැති වන්නේ, ඇයගේ ආත්මයට (Subject) සම්මුඛ වීමට ය. මන්දයත්, මේ සාරංග නම් මරාලය ඇයගේම ෆැන්ටසියක් නිසා ය. ඇයට අවශ්‍ය වූයේ, ආත්මයේ මානයෙන් සාර්ථක විවාහයක් ගත කිරීමට නොව විවාහය කඩාකප්පල් වීමෙන් පසු බිහි වන වේදනාකාරී වර්තමානයක් ය. එබැවින්, උමාලිට මේ විඳවීමෙන් ඉවත් වීමට අවශ්‍ය නම් සාරංග නම් ‘අත්දැකීම’ සහමුලින් ම අහෝසි කළ යුතු ය. එපමණක් නොව, ඇයව මුළා කළ මේ සමස්ත සංකේත පද්ධතියම අහෝසි කළ යුතු ය.[Revolution ?] මන්දයත්, මෙම සංකේත පද්ධතිය ඇයට යෝජනා කරන්නේ අර්ථයක් හෝ ආලෝකයක් නොව ව්‍යාකූලත්වයක් සහ අන්ධකාරයක් නිසා ය.                                  

එසේ නම්, අතපය කපා ගත් ස්ත්‍රියක් සමඟ විවාහ වූ අපගේ පක්ෂ සාමාජිකයා ගැන කුමක් කිව හැකිද? ඔහු වහාම Fight Club චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මෙන් තමන්ගේ දෑත් වලින් තමන්ටම පහර දිය යුතු ය. ඒ සඳහා, තම බිරිඳව දුර පළාත්වල නිවාඩු නිකේතනවලට ගෙන ගොස් ඇය ලවා තමාට පහර කෑමට සළස්වා ගැනීම රෝග ලක්ෂණයක් මිස විසඳුමක්[?] නොවේ.

Deepthi kumara  Gunarathne

What is fucking love in Post-Modern Era… – Where is Umali  Chithral ?

|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here