ලුවී පාස්චර් බිහිවනතුරු මිනිසුන් සිතාගෙන සිටියේ, බෝවන රෝගයන්ගේ මූලය ඇත්තේ දෙවියන්ගේ කෝපය තුළ බවයි. ඉන් අදහස් වන්නේ, පල්ලිය විසින් මිනිසුන් පාලනය කළ දෘෂ්ටිවාදය යි. ඊට අනුව, මිනිසුන් පාපයට බර වූ වහාම දෙවියන් විසින් ඊට පළිගැනීම සඳහා මිනිසුන්ව ලෙඩ කරනු ලැබේ. මිනිස්සුන්ට අනුව, ඔවුන් ලෙඩ වන්නේ ඔවුන් විසින් තම දෛනික ජීවිකාව පවත්වාගෙන යාමේ දී කරන අතුරු ක්‍රියා නිසා ය. මසට සතුන් මරන්නෙකු එසේ කරන්නේ තම ජීවිකාව උදෙසා ය. නමුත්, මෙය දෙවියන්ගේ පැත්තෙන් බලන විට අන් පණ නැසීමකි. එබැවින්, මිනිසුන්ට රෝග බෝ වන්නේ ඔවුන්ගේ දෛනික ජීවිතයෙන් පිටත ස්වර්ගයක/ අපායක ආගම ස්ථානගත කර තිබූ නිසා ය. යුරෝපයේ දී ප්‍රොතෙස්තන්ත ආගම මඟින් සිදු කරන ලද්දේ, ආගම දෛනික ජීවිතයේ කොටසක් බවට පත් කිරීම ය. මෙපරිදිම, ‘බෝවන රෝග’ පිළිබඳව ලුවී පාස්චර් විසින් මිනිස් ඥාණයට ඛණ්ඩනයක් සිදු කොට බෝ වන රෝග බෝ වන්නේ දෙවියන් කෝප වීම නිසා නොව ක්ෂුද්‍ර ජීවීන් නිසා බවට ප්‍රවාදගත කරන ලදී. එමගින්, බෝවන රෝග ලෞකිකකරණය විය.
ලංකාවේ දැනට ජීවත්වන තමන්ව වාමාංශික යැයි හඳුන්වා ගන්නා බොහෝ පිරිසක් ලිබරල්වාදය ගැන මහත් අපුලකින් කතා කරයි. නමුත් තම සිතුවිලි සහ ක්‍රියාව අතර මහත් පරස්පරයක් පවතින්නේ මන්ද යන්න ගැන නිහඬ ය. උදාහරණයක් වශයෙන්, අපේ සංවිධානයේ සිටි සුමිත් චාමින්ද යනු, සංවිධානයේ’වසන්ත’ නම් සාමාජිකයෙකුගේ එවකට පෙම්වතිය ඔහුට හොරෙන් ලිංගික දේවල් වලට පොළඹවා ගත් අයෙකි. ඒ පිළිබඳව ඔහුට මා දැඩි විවේචනයක් ද කරන ලදී. අද වැනි යුගයක දී වාමාංශිකයෙකු මෙම සිදුවීම සලකා බලන්නේ කෙසේ ද?
සියල්ලට ඉඩ දෙන සුඛපරමවාදී සමකාලීන යුගයක දී ඉහත පුද්ගල ක්‍රියාව (ආත්මීය නිදහස) වාමාංශිකයෙකු සලකා බලනු ඇත්තේ, නිදහසට අදාළ ක්ෂේත්‍රයේ සිට ය. එනම්, පුද්ගල තෝරා ගැනීම් සහ අනෙකාට අදාළ ක්ෂේත්‍රය තුළිනි. අප මේ ප්‍රවාදය ඒ නිසා නොදැනුවත්ව ලබාගෙන ඇත්තේ, ලිබරල්වාදයෙනි. මෙම සිද්ධිය එකල සංවිධානයේ බහුතරය සලකා බලන ලද්දේ, නරක වැඩක් ලෙසිනි. මන්දයත්, සුමිත්ගේ ක්‍රියාව අන් අයත් කළහොත් ව්‍යාපාරයට වන දේ නිසා ය. මෙම ක්‍රියාව ඒ අර්ථයෙන්, කාන්ටියානු සාරධර්මයක් නොවේ. විනෝදයට යම් සීමාවක් පැනවීමකි. නමුත් ධනවාදය පෙරළන්නට මරලතෝනි දෙන සමකාලීන වාමාංශිකයා සිතුම්-පැතුම් පැත්තෙන් ධනේශ්වර සංස්කෘතියට විරුද්ධ වූවත් ඔහු ක්‍රියා කරද්දී එසේ කරන්නේ ලිබරල්වාදීයෙකු ලෙස ය. මා මෙසේ ඉහත කෙටි පෙරවදනක් කරන ලද්දේ, එක පැත්තකින් සමාජ විරෝධී කටයුත්තක නියැලෙන කෙනෙකු අනෙක් පැත්තෙන් පශ්චාත්-මාක්ස්වාදී විය හැකි නිසා ය.
පොදුවේ ලංකාවේ නූතන වාමාංශිකයන් යනු, ඉහත ආකාරයේ ලිබරල්වාදීන් මිස ප්‍රාග්ධනය නිසා සමාජීය තලයේ ඉස්මත්තට පැමිණ ඇති පසමිතුරුතා අවධාරණය කරන්නන් නොවේ. එපමණක් නොව, මේ අයට සමාජ සදාචාරය පිළිබඳව ඇත්තේ අවම සංවේදීතාවයකි. උදාහරණයක් ලෙස, සමාජ විරෝධී වැඩක් කළ සුමිත්ට ඊළඟ දශකය පුරාම පශ්චාත්-මාක්ස්වාදීයෙක් ලෙස වැජඹීමට කිසිදු හිරිකිතයක් තිබුණේ නැත. එපමණක් නොව, ඔහුව ඇසුරු කරන ඉතුරු වාමාංශික නඩවලට ද කිසිදු හිරිකිතයක් තිබුණේ නැත. පසුව කළ සෝදිසිවල දී අපට වැටහුනේ, ඒ අය සුමිත්ට වඩා භයානක වැඩ කරමින් සිටින අය බවයි. දේශපාලනය යනු, ‘කප්පාදු භීතියට’ යට වීමට ඇති බිය නොවේ. ඕනෑම දේශපාලන වැඩක් කරන කෙනෙකුට ස්වයං වාරණයක් තිබිය යුතු ය. සමහර වාමාංශිකයන් යැයි තමන් තමන්ටම කියා ගන්නා අය දිගට හරහට මාස්ටර්වරයාව ප්‍රශ්න කරයි. එසේ කිරීමෙන් ඔවුහු ‘බලය’ සමතික්‍රමණය කරනවා නොව ‘බලය’ යළි තහවුරු කරයි. සමහර හිස්ටෙරිකයන් ‘බලය’ සමාජයේ ක්‍රියාත්මක වන පාතාල ව්‍යුහය නිරුවත් කරන බව සැබෑ ය. නමුත්, එසේ පෙන්වා දීම තුළ ‘බලය’ යළි ව්‍යුහගත වනවා මිස අලුත් සමාජ සබඳතා නිර්මාණය වන්නේ නැත.
චාමින්ද පසුගිය වසර 15ක් පුරාම පශ්චාත්-මාක්ස්වාදය කියා දෙසා බාන ලද බුද්ධිමය අවරසිකභාවය අවසානයකට පැමිණ ඇති නිසා දෝ නරුම වම්මුන් ඒ සඳහා අලුත් ප්‍රකාශකයෙකු සොයාගෙන ඇත. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ‘හේගලියානු දයලෙක්තිකය’ පිළිබඳ න්‍යායවේදියෙකු වන සමන් පුෂ්පකුමාර සහෝදරයා ය.
ලංකාවේ බොහෝ සරලමතිකයන් (වාමාංශික සංවිධානවල සිටින ආවතේවකරුවන්- සිගරට් සහ බුලත්විට ගෙන ඒමට කඩේ යන අය සහ හිත හොඳ මිනිසුන්- මේ අය කෙතරම් හොඳ ද යත් ඔවුන් පිරිමින් වුවත් දරුවන් කිහිපදෙනෙකු ලද අය ය) ‘පශ්චාත් මාක්ස්වාදය’ (මෙහි අදහස වන්නේ ධනවාදයේ අලුත් යුගයක දී මාක්ස්වාදයට ධනවාදය සම්බන්ධ වන්නේ නව ආකෘතියකින් යැයි අවබෝධ කර ගැනීමයි) ලංකාවේ මුලින්ම හඳුන්වා දුන්නේ දිවයින පත්තරේ ගිය ලිපියකින් දයාන් ජයතිලක බවයි.
ලිපියේ නම ‘ගල් යුගයේ මාක්ස්වාදයක් ද නූතන ගොර්බචෝව් වාදයක් ද’ වැනි මාතෘකාවකි. මම මේ ලිපිය හොදින් කියවා ඇත්තෙමි. එහි දී බුද්ධිමය ලෝකයේ ප්‍රකට වූ අර්නෙස්ටෝ ලැක්ලෝ සහ ෂන්තාල් මුෆ්ගේ ‘සමාජවාදී උපාය මාර්ග’ නම් කෘතිය ගැන සඳහන් වෙයි. නමුත් එම ලිපිය දෙවන වර කියවීමක් සිදු කළහොත්, එම ලිපිය අයත් වන්නේ ලංකාවේ පැරණි මාක්ස්වාදී චින්තනයකට මිස ‘පශ්චාත්-මාක්ස්වාදයකට’ නොවේ. ලිපිය තුළ ඇත්තේ, ‘දේශපාලන සංවිධානවීම්’ සිදු කළ යුතු ආකාරය ගැන මිස දේශපාලන න්‍යායේ සුසමාදර්ශී විතැන්වීමක් නොවේ.
උදාරණයක් ලෙස, 70 දශකය තුළ අර්නෙස්ටෝ ලැක්ලෝ ගැන න්‍යායික සාකච්ඡාවක් ඇති කළේ නිව්ටන් ගුණසිංහ විසිනි. නමුත් එහිදී ද ලැක්ලෝව අවධාරණය වන්නේ මාක්ස්වාදියෙක් ලෙසිනි. එවකට, ඔහු මාක්ස්වාදයේ දෘෂ්ටිවාදය පිළිබඳ පැත්ත අවධාරණය කළත් ඔහු පශ්චාත්-මාක්ස්වාදියෙක් වූයේ නැත. මේ ලෝකයේ සිටින එකම පශ්චාත්-මාක්ස්වාදීයා අර්නෙස්ටෝ ලැක්ලෝ නොවේ. ජීන් ප්‍රාංශුවා ලියෝතා, ජීන් බෝද්‍රිලා සහ තවත් අය පශ්චාත්-මාක්ස්වාදීන් වේ. නමුත් ලැක්ලෝ මාක්ස්වාදයට අදාළව ප්‍රශ්න කරන්නේ, එහි දේශපාලන පැත්තෙන් ය. අන් අය එහි න්‍යායික හරයම අර්බුදයට යවයි. ලංකාවේ සිංහල පමණක් දත් අය සිංහල පමණක් දත් සුමිත් හරහා පශ්චාත්-මාක්ස්වාදය ගැන උගත් දේ ජනප්‍රිය මාධ්‍යවල පසුගිය දශකය පුරා පළ විය. ඒවා, එම කාලය තුළ අප ප්‍රශ්න නො කළේ සුමිත් සඳහා හේගලියානු උගුලක් ඇටවූ නිසා ය. අප ඔහුට විරුද්ධව ලිව්වා නම්, ඔහුට බාහිර සතුරෙකු මුණගැසීමට නියමිත ය. අප කළේ, ඒ වෙනුවට ඔහුගේ ආත්මීය මර උගුල තුළ ඔහුටම පැටලෙන්නට ඉඩ දීමයි.
දයාන් ජයතිලකට අප නැවත එන්නේ නම්, ඔහු දන්නා පශ්චාත්-මාක්ස්වාදයක් නැත. ඔහු නිර්මාණශීලී නව-උපයෝගීතාවාදියෙකි. දේශපාලනයට ඇත්තේ, කෙටි ඉලක්ක යන රිචඩ් රෝටීගේ අදහස ඔහු තම භාවිතාව තුළ විද්‍යාමාණ කරයි. තම කෙටි ඉලක්ක අවසන් වූ පසු ඒ ගැන ඔහු ලිබරල් උත්ප්‍රාසකයෙක් ද වෙයි. තමන් ඇදහූ දේවල්ම විගඩම්කාරී ලෙස ක්ෂය වනවා දැකීම රිචඩ් රෝටී ට අනුව උත්ප්‍රාසයකි. දයාන්ගේ විවිධ හැව ඇරීම් නිසා ඔහුට පක්ෂපාතීන් පමණක් නොව පෙම්වතියන් ද මාරු කරන්නට සිදු විය.
ලැක්ලෝ සහ මුෆ්ගේ පශ්චාත්-මාක්ස්වාදයේ මූලික න්‍යායික අංගය වන්නේ, කතිකා විශ්ලේෂණය යි. මෙමඟින්, මාක්ස්වාදයේ මූලික සාරාත්මක අදහසක් වන ප්‍රායෝගික අත්දැකීම යන්න විසංයෝජනය වෙයි. ලැක්ලෝ- මුෆ්ගේ විසංයෝජන රීතියට අනුව ඔවුන් ‘සංඥාව’ (ව්‍යුහවාදය), ‘ප්‍රපංචය’ (ප්‍රපංචවේදය- මනස ලබන අත්දැකීමේ ප්‍රාථමික ස්වරූපය) සහ ‘විමර්ශකය’ (වචනයක් වෙනුවෙන් පෙනී සිටින- විද්‍යාමාන වන- දෙයක් ඇතැයි කියා සිතීම) විසංයෝජනය කරයි. ඔවුන්ට අනුව, මේවා සමීපත්වය පිළිබඳ මුලාවන් ය. දයාන් ජයතිලකගේ පසුගිය වසර 25 ක ලිපි පරීක්ෂා කළ විට, ඉහත පාරභෞතික 3 ඔහු ප්‍රශ්න කර නැත. එබැවින්, ලංකාවට දයාන් ජයතිලක සහ තිරාණගම පශ්චාත්-මාක්ස්වාදය හඳුන්වා දුන්නා යැයි කීම න්‍යායික කෙප්පයකි. තවදුරටත්, විභාග නොකළ යුතු හිස් අදහසකි.
එසේ නම්, X කණ්ඩායමේ ද සිටියා කියා අපි නැති තැන්වල කියන බහුබූත ප්‍රවාද සමන් සහෝදරයා ද අනුගමනය කරන්නේ මන්ද? ‘පුද්ගල වර්ගවාදය උපදින්නේ කතරක නොව ආධ්‍යාත්මික වනයක්’ තුළ ය. සමන් විසින් තම දේශනය තුළ පෙන්වන ලිඛිත ලිපිය ඔහුට ‘පශ්චාත්-මාක්ස්වාදය’ ලෙස පෙනී යාම අයත් වන්නේ, පසුආවර්තිත මායාවකට (Retroactive Illusion) ය. ගෝලීය අක්ෂය තුළ 70 දශකයේ අධිරාජ්‍යවාදය පිළිබඳ ගැටලුව 90 දශකය වන විට, ඉස්ලාම් මූලධර්මවාදය බවට විපරිවර්තනය වන්නේ කෙසේ ද? ඒ අර්ථයෙන්, ආත්මීය තලය තුළ වියට්නාමය සහ ඇෆ්ගනිස්ථානය අතර සම්බන්දයක් නොමැත.
සමන්ගේ විග්‍රහය ලංකාවේ පොදුවේ පාවිච්චි වන දයලෙක්තිය පිළිබඳ සංකල්පයට අදාළ කළහොත් මෙසේ ය.
1.ධනවාදී යථාර්ථය – වාදය
2. මාක්ස්වාදය – විවාදය
3. පශ්චාත්-මාක්ස්වාදය – සංවාදය
සමන් ‘කතිකාව’ යන සංකල්පය වහරන්නේ කුමන අර්ථයකින් දැයි නො වැටහෙන නිසා පළමුව ඒ පිළිබඳ මිචෙල් ෆූකෝගේ අදහස අපි දැන් නිර්චනය කරමු.
“අප වාස්තවික ලෝකය ගැන සිතන්නේ, කතා කරන්නේ, විස්තර කරන්නේ, සමාජයේ පවතින අධිපති බලය විසින් අර්ථ නීර්ණය කරන ලද භාෂාවකිනි. අප අදහස් ප්‍රකාශ කරන්නේ සහ විවාද කරන්නේ, එලෙස බලය විසින් නිශ්චය කරන ලද වාග්මාලාවක් සහ භාෂාවක් මාධ්‍ය කොටගෙන ය. එය, කතිකාවයි.[Discourse]
දැනුම යනුවෙන් ෆූකෝ අදහස් කරන්නේ, යම් විෂයක් පිළිබඳ ඉගැන්වීම නොව බල ව්‍යුහයන් විසින් නිර්මාණය කරනු ලබන, සමාජය මත ආරෝපණය කරනු ලබන බලයේම ප්‍රකාශනයකි. මෙය, භාෂාවට ද අදාළ ය. භාෂාව යනු, ව්‍යාකරණ රීති නොව බලයේ ම ප්‍රකාශනයකි”
-
මිචෙල් ෆූකෝගේ විධික්‍රමය; ජයදේව උයන්ගොඩ-
පළමුවෙන්ම කිව යුත්තේ, සමන්ගේ භාෂාව නිෂ්ක්‍රීය, උදාසීන භාෂාවක් බවයි. නමුත් එය බලය, ආධිපත්‍යයේ භාෂාවකි. කෙනෙකුට සත්‍යය ප්‍රකාශ කිරීමේ දී හමු වන්නේ, පාර්ශ්වීය සහ පාක්ෂික භාෂාවකි.[Partial and partisan] නැතිනම්, බලයේ සහ ආධිපත්‍යයේ නිශේධනය වන X භාෂාව ඔහුට අමතක වීමට ඉඩක් නැත. ඔහු X නිවාසයෙන් පශ්චාත්-මාක්ස්වාදය ගැන උගත් දෙයට අවිඥාණකව පිළිකුල් කරයි. මගේ ‘නම’ ඉතා පහසුවෙන් මකනයක් යටට දමයි.
සමන්ගේ දයලෙක්තික චින්තනයට අනුව ලංකාවේ ධනවාදී ආර්ථිකය හෝ සමාජ සබඳතා නිශේධනය කරන ලද්දේ, මාක්ස්වාදී විවාදය යි. මේ මුද්‍රාවන් දෙකම සතු සාධනීය අංග එකතු කොට නිෂේධනීය අංග හලා නිර්මාණය කළ සංවාදය පශ්චාත්-මාක්ස්වාදය යි.
ඇත්තටම, හේගල්ගේ දයලෙක්තිකය ඉහත ආකෘතිය ද? නැතහොත්, ‘පශ්චාත්-මාක්ස්වාදය’ හමුවීමට පසුව බිහි වූ ලංකාවේ ‘ධනවාදී යථාර්ථය’ පසු ආවර්ති මායාවක් ද? මා මේ ලිපියෙන් පෙන්වා දෙන්නේ, ලංකාවේ දී පශ්චාත්-මාක්ස්වාදයට අපගේ විමතිකයන් කළ හානිය යි. ඔවුහු එහි සාරය ඉවත් කොට ඊට ලිබරල් අනන්‍යතාවයක් ලබා දී ඇත. බාහිරව ලබන අනන්‍යතාවයට වශී වීම හැර එහි ගතයුත්තක් නැත. අප දන්නා පශ්චාත්-මාක්ස්වාදය එහෙම එකක් නොවේ. පැට්‍රීසියා හයිස්මිත්ගේ ‘Talented Mr. Ripley’ නවකතාවේ ප්‍රධාන චරිතය වන ‘රිප්ලි’ මෙන් ඔවුන් උත්සාහ කරන්නේ, අතීතයේ ඔවුන්ගේ සලකුණු හැකිතාක් මකා දැමීමට සහ සමාජයේ නව-අනන්‍යතාවයක් ලබා ගැනීමට ය. ශ්‍රී ලාංකීය ධනවාදයේ නියම ආත්මය බවට පත්වී ඇත්තේ, මේ වාමාංශිකයන් ය.
Deepthi kumara Gunarathne
අප සමග එකතු වන්න!
ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!
https://forms.gle/tC36JnAV3s6wBAND6
//අපේ සංවිධානයේ සිටි සුමිත් චාමින්ද යනු, සංවිධානයේ’වසන්ත’ නම් සාමාජිකයෙකුගේ එවකට පෙම්වතිය ඔහුට හොරෙන් ලිංගික දේවල් වලට පොළඹවා ගත් අයෙකි. ඒ පිළිබඳව ඔහුට මා දැඩි විවේචනයක් ද කරන ලදී. අද වැනි යුගයක දී වාමාංශිකයෙකු මෙම සිදුවීම සලකා බලන්නේ කෙසේ ද?//
මට මේක දීප්තිට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියල තේරෙන්නේ නැහැ. සුමිත්, වසන්ත සහ වසන්තගේ පෙම්වතිය යන තිදෙනාම වැඩිහිටි අය. මතන වශය නම් සුමිත් හේ මොරාල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් දීප්ති එයාගේ පියා නෙමේ. පක්ෂය පැත්තෙන් බැලුවොත් ඕනේ නම් හැමෝම රැස් කරලා අදහස විමසන්න පුළුවන්. ඒ ඇරෙන්නේ පක්ෂය වත් දීප්ති වත් x කණ්ඩායම් වත් එක ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. මොකද අපි මොරාල් විවේචකයෝ නොවෙන නිසා. ඒකපුද්ගලානුබද්ධ දෙයක්.
Comments are closed.