එමීගේ කතාව

0
4640

 

”දිනය 1931 අපේ‍්‍රල් 18. එක්තරා තරුණ ස්ත‍්‍රියක් එදින පැරිසියේ ශාන්ත ජෝර්ජ් රඟහල ඉදිරිපිට බලා සිටියේ කිසිවකු බලාපොරොත්තුවෙනි. නාටකය අහවරව සියලූ පේ‍්‍රක්ෂකයන් පාහේ පිටතට යද්දී ඇය අපේක්ෂාවෙන් සිටි තැනැත්තිය ද ඇය සිටි දෙසට පියනගමින් සිටියාය. ඇය අන් කිසිවකු නොව එදින එම රඟහලෙහි රඟ දැක්වුණ (Everything is Going Well) ‘ඔක්කොම හරි’ නමැති නාට්‍යයේ රඟපෑ හුගුවෙට් ඩෆ්ලෝස් නමැති සුප‍්‍රකට නිළියයි.”

”ඔයා ඩෆ්ලෝස් මැඩම්ද?”

අර තරුණ ස්ත‍්‍රිය නිළිය විමසුවාය. නිළිය තම අනන්‍යතාව තහවුරු කළ විටම ස්ත‍්‍රිය තම අත් බෑගයෙන් විශාල දඩයම් පිහියක් එළියට ගෙන ඇයට පහර එල්ල කරන්නට වූවාය. පිහි පහරින් නිළියගේ අත් කැපිනි. නාට්‍යයට සම්බන්ධ පිරිස් සහ අවට සිටි අය එක්ව වහාම ස්ත‍්‍රිය මෙල්ල කරගත්හ. පොලිස් සිර මැදිරියක දෙමසක් රඳවා ගත් ඇය මානසික රෝහලකට ඇතුළත් කෙරිණි. ඇය අපූර්ව ලෙස සන්සුන් වූවාය. එවැනි දෙයක් කිරීමට තමා පෙලඹුණේ කුමක් නිසාද? ඇය ඇසුවාය. ඩෆ්ලෝස්ට පහර දීමට ඇයට සිතුණේ ඇයි? ඇය තුළ වූ ඝාතන අනුරාගය දියවී ගොස් අපූර්ව වූ සන්සුන් බවක් ඒ තැන ගත්තේය. එබඳු තැති ගන්වනසුලූ උමතුවක් ඒ තරම් නාටකීය වූ සංහිඳියාවකට සහ ශාන්ත බවකට පල්ලම් බසින්නේ කෙසේද?

තමා ලියූ නවකතාවලින් එකක එන ප‍්‍රධාන චරිතයක් අනුව යමින් එමී (Aimee) යනුවෙන් ප‍්‍රකට වූ මාගරිටා අන්සියු නමැත්තියගේ රෝග විනිශ්චය අපට සයිකෝසියාව විමෝචනය වීම පමණක් නොව අනතුරුව එය පැහැදිලි ප‍්‍රකෘති සිහිය (Sanity) ලෙසට රූපාන්තරණය වීමත් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයකට අවකාශ සලසයි. අභ්‍යන්තරිකව සයිකෝසියාව පවතිද්දී බාහිරව සමතුලිත බව පෙන්වන අවස්ථාවන් කොතෙකුත් ඇත. මෙබඳු රූපාන්තරණයකට අවකාශ සලසන්නේ කුමක් විය හැකිද?

අන්සියු (Sanity) මානසික රෝහලේ සිටිය දී එක්තරා තරුණ මනෝ චිකිත්සකයකුගේ ආකර්ෂණයට ලක් වූවාය. ඔහු අනෙකකු නොව ෂාක් ලැකාන්ය. ඒ වන විට තිස් එක්වන වියේ පසුවූ ලැකාන් වෛද්‍ය විද්‍යාවට අදාළ තමාගේ ආචාර්ය උපාධි නිබන්ධය සඳහා ආත්ම දණ්ඩනයක් වූ පීඩනෝන්මාදය (Self – Punishment Paranoia) යන තේමාව ප‍්‍රස්තුත කර ගනිමින් පර්යේෂණ කරමින් සිටියේය. මේ කාලය මෙම ප‍්‍රංශ මනෝ චිකිත්සකයා විවිධ වර්ගයේ සයිකෝසියා සහ ඒවාට අදාළ වෙනස් රෝග ලක්ෂණ පිළිබඳ වද වෙමින් සිටි අවධියකි. ලැකාන් මේ වන විටත් ෆ්‍රොයිඩියානු න්‍යායට ආසක්තව සිටි අතර සයිකෝසික වර්ග කිරීම් පිළිබඳව සමකාලීනව පැවති වාද විවාදවලට ප‍්‍රවේශ වීමේ නව ක‍්‍රමවේදයක් ලෙස එය යොදා ගත්තේය. ඒ කාලයේ මනෝ විශ්ලේෂණය යම් නියුරෝසිකයකු හේතුවක් නැතුව අපරාධයක් කිරීම පැහැදිලි කළේ එය තමා මත දඬුවම් පමුණුවා ගැනීමේ වුවමනාවෙන් සිදු කරන්නක් ලෙසිනි. ලැකාන් කල්පනා කළේ දඬුවම පිළිබඳ ගවේණයෙන් යම් සයිකෝසියානු ආකෘතියක් නිර්වචනය කළ හැකි වනු ඇති බවයි.

1931 ජුනිවල දී ඔහුට අන්සියු මුණගැසුණු විට ඔහුට පෙනී ගියේ තමා සොයමින් සිටි විදියේ රෝග විනිශ්චය අවස්ථාවක් තමාට ලැබුණු බවය. එහි සිටියේ මායා මතිභ‍්‍රමවලින් පෙළුණ මිනී මැරීමට පවා තැත් කළ සයිකෝසික ආත්මයකි. එහෙත් ක‍්‍රියාව කර වැඩි කලක් ගත නොවී ඇය තමා කළ දේ ගැන පසුතැවෙන සන්සුන් තැනැත්තියක බවට පත්වූවාය. ඉන් පෙනී ගියේ ඇය ලබා ගත් දඬුවම ඇගේ උමතු බව කෙරේ ප‍්‍රබල ලෙස බලපෑ බවය. තම ක‍්‍රියා තුළින් ඇය සොයාගත් පරිදි ඒවා තමාගේ වරද පිළිබඳ දැනුවත් වීමකි. ඇය වූ කලී තමාගේ නිබන්ධය සඳහා පාදක කර ගත් රෝග විනිශ්ච අවස්ථා (Cases) හතළිහකින් එකක් පමණක් වුවත් ලැකාන් අවුරුදු එකහමාරක් තිස්සේ ඇය දිනපතා පරීක්ෂා කර තිබිණි. ඒ අනුව ඔහුගේ නිබන්ධයේ විශාල කොටසක් වෙන්වූයේ අන්සියුගේ ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයකටය. සායනික විස්තරවලින් ඔහුගේ අවධානයට ලක් වූයේ වෙනස සිදුවූ නිමේෂයයි. එනම් අන්සියුගේ මායා මතිභ‍්‍රම දෘශ්‍යමානික ලෙස වාෂ්පව ගියේ කුමන අවස්ථාවේදී ද යන්නයි.

උමතු බව පිළිබඳ මෙම කතා බහේ තීරණාත්මක ප‍්‍රශ්නය එයයි. පැහැදිලිව පෙනෙන ප‍්‍රචණ්ඩකාරී සයිකෝසියාව රහෝගතව පවතින කිසිවක් බවට පත්වීමයි. මාගරිටා (එමී) අවුරුදු කීපයක් රෝහල්ගතව සිටියාය. එහි දී කිසිදු ප‍්‍රචණ්ඩකාරී බවක් හෝ සමාජ විරෝධී යයි කියන හැසිරීමක් ඇය වෙතින් පළ නොවිණි. ඇයට අදාළ ලේඛනවලින් පෙනී ගියේ ඇගේ සිරගත කාලය තුළ ඉතාම සන්සුන්ව සහ හොඳින් වැඩ කළ තැනැත්තියක බවත් තමා නිදහස් කරන්නැයි නිතර ඉල්ලා සිටි බවත්ය. 1938 දී තමා රඳවා සිටි උමතු රෝහලින් වෙනත් රෝහලකට මාරු කර යවනු ලැබූ ඇය එහි දී නිදහස් කෙරුණි. ගෘහ සේවිකාවක ලෙසත් පිරිසිදු කරන්නියක ලෙසත් ආදී වශයෙන් විවිධ රැුකියා කළ ඇය ඉන්පසු මනෝ චිකිත්සනයේ හෝ නීතියේ අවධානයට ලක් වූයේ නැත. ඇය 1981 දී මිය ගියාය.

1882 දී ජූලි මස දිනෙක ප‍්‍රංශයේ මධ්‍යම පළාතේ විසූ දුගී ගොවි පවුලක මාගරිටා පැන්ටේන් උපන්නාය. ඇය ඔවුන්ගේ හතරවන දරුවා වූ අතර ඇයට බාල තවත් සහෝදරයන් තුන් දෙනෙක් සිටියහ. වැඩිමහල් දරුවා 1890 දී මිය යන විට අවුරුදු පහක් වූ අතර 1891 අගෝස්තුවල මළ දරු උපතක් සිදු විය. මාගරිටාගේ මුල් කාලය තුළ ඇය බලා ගත්තේ ඇයට පස් වසකින් වැඩිමහල් වූ ඇගේ වැඩිමහල් සහෝදරිය වූ එලිසා විසිනි. එලිසා ඇගේ බාප්පා කෙනෙකු ළඟ රැකියාවට ගියාය. තම ළමා කාලය විස්තර කරද්දී මාගරිටා පැවසුවේ ඇය කුඩා කල කොලු කෙල්ලක (Tom boy) මෙන් වැඩිපුර තම සහෝදරයන් සමඟ සෙල්ලම් කළ බවයි. එසේම ඇය හැකි හැමවිටම හුදෙකලාව ගත කිරීමට රුචි වූවාය. තම මව සමඟ ඇයට විශේෂ සබඳතාවක් තිබිණි. ඇය එය හැඳින්වූයේ සුවිශේෂ වූ බැඳීමක් ලෙසය. ඊට අවුරුදු ගණනාවකට පසු ඇය පැවසුවේ ”මට තිබුණේ එයත් එක්කම ඉන්න” යනුවෙනි. ඇය මොනවා කළත් මව ඇයට ආදරය කළාය. ”අපි හිරියට යාළුවෝ වගේ” ඇය පැවසුවාය. ඇය ලැකාන්ට විස්තර කළ පරිදි තම මව හැර යාමට සිදු වීම ගැන නිතර පසුතැවිලි වූවාය.

මාගරිටා නොයෙක් විට තම ‘ඒකාධිපති’ තාත්තාට එරෙහිව නැගී සිටියාය. ඔහුගේ අධිකාරය අභියෝගයට ලක් කළ එකම දරුවා වූයේ ඇයයි. ඇය කොණ්ඩය බැන්දේ ඇයට අවශ්‍ය ලෙසය. ඉන පටිය පැලඳුවේ තම අභිමතය පරිදිය. මවගෙන් අනුබලය ලද ඇය ඇයටම විශේෂ වූ රෙදි භාවිතයෙන් අන් අයගෙන් කැපී පෙනිණි. අවුරුදු තිස් ගණනකට පසුවත් ලැකාන් ඇගේ සහෝදරියන් සමඟ සාකච්ඡුා කරද්දි ඔවුන් කතා කළේ, ඇය පිළිබඳ මතක අවදි කළේ නුරුස්නා ස්වරයෙනි. තම මවගේ අපේක්ෂා ඉටු කරන එකම දරුවා ඇය ලෙස සැලකිනි. මෙහිදී ඇය මත පැටවී තිබූ බර කවරේදැයි යන්නත් ඇයට ඒවා බලපෑ ආකාරයත් අපට මීළඟට සලකා බැලීමට පිළිවන.

 

සමන් වික‍්‍රමාරච්චි

 

ඔබේ අදහස කියන්න...