අප ජීවත් වන සමාජ ක්‍රමය යනු කුමක්ද ? යන ප්‍රශ්නය ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගෙන් විමසු විට ඒ සදහා පැහැදිලි පිළිතුරක් ලබා දීමට ඔහුට / ඇයට  නොහැකි වේ.

ධනවාදය යනුවෙන් සමාජ ක්‍රමයක් පවතින බවත් අප ජීවත් වන්නේ ඒ තුල බවත් ඉතා පැහැදිලිව රටට හදුන්වා දෙනු  ලබන්නේ x දේශපාලනය විසිනි. ජ .වි.පෙ ඇතුළු සම්ප්‍රදායික වාමාංශිකයන් ධනවාදය යනුවෙන් වචනයක් තම දේශපාලන ශබ්ද කෝෂය තුල භාවිතා කලද එය සිදු කරනු ලබන්නේ ධනවාදය යනු කුමක්දැයි නිසි අවබෝධයකින් නොවේ. නමුත් මේ තත්වය යුරෝපය තුල සත්‍ය නොවේ. උදාහරණයකට චෙක් ජනරජයේ සාමාන්‍ය පුරවැසියෙකු තමන් දැන් ජීවත් වන සමාජ ක්‍රමය ධනවාදය බව පැහැදිලිව දන්නා කාරණයකි. ඔවුන්ට  කොමියුනිස්ට්වාදයේ සහ ධනවාදයේ වෙනස කුමක්ද යන්න උදාහරණයක් මගින් හෝ පැහැදිලි කිරීමට හැක. වාමාංශිකයෙකු හෝ දක්ෂිනාන්ශිකයෙකු නොවුවද , කොමියුනිස්ට්වාදයට වඩා ධනවාදය හොද බව හෝ ධනවාදයට වඩා කොමියුනිස්ට්වාදය හොද බව ප්‍රකාශ නොකලද තමන්ගේ ජීවිතය පවතින සමාජ ක්‍රමය විසින් ව්‍යුහගත කර ඇති බව (වෙනස් කර ඇති බව) ඔවුන්ට අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. අපෙන් පිට ලංකාවේදී කෙනෙකු ධනවාදය යනුවෙන් වචනයක් වර නගන විට අපට ඔවුන්ගේ ප්‍රවාද කෙසේ වෙතත් ඔවුන්ට ඇති සමාජ විද්‍යා දැනුමේ ඌණතාවය පිළිබද මනා දැනුමක් ඇති වේ. එක්තරා අකාරයකට මෙම තත්වය යනු ලංකික  වමේ ඛාදනය වීම සනිටුවහන් කරන්නකි. ජනප්‍රිය X දේශපාලනය සමග දීප්ති තම දේශපාලන ව්‍යාපෘතිය ගොඩනගනු ලබන්නේ මෙවන් වටපිටාවක් තුලය.

දීප්ති යනු වාමාංශිකයන්ට තමන් මේ දක්වා දේශපාලනය යැයි සිතා සිටින දෙය බොරුවක් යැයි පෙන්වා දෙන යථකි. එකී බොහෝ දෙනාගේ සංකේතීය ලෝකය දීප්තිගේ මැදිහත් වීම නිසා දෙදරා යයි. මේ නිසා දීප්තිට අතාර්කිකව පහර දීම හැර ඔහු පෙන්වා දෙනු ලබන සත්‍යයෙන් ගැලවීමට වෙනත් විකල්පයක් මේ දක්වා දේශපාලන කරලියේ ක්‍රීඩා කල වාමාංශිකයන්ට ඉතුරු වන්නේ නැත. දීප්තිට දිගින් දිගටම පහර දෙන පුද්ගලයන්ට ඇති සමාජ , ආර්ථික සහ සංකේතීය බලය හා සසදන විට දීප්ති සිටින්නේ ඉතා පහල මට්ටමකය. නමුත් මේ තරම් සුවිසල් සමාජ ක්‍රමයක් තුල දීප්ති තවම නිරුපද්‍රිතව සිටින්නේ සහ වාමාංශිකයන් එකිනෙකා ඉතා ශෝචනීය ඉරණම් වලට ගොදුරු වෙමින් විනාශ වී යන්නෙත් ඇයිද යන්න කෙනෙකු මේ දක්වා විශ්ලේෂණය  කර නැත. දීප්ති යනු කවුද? X දේශපාලනය යනු කුමක්ද? යන්න  යලිත් අර්ථ දැක්වීමට කාලය එලබ තිබේ. මනෝවිශ්ලේෂණයට අනුව ඔබට මේ අර්ථ දැක්වීමෙන් පසුවද දීප්ති යනු කවුද? X දේශපාලනය යනු කුමක්ද? යන්න ගලේ කෙටුවා මෙන් නිර්වචනය කර ගැනීමට නොහැකි වනු ඇත. එහෙත් ඒ වෙනුවට දීප්ති කවුදැයි සොයන ඔබ කවුද යන්න සහ  දීප්තිගෙන් ගැලවීමට නොහැකි ඔහු  කවුද යන්න හෙළිවනු  වනු ඇත.

පවතින සමාජ ක්‍රමය ධනවාදය බව හරිහැටි නොදැන මෙතෙක් පැවති දේශපාලන ව්‍යාපාර විසින් ධනවාදය විසින් ඇති කරනු ලබන ප්‍රතිඵල විචාරය කරනු ලැබුවේ සදාචාරාත්මක විචාර (Moral Critique) ලෙසය. ඔවුන් උත්සහ කරනු ලැබුවේ අසාධාරණයන්ගෙන් තොරව ධනවාදය පවත්වා ගැනීම සදහාය. සමාජ අසාධාරණය, සුරා කෑම, පරාරෝපණය ආදිය සදාචාරාත්මක විචාරයට අයත් වේ. ධනවාදය විසින් අතිරික්තයක් නිපදවනු ලැබේ. මෙම අතිරික්තය එක්තරා පිරිසක් විසින් පාලනය කිරීම සදහා උත්සහ කරයි. මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස එක් කොටසක ජීවන තත්වය ඉහල යන අතර තවත් කොටසක් අන්ත දුක්ඛිත තත්වයකට ඇද වැටේ. ජ.වි.පෙ ඇතුළු වම සහ දක්ෂිණාංශික පක්ෂ සියල්ල යනු මෙම තත්වය සදහා සදාචාරාත්මක විචාර ඉදිරිපත් කරන්නන් වේ. ධනවත් වන පුද්ගලයා වසනාවන්ත බවත් සිගමනට ඇද වැටෙන්නා කරුමක්කාරයෙකු බවත් වන සාමන්‍ය මතය මත මේ සියලු විචාර පදනම් වේ. රෝහණ විජේවීර, ප්‍රභාකරන්, නලින් ද සිල්වා , ගුණදාස අමරසේකර පමණක් නොව රනිල් වික්‍රමසිංහ ( රනිල් කියමින් සිටියේ අපි හොරකම් කරන්නේ නැති බවයි) පවා මේ කුලකයට අයත් වේ.

සදාචාර විචාරකයන් අධිනිශ්චය වූ වාතාවරණයක් තුල දේශපාලන ආර්ථික විද්‍යාඥයන්ද ලංකාවේ සිටි බව අප සදහන් කල යුතුය. S.B ද සිල්වා , චාල්ස් අබේසේකර, සුනිල් බැස්ටියන් ආදී බුද්ධිමතුන් මෙම කුලකයට අයත් විය. නමුත් කිසිදු දේශපාලන පක්ෂයක් සදහා ඔවුන්ගේ න්‍යායගත කිරීම් අදාළ වුයේ නැත. ලංකාවේ කෘෂිකර්මය කාර්මිකකරණය විය යුත්තේ කෙසේද, ධීවර කර්මාන්තය කාර්මිකකරණය විය යුත්තේ කෙසේද, ප්‍රවාහනය විධිමත් කල යුත්තේ කෙසේද, අධ්‍යාපනය ධනේශ්වරකරණය කල යුත්තේ කෙසේද යන ව්‍යාපෘති සදහා විධිමත් අධ්‍යනයන් මෙකී විද්‍යාඥයන් විසින් සිදුකර තිබිණ. නමුත් ලංකාවේ ඇති ප්‍රශ්න සදහා දේශපාලන ආර්ථික විචාරයන් අධිපති මතවාදයක් බවට පත්වුයේ නැත.

දැන් අප ලංකාවේ ක්‍රියාත්මක වර්තමාන ධනවාදයේ තත්වය කුමක්ද යන්න පරීක්ෂා කර බලමු. අපි කඩයකින් ඉදිආප්ප 10 ක් මිලදී ගත් විට එම ඉදිආප්ප යනු ගුණාත්මක බවෙන් ඉතා අඩු ඉදිආප්ප වේ. ඉදිආප්පය නිසි ප්‍රමිතියට නිෂ්පාදනය කළහොත් එය අලෙවි කල යුත්තේ ඉතා ඉහල මිලකටය.එවිට එම මිලට ඉදිආප්ප මිලදී ගැනීමට පාරිභෝගිකයන්  සොයා ගත නොහැක. මෙම තත්වය හදුන්වනු ලබන්නේ ඌණ ආයෝජන (Under investment) ලෙසය. ලංකාවේ අඩු ප්‍රාග්ධනයක් යොදා ආයෝජන කිරීමට රජය ඉඩ ලබා දී තිබේ. දෙරණ , හිරු වැනි මාධ්‍ය ආයතන ගත් විට ඒවායේ විකාශන මැදිරි නිසි ප්‍රමිතියට ගොඩනගා නැත. එපමණක් නොව එවැනි නාලිකා වල විකාශය වන ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරනු ලබන්නේ ඌණ ආයෝජන ලෙසය. ‘දෙවැනි ගමන’ නම් ටෙලි නාට්‍ය පාරක් අයිනේ පමණක් රූ ගත කර ඇත්තේ එවැනි ටෙලි නාට්‍යක් විකාශය කිරීමෙන්  වෙළද දැන්වීම් හරහා ලැබිය හැකි අදායමට සරිලන ලෙස නාට්‍ය නිෂ්පාදනය කිරීමේ උපායක්  ලෙසය. මේ තත්වය වෛද්‍යවරුන්ටද අදාලය. තාක්ෂණික වශයෙන් ඉතා පහල මට්ටමක ඇති වෛද්‍ය උපකරණ කිහිපයක් ලග තබාගෙන විවිධ වෛද්‍ය සේවා ලබා දෙන කුඩා රෝහල් බිහිවන්නේ ඌණ ආයෝජන වල ප්‍රතිඵලයක් ලෙසය. මාවනැල්ල ප්‍රදේශයේ අමාලි හපුආරච්චි නම් විශ්ෂඥ වෛද්‍යවරියක් තමන්ගේ පෞද්ගලික වෛද්‍ය  මධ්‍යස්ථානය තුල පොල් විකිණීම ද ආරම්භ කර තිබේ. ඇයට අනුව යමින් ඉදිරියේදී දොස්තර මුදලාලිලා විසින් ලෙඩට බෙහෙත් ගන්නා ගමන් ගෙදරට අවශ්‍ය හාල් පොල් මිලදී ගත හැකි shop එකක්  බවට තමන්ගේ වෛද්‍ය  මධ්‍යස්ථානය පත් කර ගැනීමට නියමිතය.

MAS වැනි ආයතන ඩොලර් උපයන නමුත් එම මුදල් තැන්පත් කරනු ලබන්නේ විදේශ බැංකු වලය. මේ නිසා එම විදේශ විනිමයෙන් ලංකාවට ලැබෙන්නේ ඉතා අඩු ඩොලර් කොටසකි. ඒ අනුව  ලංකාවේ ප්‍රාග්ධනය වර්ධනය වන්නේ අතිරික්ත වටිනාකම් වලින් නොව කුලියට දීම මගිනි. මෙවැනි ක්‍රමයක් හදුන්වනු ලබන්නේ කුලීකාර ධනවාදයක් ලෙසය. කුලීකාර ධනවාදයක් තුල විචාරය කල හැකි වන්නේ පුද්ගලයාගේ සදාචාරාත්මක පැවැත්ම පමණි. දේශපාලනය මෙම විචාරය තුලට පමණක් සීමා වීමේ ප්‍රතිඵලයක් ලෙස වම/ දකුණ භේදය මැකී යයි. ලංකාවේ නැවත දේශපාලනය ගොඩනැගීමට නම් සදාචාරාත්මක විචාරය සමතික්‍රමණය කල යුතු වේ. ඒ සදහා පුද්ගලයාගේ ලුබ්ධිය (Libido) විචාරය කල යුතුය. දීප්ති තමාගේ දේශපාලන ව්‍යාපෘතිය ලෙස ලංකාවට හදුන්වාදෙනු ලබන්නේ එයයි. මෙම නව දේශපාලන ප්‍රවාහය ජනප්‍රිය වන්නේ X කණ්ඩායම ලෙසය. නමුත් එවක සිටි x සාමාජිකයන්ට පවා මෙම දේශපාලනය ආගන්තුක දෙයක් විය. 2002 වන විට අවිධිමත්ව පැවති ලුබ්ධි ආර්ථිකය විචාරය කිරීම මනෝවිශ්ලේෂණය පැමිණීමත් සමග ඉතා සීඝ්‍රයෙන්  දියුණු වීම ඇරබේ. මෙම විචාර හරහා ආයතනක් තුල ඇති   අර්ථයට වඩා එහි ඇති අශ්ශීල මානය , කළා කෘති (සම්භාව්‍ය/ජනප්‍රිය ) තුල ඇති අශ්ශීල මානය හෙළි කිරීමට දීප්ති සමත් විය. මෙම විවේචන තමන්ට එල්ල වීම පිළිබද පුද්ගලයන් අකමැති වුවද x දේශපාලනය සදහා ඔවුන් අවිඥානිකව ආශා කළේය.මේ නිසා මෙම විචාර ක්‍රමය හෙජමොනික විය.  ලංකාවේ  හිත හොද මිනිස්සුන්ට මඩ ගැහුවා, පෞද්ගලික  ප්‍රශ්න එලියට අදිනවා ආදී ලෙස සුභාෂ් ජයවර්ධන විසින්  දීප්තිව  විවේචනය කරනු ලබන්නේ මෙම ඛණ්ඩනය පිළිබද නොදැනය.

සුභාෂ් පමණක් නොව බොහෝ දෙනා දීප්ති සමග යටින් තරහය. ”ලුබ්ධි ආර්ථික” – –Critique Of Libidinal Economy-විචාරය නම් සාර්වත්‍රිකය හදුන්වාදුන් දීප්ති සමග බොහෝ දෙනා පෞද්ගලිකව තරහා වෙයි. දීප්ති  සමග තරහා අය අනෙක් අතට ඔහුට ආදරය කරයි. දීප්ති නරක වුවත් ඔහු තමාගේ ජීවිතය වෙනස් කල බව කියයි. දීප්තිගේ වැඩ නරක වුවත් තමන් දීප්තිට ආදරය බව පවසයි.දීප්ති යු . එන් .පී එකට කඩේ ගියත් කලින් පරමාදර්ශී චරිතයක් බව ප්‍රකාශ කරයි. දීප්ති කියන දේවල් ඇත්ත එත් ඒ දේවල් කවදාවත් කරන්න බැරි බව පවසයි. මේ සියලු චරිත වල ගැටලුව වන්නේ  ආදරය සහ වෛරය පිළිබද ගැටළුවක් නොවේ. මෙහි එක්තරා පොදු ලක්ෂණයක් ඇත. ඒ දීප්ති නම් සංකේතීය ප්‍රබන්ධයයි. මේ සියලු දෙනාගේ සුපිරි අහම බවට දීප්ති පත් වී ඇත. මුල්කාලීන පියාගේ නීතිය වුයේ එපා (No) යන්නයි. නමුත් වර්තමාන පියා අපට විනෝද වීමට අණ කරනු ලබයි. දීප්ති වැනි සංකේතීය පියෙකු මගින් ප්‍රකාශ වන්නේ  එපා (No) යන්නයි. මෙතැනදී තහනම ඇති නිසා දීප්තිට අනන්‍ය වන ආත්මයට අශ්ශීල ෆැන්ටසි ගොඩනගා ගැනීම සදහා ඉතා හොද අවස්තාවක් උදා වේ. The Lost Highway චිත්‍රපටයේ බෙලහීන පිරිමියා සුන්දර තරුණියක් ලිංගිකව සතුටු කරන කඩවසම් තරුණයෙකු බවට රූපාන්තරණය වේ. ඔහුගේ මෙම අශ්ශීල ෆැන්ටසිය පවත්වා ගැනීම සදහා No එක රැගෙන එනු ලබන්නේ Mr. Eddy විසිනි. Eddy නැති වන විට ෆැන්ටසි දැවී විනාශ වී යයි.

දීප්ති සුපිරි අහම බවට පත් වූ පුද්ගලයා සෑම විටම දීප්ති අමතක කර විනෝද වීමට උත්සහ කරයි. ‘රාවය’ පුවත්පතට S.B.D සිල්වා පිළිබද දීර්ඝ ලිපි පෙළක් ලියන පැරණි x සාමාජිකයෙකු වූ සමන් පුෂ්පකුමාර  S.B.D සිල්වාගේ නිවසේ තිබු කුළුබඩු ගැන පවා සදහන් කරයි. නමුත් S.B.D සිල්වා හදුන්වාදුන් දීප්ති ගැන වචනයක් හෝ සදහන් නොකිරීමට වගබලා ගනී. හේගල් පිළිබද ගැබුරින් හදාරා ඇති සමන්ට හේගල්ගේ මුලික න්‍යාය අමතක වී යයි. ඔහුගේ ලිපි මාලාව තුල S.B.D සිල්වා අර්ථය තුලට ගැනීම සදහා දැඩි උත්සාහයක නිරත වේ. නමුත් හේගල්ගේ පළමු පාඩම වන්නේ ආත්මය සහ සාරාත්මය (Subject and Substance) යන දෙකම  වැදගත් වන  බවයි. සාරාත්මය තුල පැල්මක් ඇති කරනු ලබන ආත්මය පිළිබද කතා කිරීම සමන් මගහරී.[අභාවයාගේ අභාවය නොහොත් මරන ආශය.]

සමන් මෙතැනදී මගහරිනු ලබන්නේ විනෝද වන ආත්මය පිළිබද කතා කිරීමයි. කෙනෙකු x දේශපාලනයේ සහ දීප්තිගේ ශිෂයෙකු බව  සලකුණු වන්නේ මෙම ආත්මය-SUBJECT/UNCONSCIOUS- පිළිබද විග්‍රහ කිරීමට උත්සහ කරන්නේ නම් පමණි. S.B.D සිල්වාගේ නුවර නිවසේ තරුණ නුගත් [?] කාන්තාවක් නතර වී සිටියේය. ඇය S.B.D සිල්වාගේ සියලු කටයුතු අවුල් කරන ලද නමුත් ඇයව නිවසින් යැවීමට S.B.D සිල්වා කටයුතු නොකරයි. S.B.D සිල්වාගෙ විනෝද වන ආත්මය යනු නුගත් තරුණ හිස්ටෙරික කාන්තාවයි.[අවිඥාණය] බුද්ධිමය සංස්කෘතිය තුල මෙම සත්‍ය හෙළිදරවු කිරීමට නොහැකි බව සැබෑය. මේ නිසා සමන් මෙම කොටස මග හැර ලිපි මාලාව ලිවීම සදහා  දීප්තිව අමතක කල යුතුය.  නමුත් මේ සදහා සැබෑ හේතුව එය පමණක් නොවේ. S.B.D සිල්වා වැනි මහලු පිරිමියෙකු තරුණ කාන්තාවක් සමග ලිංගික සබදතා පැවැත්වීම පිළිබද  ෆැන්ටසියක් ගොඩනගා ගැනීම හරහා  සමන්ද විනෝද වෙයි. එය ඔහුගේ වයසට ඉතා හොදින් ගැලපෙන ෆැන්ටසියකි. සමන් මෙවැනි ෆැන්ටසියක් තුල සිටින විට හදිස්සියේ කවුරුන් හෝ දුරකථනයෙන් කතා කර දීප්ති කරන්නේ දේශපාලනය නෙමෙයි වෙන වෙන දේවල් නේද? යැයි ඇසුවොත් ඔහු ඊට ඉබේම අනන්‍ය වේ.

දීප්තිගෙන් ගැලවීමට නොහැකි බොහෝ දෙනා ඉතා දුක් විදින බව අපට පෙනෙන්නට තිබේ. දීප්ති උත්සහ කරන්නේ දේශපාලනය කිරීම සදහා මිස කෙනෙකුට පියෙක් හෝ පරමාදර්ශයක්  වීමට නොවේ. ඔබ ක්‍රමය සමග සම්බන්ධ වෙමින් විනෝද වන අකාරය විචාරය කිරීම ඔහුගේ දේශපාලනයයි. පවතින ක්‍රමයට ජීවය දෙනු ලබන ඔබගේ ආත්මය පෙන්වීම එහි අරමුණයි. සමන් දෙස බලන විට අප විසින් මතු කරනු ලබන විනෝද සාධකය – ENJOYMENT AS A POLITICAL FACTOR – කොතරම් සංකීර්ණ ද යන වග මනාව  පැහැදිලි වේ.

Anushka Ariyarathne

x Generation

පූස් පැටව් දෙදෙනෙක්

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here