“Moonlight” (සඳ එළිය – 2016) බැරී ජෙන්කින්ස් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි. එහි ආඛ්‍යාන ව්‍යුහය එකම පුද්ගලයෙකුගේ ජීවිතයේ විවිධ අවධීන් පිළිබඳ කතා තුනකින් ගොඩ නැඟී ඇත. චයිරොන් නැමැති කළු ඇමෙරිකානුවාගේ ජීවිතයේ කුඩා අවධිය “Little” ලෙසින් ද, ඔහුගේ නව යෞවන බව “Chiron” ලෙසින් ද, ඔහුගේ වැඩිහිටි බව “Black” ලෙසින් ද එහි අන්තර්ගත වේ. “Moonlight” චිත්‍රපටයේ ආඛ්‍යාන ව්‍යුහය සිඩ් ෆීල්ඩ්ගේ “ත්‍රී රූපණ ව්‍යුහය“ (Three Act Structure) ද සිහි ගන්වයි. එබැවින් මෙම චිත්‍රපටයේ සාම්ප්‍රදායික හොලිවුඩ් චිත්‍රපට ආඛ්‍යාන ව්‍යුහයක ලක්ෂණ පවතියි.

චිත්‍රපටයේ මුල් කොටස “Little” නමින් ආරම්භ වේ. එහි දී සම වයස් කණ්ඩායමක පිරිසකගේ පහරකෑමට ලක් වීමෙන් වැලකීම සඳහා සැඟවී සිටින චයිරොන් (Alex Hibbert) නමැති පාසල් සිසුවා එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු වන ජුවාන් (Mahershala Ali) පැමිණ බේරා ගනු ලබයි. චයිරොන්ගේ මව වන පෝලා (Naomie Harris) ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින්නියකි. මවගේ ක්‍රියා කලාපයන් නුරුස්නා චයිරොන් ඉහත සිදුවීමෙන් පසු බොහෝ දිනවල කාලය ගත කරන්නේ ජුවාන් සහ ඔහුගේ පෙම්වතිය වන තෙරේසා (Janelle Monae) සමඟ ය. චයිරොන් නිසි ලෙස රැක බලා නො ගැනීම පිළිබඳව ජුවාන් දිනෙක පෝලාට බැන වදින නමුත් තමන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන්නේ ජුවාන් බව පෙන්වා දෙමින් පෝලා ද පෙරළා ජුවාන්ට බැන වදියි.

චිත්‍රපටයේ දෙවන කොටස “Chiron” නමින් ආරම්භ වන අතර එහි දී ජුවාන් මියගොස් ඇති බව හෙළි වේ. චයිරොන් (Ashton Sanders) හා ඔහුගේ පාසැල් මිතුරෙකු වන කෙවින් (Jharrel Jerome) මුහුදු වෙරළේ දී හමු වී එකිනෙකා සිප වැළඳ ගන්නා අතර කෙවින් විසින් චයිරොන් ලිංගිකව උත්තේජනය කරවයි. ඉන් පසු දිනෙක ටෙරල් (Patrick Decile) නමැති චයිරොන්ගේ පාසැල් සගයා කෙවින් ලවා චයිරොන්ට පහර දීමට සලස්වයි. එහි දී තමන්ට පහර දුන්නේ කවුරුන්දැයි පාසල් බලධාරීන්ට අනාවරණය කිරීම ප්‍රතික්ෂේප කරන චයිරොන් පසු දින තමා ඉගෙනුම ලබන පන්ති කාමරය තුළ දී ම ටෙරල්ට පුටුවකින් පහර දෙයි. ඒ හේතුව නිසා ඔහු පොලිස් අත්අඩංගුවට පත් වේ.

දඬුවම් කාලයෙන් පසුව නිදහස් වී පැමිණ සිටින චයිරොන් (Trevante Rhodes) “Black” නමින් මෙම චිත්‍රපටයේ තෙවන කොටසේ දී නිරූපණය වේ. එහි දී චයිරොන් ද මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු බවට පත් වී සිටින බව අනාවරණය වේ. ඒ අතර භෝජනාගාරයක සේවය කරන කෙවින්ගෙන් (Andre Holland) චයිරොන්ට දුරකථන ඇමතුමක් ලැබේ. පසුව චයිරොන්, කෙවින් සොයා යන අතර ඔවුන් දෙදෙනා කුළුපගව කතා කරමින් සිටින අවස්ථාවක දී මුහුදු වෙරළේ දී සිදු වූ සිදුවීම චයිරොන් සිහිපත් කරයි. ඉන් පසු තමා කිසිවකු ස්පර්ශ කර නැතැයි ඔහු ප්‍රකාශ කරයි. චයිරොන්, කෙවින්ගේ උරහිස මත හිස තබා සිටින දර්ශන ඛණ්ඩයක් සඳ එළිය ඇති රාත්‍රියක කුඩා චයිරොන් (Little) මුහුදු වෙරළ අද්දර සිටින දර්ශන ඛණ්ඩයකට ඡේදනය විමෙන් පසු චිත්‍රපටය නිමා වේ.

“Moonlight” චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ එහි නිරූපණය වන සියළුම චරිත සඳහා පාදක වන්නේ කළු ඇමෙරිකානුවන් වීම ය. එබැවින් මෙම චිත්‍රපටය සාම්ප්‍රදායික හොලිවුඩ් ආඛ්‍යාන ව්‍යුහයක් සහිත චිත්‍රපටයක් වුව ද එවැනි චිත්‍රපටවල සුලබව නිරූපණය වන කළු/සුදු පසමිතුරුතාවය මෙම චිත්‍රපටය තුළ දක්නට නො ලැබේ. එහි ප්‍රබන්ධ ලෝකය කල්ලන්ගේ ලෝකයක් ලෙස ගොඩ නැඟේ. චිත්‍රපටයක් පොදු ලෝකයෙන් බැහැර වන විට එයටම අනන්‍ය වූ අතිරික්ත ප්‍රමෝදයක් උත්පාදනය වේ. තවත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් මෙම චිත්‍රපටයේ දෘෂ්ටිවාදය මඟින් අප ඇතුළු වන්නේ අප දන්නා නීති උල්ලංඝනය වන සහ ප්‍රේක්ෂිකාවට අර්ධ ලෙස තහනම් ව තිබූ අවකාශයකට ය. එනම්, කළු ඇමෙරිකානු හා සමලිංගික අවකාශයකට ය. එබැවින් මෙම චිත්‍රපටය පිළිබඳ කතිකාව කේන්ද්‍ර වී හා රඳා පවතින්නේ කළු ඇමෙරිකානුවන් විසින් ස්වයං වාරණය කළ අශ්ලීල, වර්ගවාදී හා ලිංගික ෆැන්ටසි ආකෘතියක් මත ය. සාම්ප්‍රදායික හොලිවුඩ් ආඛ්‍යාන තුළ පොදු අවකාශය උල්ලංඝනය වන ආකාරය නිරූපනය වන නමුත් මෙම චිත්‍රපටයේ නිරූපණය වන්නේ ආවෘතව පැවැති අවකාශයක සිදු වන උල්ලංඝනයන් ය. එනම්, එමඟින් අපගේ විනෝදය තුළට එම අවකාශය අන්තර්ග්‍රහණය කර ගැනීමක් සිදු වේ. (මෙයට පටහැනිව සාමාන්‍ය හොලිවුඩ් ආඛ්‍යානය තුළ පැහැදිලි ලෙස පවතින්නේ කළු ඇමෙරිකානුවන් පිළිබඳ ව්‍යාධිවේදීමය හා වර්ගවාදී අදහස් ය.) එමෙන් ම අප කෙනෙකුගේ වාර්ගික මූලයක් (සාරය) වෙත ‍ප්‍රවිෂ්ට වන විට ඔවුන් ක්‍රියා කරන ආකාරයෙන් අපට පෙනෙන්නේ ඔවුන් අපරිණත පුද්ගලයන් ලෙස මිස ඔවුන් නිදහස් මිනිසුන් ලෙස නො වේ. කාන්ටියානු අර්ථයෙන් ප්‍රකාශ කරන විට එහි දී අපට හමු වන්නේ හේතුව පිළිබඳ නාසිස්මික ප්‍රයෝජනය මිස හේතුව පිළිබඳ විශ්වීය ප්‍රයෝජනය නො වේ.

“Moonlight” චිත්‍රපටය පිළිබඳ පළ වී ඇති බොහෝ විචාර විමසීමේ දී දක්නට ලැබෙන්නේ මෙම චිත්‍රපටය කළු ඇමරිකානුවකුගේ කුඩා වියේ සිට වැඩිහිටි විය දක්වා (coming-of-age) නිරූපණය වන සමලිංගිකත්වය තේමා කර ගත් අන්තර්වර්තී කතාවක් සහිත චිත්‍රපටයක් ලෙසින් නම් වන බව ය. චිත්‍රපට කතාව තුළ පාදක කර ගන්නා මුඛ්‍ය ආප්තයක් වන්නේ සඳ එළිය යට දී කල්ලන් නිල් පාට වන්නේ ය යන්න ය. එබැවින් අප විමසිය යුතු වන්නේ සාම්ප්‍රදායික හොලිවුඩ් චිත්‍රපටවල කළු ඇමෙරිකානුවන් නිරූපණය වන ඒකාකෘතිකභාවයන් වන මත්ද්‍රව්‍ය, ප්‍රචණ්ඩත්වය, පිරිමි බව නමැති සාධක පැහැදිලිව චිත්‍රපටය තුළ පිළිබිඹු වන විට (චිත්‍රපටයේ සංගීතය ද gangster හා drama චිත්‍රපට ශානර අතර දෝලනය වේ.) මෙම චිත්‍රපටය සමාජ භීතිකාවෙන් පෙළෙන බෙලහීන පුද්ගලයෙකුගේ අභ්‍යන්තරය විනිවිඳින අපූර්ව කතාවක් (ආන්තික මිනිසෙකු පිළිබඳ සංවේදී කතාවක්) ලෙස විග්‍රහයට ලක් වන්නේ ඇයි ද යන්න ය. එසේත් නො මැති නම් චිත්‍රපට දෘෂ්ටිවාදයට අනුව කල්ලන් නිල් පාට වන්නේ ඇයි ද යන්න  ය. (චිත්‍රපටයේ බොහෝ දර්ශන තුළ අඳුර සමඟ මිශ්‍ර වන නිල් පැහැය සිහිපත් කරන්න.)

හොලිවුඩ් සිනමාව මඟින් කළු ඇමෙරිකානුවන් නිරූපණය කිරීමේ දී දක්නට ලැබෙන සුවිශේෂ හෙවත් දුෂ්ට අන්තර්ගත (malignant contents) බැහැර කර අහිංසකභාවයක් සහිත සමලිංගිකත්වය චිත්‍රපටයට ආරෝපණය වන්නේ ඇයි? එනම්, ඒකාකෘතික කළු ඇමෙරිකානුභාවයට අදාළ වන ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය හා පිරිමි බව පසුබිමට ගොස් කළු ඇමෙරිකානුවකුගේ අභ්‍යන්තරය පෙරබිමට පැමිණ ඇත්තේ ඇයි? ඒ සඳහා ලබා දිය හැකි සරල වාස්තවික පිළිතුර වන්නේ චිත්‍රපටයේ තිර කතා රචකයා වන ටැරල් ඇල්වින් මැක්‍රේනි මෙන්ම අධ්‍යක්ෂවරයා වන බැරී ජෙන්කින්ස් ද කළු ඇමෙරිකානුවන් වීම හා චිත්‍රපටයේ තිර කතාව සඳහා තිර කතා රචකයාගේ පෞද්ගලික අත්දැකීම් පාදක වී ඇති ය යන අදහස් ය. චිත්‍රපටයේ දෘෂ්ටිවාදයට අප නතු වන්නේ නම් අපට ලැබෙන පිළිතුර වන්නේ කළු ඇමෙරිකානුවන් ප්‍රචණ්ඩ වුව ද ඔවුන් අතර ද වෙනස් ලිංගිකත්වයක් සහිත සොඳුරු හදවත් ඇත්තන් සිටින්නේ ය යන්න ය. එය ඇමෙරිකානු දේශපාලන නිවැරැදිභාවී අදහසක් යනුවෙන් ද නම් කළ හැකි ය. චිත්‍රපටය තුළ බහුසංස්කෘතිකවාදී සුදු ස්වාමිත්වය නිරූපනය නො වුණත් චිත්‍රපටයේ අවිඥානය විමසීමේ දී එය ආමන්ත්‍රණය කරන්නේ එවැනි සුදු ස්වාමියකුගේ දැක්ම වෙනුවෙන් නො වන්නේ යැයි කිව හැකි ද? එබැවින් චිත්‍රපටය තුළ එම දැක්ම නිරූපණය වන්නේ නො පැමිණි දැනුමක් පරිදි ය.

ඒ අතරම අප විමසිය යුතු වැදගත් කරුණක් වන්නේ චිත්‍රපටයක් නිර්මාණය වන්නේ මහා අනෙකාගේ දැක්ම වෙනුවෙන් නම් මෙම චිත්‍රපටය මඟින් නිරූපණය වන්නේ චිත්‍රපටයට පාදක වන කළු ඇමරිකානුවාගේ බෙලහීනභාවයට වඩා වත්මන් ධනවාදී සමාජයේ මහා අනෙකාගේ බෙලහීනභාවය නොවේ ද යන්න ය. අප වටහා ගත යුත්තේ අපගේ දැක්ම අනෙකාගේ (චයිරොන්ගේ) පතුලක් නො මැති විනිවිඳිය නො හැකි ගැඹුරුක් වෙත යොමු වන්නේ නම් එම පතුලක් නොමැති ගැඹුරෙහි දැක්ම ද පෙරළා අප වෙතට යොමු වන බව ය. මෙහි චයිරොන් යනු එක් විටම ආකර්ශණීය මෙන්ම ජුගුප්සාජනක ද වන භූතාකාර රූපයකි. චයිරොන් නිවට හා ප්‍රචණ්ඩ ලෙස ද්විගුණවීම යනු මහා අනෙකාගේ මෙම බෙලහීනභාවය නිරූපණය වන රූපක නො වන්නේ ද? එමෙන්ම මෙම චිත්‍රපටය තිරගත වූ 2016 වර්ෂය අවසානය වන විට ඇමෙරිකානුවන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති ජනාධිපතිවරයෙකු ලැබෙන බව ද අප අමතක නො කළ යුතු ය. පාසල තුළ පවතින ශික්ෂණ ව්‍යාපෘතියෙහි අසාර්ථකභාවය චයිරොන්, කෙවින් හා ටෙරල්ගේ ක්‍රියාකාරකම් මඟින් නිරූපනය වන විට චයිරොන් නීතිය හා පර්යාය ට අභිමුඛ වී පුනරුත්ථාපනය වනු වෙනුවට මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු ලෙස (Black ලෙස) සමාජගත වීම මඟින් නීතිය හා පර්යාය පිළිබඳව පොදු අර්ථයක් වෙනුවට පෞද්ගලික අර්ථයක් බිහි වේ. චිත්‍රපටයේ ප්‍රකට නීති (explicit law) වෙනුවට තීරණාත්මක වන්නේ අප්‍රකට නීති (implicit law) ය. ප්‍රකට නීති පියාගේ නාමය මත පරායත්ත වන විට අප්‍රකට නීති පියාගේ භූතාකාර ආදේශකයක් මත පරායත්ත වේ. 

පියා අහිමි චයිරොන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින මවක විසින් රැක බලා ගන්නා විට ඔහුගේ ගැලවුම්කරුවා බවට ආදේශ වන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු වන ජුවාන් ය. මහා අනෙකාගේ අසමත්වීම තුළ තම මළපුඩුව විසඳා ගැනීම සඳහා ආත්මයම ඊට අවශ්‍ය ශරීරයක් බැහැරින් නිර්මාණය කර ගනියි. එබැවින් චිත්‍රපටය තුළ පීතෘ හැඟවුම්කාරකය සඳහා ආදේශකය බවට පත්වන්නේ ජුවාන් ය. චයිරොන් faggot යන වචනයෙහි තේරුම විමසන්නේ ජුවාන්ගෙන් හා තෙරේසාගෙන් ය. එමෙන්ම තමා සමලිංගිකයෙකු දැයි වටහා ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරත්, ජීවිතය පිළිබඳ ඇතැම් කරුණු හා පිහිනීම ආදිය ද ඔහු ඉගෙන ගන්නේ ජුවාන් ගෙන් ය. එබැවින් ඔවුන් ශික්ෂණය කරලීමට විමුක්තිය සඳහා මඟ පෙන්වන මැල්කම් x වර්ගයේ කළු ඇමෙරිකානුවන් වෙනුවට වත්මන් ක්‍රමය තුළ නිර්මාණය වන්නේ ජුවාන් වැනි කළු ඇමෙරිකානුවන් ය. නිදසුනකට වත්මන් ලාංකේය දේශපාලනය තුළ සමාජය මෙහෙය විය හැකි දේශපාලනඥයින් වෙනුවට ඊට ආදේශ වී සිටින්නේ කවුරුන්දැයි සිහිපත් කරන්න. ආගමික ව්‍යාපෘතිය තුළ මිනිසුන් ශික්ෂණය කළ හැකි ආගමික නායකයන් වෙනුවට ආදේශ වී සිටින්නේ කවුරුන්දැයි සිහිපත් කරන්න. සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය නොමැති විට එතැනට ආදේශ වී සිටින්නේ කවුරුන්දැයි සිහිපත් කරන්න.

මෙම චිත්‍රපටයේ චයිරොන්ගේ පියා පිළිබඳ නිරූපණය නො වීමත් ඒ සඳහා අනුපූරක විය හැකි මව මාතෘත්වයෙන් දුරස්ථව පිහිටීමත් මඟින් නිරූපණය වන්නේ සමාජ ව්‍යූහයේ පවතින අසම්පූර්ණභාවය නො විය හැකි ද? ෆැල්ලසය අභිබවමින් මව විඳින විනෝදය ද චිත්‍රපටය තුළ අපට මුණ ගැසෙන්නේ සංකේත පිළිවෙළෙහි අසම්පූර්ණභාවය හා අතිරික්ත විනෝදය ලෙස ය. මිචෙල් චියොන් පෙන්වා දෙන පරිදි චිත්‍රපටයක් තුළ පවතින මාතෘ හඬ බොහෝ විට පීතෘ ලෝකයට එරෙහි ව පවතියි. එමෙන්ම එය අභ්‍යන්තරය මඟින් නිරූපණය කළ නො හැකි එමෙන්ම ප්‍රකාශ කළ නො හැකි හඬක් බවට ද පත් වේ. චයිරොන්ගේ මව වන පෝලා “dont look at me“ යනුවෙන් ඔහුට ප්‍රකාශ කරන අවස්ථා දෙක පුනරාවර්තනය වන ආකාරය සිහිපත් කරන්න.

මෙම චිත්‍රපටයට බොහෝ දෙනා ආශක්ත වන්නේ ඇයිදැයි වටහා ගැනීම සඳහා අප මෙම චිත්‍රපටයේ ආරම්භය දෙසට යොමු වෙමු. චිත්‍රපටය ආරම්භ වන්නේ ළමුන් පිරිසක් චයිරොන් ලුහුබැඳ යන දර්ශනාවලියකිනි. එහි දී කැමරාව සමඟ අප ද චයිරොන් ලුහු බැඳ යයි. ලුහු බඳින ළමුන්ගෙන් ගැලවී සිටීම සඳහා චයිරොන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් උපයෝගී කර ගන්නා කුඩා කුටියක සැඟවෙයි. ලුහු බැඳ පැමිණි පිරිස් එම කුටියට පහර දී ඉවත්ව ගිය පසු එතැනට පැමිණෙන්නේ මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදෙන ජුවාන් ය. ඔහු පැමිණ චයිරොන්ට කුටියෙන් පිටතට පැමිණෙන ලෙසට ප්‍රකාශ කරයි. එහි දී ඔහු සඳහන් කරන්නේ පිටත තව දුරටත් අනතුරක් නො මැති බවයි. ඒ අනුව අනාරක්ෂාවේ කලාපයේ සිට ආරක්ෂාවේ කලාපය වෙත චිත්‍රපට කතාව අවතීර්ණ වන බවක් නිරූපණය වේ. එහෙත් චිත්‍රපටය කෙමෙන් තිරය මත පතිත වන විට චයිරොන් මෙන්ම අප ද නැවත අනාරක්ෂාවේ කලාපයට ප්‍රවිෂ්ට වී ඇති බව පැහැදිලි වේ. එබැවින් මෙහි දී සහතික කළ ආරක්ෂාව යනු චිත්‍රපටය තුළ පවතින නො පැමිණි වස්තුවක් බවට පත් වේ. එමඟින් ආරක්ෂාව පිළිබඳ ස්ථායි හැඟීමක් අපට ලබා නො දෙයි. ආත්මය හා ආරක්ෂාව අතර විසම්බන්ධය (disjunction) ආශාවේ වස්තුව සඳහා වන හිදැස අපට විවර කර දෙයි. අප චිත්‍රපටයට ආශා කිරීමට පටන් ගන්නේ ඉහත පවතින පෑස්සීමට නො හැකි සම්බන්ධය නිසා ය. මෙහි දී චිත්‍රපටයේ නිරූපනය වන කිසිවෙකුට තේරුම් ගත නො හැකි ආකාරයට චයිරොන් ගොඩ නැඟී තිබීම ද විශේෂිත ය. අනෙකා විසින් චයිරොන් වැරදියට තේරුම් ගැනීම හා ඔහු සංකේතීය නො වන ආකාරයට නිරූපණය වීම මඟින් අපගේ ආශාව අවදි වේ. අනෙකාගේ අඩුව නිරූපනය කරන රූපකය වන්නේ චයිරොන් ය. අනෙකාගේ අඩුව හෙවත් අනෙකාට ඔහුව තේරුම් ගැනීමට නො හැකිවීම නිසා මෙම ආශාව බිහි වේ. මේ නිසා අපගේ ආශාව ද මෙහි දී චයිරොන්ගේ ආශාවට සමාන්තර වේ. එහි දී අප වටහා ගත යුතු වන්නේ ආත්මය හා සමාජ පිළිවෙල අතර පවතින අනවබෝධය හා විසම්බන්ධය සඳහා අප ලබා දෙනු ලබන නාමකරණය චයිරොන්ගේ සංවේදී ආත්ම ප්‍රකාශනය යන්න බව ය. චිත්‍රපටයක පවතින දෘෂ්ටිවාදී ගොඩ නැංවීමේ සූක්ෂමභාවය පිළිබඳ එය මනා සාක්ෂියකි. එමෙන් ම අවමානයට පාත්‍ර වූ චයිරොන් දැකීමෙන් අප අත් විඳින්නේ කළු සංස්කෘතිය තුළ පවතින අශ්ලීල විනෝදයේ මදය නො වන්නේ ද?

වෙනත් මානයකින් චිත්‍රපටය කියවන විට චිත්‍රපටය පුරාම චයිරොන් ක්‍රියා කරන්නේ කෙවින්ගේ ආශාවට අනුව බව පැහැදිලි කර ගත හැකි ය. නිදසුනකට චිත්‍රපටයේ පළමු කොටසේ දී ඔහු ප්‍රකාශ කරන්නේ තමාගේ නම චයිරොන් වුව ද බොහෝ දෙනා ඔහුව Little යන නමින් ආමන්ත්‍රණය කරන බව ය. එම කොටසේ දී කෙවින්, චයිරොන්ට ආමන්ත්‍රනය කරන්නේ ද Little නමිනි. චිත්‍රපටයේ මුල් කොටස Little නමින් නම් වන විට ඔහු එම අනෙකාගේ (කෙවින්ගේ) ආශාවේ වස්තුව බවට පත් වෙයි. චිත්‍රපටයේ දෙවන කොටස වන විට එතෙක් ඔහුට Little නමින් ආමන්ත්‍රණය කළ කෙවින් ඔහුට “චයිරොන්“ යන නමින් ආමන්ත්‍රණය කරන බව දැක ගත හැකි ය. චිත්‍රපටයේ එම කොටසේ දී ජුවාන් ද චයිරොන්ට ප්‍රකාශ කරන්නේ කවුරුන් කෙසේ කීව ද තමන් තමන් බවට පත් වන්න (be yourself) කියා ය. ඒ අනුව ජුවාන් යනු චයිරොන්ගේ අභ්‍යන්තරික මළපුඩුව විසඳීමට ශරීරය සපයන්නා ය. චිත්‍රපටයේ එම කොටසේ අවසානයේ දී  කෙවින්, චයිරොන් ආමන්ත්‍රණය කරන්නේ Black නමිනි. ඒ අනුව චිත්‍රපටයේ අවසාන කොටස ද Black යනුවෙන් නම් වේ. එම කොටසේ දී ද ඔහු කෙවින්ගේ ආශාවේ වස්තුව බවට පත්වීමට උත්සාහ කරන ආකාරය දක්නට ලැබේ. ඒ අර්ථයෙන් චයිරොන් යනු විපරීතයෙකි. එම විපරීතභාවය ද චිත්‍රපටයට අප බඳවා තබයි. ඒ අනුව චයිරොන් යනු කෙවින්ට අනුව නැටවෙන රූකඩයකි. මෙහි දී චිත්‍රපටිය නරඹන අපට අමතකව යන වැදගත් දර්ශනාවලියක් සිහිපත් කළ යුතු ය. චිත්‍රපටයේ මුල් කොටසේ දී ඔබ මෙතරම් සියුමැලි ඇයිදැයි කෙවින් චයිරොන්ගෙන්  විමසන විට චයිරොන්, කෙවින් බිම පෙරලා ගෙන පහර දෙයි. එම සටනින් පසු කෙවින් ප්‍රකාශ කරන්නේ ඔබ සියුමැලි අයෙක් නො වන බව තමන් දැන සිටි බව ය. එහෙත් චිත්‍රපට කතාව දිග හැරෙද්දී  කෙවින් මෙන් ම අපි ද එම දන්නා දැනුම ප්‍රතික්ෂේප කරමින් ඔහු බෙලහීන යැයි විශ්වාස කරන්නෙමු. එබැවින් චයිරොන්ගේ අහිංසකභාවය, බෙලහීනභාවය, අභ්‍යන්තරය විනිවිඳීම, සංවේදී කතා පුවත ආදී දෘෂ්ටිවාද අප ගොඩ නඟන්නේ ඉහත විපරිතභාවය සඟවාලීම වෙනුවෙනි.

“Moonlight” චිත්‍රපටය විශ්ලේෂණය කිරීමේ දී අප විමසිය යුතු තවත් කරුණක් වන්නේ මෙම චිත්‍රපටය මඟින් මතු වන්නේ ධනවාදය පිළිබඳ බටහිර වටිනාකම් පිළිබඳ අදහසක් නො වන්නේ ද යන්න ය. එනම්, මෙම චිත්‍රපටය මඟින් නිරූපනය වන්නේ කළු ඇමෙරිකානුවන්ගේ සාමූහික සහයෝගිතාවයට පටහැනිව පුද්ගල නිදහස පිළිබඳ කතාවකි. ප්‍රේක්ෂිකාවගේ භීතිය, සාංකාව හා අශ්ලීල ආශාවන් ප්‍රක්ෂේපණය කළ හැකි තිරයක් බඳු වෙනත් ලෝකයක කළු ඇමෙරිකානුවන් ජීවත් වනු දැකීම අපට සහනයකි. ක්‍රමය මඟින් පීඩනයට ලක් වූ කළු ඇමෙරිකානු ප්‍රජාවක් යථාර්ථය තුළ  සිටින බව අපි හොඳින්ම දනිමු. ඒ අතරම මෙම ප්‍රබන්ධය තුළ අහිංසක මිනිසෙක් ද සිටියි. එය අපට මොහොතකට යථාර්ථය අමතක කරවීම සඳහා උදව්වක් නො වන්නේ ද? එමෙන් ම තමන් ප්‍රචණ්ඩ යැයි හා සමලිංගික යැයි කළු ඇමෙරිකානුවන්ම කියන්නේ නම් එය සුදු ස්වාමියාට සහනයක් නො වන්නේ ද? බෙලහීන ලෙස හඳුනාගෙන සිටි චයිරොන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු බවට පත් කිරීම මඟින් සිදු වන්නේ ද ඔහු බැහැර සිට නැවතත් ඇමෙරිකානු සංස්කෘතියට උකහා ගැනීමක් නො වන්නේ ද? එනම්, සුදු ස්වාමියාගේ අශ්ලීල ෆැන්ටසි සඳහා ඔහු ශරීරය සැපයීමක් සිදු නො කරන්නේ ද? එවිට මෙම චිත්‍රපටය සඳහා ඔස්කා සම්මානය හිමිවීම අහම්බයක් ද?

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here