සම්මාන ලැබූ නවකතාවක් හෝ කෙටිකතා පොතක් ගැන කර ඇති ලිවීම් අතර අපට බොහෝ විට ඇසගැසෙන්නේ ‘‘කුඩුකේඩු’’ විචාරය. අවසන් වටය තෙක් පැමිණි පොත් සමග සසඳමින් කරන එම විචාර වියදම් වන්නේ සම්මාන ලද ලේඛකයා සමග තමාට තිබෙන වෙනත් ප්‍රශ්න විසඳා ගැනීමටය.
එරික්ගේ කෙටිකතා පොත පිළිබඳ මෙම ලිවීම තුළ මම එම පිළිවෙතින් සපුරා බැහැර වෙමි. චයිනා ටවුමට වඩා මා ප්‍රභාත් ජයසිංහගේ ස්වර්ණ කායට කැමැති වුවත් කිසිදු සංසන්දනාත්මක කියවීමකට මම මෙහි ඉඩ නොතබමි. එහෙයින් මේ මොහොතේ මා කියවන්නේ චයිනා ටවුම කෙටි කතා පොතෙහි ඇති කෙටි කතා පමණය. අනෙක් අතට මෙම ලිවීම තුළ චයිනා ටවුම උසස් කෙටිකතා පොතක්ද යන්න හෝ රජත පුස්තක සම්මානය ප්රදානය කිරීමට තරම් වූ පොතක්ද යන්න පිළිබඳ කිසිදු නිගමනයකට හෝ ඉඩක් නොමැති බව කරුණාවෙන් සලකන්න.
අප දන්නා තරමින් එරික් ඉලයප්ආරච්චි යනු යථාර්ථවාදය මහත් කොට ගනිමින් නිර්මාණ කරණයේ නියැළෙන ලේඛකයෙකි. කොටින්ම කිවහොත් යථාර්ථවාදී රීතියෙන් බැහැරව ලියන නවකතාවකට හෝ කෙටි කතා පොතකට සම්මාන ලැබීම ඔහුගේ විවේචනයට ගොදුරු වන සංසිද්ධියකි. එවැනි නිර්මාණ බාල සාහිත්‍ය නිර්මාණ ලෙස ඔහුගේ ගැරහීමට ලක් වෙයි. මේ කෙටි කතා පොතේම පොත් බඳින්නා නම් කෙටි කතාවේ එක් තැනක එම නොපහන් බව ඔහු එළිදරව් කර ඇත්තේ මෙසේය.
”ලේඛකයකු ලෙස මගේ පැමිණීම ගැන ලැබුණ කිසියම් වාසි සහගත හෝඩුවාවක් නිසා මුද්‍රණාලයේ අයිතිකාරයා අප සිටි තැනට පැමිණියේය. ඔහු බොත්තම් නොපියවූ ඉරි කමිසයකින් සැලසී සිටියේය. මා සමග කතාවට වැටුණු ඔහු මා වෙතින් ලජ්ජා සහගත ඉල්ලීමක් කළේ අලුත් පොත් කඩ, ප්ලාස්ටික්, සෙල්ලම් බඩු වැනි පිට කවර සහිත දිලිසෙන දළඹු පොත්, බාල සහිත්‍ය තරග, පොත් ප්‍රදර්ශන, සම්මාන රාත්‍රී විනිසුරු අවතාර යනාදී සියල්ලේ හරය කැටි කර ගත් මෝඩ අහංකාරයකිනි.”
‘‘ලේඛන මහත්තයා අපිට ලියල දෙන්නකෝ ලබන අවුරුද්දෙ බණ්ඩාරනායක සම්මානෙ දිනන පොතක්’’ –96 පිටුව
එරික්ගේ මේ ඇනුම් පද බහුල ලිවීමට ප්රස්තුත වන්නට ඇත්තේ කිසියම් ප්‍රකාශකයකු ඇත්තටම ඔහුට කරන ලද ඉල්ලීමක් විය හැකිය. එබඳු ඉල්ලීමක් බාග විට මුහුණු පොතේ පිණුම් ගසන කිසියම් ප්රකාශකයකුගෙන් දුරකථනය දිගේ ලැබී තිබුණේද යන්න ගැන දන්නේ එරික්ම පමණකි.
මෙම විචාරය යට කී ආකාරයේ ක්ෂුද්‍ර කරුණුවල දිගේ ලිවීමට ඉඩ නොහැර මම ප්රස්තුත සංවාදයට එළඹෙමි. මා යට සඳහන් කළ පරිදි එරික් ඉලයප්ආරච්චි කෙතරම් ලෙස යථාර්ථවාදය මහත් කොට ගත්තද ඔහු තරම් ෆැන්ටසි මත යැපෙන අන් ලේඛකයකු නොවන තරම් යැයි කීමට මෙහිදී මට සිදුවෙයි. එනම් ෆැන්ටාස්මතික ආධාරයකින් තොරව යථාර්ථයට නැතහොත් සංකේත ප්‍රබන්ධයට පැවැතිය නොහැකි බව මෙහි එන සියලුම කෙටි කතා මගින් ස්ථුට කරන බවය.
බොහෝ විට පොදු ව්‍යවහාරයේදී ෆැන්ටසි යනු යථාර්ථයෙන් වියුක්ත වූ කිසිවක් ලෙස හඳුනා ගනී. එනම් එය යථාර්ථයට එරෙහිව යන ප්රබන්ධමය ස්වරූපයකි. එහෙත් මෙය සාවද්‍ය නිගමනයන් බව මුලින්ම එළිදරව් වන්නේ ෆ්‍රොයිඩියානු කියවීම් තුළය. මනෝ විශ්ලේෂණයට අනුව යථාර්ථය යනු ආත්මයා (Subject) විසින් බාහිර මැදිහත් වීමකින් තොරව ලබන අත්දැකීමක් සේ ගැනීම ගැටලුකාරීය. යථාර්ථය යනු මිනිස් ආත්මයාගේ (Human subject) ආශාව මගින් කිළිටි කරන ලද අවබෝධ මගක් සේ ගැනීම නිවැරදිය. ඒ අනුව අප යථාර්ථය සේ ගන්නා දෙය ආශාව (desire) මැදිහත් වීමෙන් ආත්මීය බව (Process of Subjectivity) ගොඩ නැගීමේ ක්‍රියාවලිය මිස අන් කිසිවක් නොවේ.
මෙහිදී ෆැන්ටසිය ක්‍රියා කරන්නේ ආත්මයාගේ නැතහොත් පුද්ගලයාගේ පරිකල්පන වේදිකාව මත ආශාව රංග ගත කරන දර්ශනයක් වශයෙනි. මේ හේතුව නිසා ලැකාන් ඔහුගේ ෆැන්ටසියේ තර්කනය (The Logic of Fantasy) නමින් පවත්වන ලද සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ කළේ ආශාව යනු යථාර්ථයේ සාරය වන බවයි. ලැකාන් මින් අදහස් කළේ ෆැන්ටසිය ආශාව සඳහා පසුතලය වන බවය.
එහිදී ෆැන්ටසිය අපට අච්චුවක් (Matrix) සපයන අතර අප ආශා කිරීමට පටන් ගන්නේ ඒ අච්චුව හරහාය.
මා ඉහත හැකි තරම් සරල ලෙස පැහැදිලි කිරීමට උත්සාහ කළේ මෙම කෙටි කතා කියවීම සඳහා උපයුක්ත වන න්‍යායික ප්රවේශයයි. ඇත්ත. මෙම කියවීමෙහි පදනම මනෝ විශ්ලේෂණය නැතහොත් ලැකානියානු ප්‍රවාද තමයි. එහෙත් මෙම පොතෙහි එන හැම කෙටි කතාවක්ම එකී ලැකානියානු ප්‍රවාද නම් උරගලෙහි පිරි මැද බැලීමට තරම් ඉඩකඩක් මෙහි නැත. එහෙත් මවිසින් සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ නවකතාව මනෝ විශ්ලේෂණීය කියවීමකට බඳුන් කරමින් ලියූ තරම් දීර්ඝ ලිවීමකට ප්‍රමාණවත් ෆැන්ටසිකරණයක් මේ කෙටි කතා අතර ඇත.
මෙම කෙටි කතා පොතෙහි එන තනි කකුල නමැති කෙටි කතාව කියවද්දී මගේ සිහියට නැගුණේ මැක්සිම් ගෝර්කිගේ ‘‘මිනිසුන් විසි හය දෙනා සහ තරුණිය’’ නම් කෙටි කතාවයි. ගෝර්කිගේ කෙටිකතාව බේකරියක වැඩ කරන කම්කරුවන් සමග යම් සබඳතාවක් පැවැත්වූ තරුණියක් ප්රස්තුත කර ගනිමින් ලියවේ. ඔවුන්ගේ ෆැන්ටසි වස්තුව වන්නේ එම තරුණියයි. එනම් ඔවුන්ගේ ආසාවේ වස්තු හේතුව (Object cause of desire) වන්නේ ඇයයි. එහෙත් තුන්වැන්නකුගේ මැදිහත් වීම නිසා මෙම බේකරි කම්කරුවන්ගේ ෆැන්ටසිය බිඳ වැටෙයි. එවිට ඔවුන්ගේ නිම්හිම් නැති කෝපය එල්ලවන්නේ අර තුන්වැන්නා කෙරේ නොව වරක් තමන්ගේ ආශාවේ වස්තුව වූ තරුණිය කෙරේය. ෆැන්ටසි බිඳ වැටුණු විට මිනිසුන් කෙතරම් ප්රඩණ්ඩකාරී විය හැකිද යන්න විශද කරන එබඳුම කෙටිකතාවක් නම් පැට්‍රිෂියා හයස්මින්ගේ Black House ය. (Black House by Patricia Highsmith) එරික්ගේ කෙටි කතාවද තරුණියක ප්රස්තුත කර ගනිමින් ලියවෙයි. එහි සිටින්නේ විසල් කැලයක් මැදින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදි කරන කම්කරුවන් පිරිසකි. මෙම ව්‍යාපෘතිය භාර කොන්ත්‍රාත්කරු තමා යටතේ වැඩ කරන කම්කරුවන් කළමනාකරණය කරන්නේ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ තම අවධානය යොමු කරමිනි. එහිදී ඔහු ඔවුන්ට උපත් පාලන කොපු පවා නොමිලයේ සපයා දෙයි. ඔවුන් අතරට පැමිණෙන තරුණිය ගෝර්කිගේ කතාවේ මෙන් කම්කරුවන්ගේ ෆැන්ටසිය බවට පත් නොවන මුත් කොන්ත්‍රාත්කරු වූ ලෝරි අබේනායකගේ ආශාවේ වස්තුව බවට පත් වෙයි.
ස්ත්‍රියක් ආශාවේ වස්තු හේතුව නැතහොත් ආශාවේ ක්ෂුද්‍ර වස්තුව (Object – Petit – a) බවට පත්වීමේ ක්‍රියාවලිය සංකීර්ණය. වස්තුව (Object) වූ කලී නිර්මාණය කරන කිසිවකි. ලැකාන්යානු ඇරුතකින් යම් වස්තුවක් උත්කෘෂ්ට වූ දෙයක් (Thing) බවට පත්වීම අවශ්‍යය. මේ උත්කෘෂ්ඨ භාවය (Sublimation) සිදුවන්නේ එදිනෙදා යථාර්ථය තුළ එම වස්තුව කෙනකුට අත්පත් කර ගත නොහැකි තරම් වූ දෙයක් බවට පත්වීමෙනි. කලකට පෙර X කණ්ඩායම පෙරුම් පුරන ආදරය (Country Love) යනුවෙන් හැඳින්වූ ප්‍රේම නර්තනය මෙහි ඇත.
එරික්ගේ කෙටි කතාව තුළ මෙය සිදුවන ආකාරය අප විවරණය කර බලමු. තරුණිය ආඩ්යානය-narrative- තුළට මුල් වරට පිවිසෙන්නේ නොවටිනා කෙල්ලක ලෙසය. කතාකරුවා ඇය පිළිබඳව සපයන්නේ අස්ලීල විස්තරයකි. එම විස්තරය ද එක්තරා විදිහක ෆැන්ටසිමය ලිවිල්ලකි.
ඇය ඇඳ සිටියේ සිරුරට වඩා කුඩා ගවුමකි. ඒ දුප්පත්කමේ ආදරය නිසාය. සිරුරේ තරමට ගැළපෙන ගවුමක් ගන්නට තරම් ඇය ධනවත් නැති බව පැහැදිලිය. සායම බොඳ වී ඇති චීත්ත ගවුම විනා ඊට යටින් කොට ගවුමක් නැත. නිකරයක් කියා දෙයක් තිබේ නම් ඒ ගෑනු අමුඩ ලේන්සුවක් විය යුතුය.
‘‘ඉරුණු ගවුම් කර අතරින් විද්‍යාමාන වූයේ බ්‍රසියරයක් නැති තිඹිරි ගෙඩි දෙකක් වැනි දෙතනකි. ඇගේ මුහුණ පිරිමියකුගේ ආදරය දිනන්නට වුවමනා සැන්ට්, පුයර ආදිය නැති සොවින් පරපීඩිත වූවකි.
‘‘දෙතොලේ හාදු කුසලතාව, පියොවුරුවල මිරිකෙන මෙලෙක, දෙකකුල අතර හිඩැස, ඇඳුම් උනාලු සිරුරේ හැඩය යන දේවල් නොවී නම් ඇගේ එකම උරුමය දා ගිය හේන පමණි-12 – පිටුව
එලෙස නොවටිනා සත්ත්වයකු ලෙස විස්තර වන ඇය කොන්ත්‍රාත්කරුගේ ආශාවේ හේතුව බවට පත් වන්නේ ඇය උත්කෘෂ්ඨ වූ දෙයක් බවට උසස් වීමෙනි. ඇය මෙම සමාජය තුළ උත්කෘෂ්ට වස්තුව (Sublime Object) බවට පත් කරන්නේ තරුණයාගේ ප්‍රේමයයි. තරුණයා සහ තරුණිය අතර ඇති ප්‍රේමය දකින කොන්ත්‍රාත්කරු තුළ ඇතිවන හැඟීම පොදු ව්‍යවහාරයට අනුව ඊර්ෂ්‍යාව යනුවෙන් නම් කර ඇතත් ඔහු ඔවුන්ගෙන් (ඔවුන් දෙස බැලීමෙන්) ආශා කිරීමට ඉගෙන ගනිමින් සිටි බව පැහැදිලි වේ. සැබවින්ම අප ආශා කිරීමට ඉගෙන ගන්නේ අනෙකාගෙනි. සිනමාව අප ආශා කරන දේවල් නොපෙන්වන අතර අපට ආශා කිරීමට උගන්වන විපරිත කලාවකැයි යන ජිවැකියානු ප්‍රවාදය අනුව වුව අප වටහා ගත යුත්තේ එයයි.
එම කෙටි කතාවේ අවසානය මගින් සලකනු කරන්නේ ආශාව (desire) හඹායාම (drive) ලෙස මාරු වීමය. ආශාව යනු අහිමි වූ වස්තුව (Lost Object) පිළිබඳ පිළිවිසීමක් නම් හඹා යාම (Drive) යනු එම අහිමි වීමට ඉල්ලා සිටීමට දෙන නාමයයි. හඹායාම් පාර්ශ්වීය වන බැවින් ඒවා එක් සුවිශේෂී වස්තුවක ඇලෙයි. එහි එන කොන්දේසි විරහිත බල කිරීම ජීවිතය නොසලකා හැරීම හෝ මරණය සමග සම්බන්ධවය.
තරුණිය කොන්ත්‍රාත්කරුගේ ප්‍රේමයට (ආශාවට) අවනත වන්නේ තරුණයාට යළි රැකියාව ස්ථාවර කර දීමේ අරමුණිනි. හඹායාම පිළිබඳ කාරණයේදී ආශාවෙන් හඹායාමට මාරුවීම තුළ අහිමි වූ වස්තුවෙන් අහිමි වීමමැ වස්තුවක් සේ ගන්නා බැව් ඉහත කියවිණි. එහිදී සිදුවන්නේ අහිමි වීම (loss) නිරූපණය කිරීමය. තරුණයා සහ තරුණිය යන දෙදෙනාම කරන්නේ එයය. තරුණිය කොන්ත්‍රාත්කරුගේ ආදරය උදෙසා පරිත්‍යාගශීලී වන විට තරුණයා බිම් බෝම්බයක් මත පය තබයි. සියලු හඹායාම් දිශානගතව ඇත්තේ මරණය හඹායාම. (death drive) දෙසටය.
මෙම කෙටි කතා සංග්‍රහයේ කෙටි කතා අපට හමුවන චරිත වෙන් වෙන්ව කියවීමට ඉවහල් කර ගත හැකි උපක්‍රමයක් ලැකාන් මනෝ විශ්ලේෂණයේ ආචාර ධර්ම (Ethics of psychoanalysis) නමැති සම්මන්ත්‍රණයේදී එළිදරව් කර ඇත. එතැනදී ඔහු සමකාලීන බුද්ධිමතුන් දෙදෙනකු ගැන කියයි. ඔහු ඔවුන් නම් කරන්නේ මෝඩයා (fool) සහ තක්කඩියා (Knave) වශයෙනි. මෝඩයා වූ කලී අහිංසක සරල කෙනෙකි. ඔහු විටෙක කවටයකු බඳුය. ඔහු සම කරන්නේ වාමාංශික බුද්ධිමතාටය.
තක්කඩියා වූ කලී නරුමවාදී (Cynic) ලෙස පුහු වීරත්වය හඹා නොයන්නෙකි. ඔහු යථාර්ථවාදයේ විපාකයන්ගෙන් පලා නොයයි. අවශ්‍ය විටෙක තමා සටකපටයකු බව පිළි ගැනීමට ඔහු මැලිවන්නේ නැත.
අද වනවිට සමාජවාදය බිඳ වැටී ඇත. මේ යුගයේ තක්කඩියා වූකලී නිදහස් වෙළෙඳපොළ පාරට්ටු කරන නව කොන්සවේටිව් මතධාරියෙකි. සමාජ සහයෝගිතාව ප්‍රතික්ෂේප කරන්නේය. එය නිෂ්පාදනයට එරෙහි භාවාතිෂයතාවක් සේ ගනිමිනි. ඒ අතරතුර වාමාංශික මෝඩයා විසංයෝජනීය සංස්කෘතික විචාරකයකු බවට පත්වී ඇත. ඔහු තමාගේ හාස්‍යජනක ක්‍රමවේදයන් සමගින් පවතින ක්‍රමය උඩුයටිකුරු කිරීමට කතා කරයි. සැබැවින්ම සිදුවී ඇත්තේ එය පවත්නා ක්රමයේම අතිරේක්කයක් (Supplement) වීම පමණකි.
යට කී වාමාංශික මෝඩයා සහ දක්ෂිණාංශක තක්කඩියා පිළිබඳ උදාහරණ මෙහි එන සෑම කෙටි කතාවකින්ම සොයා ගත හැක. අප ඉහත සංවාදයට ලක් කළ තනි කකුල නම් වූ මුල්ම කතාවේ කොන්ත්‍රාත්කරුගේ භූමිකාවට පොලා පැන සිටින්නේ දක්ෂිණාංශක තක්කඩියා වද්දී තරුණයා වාමාංශික බුද්ධිමතා බව වටහා ගත නොහැක්කේද? එහෙත් මේ චරිත දෙක වඩාත් හොඳින් රඟන අවස්ථාව නිරූපණය වන්නේ පොත් බඳින්නා නමැති කෙටි කතාවේය.
එම කෙටි කතාවේ එන මුද්‍රණාලය හිමිකරු පොත් ප්‍රකාශකයකු ලෙස කතාවේ කථකයා වූ ලේඛකයාගෙන් කරන ඉල්ලීමක් මෙම ලිපිය මුලදීම උපුටා දැක්විණි. එහිදී අප දකින්නේ ලැකාන් විස්තර කරන දක්ෂිණාංශික තක්කඩියාය. ඔහු එතැනට පැමිණෙන්නේ තමාගේ පැමිණීමේ වාසි සහගත හෝඩුවාව ලැබීමෙනැයි ලේඛකයා කල්පනා කරයි. තමා රැවටිලිකාරයකු බව සැඟවීමට වුවමනාවක් ප්‍රකාශකයා තුළ නැත.
‘‘ලේඛක මහත්තයා අපට ලියල දෙන්නකෝ ලබන අවුරුද්දෙ බණ්ඩාරනායක සම්මානෙ දිනන පොතක්. මුද්රණාලකරුවා කරන මෙම ප්‍රකාශය තුළ හුදු ඉල්ලීමක් පමණක් නොව පොරොන්දුවක් ද රහෝ ගතව තිබේ. එම පොරොන්දුව නම් පොත ප්‍රකාශයට පත් කිරීමට තමාට දුන්හොත් එම පොතට බණ්ඩාරනායක සම්මානය (ස්වර්ණ පුස්තක සම්මානය) දිනා දීමට තමාට හැකියාවක් තිබෙන බවය. ඔහු කී ”ලකාන් හඳුනා ගන්නා විදියේ සමාජ සහයෝගීතාව” ප්‍රතික්ෂේප කරන නව කොන්ස්රවේටිව් මතධාරියකු ලෙස පෙනී නොසිටින පශ්චාත් – නූතන තක්කඩියෙකි. මේ නිසා ඔහු විටෙක සමාජ සහයෝගීතාව, ප්‍රකාශන නිදහස ආදිය වෙනුවෙන් පෙනී සිටින නාසිස්මික සටන් කරුවෙකි.”
ඉතින් වාමාංශික බුද්ධිමතා ලෙස අප හඳුනා ගන්නා අපගේ ලේඛකයා සිටින්නේ කවර තැනකද? සංකේතික පැවැත්ම (Symbolic order) නැතහොත් යථාර්ථය තුළ ඔහු රඟන්නේ බයාදු අහිංසකයකුගේ චරිතයකි. කොටින්ම ඔහු පෙන්වා සිටින පරිදි සිතන්නේද ප්රකාශකයාගේ පැත්තෙනි. කෙටි කතාවේ අවසන් ඡේද කීපය විශද කරන්නේ ඔහු පැලඳ සිටින දෘෂ්ටිවාදී වෙස් මුහුණයි. අවසන තමා ගල්පරයක් මත නැගී ගත් බුදුරුවකට සමාන කර ගනී. මෙබඳු අය අපට අනන්තවත් මුහුණු පොතේ නාසිස්මිකයින් අතර හමුවේ.
මෙම ලේඛකයා පැලඳ සිටින දක්ෂිණවාදී වෙස් මුහුණ ඉවත් කර බැලූවිට අපට දක්නට ලැබෙන්නේ කවරෙක්ද? සැබවින්ම මෙතන සිටින්නේ බුදුවරයකු නොව අර ප්‍රකාශකයා සඳහන් කළ වර්ගයේ සම්මානයක් ලැබීමේ ආශාවෙන් ආතුරව සිටින්නෙකි –His unconscious desire or Pure Ideology or Enjoyment as a Political Factor. ඔහු අප සිතන තරම් බයාදු (අහිංසක) නැත. තමාට සම්මාන නොලැබුණ කළ කෝපවන ඔහු විනිසුරු මඩුලු පතුරු ගසන්නෙකි. එහෙත් තමාට සම්මානයක් ලද විට වහා දිව ගොස් එය බදා ගැනීමට ඔහු පසුබව නොවෙයි-Jesus said, “Father, forgive them, for they don’t know what they are doing.” එය තමාගේ නමට නිර්දේශකරු ඔහු සඳහන් කළ විනිසුරු අවතාර විසින්ම බව ඔහුට අමතකය. එරික් ඉලයප්ආරච්චි තමාගේ ෆැන්ටසිමය ලිවීම් මගින් වසා දමන්නේ එම කටුක සත්‍යයි.
සමන් වික්‍රමාරච්චි