80 වැඩ වර්ජන පරාජයට පසුව වාම දේශපාලනයට  එහි ඒජන්තයා වූ ‘කම්කරුවා’ සදාතනිකව අහිමි විය. ගැටලුව වන්නේ, ඒජන්තයා හෝ විපර්යාසකාරකයා කවුද යන්නයි. අර්නෙස්ටෝ ලැක්ලෝ විසින් ඉදිරිපත් කරන කතිකා විශ්ලේෂණවාදයේ හරය වන්නේ, මෙම ගැටලුවට සන්දර්භයක් සකස් කිරීමයි. ‘කම්කරුවා’ නම් හැඟවුම්කාරකය වෙනුවට ලැක්ලෝ දේශපාලනයට අලුතින් හඳුන්වා දෙන හැඟවුම්කාරකය වන්නේ, ‘ජනතාවයි’ (People).

ඔහු මෙම ජනතාව යන සංකල්පගත කිරීම තුළ යම් ඇකඩමික් නිර්ණායකයක් සපයයි. බොහෝවිට, ජනප්‍රියවාදී දේශපාලනය තුළත්,විප්ලවවාදී දේශපාලනය තුළත් ‘අව්‍යාජ මිනිසා’ යනුවෙන් චින්තන ප්‍රවර්ගයක් අපට හමුවෙයි. සැබෑ දේශපාලනය යනු, මෙම අව්‍යාජ-පිරිසිදු මිනිසා සමඟ කරන දෙයකි.

‘දෘෂ්ටිවාදී න්‍යායේ මරණය සහ පුනර්ජීවනය’ නම් විවාදාත්මක ලිපියේදි පන්ති සාරාත්මකවාදය විවේචනය කරමින්, අර්නෙස්ටෝ ලැක්ලෝ ඇමරිකානු දේශපාලන න්‍යායවේදීයෙක් වන ‘මයිකල් වෝල්සර්’ විසින් ඉදිරිපත් කරන නිරීක්ෂණයක් විශ්ලේෂණය කරයි. 1989 දී සමාජවාදය බිඳවැටීමේ සිදුවීම් පසුබිම් කරගෙන චෙකොස්ලොවේකියාවේ ප්‍රාග් නුවර පැවැත්වෙන පෙළපාලියක හඬ නැංවෙන ‘සත්‍යය’, ‘සාධාරණත්වය’ යන සටන් පාඨ ගැන වෝල්සර් තම නිරීක්ෂණය මෙලෙස ඉදිරිපත් කරයි. 

            “මහ පාරේ ගමන් කරන  උද්ඝෝෂකයන්ගේ භාෂා ක්‍රීඩාව හෝ බල තරඟය මැදට සිතින් මා ඇතුල් වන්නේ කෙසේද? එයට සහභාගී වන්නේ කෙසේද? උද්ඝෝෂණකරුවන් බෙදා හදා ගන්නා සංස්කෘතිය මට ආගන්තුකය. ඔවුන් ප්‍රතිචාර දක්වන අත්දැකීම ද මට ආගන්තුකය. නමුත් මට ඔවුන් අතරට යෑමට අපහසුවක් නැත. ඔවුන් රැගෙන යන සටන් පාඨ මට ද රැගෙන යාමට හැකිය”.

[2005 වර්ෂයේදී පැවති මැයි රැළියක ගමන් කළ ‘X  විමතිකයන්ව’ පැරණි වෘත්තීය සමිති දේශපාලනයේ නිරත වාම සහෝදරවරුන්ට පෙනී ගියේ ද, මයිකල් වෝල්සර්ට ප්‍රාග් උද්ඝෝෂකයන්ව පෙනීගිය ආකාරයටමයි. පැරණි වම සහ ජගත් වීරසිංහ වැනි ‍ප්‍රකාශනවාදී චිත්‍ර ශිල්පීන්ට ඔවුන් පෙනී ගියේ, ‘අව්‍යාජ මිනිසුන්’ ලෙසිනි. භාෂාව සහ යථාර්ථය අතර පුළුල්ම විවරය පෑදෙන මංසන්ධියක දී අපට විනෝද වන්න! ඉඩදෙන්න – සාමය , පාන්, ඉඩම් වෙනුවට පුද්ගලිකත්වය දේශපාලනිකය යන සටන් පාඨය තහවුරු කළ– යන සටන් පාඨය එල්ලා ගත් ‘අපේ වීරයා අපට අදහන්න ඉඩ දෙන්න’ යනුවෙන් මුර ගාන උද්ඝෝෂණයක් කම්කරු- ගොවි සංවිධාන ලෙස පෙනී යාම ද අව්‍යාජත්වයේ සංකේතයකි].

               වෘත්තිය සමිති දේශපාලනය සහ ජනප්‍රියවාදී දේශපාලනය අතර පැහැදිලි බෙදුම් කඩනය අපට හමුවන්නේ, ‘අව්‍යාජ සිතුම්-පැතුම් සහිත ජනයා’ සොයා යෑමේදී ය. පුද්ගලයෙකු හැඟීම්වලින් සදාහරිත මිනිසකු වන්නේ,මෙම හැඟීම්බර මිනිසාව ගවේෂණය කිරීමේදීය. ජර්මානු දාර්ශනිකයෙකු වූ මාර්ටින් හයිඩෙගර් සත්තාවේ අර්ථය ගවේෂණය කරන ලද්දේ, ජර්මානු ගැමියාගේ ජන සම්ප්‍රදාය තුළදී ය.

                ‘අර්නෙස්ටෝ ලැක්ලෝ‘ එක පෑන් පහරින් විචාරය කරන්නේ, මෙම අව්‍යාජ මිනිසාවය. ඇකඩමියාව තම සංස්ථාවෙන් පිටත සොයන ‘ජීවමාන මනුෂ්‍යයා’ (ප්‍රාග් උද්ඝෝෂකයා සහ ‘තමන්ගේ වීරයා තමා සොයා යන‘ X විමතිකයා හෝ සමකාලීන මුහුණු පොත් ඇබ්බැහිකරැවන් සොයා යන අඩුවක් රහිත අනෙකා) යනු, ලැක්ලෝට අනුව මනස්ගාතයකි. නූතන ඇකඩමියාව විසින් මෙම ‘ජීවමාන මනුෂ්‍යයාව’ විද්‍යාත්මක සංකල්ප වලට ඌනනය කිරීම, (සමාජ විද්‍යාවට, මනෝ විද්‍යාවට) විරුද්ධව සටන් කිරීම සැබෑ දේශපාලනයේ නියමාර්ථය වෙයි. ඇකඩමියාව සෑමවිටම ගවේෂණය කරන්නේ, තාර්කික සාරයක් ඇති මිනිසාවය. හැඟීම් සහ ආවේදන ගැන ගවේෂණය කිරීම පාරභෞතික ක්ෂේත්‍රයකි. අර්නෙස්ටෝ ලැක්ලෝ තම ජනප්‍රියවාදය විග්‍රහ කිරීමේදී, භාවිතයට ගන්නා ‘මාස්ටර් හැඟවුම්කාරකය’ යන්න මඟින් විග්‍රහ කරන්නේ, හැඟීම් සහ ආවේදන වලින් තොරව මිනිසාව විද්‍යාත්මකව විග්‍රහ කිරීමේ ක්‍රමවේදයකි. 

                මයිකල් වෝල්සර් විසින් විග්‍රහ කරන ප්‍රාග් උද්ඝෝෂකයන්ගේ ( දේශීය උදාහරණය- X විමතිකයන්ගේ අව්‍යාජත්වය)  ‘ආත්මමූලිකත්වය’ කතිකා විශ්ලේෂණවාදයට උකහා ගත නොහැකිය. මේ ලෝකය කෙතරම් අසාර වුවත් අපගේ ආත්මීය ලෝකය තුළ ඊට අර්ථයක් ඇත යන ප්‍රවාදය, ලැක්ලෝවාදයෙන් ඉවතට ගමන් කරයි. නමුත් වෘත්තීය සමිති දේශපාලනයට පසු උදා වූ තත්ත්වය තුළ දේශපාලනයේ ප්‍රබන්ධ මානය තහවුරු කිරීම ලැක්ලෝගේ කතිකා විශ්ලේෂණවාදය සතු ප්‍රබලම ශක්‍යතාවයයි. අවසන් විග්‍රහයකදී , ‘සමාජ සබඳතා’ යනුවෙන් දෙයක් නොපවතී යන ලැක්ලෝගේ ප්‍රවාදය තුළ තහවුරු වන්නේ, සමාජය යන්න පරිපූර්ණත්වයට පත්වීම ප්‍රබන්ධයක් පමණක් බවයි. ෂන්තාල් මුෆ් නම් ලැක්ලෝගේ න්‍යායික එකතු කරන්නිය තම ව්‍යාපෘතිය මෙසේ සාරාංශගත කරයි.

        “අප අපගේ ප්‍රධාන කෘතිය වූ ‘හෙජමොනිය සහ සමාජවාදී උපාය මාර්ග’ තුළදී සාකච්ඡා කළ සමාජවාදය පිළිබඳ ගැටලුව අද වනවිට කණපිට හැරී තිබේ. අප එම පොත ප්‍රකාශයට පත් කරන යුගයේදී වාමාංශයේ ගැටලුව ලෙස අප සූත්‍රගත කරන ලද්දේ ,පන්ති අරගලය සහ නිෂ්පාදන සබඳතා විප්ලවීය ලෙස පරිවර්තනය කිරීම පිළිබඳ ගැටලුවට වාමාංශය ඕනෑවටත් වඩා උනන්දු වී නව සමාජ ව්‍යාපාර (ස්ත්‍රීවාදය, සමලිංගික අනන්‍යතාවය, සුළු ජාතීන්ගේ ගැටලුව, පරිසර ගැටලුව) පිළිබඳව දැක්වූ අධික අසංවේදීතාවය ගැන ය.  (නැතහොත් වෙනත් ආකාරයේ මර්ධනයන් නොසලකා හැරීම පිළිබඳවයි)”. 

          ඉහත උපුටනය තුළින් තහවුරු වන්නේ, දේශපාලනයේ ප්‍රබන්ධ මානය කතිකා විශ්ලේෂණවාදය තහවුරු කරන බවයි. එනම්, පන්ති අරගලයේ සාරාත්මකභාවයෙන් මිදී අනන්‍යතා දේශපාලනය වෙනුවෙන් අරගල කිරීම තුළ අරගලයේ මධ්‍යය යනු, හිස් තැනක් බව අවබෝධ කර ගැනීමයි. සමාජය නම් මධ්‍යය හෝ කේන්ද්‍රය හිස් තැනක් බවත්, එහි හිස් බව පිරවීමට විවිධ හැඟවුම්කාරක (ඩොනල්ඩ් ට්‍රම්ප්, අර්ඩෝගන්,සිංහලකම,නිදහස) ආදේශ වන බවත් කතිකා අධ්‍යනය තුළින් පසක් වෙයි. නමුත් මෙම හිස් බව පිරවීමේදී, ප්‍රාග් උද්ඝෝෂකයා සහ X විමතිකයා අරගලයට අමතර දෙයක් (ධනාත්මක) එකතු කරන බව කතිකා විශ්ලේෂණය අවබෝධ කර නොගනී. උදාහරණයක් ලෙස, 2005 මැයි දිනයේදී ලියොන් ට්‍රොට්ස්කිගේ පින්තූරයක් ඔසවාගෙන ගිය උද්ඝෝෂිකාවක් 2017  වර්ෂයේදී පැවැති පළාත් පාලන ඡන්දයට එක්සත් ජාතික පක්ෂයෙන් ජන්දය ඉල්ලීය. හැඟවුම්කාරකයට අර්ඵය එන්නේ ඊට යාබද හැඟවුම්කාරකයෙන් යන්න කතිකා විශ්ලේෂණය තුළ විග්‍රහ වෙයි. නමුත් හැඟවුම්කාරකයම දෙකට පැලී, එක දෙකක් වී ශුද්ධ පරතරයක් පැවතීම කතිකා අධ්‍යයනයට අවබෝධ නොවේ. X විමතිකයන්ගේ උද්ඝෝෂණ පෙළපාලියේ ගිය ට්‍රොට්ස්කිගේ ඡායාරූපය ගත් කාන්තාව එසේ කරන විට, ට්‍රොට්ස්කි සහ තමන් අතර යම් පරතරයක් තබා නොගත්තේ නම්, ඇයට ඉන් වසර 13කට පසුව එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලීමට නොහැකි ය. එසේ නම්, හැඟවුම්කාරකයට එහි ගුණය එන්නේ, එයට සමීප අසල්වාසී හැඟවුම්කාරකයෙන් පමණක් නොවේ. හැඟවුම්කාරකය ඒ තුළම පවතින ‘වෙනස’ මගින් සලකුණු වී ඇත (Pure difference). චාමින්දගේ කතිකා විශ්ලේෂණවාදය තුළ, X විමතික කාන්තාවගේ වෙනස් වීම තාර්කිකව හැර විග්‍රහ කිරීමට වෙනත් ක්‍රමයක් නැත. අර කාන්තාව දේශපාලනයෙන් විඳින විනෝදය විග්‍රහ කිරීමේ මාර්ගයක් (එය අදාල නැත යනුවෙන් කියනවා හැර) කතිකා විශ්ලේෂණවාදයට නොමැත. නූතන මිනිසාගේ ආත්මමූලික ස්ථාවරයන් පිළිබඳ න්‍යායික විශ්ලේෂණයකට කතිකා අධ්‍යනයට යාමට නොහැකිය. ඒ  අනුව, තමන්ගේම ආත්මීයත්වය ගැන ගොළු වීම චාමින්දවාදයේ න්‍යායික ඌනිතවාදයකි. අප ඔහුව ආත්මීයත්වය තුළ කොනිත්තන්නේ , ඔහුට අපහාස කිරීමට නොව මෙම නොදැනුවත්භාවය විද්‍යාමාන කිරීමටයි.

              නූතන මිනිසා තමා ජීවත්වන සමාජ අවකාශය ද්විගුණ කර ගැනීම, දර්ශනය වැනි විෂයක් පාරභෞතික ක්ෂේත්‍රයට තල්ලු කරයි. තමා අවට ශුෂ්ක පුද්ගල සබඳතාවලින් පලා යෑමට, ඉහත X  විමතික කාන්තාව ට්‍රොට්ස්කිව ෆැන්ටසියක් ලෙස භාරගන්නා අතර වෙනත් සන්දර්භයක දී ඇය ඒ සඳහා UNPය තෝරා ගනියි. ‘ඇය’ අන් අයගෙන් වෙනස් පමණක් නොව, ඇය ඇයගෙන් ද වෙනස්ය. විනෝදය මඟින් සමාජ යථාර්ථය සහ තමන් අතර පරතරයක් පවත්වා නොගන්නේ නම් ඇයගේ වෙනස් වීම විග්‍රහ කිරීමට නොහැකිය.

             මෙතෙක් අප සංවාද කළ න්‍යායික සාධක නැවත සාරාංශ ගත කරන්නේ නම්, පන්ති දේශපාලනය අතහැර දැමීමට පසුව අපට සම්මුඛ වී ඇත්තේ, අනන්‍යතා දේශපාලනය යි. ජනප්‍රියවාදය (Populism) යනු, අනන්‍යතා දේශපාලනයේ නූතන ධනවාදී ආකෘතිය යි. ජනප්‍රිය දේශපාලනයේදී, අන්තර්ගතයක් රහිත ආකෘතියක් පමණක් සහිත හැඟවුම්කාරක මධ්‍ය කොටගෙන (Master signifier – මහින්ද රාජපක්ෂ, යහපාලනය, තාරුණ්‍යට හෙටක්….) සමාජ බලවේග සංවිධානය වෙයි. ඒ අනුව, අර්නෙස්ටෝ ලැක්ලෝ විසින් පන්ති අරගලය ‘හෙජමොනිය සඳහා වූ සටන’ මඟින් ආදේශ කරයි.

              අර්නෙස්ටෝ ලැක්ලෝගේ කතිකා විශ්ලේෂණ න්‍යාය, අප කලින් ද සාකච්ඡා කළ පරිදි ඩෙරීඩාගේ විසංයෝජනය මත රඳා පවතී. ඩෙරීඩාගේ විසංයෝජනය තුළ සියල්ල ‘වියමන’ (Text) වන අතර ඊට පිටත කිසිවක් නැත.  ඒ නිසා, ඩෙරීඩාගේ දර්ශනය තුළ ‘විනෝදය’ යනුවෙන් සාධකයක් හඳුනාගෙන නැති අතර ‘විනෝදය’ යන සාධකය අර්නෙස්ටෝ ලැක්ලෝගේ න්‍යාය තුළ ඌණ සංවර්ධනය වී ඇත. එය, ආශාවේ වස්තු හේතුව-obect petit a[In the psychoanalytic theory of Jacques Lacan, objet petit a stands for the unattainable object of desire. It is sometimes called the object cause of desire. Lacan always insisted that the term should remain untranslated, “thus acquiring the status of an algebraic sign” (Écrits)]- ලෙස පමණක් අවධාරණය වෙයි.

Object a = pimple

             නමුත් ස්ලාවෝජ් ජිජැක් විසින් විනෝදය දේශපාලන සාධකයක් ලෙස න්‍යායගත කර ඇත. එමඟින්, මාස්ටර් හැඟවුම්කාරකයට අර්ථයේ මානය හැර විනෝදය යන සාධකය ද එකතු කර ඇත. එමඟින්, ඔහු ‘සමකාලීන ජාතිවාදය’ න්‍යායික විශ්ලේෂණයකට ලක් කර ඇත. ඊළඟට, අප එය සාකච්ඡා කරමු. 

Party Team

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here