ඇමරිකානු නිශාචර සිනමාකරුවෙකු වන Fritz Lang විසින් අධ්‍යක්ෂණය කරන ලද The Women in the Window චිත්‍රපටයේ කතා නායකයා වන  රිචර්ඩ් වොන්ලි මෘදු හැසිරීමක් සහිත  මහාචාර්යවරකි. ඔහු තමන් නිතර යන එන සමාජ ශාලාවෙන් දිනක් එලියට ගමන් කරන අතර ඉන්පසු දෙයිව ස්ත්‍රියක් සමග  ආදරයක සහ මිනීමැරුමකට පැටලවේ. චිත්‍රපට කතාව තුල දිගහැරෙන සිදුවීම් හේතු කොටගෙන ප්‍රේක්ෂකයා ත්‍රාසජනක සිනමා අත්දැකීමක් ලබන නමුත් චිත්‍රපටය අවසන් වන්නේ රිචර්ඩ් වොන්ලි සමාජ ශාලාවේ පුටුවක් මත නිදාගෙන සිට අවදි වන දර්ශනයකිනි. චිත්‍රපටය නැරබීම මගින් ප්‍රේක්ෂකයා විදි විනෝදය සදහා පාදක වන්නේ යථාර්ථයේ සිදුවීමක් නොව සිහිනයක් යැයි හැගවීම මගින් අධ්‍යක්ෂකවරයා සතුටුදායක අවසානයක් සහිත වාරණයකින් තොර ලාභදායි හොලිවුඩ් සිනමා කෘතියක් නිෂ්පාදනය කරයි. එහෙත් හොලිවුඩ් සිනමාවේ වාරණය යනු ජීවිතයේ ප්‍රචණ්ඩ, අශ්ශීල, අසභ්‍ය, සහ නපුරු බවින් යුක්ත අදුරු කලාපය නැතිනම් ජීවිතයේ පාතාලය මර්දනය කිරීමේ ඉහල මධ්‍යම  පාන්තික වාරණ යාන්ත්‍රණයක් නොවේ. හොලිවුඩ් සිනමාව යනු මෙකී අදුරු ලෝකය චිත්‍රපට තිරය මතට ප්‍රක්ෂේපනය කරමින් එය හෙළිදරවු කරණු ලබන  තාක්ෂණයකි. රිචර්ඩ් වොන්ලි යනු තමන් මිනීමරුවෙකු යැයි සිහින දකින නිහඩ, කාරුණික, විනීත, ධනේශ්වර මාහාචාර්යවරයෙකු නොව එවැනි මහාචාර්යවරයෙකු වීමට සිහින දකින එදිනෙදා ජීවිතයේ මිනීමරුවෙකි.

කර්නල්වරයා සහ උපස්ථායකයා යන රූපික දෙක මගින් පිලිබිබු වන්නේ කුමක්ද? 2020 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ සමාජ අනන්‍යතාවය කුමක්ද යන්න තීන්දු වී ඇත්තේ ඔවුන් පිළිබද වූ සමාජ ෆැන්ටසි මගිනි. සමාජ ශාලාවට පිවිසෙන මහාචාර්යවරයා විනීත පුද්ගලයෙකු ලෙස වැදගත් දේවල් පිළිබදව  තම මිතුරන් සමග කතාබහ කරන්නාක් මෙන් මෙකී සමාජ ෆැන්ටසිය  නිපදවන ජන්දදායකයා , මහජනයා නැතිනම් පුරවැසියා ලෙස නාමකරණය කරනු ලබන ; එහෙත් සැබවින්ම නොපවතින අත්භූත පිටසක්වල ජීවීන් කොට්ඨාශය විවිධ මාධ්‍ය අවකාශයන් තුල ඉතා විදග්ධ ලෙස මතුකිරීමට උත්සහ කරන්නේ කර්නල්වරයා හෝ උපස්ථායකයා හරහා තමන්ට ඉටුකරගත යුතු වාස්තවික කාරනා පිළිබදවය. අබලන් වී ගිය පාලම පිළිසකර කර ගැනීම, පාරවල් වලට තාර දැමීම කෘෂිකාර්මික ගැටළු විසදා ගැනීම, නිවාස ප්‍රශ්න විසදා ගැනීම, රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ජාත්‍යන්තර සහයෝගිතාවය නගාසිටුවීම, ණය බරින් නිදහස් වීම, ආයෝජන ප්‍රවර්ධනය, පාරසරිගක ගැටළු විසදා ගැනීම, රණවිරු සුභසාධනය, ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම, ජාතීන් අතර සමගිය ඇති කිරීම, බඩුමිල අඩු කිරීම, විරැකියාව පිටුදැකීම, වතු කම්කරු ගැටළු විසදීම, සෞඛ්‍ය සේවා පුළුල් කිරීම ආදී වූ මාතෘකා එකතු කර පොතක් වුව මුද්‍රණය කල හැක. අවසානයේ මෙම මාතෘකා අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුලට ඇතුලත් වේ.

ප්‍රතිපත්ති කුමක් වුවද අවසන් මොහොතේ ජනතාව ජන්දය සලකුණු කරන්නේ තමන්ට අනන්‍ය විය හැකි  සත්භාවවෙදී (Ontological) අපේක්ෂකයාටය. මේ නිසා කර්නල්වරයා සහ උපස්ථායකයා කුමක් කීවද ඔවුන්ගේ ඇදුම් දෙක, එසේත් නොමැති නම්  ඔවුන් විසින් පණ පොවනු ලබන භූමිකා දෙකෙහි සාර්ථකත්වය විසින් සියලු දේ තීන්දු වේ. පුද්ගලයෙකු කර්නල්වරයාට අනන්‍ය වන්නේ ඔහු හෝ ඇය තමන් තුලින් තමාගේම දුර්වලතා දකින බැවිනි. කර්නල්වරයා වැනි ශක්තිමත් පුද්ගලයෙක් පිළිබද වූ  ෆැන්ටසියකට අනන්‍ය වන්නේ අත්මීයව දුර්වල මිනිසුන්ය. රෝහලේදී උපස්ථායකයා යනු පුද්ගලයාට ඉක්මනින් ප්‍රතිකාර ගැනීම සදහා උදවු කරනු ලබන කෙනාය. රෝගියා වාට්ටු වෙත රැගෙන යන්නේ ඔහුය. රෝගියා බැලීමට එන ඥාතීන්ට සහය වන්නේ ඔහුය. රෝහල වෙත පැමිණෙන  නිර්ධනයාට උපකාර කල හැකි නියෝජිතයා වන්නේ උපස්ථායකයාය.

එක් පැත්තකින් කර්නල්වරයා මගින් ක්‍රියාකාරී (active) චරිතයක් අපේක්ෂා කරයි. දුර්වල , සමාජයට බියෙන් සිටින පුද්ගලයන් විසින් කසපහර දීමෙන් හෝ මිනිසුන් ශික්ෂණය කල හැකි සර් කෙනෙකු කර්නල්වරයා හරහා බලාපොරොත්තු වේ.  තමන් සැටියේ වාඩි වී සිට  සනත් ජයසුරිය හයේ පහර  ගසන විට උඩපනිමින් කෑ ගසන ප්‍රේක්ෂකයා  තමන්ගේ එම ක්‍රියාව  ක්‍රීඩාවට සම්බන්ධ වන බව සිතයි. කර්නල් වරයා විසින් අමතනු ලබන්නේ නොහැකියාවෙන් පෙලෙන මෙකී දුර්වල මිනිසුන් මිස  යමක් කල හැකි පිරිස නොවේ.තවත් පැත්තකින් උපස්ථායකයා මගින් නිෂ්ක්‍රීය ප්‍රතිරූපයක් බලාපොරොත්තු වේ. ජේසුස් වහන්සේ මෙන් අප වෙනුවෙන් දුක් විදින, සියලු දෙනාට ප්‍රේම කරන්නෙකු ලෙස උපස්ථායකයා තමන්ගේ භූමිකාවට අනන්‍ය වෙයි.

සමාජ දේශපාලනය තුල වමේ ව්‍යාපාරය විසින්  ඉහත මතු කරනු ලබන ආත්මීය මානය අතහැර දමයි. ඒ මන්ද? යන්න වැදගත් ප්‍රශ්නයකි. දේශපාලනයට ඇත්තේ සත්භාවවෙදී (ontological) පැත්තක් බව න්‍යායගත කරනු  ලබන්නේ දීප්ති විසිනි. නමුත් වාමාංශිකයන් දීප්තිගේ කතිකාව සමග අරගල කරන්නේ නැත. ඊට හේතුව වන්නේ තමන් දීප්තිගේ න්‍යායන් පිළිබද සංවාද කළහොත් දීප්තිගේ කතිකාව අධිනිශ්චය වී තමන්ගේ දේශපාලනය දියවී යනු ඇතැයි යන භීතියයි. එහෙත් වමේ දේශපාලනයේ පෙරටුගාමීත්වය රැදී ඇත්තේ පුද්ගලයාගේ අශ්ශීල , අදුරු ෆැන්ටාස්මැටික කලාපය දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය තුලය. මිනිස්සුන්ට වෙනස් විය හැක්කේ එවැනි සංවාදයක් පාදක කර ගැනීමෙන් පමණි. ජනාධිපතිවරණ ජන්ද ව්‍යාපාරයේ දැන් පවතින තත්වය හා සසදා බලන විට අනුර කුමාර සහෝදරයා සිටින්නේ ගව් ගණනක් අතීතය දෙසට වන්නටය. කර්නල්වරයා සහ උපස්ථායකයා  ජනතාවට සපයන විනෝදයට සාපේක්ෂව අනුර කුමාර නවක අපේක්ෂකයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරයි. ඔහු වාස්තවික දේවල් වෙනස් කිරීම වෙනුවෙන් ඕනෑවටත් වඩා අනන්‍ය වී වේදිකාවට පැමිණ තිබේ. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හරහා මතුවන විනෝද ආර්ථිකය අභිමුව අනුර කුමාර අන්ධ වී ඇත. මුලින් මතු කල චිත්‍රපට උදාහරණය පැහැදිලි නම් ජනතාව මේ මොහොතේ ඉල්ලා සිටින්නේ සැබෑ සමාජ පෙරලියක් නොව පැරණි විනෝදය යළි සහතික කිරීමක් බව තේරුම් ගත යුතුය. මාස හය හතකට පසුව නැවතත් පරණ වද වේදනාවන් විදීම කරා හබායන ජනතාවක් මේ මොහොතේ  ප්‍රතිසංස්කරණවාදීන් බවට රූපාන්තරණය වී ඇත.     

උපස්ථායකයාට සාපේක්ෂව කර්නල්වරයා තුලින් වීරත්වය පිළිබද හැගීමක් ඉස්මතු කිරීමට උත්සහ කලද කර්නල්වරයාට සංකේතීය පියෙකු බවට පත්විය නොහැක. ඒ වෙනුවට ඔහු තම අනුගාමිකයන්ට විනෝදය සපයන ගුදීය පියෙකු බවට පත් වී ඇත. කර්නල්වරයාගේ සැබෑ පෞර්ෂය සලකා බලන විට මේ තත්වය ඉතා හොදින් සනාථ වේ. මනෝවිශ්ලේෂණය නම් මගහැර යා නොහැකි දේශපාලන විෂය ක්ෂේත්‍රය අපට වඩාත් වැදගත් වන්නේ මේ මොහොතේය. ආදර්ශ-අහම (Ideal-ego) සහ අහම-ආදර්ශය (Ego-ideal)  නම් සංකල්ප ද්විත්වය මගින් පැහැදිලි කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීම සමකාලීන දේශපාලනය තේරුම් ගැනීම හා සමපාත වෙයි. ආදර්ශ-අහම මගින් අදහස් කරන්නේ මම මාව දකින්න කැමති අකාරය කුමක්ද යන්නයි. එය පරිකල්පනය නම් රෙජිස්ටරයට අයත් වේ. මම මාව  විජය කුමාරතුංග හෝ ගාමිණී ෆොන්සේකා ලෙස දැකීමට  කැමති වේ. එය මගේ පරිකල්පනයකි. අහම- ආදර්ශය  යන්නෙන් අදහස් වන්නේ මාව එලියේ සිටින අනෙකා විසින් දකිනු ලබන ආකාරයයි. මගේ පරිකල්පිත පරමාදර්ශය මෙන් මාව බාහිර අනෙකාට  කොතරම් දුරට පෙනෙනවාද යන්න එමගින් අදහස් කරයි. මෙම බාහිර අනෙකාගේ දැක්ම අයත් වන්නේ සංකේතීය රෙජිස්ටරයටය.සාරාංශයක් ලෙස  මම විජය වෙන්න ආසයි. එහෙත් මට විජය වීමට නොහැකියි. එළියෙන් මාව කොයිතරම් දුරට විජය වගේ දකිනවාද යන්න මෙම සංකල්ප දෙක විසින් න්‍යාය ගත කරයි.වර්තමාන ජන්ද ව්‍යාපාරය පදනම් වන්නේ මෙම සංකල්ප දෙකට අනුවය. උදාහරණයකට උපස්ථායකයාගේ ආදර්ශ- අහම වන්නේ ජනතාවට වැඩිම විනෝදයක් සපයන නායකයා බවට පත් වීමය.

නව ලිබරල් අවරසිකයා සහ විමල් වීරවංශගේ දේශපාලන සාහිත්‍ය තුල හමුවන දෙමළා, ඇමරිකානු කුමන්ත්‍රණ, බටහිර කුමන්ත්‍රණ, දේශද්‍රෝහීත්වය  යනු පිලිවෙලින් කර්නල්වරයා සහ උපස්ථායකයාගේ සතුරන්ය. මෙම බාධක මධ්‍යයේ විනෝදය වඩාත් සහතික කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇත. මෙම තේරීම සදහා කුමන හෝ හේතුවක් මත ජන්දදායකයාගේ ඥාන ක්‍රියාකාරීත්වය යොදා ගැනෙන්නේ නැත. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා මගින් මුර්තිමත් වන්නේ විනෝදය පොරොන්දු වන සමාජය විපරීතකරණය කරනු ලබන පියවරුන් දෙදෙනෙකි. ක්‍රියාකාරී සංකේතීය භූමිකාවක් වූ හිට්ලර් ජර්මනියේ ප්‍රශ්න විසදුවේ නැත. නමුත් එකල මිනිසුන් සිතුවේ හිට්ලර් ප්‍රශ්න විසදු බවය.

ඩොනල් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති වූ පසු එය ඉතා හොද දෙයක් බව ජිජැක් ප්‍රකාශ කර තිබිණ. ඒ මන්ද යත් සියලු දේ විකාරයක් බවට පත් කිරීමට ට්‍රම්ප්ට හැකියාව පැවති නිසාය. අද ඇමරිකාව එම අවාසනාවන්ත තත්වයට මුහුණ දී ඇත. කර්නල්වරයා හෝ උපස්ථායකයා යන දෙදෙනාගෙන් කුමන පුද්ගලයා බලයට පත් වුවද ලංකාවට අත්වීමට නියමිත එම තත්වයයි. ඉදිරියේදී අපට උදා වීමට නියමිත  අදුරු යුගයකි. ඉන් ගැලවීම පහසු නැත. අපගේ දේශපාලන ව්‍යාපෘතියේ අවශ්‍යතාවය මතුවන්නේ එවැනි යුගයකදීය. මේ මොහොතේ අප ඒ සදහා සුදානම් වෙමින් සිටින්නෙමු. 

Anushka

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මම හිතන්නේ අකුදිට සහයෝගය දිය යුතුය කියල මේ අවස්ථාවේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජාතිවාදී නොවන තැනක ඉන්න නිසා. අවම වශයෙන් . දුමින්ද නාගමුව පෙනී හිටින්නේ පෞරාණික සමාජවාදය වෙනුවෙන්. වැඩක් නැහැ. දීප්ති කෙනෙක් දාල නැහැනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here